පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, April 24, 2016

අලුත් ලෝකයට අලුත් ගැජට් 13 කොටස - New Gadgets for New World Part 13

අලුත් ලෝකයට අලුත් උෂ්ණත්ව පාලකයක්








අපේ රටේ පැහැදිලි ඍතු භේදයක් නැති වුණත් අවුරුද්ද පුරා කාලෙන් කාලෙට උෂ්ණත්වය අඩු වැඩි වෙනවා. අවුරුද්දේ අග සහ මුල උදේ කාලයට ටිකක් සීතල වැඩියි. විශේෂයෙන් නුවරඑළිය වැනි පළාත්වල වැඩි වශයෙන් සීත දේශගුණ තත්වයක් පවතින නිසා ඔවුන් නිවාස ඇතුළත් උෂණත්වය පාලනය කරන්නට විවිධ උපකරණ භාවිත කරනවා. එවැනි අවශ්‍යතාවයන් සපුරාලමින් මේ ස්මාර්ට්යුගයට ගැළපෙන සේ නිර්මාණය කළ උෂ්ණත්ව පාලකයක් තමයි වීන්’ (Ween) කියන්නේ. සාමාන්‍ය උෂණත්ව පාලකයක්  එය සකස් කරන ලද උෂ්ණත්ව මට්ටම නැවත කවුරුන් හෝ සකස් කරන තුරු වෙනස් වන්නේ නැහැ. නමුත් මෙහි ඇති සංවේදකවලින් නිවසේ පුද්ගලයන් සිටිනවා ද නැද්ද යන්න එයටම තීරණය කරන්න පුළුවන්. අනෙක නිවැසියන් පිටත සිටින කාලය සහ නිවසේ සිටින කාලය කිහිප දිනක් යන විට මෙයට ඉගෙන ගැනීමේහැකියාවක් ද තිබෙනවා. ඒ නිසා නිවාසියන්ට තම නිවසේ උෂණත්ව මට්ටම ගැන සැළකිල්ලක් නොදක්වා තම වැඩකටයුතු කරගෙන යන්නට පුළුවන්. ඒ සියල්ල පාලනය කරන්නට වීන්ට පුළුවන්. නිවසේ කිසිවකු නැත්නම් උෂ්ණත්වය පහළ දමන්නට හෝ එය නිවා දමන්නට මෙයට හැකි නිසා එහි ප්‍රතිඵලයක් ලෙස විදුලි බිල ද අවම කරගත හැකියි. වයි ෆයි ඔස්සේ ඔබගේ ස්මාර්ට් දුරකතනය හා සම්බන්ධ වන්නට ද මෙයට හැකියාව තිබෙනවා. මෙහි මිල දැනට ඇමරිකානු ඩොලර් 378ක් (රුපියල් 53,700ක් පමණ) වෙනවා.



වැඩ ගොඩක් කරන්නට පුළුවන් ලයිට් එකක් 






ටොෂීබා සමාගමේ එල්ඊඩී තාක්ෂණය ලබා ගනිමින් සෝනි සමාගම මගින් මේ නවතම ආලෝක පද්ධතිය හඳුනවා තිබෙනවා. මෙය ඇත්තටම ලයිට් එකක් විතරක්ම කිව්වොත් වැරදියි. මෙයින් ඔබේ වැඩ කටයුතු බොහොමයක් කරදෙනවා. මෙයට වයි ෆයි පහසුකමත් ඔබගේ ස්මාර්ට් දුරකතනය සමඟ සම්බන්ධ වන්නට හැකි නිසා එහි සැකිසීම් සියල්ල දුරකතනයෙන්ම කළ හැකියි. මෙම ආලෝක පද්ධතිය එලාර්ම් එකක්, ඉන්ටර්කොම් පද්ධතියක් (ගොඩනැගිල්ලක් තුළ සන්නිවේදන කටයුතු කරගන්නා පද්ධතිය), උෂණත්ව සහ තෙතමන සංවේදක, අධෝරක්ත කිරණ පාලකයක්, මතක චිපයක් තැන්පත් කළ හැකි ස්ථානයක්, ස්පීකරයක්, මයික් එකක් සහ තවත් කුඩා උපකරණ කිහිපයකින් සමන්විතයි. ලයිට් එකකට මේවා මොකටද කියා ඕනෑම කෙනෙකුට සිතෙන්නට පුළුවන්. සෝනි සමාගම මේ උපකරණයේ ක්‍රියාකාරීත්වය ගැන තවමත් වැඩි යමක් සඳහන් කර නැති නිසා මේ උපකරණ සියල්ලෙන්ම කරගත හැක්කේ කුමක් ද කියා තවමත් අවබෝධයක් ලබාගන්නට හැකියාවක් නැහැ. නමුත්, නිවසේ ඒ අවස්ථාවේ පවතින උෂණත්වයට සරිලන පරිදි ස්වයංක්‍රීයව ආලෝකයේ ස්වභාවය වෙනස් කරන්නට මෙයට හැකියි. ඔබ යම් කිසි කාමරයකට ඇතුළු වන විටම එහි ආලෝකය ඒ අවස්ථාවට අනුකුළ වන පරිදි දල්වා ලන්නට මෙයට හැකියාව තිබෙනවා. රූපවාහිනී නරඹන කුටියට ඔබ යන විට රූපවාහිනිය ක්‍රියාත්මක කර ඔබ එම අවස්ථාවේ නරඹන ප්‍රියතම වැඩසටහන ඔබ වෙනුවෙන් තෝරා දෙන්නටත් මෙයට පුළුවන්. මිල තවමත් ප්‍රකාශයට පත් කොට නැහැ.



