පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, December 24, 2024

නත්තලේ සැබෑ අරුත වෙළෙඳ ආර්ථිකයෙන් යට වුනාද?



තව පැය ගණනකින් පසුව උදාවන නත්තල් උත්සවය සමරන්නට ලොව පුරා කිතුනුවෝ මහත් උනන්දුවෙන් සූදානම් වෙති. මේ වන විටත් බලන බලන සැම අත නත්තල් සැරසිලිවලින් පිරී ගොසිනි. බොහෝ නිවෙස්වල මේ වන විටත් නත්තල් ගස් ඉදිකොට හමාරය. බඩුමිිල අහස උසට නැග තිබුණ ද, නත්තල වෙනුවෙන් අලුත් ඇඳුම් මිලදී ගන්නට සාප්පු සවාරි යන්නවුන්ගෙන් පාරවල් පිරී ඉතිරී ගොසිනි. බොහෝ දෙනෙක් ආහාර පාන තොග ගණනින් නිවෙස් කරා රැගෙන යති. මේ, මෙවර පමණක් නොව බොහෝ කාලයක සිටම නත්තල් සමරන්නට ලොව පුරා කිතුනුවන් සූදානම් වන අන්දමය. සැබවින්ම නත්තලේ සැබෑ අරුත මෙයද? නත්තලේ සැබෑ අරුත ප්‍රේමය, ආදරය බව පැවසෙයි. ශු. බයිබලයේ යොහාන් පොතෙහි 16-17 පදවල මෙසේ සඳහන් වේ.

“16. මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.

17. මක්නිසාද දෙවියන්වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එවුවේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කරණකොටගෙන ගළවනු ලබන පිණිසය.”

දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයා ලෝකයට දෙන තරම් ලෝකයට ප්‍රේම කළ බව එයින් පැවසේ. එසේ හෙයින් නත්තලේ සැබෑ අරුත විය යුත්තේ සියල්ලන්ටම ප්‍රේමය පැතිරවීමය. නමුත් අද සිදුවන්නේ එය ද යන ගැටලුව අප සිත් තුළ ඇතිවේ. ඒ තරමටම වර්තමාන නත්තල් උත්සවය පරිභෝජනවාදයේ ගොදුරක් බවට පත්ව තිබේ. සමාජ මාධ්‍යයේ එක්තරා තැනක මෙවැනි වැකියක් නෙත ගැටුණි.

වෙළෙඳ හඬින් ලොව පිබිදෙනවා

නත්තල දොර ළඟ වැලපෙනවා”

නත්තලෙහි සැබෑ අරුත හඳුනන නමුත් වෙළෙඳ සංස්කෘතිය තුළ එයට ඉස්මතු වන්නට ඉඩක් නොමැති බව නිසා ඇති වූ සංවේගයෙන් කවුරුන් හෝ එය සඳහන් කර තිබුණි.

නත්තල සැමරීම සඳහා විවිධාකාර බඩු භාණ්ඩ මිල දී ගැනීම කාලයක් තිස්සේ සිදුවුව ද මෑත කාලයේ සිට නත්තල වෙළෙඳුන්ගේ ගොදුරයක් වීම ඉතා ශීඝ්‍රයෙන් සිදුවනු දක්නට ලැබිණි. මෑතක සිටි අප රටට ද ඇතුළු වූ ‘බ්ලැක් ෆ්‍රයිඩේ’ (Black Friday) විලාසිතාව මේ වන දැවැන්ත ලෙස ව්‍යාප්ත වී තිබේ. නොවැම්බර් මාසයේ අවසන් සිකුරාදාව ‘බ්ලැක් ෆ්‍රයිඩේ’ ලෙස නම් කොට තිබේ. මෙය මුලින්ම ඇමරිකා එක්සත් ජනපදයේ ඇති වූ දෙයක් වන අතර මේ වන විට අප රටට ද පැමිණ තිබේ. මෙය හුදෙක්ම ව්‍යාපාරික අරමුණින් ඇති කර ගත් දෙයක් මිස නත්තලේ සැබෑ අරුත් ඉස්මතු කිරීමේ අරමුණින් ඇති කර ගන්නා ලද දෙයක් නොවේ. ‘බ්ලැක් ෆ්‍රයිඩේ’ දිනයේ දී ඉතා ඉහළ වට්ටම් සහිතව භාණ්ඩ අළෙවි කරනු දක්නට හැකිය.

