පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, March 17, 2020

කොරෝනා හෙවත් කොවිඩි-19 ගැන ඔබ දත යුතු දෑ - What you should know about Covid-19



මේ දිනවල අප රටේ ඇති බරපතලම සෞඛ්‍ය ගැටලුව බවට පත්ව ඇත්තේ කොරෝනා වෛරසය හෙවත් කොවිඞ්-19 රෝගී තත්වයයි. මා ජීවත්වන වෙන්නප්පුව අවට ප්‍රදේශයෙන් ද කොවිඩි-19 න් ආසාදනය වූයේ යැයි සැකසහිත පුද්ගලයන් හමු වීම මේ පිළිබඳව වැඩිදුර නිවැරදි තොරතුරු සොයා බලන්නට මට හේතුවක් සපයා දී තිබේ.  මේ පිළිබඳ නිවැරදි තොරතුරු සොයන්නන්ට උපකාරයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධාන වෙබ් අඩවියේ සඳහන් වූ තොරතුරු සමුදායක සරල සිංහල පරිවර්තනයක් ඉදිරිපත් කරන්නට මට සිතුණි. මෙහි බොහෝ තොරතුරු ඇති බැවින් ඉදිරි දිනවල ද මෙය යාවත්කාලීන කරන්නට අපේක්ෂා කරමි.

කොරෝනා ව්‍යාප්ති සිතියම

කොරෝනා වෛරස යනු කුමක්ද?
කොරෝනා වෛරස යනු මිනිස්නු සහ සතුන් තුළ රෝග බෝ කරන්නා වූ විශාල වෛරස් කාණ්ඩයකි. මිනිසුන් තුළ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා තත්වයක  සිට දරුණු මාරාන්තික ස්වසනාබාධ ඇති කරන්නා වූ කොරෝනා වෛසරස වර්ග කිහිපයක්ම මේ වන විට සොයා ගෙන තිබේ. ඒවා නම් මැදපෙරදිග ස්වසන සහලක්ෂණය (Middle East Respiratory Syndrome - MERS), ‘තීව්‍ර උග්‍ර ස්වසන සහලක්ෂණය (Severe Acute Respiratory Syndrome - SARS) සහ මෑතකදී සොයා ගත්  COVID-19 කොරෝනා රෝගය ඇති කරන්නා වූ කොරෝනා වෛරසයයි.

COVID-19 යනු කුමක්ද?
COVID-19 යනු  කොරෝනා වෛරසය නිසා ආසාදිත තත්වයට පත්වන්නා වූ මෑතකදීම සොයා ගන්නා ලද රෝගයයි. 2019 දෙසැම්බර් මාසයේ දී චීනයේ වුහාන් පළාතෙන් මෙය මතුවන තුරු එවැන්නක් පිළිබඳ කිසිවකු හෝ දැන සිටියේ නැත.

COVID-19 රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?
කොවිඞ් 19 රෝගයේ සාමාන්‍ය රෝග ලක්ෂණයන් වන්නේ උණ, වෙහෙස වූ ස්වභාවය, සහ වියළි කැස්සයි. ඇතැම් රෝගීන් තුළ වේදනා සහ කැක්කුම්, නාසයේ අවහිරතාවන්, සොටු දියර ගැලීම්, උගුර වනවීම් සහ අතීසාර තත්වයන් ද දක්නට ලැබිණි. මේ රෝග ලක්ෂණ සාමාන්‍ය තත්වයේ සිට කෙමෙන් කෙමෙන් වර්ධනය වන තත්වයක් පෙන්නුම් කෙරේ. ඇතැම් පුද්ගලයන් මේ වෛරසය නිසා ආසාදිත තත්වයට පත්වූව ද කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකෙරුණු අතර අපහසුතාවක් ද නොදැනුණු බැව් පැවසේ. මෙයින් ආසාදිත වූවන්ගෙන් 80%ක් පමණ කිසිදු විශේෂ ප්‍රතිකාරයකින් තොරව සුවපත් වූහ. මෙයින් ආසාදනය වූ සෑම 6 දෙනෙකුගෙන් 1 අයෙකුම දරුණු තත්වයන්ට මුහුණ පෑ අතර තියුණු ස්වසනාබාධවලට ලක් වූහ. වයස්ගත පුද්ගලයන්, අධික රුධිර පීඩනය, හෘද රෝග සහ දියවැඩියා වැනි රෝග තත්වයන්ගෙන් පෙළෙන්නන් තුළ මෙය දරුණු තත්වයක් දක්වා වර්ධණය විය. උණ, කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතාවන් ඇති වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු වේ.

