පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, April 12, 2018

අරුම පුදුම මඟුල් සිරිත් - Weird Wedding Traditions from around the World

මේක මඟුල් සක්වළක් කියලා කවුදෝ කියලා තියෙනවා. ඒ නිසා අතේ හොඳින් සල්ලි නැතත් සෑහෙන ගාණක් වියහියදම් කරලා, ෆොටෝ සූට් තොගයක් කරලා විශාලෙට මඟුලක් ගන්න කවුරුවත් දෙපාරක් හිතන්නේ නෑ.  මොනව වුනත් මඟුලක් ගන්න කොට සිරිත් විරිත් සම්ප්‍රදායන් නම් පුළුවන් තරම් කරන්න කවුරුත් උත්සාහ ගන්නවා. අපේ රටේ නම් නැකතට වැඩ කරන එක තමයි කවුරුත් කරන්න උත්සාහ කරන වැඩේ. අපේ රටේ සිංහල ජනතාව බොහෝ දෙනෙක් ආගම කුමක් වුනත්, විවාහ උත්සවයක් වෙනුවෙන් නැකත් ගැන විශ්වාසයක් තබනවා. මේක අපේ සම්ප්‍රදාය වගේම සංස්කෘතිය. කොහොම වුනත් ඒ සම්ප්‍රදාය ඇතැම් විට වෙනත් රටක කෙනෙකුට අමුතු දෙයක් වගේ පෙනෙන්න පුළුවන්. මේ නිසා වෙනත් රටවල තියෙන විවාහ සම්ප්‍රදායයන් අපට අමුතු ආකාරයෙන් පෙනෙනවා. විස්තර කියවගෙන යද්දි ඒවා අමුතුම දේවල් තමයි. මේ මඟුල් නැකත් කාලේ ඒ වාගේ විස්තර ටිකක් ගැන දැන ගන්න එකත් ටිකක මතක හිටින දෙයක් වේවි.

මනාලිය කළු කරන ස්කොට් වැසියෝ



අපේ රටේ නම් විවාහ උත්සවයක් තියන්න මාස කීපයකට පෙර සිටම මනාලිය වෙන්න ඉන්න තරුණිය උත්සාහ කරන්නේ කොහොම හරි වැඩිපර සුදට ඉන්න. මේ සඳහා රූපලාවණ්‍ය ශිල්පීන්ගේ පිහිට පතනවා. විවාහ මංගල්‍යය තියෙන දවස පුරාම මේ විදියට සුදට, ලස්සනට ඉන්න එක තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. නමුත් ස්කොට්ලන්තයේ මේ සෙල්ලම හරියන්නේ නැහැ. ඒ රටේ මනාල යුවලගේ යහළු මිත්‍රාදීන් තමන්ගේ ආදරය පෙන්වන හොඳම ක්‍රමය තමයි හොයා ගන්න පුළුවන් හැම කුණු කන්දල්ම දාලා මනාලියව කළු පාට කරන එක. ඔවුන් මේ සඳහා මුදවපු කිරි, මැරුණු මාළුවෝ, නරක් වුණු කෑම, තාර, සෝස්, මඩ, පිටි වගේ දේවල් භාජනයක දාලා මිශ්‍ර කරනවා. ඔවුන් ඒ මිශ්‍රණය මනාලියගේ ඔළුවේ ඉඳන් හලනවා. ඉන් පස්සේ මනාලියව ටික වෙලාවක් ගහක බැඳලා තියලා මත්පැන් පානය කරන්න එක්කගෙන යනවා. ස්කොට් වැසියන් විශ්වාස කරන්නේ මනාලියකට මේ සියලු වද හිංසා ඉවසාගෙන ඉන්න පුළුවන් නම්, ඇයට විවාහය ඇතුළුව මුළු ජීවිතයේ එන ඕනෑම ගැටලුවකට පහසුවෙන් මුහුණ දෙන්න මෙයින් ශක්තියත්, ධෛර්යයත් ලැබෙන බවයි.