බෞද්ධයන්ට අප්‍රේල් මාසය ඉතා වියදම්කාරී වනවා සේ කිතුනුවන්ට දෙසැම්බර් මාසය ඉතා වියදම්කාරීය. ඇතැමුන් වසරක් පුරා තමා ඉතිරි කරගෙන සිටි මුදල්, සීට්ටුවලින් ලද මුදල් පමණක් නොව ණයට ලබා ගත් මුදල් ද වියදම් කරමින් නත්තල වෙනුවෙන් භාණ්ඩ මිල දී ගැනීම සිදු කරති. නොඑසේ නම් ඔවුනට අන්‍යයන් සමග කරට කර සිටගන්නට හැකියාවක් ලැබෙන්නේ නැත.

නත්තල් සමයේ වෙළෙඳුන්ගේ උපක්‍රම බොහෝ දෙනෙකුට හඳුනාගන්නට හැකියාවක් නැත.

මාර වාසියි. මම මේක නත්තල් සේල් එකකින් ගත්තේ.”

යැයි පවසනු ඕනෑ තරම් ඇසිය හැකිය. වෙළෙඳුන් පාරිභෝගිකයන් රවටමින් ‘සේල්’ යන පුවරුව ඉදිරියට දමා අඩුමිලට යැයි පෙන්වමින් වැඩි මිලට භාණ්ඩ අළෙවි කරනු දැකිය හැකිය.

ජේසුස් වහන්සේ උපන්දිනය සමරනු වස් මිනිසුන් පොර කමින් තෑගි බෝග සහ බඩු භාණ්ඩ තරගයට මෙන් මිලට ගනිති. මදක් නිවි සැනසිල්ලේ කල්පනා කරන්නට හැකි නම් මේ කරන ක්‍රියාවන්ගේ අර්ථය කුමක්දැයි යමෙකුට අවබෝධ කර ගත හැකිය. ලෝකයේ සිටි සුළුතර ධනවතුන් විසින් නත්තලේ දී සිදු කරන්නේ බහුතර දිළින්දන් සූරාකෑමය. යේසුස් වහන්සේ සිය ජීවිත කාලය පුරා අරගල කළේ මෙයට එරෙහිව වුවද, කිතුනුවන් අද දැන හෝ නොදැන ධනවතුන්ගේ උගුලේ අසු වී සිටිති. දේව මාලිගය තුළ වෙළෙඳාම් කරන්නන්ට එරෙහිව ජේසුස් වහන්සේ නැගී සිටි බව කිතුනුවෝ දනිති. ඒ කිතුනුවෝම සිය දේව මාලිගය ධනවතුන් අතට පත් කොට ඇති බව පෙනේ. ලෝකයට ප්‍රේමය රැගෙන එමින් ගොඩනගන්නට උත්සාහ කළ මනුෂ්‍යත්වයට එරෙහි මෙයට වඩා වෙනත් අපරාධයක් තිබේද?

නත්තල වෙනුවෙන් ගතවී යන නිවාඩුව වෙන් කළ යුත්තේ කෘතගුණ සැළකීම, පුණ්‍ය කටයුතු සිදු කිරීම සහ මිනිස් සබඳතා වැඩි දියුණු කරගැනීම සඳහාය. නමුත් නත්තල දිනයේ දී ‘සුබ නත්තලක් වේවා!’ යැයි පැවසීම තුළින් පමණක් මේ කාරණා ඉටුවන්නේද යන ගැටලුව මතුවේ.

දරුවන් පවා හුරුපුරුදු ව සිටින්නේ තමාට නත්තලට ලැබුණු තෑගි බෝග එකිනෙකා සමග පවසමින්, සසඳමින් කාලය ගත කරන්නටය. ඒ කාලයක් තිස්සේ හුරුපුරුදු කරගෙන පැමිණි අන්දමය. එයින් අත්මිදෙන්නට නොහැකිය. මෙහිදී වැඩියෙන්ම තෑගි ලබා දුන් දෙමාපියන් හොඳ වන අතර එසේ නොවන අය ‘හොඳ නැති’ අය යැයි දරුවන් අතර මතයක් ඇති වේ. දෙමාපියන් ලෙස සලකා බැලුවහොත් මෙය කිසිදා දිනිය හැකි සටනක් නොවේ. අතමිට ඇති දෙමාපියකුට තරමට දුප්පත් දෙමාපියකුට සිය දරුවා වෙනුවෙන් නත්තලේ දී තෑගි බෝග මිල දී ගත නොහැකිය. සමාජ තත්ත්වය ඇති වන්නේ මුදල් සහ බඩුභාණ්ඩවලින්ය යන වැරදි මතය දරුවන් තුළ ඇති වන්නට මෙය බලපෑම් කරයි.

