පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, January 19, 2016

‘කන්ග්‍රැජුලේෂන්ස්‘ ගීතයේ කතාව - Story of the 'Congradulations', a popular Song


විවාහ මංගල්‍යය අවස්ථාවලදී වගේම විවාහ සංවත්සර අවස්ථාවලදී වාදනය වන එක් ජනප්‍රිය ගීතයක් තමයි ‛කන්ග්‍රැජුලේෂන් - ඇන්ඩ් සෙලිබ්‍රේෂන්’ ගීතය. මනාල යුවල උත්සව සභාවට පිවිසෙනවාත් සමඟ මේ ගීතය ඇසෙද්දි අපූරු උත්සවශ්‍රීයක් සිතට දැනෙනවා. බොහෝ කාලයක සිට මේ ගීතය අසා තිබුණත් බොහෝ දෙනෙක් මේ ගැන වැඩි විස්තරයක් නොදන්නා බව නම් විශ්වාසයි. මේ විස්තරය කියවා බැලුවාට පසු ඔබ සහභාගීවන මංගල උත්සවයකදි මේ ගීතය ඇසුනොත් වෙනදාටත් වඩා හොඳින්, අලුත් ආකාරයකින් එය රස විඳින්න පුළුවන් වෙයි. ඒ වගේම අනෙක් අය මේ ගීතය ගැන නොදන්නා ඔබ දන්නා විස්තර ටිකක් කතා කරන්නත් පුළුවන් වේවි.

ගීතය පටන් ගන්නේ මෙන්න මෙහෙමයි.

Congratulations - And celebrations
When I tell everyone that you're in love With me
Congratulations - And jubilations

I want the world to know I'm happy as can be.



මේ ගීතය ගායනා කරන්නේ ක්ලිෆ් රිචඩ් කියන ඉංග්‍රීසි ජාතික ගායකයායි.  බිල් මාර්ටින් සහ ෆිල් කෝල්ටර් කියන දෙදෙනා විසින් මේ ගීතය රචනා කරන ලද්දේ 1968 අප්‍රේල් 6 වැනිදා යුරෝපා මහාද්වීපයේ රටවල් අතර පවත්වන්නට නියමිතව පැවති ‛යුරෝවිෂන්’ නම්  ගී තරගාවලියට ඇතුළත්වීම සඳහායි. එහිදී මේ ගීතය ක්ලිෆ් රිචර්ඩ් විසින් ඉදිරිපත් කරනු ලබන්නට  නියමිතව පැවතුණා.

ෆිල් කෝල්ටර් මුළින්ම මේ ගීතය ලියන්න පටන් ගත්තේ I Think I Love You ලෙසිනුයි. නමුත් ඒ චවනවල ගැළපීම ගැන විශ්වාසයක් නොතිබුණු නිසා මේ වැඩේට බිල් මාර්ටින් ද එක් කරගත්තා. ඔවුන් දෙදෙනාම Puppet on a String කියන සංගීත කණ්ඩායමේ සාමාජිකයන්. බිල් මාර්ටින් මෙය Congratulations ලෙසින් වෙනස් කළා. මෙය එක්සත් රාජධානිය තුළ පුදුම තරම් වේගයෙන් ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ගමන් කළා. එය තනි ගායකයකු විසින් ගායනා කරනු ලැබූ අංක එකේ ගීතය බවටත් පත් වුණා. තරගය පැවැත්වෙන දිනය වන විට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනු ඇතැයි සිතෙන තරමටම මෙය ජනප්‍රිය වෙලා තිබුණා. ඒ නිසා බ්‍රිතාන්‍ය පුවත්පත් සිය පාඨකයන්ගෙන් ඇසුවේ “දෙවැනි ස්ථානය ලබා ගන්නා ගීතය කුමක් විය හැකිද?” කියායි.


ඡන්දය ලබාදෙන අවස්ථාවේදී මෙය බොහෝ ඉදිරියෙන් තිබුණා. කෙසේ නමුත් අවසාන මොහොතේ ජර්මනිය (ජර්මනිය ලෝක යුද්දවලින් පසුව බ්‍රිතාන්‍යයත් එක්ක පොඩි කොස්සක් තිබුණා) ස්පාඤ්ඤයට ලකුණු 6ක් දුන්නා. මේ නිසා යුරෝවිෂන් ගී තරගාවලියේදී එය එකම එක ලකුණකින් ස්පාඤ්ඤයේ La, la, la කියන ගීතයට පරාද වුණා. කෙසේ නමුත් යුරෝපය පුරා ජනප්‍රිය වුණේ Congratulations මිසක් La, la, la ගීතය නම් නෙවෙයි. මේ ගීතය යුරෝපය පුරා තවමත් එකසේ ජනප්‍රියයි. කොයි තරම් ජනප්‍රිය ද කීවොත් යුරෝවිෂන් තරගාවලියට වසර 50ක් පිරීම නිමිත්තෙන් පවත්වනු ලැබූ උත්සවය නම් කළේ ද Congratulations නමින්. මෙය දෙවැනි මහා ලෝක යුද්ධය අවසන් වී බොහෝ කාලයකට පසුව රචනා කරන ලද ගීතයක් වුවත් ‛යුරෝපයේ ජයග්‍රාහී දිනය’ සැමරීමේ 50 වැනි සංවත්සරය පැවති 1995 වසරේදී ක්ලිෆ් රිචර්ඩ් මෙම ගීතය ගායනා කළා.




මේ ගීතය ගායනා කරමින් ජනතාව අතරට එය රැගෙන ආ ක්ලිෆ් රිචඩ් ගැනත් ටිකක් කතා කළේ නැත්නම් ඒක ඔහුට කරන අසාධරණයක්. නයිට් පදවියකින් පුදනු ලැබ ඇති නිසා ‛සර්’ කියන නම්බු නාමය ඇති ක්ලිෆ් රිච්ඩ් උපන්නේ 1940 ඔක්තෝබර් 14 වැනිදා ඉන්දියාවේ ලක්නව්වල. ඔහු බ්‍රිතාන්‍ය පොප් ගායකයෙක්, සංගීතඥයෙක්, සංදර්ශකයෙක්, නළුවෙක් සහ පරහිතකාමියෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා. ලොව පුරා ඔහුගේ ගී තැටි මිලියන 250කට වඩා අළෙවි වී තිබෙනවා. බ්‍රිතාන්‍ය ගීත දර්ශක ඉතිහාසයේ එල්විස් ප්‍රෙස්ලි සහ බීට්ල්ස් සංගීත කණ්ඩායම හැරුණු විට වැඩිම ගී තැටි අළෙවියකට හිමිකම් කියන්නේ ක්ලිෆ් රිච්ඩ්. දැනට 75 හැවිරිදි වියේ පසුවන ඔහු තවමත් ගීත ගායනා කරනවා.

