ශ්‍රී ලංකාවේ
නිදහස සමරමින් පවත්වන ලද ‛නිදහස් කුසලාන’
තුන්කොන් ක්‍රිකට්
තරගය නිමාවට පත් වූයේ ක්‍රිකට් ඉතිහාසයට බොහෝ අලුත් මතකයන් එක් කරමින්. නිදහස කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ෂර්මා පවසා සිටියේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් මුල සිටම ලබා දුන් සහයෝගය තම ජයග්‍රහණයට මහත්
රුකුලක් වූ බවයි. ඔහු පවසා සිටියේ මෙය තම රට තුළ පැවැත්වෙන තරගයක් සේ දැනෙන තරමට
ප්‍රේක්ෂක ප්‍රතිචාර ලද බවයි. ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් මෙම අවසන් තරගයේ දී
ඉන්දියාවට සහය පළ කරන්නට විශේෂ හේතුවක් ද තිබුණා. ඒ ඔවුන් අපේ අසල්වැසි රටක් නිසාම
නෙවෙයි. එයට හේතුව මේ තුන්කොන් තරගයේ අනෙක් ක්‍රිකට් තණ්ඩායම වූ බංගලාදේශ් ක්‍රීඩකයන්ගේ
නොමනා හැසිරීම් මාලාවක් නිසයි. එහි නායක මුෂ්ෆිකර් රහිම් ඇතුළු කණ්ඩායම ක්‍රීඩා
තරගාවලිය මුළුල්ලේම ප්‍රතිවාදී කණ්ඩායමට ‛නයා පෙන්වනු’ දකින්නට ලැබුණා. මාධ්‍ය හමුවේ මුෂ්ෆකිර්
පවසා සිටියේ එය අනෙක් කණ්ඩායම අපහසුතාවයකට පත් කරන්නට දරන ලද උත්සාහයක් නොවෙන බවත්,
එය තම කණ්ඩායමේ සාමාන්‍ය
හැසිරීමක් බවත් යන්නයි. කෙසේ නමුත් ක්‍රීඩා පිටිය මැද දී ඔවුන් යම්කිසි තරහවක්
පිරිමසා ගන්නා මෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ ‛ඇඟට කඩා පාත් වනු’ ද දකින්නට ලැබුණා. අවසානයේ ඔවුන් අප රටින්
නික්ම ගියේ ක්‍රීඩාගාරයේ වීදුරු ද කුඩු කරමින්. කෙසේ වෙතත් මේ ‛නයි නැටුම’ ත් සමග ක්‍රිකට් ලෝකය
පුරා බොහෝ කතා පැතිර යන්නට පටන් ගත්තා. ඒ නයි නැටුම් ගැනම විතරක් නෙවෙයි. ජයග්‍රහණයකදී
ලෝකයේ විවිධ ක්‍රිකට් කණ්ඩායම්, ක්‍රීඩකයන්
තමන්ට ආවේණික ශෛලීන්ගෙන් එය සමරන ආකාරය පිළිබඳවයි. මේ ඒ ගැන හොයා ගත්තු විස්තර
ටිකක්.
ගංගුලිගේ
අැඳුම් ගැලවීම
ඒ 2002 වසරයි. ඉන්දියාව සහ
එංගලන්තය අතර නැට්වෙස්ට් තරගාවලිය ආරම්භ කරන්නට පෙර පැවැති එක් දින තරගාවලියක් ජය
පරාජයෙන් තොරව අවසන් වීම නිසා එංගලන්ත පිලේ ඇන්ඩෲ ෆ්ලිනටොෆ් එය සැමරුවේ ෂර්ට් එක්
ගළවා ප්‍රසිද්ධියේ ඇවිදගෙන යාමෙන්. මෙය ඉන්දීය ක්‍රීඩකයන්ගේ සිතට තදින්ම බලපෑ
සිදුවීමක් වුණා. ඉන් පසු මේ රටවල් දෙක අතර පැවැත් වූ නැට්වෙස්ට් තරගාවලිය අවසන්
වූයේ ඉන්දියාවට ජයග්‍රහණය අත්කර දෙමින්. එහිදී ජයග්‍රහණය මැද සවුරව් ගංගුලි ඇන්ඩෲ
ෆ්ලින්ටොෆ්ගේ හැසිරීමට එකට එක කරමින් ක්‍රීඩාගාරයේ දී සිය ටී - ෂර්ට් එක ගලවා දමා
නටන්නට වුණා.