යේසුස් වහන්සේ මහත් උත්සාහයෙන් ලෝකය තුළ වගා කරන්නට උත්සාහ කළ මිනිස් ගුණාංග වර්තමාන වෙළෙඳ ලෝකය, පරිභෝජනවාදය තුළ මිනිසුන්ගෙන් ඈත්ව යන්නේ ඒ ආකාරයටය.

නත්තලේ දී විකිණී යන තවත් දෙයක් වන්නේ නත්තල් සීයා හෙවත් සැන්ටා ය. දුප්පත් දරුවන්ගේ සිත් සතුටු කරනු වස් රහසේම ඔවුන්ට තෑගි බෝග ලබාදුන් ඓතිහාසික නිකලස් නම් සාන්තුවරයාගේ චරිතය මත නත්තල් සීයා ගොඩනැගී තිබේ. ‘සේන්ට් නිකලස්’ යන්න පසුකාලයේ දී ‘සැන්ටා ක්ලෝස්’ බවට පත්ව තිබේ. මෙය සාන්තුවරයකුගේ චරිතයක් වුව ද, අද එය වන විට වාණිජකරණය නිසා කෙලෙසී ගිය චරිතයක් බවට පත්ව තිබේ. නත්තල් සමයේ සෑම වෙළෙඳ දැන්වීමක පෙනී සිටින්නේ නිකලස් සාන්තුවරයා නියෝජනය කරන කුමක් හෝ පින්තූරයකි. ඇතැමුන් යේසුස් වහන්සේට වඩා සරණ ගොස් සිටින්නේ සැන්ටාවය. මහ මග සැන්ටා ලෙස ඇඳගත් පුද්ගලයන් භාණ්ඩ අළෙවි කිරීමෙහි යෙදී සිටිනු දක්නට ලැබේ. ඉතාලිය වැනි රටවල, ශ්‍රී ලංකාව වැනි රටවලින් ගොස්  සේවය කරන පුද්ගලයන්ට සැන්ටා යනු අර්ධකාලීන ආදායමක් ලබාදෙන චරිතයකි. විවිධ පුද්ගලයන් සැන්ටා සේ සැරසී මහමග සිටිනු දකින්නට හැකිය. නමුත් නිකලස් සාන්තුවරයාගෙන් ලෝකයට ලබා දිය යුතු ආදර්ශය එය නොවේ.

මේ උදාවන්නට නියමිත නත්තල ඔබට මෙතෙක් පැමිණි ගමන් මග වෙනස් කොට වාණිජකරණයෙන් මිදුණු නත්තලක් සමරන්නට අධිෂ්ඨාන කර ගත හැකිය. ප්‍රේමය, ත්‍යාගශීලිත්වය, මනුෂ්‍යත්වය පිළිබඳ ඔබට නැවත සිතිය හැකිය. ජේසුස් වහන්සේ උපන්නේ ගවලෙනකය. ඔබට එතැනින් සියල්ල ඇරඹිය හැකිය. සරල වටපිටාවක උපන් ජේසුස් වහන්සේගේ උපත සැමරීම සඳහා වෙළෙඳුන්ගේ රැවටිලිවලට ඔබ නතු විය යුතු නොවේ. සැබෑ නත්තල ඔබට උදාවන්නේ එවිටය.


Friday, December 6, 2024

ලෝකය උණුසුම්වීමේ වේගය වැඩි වෙයි - The rate of global warming is accelerating

 


ලෝකය උණුසුම් වීමේ වේගය වැඩි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් දැනට මාස කිහිපයකට පෙර විශේෂ පණිවිඩයක් ලෙසින් ලෝකය හමුවේ අනතුරු හැඟවූයේය. ඔහු විසින් මෙය හඳුන්වනු ලැබුවේ ‘අත්‍යන්ත තාප වසංගය’ (extreme heat epidemic) නමිනි. ඔහු පැවසූයේ පසුගිය ජූලි 22 වැනි සඳුදා මෙතෙක් ලෝකයෙන් වාර්තා වූ වැඩිම මධ්‍ය උෂ්ණත්වය (global average temperature) වාර්තා වූ බවය. එය සෙල්සියස් අංශක 17.16ක් වූ අතර 2023 ජූලි 6, එනම් වසරකට පෙර මේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 17.08 ක් විය.

