පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, January 18, 2018

සල්ලිකාරයන්ගේ පිස්සු වියදම් - Crazy Purchases of Celebrities

ඇතැම් භාණ්ඩ මිලදී ගෙන වැඩි දවසක් ගත වන්නට පෙර, “අයියෝ අපරාදෙනේ මේකට මේ තරම් ගාණක් වියදම් කළේයැයි අපට සිතුණු වාර අනන්තය. මෙය බොහෝ දෙනෙක් අත් දැක ඇති දෙයක් බව අමුතුවෙන් සඳහන් කළ යුත්තක් නොවේ. එවැන්නක් බොහෝ විට අපට සිතෙන්නේ අපට යහමින් මුදල් නැති කම නිසා විය යුතුය. මුල මුදල් යහමින් අතේ ගැවසෙන අයට එවැන්නක් සිතෙන්නට ඉඩක් නැත. මේ නිසාම මුදලින් පොහොසත් ඇත්තෝ නොවටිනා, ප්‍රයෝජනයක් නොමැති දේවලට අධික ලෙස මුදල් වැය කරනු අප දැක තිබේ. මෙය බොහෝ දෙනෙකුට පොදුය. ලෝකයේ කීර්තිමත්, ප්‍රසිද්ධ පුද්ගලයෝ ද එසේමය. නමුත් ඔවුන් අධික මුදල් ගෙවා මිලදී ගෙන ඇත්තේ මොනවාදැයි අප දන්නේ නැත. මේ ලිපිය අවසන් වන තුරු කියවූ විට ඔබට තවදුරටත් එවැනි දේවල් ගැන දන්නේ නැතැයි කියන්නට හැකියාවක් නැත.

මයික් ටයිසන්ගේ බෙංගාලි කොටි




මයික් ටයිසන් යනු කවුරුන්දැයි කවුරුත් දනිති. දක්ෂ බොක්සිං ක්‍රීඩකයකු වන ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ බොක්සිං තරගයක් අතරතුර දී එවැන්ඩර් හෝලිෆීල්ඩ්ගේ කනෙන් කොටසක් කටින් කඩා ගත් නිසාය. මයික්වලින් නිතර කතා කරන්නට කැමති පුද්ගලයන්ට ද ගමේ ගොඩේ මයික් ටයිසන් යැයි කියනු ඇසේ. කෙසේ වෙතත් බොක්සිං ගසන මයික් ටයිසන් බෙංගාලි කොටි දෙදෙනෙකුව මිලට ගත්තේය. ඒ සඳහා ඔහුට ඇමරිකානු ඩොලර් 150,000 (රු. දෙකෝටි තිස් ලක්ෂයකට මඳක් වැඩිය) වැය විය. ඔවුන්ව නඩත්තු කිරීම සඳහා මසකට ඔහුට ඇමරිකානු ඩොලර් 4,000 (රු.ලක්ෂ හයකට ආසන්නය) මුදලක් වියදම් විය.



කොටි වෙනුවෙන් පමණක් නොව ඔහු සිය සනීපාරක්ෂාව වෙනුවෙන් ද ලෝබ නැතිව වියදම් කරන්නෙකි. එබැවින් හොඳින් නා ගැනීම සඳහා ඔහු බාත් ටබ්එකක් හෙවත් නාන බේසමක්මමිලට ගත්තේ ය. ඒ සඳහා ඔහු තෝරා ගත්තේ තනි රත්රන්වලින් නිමවන ලද නාන බේසමකි. ඔහු ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.3 (රු. මිලියන 354)කට වඩා වියදම් කළේ නැත.

නිකොලස් කේජ්ගේ අමුතු විනෝදාංශ



නිකොලස් කේජ් යනු හොලිවුඩයේ සුප්‍රකට ක්‍රියාදාම නළුවෙකි. ඔහු කිසි තේරුමක් නැති ආකාරයට සුරතල් සතුන් වෙනුවෙන් මුදල් වියදම් කරන්නෙකු යැයි බොහෝ දෙනෙකු පවසති. ඔහු ගැන විස්තර සොයා බැලීමේ දී ඒ බව ඇත්තක් යැයි පැහැදිලි වේ. අනෙක ඔහු සුරතල් සතුන් යැයි සිතන්නේ අප කවුරුත් දන්නා සුරතලුන් නම් නොවේ. ඔහු වරෙක කිං කෝබ්‍රානමින් හඳුන්වන නාගයන් දෙදෙනකු සුරතලුන් ලෙස හදා වඩා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් 275,000 (රුපියල් හාරකෝටි 23 ලක්ෂයකට ආසන්න) මුදලක් වැය කළේය. මොවුන් ලෝකයේ සිටින විෂ අධිකතම සතුන් ලෙස සලකනු ලැබේ. ඔහු ඔවුන් දෙදෙනාට මෝබිසහ ෂීබායන සුරතල් නම් දෙක ද තබා තිබේ. මොවුන් සුරතලුන් වුවත් කුමන් මොහොතක හෝ දෂ්ට කළහොත් යන සැකය නිසා ප්‍රතිවිෂ බෝතලයක් ද නිතරම ළඟ තබා ගෙන සිටියේය. කෙසේ නමුත් ඔහුගේ ආර්ථිකයේ යම් බිඳ වැටීමක් සිදු වූ බැවින් ඔහු මෙම සතුන් දෙදෙනා සත්වෝද්‍යානයකට පරිත්‍යාග කළේය.