කලින්ම ලෑස්ති වෙලා අඬන චීන්නු



කසාදයක් බැඳගෙන තමන්ගේ සැමියාත් එක්ක තමන්ටම වෙන් වුණු ලෝකයක ජීවත් වෙන්න  යන්න තමයි හැම තරුණියක්ම වාගේ නිසි වයසට ආවාට පස්සේ සිහින මවන්නේ. ඒත් කසාදෙ දවසට මේ හැම දේම වෙනස් වෙනවා. එදාට අම්මාව, තාත්තාව, සමහර විට බල්ලාව පවා දාලා යන්න බෑ කිය කියා අඬා වැලපෙනවා. කොයි රටෙත් එහෙමයි. හැබැයි චීනේ ටුජියා කියන ජනතාව මේක තව ටිකක් ජයට කරනවා. ඔවුන් විවාහ මංගල්‍යයකට ලෑස්ති වෙද්දි දාලා යන්න බෑකියල අඬන ව්‍යාපාරයට වෙනම ලෑස්ති වෙනවා. ඒ මනාලියක් අඬන්නේ විවාහ දවසේ විතරක් නෙවෙයි. කසාදෙට මාසයක් තියා දවසට පැය ගානේ අඬන්න පටන් ගන්නවා. මුල් දවස් දහයෙන් පස්සේ මනාලියගේ ඇඬිල්ලට අම්මාත් එකතු වෙනවා. දවස් විස්සකට පස්සේ ආච්චි අම්මාත් එකතු වෙනවා. මාසය අන්තිම වෙද්දි මුළු පවුලේම කට්ටියම එකතු වෙලා එකම ඇඬිල්ලයි. එක එක ගැහැනු එක එක හඬවලින් අඬන එක ඇහෙන කොට එයින් විවාහයේ සතුට ප්‍රකාශ වන බවයි මේ ජනතාව විශ්වාස කරන්නේ. ඕන නම් අපේ කාට හරි වුනත් මේක අත්හදා බලන්නත් පුළුවන්.




ගසක් සැමියා කර ගැනීම



සාමාන්‍යයෙන් ඕනෑම රටක තරුණියක් තමන්ගේ සැමියා බවට පත් කරගන්නේ පිරිමියෙක්වයි. නමුත් ඉඳ හිට මේක වෙනස් වෙන අවස්ථා තියෙනවා. අපල දුරුවෙන්නට කියා තරුණියකට බල්ලකුව විවාහ කර දුන් කතාවක් ටික කාලෙකට කලින් ඉන්දියාවෙන් ආරංචි වුණා. මේ වගේ අමුතු දේවල් සිද්ධ වෙන ඉන්දියාවේ පිරිමියෙක් වෙනුවට ගසක් සමග විවාහ වෙන තරුණියන් ද ඉන්නවා. මේක කරන්නෙත් අපලයක් නිසාම තමයි. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල බුද සහ කුජ හත්වැන්නේ නම් ඔවුන්ගේ එම තත්වය ජ්‍යෝතිෂයට අනුව ඔවුන් හඳුන්වන්නේ මංග්ලික්ස්නමින්. ඒ කියන්නේ එවැනි තරුණියන් හඳුන්වන්නේ සාපයක් වැදුණු අය හැටියටයි. ඔවුන් විවාහ වන පිරිමියා අනිවාර්යයෙන්ම අකල් මරණයකට මුහුණ පාන බව ඔවුන් විශ්වාස කරනවා. (මේ වගේ සාපයක් නිසා ඉන්දියාවේ සුප්‍රකට නිළියක වන අයිශ්වර්යා රායිවත් මුලින්ම ගහකට බන්දලා දුන්නු බවට කතාවක් අන්තර්ජාලයේ පැතිරිලා යනවා.) මේ නිසා සාපය දූරීභූත කරන්නට නම් මෙවැනි තරුණියකට මුලින්ම ගසක් හා විවහ වෙන්න සිද්ධ වෙනවා. ඉන් පස්සේ ගහ කපා දානවා. ඔන්න සාපය දූරීභූත වෙනවා. අනේ අසරණ ගස්!






මනාලයාගේ යටි පතුල තලන කොරියානුවෝ



කොරියාවේ සේවයට ගිහින් කොරියානු තරුණියක්ව කැන්දන් එන්න හිතාගෙන ඉන්න තරුණයන් ඉන්නවා නම් මේක ටිකක් හොඳින් කියව ගන්න එක ඇඟට හොඳයි. කොරියානු තරුණයෙක් විවාහ වුණු දවසේ පළමු මංගල රාත්‍රිය ගත කරන්නට පෙර ඔහුගේ යහළු හිත මිත්‍රාදීන් එකතු වෙලා මැරුණු මාළුවකුගෙන් හරි ටිකක් මහත කෝටුවකින් හරි මනාලයාගේ පතුල්වලට රිදෙන්නම ගහනවා. මේක වේදනාකාරී දෙයක් වුනත් බොහෝ දෙනෙක් එය සලකන්නේ විනෝදයක් ලෙසයි. මේක කළාම පළමු මංගල රාත්‍රියේදී මනාලයාගේ බලාපොරොත්තු කඩවෙන්නේ නැහැ කියා ඔවුන් විශ්වාස කරනවා.




