පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, November 8, 2018

ලොව වටා හොල්මන් - Haunted Places from around the World

මේ ලෝකයේ ඇත්තටම පවතිනවාද නැත්ද කියලා වාද කරන දේවල් අතර හොල්මන්වලට ලැබෙන්නේ මුල් තැනක්. ඇතැමුන් මේවා විශ්වාස කරනවා. ඇතැමුන් විශ්වාස කරන්නේ නැහැ. කොහොම වුනත් බහුතරයක් දෙනා මේ ගැන අත්දැකීමක් ලබා ගන්න සෑහෙන උනන්දුවක් තියෙනවා. හොල්මන් නවකතා, චිත්‍රපට ආදිය බිහි වෙන්නේ මේ නිසයි. මේ ඇරුනාම හොල්මන්වලින් පිරිලා ඉතිරිලා ගිය තැන් ගැනත් දැනගන්නට ලැබෙනවා. අපේ රටෙත් මේ වගේ තැන් තියෙනවා. සොහොන් පිට්ටනි මේ අතර ප්‍රධානයි.  ඊට අමතරව ඇතැම් නිවාස, නගර, කැලෑ සහ ගොඩනැගිලි ද හොල්මන්වලට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ලෝකයේ අතිශයින් ප්‍රසිද්ධියට පත් එවැනි ස්ථානත් බොහොමයක් තියෙන අතර මේවා සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථාන වශයෙන් ද ජනප්‍රියත්වයක් උසුලනවා. කොහොම වුනත් මේවා නරඹන්නට යන්නේ නම් හොල්මන්වලට බයක් නැති ඇය විතරයි කියලත් පැවසෙනවා. ඇත්තටම අපට යන්න අවස්ථාවක නැතත් මේ විදියට විස්තරයක් හරි කියවාගන්න ලැබෙන එක ලොකු දෙයක් නිසා මේ සති අන්තයේ මේ විදියට හොල්මන් ගැන කියවමු.


ඇමරිකාවේ මයර්ටල් වතුයායේ මන්දිරය 





රතු ඉන්දියානුවන්ට අයත්ව තිබුණු සොහොන් බිමක් මත ගොඩනැගුවේ යැයි කටකතා පැතිර පවතින ඇමරිකාවේ මයර්ටල් වතුයාය කියන්නේ හොල්මන්වලට බොහොම ප්‍රසිද්ධ තැනක්. මයර්ටල් වතුයායට අයත් මේ පින්තූරයෙන් දැක්වෙන මන්දිරයේ මේ වන විට මිනීමැරුම් 10ක් සිදු වී තිබෙනවා. මේ මන්දිරයේ කලකට පෙර සේවය කළ වහලකු මෙහි හොල්මන් කරන බවට ප්‍රබල විශ්වාසයක් පවතිනවා. කොල පැහැ තලප්පාවක් බැඳ ගත් මේ හොල්මන කීප දෙනෙක්ම දැක තිබෙනවා. මේ මන්දිරයේ මෙයට පෙර ජීවත් වුණු සාරා වුඩ්රෆ් සහ ඇගේ දරුවන්ගේ අවතාර මෙහි ඇති මුහුණ බලන කන්නාඩියක හිරවෙලා තියෙන බවත් දැනගන්නට ලැබෙනවා. මේ මන්දිරයේ ඉදිරිපස වාහන නැවතුම් ස්ථානයේ දී වෙඩි තබා මරා දැමුණු විලියම් පීටර් නමැත්තාගේ අවතාරය ද මේ මන්දිරයේ නිතරම සැරිසරනවා. පීටර්ගේ අවතාරය දුවගෙන ගොස් මේ මන්දිරයේ ඇති 17 වැනි සියවසට අයත් පඩි පෙළක් ළගදී එක්වර අතුරුදහන් වෙන බවත් දැනගන්නට ලැබෙනවා.