සෙල්සියස් අංශක 17 ක් යනු සැබවින්ම ඉතා අඩු උෂ්ණත්වයක් යැයි බැලූ බැල්මටම වරදවා වැටහෙන්නට පුළුවන. එබැවින් මුලින්ම ඒ ගැටලුව විසඳාගෙන ඉදිරියට යාම සුදුසුය.

ගෝලීය උෂ්ණත්වය ගණනය කරනු ලබන්නේ ලෝකයේ මධ්‍ය උෂ්ණත්වය සැලකිල්ලට ගැනීමෙනි. මේ සඳහා ලෝකයේ විවිධ ස්ථානවලින් ගනු ලබන උෂ්ණත්වයන් සලකා බලනු ලැබේ. එහිදී ගොඩබිම් ප්‍රදේශ, සමුද්‍ර මතුපිට සහ ධ්‍රැවීය ප්‍රදේශය භාවිතයට ගැනේ. වැඩිම උෂ්ණත්වය අගයයන් වාර්තා වන්නේ ගොඩබිම් ප්‍රදේශවලින් වුවද, සාගර මතුපිට උෂ්ණත්වය එයට වඩා අඩුය. ධ්‍රැවීය ප්‍රදේශවල උෂ්ණත්වය පවතින්නේ සෙල්සියස් අංශක ඍණ අගයයන්වලිනි. මේ ආකාරයට බොහෝ ස්ථානවලින් ලබා ගන්නා උෂ්ණත්ව මට්ටම් සාමාන්‍යකරණය කළ විට ලැබෙන්නේ සාමාන්‍යයෙන් අප එදිනෙදා අත්දකින උෂ්ණත්වයට වඩා අඩු අගයකි. නමුත් ගෝලීය මතුපිට උෂ්ණත්වය පිළිබඳ අදහසක් ගනු ලබන්නේ මේ අගය මතය. කාර්මික විප්ලවය ආරම්භ කරන්නට පෙර ලොව පුරා පැවතී ඇත්තේ සාපේක්ෂව සෞම්‍ය උෂ්ණත්වයක් වූ අතර කාර්මික විප්ලවය සමයේ වාර්තා ගත වී ඇත්තේ ගෝලීය මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.7 ක් ලෙසිනි. විසිවැනි සියවස අවසන් වන විට මෙය සෙල්සියස් අංශක 14.3 ක් ලෙස වාර්තා වී තිබිණි. මෑත කාලයේ එය සෙල්සියස් අංශක 17 අවට අගයයන් අතර පැවතුණි. පසුගිය වසරේ එය සෙල්සියස් අංශක 17.08 ක් විය විය. නමුත් පසුගිය පසුගිය ජූලි මාසයේ එය වාර්තා වී තිබුණේ සෙල්සියස් අංශක 17.16 ක් ලෙසිනි. එය දශම ගණනක වෙනසක් වුව ද සමස්ත ගෝලය සැලකිල්ලට ගෙන බලද්දී එය අනතුරුදායක තත්ත්වයකි. මිනිස් සංහතියම අනතුරට හෙලන තත්ත්වයකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා පවසන අන්දමට ලෝකයේ ඇතැම් ගොඩබිම් ස්ථානවලින් ජලය නටන උෂ්ණත්වයෙන් අඩකට කිට්ටු උෂ්ණත්වයක් වාර්තා වී තිබේ. මේ අත්‍යන්ත තාප වසංගත තත්ත්වයට ලෝකයේ බිලියන ගණනක ජනතාවක් ගොදුරු වෙමින් සිටියි. මහලේකම්වරයා පවසන්නේ ගංවතුර, සුළි සුළං වැනි ස්වාභාවික උපද්‍රවවලට වඩා මෙය අතිශය බියකරු තත්ත්වයක් බවය. මන්ද මෙය අපගේ ඇසට නොපෙනෙන දෙයක් බැවිනි. ගංවතුරක්, සුළි සුළඟක් ඇති වන විට අවට වායුගෝලයේ සිදු වන වෙනස්කම් අපට දකින්නට පුළුවන. එවිට යම් පෙර සූදානම්වීමක් සඳහා අවස්ථාව තිබේ. නමුත් උෂ්ණත්වය වැඩිවීම අපට පෙනෙන දෙයක් නොවේ. එය නිහඬව සිදු වන දෙයකි. එය අපට දැනෙන්නට පටන් ගන්නා විට සූදානම් වන්නට කාලයක් නැත.

