පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, August 30, 2024

ජීවත්ව සිටියදීම ගන්නා අවමඟුල් - All About Living Funerals



ජීවත්ව සිටියදීම තමාගේ අවමංගල්‍යයට සහභාගී වූ සිදුවීම් අපට ඉඳ හිට අසන්නට ලැබේ. කොටි ත්‍රස්තවාදීන් සමග සටන් පැවති සමයේ ඇතැම් හමුදා භටයන් මිය ගිය බවට වැරදි තොරතුරු ලැබී වැරදි මළ සිරුරක් සහිත මුද්‍රා තබන ලද මිනී පෙට්ටියක් යම් කිසි නිවසකට ලැබීම නිසා අවමංගල්‍යය පවත්වමින් සිටිය දී අදාළ පුද්ගලයා එකී නිවසට පැමිණි අවස්ථා අප අසා තිබේ. එමෙන්ම වැරදි තොරතුරු නිසා තමා මිය ගිය බවට ආරංචි පැතිර යාම වැනි සිදුවීම් ද විරල නැත. නමුත් යම්කිසි පුද්ගලයෙක් තමාගේ කැමැත්තෙන්, තමා ජීවත් ව සිටිය දී තමාගේ අවමංගල්‍ය උත්සවය පවත්වන අවස්ථා අප අසා නැති තරම් ය. මරණයට පෙර තමාගේ මිනී පෙට්ටිය සාදා නිම කර ගත් පුද්ගලයන්ගේ කතා නම් ඉඳ හිට අසා තිබෙන්නට පුළුවන. නමුත් මරණයට පෙර අවමංගල්‍ය උත්සව ගැනීම අපට ආගන්තුක කාරණයකි. අපට එසේ වුව ද ලෝකයේ බොහෝ රටවලට එය පුදුමයට හෝ අසුබ කාරණයක් හෝ නොවේ. ලෝකයේ මෙය Living funeral හෝ pre-funeral නමින් ප්‍රකට ව තිබේ. අපට මෙය ‘ජීවමාන අවමංගල්‍ය උත්සව’ හෝ ‘පූර්ව අවමංගල්‍ය උත්සව’ වැනි නමකින් හැඳින්විය හැකිය. අපට අරුමයක් වුවත් ලෝකයට අරුමයක් නොවන මේ ගැන අද අපි කතා කරමු.

දූපත් මානසිකත්වයෙන් සහ ගතානුගතික අදහස්වලින් පිරි බහුතරයක් වෙසෙන අප වැනි සමාජයක මෙය විකාරයක් හෝ අසුබ දෙයකැයි සිතුන ද මේ චාරිත්‍රය ලෝකයේ සෙසු රටවල් අතර වේගයෙන් පැතිර යමින් පවතී. යමෙක් ජීවත් ව සිටිය දීම තමාගේ අවමංගල්‍ය උත්සවය ගැනීම මෙහි දී සිදු වේ.

මෙය සිදු වන්නේ කෙසේද?

ලෝකයේ සෙසු රටවල මේ අවස්ථාව සංවිධානය කරන්නට සහය ලබා දෙන්නේ අවමංගල්‍ය කටයුතු සිදු කරන ආයතනයක් මගින්මය. ජීවමාන අවමංගල්‍ය උත්සව සංවිධාන කිරීම සඳහා ඔවුන්ගේ වෙනම සේවයක් පැවැත්වෙයි. යම්කිසි පුද්ගලයකු ජීවත් ව සිටිය දීම සිය අවමංගල්‍ය උත්සවය සිදු වන්නේ කෙසේද යන අත්දැකීම විඳීම මෙහි අරමුණ වේ. විශේෂයෙන් සිය අවමංගල්‍යයට කෙතරම් හිතවතුන් පිරිසක් සහභාගී වන්නේ ද යන මානසික තෘප්තිය ලබා ගැනීමේ අවස්ථාවක් ද මෙහි දී හිමි වේ. මේ සම්බන්ධ නිශ්චිත රීති මාලාවක්, චාරිත්‍ර මාලාවක් නො පවතින අතර පුද්ගල කැමැත්ත මත මෙය සංවිධානය කෙරෙන ආකාරය තීරණය කර ගත හැකිය.

මෙවැන්නක් කරන්නට තීරණය කරන්නේ ඇයි?

අප සාමාන්‍යයෙන් මරණය අපේක්ෂා කරමින් ජීවත් නො වුනත් ඇතැම් පුද්ගලයන් එසේ ජීවත් වන අවස්ථා තිබේ. දරුණු පිළිකා රෝගයක්, අනතුරක් නිසා යන්ත්‍ර මගින් ජීවිතය රැක ගෙන සිටින රෝගියෙක්, වෙනත් මරණීය, සුව කළ නො හැකි රෝගයකින් පීඩා විඳින පුද්ගලයන්ට ජීවත් වන්නට ඇති කාලය කෙටිය. බොහෝ විට ඒ බව එකී රෝගයෙන් පීඩා විඳින පුද්ගලයා අවබෝධ කොට ගෙන සිටියි. ජීවමාන අවමංගල්‍ය උත්සවයක් බොහෝ විට සංවිධානය කරනු ලබන්නේ එවැනි පුද්ගලයන් සඳහා ය.

අප සමාජයේ ද එවැනි රෝගයකින් පීඩා විඳින පුද්ගලයන් සඳහා දාන මාන පින්කම් සිදු කරන අවස්ථා දැකිය හැකිය. ඇතැම් කාරණාවලින් එය අදාළ පුද්ගලයාගේ සිත සතුටු කරවීමට ගන්නා උත්සාහයක් වුවද ජීවමාන අවමංගල්‍යය එයට වඩා වෙනස් ය. ජීවමාන අවමංගල්‍යයක දී අදාළ පුද්ගලයාට සිය නෑදෑ හිතමිතුරන් සමග එක් වන්නට අවසන් අවස්ථාවක් හිමි වේ. ඔවුන්ට මරණයට පෙර සිය හිතවතුන් සමග තමා කැමති ගීත රස විඳිය හැකිය. වසර ගණනක් පැරණි අතීත මතකයන් ස්මරණය කළ හැකිය. සිය අවමංගල්‍යයට සහභාගී වූ පිරිස සමග මරණයට පෙර ඉතා සමීප අත්දැකීමක් ලබා ගත හැකිය.


මේ අවමංගල්‍යයේ දී සියලු වටපිටාව සකස් කෙරෙන්නේ අවමංගල්‍ය අවස්ථාවක් හා සමානවමය. දේහය තැන්පත් කරන පෙට්ටියක් තිබෙන අතර අදාළ පුද්ගලයා වැඩි වශයෙන් සිටින්නේ එහි සැතපීගෙනය. සහභාගී වන සියලු දෙනා අවමංගල්‍යයකට ගැළපෙන ඇඳුම්වලින් සැරසී පැමිණෙන අතර ඔවුන් හැසිරෙන්නේ ද ඒ ආකාරයෙනි. අවමංගල්‍යයක දී සිදු කෙරෙන ආගමික වතාවක් ද දක්නට හැකිය. සරසා ඇති මල් පවා අවමංගල්‍යයන් සඳහා තෝරා ගන්නා ඒවාය. තමාගේ අවමංගල්‍යයේ මල්වල සුවඳ , තමා මිය යන්නට පෙර තමාටම විඳිය හැකිය. ජීවත් ව සිටිනවුන්ට තමාගෙන් සිදු වූ වැරදි ඇත්නම් ඒවාට සමාව අයැද සිටින්නට මෙය මහඟු අවස්ථාවකි. මන්ද තව නොබෝ දිනකින් තමා මෙලොව හැර යන බැවිනි. එවැනි අවස්ථාවක දී යම්කිසි පුද්ගලයකු නොමසුරුව සමාව පිරිනැමීම සිදු කෙරෙන්නේ නොබෝ දිනකින් මෙලොව හැර යන එකී පුද්ගලයාට ඒ කෙටි කාලය හෝ සැහැල්ලුවෙන් ගත කරන්නට එය අවස්ථාවක් සලසා දෙන බැවිනි. 

