පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, April 25, 2016

පිරමිඩ ජාවාරම්වලට හසුවන්න එපා!



අප කාර්යාලයේ සේවය කරන හිතවතකු දිනක් වඩාත් ඉක්මණින් ධනය උපයාගත හැකි ක්‍රමයකට තමන් සම්බන්ධ වී සිටින බවත්, එය නියමාකාර ලෙස කරගතහොත් වෙනත් රැකියාවක් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ද කියමින් කතාවකට මුල පිරුවේය. 

“මේකෙන් සල්ලි ලැබෙන විදිහ ගැන ඔයාට හිතාගන්නත් බැහැ. අපි එන්න කලින් ආපු හුඟ දෙනෙක් දැන් හොඳටම දියුණු වෙලා. එක් කෙනෙක් කාර් එකකුත් ගත්තා. අපිත් දැන් මේ ටික ටික නැගිටගෙනයි එන්නේ.” 

ඔහු එසේ ද පැවසූයේය. මෙයට යම් ගාස්තුවක් ගෙවා සාමාජිකයෙක් වශයෙන් බැඳිය යුතු බවත් ඒ සඳහා ඉරිදා දිනයක  සවස 2.00ට ගම්පහ නගරයේ එක්තරා ගොඩනැගිල්ලක් අසලට පැමිණෙන ලෙසත් ඔහු පැවසූයේය. 

මේ මා පෞද්ගලිකව මුහුණ දුන් අත්දැකීමකි. සැබැවින්ම මේ වේගයෙන් මුදල් ඉපැයීමක් ලෙස ඔහු විස්තර කරන ලද්දේ ‛පිරමිඩ’ ගනුදෙනුවක් මිස අන් කිසිවක් නොවේ. මෙය සැබැවින්ම හොර ජාවාරමක් වන අතර මෙවැනි කිසිදු වංචනික ක්‍රියාවකට හසුනොවන්න යැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුවත්පත්වල දැන්වීම් පවා පළකොට ඇති මුත් වර්තමානයේ මෙම ව්‍යාපාරය විවිධ මුහුණුවර ඔස්සේ නැවත ක්‍රිියාත්මක වෙමින් පවතී. යම් යම් අය 

“මේකත් අර පිරමිඩ බිස්නස් එකක්ද?” 

කියා කවුරුන් හෝ ඇසූ විට, 

“පිස්සුද මේක එහෙම එකක් නොවයි. එහෙම නම් මම මේකට කාහොමටවත් සම්බන්ධ වෙන්නේ නෑ. අනෙක මේකට මහ බැංකුවේ අනුමැතියත් තියෙනවා” 

යැයි මෙයට බැඳී සිටින්නන් නව සාමාජිකයන් බඳවා ගැනීමේදී පවසයි.  

කෙසේ මුත් අප අතර සිටින්නන් සැළකිය යුතු පිරිසක් දැනුවත්ව හෝ නොදැනුවත්ම මෙයට සම්බධ වී සිටිති. 

පිරමිඩ ක්‍රමය යනු කුමක්ද? 

ඔබ පිරමිඩයක් පින්තූර ඕනෑ තරම් දැක තිබෙනවාට සැකයක් නැත. පිරමිඩයක් සාමාන්‍යයෙන් ඉහළ සිට පහළට කෙමෙන් විශාල වෙයි. පිරමිඩ ගනුදෙනුවල ද ඇත්තේ එවැනි ස්වභාවයකි.  අප රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල සිදුකොරන මෙම පිරමිඩ ක්‍රමයේ ව්‍යාපාරවලට හසුවන්නෝ නම් කොතෙකුත් සිටිති. 

වර්තමානයේ පිරමිඩ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කෙසේද? 