කොවිඩි - 19 ව්‍යාප්ත වන්නේ කෙසේද?
මේ වෛරසය සහිත වෙනත් පුද්ගලයයකුගෙන් තවත් පුද්ගලයකුට මෙය බෝ විය හැකිය. ආසාදිත පුද්ගලයකු පිටකරන කිවිසමකදී හෝ ප්‍රශ්වාසයකදී ඔහුගේ නාසයෙන් හෝ මුඛයෙන් ජල අංශු මගින් එක් පුද්ගයකුගෙන් තවත් පුද්ගයකුට මෙය පැතිරී යා හැකිය. මේ ජල අංශු එකී පුද්ගලයා අවට ඇති වස්තූන් මත හෝ යම් මතුපිටක් මත තැන්පත් විය හැකිය. මේ වස්තූන් හෝ මතුපිට වෙනත් පුද්ගලයකු විසින් ස්පර්ශ කොට තමාගේ ඇස්, නාසය හෝ මුඛය ස්පර්ශ කිරීමෙන් එකී පුද්ගලයාට මෙය වැළඳෙයි. කොවිඞ්-19 වැළඳුණු පුද්ගලයකුගේ කැස්සක්, කිවිසුමක් හෝ ප්‍රශ්වාස වාතය ආශ්වාස කිරීමෙන් ද මෙය බෝ විය හැකිය. ආසාදිත පුද්ගලයකුගෙන් අඩි 3ක් (මීටර් 1ක්) දුරින් සිටීම වඩාත් වැදගත් වන්නේ මේ නිසාය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පැතිරී යා හැකි තවත් ආකාර පිළිබඳ පර්යේෂණ පවත්වමින් සිටී.

වාතය මගින් මෙය පැතිරී යා හැකිද?
දැනට සිදුකොට ඇති අධ්‍යයනයන් මගින් හෙළිවී ඇත්තේ මෙය වාතය මගින් නොව ආසාදිත පුද්ගලයකුගේ ප්‍රශ්වාස වාතයේ ඇති ජල අංශූ මගින් පැතිර යන බවයි.

රෝග ලක්ෂණ නොමැති පුද්ගයකුගෙන් වුව මෙය බෝ විය හැකිද?
මෙය ව්‍යාප්ත් වන ප්‍රධානතම ක්‍රමය වන්නේ කිවිසුමක්, කැස්සක් මගින් ආසාදිත පුද්ගයකුගෙන් පිටවන ප්‍රශ්වාස වාතයේ ඇති ජල අංශූ මගිනි. රෝග ලක්ෂණ නොමැති පුද්ගයකුගෙන් මෙය බෝ වන්නට ඇති ඉඩකඩ ඉතා-19  අවමය. කෙසේ නමුත් කොවිඩ-19 වැළඳුණු බොහෝ පුද්ගලයන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ සුළු රෝග ලක්ෂණ පමණි. මෙහි ආරම්භක රෝග ලක්ෂණ එසේය. එබැවින් රෝගී ස්වභාවයක් පෙන්නුම් නොකරන එහෙත් කොවිඞ්-19 සහිත් පුද්ගයකුගේ සුළු කැස්සකින් පිටවන ආශ්වාස වාතයෙන් පවා මෙය බෝ වන්නට ඉඩක් තිබේ. මෙය බෝ වන්නේ කුමන අවස්ථාවක සිට ද යන්න පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය පර්යේෂණ පවත්වමින් සිටී.

