පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, October 13, 2016

මනමාලකම ඉහවහා යාමෙන් ඉල්ලං කාපු පිරිමි

මැද ඉන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්

ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති තරගයට සටන් වැදී සිටිනවුන් අතරින් පෙරමුණේ වැජඹෙන අපේක්ෂකයෙක් ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළ හැකිය. ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව ප්‍රබලව අදහස් දැක්වීම නිසා ඔහුට එරට බහුතරයකගේ කැමැත්ත පළවෙමින් තිබිණි. නමුත් හදිසියේ ඔහුගේ වාසනාව කණපිට පෙරළෙමින් පවතීදෝ වැනි සැකයක් ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබෙමින් පවතී. ඒ ගැහැනුන් සම්බන්ධව ඔහුට ඇති ඉතිහාසය කිසිසේතම යහපත් නොවන බව කෙමෙන් ආරංචි වීම නිසාය. 

ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳ දැනගන්නට ලැබෙන තොරතුරුවලට අනුව ඔහු දැඩි කාන්තාලෝලියෙකි (කාන්තාලෝලීන් ගැන කියවන්න). විවිධාකාරයෙන් කාන්තාවන් සමඟ ඔහු පෙනී සිට ඇති ඡායාරූප බොහෝ පවතී. කාන්තාවන් පිළිබඳ ඔහු පළ කොට ඇති අදහස් අතුරින් සියල්ලම පාහේ ලිංගිකත්වය හා සම්බන්ධ ඒවාය. එක් අවසථාවකදී ඔහු ප්‍රකාශ කොට තිබුණේ ගැහැනුන් යනු වින්දනය සඳහා සිටින පිරිසක් පමණක් බවය. ගැහැනුන් යනු ලිංගික කටයුතු සඳහා යොදාගන්නා භාණ්ඩ වර්ගයක් මිස මනුෂ්‍ය වර්ගයට අයත් කිසිවකුත් නොවන බව තමාට හැඟෙන්නේ යැයි ඔහු තවත් අවස්ථාවක ප්‍රකාශ කොට තිබිණි. ඔහුගේ මෙවැනි අදහස් පිළිබඳ දැනගන්නට ලැබුණු මුල් අවධියේ බොහෝ දෙනෙක් සිතුවේ මේවා හුදු විනෝදාශ්වාදය සඳහා පමණක් ඉදිරිපත් කරන ඒවා පමණක් ලෙස වුව ද ඒවා එසේ නොවන බැව් මේ වන විට හොඳින්ම පැහැදිලි වී තිබේ. ඔහු සිට ජීවිතය පුරාම සිදු කොට ඇත්තේ විවිධාකාරයෙන් කාන්තාවන්ට අතවරකිරීම, හිංසාකිරීම ආදිය බව පැවසේ. මේ හිංසනයන්ට සහ අතවරයන්ට අමතරව ඔහු ගැහැනුන්ව නිර්දය ලෙස අපහාසයට ද ලක්කොට තිබේ. මෙම මැතිවරණ කටයුතු අතරවාරයේ ඔහු එක් අවස්ථාවක එරට ප්‍රහසන රංගන ශිල්පිනියක වන රෝස් ඕ‛ඩොනල්ඩ්ව හඳුන්වා ඇත්තේ “පිළිකුල් සහගත කැත ඊරියක්’ ලෙසිනි. රූපරාජිනි තරග පැවැත්වෙන අවස්ථාවන් සඳහා ඔහුට ඇරයුම් ලැබුණු අවස්ථාවලදී එම තරගකාරියන් ඇදුම් මාරු කරන කාමරවලට ඇතුළුවීමේ පුරුද්දක් ඔහු තුළ පැවති බව ද දැනගන්නට ලැබී තිබේ. මේ ආකාරයට ඔහු පිළිබඳ දිනෙන් දින දැනගන්නට ලැබෙන ආරංචි එතරම් සුබදායක නැත. ඔහුට එරට කාන්තාවන් සිය ඡන්දයෙන් කුමනාකාරයෙන් සළකනු ඇත්ද යන්න පිළිබඳ සහතිකයක් දැනටම පළවී ඇති බැව් බොහෝ මාධ්‍ය පවසයි. 


