පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, April 23, 2018

මේවා මේ තරම් වටින්නේ ඇයි? - Most Expensive Items from around the World

ලෝකයේ වටිනා දේවල් බොහොමයක් තිබෙනවා. ඒවා නොයෙක් ආකාරයෙන් පෙළ ගස්වන්න පුළුවන්. අනෙක එක් වටිනා දෙයක් තවත් එකකට දෙවෙනි වන්නේත් නැහැ. කෙසේ නමුත් මේ වසරේ අප්‍රේල් මාසය වන විට ලෝකයෙන් හමු වූ වටිනාම භාණ්ඩ කිහිපයක් ගැන විස්තරයක් අන්තර්ජාලය පීරමින් සිටිද්දී හමුවුණා. ඒ ගැන ටිකක් කතා කරන්නයි මේ සූදානම් වෙන්නේ.


වටිනාම ජංගම දුරකතනය 





ලෝකයේ වටිනාම ජංගම දුරකතනය අහවල් එකය කියා එකවර කියන්න අපහසුයි. මේ ගැන විස්තර සොයා අන්තර්ජාලය පුරා යන විට එකිනෙකට වෙනස් බොහෝ තොරතුරු සොයා ගන්නට පුළුවන්. කෙසේ නමුත් මේ කියන්න යන ජංගම දුරකතනයට තියෙන්නෙත් පුදුම වටිනාකමක්. මුදලින් ගත්තොත් ඇමරිකානු ඩොලර් මිලියන 2.97ක් (රුපියල් මිලියන 461ක් පමණ) වටින මෙය අයිෆෝන් ත්‍රීජීඑස් සුප්‍රීම්කියන වර්ගයට අයත් එකක්. වටිනාකමක් නොපෙනෙන දෙයකට ඉතා ඉහළ මිලක් නියම කරන විට බොහෝ දෙනෙක්, “ඇයි මේක රත්තරන්වලින්ද හදලා තියෙන්නේ?” දැයි අසනවා. ඇත්තටම මේ ජංගම දුරකතනය මේ තරමටම වටින්නටත් ඒ වගේම කාරණා ටිකක් හේතු වී තිබෙනවා. මෙහි කැරට් 97.5 ක දියමන්ති ඔබ්බවා තිබෙනවා. ඒ වගේම මේ දුරකතනයේ වටේ දාරය තනා ඇත්තේ ප්ලැටිනම්වලින්. මෙහි ඇති ඇපල් ලාංඡනය නිමවා ඇත්තේ කැරට් 18 රෝස රත්තරන්වලින් සහ දියමන්ති 53 කින්. මෙහි ප්‍රධාන බොත්තම, ඒ කියන්නේ තේරෙන විදියට කීවොත් නැවිගේෂන්බොත්තම තනිකරම කැරට් 7.1 ක දියමන්තියකින් තනා තිබෙනවා. නැවිගේෂන්බොත්තම  සවිකොට ඇති පාදම් කොටස තනා ඇත්තේ කැරට් 18 රෝස රත්තරන්වලින්. මේ සියල්ල හැරුණු විට දුරකතනය ක්‍රියාකාරීත්වය අතින් ද ඉතා ඉහළ තැනක තිබෙනවා. ඉතින් ඒක අඩුම ගානේ මේ ගාණටවත් ගන්න තියෙන එක ලොකු දෙයක් කියලා හිතෙන්නේ නැද්ද




වටිනාම ඡායාරූපය

 



මෑත කාලයේ අළෙවි වුණු ලෝකයේ වටිනාම ඡායාරූපය කියා හඳුනාගෙන තිබෙන්නේ රෙයින් II’  (Rhein II) කියන ඡායාරූපයයි. මෙය ඇමරිකානු ඩොලර් මිලියන 4.3කට (රුපියල් මිලියන 668ක් පමණ) අළෙවි වී තිබෙනවා. 1999 වසරේ දී ජර්මානු ඡායාරූප ශිල්පියකු වූ ඇන්ඩ්‍රියාස් ගර්ස්කි විසින් සිය කැමරාවට හසුකර ගන්නා ලද්දක් වන මෙයින් මිනිසා පරිසරය සමග ඇති කරගෙන සිටින අදෘශ්‍යමාන බැඳීම හොඳින් පෙන්නුම් කරන බව විචාරකයන් පවසනවා. මෙය ඡායාරූපයෙන් දැක්වෙන්නේ ජර්මනියේ රෙයින් නදියේ පහළ කොටසකට අයිති ප්‍රදේශයක්. එහි ඇත්තේ කොල පැහැ කෙත්වතු මැදින් රෙයින් නදිය ගළාගෙන යන අන්දම පමණයි. කෙසේ නමුත් මේ ඡායාරූපයට හසු වූ මිනිසුන් සහ ඈතින් පෙනෙන ගොඩනැගිලි ඡායාරූප ශිල්පියා විසින් පරිගණකය මගින් ඉවත් කොට ඇති බව පැවසෙනවා. ඒ සංස්කරණය තුළින් මැවුණු සරල අපූර්වත්වය, මෙය මේ තරම් වටිනාකමක් ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ. 