ආසාදිත පුද්ගයකුගේ මළ මුත්‍ර මගින් මෙය බා් විය හැකිද?
කොවිඞ්-19 සහිත පුද්ගලයකුගේ මළ මුත්‍ර මගින් මෙය තවත් අයෙකුට බෝ වන්නට ඇති ඉඩ ඉතා අවමය. මෙතෙක් කරන ලද විමර්ශණවලදී හෙළිවී ඇත්තේ ඇතැම් අවස්ථාවලදී පමණක් මළ මුත්‍රවල මේ වෛරසය තිබුණු බවයි. කෙසේ නමුත් මෙය ව්‍යාපත් වීමේ ප්‍රධානම ආකාරය එය නොවේ. කෙසේ නමුත් එවැනි අවදානමක් යම් පමණකට ඇති බැවින් වැසිකිළි යැමෙන් පසුව සහ කෑමට පෙර හොඳින් දෑත් සෝදා ගැනීම ඉතාමත් වැදගත්ය.

පිළිපැදිය යුතු ආරක්ෂක ක්‍රියා මාර්ග
මෙය ව්‍යාප්ත වන ආකාර පිළිබඳ ප්‍රවෘත්ති පිළිබඳ නිරතුරු අවධානයෙන් සිටින්න. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියෙන් සහ ප්‍රදේශීය මහජන සෞඛ්‍ය නිලධාරීන්ගෙන් මේ පිළිබඳ තොරතුරු දැනගත හැකිය.  මේ වන විට ලෝකයේ රටවල් ගණනාවකම කොවිඩ-19 රෝගය ව්‍යාප්ත වන්නට පටන් ගෙන තිබේ. චීනයේ සහ ඇතැම් රටවල බලධාරීන් මෙය ව්‍යාප්ත වීමේ වේගය අඩාල කොට ඇත. කෙසේ නමුත් මෙහි ව්‍යාප්තිය පිළිබඳ පුරෝකථන කිරීම දුෂ්කර බැවින් නිරතුරු අවධානයෙන් සිටීම වැදගත්ය.

මේ සරල උපදෙස් පිළිපැදීමෙන් ඔබට කොවිඞ්-19 ආසාදානය විමෙන් හෝ ව්‍යාප්ත කිරිමෙන් වැළකී සිටිය හැකිය.

 මද්‍යසාර සහිත දියරයකින් හෝ සබන් සමග ජලය දමා හෝ නිරතුරුව ඔබේ දෑත් හොඳින් සෝදන්න. එසේ කරන්න්ට හේතුව සබන් සමග ජලයෙන් හෝ මද්‍යසාර සහිත දියරයකින් සේදීමෙන් ඔබේ දෑත්වල රැඳී ඇති වෛරස විනාශ වී යන බැවිනි.
කැස්ස සහිත හෝ කිවිසුම් පිටකරන පුද්ගලයකුගෙන් අඩුම තරමේ මීටරයක් (අඩි 3) වත් ඈතින් සිටින්න.
දෑස්, නාසය සහ මුඛ්‍ය ස්පර්ශ කිරීමෙන් වැළකෙන්න. එසේ කළ යුත්තේ ඇයි? යම් මතුපිටක් ස්පර්ශ කිරීමෙන් එහි ඇති වෛරසය දෑත්වල තැවරිය හැකිය. එසේ තැවරුණු පසු ඔබ දෑස්, නාසය හෝ මුඛය ස්පර්ශ කිරීමෙන් එකී වෛරසය පහසුවෙන්ම සිරුරට ඇතුළු වේ. 
ඔබ අවට සිටින පුද්ගලයන් සෞඛ්‍ය සම්පන්න ස්වසන පුරුදු අනුගමනය කරන්නේ දැයි සැලකිලිමත් වන්න. එනම් කැස්සකදී හෝ කිවිසුමකදී වැලමිටෙහි යට පැත්තෙන් හෝ  ටිෂූ එකකින් මුව ආවරණය කර ගන්නට උනන්දු වනවා ද යන්නය. අනෙක මේ ටිෂූ වරක් භාවිත කිරීමෙන් පසු ඉවත දැමිය යුතුය. එයට හේතුව වන්නේ ජල අංශු මගින් මේ වෛරසය ව්‍යාප්ත වන නිසාය. යහපත් ස්වසන සෞඛ්‍ය පුරුදු ඇති කර ගැනීමෙන් ඔබ තමා අවට සිටින්නන් කොවිඞ්-19 රෝගයෙන් ආරක්ෂා කරන්නට සමාජ මෙහෙවරකට දායක වේ. 
අසනීප ගතියක් දැනෙන්නේ නම් නිවසට වී සිටින්න. ඔබට උණ, කැස්ස සහ හුස්ම ගැනීමෙන් අපහසුතාවක් ඇත්නම් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන්න. ප්‍රදේශීය සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන උපදෙස් අනුගමනය කරන්න. එසේ කළ යුත්තේ මේ නිසාය. මේ රෝග තත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු ඇත්තේ ජාතික සහ ප්‍රදේශීය බලධාරීන් සතුවය. ඔවුන් ඇමතීමෙන් ඔබට වඩාත් ඉක්මන් ප්‍රතිකාරය සඳහා යොමු විය හැකිය. මෙය ඔබේ ආරක්ෂාවට මෙන්ම අන් අයට එය බෝ වීම වළක්වා ගැනීමට ගත හැකි නිවැරදි පියවරක් වන්නේය.