කෙසේ නමුත් ඇතැම් පුද්ගලයන් කිසිදු රෝගාබාධ තත්ත්වයක් නොමැතිව වුව ද ජීවමාන අවමංගල්‍ය පවත්වන අවස්ථාවන් දැකිය හැකිය. බොහෝ දෙනෙක් එවැන්නක් කරන්නේ තමා මිය ගිය පසු නැවතත් මේ සා වියදමක් දරමින් අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීම වළක්වා ගැනීම සඳහා ය. ජීවමාන අවමංගල්‍යයක් පැවැත්වීමෙන් පසු යම්කිසි පුද්ගලයකු මිය ගිය පසු අවමංගල්‍ය කටයුතු කරන ආයතනය වහා එකී මිය ගිය පුද්ගලයාගේ සිරුර භූමදානය කිරීමට හෝ ආදාහනය කිරීමට කටයුතු කරයි. ඒ අවස්ථාව සඳහා පවුලේ අය හැර අන් කිසිවකු සහභාගී වන්නේ නැති අතර සියල්ල අවම වියදමකින් සිදු කෙරේ.

ලෝකයේ වැඩිම වැඩිහිටි ජනගහනයක් ඇති ජපානයේ ජීවමාන අවමංගල්‍යයන් වැඩි වශයෙන් සිදුවන රටක් ලෙස සැලකේ. ජපන් බසින් මෙය ‘සෙයිසෙන්සෝ’ නමින් හඳුන්වන අතර එහි වැඩිහිටියන් දුර්වල වෙමින් පවතින සිය සිරුර පිළිබඳ දක්වන්නේ දුක්බර, අවමානයක් වැනි හැඟීමකි. ඔවුන් සිතන්නේ තමා තවදුරටත් තම දරුවන්ට බරක් ලෙසිනි. මේ මානසික පීඩාවෙන් යම් තාක් දුරකට හෝ මිදීම සඳහා ජීවමාන අවමංගල්‍යයන් පැවැත්වීම බහුලව සිදු කෙරෙනු දැකිය හැකිය. ජපානයේ ඇතැම් අවස්ථාවල දී වැඩිහිටි වියෙහි පසුවන්නන් පිරිසක් සමග ඔවුන්ට අවමංගල්‍යයක අත්දැකීම ලබා දෙන අවස්ථාවන් ද දැකිය හැකිය. එය බොහෝ විට වැඩමුළුවක් වැනි අවස්ථාවකි.  ඔවුන් එකී කාලය පුරාම සිටින්නේ මිනී පෙට්ටියක් තුළය. අවසානයේ ඔවුන් පෙට්ටියට දමා එහි පියන වසා තමා යම්කිසි වෙලාවක් තබයි. ඔවුන් බොහෝ දෙනෙක් පෙට්ටිය විවර කරද්දී නැගී සිටින්නේ හැඬූ කඳුළිනි. තම මරණය පිළිබඳ එය තමාටම දුක්වන්නට ඔවුහු ඒ අවස්ථාව ලබා ගනිති. එය ද තවත් ආකාරයක ජීවමාන අවමංගල්‍ය අත්දැකීමකි.

විවේචන

ලෝකයේ බොහෝ රටවල මෙය වේගයෙන් පැතිර ගිය ද මේ සම්බන්ධ විවේචන නැතිවාම නොවේ. මෙවැනි උත්සවවලට එරෙහිව අදහස් දක්වන්නන් පෙන්වා දෙන්නේ අවමංගල්‍ය උත්සවයක් පැවැත්විය යුත්තේ යම් පුද්ගලයකුගේ මරණයෙන් පසුව මිසක පෙර නොවන බවය.

කෙසේ නමුත් තමා ජීවත්ව සිටිය දී තමාට හිතවත්ව සිටි නොසිටි සියලු දෙනා තමා ජීවත්ව සිටියදීම අගය කරන්නට ලැබෙන මහඟු අවස්ථාවක් ලෙස මෙයට පක්ෂව අදහස් දක්වන්නෝ පවසති.

Friday, August 23, 2024

සත්ත්ව චර්යා විද්‍යාව ගැන දන්නේ මොනවාද? What do you know about Ethology?



සතුන් පිළිබඳ හදාරන්නට කැමති කෙනෙකු උගත යුතු විෂයය කුමක්දැයි කවුරුන් හෝ ඔබගෙන් ඇසුවහොත් ඔබ ඒ අවස්ථාවේ දී එකහෙලාම පවසන්නේ ‘සත්ත්ව විද්‍යාව’ (Zoology) කියාය. සත්ත්ව විද්‍යාව යනු ජීව විද්‍යාවේම ශාඛාවක් වන අතර එයට ක්ෂුද්‍ර ජීව විද්‍යාව, ජාන විද්‍යාව, පරිණාමය, සංරක්ෂණය, ජෛව විවිධත්වය, කායික විද්‍යාව, පරිසර පද්ධති සහ සතුන් ඇතිදැඩි කිරීම වැනි දේ ඇතුළත් වේ. නමුත් සත්ත්ව විද්‍යාව හැරුණු විට සතුන් පිළිබඳ හැදෑරිය හැකි තවත් විෂයයක් ඇතිදැයි නැවත පෙරළා ඔබගෙන් ඇසුවහොත් බොහෝ එවිට ඔබට ඒ අවස්ථාවේ දී පිළිතුරක් නොතිබිය හැකිය. නමුත් එයට පැහැදිලි පිළිතුරක් තිබේ. මේ ලිපියෙන් අප කතා කරන්නට සැරසෙන්නේ ඒ පිළිබඳව ය.

සත්ත්ව විද්‍යාව හැරුණු විට සතුන් පිළිබඳ හැදෑරීමේ දී ඉගෙන ගත හැකි හොඳම සහ එකම විෂයය වන්නේ  Ethology ය. මෙයට සිංහල බසින් ලබා දී අර්ථය වන්නේ ‘චර්යා විද්‍යාව’ වුවත් එය එතරම් නිවැරදි නැත. මෙයට දිය හැකි වඩාත් නිවැරදිතම අරුත විය යුත්තේ ‘සත්ත්ව චර්යා විද්‍යාව’ යන්න ය. මේ විෂයයෙන් උගන්වනු ලබන්නේ සතුන්ගේ හැසිරීම් තුළින් සතුන් හඳුනාගන්නේ කෙසේද යන්න ය.

ගෘහාශ්‍රිතව වෙසෙන සතුන්ගේ ඇතැම් හැසිරීම්වලින් ඔබට ඔවුන් පිළිබඳ යම් යම් දෑ තේරුම් ගත හැකි වුව ද ඒ තේරුම් ගැනීම පරිපූර්ණ නැත. මීමැස්සා අනෙක් මැස්සන් සමග සන්නිවේදනය කරන්නේ නර්තනයක් තුළිනි. නමුත් සාමාන්‍ය පුද්ගලයෙක් මෙය දන්නේ නැත. සත්ත්ව චර්යා විද්‍යාව තුළින් උගන්වන්නේ සත්ත්ව සන්නිවේදනය, ඔවුන්ගෙන් ලැබෙන අනාවැකි (භූම්කම්පා වැනි), ආරක්ෂාව, ආක්‍රමණය, ලිංගික අවශ්‍යතා ආදිය හඳුනාගෙන ඒ අනුව ක්‍රියා කරන්නේ කෙසේද යන්න ය. සත්ත්ව චර්යා විද්‍යාවට උනන්දු අයෙක් සිටී නම් ඔහු හෝ ඇය, ‘සත්ත්ව ස්නායු විද්‍යාව (neuroethology), චර්යාත්මක පරිසර විද්‍යාව (behavioral ecology), සමාජ ජීව විද්‍යාව (sociobiology), වනජීවී ජීව විද්‍යාව (wildlife biology), පරිණාමීය මනෝවිද්‍යාව (evolutionary psychology), තුලනාත්මක මනෝවිද්‍යාව (comparative psychology), ස්නායු විච්ඡේද විද්‍යාව (neuroanatomy), ස්නායු ජීව විද්‍යාව (neurobiology) සහ සත්ත්ව විද්‍යාව යන විෂයයන් හැදෑරිය යුතු ය. මේ විෂයයන් දකින ඔබට සත්ත්ව චර්යාා විද්‍යාව යනු පහසුවෙන් හැදෑරිය හැකි විෂයයක් නොවන බව තේරුම් ගැනීම දුෂ්කර නැත.