එක්සත් රාජධානියේ ටොල්බූත් 





එක්සත් රාජධානියේ ඇති ටොල්බූත් කියන්නේ අඳුරු අතීතයකට හිමිකම් කිවූ තැනක් නොවුනත් එහි වර්තමානය තත්වය ඊට හාත්පසින්ම වෙනස්. වර්ෂ 1700 ගණන්වල ස්කොට් ජාතිකයන් බ්‍රිතාන්‍ය කිරුළ පැහැර ගැනීම සඳහා ජැකොබයිට්නමින් කැරැල්ලක් දියත් කළා. කෙසේ නමුත් එය සාර්ථක වූයේ නැහැ. එයට සහභාගී වූ කැරලිකරුවන්ට සිරගත කිරීම සඳහායි මේ ස්ථානය මුලින්ම යොදා ගෙන තිබුණේ. ඉන් පසුව ඇමරිකානු යටත් විජිතවල ජීවත්ව වූ දරුවන් පැහැර ගෙන විත් වහලුන් ලෙස විකිණීම සඳහා මේ ස්ථානයේ රඳවා තබා තිබෙනවා. වර්තමානයේ මේ ස්ථානයෙන් අද්භූත සිදුවීම වාර්තා වෙනවා. මෙතැන නරඹන්නට පැමිණි බොහෝ දෙනෙකුට දම්වැල් සෙලවෙන හඬ ඇසී තිබෙනවා. ඒ වගේම බොහෝ අවස්ථාවල දී මීදුමින් මෙතැන වැසී යන අවස්ථා තිබෙනවා. එපමණක් නොවෙයි මෙතැනට පැමිණෙන බොහෝ දෙනෙකු පවසන්නේ මෙහි ගත කරන කාලය අතරතුර තමන්ගේ ගෙල කවුරුන් විසින් හෝ මිරිකා ගෙන සිටිනවා සේ දැනුණු බවයි.


එක්සත් රාජධානියේ ප්ලක්ලි ගම්මානය 





එක්සත් රාජධානියේ කෙන්ට් ප්‍රාන්තයේ පිහිටා ඇති මේ ප්ලක්ලි ගම්මානය ලෝකයේ වැඩියෙන්ම හොල්මන් ගැවසෙන ප්‍රදේශය ලෙස එක වතාවක ගිනස් වාර්තා පොතට ද ඇතුළු වී තිබුණා. ගිනස් වාර්තා පොතේ සඳහන් වන්නේ මෙහි හොල්මන් 12 - 16 අතර සංඛ්‍යාවක් දක්නට ලැබුණු බවයි. මං පහරන සොරෙකු මේ ස්ථානයේ දී කඩුවකින් කොටා මරා දමා ඇති අතර ඔහු නිතරම මෙතැන හොල්මන් කරන බව දැනගන්නට ලැබී තිබෙනවා. ඒ වගේම දේවස්ථානය ඇති භූමියේ රතු ඇඳ ගත් කාන්තාවක් ද හොල්මන් කරනා ආකාරය බොහෝ දෙනෙක් දැක තිබෙනවා.


ඇමරිකා එක්සත් ජනපදයේ ඇල්කැට්රාස් 





මේ කියන ස්ථානයේ ඇමරිකාවේ ඉතා ප්‍රකට  අපරාධකාරයෙකු වූ අල් කොපේනෝ ඇතුළු බොහෝ සිරකරුවන් පිරිසක් රඳවා තිබූ ස්ථානය බැව් පැවසෙනවා. ඔහු සමග සිරගෙදර සෑහෙන කාලයක් ගත කළ පුද්ගලයකු වූ ලියොන් විටී නමැත්තා 1980 ගණන්වල දී පිරිසක් ද සමග මෙතැන නරඹන්නට පැමිණ තිබෙනවා. එම පිරිසත් සමග මෙතැන සිටින අතරේ එක්වරම මිහිදුමක් ආකාරයෙන් මිනිස් රුවක් මතු වී ගමන් කළ බවත්, වඩාත් හොඳින් බලද්දී ඒ රුව අන් කිසිවකුගේ නොව සිය සිරකාර මිතුරා වූ අල් කොපේනෝගේ බව ඔහු පවසනවා. මෙතැන පැමිණි තවත් නරඹන්නන් බොහෝ දෙනෙකුට විලාප තැබීම් සහ හැඬුම් ශබ්ද ද ඇසී තිබෙනවා. ඉතාමත් මෑතකදී මෙය නැරඹීමට ගිය එක් පුද්ගලයකු පවසා ඇත්තේ මෙහි ජනෙල් කවුළුවකින් කාන්තාවක් පැන එක්වර අතුරුදහන් වූ බව තමා දුටු බවයි.


ඕස්ට්‍රේලියාවේ ආර්ඩේල් උන්මත්තකාගාරය 





ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටා ඇත් මේ උන්මත්තකාගාරය විශාල ගමක් තුළ පිහිටුවා ඇති තවත් කුඩා ගමක් ලෙස සඳහන් කළ හැකියි. මෙය පිහිටුවා ඇත්තේ 1867 වර්ෂයේ දී පමණ බව පැවසෙනවා. මෙහි රඳවා තිබූ උන්මත්තක පුද්ගලයන් 13,000 කට වඩා මිය ගොස් ඇති බවත් ඒ බොහොමයක් මරණවලට හේතුව ස්වාභාවික කාරණා නොවන බවත් වාර්තා වී තිබෙනවා. වර්තමානයේ මෙය නරඹන්නට පැමිණෙන බොහෝ දෙනෙකු හොල්මන් දැක තිබෙනවා. මෙහි කාන්තාවන් රඳවා තිබූ කොටස තුළ මෙහි අතීතයේ සිට මිය ගිය නර්ස් කෙරී නමැත්තියගේ අවතාරය නිතර දකින්නට ලැබෙන බව වාර්තා වෙනවා. ඒ වගේම තමාව කවුරුන් විසින් හෝ ස්පර්ශ කළ බවත්, හිට හැටියේ අධික සීතලක් දැනුණු බවත් තවත් පිරිසක් පවසනවා.