ග්‍රාෆ් රෝස දියමන්තිය

 



මෙය ලෝකයේ අතිශය ප්‍රසිද්ධියට පත් දියමන්තියක්. දියමන්ති අතරින් රෝස දියමන්ති කියන්නේ ඉතා දුර්ලභ පාෂාණයක්. කැරට් 24.78ක් වන මෙය ඇමරිකානු සුප්‍රකට ආභරණ එකතු කරන්නකු වූ හැරී වින්ස්ටන් සතුව තිබී 2010 නොවැම්බර් 16 වැනිදා ස්විට්සර්ලන්තයේ ජීනීවා හි වෙන්දේසිකදී අළෙවි කෙරුණා. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 46 (රු. මිලියන 7,150 ක් පමණ) කටයි. 





කාඩ් සෙල්ලම් කරන්නන්ගේ සිත්තම

 



සිතුවම්වලටත් ලෝකයේ ධනවතුන් අතර තිබෙන්නේ පුදුමාකර ඉල්ලුමක්. මේ නිසා ඇතැම් සිතුවම් නොසිතූ තරම් ඉහළ මිල ගණන්වලට අළෙවි වෙනවා. ද කාර්ඩ් ප්ලේයර්ස්’ (The Card Players) කියන සිත්තමත් එහෙම එකක්. මෙය ප්‍රංශ පශ්චාත් උපස්ථිතිවාදී සිත්තරකු වූ පෝල් සෙසාන් විසින් 1890 දශකයේ දී නිම කරන ලද්දක් වශයෙන් සැලකෙනවා. මෙය 2011 වසරේ දී ඇමරිකානු ඩොලර් මිලියන 300 කට (රුපියල් බිලියන 46කට පමණ) අළෙවි වුණා. මෙහි නව හිමිකරුවා වන්නේ කටාරයේ රජ පවුලයි. 




හිස්ට්රි සුප්‍රීම් නෞකාව

 



හිස්ට්රි සුප්‍රීම් (History Supreme)  කියන්නේ සාමාන්‍ය විනෝද කටයුතු සඳහා පමණක් යොදා ගන්නා කුඩා වර්ගයේ නෞකාවක්. නමුත් මේ නෞකාව ප්‍රමාණයට සාපේක්ෂව මිලෙන් ඉතා අධිකයි. එයට හේතුව තමයි මෙය රත්රන් සහ ප්ලැටිනම්වලින් තනා තිබීම. ඒ වගේම මෙම නෞකාවේ තට්ටුව ඩයිනොසෝරයන්ගේ ඇටකටුවලින් සාදන ලද ද්‍රව්‍යයකින් නිමවා තිබෙන බවත් පැවසෙනවා. නිර්නාමික මැලේසියානු ව්‍යාපාරිකයකුගේ ඇණවුමකට අනුව කැනේඩියානු නළුවකු වන ස්ටුවර්ට් හග්ස් වෙනුවෙන් මෙය නිපදවා ඇති මෙය සම්පූර්ණ කිරීම සඳහා වසර 3ක් ගතවූ බවයි පැවසෙන්නේ. 2018 වර්ෂය වන විට මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 4.5ක් (රුපියල් මිලියන 700ක් පමණ) වන බව ගණන් බලා තිබෙනවා. 





පළිඟු පියානෝව

 



සාමාන්‍යයෙන් සංගීත භාණ්ඩ අතර පියානෝවට හිමි වන්නේ විශේෂ තැනක්. උසස් සංගීත සංධ්වනියක දී පියානෝව දායකත්වය නැතිවම බැරිවා සේම එය සංගීත භාණ්ඩ අතර ඉතා ඉහළ වටිනාකමකට ද හිමිකම් කියනවා. එහෙම තත්වයක් යටතේ පියානෝවක් පළිඟුවලින් තැනුවොත් වටිනාකම තවත් ඉහළ යනවා. පළිඟු පාෂාණයෙන් සාදන ලද  මේ කියන්න සූදානම් වන පියානෝව බීජිං ඔලිම්පික් උළෙලේ දී වාදනය කෙරුණා. එය පසුව ඇමරිකානු ඩොලර් මිලියන 3.2කට (රුපියල් මිලියන 497ක් පමණ) වෙන්දේසියක දී අළෙවි කෙරුණා.