කලකට පෙර විවිධ ක්‍රම ඔස්සේ මෙය ක්‍රියාත්මක වූ අතර වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ එකවර සොයාගත නොහැකි ආකාරයටය. මෙය හඳුන්වා දෙන ආයතනය මෙහි මුල් ගනුදෙනුකරුවාට හෝ කරුවන්ට යම්කිසි භාණ්ඩයක් අළෙවි කරයි. ඔවුන් මේ ආකාරයට ගනුදෙනුකරුවන්ට අළෙවිකරනුයේ බොහෝ ප්‍රයෝජනවත් යැයි පැවසෙන භාණ්ඩයකි. කෙසේ නමුත් මේ පිළිබඳව සොයා බැලීමේදී පෙනී යන්නේ එය සාමාන්‍ය වෙළෙඳ පළෙන් ඉතා අඩු මිලට ගත හැකි චීනයේ නිෂ්පාදිත භාණ්ඩයක් බවය. කෙසේ මුත් මෙම ව්‍යාපාරයට බැඳී මුදල් ඉපැයීමේ අවශ්‍යතාවය වෙනුවෙන් ඔවුහු මෙම භාණ්ඩය මිලදී ගනිති. මෙවැනි සංවිධානයකට සාමාජිකයන් බඳවාගැනීම සඳහා මුදල් ද අයකරන බැවින් ඔවුන්ට වැඩි මිලක් දී අඩු වටිනාකමක් ඇති භාණ්ඩයක් මිලට ගන්නට සිදුවේ. ඉන්පසු ඔහු විසින් මෙම ආයතනය වෙත තවත් අලුත් සාමාජිකයන් දෙදෙනෙකු බඳවා ගැනීම සඳහා කටයුතු කළ යුතු අතර ඉන්පසු එම මිලටම ඔවුන් දෙනොට ද එම භාණ්ඩය විකිණිය යුතු වේ. මෙසේ විකුණද්දී ඔවුන්ට යම් කිසි ප්‍රතිශතයකින් වට්ටමක් ද හිමි වේ. මේ ආකාරයට පිරමිඩයේ පහළට කෙමෙන් ගමන් කරද්දී වැඩි වැඩියෙන් නව සාමාජිකයන් බදවා ගැනීම සිදු කළ යුතුය. මෙහිදී එක් ස්ථරයක සිටිය යුතු සාමාජිකයන් ගණන කොතෙක්දැයි ගණන් බලන අතර එක් ස්ථරයකින් ඊළඟ ස්ථරයට යද්දී යම්කිසි ලකුණු ප්‍රමාණයක් ද හිමි වේ. ලකුණු සමග මුදල් ද හිමි වේ. තමන් හඳුන්වා දුන් සාමාජිකයන් මෙසේ පහලට ගමන් කරන විට ද මේ ආකාරයට ලකුණු සහ මුදල් හිමි වේ. යම් සාමාජිකයෙක් සියලු උත්සාහ දරා තවත් පහළට ගමන් කළහොත්, ඒ වන විට ආයතන ඔහු නිසා බොහෝ ගනූදෙනුකරුවන් පිරිසක් මේ සඳහා බඳවාගෙන ඇති බැවින් ඔහුට වඩාත් වටිනාකමක් ඇති භාණ්ඩයක් තිළිණ කරයි. මේ පිළිබඳව මා සමග කතා කළ හිතවතා පැවසූයේ ඔවුනව මෙම ආයතනය වෙත හඳුන්වා දුන් පුද්ගලයාට මෑතකදී මෝටර් රථයක් ද හිමි වූ බවය. මෙවැනි දේ දකිත්ම බොාේ දෙනෙක් මෙයට නව සාමාජිකයන් බඳවාගැනීමට හැකි සියලු උත්සාහයන් යොදා වැඩ කටයුතු කරති. නමුත් ගැටලුව වන්නේ මුළින්ම මෙයට බැඳෙන සාමාජිකයන් හට මෙම පිරමිඩයේ පහල ස්ථර කරා පහසුවෙන් ඇදී ගිය හැකි මුත් පසුව බැඳෙන සාමාජිකයන්ට ඒ සඳහා ඇති අවස්ථාව වඩාත් අවම වීමය. 



