පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, September 11, 2020

ගව ඝාතන තහනම ගව සම්පත රැකගැනීම සඳහාමද?

 



ගව ඝාතනය තහනම් කිරීම පිළිබඳ කතිකාවතක් මේ දිනවල සමාජගතව පවතින අතර දේශපාලන වශයෙන් ද ඒ සඳහා යම් තීරණ ගැනීමට නියමිත බව පෙනෙන්ට තිබේ. කෙසේ වෙතත් අප රටේ බහුතරයක් සිටින්නේ බෞද්ධයින් වුව ද, බුදු දහමෙන් ප්‍රාණඝාතයේ ආදීනව හොඳින් පැහැදිලි කොට දී තිබුණ ද, බෞද්ධයන් ඇතුළු බොහෝ දෙනෙක් මාංශ පරිභෝජනයෙන් නම් ඈත්වී ඇති බවක් නම් නොපෙනේ. කෙසේ නමුත් අසරණ සතුන් මරා ආහාර පිණිස ගැනීම පිළිබඳ සමාජය තුළ ඇති විරෝධයේ ද අඩුවක් නැත. විශේෂයෙන් පසුගිය කාලය පුරාම ගව ඝාතනයට එරෙහි ව්‍යාපාර දිනෙන් දින වර්ධකය වෙමින් පැවතිණි. මේ ව්‍යාපාරවල බලපෑම නිසා හෝ අප නොදන්නා වෙනත් හේතුවක් නිසා හෝ අප රට තුළ ගව ඝාතනය කිරීම තහනම් කිරීමේ තීරණයකට මේ වන විට එළැඹ තිබේ.

විවිධ ආකාරයෙන් ලැබෙන සංඛ්‍යාලේඛනවලට අනුව දිනකට අවම වශයෙන් අප රටතුළ ගවයින් 5000ක් පමණ මස පිණිස මරා දැමේ. මොවුන් අතර පිරිමි සතුන් පමණක් නොව එළදෙනුන් හා පැටවුන් ද සිටින බව කවුරුත් දන්නා කරුණකි. දැනට වදර කිහිපයකට පෙර ගව ඝාතනයට එරෙහි වෙමින් සිය ජීවිතයෙන් වන්දි ගෙවූ පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රසාර හිමියන්ගේ මරණය ඇතැම් විට බොහෝ දෙනෙකුගේ මතකයෙන් බැහැරව ගොස් තිබෙන්නට ද පුළුවන.  උන් වහන්සේ මරණයත් සමග භික්ෂූන් වහන්සේලා, විවිධ කණ්ඩායම් හා ඇතැම් දේශපාලන පක්ෂ ද රජයෙන් ඉල්ළා සිටියේ අප රටේ ගව ඝාතනය තහනම් කිරීමේ පණත ක්‍රියාත්මක කරනා ලෙසය. තවත් පිරිසක් පවසන්නේ මෙය ප්‍රායෝගික ව කළ හැකි දෙයක් නොවන බවය. ඉන්දියවේ ගව ඝාතනය තහනම් කොට ඇති නිසා අප රටේ එය කරන්නට නොහැකි මන්දැයි තවත් පිරිසක් අසති.

ඉන්දියාවේ ගව ඝාතන තත්වය පිළිබඳ සලකා බැලීමේ දී පෙනී යන්නේ මුළු රටේම මෙම නීතිය එක හා සමාන අයුරින් ක්‍රියාත්මක වන්නේ නැති බවය. එහි ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට මෙම තත්වය වෙනස්ය. ඇතැම් ප්‍රාන්තවල ගව ඝාතනය මුළුමනින් ම තහනම් කොට ඇති අතර ඇතැම් ඒවායේ යම් යම් සීමාවන්ට යටත්ව මස් පිණිස ගවයින් ඝාතනය කිරීමට අවසර ලබා දී තිබේ. විශේෂයෙන් කේරළ ප්‍රාන්තයේ නම් ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් ය. චෙන්නායි හා මුම්බායි යන නගරවල මස් පිණිස ගවයින් මැරීම මහා පරිමාණයෙන් සිදුවේ. ඉන්දියාවේ නීත්‍යනුකූල ගව ඝාතනාගාර 3,600 ක් පමණ ඇති අතර නීති විරෝධී ඒවා තවත් බොහෝ ගණනක් තිබේ. ඒවා වසා දැමීමට මෙතෙක් ගත් උත්සාහයන් සියල්ලම පාහේ අසාර්ථක වී තිබේ.