ක්ලිෆ් රිච්ඩ්ගේ පියා මිය යන විට ක්ලිෆ් හිටියේ ලාබාල වයසේ. ඔහුට සිය පියාගේ මරණය තදින් බලපෑ බව කියැවෙනවා. “මගේ තාත්තා මිය ගියේ බොහෝ අඩු වයසින්. මගේ ජීවිතේ හොඳම කාලෙදි ඔහු මා ළඟ හිටියේ නැහැ. තාත්තා අසනීපෙන් ඉන්න කාලේ අපි හුඟක් සමීප වුණා.” රිච්ඩ් සිය මතකය අවදි කරමින් එසේ පවසනවා.

රිච්ඩ් මුළු ජීවිත කාලයම ගත් කළේ තනිකඩ ජීවිතයක්. ඔහුගේ ප්‍රථම පෙම්වතිය ඩේලියා වික්ස්. ඇය ඕස්ට්‍රේලියානු ජාතික නර්තන ශිල්පිනියක්. ඇය පිළිකාවකින් මිය ගියා. ඔහු ඇගේ මරණයෙන් මහත් කම්පාවකට පත්වූ බව හෙළිවූයේ ඒ සම්බන්ධව ඔහු ලියන ලද ලිපියක් 2010 වසරේදී ප්‍රසිද්ධියට පත්කිරීමෙන් පසුවයි. ඔහු එහි මෙසේ ලියා තිබුණා.

“ඩේලියාගේ මරණයෙන් පසු මම කිසිම තරුණියක් සමග බරපතල සම්බන්ධකම් පවත්වන්නේ නැහැ කියා සිතා ගත්තා. මට හැමදෙයම එපා වුණා. පොප් ගායකයෙක් වූ මගෙ වෘත්තිය අතහැරලා දමන්න හිතුණා. ඒත් මගේ අම්මත් සහෝදරියනුත් සම්පූර්ණයෙන්ම යැපුනේ මගෙන්. ඒ නිසා මට මුදල් උපයන්න සිදු වුණා.”


Congratulations ගීතය ගැනත් එය ගයන ගායන ශිල්පියා ගැනත් කෙටියෙන් කියන්න තියෙන්නේ මේ විස්තරය තමයි. බොහෝ දෙනෙක් සතුටුවන ගීතය ගායනා කළ ශිල්පියාගේ ජීවිතය කොයි කරම් දුක්බර ද කියාත් ඔබට සිතෙන්නට පුළුවන්. කෙසේ නමුත් මේ ගීතය නැවත අසන අවස්ථාවක ඔබට ඒ දෙස අලුත් ඇසකින් බලන්නට මේ තොරතුරු මග විවර කර දේවි.


ගීතයේ පද රචනය

Congratulations and celebrations
When I tell everyone that you're in love
with me
Congratulations
and jubilations
I want the world to know I'm happy as can be.

Who could believe that I could be happy and
contented
I used to think that happiness hadn't been
invented
But that was in the bad old days before I met you
When I let you
walk into my heart

Congratulations...
I was afraid that maybe you thought you
were above me
That I was only fooling myself to think you
loved me
But then tonight you said you couldn't live
without me
That round about me
You wanted to stay

Congratulations...

Congratulations and jubilations
I want the world to know I'm happy as can be
I want the world to know
I'm happy as can be

Wednesday, January 13, 2016

මුදලට රාගය නිවන ඉන්දියාවේ රතුපහන් වීදි - Red Light Streets in India


ඉන්දියාවේ සංචාරය කරන යමෙකුට හදිසියේ හෝ හිතා මතා හෝ එහ රතු පහන් වීදියක ඇවිද යන්නට සිදුවුවහොත් බොහෝ බොලිවුඩ් සෙලෝලොයිඩ් සිනමා පටවලින්  හා ඉන්දීය ටෙලි නාට්‍යවලින් අප දකින ඉන්දියානු ප්‍රතිරූපය වෙනස්වන බවට සැකයක් නැත. යමෙක් දැනුවත්ව හෝ නොදැනුවත්ව රතු පහන් වීදියකට හෙවත් Red Light Street එකකට පිවිසිය හොත් තමා ගිළගැනීමට දෑස් අයා බලා සිටින ගැහැනුන් දැක ඇතැම් විට බියේ දිවයන්නට ද සිතුන ද එහි අරුමයක් නැත. අසුවුවහොත් තමාගේ රීරි මාංශය පවා සූරා කනු ඇතැයි යන සැකය ඔවුන්ගේ ගැඹුරු දෙනෙත්වල ගැබ්ව තිබේ. කෙසේ නමුත් මේ රතු පහන් වීදි ආලෝකයෙන් පෙනෙන ලෝකයේ සැබෑ ස්වභාවය තේරුම්ගන්නට බොහෝ දෙනෙක් උත්සහ දරන්නේ නැත. 


ඉන්දියාවේ ප්‍රධාන වශයෙන් රතු පහන් වීදි අටක් පමණ තිබේ. කල්කටාවේ සොන්ගාචි, මුම්බායි හි කාමාති පුර, පූනේ හි බුද්වාර් පෙත්, අලහබාද් හි මීර්ගුන්ජ් ආදී වශයෙනි. මෙහි ලැයිස්තුව තව දිගය. මේවා අතුරින් මුම්බායි හි කාමාතිපුරයට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. ඒ රාගය මුදලට විකිණෙන එය ආසියාවේ ඇති දෙවැනි විශාලතම ප්‍රදේශය වශයෙන් ප්‍රකටව ඇති බැවිනි. දෙවැනි විශාලතම ප්‍රදේශය වුව ද එය ඉන්දියාවේ  සෙසු රතු පහන් වීදිවලට වඩා ලොව පුරා ප්‍රකට වී තිබේ. 



බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති බොහෝ රටවලට ලැබුණු හොඳ සහ නරක දායාදවලින් එකක් ලෙස ඉන්දියාවේ මෙම කාමාතිපුර හැඳින්විය හැකිය. බ්‍රිතාන්‍ය සෙබලුන්ගේ මනදොල සැපිරීම සඳහා යටත් විජිත යුගයේදී මෙම නගරය පිහිටුවනු ලැබිණි. ඒ 1795 දීය. එකල ඉන්දියාවෙන් පමණක් නොව ජපානයෙන් පවා තරුණියන් මෙය කරා ගෙන එනු ලැබිණි. මෙම නගරවල සිටින මුදලට රාගය විකුණන ගැහැනුන් වෙනත් ආර්ථික කටයුතු සඳහා යෙදවීමට රජය ගත් තීරණය හේතුවෙන් බොහෝ දෙනෙක් එයින් ඉවත් වුව ද සහමුළින්ම එසේ සිදුවී නැත. අනෙක රජය කිසිඳු අවස්ථාවකදී ඉන්දියාවෙන් ගණිකා වෘත්තිය අහෝසි කර දමන්නට පියවර ගත්තේ ද නැත. 


දෙතිස්වියෙහි පසුවන නිජිලාගේ කතාව අපි මඳක් අසමු. 


“මම ආවේ නේපාලේ ඉඳන්. අපේ රටේ කියමනක් තියෙනවා ආදරය කරන අය දිව්‍ය ලෝකේ යනවා කියලා. ඒත් ආදරය නිසා මට එන්න ලැබුනේ අපායක් වගේ තියෙන කාමාතිපුරයට. මම ආදරය කළ කෙනාව විශ්වාස කරලා ඔහුත් එකක නිවසින් පැනලා ආවා. ඔහු මාව මේ කුණුකානුවට විකුණලා පැනලා ගියා. ඇත්තටම ඔහු මාව රවට්ටලා ගණිකාවක් බවට පත්කළා.” 


‛ගුඩ්ඩි’ බටහිර බෙංගාලය තරම් දුරක සිට මුම්බායි කරා පැමිණෙද්දී ඇය යන්තම් 11 වැනි වියෙහි පසුවූවාය. එක් පුද්ගලයකු ඇගේ දෙමාපියන්ට පවසා තිබුණේ නිවසක සේවය සඳහා ඇය ගෙන යන බවකි. නමුත් ඒ පුද්ගලයා ඇයව රැගෙන පැමිණියේ රතු පහන් වීදියටය. ගනුදෙනුකරුවකු ඇය දූෂණය කළ අතර මාස තුනක් රෝහල් ගතව සිටින්නට සිදුවිය. දැනට කාමාතිපුර රාගය විකුණන විසිදහසක් පමණ වන සෙසු ගැහැනුන්ගේ කතාව නිජිලාගේ සහ ගුඩ්ඩි කතාවට වඩා වෙනස් වන්නේ නැත. 




එදා බ්‍රිතාන්‍ය සෙබලුන්ගේ මනදොල සපුරාගන්නට බිහි වූ මෙම රතුපහන් වීදිවල ඇති ගණිකා නිවාසවල තත්වය එදාට වඩා වැඩි වෙනසකට පත්ව නැති බැව් හොඳින්ම පෙනේ. තවමත් ඇත්තේ බ්‍රිතාන්‍යයන් ඉදිකළ ගොඩනැගිලිමය. සනීපාරක්ෂාවක් නැති තරම්ය. මෙහි කාන්තාවන්ට වෙනත් රැකියා ලබාදෙන්නට යම් යම් ක්‍රියාමාර්ග ගෙන තිබුණ ද විවිධ හේතූන් නිසා මෙම නරකාදියට වැටෙන ගැහැනුන්ට ජීවත්වන්නට මෙය හැර අන් මගක් නැති බැව් පෙනේ. 


වර්තමානයේ කාමාතිපුර රතු පහන් වීදියේ වෙසෙන වැඩිහිටි ගැහැනියක් ඉන්දියානු රුපියල් 500 කට (ශ්‍රී ලංකා රුපියල් දහසකට මඳක් වැඩිය) රාගය විකුණයි. නමුත් අවුරුදු 12 - 16 අතර දැරියන් සඳහා ඉන්දියානු රුපියල් 2,000ක් (ශ්‍රී ලංකා රුපියල් 4,300ක් පමණ) ගෙවන්නට ගනුදෙනුකරුවන් කැමතිය. ගණිකා වෙන්දේසිවලදී කන්‍යාවන් අධික මිලකට අළෙවි වෙයි. 


කාමාතිපුර රතු පහන් වීදයේ ජිවත්වන සියලුම ගැහැනුන් මේ ‛අපායටම’ වී මිය යන්නට සිතන්නේ නැත. ලතා එවැන්නියකි. කර්නාටක ප්‍රාන්තයේ සිටි ඇය  අවුරුදු 16 දී සිය පෙම්වතා විසින් රවටාගෙන විත් මෙම වීදියට අතහැර දමනු ලැබූ තැනැත්තියකි. කෙසේ නමුත් මුම්බායි හි ‛ටීන් චැලෙන්ජ්’ සංවිධානය පිහිට වීම නිසා වසර එකොළහකට පසු ඇයට නැවත සිය පවුලේ පිරිස සමඟ එක්වන්නට වාසනාව හිමි විය. ඇය දැන් පුණ්‍යායතනයක් මගින් පවත්වාගෙන යනු ලබන පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ජිවත් වෙයි. 




මුල් කාලයේ මේ ආකාරයට දැරියන්ව, තරුණියන්ව රවටා ගණිකා වෘත්තිය සඳහා යොදවන්නවුන්ට එරෙහිව දැඩි නීති ඉන්දියාවේ නොතිබුණ ද 2013 වසරේදී ඒ සම්බන්ධ නීති වඩාත් පුළුල් කොට එවැනි වැරදි සඳහා ද දැඩි දඩුවම් නියමකිරීමේ ප්‍රතිපාදන සළසනු ලැබ තිබේ. 


