පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, March 13, 2018

අරුම පුදුම අවමංගල සිරිත් - Weird Funeral Rituals of the World


උපත වගේම මරණය කියන්නෙත් අපට ජීවිතයේ දී මුහුණ දෙන්න සිදුවෙන ස්වාභාවික සිදුවීම් දෙකක්. මේ අතර තමයි අප කාගෙත් ජීවිතය ගළාගෙන යන්නේ. මරණය කාටත් පොදු දෙයක් වුනත්, මරණින් පසු මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු කිරීම රටින් රටට, ජන වර්ගයේ හැටියට වෙනස් කම් තියෙනවා. අපේ රටෙත් අපට ඒ අත්දැකීම තිබෙනවා. ආගමික, සංස්කෘතික ආදී වෙනස් කම් තිබුණත් අප අත්දැක තියෙන අවමංගල්‍ය චාරිත්‍රවල අපට හිතාගන්න බැරි අසාමාන්‍ය දේවල් දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් ලෝකයක් විදියට සලකා බැලුවොත් එවැනි බොහෝ දේවල් හමුවෙනවා. මේ කියන්න යන්නේ එහෙම කතා ටිකක්.

මළසිරුර ගිජුලිහිණියන්ට පුදන ටිබෙට් වැසියෝ

Image Source - http://cloudmind.info/religion-26-unusual-death-rituals-from-around-the-world/


ටිබෙට් රටේ බෞද්ධයන් මිය ගිය පුද්ගලයන්ව භූමදානය කරන චාරිත්‍රය හඳුන්වන්නේ අහස් භූමිදානයනමින්. ඔවුන් මුලින්ම කරන්නේ මිය පුද්ගලයාගේ සිරුර කැබලි කිරීමයි. ඉන් පසු මිනිසුන්ගෙන් බොහෝ ඈත පිහිටි කඳු මුදුනකට ගොස් කුරුල්ලන්ට ආහාර සඳහා දමනවා. බොහෝ විට මෙවැනි කඳුකර ස්ථානවලට පැමිණෙන්නේ ගිජුලිහිණියන්. ලෝකයේ අන් ජාතීන්ට මෙය පිළිකුල් සහගත කතාවක් වුනත් ටිබෙට් බෞද්ධයන් සලකන්නේ මෙය මිය ගිය අයට සිදුකරන මහත් ගෞරවයක් ලෙසයි. ඔවුන් පෙට්ටිවල හෝ ස්මාරකවල දමා මළසිරුරු තබා ගන්නා ක්‍රම අනුගමනය කරන්නේ කරන්නේ නැහැ. ඔවුන් විශ්වාස කරන්නේ මරණින් පසු තම සිරුර තවත් කුමන සතකුගේ හෝ ආහාරයකට පත් කිරීම ඉතා උසස් කටයුත්තක් බවයි. අද ද ටිබෙට් බෞද්ධයන්ගෙන් සියයට අසූවකටත් වඩා මේ අවමංගල්‍යය චාරිත්‍රය අනුගමනය කරනවා.

මළවුන් එල්ලන චීන්නු

Image Source - https://www.everplans.com/articles/funeral-burial-rituals-from-around-the-world


නිරිත දිග චීනයේ හෙම්ප් පොන්ඩ් මිටියාවතේ ජීවත් වන බෝ ජනතාව වසර දහස් ගණනාවකට පෙර ඉතා විශාල සංඛ්‍යාවක් ජීවත් වුනත් මින්ග් රාජවංශිකයන් අතින් මොවුන්ගෙන් බහුතරයක් ඝාතනයට ලක් වුණා. ඒ මිට වසර පන්සියයකට කලින්. අද ඔවුන් ජීවත් වෙන්නේ ඉතා ස්වල්පයක් බවයි පැවසෙන්නේ. යම් පුද්ගලයෙක් මිය ගිය පසු ඔවුන් අනුගමනය කරන්නේ අපූරු සිරිතක්. ඔවුන් මළසිරුර පෙට්ටියක් බහා අඩි 300ක් තරම් උස ගල්පරවල ඒවා එල්ලා තැබීමේ පුරුද්දක් අනුගමනය කළා. බොහෝ ඒවා එල්ලා තැබුවේ ස්වාභාවික ගල් ගුහාවලයි. අද ද එසේ එල්ලන ලද පෙට්ටි 160 ක පමණ නෂ්ටාවශේෂ දකින්නට ලැබෙනවා. ඒ වගේම පර්වත ගුහාවල මේ චාරිත්‍රය පෙන්වන චිත්‍ර ද දකින්නට ලැබෙනවා. පර්වත බෑවුම්වල මේවා එල්ලා තැබීම සඳහා මොවුන් පර්වත බෑවුමේ සිදුරු සාදා ඒවාට ලී සවි කිරීමේ පුරුද්දක් ද අනුගමනය කළා. අද ද මේවා දකින්නට ලැබෙනවා. චීන ජනතාව මේ ජන කොට්ඨාශය හඳුන්වන්නේ බෑවුම්වල පුතුන්ලෙසිනුයි. ඔවුන් මළසිරුර මෙසේ එල්ලා තැබුවේ මන්දැයි අදටත් අභිරහසක්.