සත්ත්ව චර්යා විද්‍යාවේ ඉතිහාසය



ආගමික කතාන්දර පසෙකින් තැබුවහොත්, ලොවම මුල්ම සත්ත්ව චර්යා විද්‍යාඥයා වන්නේ පරිණාමවාදය ලොවට ඉදිරිපත් කළ චාල්ස් ඩාවින් ය. වර්ෂ 1872 දී ඔහු ප්‍රකාශයට පත් කළ The Expression of the Emotions in Man and Animals නම් කෘතිය මගින් නූතන සත්ත්ව චර්යා විද්‍යාව කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළේ ය. නෙදර්ලන්ත සහ ඔස්ට්‍රියානු විද්‍යාඥයන් තිදෙනෙකු වන කොන්රාඩ් ලොරෙන්ස්, නිකොලාස් ටින්බර්ජන් සහ කාල් වොන් ප්‍රිෂ් 1973 දී සත්ත්ව චර්යා විද්‍යාව පිළිබඳ පළ කළ කෘතියට නොබෙල් ත්‍යාගය පවා හිමි විය.

සත්ත්ව චර්යා විද්‍යාවෙන් කෙරෙන්නේ කුමක්ද?

මෙහිදී සිදුවන්නේ සතුන්ගේ ස්වභාවික පරිසරය තුළ ඔවුන්ගේ චර්යාවන් නිරීක්ෂණය කරමින් එම චර්යාවන්ගේ නාමාවලියක් සකස් කිරීමය. ඔබ අප බොහෝ දෙනෙක් දන්නා ලොව ප්‍රකට සත්ත්ව චර්යා විද්‍යාඥවරිය වන්නේ ජේන් ගුඩෝල් ය. ඇය ටැන්සානියාවේ චිපම්න්සීන් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා සිය මුළු ජීවිතයම කැප කළ සත්ත්ව චර්යා විද්‍යාඥවරියකි.



සත්ත්ව චර්යා විද්‍යාව වැදගත්වන්නේ ඇයි
?

සත්ත්ව චර්යා විද්‍යාව බොහෝ ක්ෂේත්‍ර තුළ වැදගත් මෙහෙයක් ඉටු කරයි.

සුරතල් සතුන් පුහුණු කිරීම

අලුත් බලු පැටවකු හෝ බළල් පැටවකු ඇතිදැඩි කරන්නට පටන් ගන්නා විට ඔවුන්ව පුහුණු කරන්නට කෙතරම් දුෂ්කර ද යන්න අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. යම්කිසි සත්ත්ව විශේෂයක හෝ වර්ගයක ස්වාභාවික චර්යාවන් අවබෝධ කරගැනීම තුළින් ඔවුන් තුළ හොඳ පුරුදු වර්ධනය කරන්නටත්, නරක පුරුදු මැඩපැවැත්වීමටත් හැකියාව ලැබේ.

සත්ත්ව සුබසාධනය සහ සංරක්ෂණය

වදවීමේ තර්ජනයට මුහුණ දී ඇති කිසියම් සත්ත්ව විශේෂයක් සම්බන්ධව වැඩකටයුතු කරගෙන යන අයෙකුට සත්ත්ව චර්යා විද්‍යාවෙන් ලැබෙන්නේ මහඟු පිටිවහලකි. යම්කිසි සත්ත්ව විශේෂයක ස්වභාවිකව සිදුවන චර්යාවන් අවබෝධ කොටගත හැකි නම් ඔවුන්ව ආරක්ෂිතව තබන්නේ කෙසේද යන්න අදාළ පුද්ගලයාට අවබෝධයක් ඇති වේ.

මානව ආරක්ෂාව

ඔබ විනෝද ගමනක් අතරතුර වන අලියෙක් ඔබ සිටින දෙසට පැමිණියහොත් ඔබ එයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? ඔබත් ආරක්ෂා වී වන අලියාත් සන්සුන් කරන්නට ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබ කළ යුත්තේ අලි මන්තර කටපාඩම් කරනවා වෙනුවට සත්ත්ව චර්යා විද්‍යාව පිළිබඳ මූලික අවබෝධයක් ඇති කරගැනීමය. සත්ත්ව චර්යා විද්‍යාව පිළිබඳ මූලිකාවබෝධයක් ඇති  අයෙකුට මෙය පහසුවෙන්ම සිදු කළ හැකිය.

සත්ත්ව චර්යා වෘත්තිය

අප රටේ මෙවැන්නක් පිළිබඳ අසා හෝ නැතත්, වෘත්තියක් ලෙස  සත්ත්ව චර්යා විද්‍යාඥයන්ට ලෝකයේ ඇත්තේ ඉහළ ඉල්ලුමකි. සත්ත්ව චර්යා විද්‍යාව පැරණි වුව ද, වෘත්තියක් ලෙස මෙය ඉස්මතු වන්නට පටන් ගත්තේ සාපේකේෂව මෑතකදී ය. කෙසේ වෙතත් සත්ත්ව චර්යා විද්‍යාඥයකුට ගෙවන උපරිම වාර්ෂික වැටුප ඇමරිකානු ඩොලර් 120,500 කි. රුපියල්වලින් නම් 38,973,531 කි. එය කෝටි තුනකට වඩා වැඩි මුදලකි.

සත්ත්ව චර්යා විද්‍යාව නූතන ලෝකය තුළ කෙතරම් වැදගත් මෙහෙයක් ඉටු කරන්නේ ද යන්න පිළිබඳ අවබෝධ කරගැනීමට මේ කරුණු ප්‍රමාණවත් ය. වන සතුන් සමග කටයුතු කිරීමේ දී අප අසල්වැසි ඉන්දියාව ද ඇතුළුව ලෝකයේ බොහෝ රටවල් සත්ත්ව චර්යා විද්‍යාවේ කාරණා උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගන්නා බව පෙනේ. දූපත් මානසිකත්වයෙන් ඔබ්බට යා ගත නොහැකිව සිටින අපි තවමත් සිටින්නේ පශු වෛද්‍යවරුන්ගේ පිහිටෙන් පමණක් සතුන් සමග ගනුදෙනු කරන ප්‍රාථමික මට්ටමකය. සත්ත්ව චර්යා විද්‍යාව එයට වඩා බොහෝ ඉදිරියෙන් ගමන් කරන විෂය ක්ෂේත්‍රයකි. මේවා පාසල් විෂය ධාරාවේ සිට ආරම්භ කළ යුතු දේවල් ය. එසේ කරන්නේ නම් මිනිසුන් සතුන් පිළිබඳ දක්වන ආකල්ප පවා වෙනස් වන්නට ඉඩ තිබේ. කෙසේ නමුත් ශ්‍රී ලංකාව වැනි රටක එවැනි තත්ත්වයක් කවදා සිදුවේ දැයි සැකසහිතය.

 

Tuesday, August 20, 2024

ශ්‍රී ලංකාව කවර ස්වභාවයක රාජ්‍යයක්ද? What kind of state is Sri Lanka?