“කාමාතිපුර වීදිවල ඉන්න නම් අපි අපට තියෙන හොඳම ඇඳුම් අඳින්න ඕන. හිතේ මොන තරම් ගින්දරක් තිබුණත් අපි හිනාවෙලා එතැනින් යන ගනුදෙනුකරුවන්ට අත වනනවා. මේ නරකාදි රස්සාව කරන අපිට පුළුවන් විදිහට පිහිට වෙන නොයෙක් සංවිධාන තියෙනවා. ඔවුන්ගෙන් තමයි මමත් ඒඩ්ස්, එච්.අයි.වී. වගේ දේවල් ගැන දැනගත්තේ. එයින් පස්සේ ආරක්ෂිත කොපුවක් පළඳින්න අකැමති ගනුදෙනුකරුවන් එක්ක යන එක මම නවත්තලා දැම්මා. නීති ගැන මට දැනුමක් නැහැ. නමුත් පුංචි දැරියන්ව මේ නරකාදියට ගෙනත් දාන එවුනට නම් නීති තියෙන්න ඕන. ඒක මහා අපරාදයක්. මේ නරකාදියට ඒ සප්පයන් වැටෙන්න ඕන නැහැ.”
 

ඒ කාමාතිපුර රතු පහන් වීදියක ගැහැනියකගේ ආත්මගත වැළපිල්ල යැයි කීව ද එහි වරදක් නැත. මහා සංස්කෘතියක්ට හිමි කම් පාන ඉන්දියාව මෙම අක්‍රමවත් ගණිකා ව්‍යාපාරය සම්බන්ධව ගනු ලබන පැහැදිලි ක්‍රියාමාර්ග පෙනෙන්නේ නැත. අප රටේ ද ඇතැම් අවස්ථාවලදී ඇසෙන්නේ ස්ත්‍රී දූෂණ අඩුකිරීම සඳහා ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවය. නමුත් ඉන්දියාවේ ගණිකා වෘත්තිය නිීති ගත කොට තිබුණ ද එහි ස්ත්‍රී දූෂණවල ද අඩුවක් පෙනෙන්නේ ද නැත. කාමාතිපුර රතු පහන් වීදිවල රාගය විකුණන ගැහැනුන්ගේ දුක් අඳෝනා අසන්නකු කිසිදු රටක ගණිකා වෘත්තිය නීති ගත කරනවාට පක්ෂව කතා කරන්නේ නැත. කෙසේ වුව ද ලෝකයේ පැරණිතම වෘත්තිය වර්මාන ලෝකයේ නරකාදියක් ලෙස ලෝකාවසානය වනතුරුම මෙසේ රතු පහන් වීදිවල ආලෝකයෙන් බැබලෙමින් පවතිනු ඇති බව නම් කිව හැකිය.


අලුත් ලෝකයට අලුත් ගැජට් 5 කොටස - New Gadgets for New World Part 5

 නව ලෝකයට අලුත් විදිහේ පාපැදියක්



පාපැදි කිව්ව ගමන් අපට හිතට එන රූපයට වඩා වෙනස් ආකාරයේ ඒවා අද වන විට ඕනෑ තරම් නිර්මාණය වී තිබෙනවා. ඇතැම් ඒවා සාමාන්‍ය යතුරු පැදියකටත් වඩා උසස් තත්වයක පවතිනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ අමුතුම පාපැදියක් ගැනයි. මේක තවම නිෂ්පාදනය වී නැහැ. නමුත් ලබන වසරේදී මිලට ගන්න පුළුවන් කියලයි කියන්නේ. අලුත්ම තාක්ෂණයක් සමග එන නිසා මුළින්ම 100ක් වැනි අඩු සංඛ්‍යාවක් තමයි නිෂ්පාදනය කරන්නේ. දැන් බලමු මේ විදිහට කියන්න තරම් මේ පාපැදියේ තියෙන්නේ මොනවද කියලා.

මේ පාපැදියේ බ්ලූටූත් තාක්ෂණය තියෙනවා. ඒ තාක්ෂණයත් සහ හැඬලය එක්ව ක්‍රියාකරමින් අප පාපැදිය නැවැත්විය යුත්තේ කුමන වෙලාවකද, හැරවිය යුත්තේ කුමන වෙලාවකද කියා දැනුම් දෙන්න මේ පාපැදියට පුළුවන්.

මෙහි රාමුව ත්‍රිමාන මුද්‍රණයක් සහිතව ටයිටේනියම් ලෝහයෙන් තනා තිබෙනවා. My Bike නම් ස්මාර්ට් දුරකතන යෙදුම සහිත ජංගම දුරකතනය සමඟ බ්ලූටූත් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වන්නට මෙය හැකියාව තිබෙනවා. විදුලි පහන් අලුතින් දැමීම, තිරංගවල ඇති අඩුපාඩු ආදිය ගැන දැනුම් දෙන්නට මේ යෙදුමට පුළුවන්. ඒ වගේම Discover My City නම් තවත් ස්මාර්ට් ජංගම දුරකතන යෙදුමක් සමගත් මේ පාපැදිය සම්බන්ධ වෙනවා. එහි ඇත්තේ සිතියම්. දැනට එහි අඩංගු කොට ඇත්තේ මෙම පාපැදිය නිර්මාණය කළ පෝර්ට්ලන්ඩ් නම් නගරයේ සිතියම පමණයි. මෙය සාර්ථක වුණොත් ඉදරියේදී තව තවත් සිතියම් මෙයට එක් කරාවි. ආහාර පාන තියෙන තැන්, සාප්පු තියෙන තැන් ආදිය  මේ යෙදුම මගින් පාපැදිකරුට නිවැරදිව දැනගන්නට පුළුවන්.

දැන් ඔබට සිතෙන්න පුළුවන් මේ විස්තර ස්මාර්ට් දුරකතනයෙන් බලා බලා යනවට වඩා වෙන වැඩක් නැද්ද කියලා. අනෙක අනතුරක් වුණත් සිදුවෙන්න පුළුවන් කියලත් හිතේවි. ඒක මෙය නිර්මාණය කළ අයටත් සිතුණා. ඒ නිසා ඔවුන් එයට විසඳුමක් සෙව්වා. එහිදී සිදුවෙන්නේ හරවන්න අවශ්‍ය නම් හැඬලයේ ඇති බසරයක් (ශබ්දය නලන උපකරණයක්) ශබ්ද වීමයි. අවශ්‍ය ස්ථානය කරා ළඟාවන විට එය වැඩි වේගයකින් නාද වෙනවා. මෙහි පිහිටුවා ඇති සංවේදකවලට පුළුවන් පරිසරයේ පවතින තත්වයට අනුව විදුලි පහන්වල ආලෝකය අඩුවැඩි කරන්න. කුඩා ඉලෙක්ට්‍රොනික් බොත්තමක් එබූ පමණින් ගියර මාරු කරන්නනත් පුළුවන්.


