පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, January 26, 2017

හොරු හතලිහක් නැති අලිබාබා - Alibaba and Jack Ma


අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අළෙවිය සිදු කරන ලෝක ප්‍රකට අලිබාබාසමාගමේ හිමිකරු වන ජැක් මා ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු සිදු කිරීමේ කැමැත්තෙන් පසු වන බව පසුගිය දා පවසා සිටියේය. ඔහු එසේ පවසා සිටියේ පසුගිය 18 වැනිදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හිදී ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය රවි කරුණානායක හමුවූ අවස්ථාවේදීය. ජැක් මා වැඩිදුරටත් පවසා සිටියේ තමා ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කරන බවය.

අන්තර්ජාලය ඔස්සේ විවිධ භාණ්ඩ මිලදී ගනු ලබන ශ්‍රී ලාංකිකයන් හැරුණු කොට අලිබාබා නම් සමාගමක් පිළිබඳ මෙයට පෙර අසා ඇති වෙනත් අය සිටියේ නම් ඒ කලාතුරකින් විය හැකිය. බහුතරයක් දෙනා මේ නම අසා තිබුණ ද ඒ සමාගමක් ලෙස නොව අරාබි නිසොල්ලාසයේ එන එක්තරා සුප්‍රකට කතාවක් වූ අලි බාබා සහ හොරු හතලිහලෙසිනි. කෙසේ නමුත් ජැක් මා සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයාගේ හමුවෙන් පසු අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගන්නවුන් හැරුණු විට තවත් බොහෝ දෙනෙක් අලිබාබා නම් සමාගමක් ඇති බව දැනගත්තේය. එය අපේ රටේ ව්‍යාපාර ආරම්භ කරන්නට පැමිණෙන බවත්, ඒ ඔස්සේ අලුත් රැකියා බොහෝ සංඛ්‍යාවක් ඇතිවන බවත් දැනගත්තේය. මේ නිසා හොරු හතළිහ කෙසේ වෙතත් අලිබාබා සමාගම පිළිබඳ දැන සිටීම නම් බොහෝ සෙයින් වැදගත් වනු ඇත.

අලිබාබා යනු අන්තර්ජාලය ඔස්සේ වෙළෙඳ කටයුතු සිදු කරන චීන සමාගමකි.  1999 වසරේදී ජැක් මා විසින් Alibaba.com    වෙබ් අඩවිය පිහිටුවමින් මෙම සමාගම ආරම්භ කරන ලදී. චීනයේ විවිධ නිෂ්පාදකයන්ගේ භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ සමස්ත ලෝකයටම අළෙවි කිරීම මෙම සමාගමේ අරමුණ විය. මෙහිදී අනෙක් සෑම අන්තර්ජාල වෙළෙඳ පළකදී මෙන් මෙහි ද ගනුදෙනුකරුවා සහ අළෙවි කරන්නා අතර භෞතික හමුවීමක් සිදු නොවන අතර සියලු ගනුදෙනු අන්තර්ජාලය හරහාම සිදු වෙයි. ඇණවුම් කරන ලද භාණ්ඩය ගමනාන්තයට අනුව නිශ්චිත දින ගණනක් තුළ ගැනුම්කරුවා වෙත තැපෑලෙන් යැවෙයි. සියලුම පාහේ අන්තර්ජාල ගනුදෙනු සිදු වන්නේ මේ ආකාරයටය. 2012 වසරේදී අලිබාබා සමාගම විසින්  ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.1 ක අළෙවි කටයුතු සිදු කොට තිබූ අතර ඒ වන විට ඔවුන්ගේ ස්වදේශීය (චීන) නොවන සැපයුම්කරුවන්ගේ සංඛ්‍යාව ස්වදේශීය සැපයුම්කරුවන් ඉක්මවා තිබුණු බව ද වාර්තා වේ. කෙසේ වෙතත් ඔවුන් ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වූයේ චීනය මූලික කොටගෙනය. 2016 අප්‍රේල් මාසය වන විට ලෝකයේ එතෙක් පැවති විශාලතම අන්තර්ජාල වෙළෙඳ පළ වූ  වෝල්මාර්ට් (Walmart) ද පසුකර යමින් මෙය පෙරමුණට පැමිණියේය.

ජැක් මා

මෙම සමාගමට අලිබාබායන නම ලැබුණු ආකාරය පසුපස ඇත්තේ ද අපූරු කතාවකි. එය මෙහි නිර්මාතෘ ජැක් මා ගේ වචනයෙන්ම මෙසේය.