රන් ආලේපිත බුගට්ටි වේරොන්

 



බුගට්ටි වේරොන් (Bugatti Veyron)  කියන්නේ ජර්මනියේ ෆොක්ස්වැගන් සමූහ සමාගම විසින් නිර්මාණය කොට ප්‍රංශයේ බුගට්ටි සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මධ්‍යම ඇංජිමක් සහිත ක්‍රීඩා කටයුතු සඳහා යොදා ගන්නා මෝටර් රථ වර්ගයක්. ප්‍රංශ මෝටර් රථ ධාවන ශූරයකු වූ පියරේ වේරොන් සිහි වනු පිණිස මෙම මෝටර් රථයට බුගට්ටි වේරොන්කියන නම තබා තිබෙනවා. මේ කියන්න යන්නේ මේ වර්ගයේ මෝටර් රථයක් ගැන වුනත් මෙහි විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ මෙයට රත්රන් ආලේප කොට තිබෙනවා. සවුදි අරාබියේ කෝටිපතියකු වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද මෙම මෝටර් රථය වටිනාකමින් ඇමරිකානු ඩොලර් මිලියන 10ක් (රුපියල් මිලියන 15541ක් පමණ) වෙනවා. 




කාලා දෙව්දුවගේ ශීර්ෂ සිත්තම

 



සිංහලෙන් කාලා දෙව්දුවගේ ශීර්ෂ සිත්තමකියා කීවත් මෙහි නියම නම වන්නේ Head of a Muse  යන්නයි. ඉතාලියානු සිත්තරකු වූ රෆායෙල් විසින් අඳින ලද මෙය වෙන්දේසියක දී ඇමරිකානු ඩොලර් මිලියන 16 කට (රුපියල් මිලියන 2,487 ක් පමණ) අළෙවි වුණා. මෙම සිත්තම සියවස් ගණනාවක් තිස්සේ විවිධ කලා විචාරකයන්ගේ සහ ඉතිහාසඥයන්ගේ නොමද ගෞරවය පාත්‍ර වූවක් ලෙස සැලකෙනවා. 






චොපාර්ඩ් අත් ඔරලෝසුව 




චොපාර්ඩ් කියන්නේ ස්විට්සර්ලන්තයේ ඇති ආභරණ සහ සුඛෝපභෝගී අත් ඔරලෝසු නිෂ්පාදනය කරන සමාගමක්. වර්ෂ 1860 දී ආරම්භ කරන ලද මෙය මුල් කාලයේ ප්‍රසිද්ධියට පත් වී තිබුණේ කාන්තා සහ සාක්කු ඔරලෝසු නිෂ්පාදනය කරන සමාගමක් ලෙසයි. මෙම අත් ඔරලෝසු සාමාන්‍යයෙන් මිල අධිකයි. ඒ අතරේ ඔවුන් අතිශය මිල අධික එක් ඔරලෝසුවක් ද නිර්මාණය කළා. මෙහි දියමන්ති 874ක් අඩංගුයි කීවොත් සමහර විට ඔබට පුදුම සිතෙන්නට පුළුවන්. මෙය ඇමරිකානු ඩොලර් මිලියන 25 කට (රුපියල් මිලියන 3,886ක් පමණ) අළෙවි වුණා.


නම්බර් 5, 1948 




මේ කියන්න යන්නේ තවත් සිත්තමක් ගැනයි. එහි නම තමයි Number 5, 1948  කියන්නේ. පසුගිය සියවසේ මුල් භාගයේ උපන් ඇමරිකානු ජාතික සිත්තරකු වූ ජැක්සන් පොලොක් විසින් අඳින ලද මෙය අයත් වන්නේ ව්‍යුක්ත ප්‍රකාශනවාදී  (abstract) කියන සිත්තම් ශෛලියටයි. ෆයිබර් ලෑල්ලක තෙල් සායම්වලින් අඳින ලද මෙය 2016 වසරේ දී ඇමරිකානු ඩොලර් මිලියන 140 (රුපියල් බිලියන 22ක් පමණ) කට අළෙවි වුණා. 


2 comments:

  1. ලක්බිමෙ කියෙව්වා..ඒ ලිපිය ඔයාගෙද?

    ReplyDelete
    Replies
    1. ඔව් මේකත් මම ලක්බිමේ රිද්ම එකට ලියපු එකක්

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න