ශ්‍රී ලංකාව කවර ස්වභාවයක රාජ්‍යයක්දැයි යමෙකු ඇසුවොත් වඩාත් නිවැරදිතම පිළිතුර ලබාදෙන්නටම නම් එයට ඇති වඩාත් සුදුසුතම මූලාශ්‍රය වන්නේ 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇති ආකාරය විමසා බැලීමය. එහි සඳහන් වන ආකාරයට ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇත්තේ ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය’ ලෙසිනි. ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික මෙන්ම සමාජවාදී ජනරජයක් ලෙසින් ද ක්‍රියාත්මක වේ. තවත් ආකාරයකින් පැවසුවහොත් මෙය ජනතා පරමාධිපත්‍යය හොඳින් ක්‍රියාත්මක වන සෑම පුරවැසියකුට ම සමාන සාධාරණත්වයක් ඉටු වන රාජ්‍යයකි. නමුත් ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති බව සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම අයකුට වැටහෙන සත්‍යයකි. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් මේ පිළිබඳ ඇසුවහොත් ඔවුන් බහුතරයක් ප්‍රජාතන්ත්‍රවාදයක් කියා දෙයක් පිළිබඳ නොදන්නා බව සැක හැර පැවසිය හැකිය. සිය හිිතවතුන්ට මුදල් ගරා ගන්නට ඉඩ දෙන, මහජන මුදල් ස්වකීය සුඛ විහරණයට යොදා ගන්නා නිර්ලජ්ජිත බොහොමයක් දෙනා අද පාර්ලිමේන්තුව නියෝජනය කරන බව නොරහසකි. වඩාත්ම ඛේදජනක කාරණය වන්නේ මෙවැන්නන් පාර්ලිමේන්තුවට තෝරා යවන්නට ඡන්දය භාවිත කරන පුරවැසියන පිරිසක් ද සිටීමය. එසේ හෙයින් ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද යන්න අඩුම තරමින් පුරවැසියන් වන අප හෝ දැන සිටිය යුතුය. එවිට පුරවැසියන් ලෙස අපට ලැබෙන ආසන්නතම අවස්ථාවේ දී සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කරගැනීම සඳහා ඡන්දය භාවිත කළ හැකිය. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණ අප දැන සිටිය යුත්තේ එබැවිනි. එකී මූලධර්ම 14 කි. මේ මූලධර්ම 14 උපුටා ගන්නා ලද්දේ යුරෝපය තුළ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කොට ආරක්ෂා කරගැනීම සඳහා පිහිටුවා ඇති The Civil Liberties Union for Europe - Liberties සංවිධානයේ වෙබ් අඩවියෙනිි. මෙය සම්පූර්ණයෙන්ම කියවා අවසන් කළ පසු ශ්‍රී ලාංකේය පුරවැසියකු වන ඔබ සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ ජීවත් වනවා නැද්ද යන්න ඔබටම අවබෝධ කර ගත හැකි වනු ඇත.

1. පුරවැසියන්ගේ සහභාගීත්වය

එහි නිර්වචනයට අනුව, ප්‍රජාතන්ත්‍රවාදය තම රජයේ ගමන් මග සහ තමාගේ අනාගතය තීරණය කිරීමේ හඬක් ජනතාවට ලබා දෙයි. ඍජු ප්‍රජාතන්ත්‍රවාදය තුළ පුරවැසියන් තමා යටත්ව සිටින නීතිවලට ඍජුවම ඡන්දය දෙන බව මෙයින් අදහස් කළ හැකිය. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළින් අදහස් වන්නේ ඔවුන් නියෝජනය කරන්නේ කවුරුන්ද යන්න තෝරා ගැනීමට සහ ඔවුන්ගේ අදහස් සහ කැමැත්ත ප්‍රකාශ කිරීමට නිදහස් හඬක් ඇති බවයි. කෙසේ වෙතත්, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන පදනම පුරවැසි සහභාගිත්වයයි.

සහභාගීත්වය යන්නෙහි නිසැකවම වඩාත්ම කැපී පෙනෙන ස්වරූපය වන්නේ මැතිවරණ දිනයේ දී ඡන්දය පාවිච්චි කිරීම වුව ද, එය තුළ වඩාත් පුළුල් නිර්වචනයක් ඇති බව සැලකිය යුතුය. ඒ හා සමානව ප්‍රසිද්ධ විවාදයන්, නගර රැස්වීම් සහ සාමකාමී විරෝධතා ආදී කටයුතුවලට දායක වීම ද මෙයට ඇතුළත් වේ. මේ සෑම එකක්ම ඡන්දයක් සලකුණු කිරීමට කාලය පැමිණෙන විට ජනතාව දැනුවත් කිරීමට උපකාර වන සහභාගීත්වයේ එක් ස්වරූපයකි. පුරවැසි කණ්ඩායම් සහ සිවිල් සමාජය මිනිසුන්ට මේ සියල්ල කිරීමට හැකියාව ඇති බවට සහතික කර ගැනීමට සහ උපරිම සහභාගීත්වය සහතික කිරීමට සහාය විය යුතුය.

2. සමානාත්මතාවය

ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ සියලු ජනතාවට එක හා සමානව සැලකීම වැදගත් පමණක් නොව අත්‍යවශ්‍ය වේ. මෙයින් අදහස් කරන්නේ ඔවුන්ගේ වාර්ගිකත්වය, ආගම, ස්ත්‍රී පුරුෂ භාවය හෝ ලිංගික දිශානතිය නිසා ඔවුන්ට වෙනස් කොට සැලකීමක් සිදු නොවන බවයි. එමෙන්ම එයින් අදහස් වන්නේ ජනතාවට ඔවුන්ගේ අයිතීන් නොමිලේ භුක්ති විඳීමට සමාන ප්‍රවේශයක් ඇති බවයි. උදාහරණයක් ලෙස, ඡන්දය පාවිච්චි කිරීමට ඇති සමාන ප්‍රවේශය සඳහන් කළ හැකිය. ඡන්දය දීමට කාලය පැමිණි විට, එයින් අදහස් වන්නේ සෑම ඡන්දයක් ම එක හා සමානව ගණන් ගන්නා බවය. ඔබේ ඡන්දය වටිනා වන අතර ඔබ රටේ ධනවත් ම හෝ බලවත් ම පුද්ගලයාට සමාන වේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක සමානාත්මතාවේ මූලිකම අංගය එයයි.

3. වගවීම

මිනිසුන් තමන් තෝරා පත් කර ගන්නා අයට බලතල පවරන අතර, එම බලතල සිය ප්‍රජාවන් පෝෂණය කිරීම සඳහා භාවිත කිරීමේ වගකීම ඔවුන්ට පැවරී ඇත. දේශපාලනඥයන් ජනතාවට වගකියන, ඔවුන්ගේ කැමැත්තට අනුකූලව කටයුතු කළ යුතු අතර, තමන් සහ තම හිතවතුන් ධනවත් කිරීම සඳහා තම බලය අනිසි ලෙස භාවිත නො කිරීමට යුතුකමක් තිබිය යුතුය. අත්තනෝමතික රජයයන් විසින් පුවත්පත් සහ ප්‍රවෘත්ති නාලිකා පාලනය කරන විට, සිවිල් සමාජ කණ්ඩායම්වලට හිරිහැර කරන විට, දූෂණය සහ බලය අනිසි ලෙස භාවිත කිරීම මහජනයාගෙන් වසන් කිරීම ඉතා පහසු වන අතර, මැතිවරණ දිනය එළඹුණු විට  තවදුරටත් වගවන රජයක් ලෙස සලකා එයට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට ජනතාවට නොහැකි වේ.

4. විනිවිදභාවය

මැතිවරණයේ දී වඩාත් නිවැරදි තීරණ ගැනීමට නම් ජනතාවට රජයේ ක්‍රියාකාරීත්වයන් පිළිබඳ මනා දැනුම්වත්භාවයකින් සිටීමට හැකි තත්ත්වයක් තිබිය යුතුය. සිය රජය යහපත් තීරණ ගන්නවා ද, එසේත් නැතිනම් එහි ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවන්නේද, එය නීති රීති අනුගමනය කරනවාද, එසේත් නැත්නම් මහජන මුදල් කොල්ලකනවාද ආදී කාරණා ජනතාව දැනගත යුතුය. විනිවිදභාවය යනු රජයේ ක්‍රියාවන් සහ ඒවායේ ප්‍රතිඵල පැහැදිලි තත්ත්වයක තිබිය යුතු බවය. විශේෂිත කිහිපයක් හැර ජනතාව ඉල්ලා සිටින්නේ නම් රජයේ තොරතුරු ජනතාවට ලබා දිය යුතුය. මාධ්‍යවේදීන්ට සහ ජනතාවට ඔවුන්ගේ දේශපාලනඥයන්ගෙන් ප්‍රශ්න ඇසීමට හැකි විය යුතුය, විනිවිදභාවය මත ක්‍රියා කරන කණ්ඩායම්වලට ක්‍රියාත්මක වීමට නිදහස තිබිය යුතුය.