දවසක් මම මැලේසියාවේ වැඩකට ගිහින් කෝපි එකක් පානය කරමින් ඉන්න අතරේ මගේ සමාගමට හොඳම නම මොකක්ද කියලා හිතමින් හිටියා. එකපාරටම මට හිතුණා අලිබාබා කියන නම හොඳයි කියලා. මෙහෙම ඉන්න කොට වේටර්වරිය එතැනට ආවා. මම ඇහුවා ඔබ අලිබාබා ගැන දන්නවද?’ කියලා. නැතුව. අර දොර ඇරේවා කියලා කියන කතාව නේද?’ කියලා ඇය මගෙන් ඇහුවා. මම හිතුවා මේක තමයි නියම නම කියලා. ඉන් පස්සේ මම පාරේ ඇවිදින ගමන් ලෝකයේ එක එක රටවලින් ආපු තිස් දෙනෙකුගෙන් විතර ඇහුවා අලිබාබා ගැන දන්නවද කියලා. ඔවුන් කිව්වා දොර ඇරේවා කියන කතාව නේද, තමන්ට ලැබුණු ධනයෙන් ගමේ මිනිස්සුන්ට උදව් කළ හොඳ මනුස්සයෙක් නේද?’  වගේ කතා. මම දැනගත්තා ලෝකයේ ඕන කෙනෙක් මේ නම දන්න බව. අනෙක ඒ නිසාම උච්චාරණයත් පහසුවෙන් සිද්ධ වෙනවා. අවසානයේ මේ නම ලියාපදිංචි කළා. නමේ මොකක් හෝ නීතිමය ගැටලුවක් ආවොත් කියලා අලිමාමාකියන නමත් ලියාපදිංචි කළා.

අප රටේ ආයෝජනය කරන්නට ඔහු එක පයින් කැමැත්ත ප්‍රකාශ කළ බැවින් මේ දැවැන්ත ව්‍යාපාරයේ නිර්මාතෘ වන ජැක් මා පිළිබඳව ද අප කතා කළ යුතුමය.

1964 සැප්තැම්බර් 10 වැනිදා චීනයේ උපත ලද ජැක් මාගේ සැබෑ නම වන්නේ මා යුන්ය. ෆෝර්බීස් නම් ලෝකයේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවේ සඟරාවේ කවරයක් පළ කෙරුණු මුල්ම චීන ජාතික ව්‍යාපාරිකයා වන්නේ ද ජැක් මා ය.

ජැක් මා ගේ කුඩා කල සිටම කැමැත්ත වූයේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම වූ අතර ඔහුගේ උපන් ප්‍රදේශයෙන් සැතපුම් 100ක් පමණ දුරින් වූ  හැංග්ෂු හෝටලයට පැමිණි විදේශිකයන් සමග ඉංග්‍රීසියෙන් කතා කරමින් සිය භාෂා දැනුම දියුණු කරගන්නට උත්සාහ ගත්තේය. ඔහු විදේශිකයන්ව නොමිලයේ නගරයේ තැන් තැන්වලට කැටිව යමින් ඔවුන් සමඟ ඉංග්‍රීසි බසින් කතා කරන්නට උත්සුක වූවේය. විදේශිකයන් බොහොමයකට ඔහුගේ නම උච්චාරණය කරන්නට දුෂ්කර වූ බැවින් බොහෝ දෙනෙක් අතර ඔහු ප්‍රසිද්ධියට පත් වූයේ ජැක්නමිනි. අවසානයේ ඔහුගේ නිල නාමයබවට එය පත් විය. වසර හතරක් උත්සාහ කිරීමෙන් පසු ඔහුට හැංග්ෂු ගුරු පුහුණු පාසලට ඇතුළත් වීමේ අවස්ථාව හිමි විය. 1988 වසරේදී ඉංග්‍රීසි බසින්  ශාස්ත්‍රවේදී උපාධියක් හිමි කරගත් ඔහු ඉංග්‍රීසි ගුරු රැකියාවක් සොයා ගත්තේය. ඒ අතරේ බීජිං නුවර මූලික කරගත් චෙන්කොන් විද්‍යාලයෙන් ව්‍යාපාරික උපාධියක්  ද හිමිකර ගත්තේය. උපාධිය හිමි කරගැනීමෙන් පසු ඔහු විවිධ රැකියාවන් 30කට අධික සංඛ්‍යාවකට අයැදුම් කළ මුත් ඒ සියල්ලෙන්ම ඔහුව ප්‍රතික්ෂේප විය. එක් අවස්ථාවකදී එක් ආයතනයකට  පැමිණි සිටි අයැදුම්කරුවන්ගේ සංඛ්‍යාව 24ක් වූ අතර එයින් 23කටම එහි රැකියා හිමි වූ අතර ප්‍රතික්ෂේප වූ එකම පුද්ගලයා ජැක් මා විය. ඔහු හාවඩ්ර්ඩ් සරසවියට දස වතාවක් ඉල්ලුම් කළ අතර ඒ සියල්ල ප්‍රතික්ෂේප විය.

