පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, April 4, 2018

කපුටු සාත්තරේ - Crow Astrology



තොරතෝංචියක් නොමැතිව කපුටෙක් හඬද්දී, 
‘අද නම් නෑයෙක් එනවා‘ 
යැයි කියන්නට අපි පුරුදුව සිටියෙමු. දැන් දැන් මේවා මිනිසුන්ගෙන් ඈත් වුව ද අතීතයේ මේ පුරුදු අප අතර බෙහෙවින් තිබිණි. මා කුඩා කාලයේ වැඩිහිටියකු කපුටු සාස්තරය ගැන අපූරු කවියක් මට කියා දුන්නේය. මේ ළඟදී දිනෙක මට ඒ කවිය මතක් විය. එබැවින් යළිත් අමතක වන්නට පෙර මේ කවිය ලියා බ්ලොග් අවකාශයට මුදා හැරිය යුතු යැයි සිතුවෙමි. මේවායේ හරි වැරැද්ද පිළිබඳ මා කිසිවක් නොදන්නා මුත් මෙසේ ලියා තබන්නේ අතීතයේ අප අතර පැවැති අපූරු විශ්වාසයක් පිළිබඳ මා දැන ගත් දේ බෙදා හදා ගැනීමට පමණි.

කවිය

එක සුදු මියුරු දෙක නම් අසුභ වේ ම ය
තුනෙන් සැප සතුට හතරින් දබර ම ය
පහෙන් ධන ලාභ හය සමන වේ ම ය
හතෙන් මරණ එය නම් බොරු නොවේ ම ය

මේ කවියෙන් ප්‍රයෝජන ලබා ගන්නේ මේ ආකාරයෙනි.

දවසේ කුමන හෝ වේලාවක කපුටෙක් තොරතෝංචියක් නොමැතිව හඬනවා නම්, කපුටා කුමක් හෝ දෙයක් කියන්නට සූදානම් වනවා යැයි හැඟෙන්නේ නම් පහත උපදෙස් අනුගමනය කරන්න.

මුලින්ම ඔබේ හෙවණැල්ලේ දිග ඔබේ පියවරවලින් මැන ගන්න.

දැන් එම පියවර ගණනට 13 ක් එකතු කරන්න.

එවිට ලැබෙන පිළිතුර 7 න් බෙදන්න.

දැන් ඉතිරි කීයදැයි බලන්න.

ඉතිරි ගණනට අනුව කවිය ගළපා කපුටා කියන්නේ කුමක් ගැන දැයි දැන ගන්න.

ඔබේ පහසුව සඳහා උදාහරණ කිහිපයක් මෙසේ ඉදිරිපත් කරන්නට කැමැත්තෙමි.

උදාහරණ 1
පියවර ගණන 5ක් යැයි සලකන්න. එයට 13ක් එකතු කළ විට පිළිතුර වන්නේ 18 ය.

දැන එය 7න් බෙදන්න. එවිට 2 යි ඉතිරි 4 වේ.

ඉතිරි වන්නේ 4 නිසා කවියේ 4 වැනි තැනින් කියවෙන්නේ කුමක් දැයි බැලිය යුතුය.

4 වැනි තැනින් කියවෙන්නේ දබරයක්  ගැනය. එසේ නම් කපුටා කියන්නේ ගෙදර දොරේ හෝ වැඩපළේ හෝ වෙනත් කුමන හෝ තැනක දී ඔබ දබරයකට පැටලෙන්නට ඉඩ තිබෙන බවය.

උදාහරණ 2
පියවර ගණන 10 ක් යැයි සලකන්න. එයට 13ක් එකතු කළ විට පිළිතුර වන්නේ 23 ය.

දැන් එය 7න් බෙදන්න. එවිට 3යි  ඉතිරි 2 වේ.

ඉතිරි වන්නේ 2 නිසා කවියේ 2 වැනි තැනින් කියවෙන්නේ කුමක් දැයි බැලිය යුතුය.

2 වැනි තැනින් කියවෙන්නේ අසුභ දෙයක්  ගැනය. එසේ නම් කපුටා කියන්නේ ගෙදර දොරේ හෝ වැඩපළේ හෝ වෙනත් කුමන හෝ තැනක දී ඔබට අසුබ දෙයක් සිදු වන්නට  ඉඩ තිබෙන බවය.

මෙම කවියේ වචන දෙකක අර්ථය බොහෝ දෙනෙකුට තේරුම් ගන්නට අපහසු වේ යැයි සිතෙන නිසා ඒ දෙක ද මෙතැන සඳහන් කරමි.

සුදු මියුරු -
සුදු මියුරු යනු කැවිලි පෙවිලි ගැන කියවෙන බව මගේ වැඩිහිටියා මා සමග කීවේය. එනම් රස කැවිලි ලැබෙන්නට ඉඩ ඇති බව එයින් කියවෙන්නේය. බොහෝ විට නෑදෑයෙක් නිවසට පැමිණෙන්නට ඉඩ ඇති බවත් එයින් කියවේ. කෙසේ නමුත් නෑයෙක් නො පැමිණිය ද රස කැවිල්ලක් ලැබෙන්නට ඇති ඉඩකඩ ගැන ද මෙයින් කියවේ.

සමන -
සමන යනු සමපල ලැබෙන බවයි. එනම් විශේෂ හොඳක් හෝ නරකක් සිදු නොවන බව ය.

පහත් වීඩියෝ එකෙන් ඔබට මෙය තවත් සවිස්තරව දැනගන්නට පුළුවන්


4 comments:

  1. දෙවෙනි උදාහරනේ 4න් අසුභ නෙවෙයි 2න් අසුභ කියල හදන්න..

    අලුත් සාස්තරයක් ඉගෙන ගත්තා...:D :D

    ReplyDelete
    Replies
    1. වැරැද්ද පෙන්නුවාට මුලින්ම ස්තූතියි. ඔන්න මම ඒක හැදුවා. ඒ වගේම අදහස් දැක්වීම ගැන ආයෙමත් ස්තූතියි.

      Delete
  2. මටත් යම් කාලයක මගේ කිරි අත්තා මේ කවිය කීවා පොත්පත් වල පවා ලියලා තියෙනවා මම ඒක සෙව්වා ස්තුති ඔබට ජයවේවා. මට එය හමු වූවා...!

    ReplyDelete
  3. මටත් යම් කාලයක මගේ කිරි අත්තා මේ කවිය කීවා පොත්පත් වල පවා ලියලා තියෙනවා මම ඒක සෙව්වා ස්තුති ඔබට ජයවේවා. මට එය හමු වූවා...!

    Answer

    මා කුඩා කාලයේ මටත් මේ කවිය කියලා දුන්නේ වැඩිහිටියෙක්. කුමක් හෝ හේතුවකට මා එය පොතක ලියා ගත්තා. වැඩිහිටියෙක් වූ පසු ඒ පොත නැවත හමුවුණා. එසේ නොවන්නට මටත් මේ කවිය මතක හිටින්න විදියක් නැහැ.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න