පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, November 11, 2018

ගුගල් සේවකයන්ගේ උද්ඝෝෂණය සහ තවත් ගූගල් කතා - Google Protest and other Stories

ගූගල් සමාගම සඳහන් කරන ආකාරයට එයට ලොව පුරා පූර්ණ කාලීන සේවකයන් සහ කොන්ත්‍රාත්තු පදනම යටතේ බඳවා ගත් සේවකයන් 94,372 ක් ක් ඉන්නවා. මේ සංඛ්‍යාව අතුරින් විසි දහසකට අධික සංඛ්‍යාවක්, එනම් මුළු සමාගමෙන් සියයට 20 කට අධික පිරිසක් මේ නොවැම්බර් 1 වැනිදා උද්ඝෝෂණයක නිරත වුණා. ඒ එහි සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ ඇන්ඩි රූබින් ට එරෙහිව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මගින් පළ කොට තිබූ ආන්දෝලනාත්මක ලිපියක් නිසයි. ඇන්ඩි රූබින් කියන්නේ එසේ මෙසේ පුද්ගලයකු නොව ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෘවරයායි. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය යනු කුමක්දැයි නොදන්නා කිසිවකු නොමැති වුවත්, නොදන්නා කෙනෙක් අහම්බෙන් හෝ සිටිනවා නම් ඔහුගේ හෝ ඇයගේ දැන ගැනීම පිණිස සඳහන් කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් යනු ඔබත් මමත් භාවිත කරන ස්මාර්ට් ජංගම දුරකතන බොහොමයක (ඇපල් හැරුණු විට) ක්‍රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය කියායි. එතරම් එසේ මෙසේ නොවන කෙනා දැන් ගූගල් සමාගමේ නැතත්, ඔහු ඉන්නා කාලයේ එක්තරා කාන්තාවක් සමග පැවැත්වූ වැරදි ලිංගික ඇසුරක් අතට අසුවීමක් ගැනයි මේ ලිපිය පළකොට තිබුණේ. මේ වරද ගූගල් සමාගමට අසු වූ නිසා ඔහුගේ පස්සට පයින් ගසා එළවනවා වෙනුවට ඔහුට ඇමරිකානු ඩොලර් මිලියන 90 ක් ලබා දී ඔහුව ඇගයීමකට ද ලක්කොට තවත් පහසුකම් ද ලබා දී ඔහු විශ්‍රාම ගන්වනු ලැබුවා. මේ සියල්ල නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙන් දැනගත් පසු ගූගල් සේවකයන්ට යකා නැග්ගේ මේ නිසා ගූගල් සමාගමට මහත් අපහාසයක් සිදුවූ නිසයි.  ලෝකයට ආදර්ශයක් විය යුතු සමාගමක් පිළිබඳ මෙවැනි පුවත් පළවීම තමන්ට දරාගන්නට නොහැකි බවයි සේවකයන් පවසන්නේ. ඒ නිසා මෙසේ උද්ඝෝෂණය කළ බව දැනගන්නට ලැබෙනවා.

ඇන්ඩි රූබින්

කොහොම වුනත් මේ හදන්නේ මේ උද්ඝෝෂණය ගැනවත් ලිංගික අපයෝජනය ගැනවත් කතා කරන්න නෙවෙයි. තමන්ගේ සමාගමට අපහාසයක් වීම නිසා මේතරම් සේවකයන් පිරිසක් පාරට බහින්න තරම් ඔවුන්ට වටින ගූගල් සමාගම ගැන විස්තර ටිකක් කතා කරන්නයි.

වැරදීමකින් නම වැටුණු ගූගල්


ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ මවුන්ට් වීව් හි පිහිටා ඇති ගූගල් සමාගමේ ප්‍රධාන කාර්යාලය පිහිටුවනු ලැබුවේ 1998 වර්ෂයේ දියි. ඒ ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් විසින්. ලෝකයේ පවතින ජනප්‍රියතම අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය කියන්නේ ගූගල්. මෙයට පෙරත් පසුවත් බොහෝ සෙවුම් යන්ත්‍ර බිහිවුවත්, ඒවාට ගූගල් තරම් කාර්යක්ෂම වෙන්නට නොහැකි වෙලා තියෙනවා.