ගැහැනු සම්බන්ධ මෙවැනි ගැටලු නිසා ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇතැම් විට සිට ජනපති සිහිනය සැබෑ කරගන්නට අවස්ථාව නොලැබෙන්නට ද පුළුවන. මේ පිළිබඳ තවමත් නිවැරදි තක්සේරුවක් ලබාදීමට නොහැකි වුව ද එවැන්නක් සිදුවන්නට ඉඩක් නැතැයි කිව නොහැකිය. කෙසේ වෙතත් ගැහැනුන් සම්බන්ධ කටයුතු නිසා සිය ජීවිතය, නම ‛කැත’ කරගත් පිරිමින් ලෙස දැනගන්නට ලැබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් පමණක්ම නොවේ. ලෝක ඉතිහාසයේ එවැනි පිරිමි බොහෝ දෙනෙක් සිටිති. කාන්තාලෝලීන් පිළිබඳ සඳහන්කළ පමණින් බොහෝ දෙනෙකුට ඇතැම් විට ‛රස්පුටින්’(රස්පුටින් ගැන කියවන්න) යන නාමය මතක් විය හැකිය. නමුත් මෙවැනි සිදුවීම් පිළිබඳ නිදසුන් සෙවීම  සඳහා අපට රස්පුටින්ගේ යුගය තරම් බොහෝ ඈත අතීතයකට ගමන් කරන්නට සිදුවන්නේ නැත. 

බිල් සහ මොනිකා

මෙවර ඇමරිකානු ජනපති තරගයට ඉදිරිපත්ව සිටිව හිලරි ක්ලින්ටන්ගේ සැමියා වන බිල් ක්ලින්ටන්ගෙන්ම අපට මේ පිළිබඳ කතාව ආරම්භ කළ හැකිය. එවකට 49 හැවිරිදි වූ ඔහු සිය ජනපතිධූරයේ සිටි සමයේ ධවල මන්දිරයේ සිටි 22 හැවිරිදි සේවිකාවක වූ මොනිකා ලෙවින්ස්කි සමඟ පැවත්වූ ලිංගික සම්බන්ධතා නිසා ඔහු කෙරෙහි තිබුණු ජනප්‍රසාදය ශීඝ්‍රයෙන් පහළ ගියේය. ඔහු අමරිකාවේ ජනපතිවරයා ලෙසට පත්ව එරට වැසියන් අතර ඉමහත් ජනාදරයක් දිනාගන්නට සමත්ව සිටි නායකයෙක් විය. නමුත් මොනිකා නිසා අපවාදයට පත් ඔහු අදටත් අවලංගු කාසියක් බවට පත්ව සිටී. 

ටයිගර් වුඩ්ස්

ටයිටර් වුඩ්ස් යනු ඇමරිකානු ජාතික, ලෝක ප්‍රකට ගොල්ෆ් ක්‍රිඩකයෙකි. මාධ්‍ය මගින් ඔහු ක්‍රීඩකයකු ලෙස කීර්ති නාමයක් දිනාගෙන සිටිය ද හිටිහැටියේ ඔහුගේ පෞද්ලලික ජීවිතය පිළිබඳ ආරංචි ලැබීම නිසා ඔහුගේ කීර්තිනාමය කෙටි කලකින්ම විනාශ වී ගියේය. ක්‍රීඩා ඉතිහාසයේ දරුණුතම ලිංගික අපවාදයට ලක්ව සිටින්නේ ඔහු යැයි පැවසේ. ඔහුට එල්ල වී තිබුණු ප්‍රබලතම චෝදනාව වූයේ ගැහැනුන් රවටමින් සිය ලිංගික අවශ්‍යතාවයන් ඉටුකරගත් පුද්ගලයෙක් ලෙසිනි. ඔහු විසින් රවටා ඇති ගැහැනුන් ගණන 1 -2 ක් හෝ 10 - 15 ක් නොවේ. ගැහැනුන් 120 දෙනෙකු පමණ ඔහුගේ රැවටීමට ලක්ව ඇති බැව් පැවසේ. 