ඉන්දියානුවන්ගේ
අතුල්ලන නැටුම
මෙය 2017 වසරේ ශ්‍රී ලංකාව සහ
ඉන්දියාව අතර පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී සිදුවුණු දෙයක්. දෙවැනි ටෙස්ට්
තරගයේ දී උපුල් තරංග එල්ල කළ පහරක් අනගි උඩ පන්දුවක් ලෙස රැකගන්නට ඉන්දීය කණ්ඩායමේ
රාහුල්ට පුළුවන් වුණා. එහිදී ක්‍රීඩා පිටිය මැද රාහුල් සහ කෝලි අමුතු නැටුමක්
ඉදිරිපත් කරනු දක්නට ලැබුණා. ඔවුන් මුලින්ම සිය දෑත් එකිනෙකෙට හප්පා ඉන් පසුව දෑත්
එකිනෙක අතුල්ලමින් අමුතුම විදියට නටන්නට පටන් ගත්තා.
පාකිස්ථානුවන්ගේ
ව්‍යායාම නැටුම
පාකිස්ථානුවන්
තරගයක් ජයග්‍රහණය කිරීමෙන් පසු එය සමරන්නේ අපූරු විදියකට. ඔවුන්ගේ මේ ශෛලිය ගැන
මුළු ලෝකයේම කතා බහට ද ලක් වී තිබෙනවා. ඔවුන් කරන්නේ ‛පුෂ් - අප්ස්’ නමින් හඳුන්වන ව්‍යායාම ඉරියව්ව අනුගමනය
කිරීමයි. තරගයක් ජයග්‍රහණය කළ විට මුළු කණ්ඩායමේම එකතුවෙන් මෙය සිදු කරන අතර
කඩුල්ලක් දවා ගැනීම, ශතකයක් ලබා
ගැනීම වැනි අවස්ථාවක දී අදාළ ක්‍රීඩකයා විසින් තනි තනිව වශයෙනුත් මෙය සිදු කරනු
දැක ගත හැකියි. පකිස්තානු කණ්ඩායම තුළ මේ පුෂ්-අප්ස් රැල්ල ඇති කරන්නට මුල් වූයේ
මිෂ්බා උල් හක් විසින්. ඔහු සිය මංගල ටෙස්ට් ශතකය රැස් කළ අවස්ථාවේ දී මෙය මුලින්ම
දකින්නට ලැබුණා. ඔහු මෙයට හේතුව ද පසුකාලයේ දී හෙළි කළා. මෙය ඔහු සිය මිතුරු හමුදා
කණ්ඩායමකට දුන් පොරොන්දුවක්. පකිස්තානු කණ්ඩායමට ලාහෝරයේ ඇබොට්ටාබාද් හි හමුදා
කඳවුරක එක්තරා පුහුණුවීමක් යෙදී තිබුණා. ඔවුන්ට හමුදා පුහුණුවක් ලබා දෙන්නට එරට ක්‍රිකට්
පාලක මණ්ඩලය තීරණය කළේ ක්‍රිකට් කණ්ඩයමේ ශරීර සුවතාවය බොහෝ පහළ මට්ටමකට ගොස් තිබුණු
නිසා බවයි දැනගන්නට ලැබෙන්නේ. එහිදී පුෂ්-අප්ස් ව්‍යායාමය කරද්දී ඔහු හමුදා
සාමාජිකයන්ට පවසා ඇත්තේ ශතකයක් රැස් කළ අවස්ථාවක දී මේ හමුදා කඳවුරේ කළ පුහුණු
වීම් යළි ස්මරණය කිරීම සඳහා මෙම ව්‍යායාමය අනිවාර්යෙන්ම සිදුකරන බවයි. දැන් එය
ඔවුන් සිය ජයග්‍රහණය සැමරීමේ අංගයක් බවට පත් කරගෙන සිටිනවා.