දෑවැද්ද නැත්නම් බොරු මනාලියක් දෙන රුසියාව



දෑවැද්ද ගැන වද වෙන්නේ ලංකාව, ඉන්දියාව වගේ දකුණු ආසියානු රටවල් කියලා හිතුවාට රුසියාවෙත් මේ පුරුද්ද තියෙනවා. හැබැයි ඒක ටිකක් අමුතුයි. කසාදෙට කලින් මනාලයාගේ පාර්ශ්වයෙන් මනාලියගේ පාර්ශ්වය බැහැ දකින්න යනවා. දෑවැද්ද සම්පූර්ණයෙන්ම දුන්නාට පස්සේ විතරයි මනාලිය වෙන්න ඉන්න තරුණියට මනාලයාව බලන්න අවස්ථාවක් ලබා දෙන්නේ. කොහොම වුනත් දෑවැද්ද ගැන මනාලයාගේ පාර්ශ්වයෙන් සතුටක් නැත්නම්, ඒ කියන්නේ දෑවැද්ද අඩු නම්, තරුණියගේ නිවසේදීම තරුණයාට  වෙනත් මනාලියක් තිළිණ කරනවා. ඇත්තටම මේ මනාලිය විදියට එන්නේ තරුණියක් නෙවෙයි. මනාලියක් විදියට විකාර ඇඳුමකින් සැරසුණු තරුණයෙක්ම තමයි මේ විදියට එන්නේ. ඉන් පස්සේ දෑවැද්දේ අඩුපාඩු සම්පූර්ණ කරන තුරු මනාලිය වෙන්න ඉන්න තරුණියගේ නිවසට වෙලා කට්ටිය මේ ජවුසම නටනවා. දෑවැද්ද සම්පූර්ණ කළාට පසුව තරුණියට තරුණයා අසලට යන්න අවසර ලැබෙනවා. දෑවැද්ද ගැන තෘප්තිමත් වුණා ද නැත් ද කියා පරීක්ෂා කරන්නටයි මේ සම්ප්‍රදාය ඇති වී තිබෙන්නේ.

වලං, පිඟන්, දීසි බිඳින ජර්මානුවෝ



ජර්මනියේ තියෙන්නෙත් පුදුමාකාර සිරිත්. ජර්මනියේ කසාදේ දවසට මනාල යුවලට තෑගි විදියට ලැබෙන මැටිවලින් තැනූ හැලි, වලං, පිඟන්, දීසි ආදියට දෙයියන්ගේම පිහිටයි. මනාල යුවල මේ සියල්ල කුඩු කුඩු වෙන්න පොළොවේ ගසා බිඳින එක ජර්මනියේ බොහෝ පළාත්වල සම්ප්‍රදායක්. ඔවුන් විශ්වාස කරන්නේ මේ කැඩෙන බිඳෙන හඬ නිසා නරක ආත්ම පැත්ත පලාතේවත් නොඉඳ ඈතට පළා යන බවයි. ඔවුන්ගේ ජීවිතවලට එන බාධක දුක් කම්කටොළුවලින් ගැලවෙන්නටත් මෙය ක්‍රමයක් බව ඔවුන් විශ්වාස කරනවා. ජර්මන් හිතවතෙක් කසාද බඳිනවා නම් වීදුරු, පිඟන් කට්ටල අරන් යන්න නම් එපා! අපරාදේනේ!





මනාලියට කෙළ කසන කෙන්යානුවෝ




සාමාන්‍යයෙන් අපේ රටේ කෙල ගහන්නේ අවනම්බුවක් වුණාමයි. ඒත් කෙන්යාවේ මසායි ගෝත්‍රයේ කෙළ ගසන්නෙ මනාල යුවලට  ආශීර්වාද කරන්නටයි. විවාහයෙන් පස්සේ මනාල යුවල නික්ම යන්නට පෙර මනාලියගේ පියා විසින් මනාලියගේ ඔළුවටත් පියයුරුවලටත් කෙළ ගසනවා. ඉන් පස්සේ මනාල යුවල නිකමටවත් පසුපස හැරී නොබලා ගමෙන් පිටවී යා යුතුයි. යම් විදියකින් පිටුපස හැරී බැලුවොත් ඔවුන් දෙදෙනා ගල් බවට පත් වේ යැයි විශ්වාසයක් ඔවුන් අතර පවතිනවා. 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න