 

5. දේශපාලන මත ඉවසීම

බහුතරයේ කැමැත්ත මත පාලනය වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හදවත වුව ද, සුළුතරය අමතක කළ යුතු බව මින් අදහස් වන්නේ නැත. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ, සියලු‍ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සමාන වන අතර කවුරුන් බලයේ සිටිය ද ඒවාට ගරු කළ යුතුය. ඔවුන්ගේ අදහස් මැතිවරණ දිනයේ දී ජයග්‍රහණය කළ ද නොකළ ද, එම අදහස් අනෙකුත් පුරවැසියන්ට සහ රජයට ප්‍රකාශ කිරීමේ අයිතියක් ඔවුන්ට ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පෝෂණය වන්නේ විවෘතභාවය සහ චින්තනයේ පරිපූර්ණභාවය මත ය; සුළුතරයේ අයිතීන් හා නිදහස යටපත් කිරීමෙන් වන්නේ බහුතරය පසුගාමී වීම පමණි.

6. බහු පක්ෂ ක්‍රමය

මැතිවරණ දිනයේ දී පුරවැසියන්ට තේරීමක් තිබිය යුතුය. එනම් පක්ෂ කිහිපයකට නිදහසේ මැතිවරණයක් සඳහා සහභාගී වීමේ අයිතිය සහ ජනතාවට තෝරා ගැනීමේ විකල්පයන් තිබිය යුතු බවය. විරුද්ධ පක්ෂ ජයග්‍රහණය කරන විට, බලය මාරු වීමක් සහ රට ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳ නව මහජන මත ඇති වේ.  තනි පක්ෂයක් පමණක් තිබේ නම්, එය බොහෝ විට ඒකාධිපතිත්වයක් විය හැකිය, නමුත් ඇතැම් රටවල් තනි පක්ෂයක පාලනය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සංවර්ධනය කිරීමට සමත් වී ඇත.

7. බලය අනිසි ලෙස භාවිත කිරීම පාලනය කිරීම

ප්‍රජාතන්ත්‍රවාදය නොනැසී පැවතිය හැක්කේ සියලුදෙනාගේම සහභාගීත්වය මතය. එනම් ඡන්දය ප්‍රකාශ කරන දින සහ වසරේ අනෙකුත් සියලුම කාලයන්හිදී පුරවැසියන් ඔවුන්ගේ සහභාගීත්වය ලබා දීම සහ නීතිරීති අනුව ක්‍රියා කරමින් සියලු පුරවැසියන්ගේ ජීවිත වැඩිදියුණු කොට පෝෂණය කිරීම සඳහා දේශපාලනඥයන් කටයුතු කිරීමෙන් පමණි. තමා නීතියට වඩා ඉහළින් සිටින බව රජයයක් විසින් සිතන්නට පටන් ගැනීම, තමා වෙනුවෙන් වෙනත්ම ආකාරයක නීතියක් ක්‍රියාත්මක වන බව දේශපාලනඥයන් විශ්වාස කිරීම, මහජන වියදමින් එක්තරා කණ්ඩායමකට පමණක් රජයේ විශේෂිත අනුග්‍රහය හිමි වීම, දූෂිත නායකයන්ගේ සහ ඔවුන්ගේ හිතවතුන්ගේ ගිණුම්වලට මහජන මුදල් ගලා යාම ආදී ලක්ෂණ පෙන්නුම් කරන විට එහි බලය අනිසි ලෙස භාවිත කිරීමක් ඇති බව වටහා ගත යුතු වේ. ලෝකයේ ‘ප්‍රජාතන්ත්‍රවාදය’ තුළ මෙය නිතර දකින්නට ලැබෙන්නක් වන අතර යුරෝපයේ පවා මේ තත්ත්වය වර්ධනය වෙමින් පවතී.  

එවැනි අපයෝජනයන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ හැකි ක්‍රම තිබේ, නමුත් එය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කිරීමට ක්‍රමයක් නොමැත. උදාහරණයක් ලෙස රජයේ විවිධ ආයතන හරහා බලතල බෙදා හැරීම මගින් මෙවැනි දූෂණයන් හැකි තාක් දුරට වළක්වා ගත හැකි වේ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් ආරක්ෂා කිරීම ද වැදගත් ය. ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර පුරවැසියන්ට නිවැරදි තොරතුරු ලබා ගත හැකි වන පරිදි ස්වාධීන මාධ්‍ය ආරක්ෂා කිරීම මෙයට ඇතුළත් වන අතර, ක්‍රියාවලිය සාධාරණ බව සහතික කර ගැනීම සඳහා මැතිවරණ නීති ආරක්ෂා කිරීම ඉන් අදහස් වේ.

8. ආර්ථික නිදහස

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක පුද්ගලයෙකුට තම ජීවිතය කුමනාකාර ලෙස ගත කළ යුතු දැයි තීරණය කිරීමේ අයිතිය තිබිය යුතුය. ඔවුන් නීති රීති අනුගමනය කරන තාක් කල්, ඔවුන් ඉගෙන ගත යුතු දේ හෝ ඔවුන් කළ යුතු රැකියාව හෝ ඔවුන් වර්ධනය කර ගත යුතු දේ මොනවාද යන්න ඔවුන්ට පැවසීම රජයේ කාර්යයක් නොවේ. ශක්තිමත් ප්‍රජාවන් සහ ශක්තිමත් ජාතික ආර්ථිකයන් සංවර්ධනය කිරීම සඳහා ආර්ථික නිදහස වැදගත් වේ.

9. අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත

රජය විසින් බලය අයුතු ලෙස භාවිතා කිරීමෙන් ජනතාව ආරක්ෂා කර ගත හැකි තවත් මාර්ගයක් වන්නේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පතයි. මෙය කතා කිරීමේ නිදහස සහ රැස්වීමේ නිදහස වැනි මිනිසුන්ට ඇති අයිතිවාසිකම් සහ නිදහස පිළිබඳ ලැයිස්තුවකි. මේ පනත් කෙටුම්පත නීතියේ කොටසක් වන අතර බොහෝ රටවල් එය ඔවුන්ගේ ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත. එබැවින් තම රජය ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව යමෙකු සිතන විට, ඒ වෙනුවෙන් නීතියේ සහාය පැතීම සඳහා අධිකරණය වෙත යොමු වීමේ හැකියාව පවතී.

10. මානව හිමිකම්

අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පතක් මගින් ආරක්ෂා කර ඇති බොහෝ අයිතිවාසිකම් මානව හිමිකම් ලෙස හැඳින්වේ. මේවා තමා ජීවත් වන රට කුමක් වුවත් ජනතාවට තිබිය යුතු අයිතිවාසිකම් වේ. නමුත් විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය මෙම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කළ යුතුය. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, නිදහසේ ඇසුරු කිරීමේ නිදහස සහ රැස්වීමේ නිදහස වැනි මානව හිමිකම් ද ප්‍රජාතන්ත්‍රවාදයේ මුරගල් වන අතර ඇත්ත වශයෙන්ම එහි නිසි ක්‍රියාකාරිත්වයට අවකාශය සලසා දෙයි.