ගූගල් සමාගමට මුලින්ම ලබා දෙන්නට යෝජනා වී තිබුණු නම වුණේ බැක්රබ්’.  නමුත් පසුව ගූගල්නමින් වෙනස් කරනු ලැබුවා. එය සිදුවුණේ වැරදීමකින්. ඔවුන්ට අවශ්‍ය වූයේ යම් සෙවුමක් කළ විට ඒ සඳහා කෝටි ගණන් ප්‍රතිඵල ලැබෙන බව පෙන්වන නමක් යොදන්නටයි. ඔවුන් මේ සඳහා තෝරා ගත්තේ ගූගොල්’ (googol) යන්නයි. ගූගොල් යනු එකයි බිංදු සියයක සංඛ්‍යාවයි. නමුත් ඔවුන් අකුරු වරදවා ලියා තිබූ නිසා වෙබ් අඩවියේ පළවූයේ Google යන්නයි. වැරැද්ද නිවැරදි කරන්නට නොගිය ඔවුන් ඒ නම එසේම තියෙන්නට හැරියා. මෙය කෙතරම් ජනප්‍රිය වචනයක් වූවා ද කීවොත් යමක් සොයනවා යන අර්ථය ඇතිව ගූගල් කරන්නයන්න භාවිතයට පැමිණියා. අවසානයේ මෙය අලුත් ඉංග්‍රීසි වචනයක් ලෙස 2006 වසරේ දී ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට ද එකතු කෙරුණා.



ගූගල් සෙවුම් යන්ත්‍රය බිහිවන්නට පෙර ලෝකයේ තිබූ හොඳම සෙවුම් යන්ත්‍රය වූයේ යාහූ’. කෙසේ නමුත් ගූගල් සමාගම ආරම්භ වූ පසු යාහූසමාගමට යන එන මං නැති වුණා. කෙසේ නමුත් යාහූසමාගම මුල් සමයේ සිටියේ පුදුම ආඩම්බරයකින්. ගූගල් සමාගම ආරම්භ වූ කාලයේ යම් යම් ගැටලු නිසා එය විකුණා දමන්නට තීරණය කෙරුණා. ඔවුන් එය විකුණා දමන්නට තීරණය කරන ලද්දේ ඇමරිකානු ඩොලර් බිලයන 3 කට යාහූ සමාගමටයි. නමුත් ආඩම්බර යාහූ සමාගම එය ප්‍රතික්ෂේප කළා. නමුත් අද එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලයන 400 කටත් අධිකයි. මේ ගැන ලෝභ සිතුණු යාහූ සමාගම එය මිලදී ගන්නට කැමැත්ත පළ කළත් අළුතින්ම ආඩම්බර වී ඇති ගූගල් සමාගම එය පයිසෙකටවත් ගණන් නොගෙන ප්‍රතික්ෂේප කළා.

අහසේ ගෑවෙන වැටුප්


ගූගල් කියන්නේ ලෝකයේ අතිශය ජනප්‍රිය මෙන්ම දැවැන්ත සමාගමක් නිසා මෙහි සේවකයන්ගේ වැටුප් ද ඒ තරමටම ආකර්ෂණීයයි. අහසේ ගෑවෙන තරම් ඉහළයි. දැනගන්නට ලැබෙන පරිදි වසරකට ගූගල් සමාගම එක සේවකයකුට ගෙවනු ලබන වැටුපේ සාමාන්‍යය ඇමරිකානු ඩොලර් 96,000 ක් හෙවත් රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයක් පමණ වෙනවා. ප්‍රසාද දීමනාවල සාමාන්‍යය ඇමරිකානු ඩොලර් 25,000 ක් හෙවත් රුපියල් හතලිස් තුන් ලක්ෂයක් පමණ වෙනවා. මෙය තවත් විස්තර කළොත් ජ්‍යෙෂ්ඨ මෘදුකාංග වර්ධක නිලධාරියකු සඳහා වාර්ෂික වැටුප ඇමරිකානු ඩොලර් 149,000 ක් හෙවත් රුපියල් දෙකෝටි පනස් හය ලක්ෂයක් පමණ වෙනවා. ප්‍රධාන ස්ථිර සේවකයන්ගෙන් අඩුම වාර්ෂික වැටුපක් ගෙවන්නේ තොරතුරු තාක්ෂණ විශ්ලේෂකයන්ටයි. එය ඇමරිකානු ඩොලර් 65,000ක් හෙවත් එක්කෝටි එකලොස් ලක්ෂයක් පමණ වෙනවා.

