පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, August 14, 2018

අපේ ලෝකේ මෙහෙම තැනුත් තියෙනවා - Weirdest Places of Earth

අපි ජීවත් වන ලෝකය ගෝලාකාරයි වගේම පුදුමාකාරයි කියලා කවුරු හරි කියලා තියෙනවා. කවුරු කිව්වත් ඒ කතාව ඇත්ත. ලෝකය පුදුමාකාරයි. මේ ගෝලාකාර ලෝකයේ පුදුමාකාර තැන් අනන්තවත් තිබෙනවා. වර්ග කිලෝමීටර් 65610 තරම් කුඩා අපේ රටේ තියෙන තැන් ටික අඩුවක් නෑර දැක බලාගන්න වෙලාවක් නැති අපට මේ ජීවිත කාලයට තියා සංසාරයේදීවත්  මේ ලෝකයේ තියෙන අරුම පුදුම තැන් දැක බලා ගන්න නම් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද ලෝකයේ ප්‍රමාණය විතරක් වර්ග කිලෝ මීටර් මිලියන 510.1 ක් වන නිසා. කොහොම වුනත් අන්තර්ජාලයේ පිහිටෙන් අපට මේ අතරින් ස්වල්පයක් හරි දැක බලා ගන්න හැකියාව තිබෙනවා. අන්තර්ජාල පහසුකම් තිබුණත් බොහෝ දෙනෙක් මේවා සොය බලන්නට උත්සාහ ගන්නේ නැහැ. මේ හැමදෙනාම ගැන හිතලා තමයි මේ වගේ විස්තරයක් ලියා තබන්න හිතුවේ.

කැනඩාවේ පැල්ලම් වැටුණු විල





කැන්ඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා කියන ප්‍රාන්තයේ සිමිල්කමීන් නිම්නයේ තමයි මේ පැල්ලම් වැටුණු විල පිහිටා තියෙන්නේ. මේ පළාතේ ජීවත් වන ස්වදේශීය ජන කොට්ටාශයක් වන ඔකනගන්හෙවත් සිල්ක්ස්ජනතාව අනාදිමත් කාලයක සිට මේ විල දේවත්වයේ ලා වැඳුම් පිදුම් කරනවා. මේ විලේ බොහෝ ලවණ වර්ග ඉතා විශාල ප්‍රමාණයන්ගෙන් තැන්පත්ව තිබෙනවා. මේවා අතර මැග්නීසියම් සල්ෆේට්, කැල්සියම් සහ සෝඩියම් සල්ෆේට් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඊට අමතරව රිදී සහ ටයිටේනියම් ද සැලකිය යුතු ප්‍රමාණයකින් මෙහි තැන්පත්ව තිබෙනවා. ගිම්හාන කාලයේ දී මේ විලේ ඇති ජලය බොහෝ ප්‍රමාණයක් වාෂ්ප වී යනවා. මෙසේ වාෂ්ප වූවාට පසු මෙහි තැන්පත්ව ඇති ලවණ නිධි විවිධ වර්ණයන්ගෙන් මතුවී පෙනෙන්නට පටන් ගන්නවා. ඒවා පෙනෙන්නේ විල මත ඇති වුණු ලප ආකාරයෙන්.  හොඳින් වියළී ගිය පසු මේ ලවණ නිධි අතර එහි මෙහි ඇවිද යන්නටත් හැකියාව තිබෙනවා. කෙසේ නමුත් කැනේඩියානු රජය අවවාද කරන්නේ ගෝත්‍රික ජනතාව වෙසෙන මේ ප්‍රදේශය දුර සිට නරඹනු විනා සමීපයට නොයන ලෙසයි.