11. නිදහස් හා සාධාරණ මැතිවරණ

වෙනසක් ඇති කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වාභාවික සහ නීරෝගී ලක්ෂණයක් ලෙස සැලකිය යුතුය. රජය පවතින්නේ ජනතාවට සේවය කිරීම සඳහා වන අතර, විවිධ ගැටලු සම්බන්ධයෙන් මහජන මතය සෑම විටම වෙනස් වන බැවින්, මැතිවරණ මගින් විවිධ කාලවල දී විවිධ ප්‍රතිඵල ඇති කිරීම ස්වාභාවික ය. එබැවින් මැතිවරණ නිදහස් හා සාධාරණව පැවැත්වීම අත්‍යවශ්‍ය වේ. මෙයින් අදහස් කරන්නේ ඡන්දය දීමට පෙර මිනිසුන්ට යහපත් සහ නිවැරදි තොරතුරු ලබා දෙන බවත්, ඒවා සාකච්ඡා කිරීමට සහ විවාද කිරීමට ඔවුන්ට නිදහස ඇති බවත් ය. මැතිවරණ දිනයේ දී මිනිසුන්ට ඡන්ද මධ්‍යස්ථානයට සමාන ප්‍රවේශයක් ඇති බවත්, සෑම කෙනෙකුගේ ම ඡන්දයට එකම වටිනාකමක් ඇති බවත්, සියලු‍ ඡන්ද ගණනය කරන බවත් එයින් අදහස් වේ. එපමණක් නොව, මැතිවරණ පැවැත්වීම අක්‍රමවත් නොවිය යුතු බවත් රජයට කැමති අවස්ථාවන්හි දී පමණක් එය කැඳවීම නො කළ යුතු බවත් යන්න ද මෙයින් අදහස් වේ.

12. නිදහස් අධිකරණ

පරිපූර්ණ ලෙස ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී රටක පවා ගැටලු සහගත තත්ත්වයන් මතු වන්නට ඉඩ තිබේ. මෙම තත්ත්වයන් තුළ, ආරවුල් විසඳා ගත හැකි ස්වාධීන ආයතනයකට දෙපාර්ශවයටම සමාන ප්‍රවේශයක් තිබීම වැදගත් ය. ප්‍රජාතන්ත්‍රවාදී රටවල අධිකරණ පද්ධතිය මෙයයි. විනිසුරුවන් යනු සියල්ලන්ටම නීතිය සමානව ක්‍රියාත්මක කිරීම සඳහා සිටින ස්වාධීන කණ්ඩායමක් වේ. රජයයක් විසින් අධිකරණය සිය හිතවතුන්ගෙන් පිරවීම හෝ අධිකරණ තීරණ නො සලකා හැරීම සිදු කළ හොත් ප්‍රජාතන්ත්‍රවාදය එතැනම මිය යයි.

13. මැතිවරණ ප්‍රතිඵල පිළිගැනීම

මැතිවරණයක ප්‍රතිඵල බලයේ සිටින පක්ෂයට වාසිදායක නොවන බව පෙනෙන්නේ නම්, ඔවුන් ඒවා පිළිගෙන බලයෙන් ඉවත් විය යුතුය. සාමකාමී බල හුවමාරුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය නිර්වචනය කරයි. මැතිවරණවලින් පරාජය ලද පුද්ගලයන් ඒ තත්ත්වය පිළිගත යුතුය. ඔවුන්ට සිය අදහස් විවෘතව බෙදා හදා ගැනීමට සහ මහජන විවාදයන්ට සහභාගී වීමට ඔවුන්ට ඇති අයිතිය අඛණ්ඩව ම තිබෙන නමුත්, ඔවුන්ගේ අදහස්වලට හෝ ඔවුන්ගේ තනතුරුවලට බහුතර පිළිගැනීමක් නොමැති බව පිළිගත යුතු වේ.

14. නීතියේ ආධිපත්‍යය

ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රියාත්මක වන්නේ නීතියේ ආධිපත්‍යය යටතේ ය. මෙයින් මූලිකවම අදහස් වන්නේ ජාතියක නීති සියලු‍ මිනිසුන්ට සමානව අදාළ වන අතර සෑම කෙනෙකු ම, විශේෂයෙන්ම රජය, නීති රීති අනුව ක්‍රියා කළ යුතු බවයි. එයින් අදහස් වන්නේ ඉහත විස්තර කර ඇති අයිතිවාසිකම් සහ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන් ගරු කර පෝෂණය වන බවයි. තවද එයින් අදහස් වන්නේ නීති ද සාධාරණ හා ස්ථාවර ආකාරයකින් ක්‍රියාත්මක වන අතර, පැන නගින ආරවුල් විසඳීමට අධිකරණය වැනි ස්වාධීන ආයතනයක් ඇති බවයි.

දැන් ශ්‍රී ලාංකේය පුරවැසියකු ලෙස සිදු කළ කාර්යයක් තිබේ. ඒ, මේ මූලධර්ම 14 අප රටේ තත්ත්වය සමග සසඳා බැලීමය. එවිට ශ්‍රී ලංකාව කෙතරම් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ද යන්න පහසුවෙන් අවබෝධ කර ගත හැකිය. එවැන්නක් අප රටේ නොමැති නම්, ඊළඟ මැතිවරණයේ දී ඔබට බුද්ධිමත්වීමට මේ කාරණා මහඟු රුකුලක් වනු නොඅනුමානය.

Tuesday, August 13, 2024

අප නොදන්නා නූතන සත්ත්ව හිමිකම් - Modern Animal Rights We Don't Know



බෞද්ධ සංස්කෘතිය පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවට සත්ත්ව හිමිකම් පිළිබඳ නෛසර්ගික උරුමයක් තිබේ. නමුත් අවාසනාවට කාරණය නම් නූතන සත්ත්ව හිමිකම් තුළ අප රට ඉතා වේගයෙන් ආපස්සට ගමන් කොට තිබීම ය. සත්ත්ව හිමිකම් ඉතා ඉහළින් අගය කරන ලෝකයේ සෙසු රටවල් අසලවත් අප රට ඇත්තේ නැත. සත්ත්ව හිමිකම් ක්‍රියාත්මක රටවල් අතරින් අප සිටින්නේ පරාජිතයාගේ ස්ථානයේ කිවහොත් එහි කිසිදු වරදක් නැත. අප මේ පරාජය වටහා ගෙන එම පරාජය පිටුදැකීමට කටයුතු කළ යුතු ය. එසේ නොමැතිව මෙය ශ්‍රේෂ්ඨ බෞද්ධ සංස්කෘතික උරුමයක් ඇති රටක් යැයි දිනපතා වංශය කබල් ගාන්නා සේ පුනපුනා පැවසීමේ අර්ථයක් නොමැත. ලෝකයේ සෙසු රටවල්වල ක්‍රියාත්මක වන ඇතැම් සත්ත්ව හිමිකම් අපට ඇතැම් විට සිතාගැනීමට පවා නොහැකි තරම් උසස් තලයක තිබේ. මේ ඒ පිළිබඳ කෙටි විමසුමකි. 

මෙරටේ සත්ව සුබසාධනය සඳහා දැනට ක්‍රියාත්මක වෙන්නේ 1907 සම්මත කර ඇති සත්ව හිංසා ආඥා පනතට අනුවය. මෙයින් සතුන්ගේ හිමිකම් නිසි පරිදි සුරක්ෂිත වන්නෙ නැති බැවින් 2022 ජනවාරි 11 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව මේ පණත සංශෝධනය කොට මෙහි බලතල ඉහළ දමා තිබේ. නමුත් සතුන්ට සිදුවන හිංසා පීඩා ඉහළ යන තත්ත්වයක් තුළ මෙහි බලතල නිසි පරිදි ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. සත්ත්ව හිමිකම් පිළිබඳ ලෝකයට ඉහළම ආදර්ශයක් ලබා දිය යුතු රටේ තත්ත්වය එසේ වුව ද ලෝකයේ සෙසු රටවල් එසේ නොවේ. 

