පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, November 27, 2017

මනුෂි චිලර් - 2017 ලෝක රූ රැජින කිරුළ ඉන්දියාවට


2017 වසර අවසන් වී 2018 වසර එළඹෙන්නේ ඉන්දියාව ඉමහත් සතුටක ගිල්වමින් බව කීවොත් එහි වරදක් නැත. ඒ අන් කිසිවක් නිසා නොව චීනයේ සන්යා සිටි ඇරීනාහි දී 2017 නොවැම්බර් 18 වැනිදා පවත්වන්නට යෙදුණු ලෝක රූ රැජින තරගයෙන් තරගකාරියන් 118 දෙනෙකු අභිබවමින් 2017 ලෝක රූ රැජින ඉන්දියාවෙන් බිහි වීම නිසා ය. ඈ නමින් මනුෂී චිලර්ය. ඉන්දියාවෙන් ලෝක රූ රැජිනක් මෙසේ බිහිවන්නේ වසර 17 කට පසුව ය. 2017 වසර අවසන් වෙමින් තිබිය දී ඉන්දියාව ලද මේ ජයග්‍රහණය ඔවුන්ට මහමෙරක් තරම් වටින්නේ මේ නිසා ය.

මනුෂී චිලර් වෛද්‍ය ශිෂ්‍යාවකි. මෝස්තර නිරූපණ ශිල්පිනියකි. එමෙන්ම කිවිඳියකි. 1997 මැයි 14 වැනිදා උපන් ඇය මෙයට පෙර ඉන්දියාව තුළ පවත්වන ලද ෆෙමිනා රූ රැජින තරගය ද ජයග්‍රහණය කළාය. ඇගේ මේ ජයග්‍රහණය සමගින් ඉන්දියාව මෙතෙක් බිහි කළ ලෝක රූ රාජිනියන් සංඛ්‍යාව හයකි.



ඉන්දියාවෙන් මුලින්ම රූ රැජිනක් බිහි වන්නේ 1966 වසරේ ය. ඒ රීටා ෆාරියා ය. ඉන්පසු 1994 වසරේ දී අයිෂ්වර්යා රායි ලෝක රූ රැජින වූවා ය. 1997 වසරේ දී ඉන්දියාව තවත් රූ රැජිනක් ලොවට දායාද කළ අතර ඈ නමින් ඩයනා හේඩ්න් ය. යුක්තා මූකී ලෝක රූ රැජින වෙමින් 1999 වසරේ දී ඉන්දියාව තවත් වතාවක් ලෝකය අමන්දාන්දයට පත් කළාය.  ඉන් පසු ලෝක රූ රැජිනක් ඉන්දියාවෙන් බිහිවන්නේ 2000 වසරේ දී ය. ඇය ප්‍රියංකා චොප්රා ය. මනූෂි චිලර් ලෝක රූ රැජින වන්නේ ඉන් වසර 17 කට පසුව ය.

රීටා ෆාරියා

අයිශ්වර්යා

ඩයනා හේඩ්න්

යුක්තා මුඛි
ප්‍රියංකා

මනූෂි චිලර් ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ගොවි පවුලක තරුණියකි. පරම්පරාවෙන් ගොවි පවුලක වුව ද ඇගේ පියා වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. ඔහු නමින් මිත්‍ර බාසු චිලර් ය. ඔහු ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානයේ විද්‍යාඥයකු ද වන්නේ ය. මනූෂිගේ මව නීලම් චිලර් ද වෛද්‍යවරියකි. ඇය මානව චර්යා සහ අනුබද්ධ විද්‍යා ආයතනයේ මහාචාර්යවරියක සේම ස්නායු රසායන විද්‍යා අංශයේ අංශාධිපතිනිය ද වන්නී ය. මේ අනුව මනූෂිගේ පවුල එසේ මෙසේ පවුලක් නොවන බව පැහැදිලි ය.