අලුත් විදිහේ ප්ලග් එකක්







නිවසක ප්ලග් පොයින්ට් ප්‍රමාණය ටික දවසක් යන කොට මදියි කියා හිතෙන අවස්ථා තිබෙනවා. ඒ කියන්නේ විවිධ විදුලි උපකරණ නිවසට ගෙනෙන විට ඒවාට විදුලි සපයන්නට නිවසේ තියෙන ප්ලග් පොයින්ට් ප්‍රමාණය මදි වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවට බොහෝ දෙනෙක් කරන්නේ කොහෙන් හරි මල්ටි ප්ලග් එකක්හෝ එක්ටෙන්ෂන් කෝඩ් එකක්ගෙනැවිත් මෙයට විසඳුමක් සොයා ගන්න එක. නමුත් නිෂ්පාදන ගුණත්වය ඉතාමත් පහළ මට්ටමක පවතින නිසා මේවායේ අඛණ්ඩ ක්‍රියාකාරීවය සහ කල්පැවැත්ම ගැන අපට සහතික වන්නට හැකියාවක් නැහැ. අනෙක විදුලිය වැඩි වශයෙන් ගළාගෙන යද්දී මේවා උණුවී විනාශකාරී සිදුවීම් සිදුවන අවස්ථා ද තිබෙනවා. ඉතා විශ්වාසයෙන් යුක්තව එක්වර විදුලි උපකරණ කිහිපයක් සඳහා විදුලි බලය ලබාදෙන්නට theOUTlet නමින් නව ප්ලග් එකක් දැන් වෙළෙඳ පළට පැමිණ තිබෙනවා. ඔබ කළ යුත්තේ ඔබගේ නිවසේ දැනට ඇති ප්ලග් එක ගළවා දමා එතැනට මෙය සවි කරගැනීම පමණයි. තිබෙන ප්ලග් එකට සවිකිරීමක් නොව අලුතින්ම සවිකිරීම නිසා පරිපථ ෂෝට්වීමකට ලක්වන්නට ද මෙහිදී ඉඩක් නැහැ.  අනෙක මෙහි දැනට අප භාවිත කරන සියලු විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපාංගවලට ගැළපෙන පරිදි කෙවෙනි සාදා තිබෙනවා. මෙහි මිල දැනට ඇමරිකානු ඩොලර් 25ක් (රුපියල් 3,550ක් පමණ) වෙනවා.


ද්විත්ව ක්‍රියාකිරී බිම පිරිසිදුකරනයක්






නමින් HIZERO වන මෙය ලෝකයේ මුල්ම ද්විත්ව ක්‍රියාකාරී බිම පිරිසිදු කරනය වශයෙනුයි හඳුන්වා දෙන්නේ. මෙය එකවර වැකුම් කිරීම සහ මොප් කිරීම සිදු කරනවා. යම් තැනක කිළිටි වී ඇත්නම්, දියර හැලී ඇත්නම්, දුහුවිලි ඇත්නම් මෙයට ඒවා ගැටලුවක් නෙවෙයි. මෙහි විශේෂයෙන් නිපදවා ඇති දුහුවිලි පිසදමනයට දුහුවිලි අංශු මාත්‍රයක් හෝ මඟ හැරෙන්නේ නැහැ. එමෙන්ම දුහුවිලි පිසදමන කොටසේ යම් විදිහකින් ජලය තැවරුනහොත් ඒ සැනින් එය උරාගෙන එතැන වියලී තත්වයෙන් තබාගන්නට මෙම උපරණය වගබලා ගන්නවා. අනෙක මෙහි පැය 4 - 6 කාලයක් දක්වා පවතින නැවත ආරෝපණය කළ හැකි බැටරියක් පවතින නිසා විදුලිය ලබාගැනීම ගැන සිතන්නට අවශ්‍ය වෙන්නේ ද නැහැ. තවත් එකක් කියන්න ඕන. ඔබ මේ උපකරණයෙන් නිවස පිරිසිදු කරන විට ඔබේ සිරුරෙන් දහනය වන කැලරි ප්‍රමාණයත් මෙම උපකරණයේ තත්වයත් ඔබේ සමාර්ට් දුරකතනය ඔස්සේ බලාගන්නට ද පුළුවන්.  මිල දැනට ඇමරිකානු ඩොලර් 299ක් (රුපියල් 42,500ක් පමණ) වෙනවා. 