ලෝකයේ සතුන්ගේ හිමිකම් පිළිබඳ කතිකාවන් ඇතිකරගැනීමේ දී බුදු දහම ඇතුළුව පෙරදිග ආගම්වල ඇති අහිංසාවාදය පදනම් කරගන්නා බැව් පැහැදිලව පෙනෙන කාරණයකි. විශේෂයෙන් ධම්ම පදයේ ‘දණ්ඩ වර්ගයෙහි’ මිනිසුන්ට මෙන්ම සතුන්ට ද එක හා සමාන අයිතිවාසිකම් ඇති බව එහි මුල් ගාථා හතරෙහි පැහැදිලිව දේශනා කොට තිබේ. එවන් වටිනා පදනමක් තිබුණ ද ඒ කිසිවක් අප රටේ ක්‍රියාත්මක වන්නේ නැත. ලෝක සත්ත්ව හිමිකම් දිනයක් සෑම වසරකම දෙසැම්බර් 10 වැනිදා පැවැත්වෙන බව බොහෝ දෙනෙක් දන්නේ  ද නැත. 

ඇතැම් රටවල පාසල් විෂය නිර්දේශයේ සිටම සතුන්ගේ හිමිකම් උගන්වනු ලබයි. එයට හොඳම උදාහරණය සපයන්නේ ඇමරිකා එක්සත් ජනපදය යි. මෑතක සිට උතුරු ඇමරිකාවේ පාසල්වල  ‘සත්ත්ව නීතිය’ විෂය නිර්දේශයට ඇතුළත් කොට තිබේ. සතුන් කෙරෙහි සිදුවන අමානුෂික දණ්ඩනයන් නතර කිරීම පිළිබඳ 2019 නොවැම්බර් මාසයේ දී ලෝකයේ රටවල් 32 ක් ඒකාබද්ධව ඒකමතික තීරණයකට එලැඹ තිබේ. ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය මේ රටවල් අතරින් කිහිපයකි. සත්ත්ව සුබසාධනය පිළිබඳ විශ්ව ප්‍රකාශනයක් නුදුරේදී ම එළිදක්වන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානමින් පසු වේ. 

අප පිළිගන්නට අකමැති වුව ද, අප රටේ පවත්වන පෙරහරවල්වල දී අලි ඇතුන් හිංසනයට ලක්වීම නිරතුරුව සිදු වේ. නමුත් මේ පිළිබඳ නගන සියලු හඬ, ප්‍රබල ලෙස මැඩපැවැත්වීම සිදු වේ. එසේ සිදු වන්නේ ලෝකයට සතුන්ගේ හිමිකම් පිළිබඳ ලෝකයට මුල් වරට පණිවිඩයක් ලබා දුන් රට තුළ වීම ලජ්ජාවිය යුතු කාරණයකි. නමුත් සෙසු රටවල් එසේ නොවේ. බොස්නියාව සතුන් අපයෝජනය හා සර්කස්වල දී හානියට පත්වීමට විරුද්ධව නීති සම්පාදනය කළ ලොව මුල්ම රට ලෙස ඉතිහාස ගත වෙයි. ඇමරිකා එක්සත් ජනපදය තුළ මාංශ පරිභෝජනය උදෙසා අශ්වයින් මරා දැමීම තහනම් කොට ඇති ලොව එකම රට බවට පත් ව තිබේ. 

ඉන්දියාව නිරාගමික රාජ්‍යයකි. එසේ වුවත් රාජ්‍ය අනුග්‍රහය ඇති ආගමක් ඇති අප රටට වඩා ඔවුහු සත්ත්ව අයිතිවාසිකම් පිළිබඳ සිතා කටයුතු කරති. ජෛන ලබ්ධිකයන්ගේ වන්දනා නගරයක් වූ පයිල්තානා නගරය ලොව ප්‍රථම නීත්‍යානුකූලවම මස් මාංශ අනුභවයෙන් තොර නගරය බවට නම් කොට තිබේ. එහි සත්ත්ව මස් මාංශ අළෙවිය, සතුන් ඇති දැඩි කිරීම, මසුන් ඇල්ලීම වැනි සත්ත්ව හිංසාවට අදාළ කිසිදු ක්‍රියාවකට අවසරයක් නැත. 

අප නොදන්නවා වූව ද, පක්ෂීන්ගේ හොට කපා දැමීම, කුකුළු පැටවුන්ගෙන් විවිධ ආහාර වර්ග පිළියෙල කිරීම, චාරිත්‍ර සඳහා සත්ත්ව ඝාතනය ආදිය ලෝකයේ බොහෝ රටවල තහනමකට ලක්ව තිබේ. 

සත්ත්ව හිමිකම් සුරැකීම සඳහා කැප වූ සංවිධාන 

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සත්ත්ව හිමිකම් සංවිධාන බොහෝ ඇති නමුත් අප රටෙන් බිහි වූ එවැන්නක් මේ ලැයිස්තු අතර නැත. එය එක් අතකට දෛවයේ සරදමකි. PETA (People for the Ethical Treatment of Animals)  යනු මේ අතරින් ඉතා සුප්‍රකට සංවිධානයකි. මෙයට ලොව පුරා සාමාජිකයන් මිලියන 9 ක දායකත්වය තිබේ. මිනිසා පමණක් උසස් ය යන අදහසට මේ සංවිධානය එරෙහිව කටයුතු කරයි. එමෙන්ම ප්‍රධාන කාරණා 4 ක් ඔස්සේ, එනම්, රසායනාගාර පරීක්ෂණ, ආහාර කර්මාන්තය, රෙදිපිළි කර්මාන්තය සහ වින්දනාත්මක කර්මාන්ත (සර්කස් වැනි) මේ සංවිධානය විසින් ක්‍රියාකාරකම් සිදු කරයි. ඊට අමතරව ‘පලිබෝධකයන්’ සේ සලකා මීයන්, පක්ෂීන් ආදී සතුන් මරා දැමීම සහ ගෘහාශ්‍රිත ව සතුන්ට සිදු වන හිංසනයන්ට එරෙහිව ක්‍රියාකිරීම ද මේ සංවිධානය විසින් සිදු කරයි.

 මීට අමතරව සත්ත්ව අයිතිවාසිකම් සම්බන්ධව පොදුවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සංවිධාන 43 ක් දැනට තිබෙන අතර රසායානාගාරවල සතුන් සමග සිදු කරන පරීක්ෂණවලට එරෙහිව ක්‍රියාත්මක වන සංවිධාන 16 ක් ක්‍රියාත්මක ය. ඊට අමතරව සතුන් යොදා කරන ක්‍රීඩාවන්ට එරෙහිව ක්‍රියාත්මක වන සංවිධාන 3 ක් ඇති අතර, ගොවිපළවල සතුන් ඇති කිරීමේ දී සිදුවන අකටයුතුකම්වලට එරෙහිව ක්‍රියාත්මක වන සංවිධාන 6ක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. සත්ත්ව මාංශ ආහාරයට ගැනීමට විරෝධය පළ කරමින් නිර්මාංශ ආහාර පමණක් ලබාගන්නා සාමාජිකයන්ගෙන් සැදුම් ලත් සංවිධාන 8 ක් මේ වන විට ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ය. 

ලෝකයත් සමග සැසඳීමේ දී සතුන්ගේ හිමිකම් අතින් අප යා යුතු දුර තව බොහෝ බව මේ කාරණාවලින් පැහැදිලි ය. අප රටේ බුදු දහම යොදා ගන්නේ ලෝකය, පරිසරය, සතුන් ආදීන් දෙස සානුකම්පිත ව බැලීම සඳහා නොවේ. අද එය හුදෙක් දේශපාලන කටයුතු සඳහා යොදා ගන්නා අතකොලුවක් බවට පත් වී හමාරය. ඒ බුදු දහමේ ම හරය පදනම් කර ගනිමින් ලෝකයේ සෙසු රටවල් සතුන් වෙනුවෙන් සංවිධාන ගොඩනගද්දී අප තවමත් සිටින්නේ වැදි යුගයේ ය.  අප, අප ගැනම නැවතත් සිතා බැලිය යුතු බව කිව යුත්තේ එබැවිනි.