මයිකල් වික්

මයිකල් වික් යනු 1980 ගණන් වල සිටි ලෝක ප්‍රකට පාපන්දු ක්‍රීඩකයෙකි. පාපන්දු ක්‍රීඩව තුළින් ලෝකය පුරා ඉමහත් කීර්තියක රන්දාගෙන සිටිය ද ඔහු සොන්යා එලියට් නමැති සෞඛ්‍ය සේවිකාවක් සමඟ අනියම් සබඳතාවයක් පැවැත්වූ බවට ඇය විසින් ලෝකය හමුවේ නිරාවරණය කිරීමත් සමඟ ඔහුගේ බිඳවැටීම ආරම්භ විය. ඇය චෝදනා කොට සිටියේ එපමණක් නොවේ. ඔහු සමඟ පැවැත්වූ අනාරක්ෂිත ලිංගික සබඳතාවයේ ප්‍රතිඵලයක් පෙස තමාට ‛හර්පීස්’ නම් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගය ද වැළඳුණු බවය. 

චාර්ල්ස් සහ කැමිලා

බ්‍රිතාන්‍ය මහ රැජිනගෙන් පසුව ඔටුන්නට හිමිකම් පැවසූ චාර්ල්ස් කුමරුට එය අහිමිවන්නට හේතුව ද ඩයනා කුමරිය සමඟ ඔහු විවාහ වී සිටියදීම කැමිලා පාකර් සමඟ පවත්වන ලද අනියම් සබඳතාවය බව ලොවම දන්නා කරුණකි. මේ සිදුවීම නිසා එකල ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ චාර්ල්ස් කුමරු ඉමහත් අපවාදයන්ට ලක්විය. ඩයනා කුමරියගේ මරණයෙන් පසු ඔහු සිය අනියම් පෙම්වතිය වූ කැමිලා පාකර් හා විවාහ වුව ද ඔහුට කිසිදා කිරුළ නම් හිමි නොවනු ඇති බව සඳහන් කළ හැකිය.

ආර්නෝල්ඩ්

ආර්නෝල්ඩ් ස්වාසනගර් යනු සුප්‍රකට හොලිවුඩ් නළුවකු සේම ඇමරිකානු දේශපාලඥයෙකි. බොහෝ නළුවන්ට නොමැති දෙයක් ඔහුට හිමිව තිබිණි. ඒ සාර්ථක විවාහ ජීවිතයකි. ඔහු සිය බිරිඳ මාරියා ෂ්‍රීවර් සහ දරුවන් සමඟ වසර 25ක ප්‍රිතිමත් විවාහ ජීවිතයක් ගත කළේය. නමුත් රිදී තිරයේදී ලෝකය විවිධ දරුණු උපද්‍රවවලින් ගළවාගන්නට සමත් වූ ඔහුට සිය පවුල් ජීවිතය ගළවාගන්නට හැකියාවක් තිබුණේ නැත. ඒ සිය නිවසේ සේවිකාව සමඟ කාලයක් තිස්සේ ඔහු පවත්වාගෙන ආ අනියම් සබඳතාවය සිය බිරිඳට හසුවීමෙන් පසු එය මුළු ලෝකයේම පැතිර ගිය බැවිනි. එතැනින්ම ඔහුගේ ජීවිතයේ කඩා වැටෙන්නට පටන් ගත්තේය. 

මේ ලැයිස්තුව මෙසේ අවසන් කළ නොහැක. කෙසේ නමුත් ලෝක ඉතිහාසය පවසන්නේ ලිංගික අපවාදයන්ට ලක්වූ කිසිදු පුද්ගලයකුට තවදුරටත් සිය කීර්තිය එකසේ රඳාගන්නට හැකියාවක් නොමැති වූ බවය. මේ ධර්මතාවය ඩොනල්ඩ් ට්‍රම්ප්ට ද එකසේ සාධාරණ ද නැත්ද යන්න නොබෝ දිනකින් දැකබලා ගත හැකිවනු ඇත. 

3 comments:

  1. හොදද කියලත් අහනවා.....ඉතා හොදයි....

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරයි ඇත්ත වශයෙන්ම

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න