මේ රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වන ප්‍රදේශ පිළිබඳ නිරතුරු අවධානයෙන් සිටින්න. විශේෂයෙන් ඔබ වයස්ගත පුද්ගලයෙක් නම්, දියවැඩියාව, හෘද හෝ පෙනහලු රෝගවලින් පෙළෙන්නක් නම් ගමන් බිමන් යාමෙන් වැළකී සිටින්න.

කොවිඩි-19 වෛසරය ව්‍යාප්ත වී ඇති ප්‍රදේශයක පසුගිය දින 14 තුළ ජීවත්වන පුද්ගලයකු හෝ එවැනි ප්‍රදේශයකට ගොස් පැමිණි හෝ පුද්ගලයකු විසින් අනුගමනය කළ යුතු ආරක්ෂක උපදෙස්.

ඔබට යම් කිසි සුළු අසනීප තත්වයක්, එනම්, හිසරදය, ලා උණ (සෙන්ටිග්‍රේඞ් අංශක 37.3 හෝ එයට වැඩි) සහ සොටු දියර ගලන තත්වයක් වැනි සුළු රෝග ලක්ෂණ හෝ පෙන්නුම් කරන්නේ නම්  නැවත සුව අතටහැරෙන තුරු නිවසටම වී ස්වයං නිරෝධායනයකට ලක් වීම වඩත් සුදුසු ය. නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන එන්නට නිවසින් බැහැරට යා යුතුම නම් අන් අයට මෙය ආසාදනය වීම වැළැක්වීම සඳහා මුඛ ආවරණයක් පළඳින්න. 
ඔබට උණ, කැස්ස සහ හිසුම ගැනීමේ අපහසුතාවක් පැන නැගුනේ නම් වහාම වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර සඳහා යොමුවන්න.

ඔබට කොවිඞ්-19 වැළඳීමට කෙතරම් ඉඩක් තිබේද?
එම අවදානම රැඳී ඇත්තේ ඔබ සිටිනා ස්ථානය අනුවය. විශේෂයෙන් ඔබ සිටින ප්‍රදේශය කොවිඩි-19 ව්‍යාප්ත වන ප්‍රදේශයක ද යන්න මතය.

බොහෝ ප්‍රදේශවල සිටින බොහෝ පුද්ගලයන්ට කොවිඩ්-19 වැළඳීමේ අවදානම තවමත් ඇත්තේ පහළ මට්ටමකය. කෙසේ වෙතත් ලොව වටා බොහෝ නගරවල මේ වන විට වෛරසය පැතිර යමින් පවතී. එවැනි ප්‍රදේශවල ජීවත් වීම හෝ සංචාරය කිරීම කොවිඞ්-19 ආසාදනය වීමට හේතුවක් විය හැකිය. මේ වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් ලබා දී ඇති උපදෙස් පිළිපදින්න. ගමන් බිමන් යාම හැකි තාක් අඩු කරන්න.  විශාල පිරිසක් ලෙස එක් ස්ථානයක රැස් වීමෙන් වැළකෙන්න. මෙය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට සහයෝගය ලබා දීමෙන් මෙය ආසාදනය වීමේ අවදානම ද අවම කර ගත හැකිය.


2 comments:

  1. වටිනා ලිපියකි
    විචාරක දියණිය

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න