බොහෝ විට මෙම පිරමිඩ ක්‍රමය සිදුවන්නේ දෙකේ ගුණාකාරවලටය. මෙයට සම්බන්ධ වන සෑම පුද්ගලයකුම නව සාමාජිකයන් දෙදෙනෙකු මේ සඳහා බඳවා ගත යුතු වේ. එවිට 2, 4, 8, 16, 32 ආදී වශයෙන් දෙකේ ගුණාකාරවලින් වැඩිවෙයි. මෙම සඳහන් රූපසටහන දෙස බැලීමෙන් මෙය වඩාත් පහසුවෙන් අවබෝධ කරගත හැකිය. මෙම පිරමීඩයේ ස්තර ඉහළ සිට පහලට රේඛාවලින් වෙන් කොට තිබේ. මෙහි වම් පැත්තේ දිස්වන්නේ එක් එක් ස්තරයට පැමිණෙද්දී එකතු වී සිටිය යුතු සාමාජිකයන් සංඛ්‍යාවය. එක් එක් ස්ථරයේ සිටිය යුතු සාමාජික සංඛ්‍යාව මැද ඇති ඉළක්කම්වලින් දැක්වෙන අතර දකුණු පැත්තේ ඉළක්කම්වලින් දැක්වෙන්නේ ස්තර සංඛ්‍යාවය. මෙය දෙකේ ගුණාකාරවලින් වැඩි වෙමින් පහළට ගමන් කරන බව ඔබට පෙනෙනවා ඇත. මෙහි පහලට ගමන් කරද්දී සාමාජිකයන් බඳවා ගැනීම කෙතරම් දුෂ්කර ද යන්න ඔබට පෙනෙනවා ඇත. 25 වැනි ස්තරය බලන්න. ඒ වන විට එකතු වී සිටිය යුතු සාමාජික සංඛ්‍යාව තුන්කෝටියකටත් වඩා වැඩිය. නමුත් අප රටේ ජනගහනය දෙකෝටි විසි දහසකට ආසන්න සංඛ්‍යාවක් පමණි. 

මුල් ස්තරවලදී කෙසේ හෝ සාමාජිකයන් බඳවා ගත්ත ද පහළට යත්ම එය ඉතා දුෂ්කර වේ. මේ අනුව මුල් අවස්ථාවේදී මෙයට එක් වන සාමාජිකයන් හට යම් යම් මට්ටම්වලින් ප්‍රතිලාභ ලබාගන්නට හැකියාව ලැබුණත් පසුව එක්වන සාමාජිකයන්ට එය එක්කෝ ඉතා දුෂ්කර වේ. එක්කෝ ලැබෙන්නේම නැත. මෙම ව්‍යාපාරයට අප රටේ සියලුම ජනතාව එක් වූවා කියා මඳකට සිතුව ද පහළට යත්ම මෙයට සිටිය යුතු සාමාජික සංඛ්‍යාව ජනගහනය ද ඉක්මවන නිසා අලුතින් එකතු කරගැනීමට කිසිවකු ඉතිරි වන්නේ නැත. එවිට ඔවුනට සිදුවන්නේ පාඩුව විඳ දරාගන්නටය. අනෙක මෙයට සාමාජිකයන් බඳවාගැනීම සඳහා අධික කාලයවක් ද මිඩංගු කරන්නට සිදු වේ. ඒ සඳහා වියදම් දරන්නට ද සිදු වේ. මෙවැනි ව්‍යාපාර සඳහා සිය දේපළ පවා උගස් කොට මුදල් ආයෝජනය කළ ඇතැමුන්ට අවසානයේ බඳවා ගැනීමට සාමාජිකයන් නොසිටි නිසා සිදුවූයේ පාඩුව විඳ දරාගත නොහැකිව සිය දිවි නසාගන්නටය. එවැනි අවස්ථාවන් ද පසුගිය කාලයේ වාර්තා විය. 