ඕස්ට්‍රේලියාවේ රෝස පාට විල






සාමාන්‍යයෙන් ජලයට පැහැයක් නැතත් බටහිර ඕස්ට්‍රේලියාවේ වෙරළෙන් ඔබ්බෙහි පිහිටි විශාලතම කොදෙව්ව වන රිචර්චේවල පිහිටි මේ හිලියර් කියන විලේ ජලය තනිකරම රෝස පාටයි. දිගින් මීටර් 600 ක සහ පළලින් මීටර් 250 ක් පමණ වන මේ විලෙහි ජලයෙහි ඇති රෝස පාට කිසිදු හේතුවක් නිසා වෙනස් වන්නේ නැහැ. මේ ජලය නියැඳියක් ගෙන වෙනත් බඳුනකට දැමුව ද පැහැය එසේම පවතිනවා. අතීතයේ මේ විල ලුණු නිෂ්පාදනය සඳහා යොදා ගෙන තිබෙනවා. එයට හේතුව මෙය මුහුදේ සිට ඉතාමත් ආසන්නයෙන් පිහිටා තිබීමයි. වර්තමානයේ මෙහි එවැනි කාර්යයක් සිදු නොවූවත්, මෙම ජලයේ ඇති ලුණු සාන්ද්‍රණය ඉතා අධිකයි. මේ අධික ලුණු සාන්ද්‍රණයට ආකර්ෂණය වී ඇති ඩුනලියෙල්ලා සෙලිනා සහ රෝස වර්ණය සහිත හේලෝ නම් බැක්ටීරියාව අධිකව පවතින නිසා විලෙහි ජලය රෝස පැහැයෙන් දිස් වන විද්‍යාඥයන් පවසනවා.





යේමනයේ සොකොට්‍රා දූපත




අප්‍රිකානු මහද්වීපයේ යේමනයට අයත් දූපතක් තමයි සොකොට්‍රා කියන්නේ. අදින් වසර මිලියන හයකට පමණ පෙරාතුව නිර්මාණය වී ඇති මේ දූපත බැලූ බැල්මට විද්‍යා ප්‍රබන්ධ කතාවක නිරූපණය වන වටපිටාවක් පෙන්නුම් කරනවා. මේ දූපතේ ජෛව විවිධත්වය අතිශයින් විස්මයජනකයි. මෙහි ඇති ශාක  ලෝකයේ වෙනත් කිසිදු රටක දකින්නට ලැබෙන්නේ නැහැ. අරාබි මුහුදුකරයේ  ජෛව විවිධත්වයේ මාණික්‍යයයන විරුදාවලිය මෙයට ලැබී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් පිරිසක් මේ දූපතේ ශාක පිළිබඳ පර්යේෂණයක් සිදු කළා. ඔවුන්ගේ සොයා ගත්තේ මේ දූපතට පමණක් ආවේණික ශාක වර්ග 700 ක් පමණ පවතින බවයි. මේ ශාක අතරින් දූපතේ බහුලව දක්නට ඇති, පුදුමාකාර පෙනුමක් ඇති ඉපැරණි මකර ලේශාඛය සහ බෝතලයක් හැඩැති බෝතල් ශාඛයද විශේෂයෙන් සඳහන් කළ හැකියි.




පිලිපීනයේ චොක්ලට් කඳු





පිලිපීනයේ බෝහෝදූපතේ පිහිටි පුදුමාකාර කඳු වර්ගයක් ගැන තමයි මේ කියන්නේ. වර්ග කිලෝමීටර් 50 ක පමණ ප්‍රදේශයක් පුරා පොල් කට්ටක් මුනින් අතට නවා ඇති ආකාරයෙන් පොළොවෙන් මතු වී ඇති මෙවැනි කඳු 1200 කට වඩා පිහිටා තිබෙනවා. මේවා මත කොල පැහැ තෘණ වර්ගයක් පවතින අතර වියළි කාලයේ දී මේ තෘණ වියළී දුඹුරු පැහැයට හැරෙන නිසා දුර සිට බලන විට පෙනෙන්නේ චොක්ලට් බෝල ආකාරයෙන්. චොක්ලට් කඳුකියන නම මේවාට භාවිත වන්නේ ඒ නිසයි. මේවා නරඹන්නට සංචාරකයන් විශාල සංඛ්‍යාවක් ඇදී එන අතර මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් බවට ද පත්ව තිබෙනවා. අදින් වසර ගණනාවකට පෙර පොළොවෙන් ඉහළ නැගුණු හුණුගල් විශේෂයක් මතට වර්ෂාව ඇද හැලීම නිසා කාලයක් තිස්සේ ඛාදනය වී මේ හැඩය ලැබී ඇති බව භූ විද්‍යාඥයන් පවසනවා.