විකිපීඩියාවේ සඳහන් වන අන්දමට 2012 වසරේ ඉන්දියාවේ ගව මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 3.643 කි. එයින් මෙට්‍රික් ටොන් මිලියන 1.963 ක් දේශීයව පරිභෝජනය කරනු ලැබ ඇති අතර මෙට්‍රික් ටොන් මිලියන 1.680 ක් අපනයනය කොට තිබේ. https://beef2live.com වෙබ් අඩවියට අනුව 2020 වසරේ දී ගව මස් අපනයනය අතින් ඉන්දියාව පසුවන්නේ ලෝකයේ තෙවැනි ස්ථානයේ ය. ගවයා දේවත්වයෙන් අදහන හින්දු භක්තිකයන් බහුතරයක් වෙසෙන ඉන්දියාවේ තත්වය එයයි.

අප රටේ ද සතුන් වෙනුවෙන් පණතක් පවතී. එය 1958 අංක 29 දරණ සත්ව පණත ලෙස හඳුන්වනු ලබයි. එහි මුල් වගන්තියෙන් දැක්වෙන්නේ මස් පිණිස ආනයනය කරනු ලැබූ ගවයකු හැරුණු විට වෙනත් ගවයකු, එළදෙනකු මස් පිණිස ඝාතනය තහනම් බවය. එමෙන්ම අවුරුදු 10කට නොඅඩු, සතුන් බෝ කිරීමේ හැකියාව නොමැති සහ දුර්වල සෞඛ්‍ය තත්වයෙන් යුක්ත ගවයින් ද මේ පණත යටතේ මස් පිණිස මරන්නට පුළුවන. නමුත් අද අපේ රටේ වන ගව ඝාතන රැල්ල හා මේ පණත අතර ඇත්තේ අහසට පොළොව මෙන් දුරස්ථ බවකි.

ගව ඝතනය තහනම් කිරීම පසුපස යම් යම් ක්‍රමන්ත්‍රණකාරී වැඩපිළිවෙලවල් පවතින බවට ද ඇතැමුන් චෝදනා කරනු පෙනෙන්නට තිබේ. කෙසේ නමුත් මේ තීරණය ගෙන ඇත්තේ ගව සම්පත රැකගැනීමේ අරමුණින් නම් පැවසිය හැක්කේ තහනමකින් පමණක් මෙය සිදු කළ නොහැකි බවය.

2 comments:

  1. ගව ඝාතනය වලක්වා කිරිනිෂ්පාදනය දෙගුන කිරීමට ක්‍රමයක් ඉදිරිපත්කරමි:
    ඉපදි දින කීපයකින් පිරිමි වසුපැටවුන්ගේ වෘෂණ ඉවත්කර ඒවා කොම්පෝස්ට් පොහොර සෑදීමට දමන්න.
    ඉන්පසු ඔවුන්ට සුදුදු මාත්‍රාවකින් ස්ත්‍රී හෝමෝන ලබා දෙන්න. මේ සඳහා යොදාගතහැකි අළුත්ම තාක්ෂණය වන්නේ හෝමෝන ගබඩාකර සුදුසු පරිදි මුදාහරින ඉලෙක්ට්‍රොනික චිපයක් වසුපැටවාතුල රෝපනය කිරීමයි.
    වසුපැටවා වැඩුනුපසු ඌට කිරි නිපදවීමට අවශ්‍යවන හෝමෝන ලබාදෙන්න.
    මේ ක්‍රමයෙන් සෑම වසු පැටවෙකුගෙන්ම කිරි ලබාගත හැක. එමගින් කිරි නිපදවීම දෙගුන වෙයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක විමල් වීරවංශ ඇමතිතුමාට ඉදිරිපත් කළා නම් අතිරේක ලේකම් තනතුරක්වත් ලබාගන්න තිබුණා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න