1994 වසරේදී ඔහුට අන්තර්ජාලය පිළිබඳ අසන්නට ලැබිණි. 1995 වසරේදී ඔහු සිය මිතුරකු සමඟ ඇමරිකාවට ගියේ ඒ පිළිබඳව දැනුමක් ලබාගැනීමේ අරමුණිනි. ඔවුන් දෙදෙනා එක්ව අනත්ර්ජාලය ඔස්සේ beer යනුවෙන් සෙවීමක් සිදු කළ අතර එහිදී ලෝකයේ බොහෝ රටවලින් ඒ පිළිබඳව තොරතුරු පෙන්නුම් කළේය. නමුත් චීනයෙක් කිසිදු තොරතුරක් පෙන්නුම් කළේ නැත. ඉන්පසු ඔවුන් චීනය පිළිබඳ සෙවුමක් කළ මුත් පුදුමයකට මෙන් ඒ පිළිබඳව ද කිසිදු තොරතුරක් පෙන්නුම් කළේ නැත. ඉන් පසුව ඔවුහු චීනය පිළිබඳ තොරතුරු අඩංගු කිසිදු පෙනුමක් නොමැති වෙබ් අඩවියක් නිර්මාණය කළහ. එය අන්තර්ජාලයට මුදා හැර පැය පහක් ඇතුළත් ඔහුට බොහෝ චීන ජාතිකයන්ගෙන් ඊමේල් පණිවිඩ ලැබිණි. අන්තර්ජාලය යනු ව්‍යාපාර සඳහා කදිම ස්ථානයක් බව ඔහුට අවබෝධ වූයේ ඒ අවස්ථාවේදීය.


ශැන්ජ් යිංග් 

1995 වසරේදී විවිධ අයගෙන් ණයට ගත් ඇමරිකානු ඩොලර් 20,000 කින් ඔහුත්, බිරිඳත් (ශැන්ජ් යිංග්), මිතුරකුත් එක්ව වෙබ් අඩවි නිර්මාණය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළහ. ඔහු China Yellow Pages එය ලෙස නම් කළේය. වසර තුනක් ඇතුළත ඔවුහු ඇමරිකානු ඩොලර් ලක්ෂ අටක ආදායමක් ඉපැයූහ.  මේ ආකාරයට අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර ආරම්භ කළ ඔහු අද ලෝකයේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙක් බවට පත් ව තිබේ.

ශැන්ජ් යිංග් සමඟ විවාහ වී සිටින ඔහුට පුතකු සහ දියණියක සිටී. ජැක් මා ට සිය බිරිඳ වන ශැන්ජ් යිංග් හමුවූයේ ඔහු හැංග්ෂු විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි කාලයේය. උපාධිය ලබාගැනීමෙන් පසු ඔවුහු ගුරුවරුන් ලෙස ජීවිතය ආරම්භ කළහ.


ජීවිතයේ විවිධ බාධක ඔස්සේ ලෝකයේ ප්‍රමුඛතම ව්‍යාපාරයක් බවට පත්වුණු අලිබාබා සමාගම අප රටේ ආයෝජනයට සැබැවින්ම පැමිණෙන්නේ නම් එයින් අප රටේ රැකියා විරහිත තරුණ තරුණියන්ට ඉමහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානය. මේ තත්වය සාර්ථකව අත්පත් කරගන්නට අප රටේ පාලකයන් ක්‍රියාත්මක වනු ඇතැයි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි යහපත් අපේක්ෂාවෙන් පසු වන්නෙමු. 

6 comments:

  1. ape deshapremin tika okatath kagahayi dan ne?

    ReplyDelete
    Replies
    1. දේශප්‍රේමය කොහොම වෙතත් ජැක් මා ගේ චරිතය නම් අපි හැමෝටම වැදගත්. අපේ රටෙන් ජැක් මා වගේ කට්ටිය බිහි වෙන්නයි අවශ්‍ය. එතකොට දේශප්‍රේමය ඉබේම ඇති වෙයි.

      Delete
  2. ජැක් මා දක්ෂයෙක් නිකම්ම වචනෙ කීවට ඔහු එනනේ නෑ..ඇත්තම කතාව ආයෝජනයට සුදුසු වටපිටාවක් ලංකාව තුල නැහැ.. තිබෙනවා යැයි කීවත් එම හැකියාව එන්න එන්නම අපේ අඩු වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. සමහර විට කියන්න ඇත්තේ සළකා බලන්නම් වගේ දෙයක් වෙන්න ඇති.

      Delete
  3. ජැකා එනව නං ඇත්තටම හොදයි
    ඒත් අර කිව්ව වගේ එක පයිං නං එන්නැතිවෙයි
    මුට්ටිය දාල බලයි අන්වා

    ReplyDelete
    Replies
    1. ඔබ ඉන්න අදහසේම තමයි මමත් ඉන්නේ. එනවා නම් හොඳයි. ඒත් අපේ දේශපාලුවෝ වගේ මේ මනුස්සයා මෝඩ නැහැ නේ. ඉතිං මොලේ කල්පනා කරලා තමයි කරන දෙයක් කරන්නේ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න