චීනයේ ටියන්සි කඳු



ඇවටර් චිත්‍රපටයේ නිර්මාණය කළ පාවෙන කඳු




ඔබ ඇවටර්චිත්‍රපටය නැරඹූ අයෙක් නම් එහි දක්නට ඇති පාවෙන කඳු පිළිබඳ මතක තිබෙනවාට සැකයක් නැහැ. චිත්‍රපටය සඳහා මෙවැනි අපූරු ආකාරයේ කඳු ඇතුළත් කරන්නට අධ්‍යක්ෂවරයාට අදහසක් පහළ වී ඇත්තේ චීනයේ හූනාන් පළාතේ පිහිටි ටියන්සි (මෙහි අර්ථය දෙව් ලොව පුත්‍රයායන්නයි) කඳු දැකීමෙන් පසුවයි. මේවා සම්පූර්ණයෙන්ම හුණුගල්වලින් නිර්මාණය වී ඇති බව භූ විද්‍යාඥයන් පවසනවා. පොළොවෙන් ඉතා ඉහළට සිහින්ව එසැවී ඇති මේ කඳු මුඳුන්වල ගස් වැවී තිබෙනවා. මේවා වැඩි වශයෙන් මීදුමෙන් වැසී පවතිනවා. දුරට පෙනෙන්නේ මුඳුන පමණයි. එවිට දිස් වන්නේ වළාකුළුවලට උඩින් පාවෙමින් පවතින කඳු මුඳුන් ලෙසයි. ඇවටර්චිත්‍රපටයේ ද මේ ආකාරයටම වළාකුළුවලට උඩින් කඳු පාවෙමින් පවතින දර්ශන දැකගන්නට පුලුවන්. මේ කඳු නැරඹීම සඳහා කේබල් කාර් සේවාවක් චීන රජය විසින් පවත්වාගෙන යනවා.






ජපානයේ බළල් දූපත





බළලකුගේ හැඩයෙන් නිර්මාණය කරන ලද නිවාඩු නිකේතන



ජපානයේ තෂිරෝජිමා කියන වෙරළේ සිට කෙටි බෝට්ටු ගමනකින් ළඟා විය හැකි මෙම දූපතේ අධික ලෙස බළලුන් දක්නට ලැබෙනවා. මේ නම පටබැඳී ඇත්තේ මේ හේතුව නිසයි. අතීතයේ මේ දූපතේ සේද නිෂ්පාදනය පැවැති අතර සේද පණුවන්ගේ ස්වභාවික සතුරන් අතර මීයා ප්‍රධාන තැනක් ගන්නවා. මෙම මී තර්ජනයෙන් ගැලවෙන්නට මෙම දූපතට බළලුන් සෑහෙන සංඛ්‍යාවක් රැගෙන එනු ලැබුවා. කාලයක් යද්දී මෙහි සිටින බළලුන් දැක මසුන් අල්ලන්නට යන ධීවරයන්ට අධික ලෙස මසුන් හසුවන බවට විශ්වාසයක් ඇති වන්නට පටන් ගැනුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සෑම ධීවරයෙක්ම මසුන් අල්ලන්නට යන්නට වූයේ දූපත අසලින්. අවසානයේ සිදුවූයේ බළලුන් වෙනුවෙන් දේවාලයක් ද ඉදිකිරීමයි. ඊට අමතරව බළලුන්ගේ හැඩයෙන් තනන ලද සංචාරක නිකේතන ද මෙහි දකින්නට ලැබෙනවා. කෙසේ නමුත් කිසිදු හේතුවක් මත හෝ සුනඛයන් මෙම දූපතට රැගෙන ඒම සපුරා තහනම් කොට තිබෙනවා.