මළවුන් වෙනුවෙන් ඇඟිලි කපා ගැනීම

Image Source - https://www.ranker.com/list/dani-tribe-finger-cutting/triciapsarreasmurray


මළවුන් වෙනුවෙන් ඇඟිලි කපා ගන්නන් සිටින්නේ බටහිර පැපුවා නවගිනියාවේ. ඔවුන් හඳුන්වන්නේ දානි ජනතාව නමින්. යමෙක් මිය යාම ජීවත්ව සිටින්නන්ට දුකක් වුනත්, ඒ දුක්බර ගතිය තවත් ඉහළ නංවාගන්නට ඔවුන් කරන්නේ තමාගේම ඇඟිලි කපාගැනීමයි. කෙසේ නමුත් මේ චාරිත්‍ර අනුගමනය  කරන්නේ කාන්තාවන් පමණයි. තමාට ඉතා සමීපතම කෙනෙක් හෝ දරුවෙක් හෝ මිය ගියොත් මේ චාරිත්‍රය සිදු කළ යුතු වෙනවා. මේ චාරිත්‍රයෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ මිය ගිය පුද්ගලයාට ස්තූතිය පළ කිරීම සහ නරක ආත්ම පළවා හැරීමයි. මෙහිදී ඇඟිලි සියල්ල එකට තබා ලණුවකින් බැඳීම සිදුකරනවා. ඉන් පසු පොරොවකින් ගසා ඇඟිලි කපා දමනවා. මේ කපා දැමූ ඇඟිලි කොටස් වෙනම ස්ථානයක තැන්පත් කොට වියළා පසුව පුළුස්සා දමනවා. මෙය මේ වන විට නවගිනියාවේ මෙය තහනම් කරන ලද චාරිත්‍රයක් වුනත් අද ද මෙසේ ඇඟිලි කපා ගත් ගැහැනුන් එහිදී දැකගත හැකියි.

සමාදානයෙන් සැතපෙන්නට ඉඩක් නොදෙන මැලගසි ජනතාව

Image Source - http://www.complexmania.com/famadihana/


මැඩගස්කරයේ මැලගසි ජනතාව කිසිදිනක සමාදානයේ සැතපේවාකියන වචනය අසා නැති බවයි පෙනෙන්නේ. ඔවුන් මියගිය පුද්ගලයාගේ ආත්මය මරණින් පසු අනෙක් ලෝකයට යැවීම සඳහා මළසිරුරට දෙන්නේ පුදුමාකාර වදයක්. මුලින්ම යම් පුද්ගලයකු මිය ගිය පසුව ඔහුව හෝ ඇයව රෙදිවලින් ඔතා භූමදානය සිදුකරනවා. නමුත් මළසිරුරට එසේ සාමයෙන් සැතපෙන්නට ඔවුන්ගෙන් ඉඩක් නැහැ. ටික දිනකට පසු ඔවුන් නැවත මේ සිරුර ගොඩට ගන්නවා. පසුව නැවත රෙදිවලින් ඔතනවා. ඉන් පසු ඔවුන් මේ මළසිරුර ඔසවාගෙන සොහොන වටේ නටනවා. ඔවුන් නටන්නේ ඒ මොහොතේ සපයනු ලබන සජීවී සංගීතයකටයි. මේ චාරිත්‍රය ඔවුන් හඳුන්වන්නේ ෆැමඩිහානානමින්. එහි තේරුම අස්ථිබවට පත්කිරීමවැන්නක්. ඔවුන් දැන් සියවස් තුනක පමණ කාලයක සිට මෙය සිදු කර ගෙන එන අතර මේ ප්‍රදේශයේ ඇති කිතුනු දේවස්ථාන මෙම සිරිත නවතාලන්නට බොහෝ උත්සාහ ගත්තත් තවම එය දක්නට ලැබෙනවා.

ඇටකටු පළදින ඇබොරිජිනල්වරු

Image Source -  https://www.indiatoday.in/fyi/story/7-unusual-death-rituals-from-around-the-world-265686-2015-09-30


ඕස්ට්‍රේලියාවේ ආදීතමයන් හඳුන්වන්නේ ඇබොරිජිනල්වරු නමින්. ඔවුන්ගේ සාමාජිකයෙක් මිය ගිය පසු ඔහු සිහිවටනයක් කොට තබා ගැනීමේ පුරුද්දක් ඔවුන් අතර පවතිනවා. යමෙක් මිය ගිය විට ඒ තැනැත්තාව උස් වේදිකාවක් වැනි තැනක තබනවා. ඉන් පසු එය නරක් වන්නට ඉඩ හරිනවා. මේ ක්‍රියාවලියට මාස ගණනක් ගතවෙනවා. සම්පූර්ණයෙන්ම නරක් වී ඇටකටු පෑදුණු පසු ඔවුන් ඒවා වෙන් කොට රතු හිරිගල්වලින් ඒවා පාට කරනවා. ඉන් පසු ඒවා කුහර කරන ලද ලී කොටයක බහා තබනවා. උත්සව අවස්ථාවලදී වැඩිහිටියන් මේ ඇටකටු පැලඳීම  සිදුකරනවා.

4 comments:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න