මරණින් මතු සැපවත් ජීවිතයක්
ගූගල් සමාගමේ සේවයට යාමෙන් තමාගේ මරණයෙන් පසු තමාට නැතත් තමාගේ බිරිඳට හෝ සැමියාට හෝ සැපවත් ජීවිතයක් ලැබෙන බව ඒකාන්තයි. මිය ගිය සේවකයාගේ වැටුපෙන් හරි අඩක් බිරිඳට හෝ සැමියාට වසර 10 ක් යන තුරු හිමි වෙනවා. මීට අමතරව සැමියා හෝ බිරිඳ වෙනුවෙන් තවත් බොහෝ සුබසාධන කටයුතු ගූගල් සමාගම විසින් හඳුන්වා දී තිබෙනවා.

ආඩම්බර සේවකයෝ

ගූගල් සමාගමේ රස්සාවට යන්න තියෙනවා නම් ඉතින් ඒ ගැන කවර කතා ද කියලා බොහෝ දෙනෙක් කියනවා. මෙහෙම කියන්නේ ගූගල් සේවකයන් ගෙවන නිදහස් ජීවිතය ගැන අන්තර්ජාලයේ බොහෝ තැන්වල සඳහන් වෙලා තියෙන තොරතුරු නිසයි. මේ ගැන හොයා බැලුවාම මේ වගේ විස්තර ටිකක් කෙටියෙන් සඳහන් කරන්නට පුළුවන්. ගූගල් සමාගම ගැන කියවෙන ලොකුම ප්‍රවෘත්තිය තමයි එහි සේවකයන්ට ඕනෑම වෙලාවක ඕනෑම කෑමක් නොමිලේ භුක්ති විඳින්ට පුළුවන්ය කියන එක. ඔවුන්ට කෑම ගන්න තියෙන ක්‍රම අනන්තයි අප්‍රමාණයි කියා කියන්න පුළුවන්. ලොකු වැටුපක් ගෙවන අතරේ කෑම බීම නොමිලේ දෙනවා කියන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. වැඩ කරමින් ඉන්න අතරේ ඉවුම් පිහුම් පංතිවලට සහභාගී වෙන්නටත් මෙහි සේවකයන්ට අවස්ථාව තිබෙනවා. ඒ වගේම කාර්යාලය තුළම ඇති ව්‍යායාම ශාලා, සම්බාහන මධ්‍යස්ථාන, කම්මැලි වෙලාවට කරන්න තියෙන විනෝදාත්මක වැඩ, අමතර අධ්‍යාපන කටයුතු සඳහා ගෙවීම් වැනි අතෝරක් නැති පහසුකම් එක්ක හොඳ වැටුපකුත් ලැබෙද්දි ගූගල් සේවකයන් ආඩම්බර නොවී වෙන මක් කරන්නද?

ඇස් කඩාගෙන යන කාර්යාල






ගූගල් සමාගම ගැන තවත් ප්‍රසිද්ධ කතාවක් වන්නේ අමුතු විලාසිතා, හැඩතලවලට සැලසුම් කොට කාර්යාල ගැනයි. මේවා දකින විට ඇත්තටම මෙහෙම ඒවාත් තියෙනවාද කියා සිතුනත් කියන්න තියෙන්නේ මෙහෙම ඒවා තියෙන බවයි. මේ කාර්යාල සාම්ප්‍රදායික ඒවාට වඩා හාත්පසින්ම වෙනස්. සේවකයන්ට තමන්ගේ වැඩකටයුතු නිදහසේ කරගෙන යන්නට, මානසික නිරවුල් බවක් ඇති කරගන්නට හැකි ආකාරයට සකස් කොට තිබෙනවා. ලොව පුරා ඇති විවිධ ගූගල් කාර්යාල විවිධ හැඩතලවලින් සකස් කොට තිබෙනවා. ඇතැම් ඒවා සකස් කොට ඇත්තේ හාත්පස ගහ කොල ඇති ආකාරයටයි. ඇතැම් ඒවාට කුඩා උද්‍යාන පවා ඇතුළත් කොට තිබෙනවා. එල්ලී පැද්දෙන ආසන, යහන් ආදී විවිධ දේවල් මේ කාර්යාල තුළ දකින්නට පුළුවන්. අනෙක ලොව පුරා ඇති සියලුම කාර්යාල ස්ථාන ගත කොට ඇත්තේ ඉතා මනස්කාන්ත දර්ශනයක් නෙතට දිස්වන ආකාරයටයි.