කාර් එකේදීම ලැප්ටොප් චාර්ජ් කරගනිමු



ජංගම දුරකතනයක් ආරෝපණය කරගන්නට පුළුවන් වුණත්, ඔබගේ මෝටර් රථය තුළ ලැප්ටොප් එකක් ආරෝපණය කරගන්නට ඇති හැකියව අඩුයි. ඇතැම් විට අලුත්ම මෝටර් රථවල තියෙනවා වෙන්න පුළුවන්. මෙ අඩුපාඩුව සපුරාලගන්නට ‛පවර් කප්’ නමින් අලුත් ගැජට් එකක් නිෂ්පාදනය කොට තිබෙනවා. මෙය කෝප්පයක් හැඩයෙන් යුක්ත නිසාත්, මෝටර් රථයේ කෝප්පයක් තබන්නට සකස්කොට ඇති ඉඩකඩට සරිලන අයුරින් යුක්ත නිසාත් මෙයට මේ නම යෙදී තිබෙනවා. මෙය මෝටර් රථයේ දුම්වැටි ලයිටරය සවිකරන ස්ථානයට සම්බන්ධ කළ විට පවර් කප් එක ඔස්සේ නිවසේදී මෙන් වෝල්ට් 230ක් හෝ 110ක් (නොයෙක් රටවල භාවිතවන විදුලි වෝල්ටීයතාවය අනුව මෙය වෙනස් වෙනවා) ලබාගන්නට පුළුවන්. මේ ඔස්සේ සාමන්‍ය විදුලි බලයෙන් ක්‍රියාත්මක වන භාණ්ඩ බොහොමයක් ප්‍රයෝජනයට ගනන්න පුළුවන්. මිල දැනට ඇමරිකානු ඩොලර් 89 (රු. 12,740ක් පමණ) වෙනවා.

කාමරයට ඩිජිටල් කවුළුවක්




උදේ පාන්දර නින්දෙන් අවදිවෙන කොට කවුළුවෙන් ලස්සන වටපිටාවක් පෙනෙන්න තියෙනවා නම් කොයිතරම්ද? ඒත් නගරබදව, කුඩා නිවෙස්වල ජීවත්වෙන බොහෝ දෙනෙකුට එහෙම වාසනාවක් නැහැ. ලස්සන වටපිටාවක් දකින්න නගරයෙන් ඈත ජීවත්වෙන්නත් බැහැ. පින්තූරයක් එල්ල ගත්තට එයින් සැබෑ හැඟීමක් දැනෙන්නෙනත් නැහැ. මේ සියලු අඩුපාඩු සපුරාලන්නට දැන් ඩිජිටල් කවුළුවක් නිෂ්පාදනය වී තිබෙනවා. මෙය ද පින්තූරයක් සේ බිත්තියේ එල්ලාගන්නට පුළුවන්. නමුත් එය සජීවි දර්ශනයක් අප ඉදිරියේ මවනවා. ඔබ දකින්නේ මුහුද නම් එහි රැල්ල නැගෙන ආකාරය, මුහුදු ළිහිණින් පියාසලමින් හඬ නගන ආකාරය, ගස්වැල් සුළඟට වැනෙන ආකාරය දකින්න පුළුවන්. මෙහි එවැනි සජීවි දර්ශන 80ක් පමණ අඩංගු වෙනවා. මිල දැනට ඇමරිකානු ඩොලර් 499 (රු. 72,000ක් විතර) වෙනවා.









Saturday, January 9, 2016

2016 කාලගුණයෙන් බැට කන වසරක් වේද? - Will 2016 be a weather hazard year?


බොහෝ දෙනෙක් ඇතැම් විට නොදන්නවා විය හැකි වුවත් ගෙවුණු 2015 වසර යනු කාලගුණ විද්‍යාවට අනුව අප පසුකළ උණුසුමින් වැඩිම වර්ෂය විය. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට ඒ පිළිබඳ ඇතැම් විට නොදැනෙන්නට හේතුව වන්නට ඇත්තේ පසුගිය මාස කිහිපය පුරා අප වර්ෂාව සහිත සමයක් පසුකළ නිසා වන්නට පුළුවන. කෙසේ වුවත් ලෝකයේ කාලගුණය පිළිබඳ අනාවැකි පළ කරන බොහෝ ආයතන 2016 වසර පිළිබඳ යම්කිසි බියකින් පසුවන බැව් පෙනේ. 2015 වසරේ අගභාගයේ ලොව පුරා ඇති වූ මේ අධික උණුසුම් තත්වය 2016 වසර දක්වා බලපවත්වා ලෝකයට දැඩි විනාශයක් සිදු කරනු ඇතැයි ඔවුහු අනුමාන කරති. අප නොදැන සිටිය ද මේ ඇතිවන්නට හැකි දරුණු කාලගුණ වෙනසට හේතුව කුමක්ද?

මේ කාලගුණ වෙනසට හේතුවද මාධ්‍ය මගින් විවිධ අවස්ථාවලදී සඳහන් කෙරුන ද එවැනි පුවත්වලට වැඩි දෙනෙකුගේ අවධානය ලක් නොවන බැවින් ඒ පිළිබඳ බොහෝ දෙනෙකුට අවබෝධයක් නොමැති වන්නට ඇත. මේ සියල්ල පසුපස පවතින්නේ ‛එල් නිනෝ’ (El Niño) නම් කාලගුණික සංසිද්ධියයි. ප්‍රවෘත්ති වාර්තා ඔස්සේ මේ වදන පසුගිය කාලයේ විටින්විට විට අසන්නට ලැබුණද ඒ පිළිබඳ වැඩි දෙනෙකුගේ අවධානයක් යොමුව නැති බව නම් පෙනෙන්නට තිබේ. සැබවින්ම ‛එල් නිනෝ’ යනු කුමක්ද?