මව සහ පියා සමග

නවදිල්ලියේ සාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය හැදැරූ මනූෂි සිය දෙමාපියන්ගේ අඩි පාරේ යමින් වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස සෝනිපත් හි පිහිටි කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ භගත් පූල් සිං රජයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වූවා ය. මනූෂි හොදින් පුහුණු වූ කුචිපුඩි නර්තන ශිල්පිනියක් ද වන්නී ය. කුචිපුඩි යනු ඉන්දියාවේ සාම්ප්‍රදායික නර්තනයන් සතෙන් එකකි. ඇය 2017 වසරේ ෆෙමිනා ඉන්දීය රූ රැජින තරගයට සහභාගී වන්නේ හර්යානා ප්‍රාන්තය නියෝජනය කරමිනි.

ලෝක රූ රැජින තරගයක අවසන් වටයේ දී ජයග්‍රහණය මග පෙන්වන්නේ තරගකාරියන්ගේ බාහිර පෙනුම පමණක්ම නොවේ. ඔවුන් ලෝකය දකින බුද්ධිමත් ආකාරය ද මෙයට බලපාන්නේය. මනුෂී ට ද එය පොදුය. ඇයට මේ ජයග්‍රහණය හිමි කර දුන්නේ ඈ මාතෘත්වය සහ කාන්තාවන් පිළිබඳ පළ කළ බුද්ධිමත් අදහස් නිසාය. මනූෂි අවසන් ජයග්‍රාහිකාවන් පස් දෙනා අතර සිටිද්දී ඇගෙන් පැනයක් අසනු ලැබිණි. ඇගෙන් අසනු ලැබූයේ ඉහලම වැටුපක් හිමි විය යුත්තේ කුමන වෘත්තියට ද යන්න ය. ඇය පිළිතුරු දෙමින් පවසා සිටියේ මාතෘත්වයට යන්න ය. එය මුදලින් මැනිය නොහැකි බවත්, එය මැනිය හැක්කේ ආදරය සහ ගෞරවය යන මිනිස් ගුණාංගයන්ගෙන් බවත් ඇය පවසා සිටියා ය. තමාගේ ජීවිතයේ ලද සියලු ජයග්‍රහණයන් පසුපස සිය මව සිටි බව ද ඇය මෙහි දී සිහිපත් කළාය. සෑම මවක්ම සිය දරුවන් වෙනුවෙන් ඉමහත් කැපවීමක් කරනා බව ද ඇය සඳහන් කළාය. ඉහළම වැටුප හිමි විය යුත්තේ මාතෘත්වයට යැයි ඇය හඩ නගා පවසා සිටියේ සවන් පිරී යන අනේක වූ ප්‍රේක්ෂක ප්‍රතිචාර රැසක් මැද්දේ ය. ඇගේ මේ ප්‍රකාශය ඇයට ලෝක රූ රැජින බවට පත්වන්නට මග එළි පෙහෙළි කළා පමණක් නොව ඇය ලෝකයේ සෑම දෙනෙකුගේම අතිශය ගෞරවයට පාත්‍ර වන්නට ද හේතුවක් විය.


මනුෂී චිලර් ලෝක රූ රැජින ලෙස කිරුළ පළඳද්දී දෙවෙනි තැනට මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මීසා ද තෙවැනි තැනට එංගලන්තයේ ස්ටෙෆානි හිල් ද පත් වූවා ය. මෙම තරගය සඳහා ශ්‍රී ලංකාවෙන් දුෂේනි සිල්වා ඉදිරිපත් වුව ද ඇයට අවසන් 40 දෙනා අතරට පැමිණීමට හෝ හැකියාවක් ලැබුණේ නැත.