ප්‍රායෝගික ලෙස සළකා  බැලුවහොත් මෙවැනි ව්‍යාපාරයක් සඳහා එකතුවන්නට සියලු දෙනාම කැමති වන්නේ නැත. මේ පිරමීඩ ක්‍රමය වංචාවක් බැව් අවබෝධ කරගෙන සිටින කිසිවෙකු මෙයට සම්බන්ධ වන්නේ නැත. අප රටේ ජනගහනයෙන් බාල වයස්කරුවන් හේ වයෝවෘද්ධ ජනතාවද මෙයට එකතු වන්නේ නැත. යම් වෘත්තීය මට්ටමවල සිටින කිසිවකු ද එකතුවන්නට කැමැත්තක් දක්වන්නේ නැත. මේ නිසා මෙවැනි ව්‍යාපාර සඳහා එක්කරගත හැකි පිරිස වර්තමානය වන විට සිටින්නේ සාපේක්ෂව සුළු ප්‍රතිශතයකි. එසේ හෙයින් වර්තමානයේ මෙම ව්‍යාපාරයකින් ප්‍රතිලාභ ලැබිය හැක්කේ මුල් ස්තර කිහිපයේ පසුවන්නන් කිහිප දෙනෙකුට පමණි. සෙසු සියලු දෙනාට සිදුවන්නේ පාඩුව විඳදරාගැනීමටය. 

මේ නිසා සියලු දෙනා සිදුකළ යුත්තේ මෙවැනි ව්‍යාපාරවලට සම්බන්ධ වී ඇති පුද්ගලයන් පැමිණ ඔබ ඉදිරියේ මවන සුරංගනා ලෝකය පිළිබඳව බුද්ධිමත්ව බලා මෙම වංචාවන්ට හසු නොවී ජීවත්වීමය. 

20 comments:

  1. එහෙනං කරන්න තියෙන හොදම දේ තමා අපිම එකක් පටන් ගන්න එක.... එතකොට මුල් හරිය ගානට ඇදලා යනවානේ..... හැක්.....

    ReplyDelete
    Replies
    1. අන්න හරි. ඒක තමා නුවණක්කාරම වැඩේ.

      Delete
    2. පිරමිඩයෙ අන්තිම ඉහලම ඉන්න දෙතුන් දෙනා තමා කට්ට කන්නෙ නැතිව ප්‍රතිලාභ ලබන්නෙ . නෙට්වර්ක් එක කඩල දැම්මොත් ඔක්කොම බිම. කට්ටිය හොයල වින්ද දුක වතුරෙ. පට්ට දුකක් විදින්න එපායැ ලෝකෙ නැති බොරු කියල. පහලම එවුන්ට මොකුත්ම නෑ.මහන්සිය විතරයි අතේ තියන තුට්ටු දෙකටත් කෙලවගෙන විරවපට්ටන් ගහනව. මැද ඉන්න එවුන්ට අටහ් ලෙවකන්න ලැබෙනව.
      දැන් මම සම්බන්ධ වුන එකේ ඉහලම උනුත් නවත්තලලු. ඉහලම උන් කියන්නෙ උන් යට සිය ගනන් හිටපු මහම නායකයො ( පල් හොරු ).උන්ගෙ මට්ටමට එන එක අපට ඒ කාලෙත් හීනයක්.
      මේ සේරම වෙන්න අවුරුද්දක් ගියෙ නෑ. බලන්න අවුරුද්දක් ඇතුලත අපේ පලාතෙ මුලු නෙට්වර්ක් එකම ඩවුන්. ඒක වෙන පලාතක වෙන නමකින් යනව ඇති.

      Delete
    3. මේ පිරමිඩ බිස්නස් එකේ තියෙන එපා කරපුම වැඩ තමයි ඒවා. මේවා කරන අයගේ දේශනාවලට රැවටෙනවා. ඊට පස්සේ අතේ තියෙන ඔක්කොම සල්ලි මේකට වියදම් කරනවා. අන්තිමට කරපු අය පැදුරටත් නොකියා ඔක්කෝම කඩල බිදලා ගිහින් ටික දවසකින් වෙන පැත්තක මේ බිස්නස් එකම පටන් ගන්නවා.මේවාට ලොකු ලොකු අයගේත් මොනවා හරි උදව් නැති වෙන්න බැහැ.