නවසීලන්තයේ රෑබදුලු ගුහා






ඔබ රෑබදුල්ලාකියන දළඹු වර්ගය දැක තිබෙනවාට සැකයක් නැහැ. රෑබදුල්ලා කියන්නේ සිරුරෙන් ආලෝකයන් නිකුත් කරන දළඹු වර්ගයක්. මේ දළඹුවා ඉංග්‍රීසි බසින් හඳුන්වන ග්ලෝවර්ම්කියන නම තමයි මේ ගුහාවලට යොදා තිබෙන්නේ. මේ ගුහා තුළ මන්දාකිණියක් මැදින් ඇවිද යන්නා සේ හැඟීම ඇති කරවන අපූරු ආලෝකයක් දක්නට ලැබෙනවා. ග්ලෝවර්ම්යනුවෙන් සඳහන් වුවත්, සැබවින්ම මෙහි ආලෝකය නිකුත් කරන්නේ දළඹුවන් විශේෂයක් නොව එක්තරා ආකාරයක කෘමි සතුන් විශේෂයක්. මොවුන් දක්නට ලැබෙන්නේ නවසීලන්තයේ පමණයි. නවසීලන්තයේ ස්වදේශික ජනතාව වන මඔරි ග්‍රෝත්‍රිකයන් සියවස් ගණනාවක සිට මේ ගුහාව පිළිබඳ දැන සිටියත්, ඉංග්‍රීසි ජාතිකයන් මේවා සොයා ගත්තේ 1884 දි යි. භූ විදාඥයන් පවසන පරිදි මේ ගුහා සංකීර්ණය වසර මිලියන 30ක් පමණ පැරණියි.




චීනයේ දේදුණු  කඳු





ඔබ චිත්‍ර කලාව ප්‍රගුණ කොට ඇත්නම් ඇබ්ස්ට්‍රැක්හෙවත් සිංහල බසින් අමූර්තකියන චිත්‍ර කලාව ගැන අසා ඇති. මෙහිදී සිදු කෙරෙන්නේ වර්ණ ගණනාවක් විවිධ හැඩතලවලින් නිර්මාණය කොට යම් අදහසක් ඉදිරිපත් කිරීමයි. මේවා චිත්‍ර ශිල්පියකු විසින් ඇඳිය යුතු වුනත්, ස්වභාවිකවම නිර්මාණය වුණු අමූර්ත චිත්‍රයක් චීනයේ ෂැංග්යේ ජාතික විද්‍යා උද්‍යානයෙන් හමු වෙනවා. මෙහි ඇති කඳු දුර සිට බැලූ විට පෙනෙන්නේ අමූර්ත චිත්‍රයක් ලෙසයි. වර්ණවත් නිසා දේදුනු කඳු ලෙසින් ද හඳුන්වනු ලබනවා. මේ කඳු විවිධ වර්ණයන්ගෙන් අලංකාර වී තිබෙන්නේ අදින් වසර මිලියන 24 කට පමණ පෙර ඇති වූ වැලිගල් සහ විවිධ ලවණ වර්ග මේ කඳුවල අන්තර්ගත වන නිසයි. සුළඟ සහ වර්ෂාව නිසා මේ කඳු ඛාදනය වී විවිධ හැඩතල ද නිර්මාණය වී තිබෙනවා.





ඇමරිකාවේ පිශාච නිම්නය






බැලූ බැල්මට අඟහරු ග්‍රහයාගේ මතුපිට මෙන් රක්ත පැහැයකින් යුක්ත ගොබ්ලින් වැලි ස්ටේට් පාර්ක්කියන උද්‍යානය ගැන තමයි මේ කියන්න හදන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ ඌටා ප්‍රාන්තයට අයත් කිසිදු මිනිස් ජනාවාශයක් නැති මේ නිම්නයේ ඇති වැලිගල් වසර මිලියන ගණනක් තිස්සේ වැස්සට සහ සුළඟට ඛාදනය වී විවිධකාර හැඩතල නිර්මාණය වී තිබෙනවා. මේ බොහොමයක් බැලූ බැල්මට පෙනෙන්නේ වාමනයන්, පිශාචයන් ලෙසයි. ඒ නිසා තමයි මෙය ගොබ්ලින් කියන නමින් හඳුන්වනු ලබන්නේ.





පහත වීඩියෝ එකෙන් ඉහත කතා කළ සියල්ලම සවිස්තරව බලන්න පුළුවන්.

7 comments:

  1. නියමම විස්තරයක්.
    බොහොමයක් දේවල් අදයි දැන ගත්තේ.
    ස්තුතියි සහෝ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට

      Delete
  2. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීම ගැන ස්තූතියි. බ්ලොග් ලෝකයට පිවිසුණු ඔබට සුබ පැතුම්!

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න