ඉන්දියාවෙන් මෙතෙක් බිහි වූ ලෝක රූ රැජිනන්ට අමතරව විශ්ව රූ රැජිනන් ද බිහි වී තිබේ. ඒ 1994 දී සුස්මිතා සෙන් සහ 2000 දී ලාරා දත්තා වශයෙනි. මේ තරග දෙකෙහි ඇති වෙනස් කුමක් දැයි යමෙකුට සිතෙන්නට පුළුවන. ලෝක රූ රැජින තරගය 1951 දී එක්සත් රාජධානියේ එරික් මෝර්ලි විසින් ආරම්භ කරන ලද්දක් වන අතර එහි වර්තමාන හිමිකාරිත්වය දරන්නේ ඔහුගේ බිරිඳ වන ජුලියා මෝර්ලි ය. විශ්ව රූ රැජින තරගය 1952 දී ඇමරිකා එක්සත් ජනපදයේ රෙදිපිළි ව්‍යාපාරයක් වූ පැසිෆික් මිල්ස් මගින් ආරම්භ කරන ලද්දක් වන අතර එහි වර්තමාන හිමිකාරිත්වය දරන්නේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එන්.බී.සී. සමාගම වේ. මේ තරග දෙකෙන්ම ඉන්දියාවට බිහි වූ රූ රැජිනන්ගෙන් බොහෝ දෙනෙක් බොලිවුඩ් නිළියන් බවට පත් වූහ. නමුත් නිළියන් වශයෙන් අතිශය සාර්ථකත්වයට පත් වූයේ අයිශ්වර්යා සහ ප්‍රියංකා පමණි. ඩයනා හේඩ්න්, යුක්තා මූඛි, නිළියන් වන්නට උත්සාහ කළ ද ඔවුන්ගේ සිනමා නිර්මාණ සාර්ථක වූයේ නැත. විශ්ව රූ රැජිනන් බවට පත් වූ සුස්මිතා සෙන් සහ ලාරා දත්තා ද නිළියන් බවට පත් වූ මුත් එතරම් සාර්ථකත්වයක් හිමි වූයේ නැත. ඉන්දියාවේ මුල්ම ලෝක රූ රැජින වූ රීටා ෆාරියා මේ සඳහා මග විවර කර ගත්තේ මෝස්තර නිරූපණයෙනි. ඇය  සිනමාට සම්බන්ධ වූ නමුත් පසුව මේ සියල්ල අතහැර වෛද්‍යවරියක වූවා ය. ඇය දැනට අයර්ලන්තයේ ඩබ්ලින් හි වාසය කරන්නී ය.

සුස්මිතා සෙන්

ලාරා දත්තා


2017 වසරේ ලෝක රූ රැජින වූ මනුෂී චිලර් වෛද්‍ය ශිෂ්‍යාවකි. ඇයගේ දෙමාපියන් ද වෛද්‍යවරුන් ය. ඇය ඉන්දියාවේ නිසා බොලිවුඩ් සිනමාවෙන් ඇයට නිසැකවම ඇරයුම් ලැබෙනු ඇත. කෙසේ නමුත් ඇය අයිශ්වර්යා, ප්‍රියංකා ආදීන් ගේ මාවතේ යනු ඇති ද නැතහොත් රීටා ෆාරියා මෙන්ම වෛද්‍ය වෘත්තිය වෙනුවෙන් ජීවිතය කැප කරනු ඇති ද යන්න බොහෝ දෙනෙකු අසති. අනාගතය මේ සියල්ල තීරණය කරනු ඇත. 



3 comments:

  1. ඇත්තටම රූමත්කම හා උගත්කම එකට පිහිටන්නේ කලාතුරකින්. මනුෂි ඉන්දියාව තවදුරටත් ජාත්‍යන්තරයට ගෙනයාන්න කැපවේවි. 1994 අයිශ්වර්යා රායි බච්චන් ගෙන් ඇසුවේ ඔබට කාලය වෙනස කිරීමට හැකිවුවහොත් ඔබ කුමක් කරනවාද යන්නයි. එවිට ඇය පැවසුවේ මහත්මා ගාන්ධිගේ මරණය වලකාලන බවයි. අගේ ජයග්‍රහණය එතනයි.රූපය වගේම උගත්කමද එක ලෙස තිබිය යුතුයි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස සමග මා එකඟයි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න