      Delete
  2. ඉතාම වැදගත් ලිපියක්.
    මමත් පිරමිඩ ජාවාරමකට සම්බන්ධ වුනා. ඒ මිතුරෙකුගෙ වචනෙ කඩන්න බැරිකමට.මේක ජාවාරමක් කියල මම දැනගෙන හිටියා.මම සම්බන්ධවුනේ කාරනා දෙකක් මත. එකක් මට බඩු හම්බවෙනව. අනික තමා මිතුරාට හොද සමාජ සම්බන්ධතා ජාලයක් තිබෙන නිසා මගෙ යටට කට්ටිය දමා ගත හැකිය යන විශ්වාසය. මගේ මිතුරා සම්බන්ධවුනෙත් අවන්කවමයි. පහලට පහලට යන විට සිදුවන කඩාවැටීම ( වයි පෙරෙල්මාන් ගේ පොතක හිමගිරිනිපාතයද මොකක්ද කියල තිබුනා ) ගැන ඔහුත් දැනුවත්ව සිටියෙනෑ.

    මම සම්බන්ධ වූ ජාවාරමේ දී අපට බඩු ලැබෙනවා. මේ බඩු දීම ත් කාරනා තුනකින් පාරිභෝගිකයාට අවාසිදායකයි.
    1. අපට මෙම ක්‍රමයෙන් ගැනීමට සිදුවන්නේ අපට අනවශ්‍ය බඩු වීම
    2. වෙළදපොලේ මිලට වඩා වැඩි මූල්‍ය වටිනාකමකට මෙම බඩු ගැනීමට සිදුවීම
    3.වෙලදපොලේ බඩුවලට වඩා මෙම බඩුවල ගුනාත්මක බව අඩු වීම

    ඇත්තටම අපේ ගෙවල් වල අපට අවශ්‍ය බඩු තිබෙනවා, මෙම ක්‍රමයෙන් ගන්න වෙන්නෙ අපට අනවශ්‍ය බඩු. ඒ කියන්නෙ අපි බඩු ගන්නෙ ඒ බඩු අවශ්‍යැ නිසා නෙමෙයි මේ ජාවාරමට සම්බන්ධ වෙන්න ඕන නිසා.

    මොවුන්ගෙ දේශනා තෘශ්නා සාගරයක අසන්නා ගිල්වන ආකරයෙන් සකස් කර තිබෙන්නෙ. මට නම් ඒ දේශනා වලින් වැඩක් වුනේ නෑ. නමුත් බහුතරයක් මෝහනය වුනා. ඔවුන් දේශන වලදි වියදම් ලැයිස්තුවක් හදනව. අපට අනවශ්‍ය අවශ්‍යතා පටවනව. උදාහරනයකට මගෙ ඇම්බිෂන් එකක් වෙන්න ඕන හවායි වල නිවාඩුවක් ගත කිරීම. මේක මම තුන් හිතකින්වත් හිතන්නෙ නැති දෙයක්නෙ.මේ විදියට ඔලුව හදල හැමෝගෙන්ම අහනව අපේක්ෂිත වියදම හා අවශ්‍ය ආදායම කීයද කියල .සමහරුන්ගෙ මාසික අවශ්‍ය වියදම ලක්ෂ 50 ත් පැනල. මේ දේශන අනිවාර්යයි. මොවුන්ගෙ උප සංස්කෘතියකුත් තියනව ආචාර විධි එහෙම.

    දැන් අභියෝගය කට්ටිය සම්බන්ධ කිරීම. සල්ලි හම්බවෙන්නෙ දෙපැත්තටම දැම්මහම . ගිය ගාන එන්නනම් දෙපැත්තටම 48 ක් දාන්න ඕන. කොමිෂන් වලින් මුදල් ලැබුනම ඒ ලකුනු ඉවරයි. ආයෙ සල්ලි ලැබෙන්නෙ තමන් හෝ තමා යටින් ඉන්න අය ලකුනු එකතුකලාමයි.යටින් ඉන්න අය කඩන් වැටුනොත් ඒත් ඉවරයි.