උෂ්ණත්වය පෙන්වන ෂවර් එක



අද කාලේ බොහො දෙනෙක් නිවෙස්වල උණුජල පහසුකම ලබාගන්නට උත්සාහ කරනවා. විදුලි බලය වගේම හිරු එළියේ බලයෙනුත් මේ පහසුකම ලබාගන්නට පුළුවන් නිසා මෙය ඉස්සරට වඩා ජනප්‍රියයි. මෙය සඳහන් කළේ අපි කියන්න යන ගැජට් එක උණුජලයට සම්බන්ධ නිසයි. ඔබ ස්නානයට යන මොහොතේ ටැංකියේ ඇති ජලයේ උෂ්ණත්වය ගැන ඔබට වැටහීමක් ලබාගන්නට බැහැ. ඔබ වෙනම උෂ්ණත්ව මානයක් සවි කළොත් ඒ හැකියාව ලබාගන්නට පුළුවන්. නමුත් හැම විටම එසේ කරන්නට හැකියාවක් නැහැ. මේ නිසා ජල කරාමය විවෘත කර ජලය පරෙස්සමින් ස්පර්ශ කර උෂ්ණත්ව මට්ටම ගැන වැටහීමක් ගන්නට සිදු වෙනවා. මේ ගැටලුවට විසඳුමක් ලෙස Delta Temp2O Digital Temperature Display Shower Head නමින් ෂවර් එකක් හඳුන්වා දී තිබෙනවා. මෙහි ඇති උෂ්ණත්වමානයෙන් මේ හරහා ගමන් කරන ජලයේ උෂ්ණත්වය මැන මෙහි ඇති දර්ශක තිරය ඔස්සේ පෙන්වනවා. අංකවලින් උෂ්ණත්වය පෙන්වනවා සේම උෂ්ණත්වයේ ප්‍රමාණයේ හැටියට එය වර්ණයෙන් පෙන්වන්නටත් මෙයට පුළුවන්. අංශක 80 වඩා අඩු නම් නිල් පැහැයෙන් ද, අංශක 80 - 110 අතර නම් මැජෙන්ටා ද, 110 වැඩි නම් රතු ද වශයෙන් එය පෙන්වා සිටිනවා. ඒ වගේම ෂවර් එකෙන් ජලය හැලෙන විවිධ ක්‍රම 6 කට මෙය සකසන්නට ද පුළුවන්. මෙහි මිල දැනට ඇමරිකානු ඩොලර් 60ක් (රුපියල් 8,500ක් පමණ) වෙනවා. 


2 comments:

  1. මේක ඊයේ තරමත් සුපිරි තත්වයේ කඩේකින් බත් පාර්සල් දෙකක් ගන්නකොට හිතුන දෙයක්. බත් පාර්සල් වලට කෑම බෙදීමේ රොබෝවක් සාදන්න බැරිද,
    මුලින්ම සේවකයා පිඟානකට ඉටිකවරයක් එලලා වේදිකාවක් උඩින් තියනවා. ගනුදෙනු කරුවා ඉදිරියේ තියෙන ස්පර්ශ සංවේදී තිරයකින් අවශ්‍ය වර්ග සහ ප්‍රමාණය තෝරනවා. එතකොට රොබෝ අඬුවලින් අවශ්‍ය ආහාර පිඟානට බෙදෙනවා. ඒ සමඟම කෑම පාර්සලයේ මිල ක්‍රමයෙන් වැඩිවෙනවා.
    බෙදා අවසන් වු පසු සේවකයා පාර්සලය පිලියෙලකර. පපඩම් වැනි දේ එකතු කර ගනුදෙනුකරුට ලබා දෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක පිටරටක නම් හැදේවි. ඒත් අපේ රටේ එහෙම හැදුවත්, ඒ හදපු නිර්මාණය ඉක්මණින්ම පැත්කට විසි වෙනවා මිසක් ඒක දියුණු කරන්නට කිසිම වගකිවයුත්තෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක තමයි අපේ රටේ හැටි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න