පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, October 22, 2016

අවුරුදු 98 ස්නායු මනෝ වෛද්‍යවරිය - බ්‍රෙන්ඩා මිල්නර් - Brenda Milner, the 98 Year Old Neuropsychologist


අවුරුදු 98ක් යනු බොහෝ විට මරණාසන්න වයසකි. එසේත් නැත්නම් යන තැනකට යමක් කරගන්නා එක වඩා හොඳ යැයි සිතන්නට හොඳ වයසකි. ඇතැම් විට එවැන්නක් පවා සිතාගන්නට තරම් නිරවුල් මනසක් නොමැති වයසකි. එයට හේතුව එවැනි වයස් මට්ටමකදී බොහෝ දෙනෙකුගේ සිහිය විකල්ව යාමට වැඩි ඉඩක් ඇති බවට ඕනෑ තරම් අත්දැකීම් තිබෙන නිසාය. කෙසේ නමුත් අවුරුදු 98 දී මනෝ වෛද්‍යවරියක ලෙස සේවය කරන්නියක සිටින්නේ යැයි පැවසුවහොත් එය දවසේ විහිළුවක් බවට පත්වන්නට බොහෝ ඉඩක් තිබේ. නමුත් සැබෑව එය නොවේ. එවැන්නියක සැබැවින්ම සිටී. නමුත් අප රටේ නොවේ. කැනඩාවේය.  ඉංග්‍රීසි ජාතික කාන්තාවක ලෙස එංගලන්තයේ උපත ලැබ, වර්තමානයේ කැනේඩියානු ස්නායු මනෝ වෛද්‍යවරියක ලෙස සේවය කරන බ්‍රෙන්ඩා මිල්නර් ද එබඳු තැනැත්තියකි. දැනටමත් 98 හැවිරිදි වියෙහි පසුවන ඇය කෙතරම් සේවයේ යෙදී සිටිය ද තවමත් වෙහෙස වී ඇති බවක් නම් පෙනෙන්නේ නැත. ඇගේ ජීවිතය පිළිබඳ යමක් කෙටියෙන් කතාබහ කිරීම අපට වටින්නේ ඒ නිසාමය. 

1918 ජූලි 15 වැනිදා උපන් බ්‍රෙන්ඩා මිල්නර් ස්නායු මනෝ විද්‍යා ක්ෂේත්‍රය තුළ විවිධ පර්යේෂණ පවත්වමින් තවමත් ඉතාමත් සක්‍රිය ලෙස මෙම ක්ෂේත්‍රයට සිය දැනුම දායාද කරමින් සිටින්නියකි. ඇතැම් විට ඇය හඳුන්වනු ලබන්නේ ස්නායු මනෝ විද්‍යාවේ ආදී කර්තෘවරිය ලෙසිනි. ඇය මේ වන විට කැනඩාවේ මැක්ගිල් සරසවියේ ස්නායුවේදය සහ ස්නායු ශල්‍යකර්ම පිළිබඳ අංශයේ මාහාචාර්යවරියක ලෙස සහ මොන්ට්‍රියල් ස්නායුවේදී ආයතනයේ මහාචාර්යවරියක ලෙස වැඩකටයුතු කරයි. මේ වන විට ගෞරව උපාධි 20 කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියන ඇය, විවිධ පර්යේෂණව නිරතවෙමින් සිය ක්ෂේත්‍රය වෙනුවෙන් අතිමහත් සේවයක් සළසයි. ඇය වර්තමානයේ පර්යේෂණ පවත්වන්නේ මොලයේ වම් සහ දකුණු අර්ධගෝල අතර සිදුවන අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳවය. ස්නායු මනෝ විද්‍යා ක්ෂේත්‍රය වර්තමානයේ පවතින තත්වය දක්වා සංවර්ධනය කිරීමට ඇය ලබා දී ඇති දායකත්වය ඉමහත්ය. මේ නිසාම ඇයට ස්නායුවේදය සම්බන්ධ ‛කැව්ලි’ තිළිණය පවා හිමිව තිබේ. 

ඇය එංගලන්තයේ මැන්චෙස්ටර් හි උපත ලබන්නේ බ්‍රෙන්ඩා ලැන්ග්ෆෝර්ඩ් ලෙසින් වුව ද මිල්නර් ලෙස වාසගම වෙනස් වන්නේ විවාහයෙන් පසුවය. ඇගේ දෙමාපියන් සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධව වැඩකටයුතු කරන්නන් වුව ද ඇයට ඒ පිළිබඳ උනන්දුවක් තිබුනේ නැත. සය මස් හැවිරිදි වියේදී ඇය සහ මව ඉන්ෆ්ලුවෙන්සා වසංගතයට ගොදුරු වූ අතර එම සමයේ එයට ගොදුරු වූ පුද්ගලයන් මිලියන 20 - 40 අතර සංඛ්‍යාවක් මිය ගිය බව වාර්තා වේ. එය පළමු ලෝක යුද්ධයෙන් මිය සංඛ්‍යාවට ද වඩා අධිකය. කෙසේ නමුත් වාසනාවකට ඇයත් මවත් මේ වසංගතයේ ගොදුරු වූයේ නැත. 