    මේ ජාවාරම් ගැන දන්න කෙනෙක් මට පසුව කීව. මේ අය හිතාමතාම නෙට්වර්ක් එක කඩනවලු. ඊට පස්සෙ ආයෙ එව්න නමකින් පටන් ගන්නවලු. එතකොට අතරමැදි අයට ප්‍රතිලාභ දෙන්න වෙන්නෙ නෑ. හොද වාහන දෙනවලු . වාහනේ අරන් එහෙ මෙහෙ යන්න තියෙන්නෙ. වාහනේ වාරික ගෙවන්නෙ ජාවාරමට අහුවුන එකා. අයිතිය පිරමිඩ් සමාගමට. දකින එවුන් හිතන්නෙ යකෝ මූ හොද වාහනයකුඉත් අරන් අපිත් බැදෙමු කියල.

    මේකට සම්බන්ධ වුනාට පස්සෙ බොරු කියන්න වෙනව. වලේ වැටුනොත් තව එවුන් වලට දාන්නම වෙනව. මේ විදියට වලට දාන්න වෙන්නෙ හිත මිතුරන් වීම තමා ජරාම දේ.

    මට ලැබුන බඩු අනුව ලොකු පාඩුවක් වෙලා නෑ.නමුත් එල් ඊ ඩී බල්බ් සෙට් වාගෙ ගත්ත අයට එහෙම ලොකු පාඩු වෙලා තියනව. අඩු කොලිටි බඩු වැඩි මිලට අරන් හිත මිතුරනුත් ඒකට පොලබවන්න වෙනව. මේක හැමදාම කරන්න බෑ.

    නමුත් විශාල පිරිසක් මේ ජාවාරම්වලට ඇදෙනව. අසීමිත තෘෂ්නාව නිසයි මේ හැම දෙයක්ම.
    මම තීරනය කලා මේ වගෙ කලු සල්ලි වැඩවලට නම් මීට පස්සෙ සමබන්ධ වෙන්නෙ නෑ කියල. දාඩිය මහන්සියෙන් හොයන දෙයක් මිස මේ වගෙ මැජික් සල්ලි පස්සෙ ගියොත් වෙන්නෙ විනාශයක්. මේ ගැන පෝස්ට් එකක් දාන්නත් ඉදල නිකම් හිටිය.

    ReplyDelete
    Replies
    1. මේකට යන්න පටන් ගත්තොත් යන්නම වෙන කතාව ඇත්තම තමයි. මගේ කාර්යාලයේ හිතවතාත් හැම වැඩේම නවත්තලා ඉරිදා හවස ගම්පහ යනවා. මේකට මට සම්බන්ධ වෙන්න කියලා මම හිතන්නේ 10 වතාවක් විතර කතා කළා. ඇත්තටම මේකට අහුවුණොත් ඉවරයිම තමයි. හිතා මතාම නෙට්වර්ක් එක කඩනවා කියන කතාවත් පිළිගන්න පුළුවන්. මොකද මේක කරන්නේ ජාවාරම්කාරයෝ මිසක් සමාජ සේවකයන් නොවන නිසා.

      Delete
    2. දැන් අභියෝගය කට්ටිය සම්බන්ධ කිරීම. සල්ලි හම්බවෙන්නෙ දෙපැත්තටම දැම්මහම . ගිය ගාන එන්නනම් දෙපැත්තටම 48 ක් දාන්න ඕන. කොමිෂන් වලින් මුදල් ලැබුනම ඒ ලකුනු ඉවරයි. ආයෙ සල්ලි ලැබෙන්නෙ තමන් හෝ තමා යටින් ඉන්න අය ලකුනු එකතුකලාමයි.යටින් ඉන්න අය කඩන් වැටුනොත් ඒත් ඉවරයි.//