 


Monday, August 12, 2024

චැරිටි ෂොප් කියන්නේ මොනවාද? - What is a Charity Shop



කවුරුන් හෝ කෙනෙක් ඔහු හෝ ඇය අඳින ලද ඇඳුමක් ඔබට දෙන්නදැයි ඇසුවහොත් ඔබේ ප්‍රතිචාරය කුමක් විය හැකිද? "මම මොකටද කවුරුවත් ඇඳපු ඇඳුම් අඳින්නේ? " වැනි දෙයක් ඔබට සිතෙන්නට පුළුවන. පවතින ආර්ථික තත්ත්වය මත එවැනි දෙයක් පිළිබඳ කැමැත්තක් ඇති වුව ද, තවත් කෙනෙකු පාවිච්චි කළ ඇඳුමක් ඇඳීම ඔබේ ආත්මාභිමානයට කැලලක් වේ යැයි සිතා ඔබට එය ප්‍රතික්ෂේප කරනු නිසැකය. නමුත් ඇමරිකාව, යුරෝපයේ ඇතැම් රටවල්, විශේෂයෙන් එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව වැනි දියුණු රටවල ජනතාව මේ පිළිබඳ දරන්නේ අප සිතනවාට වෙනස් ආකල්පයකි. ඒ රටවල ජනතාව කලින් අඳින ලද ඇඳුම් සොයා මිලට ගන්නට දෙවරක් සිතන්නේ නැත. එවැනි ඇඳුම් අළෙවි කිරීම සඳහා වෙනමම ස්ථාන පවා තිබේ. මේවා හඳුන්වනු ලබන්නේ චැරිටි ෂොප්" (Charity Shop), 'ත්‍රිෆ්ට් ෂොප්" (Thrift Shop) හෝ ඔපොචුනිට් ෂොප්' (Opportunity Shop) වැනි නමකිනි.

චැරිටි ෂොප් කියන්නේ මොනවාද?

අප වැනි අඩු ආදායම් ලබන රටවල ඇඳුම පටට්ට ගසමින් ඇන්දත්, දියුණු රටවල මිනිස්සු එසේ නොවෙති. ඔවුන් බොහෝ විට ඇඳුම් අදින්නට නොහැකි මට්ටමට එන තෙක් ඒවා පාවිච්චි කරන්නේ නැත. තවත් සෑහෙන කාලයක් ඇඳිය හැකිව තිබිය දී ඔවුහු මේවා බැහැර කොට අලුත් ඇඳුම් මිලට ගනිති. ඒ ඔවුන්ගේ ආදායමේ හැටියට නිතර අලුත් ඇඳුම් මිලට ගැනීමේ ගැටලුවක් නොමැති නිසාය. පාවිච්චියෙන් පසු ඔවුන් මේ ඇඳුම් කිසිවකුට දෙන්නේ නැත. කෙලින්ම දමන්නේ කුණු බක්කියටය. මේවා වැඩි වශයෙන් භාවිතයට ගැනුණේ ඉඩම් පිරවීම සඳහා ය. කාලයක් ගතවෙද්දී මෙසේ ඉවත දමන ඇඳුම් ඉඩම් පිරවීමට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ පාරිසරික ගැටලු ඇතිවන්නට විය. විවිධ සමාජ සුබ සාධන මේ අවස්ථාවේ දී ඉදිරිපත් වී ඉල්ලා සිටියේ මෙසේ ඉවත දමන ඇඳුම් ඇත්නම් තමාට භාරදෙන ලෙස ය. ඔවුන් කළේ මේවා හැකිතාක් අඩු මිලට අළෙවි කරන්නට පටන් ගැනීම ය. ඔවුහු එයින් ලැබෙන ආදායම සිය ආයතනයේ වියදම් පියවා ගැනීමට යොදා ගත්හ. මේ නිසා සිදුවෙමින් පැවති පාරිසරික හානිය අවම කරගන්නටත්, තවත් කලක් පාවිච්චියට ගත හැකි ඇඳුම් තවත් කෙනෙකුගේ ප්‍රයෝජනය පිණිස ලබාදෙන්නටත් අවස්ථාවක් උදා විය.

වැරිටි ෂොප්වලින් ඇඳුම් මිලට ගැනීමට ජනතාවගේ ඇති කැමැත්ත

මේ රටවල බහුතර ජනතාවට අලුතින් ඇඳුම් මිලට ගැනීමේ ගැටලුවක් නැති තරමට ආර්ථිකය යහපත් මට්ටමක පැවතියත්, කලින් පාවිච්චි කළ ඇඳුම් මිලට ගන්නට ද ඉතා ඉහළ නැඹුරුවක් පවතින බව සඳහන් කළ යුතුය. ඒ රටවල බොහෝ දෙනෙක් මේ වන විට යල් පැන ගිය, නමුත් කලක් ජනප්‍රියව තිබූ ඇඳුම් මෝස්තර වලට දැඩි ඇල්මක් දක්වයි. නමුත් එවැනි පැරණි විලාසිතා නැවත අලුතින් වෙළෙඳ පොළට පැමිණෙන්නේ නැත. එබැවින් එවැනි ඇඳුම් මිලට ගන්නට හැකි එකම ස්ථානය වන්නේ මෙවැනි චැරිටි ෂොප් ප්ය. එමෙන්ම කෙතරම් දියුණු රටවල් වුවත්, අපේ රටට සාපේක්ෂව ඉහළ ආදායම් ලබන, එම රටට සාපේක්ෂව අඩු ආදායම් ලබන්නවුන් ද ඕනෑ තරම් දක්නට ලැබේ. ඇමරිකාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව ආදී රටවල එවැනි අඩු ආදායම්ලාබීහු ඕනෑ තරම් සිටිති. විශේෂයෙන් දියුණු රටවලට වෙනත් රටවලින් රැකියාවට පැමිණ සිටිනවුන්ට එම රටවල මිලට ඇඳුම් මිලට ගැනීම දරා ගැනීමට නොහැකි දෙයකි. එබැවින් එවැනි ප්‍රජාවන් අතර ද මෙවැනි චැරිටි ෂොප් ඉතා ජනප්‍රිය වේ.

චැරිටි ෂොප්වලින් වඩාත් හොඳ ඇඳුම් තෝරා ගැනීම සම්බන්ධයෙන් ක්‍රම වේදයන් ද සකසා ඇති අතර මේ පිළිබඳ උපදෙස් සපයන වෙබ් අඩවි මෙන්ම යුටියුබ් වීඩියෝ ද බොහෝ දක්නට ලැබේ.

සාමාන්‍ය ජනතාව පමණක් නොව ඇඳුම් සාප්පු, ඇගලුම් කම්හල් පවා තමාගේ පැරණි විලාසිතාවේ ඇඳුම් මේ චැරිටි ෂොප්වලට පරිත්‍යාග කිරීම හෝ ඉතාමත් අඩු මිලකට අළෙවි කිරීම හෝ දක්නට ලැබෙන්නකි. ඊට අමතරව පාවිච්චි කළ ඇඳුම් කුණු බක්කියට දමනවා වෙනුවට චැරිටි ෂොප්වලට පරිත්‍යාග කිරීම දිරිමත් කිරීම සඳහා මේ රටවල විවිධ වැඩ සටහන් ද ක්‍රියාත්මක වේ.

අද වන විට ඇඳුම් පමණක් නොව වෙනත් බොහෝ දේවල්, එනම් කලින් පාවිච්චියට ගත් විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ ඇතුළු තවත් බොහෝ දෑ මෙවැනි චැරිටි ෂොප්වල අළෙවියට තබා තිබේ. අද අප රටේ පවතින ආර්ථික අර්බුද හමුවේ අපට ද මේ චැරිටි ෂොප් සංකල්පය අනුගමනය කිරීමෙහි වරදක් නැත. ආරම්භයේ දී මිනිසුන් මේ පිළිබඳ දක්වන උනන්දුවේ මැලිකමක් පෙන්විය හැකි නමුත් වැඩි දිනක් ගතවන්නට මත්තෙන් මේ ක්‍රමය මිනිසුන් අතර ප්‍රචලිත වන නිසැකය.