‛එල් නිනෝ’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ පැසිපික් සාගරය ආශ්‍රිතව සාගර ජලය මතුපිට අධික උෂණත්ව කලාපයක් නිර්මාණය වීමයි. මේ සඳහා දියවැල් සහ සුළං රටාවේ සිදුවන වෙනස්කම් බලපායි. මෙය පැසිපික් සාගරය ආශ්‍රිතව සිදු වුවත් එය සමස්ත ලෝකයටම බලපෑම් කරන බැවින් සියලු දෙනා ඒ පිළිබඳ අවධානයෙන් සිටීම වැදගත්ය. එල් නිනෝ තත්වයන් නිතර සිදුවුව ද පසුගිය වසරේ එය මතුවූයේ දැඩි දරුණු ස්භාවයකිනි. මෙයට පෙර මෙතරම් දරුණු එල් නිනෝ තත්වයක් 1997 - 1998 වසරවලදී සිදුවූ අතර එහිදී අප්‍රිකානු කලාපයේ අධික නියං තත්වයක් ද, තවත් රටවල් ලැව්ගැනි ආදී තත්වයන් ද ඇති විය. අප්‍රිකානු මහාද්වීපයේ මේ නිසා බොහෝ මරණ සංඛ්‍යාවක් වාර්තා විය. එයින් පසුව දරුණු එල් නිනෝවක් මතු වූයේ පසුගිය වසර අවසානයේය. කෙසේ නමුත් එහි දැඩි බලපෑම මතුවන්නට පටන් ගන්නේ මේ වසරේ මුල් සමයේදී යැයි පැවසේ.



එල් නිනෝ තත්වයේදී සාගරය මතුපිට උණුසුම්වීම නිසා එම කලාපය ආශ්ර්‍‍රිතව ඇති බොහෝ රටවලට ආර්ථිකමය වශයෙන් විවිධ ගැටලු එල්ල විය හැකිය. විශේෂයෙන් මත්ස්‍ය සම්පත කෙරෙහි මෙහිදී බලපෑමක් එල්ල විය හැකිය. එමෙන්ම මේ නිසා අධික උණුසුම් කාලගුණයක් ඇතිවීම නිසා එම රටවල වගාකටයුතු කෙරෙහි එය අහිතකර ලෙස බලපානු ඇත. එමෙන්ම ජල සම්පත සිඳී යාමට ද හේතු විය හැකිය. එල් නිනෝ තත්වයකදී මුහුද මතුපිට උෂ්ණත්ව කලාපයක් ඇති වුව ද ඇතැම් රටවලට එය බලපාන්නේ උණුසුම් දේශගුණ තත්වයක් ඇති කරමින් නොවේ. සුළං රටාවේ ආදියේ සිදුවන වෙනස්කම් නිසා ඇතැම් රටවල අධික වර්ෂා රටාවන් ඇතිවිය හැක. එහි ප්‍රතිඵලය වන්නේ දරුණු ගංවතුර තත්වයන් ඇතිවී මිනිස් හා දේපළ හානි වැඩි වශයෙන්  සිදුවීමය.

මෙම තත්වයේ අහිතකර බලපෑම් මෙම වසර මුළුල්ලේම ලැබිය හැකි බැව් කාලගුණය පිළිබඳ ජාත්‍යන්තර ආයතන අවධාරණය කරයි. එය ඇතැම් විට කලින් සඳහන් කළා සේ ඇතැම් රටවලට අධික උණුසුම් තත්වයක් මෙන්ම ඇතැම් රටවලට අධික වර්ෂාපතනය ලෙසින් විය හැකිය. මේ කාලගුණික අන්ත දෙකෙහිම අවසන් ප්‍රතිඵලය වන්නේ මිනිස් හා දේපළ හානි බොහොමයක් සිදුවීමය. එබැවින් අප මේ වසරේ කාලගුණයෙන් බැටකෑමට සූදානම්ව සිටිය යුතු බව මතකයේ තබාගැනීම නුවණට හුරුය.

කෙසේ වෙතත් පැසිපික් සාගරය ආශ්‍රිව සාගරය මතුපිට මේ ආකාරයෙන් ඇති වන අධික උෂ්ණත්වය සමස්ත ලෝකය කෙරෙහිම බලපෑම් කරන නිසා අප සඳහන් කළ කාලගුණික අන්ත දෙකට ද වඩා දරුණු තත්වයක් අපට නොදැනීම සිදු වෙයි. ඒ අපට නිතර අසන්නට ලැබෙන ‛ලෝකය උණුසුම් වීමේ’ තත්වයයි. ලෝකයේ උණුසුම් වීම කෙරෙහි මිනිස් ක්‍රියකාරකම් බොහෝ සේ බලපායි. අධික ලෙස පිහිටුවන ලබන කර්මාන්ත ශාලා නිසා වායුගෝලයට එක්වන විෂ වායු මගින් ලෝකය පුරා ‛හරිතාගාර’ තත්වයක් (හරිතාගාර ආචරණය - Greenhouse effect) ඇති කරයි. එවිට ලෝකයේ උෂ්ණ්ත්වය කෙමෙන් ඉහළ යයි. එහි අහිතකර බලපෑම වන්නේ පාථිවියේ ධ්‍රුව ප්‍රදේශවල ඇති අයිස් කඳු දියවී යාමය. මෙම අයිස් කඳු තුළ දැඩි ජල ප්‍රමාණයක් මිදී තිබේ. මේවා දියවී සාගරවලට එකතුවීමේ ප්‍රතිඵලය වන්නේ මුහුදු මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමය. එවිට අවසානයේ සිදුවන්නේ මුහුදු මට්ටමේ හෝ මුහුදු මට්ට්මට පහළින් ඇති භූමි ප්‍රදේශ කෙමෙන් ජලයට යටවීමය. මාලදිවයින යම් දිනෙක සහමුළින්ම ජලයෙන් යටවී යනු ඇතැයි අනාවැකි පළකොට තිබෙන්නේ එබැවිනි. මාලදිවයිනට එසේ වුවත් අපට එසේ වන්නේ නැතැයි උදම් අනන්නට යමෙක් සිතන්නේ නම් එය මුළාවකි. උදාහරණයක් ලෙස පුත්තලම දිස්ත්‍රික්කයේ මුහුදු වෙරළින් වැඩි ප්‍රමාණයක් ඇත්තේ මුහුදු මට්ටමෙන් අඩි 300 ක් පමණ පහළිනි. එබැවින් යම්කිසි දිනෙක මුහුදු මට්ටම ඉහළයාමේ අවදානම අප වැනි දූපත්වලට දැඩිව බලපායි. අනෙක අප රටේ ආර්ථිකය රැඳී පවතින්නේ කොළඹ වැනි මුහුදට ආශ්‍රිත නගරවලය. මුහුදු මට්ටම ඉහළ යාම් අහිතකර ප්‍රතිඵල පිළිබඳ අප දැනුවත්ව සිටි යුත්තේ එබැවිනි.