      පැහැදිලි මදි ඇති. රු 30,000 ක් රු 40,000 ක් වගෙ ඩීල් එකක් දැම්මොත් ලකුනු දශම පහයි. රු 75,000 - රු 80,000 ක් නම් ලකුනක් ලැබෙනව.මම රු 76,000 ක බඩු පැකේජ් එකක් ගත්ත.එතකොට මට ඉහලින් ඉන්න කෙනාට ලකුනක් ලැබෙනව. මමත් දෙපැත්තට කට්ටිය දාන්න ඕන. දෙපැත්තට දාන කතාවවත් වැඩි අවධාරනයක් කරන්නෙ නෑ. අහන කෙනාට හිතෙන්නෙ ලකුනු ලැබුනම එක දිගටම මාස්පතා කොමිස් මුදල් ලැබෙනව කියල. සතිපතා අහවලාට 20,000 .40 000 ක් ලැබෙනව අහවලාට මාසෙල ලක්ෂයක් ඔය ආදී වශයෙන් කියන කොට ලකුනු අවසන් වුනාම කොමිස් මුදල් ලැබෙන එක නතර වෙන බව අහන කෙනාට තේරෙන්නෙ නෑ.

      නමුත් මගෙ යටින් ඉන්න අය ලකුනු 48 ගත්තම මට රු 76.000 ( ජාවාරමට ආයෝජනය කල මුදල ) ලැබෙනව. නමුත් ඒ ලකුනු එතනින් ඉවරයි. ආයෙ සල්ලි ලැබෙන්න නම් අලුතෙන් ඩීල් දාල ලකුනු එකතුකරගන්න ඕන.මෙන්න මේ කතාව පැහැදිලිව මුලින් කියනවනම් එකෙක් එන්නෙ නෑ. නමුත් ඩීල් එකක් දැම්මම වක්කඩ කැඩුව වගෙ සල්ලි එනව කියලනෙ කියන්නෙ.

      මේ පිරමිඩ් සෙල්ලම මුලින් පටන් ගත්ත එකා හොද මීටරයක්.මට ලකුනු 48 එකතුවෙන කොට කොම්පැනියට ඒ වගෙ කීප ගුනයක මුදලක් ලැබිල. ලකුනු 48 ක් හොයන්න මාර කට්ටක් කන්න වෙනව. මට 76000 ලැබෙන කොට කොම්පැනියට ලක්ෂ 10 කටත් වැඩි ශුද්ධ ලාභයක් මම අරන් දීල.මම කට්ට කාල කොම්පැනියට වැඩකරනව.කොම්පැනියට නිකම්ම සල්ලි ගලනව.
      ධනවාදයේ තක්කඩිම කෲරතරම ස්වභාවය පෙන්වන අවස්ථාවක් තමා පිරමිඩ් ජාවාරම.

      Delete
    3. කොහොමත් මේ පිරමීඩ බිස්නස්කාරයා කියන්නේ හොද මොලයක් තමයි. නිකං ඉදන් සල්ලි හම්බ කරන්න මේකට වඩා ලේසි පහසු වෙන ක්‍රමයක් නැති තරම්.

      Delete
  3. ඔබ හරියටම හරි.. මේ ක්‍රෙම් දැන් එක එක විදිහට සමාජ ගත වෙලා තියෙන්නේ.. මේ අයගේ අලුත්ම ගොඳුර විශ්වවිද්‍යාල ළමයි.. දන්න කීපදෙනෙක් මේ වැඩේ කරනවා.. ගොඩක් අය අමාරුවේ වැටිලා ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේකට අහුවුණොත් ගැළවීමක් නෑ. අමාරුවේ වැටෙනවාම තමයි.