සොබා දහමට ආදරය කිරීම


ගූගල් සමාගම සොබා දහම රැක ගන්නට දක්වන්නේ විශාල දායකත්වයක්. ලෝකයට විෂ වායු මුදා හැරීම, ශබ්දය ආදී දේවල්වලින් සිදුවන හානි වලකාගන්නට ඔවුන් ගත හැකි සෑම උත්සාහයක්ම ගන්නවා. මේ අතුරින් විශේෂයෙන් සඳහන් කළ හැකි කාරණයක් වන්නේ ඔවුන්ගේ කැලිෆෝර්නියා කාර්යාලයේ තණකොල කැපීමයි. ඔවුන් මේ සඳහා යන්ත්‍ර යොදා ගන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් සෑම අවස්ථාවකදීම එළුවන් භාවිත කරනවා.

ගූගල් ගුවන් යානා


ගූගල් සමාගමේ නිර්මාතෘවරුන් වන ලැරී සහ සර්ජි ලෝකයේ සිටින ධනවතුන් අතර තෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසු වෙනවා. ඔවුන්ගේ වත්කම් 2018 වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 47 කටත් අධිකයි. සාමාන්‍යයෙන් ප්‍රබල සමාගම්වල හිමිකරුවන් අධික වටිනාකම්වලන් යුක්ත වාහන මිලට ගන්නා අතර ගූගල් හිමිකරුවන් වාහනවලට අමතරව පෞද්ගලික ගුවන් යානා ද මිලට ගෙන තිබෙනවා. මේ පෞද්ගලික ගුවන් යානා නවත්වන්නට යොදා ගන්නේ නාසා ආයතනයට අයත් ගුවන් තොටුපලේ බව සඳහන් වෙනවා. මේවා ගොඩබෑම සඳහා සකස් කොට ඇති ධාවන පථවලට වෙනත් යානා ගොඩ බෑම සඳහා අවසර ලබා දෙන්නේ නැහැ.

දෘඩ තැටි කිහිපයකින් ඇරඹුණු ගමන

අද කාලේ අලුතින්ම මිලට ගන්නා පරිගණකයක දෘඩ තැටිය අවම වශයෙන් ගිගා බයිට් 500ක් වත් වෙනවා. ඇතැම් ඒවා ටෙරා බයිට් 1 ක් පමණ වෙනවා. ඊට වඩා ධාරිතාව තියෙන ඒවා ද තිබෙනවා. නමුත් 1998 වසරේ දී ගූගල් සමාගම ආරම්භ කරද්දී දත්ත ගබඩා කිරීම සඳහා යොදා ගෙන ඇත්තේ ගිගා බයිට් 4 දෘඩ තැටි 10ක් බව දැනගන්නට ලැබෙනවා. නමුත් අද ඔවුන්ගේ දත්ත ගබඩා ධාරිතාව ගිගා බයිට් මිලියන 100කට අධිකයි. මුල්  සමයේ යම් සෙවුමක් කළ විට තත්පරයක් තුළ සකසා ප්‍රතිඵල ලෙස ලබා දිය හැකිව තිබුණේ පිටු 35 - 50 ක සංඛ්‍යාවක් පමණයි. නමුත් වර්තමානයේ දී තත්පරයක දී සැකසිය හැකි පිටු සංඛ්‍යාව මිලියන ගණනකටත් අධිකයි. 

9 comments:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න