ඇයට අවුරුදු 8 දක්වා ඇගේ පියා විසින් ගණිතය උගන්වන ලද අතර පසුව ඇය විතින්ටන් බාලිකා පාසලට ඇතුළත් කෙරිණි. ඉන් පසුව ගණිතය අංශයෙන් තවදුරටත් ඉගෙනගැනීම සඳහා ඇය කේම්බ්‍රිජ්හි නිව්න්හැම් පාසලට ඇතුළත් කෙරිණි. කෙසේ නමුත් තමා ගණිතය ක්ෂේත්‍රයට දක්ෂ නොවන බව තේරුම් ගත් නිසාම ඇය කළේ මනෝ විද්‍යාව තෝරාගැනීමය. මෙහි ප්‍රතිඵලය වූයේ 1939 වසරේදී ඇය පර්යේෂණාත්මක මනෝවිද්‍යාව යන ක්ෂේත්‍රයෙන් උපාධියක් හිමිකරගැනීමය. 

ඇයට සිය සැමියා වූ පීටර් මිල්නර් හමුවන්නේ 1941 වසරේදීය. ඔහු විදුලි ඉංජිනේරුවෙක් බැවින් යුද කටයුතු සඳහා සහය වන්නට ඔහුට සිදු විය. 1944  දී ඔවුන් විවාහ වූ අතර පරමාණුක බල ශක්තිය පිළිබඳ අධ්‍යයනයක් සඳහා දායක වන්නට පීටර් හට ආරාධනයක් ලැබුණු බැවින් ඔවුහු එංගලන්තය අතහැර කැනඩාව කරා පිටත්ව ගියහ. 

බ්‍රෙන්ඩා මිල්නර් සිය ක්ෂේත්‍රයේ අතිමහත් ජනාදරයට පත්වන්නට එක් සුවිශේෂී සිදුවීමක් ඉවහල් විය. ‛එච්.එම්’ යන නමින් පමණක් දැන සිටි එක්තරා පුද්ගලයෙක් 1955 වසරේදී සිය මොලයේ කොටසක් ඉවත්කිරීමේ ශල්‍යකර්මයකට සූදානම්වෙමින් සිටියේය. මෙම ශල්‍යකර්මයේ ප්‍රතිඵලය වූයේ ඔහුගේ කෙටිකාලීන මතකය අහිමි වීමය. පෙර සිදුවූ කිසිවක් ඔහුට මතකයට නගා ගත නොහැකි විය. ඔහුගේ මෙම තත්වය අවබෝධ කොටගත් ඇය සිදු කළේ මේ පිළිබඳ පර්යේෂණයක් ආරම්භකිරීමය. ඇයගේ මෙම පර්යේෂණය තුළින් ඔහුගේ කෙටිකාලීන මතකය නැව වර්ධනය කරවන්නට හැකියාව ලැබිණි. මෙම සිදුවීමත් සමඟ ඇය සිය ක්ෂේත්‍රය තුළ ලෝක ප්‍රකට කාන්තාවක බවට පත් වූවාය. 

98 හැවිරිදි වියෙහි පසුවන ඇයගේ මතකය අංශු මාත්‍රයකින් හෝ හෝ අඩු වුණු බවක් පෙනෙන්නට නැත. ඇය සිය කුඩා සමයේ සිදු වූ සියලු සිදුවීම තවමත් කිසිදු අඩුවක් නොමැතිව මෙනෙහි කරන්නට සමත්ය. වයස 98ක්ව සිටියදී පවා ඇගේ බලාපොරොත්තුව මිනිස් වර්ගයා වෙනුවෙන් කුමක් හෝ සුවිශේෂී කාර්යභාරයක් කිරීමය. කරයි.  තමා වයස්ගත බැව් හැඟෙන්නට පටන් ගත් දින සිටම වැඩපළ කිරීමට නොහැකි යැයි සිතන බොහෝ කාන්තාවන්ට පමණක් නොව පිරිමින්ට ද ඇය ආදර්ශයක්ම වන්නීය. 



6 comments:

  1. Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි

      Delete
  2. බොහොම අපූරු විස්තරයක් ..!!

    ඇය ගොඩාක් වාසනාවන්තයි. ඒ වගේම මේ මෙහෙවර තවත් කාලයක් සිදු කරන්නට ඇයට හැකිවේවායි පතනවා ..!!

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න