      Delete
  4. ග්ලෝබල් ලයිෆ් බෙස්ට් ලයිෆ් වගෙව ත් ඕකමයි නේද කරන්නෙ.
    මගෙ හොඳම එකෙක් කොළඹට එන්න කියල (උගෙ වැඩකට කියල එන්න කීවෙ) මාව ඔතෙන්ට එක්ක ගියා. ගියාට පස්සෙයි දන්නෙ අපහු හැරෙන්න පරක්කූ නැති වුණත් මම කාගෙන හිටිය. අරුං දැං මට දේසනා දෙනව දෙනව ඉවරයක් නෑ. මාත් ගොනා වගේ අහගන ඉන්නව. ඉඳල හිටං මං එක පාරටම ඇහුව මට පාන්ද ඉතිං කියල. අරුං ටික අන්ද මන්ද වුණා කියන්නකො. ඊට පස්සෙ මගෙ යාලුවටත් හුප්පදේ කියල උං ඉස්සරහම ආව එන්න. හිහි

    ReplyDelete
    Replies
    1. ඒක නම් හොදම වැඩේ තමයි. මේ කරන අයගේ බොරු බේගල්වලට හැමෝම අහු වෙන්නේ නෑ කියල හරි එතකොට දැනෙන්න ඕන නේ.අපේ ඔෆිස් එකේ හිතවතා මේ වැඩේට සම්බන්ධ වෙලා ඉන්නේ ගම්පහ නැතිව කොළඹ වුණා නම් මටත් මේ දේශන අහන්න යන්න වෙනවා.

      Delete
  5. ගණිත විනෝදය කියන පොතේ විප්ලවයට පෙර රුසියානු පත්තර දැන්වීමක් ආශ්‍රය කරගෙන ඔයගැන පැහැදිලි කරලා තිබුනා. ඔය පොත නොකියවපු මධ්‍යම පාන්තික වැඩිහිටියෝ ඉන්නවා කියලා හිතන්නත් අමාරුයි.

    ReplyDelete
    Replies
    1. වයි. පෙරල්මාන්ගේ ගණිත විනෝදය පොත අපේ රටේ ජනප්‍රිය පොතක් වුණත් ඒක කියවපු නැති අපේම යාළුවෝ ගොඩ දෙනෙක් හිටියා. අනෙක මේ පොත ගෙදරක තිබුණත් ඒවා කියවලා බලන්එනේනේ නැහැ නේ. මේවා කියවලා නොබැලුවත් ගුණෝත්තර ශ්‍රේණි ගැන අවබෝධයක් තියෙනවා නම් මේවාට අහු වෙන එකක් නැහැ. මෙතන වෙන්නේ තමන් ඉස්සරහ මවන සල්ලිවලානි පිරුණු සුරංගනා ලෝකය නිසා තමන් ඉගෙනගත්තු දේවලුත් අමතක වෙලා යන එකයි.

      Delete
  6. Replies
    1. මේ ගැන දැනුවත් වීම ගැන සතුටුයි.

      Delete
  7. සමහර මිනිස්සුන්ට ඕක ගැන කොච්චර තේරුං කරල දුන්නත් පිළිගන්නෙ නෑ. වලේ වැටෙන්නමයි හදන්නෙ.

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ තන්හාව ඔලුවට ගැහුවාම අන්ධ වෙනවනේ.

      Delete
  8. මිට අවුරුදු 10 කට විතර කලින් එංගලනතේ පැතිරිලා තිබ්බ ලංකාවේ අය අතර හා අනිකුත් විගමිකයන් අතර. පස්සේ පොලිසි ගිහිල්ල නතර වුනේ. එකකට වත් සම්බන්ධ වුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ අපට වඩා දියුණු රටවල දැන් මේ ජාවාරම කරන්න බැරි නිසා ඒ රටවල ඉන්න සල්ලිකාරයේ අපේ වගේ රටවල ඉන්න අය ගවා මේ ජාවාරම කරවනවා වෙන්නත් පුළුවන්. ඒ තියන්නේ මේවා පටන් ගන්න ප්‍රාග්ධනය සමහර විට සපයනවා ඇත්තේ දියුණු රටවල ඉන්න සල්ලිකාරයෝ වෙන්න ඕන බොහෝ වෙලාවට.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න