රාත්‍රිය යනු ලෝකයේ එක් පැත්තක උණුසුම් අඩු කලාපයක් නිර්මාණය කරන්නක් වුව ද වර්තමාන මිනිස් ක්‍රියාකාරම් නිසා එය එසේ සිදු නොවේ. ලෝකයේ සෑම රටකම රාත්‍රී කාලයේ දල්වනු ලබන අධික උණුසමක් ඇති විදුලි පහන් නිසා රාත්‍රී කාලයේද ලෝකයේ අධික උණුසමක් නිපදවේ. ලෝක මිහිකත් දිනය සැමරීමේදි රාත්‍රීයේ මුළු ලෝකය පුරාම එකම මෙහොතේ එක් මිනිත්තුකවක් විදුලි බල්බ නිවා දමන්න යැයි දැනුවත්කිරීම් දියත් වුව ද එවැන්නක් සැළකිල්ලට ගෙන ක්‍රියාත්මක කරන්නේ ස්වල්ප දෙනෙකි. ඇතැමුන්ට එය විහිළුවක් සේ පෙනෙනු ඇත. නමුත් ඒ මිනිත්තුව තුළ ලෝකයෙන් පිටවන උෂ්ණත්වය සැළකිය යතු තරමින් අඩු කොට අයිස් කඳු දියවීම තරමක් හෝ පමාකරගත හැකි බව කිසිවකු සිතන්නේ නැත.


එල් නිනෝ වැනි ස්වභාවිකව ඇතිවන කාලගුණ තත්වයන් මෙන්ම අප විසින් ලෝකයට කරනු ලබන අහිතකර ක්‍රියාකාරීත්වයන්  නිසා ද අපගේ විනාශය වඩා ඉක්මණින් අපිම උදාකරගනිමින් පසුවෙමු. අපගේ මිහිකත් මාතාව පිළිබඳ අපට මෙයට වඩා සිතන්නට හැකි නම් ලෝකය වඩාත් සුන්දර, මිනිසාට හිතකර තැනක් බවට පත්කරගැනීමට හැකිවනු නිසැකය.

Tuesday, January 5, 2016

අලුත් ලෝකයට අලුත් ගැජට් 4 කොටස - New Gadgets for New World Part 4

ඔබේ නිවසට ස්මාර්ට්  ස්පීකරයක් 



ඉස්සර ගෙවල්වල ගීත අහන්න තිබුණේ ටිකක් ලොකු බැෆල්. බෆල් කියලත් කියනවා. තාක්ෂණයේ දියුණුවත් එක්ක මේවා ටික ටික කුඩා වුණා. මේ කියන්නෙත් ඒ වගෙ අලුත්ම විදියේ ස්පීකරයක් ගැන. ‛ස්මාර්ට් ස්පීකර්’ කියල තමයි මේකට කියන්නේ. මිලත් ස්මාර්ට් වගේ තමයි. මොකද අමරිකානු ඩොලර් 180ක්, රුපියල්වලින් නම් 25,300ක් විතර වෙනවා. බ්ලූටූත් තාක්ෂණයෙන් ගීත අහන්න පුළුවන්. මෙහි ඇති විශේෂත්වය නම්, නිවසේ ඇති බොහෝ දේවල් මේ හරහා පහසුවෙන් කරගත හැකිවිමයි. බ්ලූටූත්වලින් ක්‍රියාතමක වන නිවසේ සියලු උපාංග මෙයින් පාලනය කළ හැකියි. ඒ වගේම අන්තර්ජාල පහසුකම් නිවසට සම්බන්ධ කරන ‛හබ් එක’ පාලනය කළ හැකියි. ශ්‍රව්‍ය ආකාරයෙන් ඇති පොත් කියවාදීම, කාලගුණය පරීක්ෂාකොට එහි ප්‍රතිපල ඇසෙන්නට සැලැස්වීම, එයට ඔබේ හඬින් උපදෙස් දීම මගින් අන්තර්ජාල මිලදීගැනීම් සිදුකිරිම ආදිය හැකියි. අනෙක ස්පීකරයක් හැටියට මෙහි ශබ්දයත් ඉතා උසස් ගුණත්වයකින් පවතිනවා. 

නිදාගන්නව නම් මෙන්න ඇඳක් 



අගුපිලකට වැටුනත් නින්ද යන අපට මොකට මේ වගේ ඇඳන් ද කියලා හිතෙන්නත් පුළුවන්. ඒත් මේක එසේ මෙසේ ඇඳක් නෙවෙයි. නිදාගත් විට ඔබගේ නින්දේ ස්වභාවය මෙන්ම ස්වසන රටාව, හෘද ස්පන්ධන වේගය හා රටාව ආදිය ද මෙයින් නිරීක්ෂණය කෙරෙනවා. මේ තොරතුරු ලබාදෙනවා පමක් නොවෙයි ඔබ වඩා සෞඛ්‍ය සම්පන්න නින්දක් ලබාගත යුත්තේ  කෙසේද කියා මෙයින් උපදෙස් ද ලබාදෙනවා. ඇඳේ මෙට්ටය ඔබට කැමති ආකාරයටකට සකස් කරගන්නටත් පුළුවන්. මිල ගැන සඳහන් කළොත් නම් ඇමරිකානු ඩොලර් 1099ක්, ඒ කියන්නේ රුපියල්, 155,000ක් පමණ වෙනවා.