නිකොලස් කේජ් තවත් අවස්ථාවක දී ඇමරිකානු ඩොලර් 276,000 (රුපියල් හාරකෝටි 25 ලක්ෂයකට ආසන්න) මුදලක් වැය කරමින් ඩයිනෝසරයකුගේ හිස් කබලක් මිලට ගත්තේ ය. ඔහු මෙය වෙන්දේසියක දී මිලට ගත් අතර ඒ සඳහා ඔහුට සිය මිතුරු නළුවකු වූ ලියොනඩෝ ඩි කැප්‍රියෝ සමග තරග කරන්නට ද සිදු විය. මෙය වසර මිලියන 67 ක් පැරණි හිස්කබලක් විය.


නිකොලස් කේජ් චිත්‍ර කතා කියවන්නට ද රුසියෙකි. ලෝකයේ ප්‍රකට චිත්‍ර කතා එකතුවක් ඔහු සතුව තිබේ. ඔහුගේ ආර්ථික බිඳ වැටෙන්නට පෙර ඔහු සතුව තිබූ මුළු චිත්‍ර කතා පොත්වල එකතුව  පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක් (රුපියල් මිලියන 246ක් පමණ) විය. එහි වටිනාකම ලොවට අනාවරණය වූයේ  ඔහු සිය ආර්ථික දුෂ්කරතාවලින් අස්වැසිල්ලක් ලබන්නට ඒ චිත්‍ර කතා පොත් වෙන්දේසි කළ අවස්ථාවේදීය.

පැරිස් හිලටන් ගේ බලු කූඩුව




පැරිස් හිල්ටන් යනු ඇමරිකානු ව්‍යාපාරික කාන්තාවකි. ලොව වටා වූ හිල්ටන් හෝටල් සමූහය ආරම්භ කළ කොනාර්ඩ් හිල්ටන්ගේ දියණියත් ඇයමය. ඇය බල්ලන්ට බොහෝ ඇලුම් කරන්නියකි. කුඩා බලු අනුරූ සිය පසුමිබියේ ද දමාගෙන යනු නිතර දැකිය හැකිය. ඒ සියල්ලම පසෙකින් තැබුවහොත් ඇය සිය මිල අධික සුඛෝපභෝගී මන්දිරයේම කුඩා අනුරුවක් සිය සුරතල් බල්ලන් වෙනුවෙන් පිළියෙල කොට දුන්නාය. එය කුඩා අනුරුවක් පමණක් නොව එහි කුඩා ලී බඩු, වායු සමීකරණ, තාපය ඇති කරන උපකරණ, පොකුරු පහනක් ආදී බොහෝ දේවල් අඩංගු ය. බොහෝ මිනිසුන්ට වඩා අධික සැප සම්පත් සහිතව බල්ලන්ට ජීවත් විය හැකි වන සේ තැනූ මේ කුඩා අනුරුව සඳහා ඇයට ඇමරිකානු ඩොලර් 325,000 (රු. කෝටි පහක් පමණ) වැය විය.

සෙලීන් ඩියොන් හා කටහඬ



සෙලීන් ඩියොන් ගැන අප රටේ බොහෝ දෙනෙකු දැනගත්තේ ටයිටැනික් චිත්‍රපටය නිර්මාණය වීමෙන් පසුවය. ඒ එම චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කරල ලද මයි හාර්ට් විල් ගෝ ඔන්ගීතයත් සමගිනි. මෙම චිත්‍රපටයෙන් පසුව ඇගේ හඬ ලෝකයේ මිල අධිකතම හඬක් බවට ද පත් විය. ඇය ඒය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බොහෝ වියදම් ද කළා ය. අවට වාතයේ තෙතමනය යම් මට්ටමක් රඳවා ගැනීම කටහඬ සුරක්ෂිත කර ගැනීමට ඉවහල් වනු ඇතැයි පැවසේ. ඇය ද එම උපදෙස් අනුගමනය කරමින් තෙතමනය පවත්වා ගැනීම සඳහා හියුමිඩිෆයර්උපකරණයක් මිලට ගත්තාය. සාමාන්‍යයෙන් එවැන්නක වටිනාකම ඩොලර් 20කට (රු. 3,000ක් පමණ) වඩා වැඩි වන්නේ නැත. නමුත් ඇය මිල අඩු ඒවා ගන්නේ නැති නිසා ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2ක් (රු. මිලයන 307 ක් පමණ) වැය කළාය. මෙය සාදා ඇත්තේ දියමන්තිවලින් දැයි එයින් පසුව බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන්නට වූහ.

7 comments:

  1. සුදු කැස්බෑවාත් ජනප්‍රිය වෙන්න ඇත්තේ මේ වගේ මිනිස්සු නිසා වෙන්න ඇති.. ඔච්චරටම තදට පිස්සුව නැතත් හැමෝම සල්ලි වැඩි වෙන්න වෙන්න ගෙවල් දොරවල් යාන වාහන එහෙම 'වැඩි මිලට' ගන්නේ රුපියල් 1200/- ට මාළු පාන් එහෙම කන්නෙත් මේ මනසිකත්වයෙන්ම වෙන්නොනි.. :)

    ReplyDelete
    Replies
    1. ඒක හරියටම හරි. විසිකරන්න සල්ලි තියෙන හැමෝටම වගේ මේ වගේ පිස්සු හැදෙනවා. අපට වුනත් අතේ සල්ලි තියෙන වෙලාවට නිකං බත් එකක් කන්නේ නැතිව ෆ්‍රයිඩ් රයිස් එකක් එහෙම කන්න සමහර වෙලාවට හිතෙන්නේ මම හිතන්නේ මේක මිනිස්සුන්ගේ ජානවලම තියෙන පිස්සුවක් නිසා වෙන්න ඇති.

      Delete
  2. බෙල්ලන්විල හාමුදුරුවොත් මේ ගනයට වැටේ කාටද ආඩම්බර

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් මට අදහසක් නැහැ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න