එංගලන්තයේ ‛ස්ප්‍රින්කල්’ නැටුම
ස්ප්‍රින්කල්
කියන්නේ වතුර ඉසිනවා කියන තේරුම තියෙන වචනයක්. වතුර ඉසිනවා වගේ අත් සොලවමින්
නැටුමක් ඉදිරිපත් කරන්නට ප්‍රසිද්ධ වෙලා ඉන්නේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමයි. ඕස්ට්‍රේලියාවේ
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී 2010 වසරේ ඈෂස් හෙවත් අළු බඳුන් කුසලානය ජයග්‍රහණය
කළ අවස්ථාවේ දී තමයි ඔවුන් මේ ‛ස්ප්‍රින්කල්
නැටුම’ මුල් වරට
ඉදිරිපත් කළේ. 80 දශකයේ ඉතා
ජනප්‍රියත්වයකට පත් ව තිබුණු මේ නැටුම් ශෛලිය ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වා දීමේ
ගෞරවයට හිමි කම් කියන්නේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන
ක්‍රීඩකයකු වූ පෝල් කොලින්වුඩ්. එවකට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකයාව සිටි
ඇන්ඩෘ ස්ට්‍රවුස් පවසා සිටියේ එය තම කණ්ඩායමේ ‛හකා’ නැටුම් ශෛලිය බවයි. ‛හකා’ කියන්නේ නවසීලන්ත
ආදිවාසීන් වන ‛මඔරි’ ජන කොට්ඨාශයට ආවේණික
යුද නැටුම හඳුන්වන නමයි. ඔවුන් මෙයට ‛ස්ප්‍රින්කල්’ හෙවත් වතුර ඉසිනවා කියන නම යොදන්නට ද විශේෂ
හේතුවක් තිබෙනවා. මේ කුසලානය ජයග්‍රහණය කළ සමයේ මෙම නැටුම පිළිබඳව ඕස්ට්‍රේලියානු
දිනපතා පුවත් පතක සිරස් තලයක් වූයේ ‛එංගලන්තය ඕස්ට්‍රේලියානු අළු සොහොන මත නටයි’ යන්නයි. අළු සොහොන මත
නටද්දී අළු සෝදා දමන්නට ඉසින්නේ වතුර නිසා ඔවුන් මේ නම මෙය හඳුන්වන්නට යොදා ගත්තා.
බටහිර
ඉන්දියානු කොදෙව්වන්ගේ ‛ගැන්ග්නම්’
ශෛලිය
ගැන්ග්නම්
ශෛලිය කියන එක බොහෝ දෙනෙකුට අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි. දැනට වසර කිහිපයකට
පෙර, එනම් 2012 දී, ‛ගැන්ග්නම් ස්ටයිල්’
යනුවෙන් ප්‍රසිද්ධව
තිබූ කොරියානු ගීතයත් සමග ඉදිරිපත් කළ නර්තනයත් සමගයි මේ ශෛලිය බොහෝ දෙනෙක් හඳුනා
ගත්තේ. මේ ගීතය ප්‍රසිද්ධියට පත්වීමෙන් මාස තුනකට පසුව බටහිර ඉන්දීය කොදෙව්
කණ්ඩායමේ ශ්‍රී ලංකාවේ දී ‛ලෝක ටී
ට්වෙන්ටි’ තරගාවලියේ
ශූරයන් බවට පත් වුණා. ඔවුන් මෙය සමරන්නට යොදා ගත්තේ ‛ගැන්ග්නම්’ ශෛලියයි. මෙය ඉදිරිපත් කරන්නේ සිතින් මවා
ගත් අශ්වයකු පිට ගමන් කරන අතරේ තොණ්ඩුවක් කරකවන ආකාරයෙනුයි. මෙහිදී සත්කාරක රට වූ
ශ්‍රී ලංකාව පරාජයට පත් වුවත්, ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ
සිටි සියලු ප්‍රේක්ෂකයන් බටහිර ඉන්දියානුවන් සමග මේ නර්තනයට එක් වීම විශේෂයෙන්
සඳහන් කළ යුතු දෙයක්.
ඒ වගේම ඉන්දීය
කණ්ඩායම ද මෙම ශෛලිය සිය ජයග්‍රහණය සමරන්නට එක් අවස්ථාවකදී යොදා ගත්තා. බටහිර
ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජයග්‍රහණයෙන් වසරකටත් අඩු කාලයක් තුළ එංගලන්තයේ දී
ශූරයන්ගේ කුසලානය දිනා ගන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. මෙහිදී විරාත් කෝලි ඇතුළු
සමස්ත ඉන්දීය කණ්ඩායම ද ගැන්ග්නම් ශෛලියෙන් සිය ජයග්‍රහණය සමරනු දකින්නට ලැබුණා.
http://www.dailymail.co.uk/indiahome/indianews/article-3146440/Bangladesh-not-handling-recent-cricket-success-dignity.html
ReplyDeleteඇත්තම තමයි.
Deleteනැටුම් නම් හොඳයි. හැබැයි බන්ගලියෝ මගේ ළඟ හිටියනම් උන්ට මොනවා වෙයිද දන්නෑ
ReplyDeleteවිචාරක දියණිය
ඇත්තටම බංගලාදේශ කණ්ඩායමෙන් ගිලිහිලා ගොස් තිබුණේ ක්‍රීඩාවේ තිබිය යුතු පොදු ගුණාංගයි.
Deleteලක්බිමෙ රිද්මෙට මෙ ලිපිය ලිව්වෙ ඔයාද නැත්නම් උන් උස්සාලද?
ReplyDeleteමම ම තමයි. ඒකට ලියපු එක තමයි මේකට දැම්මේ.
Delete