කාර්යාලයේ ඉඳන් ගෙදර වැඩ කරමු 




සාමාන්‍යයෙන් වැඩ වැඩි වුණාම කාර්යාලයේ වැඩ ගෙදර අරන් යන එක තමයි කරන්නේ. දැන් කියන්න යන්නේ කාර්යාලයේ ඉඳන් ගෙදර වැඩ කරගන්න පුළුවන් විදිහක් ගැනයි. අයිහෝම් සමාගම මගින් හඳුන්වා දී ඇති ‛ස්මාර්ට්ප්ලග්’ නමින් හඳුන්වන උපකරණය තමයි තමයි සහාය වෙන්නේ. මෙය ද ඇපල් හෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය මගින් පාලනය කළ හැකියි. ඔබේ නිවසේ ඇති වයිෆයි උපරණය හා සම්බන්ධකිරීම මගින් ඔබට ඔබේ කාර්යාලයේ හෝ ඕනෑම තැනක සිට නිවසේ විවිධ උපකරණ මෙය ඔස්සේ පාලනය කරන්නට පුළුවන්. නමින්ම සඳහන් කරන අන්දමටම මෙය ප්ල්ග් එකක්. ඔබේ නිවසේ අත්‍යවශ්‍ය උපකරණ සඳහා මෙම ප්ලග් හරහා විදුලිය ලබාදෙන්නට පුළුවන්. එක් උපකරණයට එක් ප්ල්ග් එක බැගින් අවශ්‍ය වෙනවා. මේ ප්ලග් සියල්ල වයිෆයි හරහා ඔබේ දුරකතනයෙන් පාලනය කළ හැකියි. මෙයට සම්බන්ධ උපකරණවල තත්වය ඔබේ දුරකතනයෙන් ඕනෑම තැනක සිට පරීක්ෂා කරන්නට පුළුවන්. යම් දෙයක් නිවා දමා එන්නට අමතක වූයේ නම් දුරකතනය ඔස්සේ එය ක්‍රියා විරහිත කරන්නට පුළුවන්. ඒ වගේම ක්‍රියාත්මක කරන්නටත් පුළුවන්. මෙම එක් ප්ලග් එකක් ඇමරිකානු ඩොලර් 38ක්, ඒ කියන්නේ රුපියල්වලින් නම් 5400ක් පමණ වෙනවා.

ඇඟිළි සළකුණු දොර අගුල 



සාමාන්‍ය මට්ටමේ දොර අගුලක් රුපියල් 4,000 - 20,000 වැනි මුදලකට ගන්න පුළුවන්. මේ හැම අගුලක්ම සාම්ප්‍රදායික විදිහට යතුරකින් තමයි විවෘත කරන් වෙන්නේ. නමුත් මේ පවසන්නට යන්නේ ඇමරිකානු ඩොලර් 270ක්, ඒ කියන්නේ රුපියල් 38,700 වැනි මුදලකට ගත හැකි ඇඟිලි සලකුණ යතුරක් විදිහට භාවිත කරන්නට පුළුවන් දොර අගුළක් ගැනයි. චිත්‍රපටවල නම් මෙවැනි දොර අගුල් ඔබ ඇතැම් විට දැක තිබෙනවා වන්නටත් පුළුවන්. ඔබේ නිවසේ සාමාජිකයන් සඳහා ස්ථිර අවසරයත් ඔබේ නිවසේ සේවකකු සිටී නම් ඔහුට හෝ ඇයට තාවකාලික අවසරයත් මේ අගුළ ඔස්සේ ලබාදෙන්නට පුළුවන්.

ඔක්කොම කාඩ් එක තැනකට 


අද කාලේ බොහෝ දෙනෙක් ක්‍රෙඩිට්, ඩෙබිට් කාඩ්, ලෝයල්ටි කාඩ් ආදිය වැඩි වශයෙන් භාවිත කරනවා. ඇතැම් අයට කාඩ් කිහිපයක්ම තියෙනවා. මේවා පසුම්බියේ දාගෙන යන එකත් අමාරුයි. ඒ වගේම අනාරක්ෂිත බවකුත් තිබෙනවා. ‛ජියෝකෝඩ්’ නම් මේ ස්මාර්ට් දුරකතන ගැජට්ටුව එයට විසඳුමක් ලබාදෙනවා. ඔබේ සියලුම කාඩ්වල ඇති දත්ත මෙම ගැජට්ටුව හරහා ඩිජිටල්කරණයට ලක් කරන්න පුළුවන්. ඉන්පසු ඔබේ දුරකතනයේ ඇති ඇප්ලිකේෂන් එක සහ මෙම ගැජට්ටුව හරහා අවශ්‍ය වෙලාවට අවශ්‍ය කාඩ් පතෙහි දත්ත මේ සමඟ ඇති තාවකාලික කාඩ් පතට සම්ප්‍රේෂණය කළ හැකියි. ඔබේ ගනුදෙනුව අවසන් වූ පසුව එය නිකම්ම කාඩ් එකක් බවට පත් වෙනවා.  මේවා වෙන අයෙක් ඔබෙන් සොරාගත්තත් එහි ඇති දත්ත සොරාගන්නට හැකියාවක් නැහැ. මිල ඇමරිකානු ඩොලර් 159ක් (රු. 22,720ක් පමණ) වෙනවා. 

ඉන්න තැන ස්මාර්ට් විදිහට සොයා ගන්න 


මෙය හඳුන්වන්නේ ‛ටොඩ්’ නමින්. මෙහි සිම් කාඩ් පතක් තියෙනවා. ඔබේ දරුවා, සුරතලා හෝ, නොඑසේ නම් ඔබේ මෝටර් රථය වුවත්, සිටිය යුතු හෝ තිබිය යුතු සීමාවෙන් පිටතට ගිය විගස මෙයින් ඔබේ දුරකතනයට කෙටි පණිවිඩයක් ලැබෙනවා. ඒ වගේම ඔබට එසේ ඉවතට ගිය දරුවා, සුරතලා හෝ මෝටර් රථය සිටින හෝ තිබෙන ස්ථානයත් මෙයින් පෙන්වා දෙනවා. මෙය ඇමරිකානු ඩොලර් 32ක් (4573ක් පමණ) වෙනවා. 

පෙර ලිපිය