ඕස්ට්‍රේලියාවේ ඩෙවිල්ස් පොකුණ 



 
අනතුරු ඇඟවීමේ පුවරුව

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පිහිටි මෙය නමින්ම කියවෙන පරිදි යකාගේ පොකුණක්. ගල් පරවලින් වටවුණු මේ පොකුණේ බොහෝ කාලයකට පෙර ඕස්ට්‍රේලියානු ආදී වාසි ඇබොරිජිනල් කාන්තාවක් මේ පොකුණට පැන සිය දිවි නසාගෙන තිබෙනවා. ඒ  ඇගේ පෙම්වතා ඇගෙන් වෙන් කළ ශෝකයටයි. මෙය සිදූ වී ඇත්තේ 1950 ගණන්වලයි. 1959 න් පසුව මෙය අසලට පැමිණි පුද්ගලයන් 17 දෙනෙකු කුමක් හෝ හේතුවක් නිසා මෙම පොකුණට වැටී මරණයට පත්ව තිබෙනවා. මේ නිසා බොහෝ දෙනා පවසන්නේ ආදී වාසී කාන්තාවගේ සාපයක් මේ පොකුණට වැදී ඇති බවයි. මේ තරම් මරණ සිදුවන නිසා බලධාරීන් මෙහි අනතුරු ඇඟවීමේ දැන්වීම් පුවරුවක් ද සවි කොට තිබෙනවා.





ඉන්දියාවේ භන්ගාර් බළකොටුව 






ඉන්දියාවේ රාජස්ථාන් හි පිහිටා ඇති මෙය භූත් බන්ගලානමින් ද ප්‍රකටයි. අද නටබුන්ව පැවතියත් මෙය කුඩා කෝවිල් දෙකක් ද සහිතව ඉදිකරන ලද කුඩා නගරයක් ලෙස පැවැතී තිබෙනවා. ඒ වගේම මාලිගාවල නටබුන් ද මෙහි දකින්නට පුළුවන්. 1783 වර්ෂයේ දී මේ බළකොටුව අතහැර දමා තිබෙනවා. මෙහි ඉරණම පිළිබඳ කතා දෙකක් මේ අවට ප්‍රදේශයේ ප්‍රචලිතව පවතිනවා. මෙහි වාසය කළ එක් පූජකයකු සතුව තිබූ ගොඩනැගිල්ලට වඩා උසින් වැඩි වෙනත් ගොඩනැගිල්ලක් ඔහුගේ අකැමැත්ත මධ්‍යයේ ඉදිකොට ඇති අතර උසින් වැඩි ගොඩනැගිල්ලේ සෙවණැල්ල තම ගොඩනැගිල්ල මතට වැටෙනු දුටු ඔහු මුළු නගරයටම සාප කළ බවයි පැවසෙන්නේ. එක්තරා මායාකරුවෙක් මායා බලයකින් මේ බළකොටුවේ තිබූ මාලිගාවේ සිටි කුමරියක් සිය ආදර වසඟයට ගත් බවත්, එහි බලය බිඳී ගිය විට ඔහු මුළු නගරයටම සාපයක් කළ බවත් තවත් කතාවකින් පැවසෙනවා.


මැලේසියාවේ පෙනෑන්ග් යුද කෞතුකාගාරය 






ලෝක ප්‍රකට නැෂනල් ජෝග්‍රැෆික් සඟරාව සඳහන් කරන අන්දමට ආසියාවේ වැඩිපුරම හොල්මන් අවතාරවලට ප්‍රසිද්ධියක් උසුලන්නේ හොල්මන් කන්ඳ නමින් ප්‍රකට මෙම යුද කෞතුකාගාරයයි. 1930 ගණන්වල දී ආරක්ෂක බළකොටුවක් ලෙස මෙය ගොඩනංවා ඇති අතර 1941 වර්ෂයේ දී ජපනුන් විසින් මැලේසියාව ආක්‍රමණය කරන තුරු මෙහි සිට ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයන්. එතැන් පටන් මෙය ජපනුන්ගේ සතුරන් සිර කොට වද හිංසා කොට මරා දමන ස්ථානයක් ලෙස යොදා ගැනුණා. මේ බොහෝ සිරකරුවන් මරා දමා තිබුණේ ගෙළ සිඳලීමෙන්. මේ ජපනුන් අතර සිටි කෲර නිලධාරියකුගේ අවතාරය නිතර මෙහි සැරිසරන බව මේ අවට වෙසෙන්නන් පවසනවා.




3 comments:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න