2000 සහ 2019 අතර කාලයේ ලෝකයේ වසරකට සිදු වූ මරණවලින් 489,000 කට වගකිව යුත්තේ මේ ‘නිහඬ මාරයා’ ය. මේ කාලය තුළ සුළි සුළං වැනි ස්වාභාවික උපද්‍රවවලින් වසරකට සිදු වූ මරණ සංඛ්‍යාව 16,000 ක් පමණක් විය.

මහලේකම්වරයා. වැඩිහිටියන්, දරුවන් සහ රෝගීන් මේ මරණවලින් ගලවා ගැනීම සඳහා ඔවුන් සිසිලට පත් කළ හැකි ක්‍රමවේද ඇති කරන්නැයි ලෝකයේ රටවල්වලින් ඉල්ලා සිටියි. අනෙක ගෝලීය උෂ්ණත්වය මේ ආකාරයට දිනෙන් දින ඉහළ යාම ලෝකයේ ආහාර සුරක්ෂිතතාව කෙරෙහි දැඩි ලෙස බලපෑම් ඇති කරන අතර මේ වන විටත් දරිද්‍රතාවයට පත්ව සිටින ජනතාව කබලෙන් ලිපට වැටෙන තත්ත්වයට පත් වීම වළක්වා ගත නොහැකිය.

මේ අවදානමට වැඩි වශයෙන් පත්ව සිටින රටවල ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් තාප තරංග (Heat Wave) ඇති වීම පිළිබඳ අනතුරු ඇඟවීම් පද්ධති පිහිටුවීම, නාගරික සැලසුම් කිරීම්වල දී හදිසි උෂ්ණත්ව ඉහළ යාම්වල දී ජනතාවට සිසිලස ලබා ගැනීම පිණිස ක්‍රමෝපායයන් සකස් කිරීම ආදිය පිළිබඳ උනන්දු වන්නැයි මහලේකම්වරයා සිය පණිවිඩය තුළින් ඉල්ලා සිටියේය.

ලෝකයේ සෑම රටක්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්දේශ අනුගමනය කරන්නට උනන්දුවන්නේ නම් වසර 2050 වන විට අඩුම තරමේ බිලියන 3.5 ක ජනතාවක් ආරක්ෂා කර ගත හැකි බව පැවසේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කොට ඇති ලෝකයේ රටවල් 57ක් තුළ උෂ්ණත්වය වැඩි වීම පිළිබඳ අනතුරු හැඟවීමේ පද්ධති ස්ථාපනය කිරීමෙන් වසරකට ජීවිත 98,314ක් මරණයෙන් ගලවා ගත හැකි වෙතැයි ගණන් බලා තිබේ.

මුහුදින් වට වූ දූපතක් වන ශ්‍රී ලංකාවට තවමත් මෙහි අවදානම දැඩි සේ දැනී නැතත්, ගෝලීය උෂ්ණත්වය තවදුරටත් වර්ධනය වීමේ දී මේ තත්ත්වයෙන් ගැල වී සිටින්නට නොහැකි තත්ත්වයක් ඇති වන්නට හැකියාව තිබේ. වියළි කාලයන්හි දී එළිමහනේ ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් මේ වන විට ද ඇති වී තිබේ. ඒ සියල්ල මැද වන විනාශය, පරිසර හානි දිගින් දිගටම ඉවක් බවක් නොමැති සිදු වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උෂ්ණත්ව අනතුරු හැඟවීම් පද්ධති ස්ථාපනය කළ යුතු රටටවල් අතර ශ්‍රී ලංකාව නැතත්, අප රටේ බලධාරීන්, දේශපාලනඥයන් මේ අනාගත අනතුර අවබෝධ කර ගනිමින් හැකි ඉක්මනින් ක්‍රියාමාර්ග ගතහොත් මේ නිහඬ මාරයාට මුහුණ දෙන්නට හැකියාව ලැබෙනු ඇත.