පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, March 6, 2017

මුලින්ම දැක්ක හොල්මන් මොනවාද? - World's Most First Ghost Stories


මිනිසුන් මහත් අභිරුචියකින් කතා බහ කරන්නට පෙලඹෙන මාතෘකා අතර ඉතා ජනප්‍රිය එකක් ලෙස හොල්මන් සහ අවතාර සඳහන් කළ හැකිය. මේ නිසාම හොල්මන් අවතාර පසුබිම් කර ගනිමින් බොහෝ නවකතා හා සිනමා පටි ද නිර්මාණය වී තිබේ. ඊට අමතරව විශේෂයෙන් රාත්‍රී කාලයේ දී කිහිප දෙනෙකු එක්වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටිද්දී මෙවැනි කතා නිරායාසයෙන්ම මතුවී එයි. අඳුර වැටෙද්දී සොහොන් පිටියක් අසලින් ගමන් කරද්දී වෙනත් කිසිම දෙයකටත් වඩා සිතට ගළා එන්නේ හොල්මන් අවතාර පිළිබඳ කතා ය. ඔබ මෙය කියවන්නේ රාත්‍රී කාලයේ නම් ඉක්මනින් ගොස් ජනේලය වසා දමා නැවත කියවීම ආරම්භ කරන්නට සිතන්නේ ද හොල්මන් අවතාර පිළිබඳ ඔබේ සිතේ පවතින සිතිවිලි නිසාම ය. මිනිස් ඉතිහාසයේ මුළින්ම හොල්මනක් දුටුවේ කවදාදැයි මෙවැනි විටෙක දී අපට සිතෙයි. එය හොල්මන් අවතාර පිළිබඳ කතා කරන්නට ඇති වෙනස් ආකාරයක් නිසා එවැනි දෙයක් කතා කිරීම සෑම අතින්ම හොඳ යැයි ද ඔබට සිතෙනු ඇත.

මුල්ම හොල්මන් වීම

මේ පිළිබඳ ලිඛිතව වාර්තා වූ සිදුවීම් දෙකක් පිළිබඳ අසන්නට ලැබේ. ඉන් එකක් වාර්තා කරන්නේ පළමු සියවසේ දී ප්ලූටාර්ච් විසිනි. අනෙක වාර්තා කරන්නේ ක්‍රි.ව. 50 දී ප්ලිනි විසිනි. මොවුන් දෙදෙනාම අතීතයේ විසූ සුප්‍රකට ලේඛකයන්ය. මොවුන් දෙදෙනා විස්තර කරන්නේ මිනීමැරුම් චෝදනා ලැබ දම්වැල්වලින් බැඳ දමා සිටි එකම පුද්ගලයකුගේ හොල්මන් ආත්මයක් පිළිබඳවය. ප්ලූටාර්ච් මේ පිළිබඳව කෙටි විස්තරයක් සඳහන් කරමින් පවසන්නේ එක්තරා ප්‍රදේශයක පැවැති නිවසකින් මතුවූ මෙම හොල්මන සිදුවීමක් නිසා අසල්වැසියන්ට ඉමහත් පීඩාවන් සිදුවුණු බවත් අවසානයේ අසල්වැසියන් පදිංචිය හැර ගිය බවත්ය. ප්ලින් මේ පිළබඳව දීර්ඝ විස්තරයක් සපයයි.

ප්ලින් පවසන පරිදි එක්තරා උගත් තරුණයෙක් මෙම හොල්මන් නිවසෙහි පදිංචි වෙයි. ඔහු ශක්ති සම්පන්න පුද්ගලයෙකි. දම්වැල්වලින් බැඳ දමා සිටි හොල්මන් ආත්මය පසුපස ගොස් එහි සැබෑ කතාව අනාවරණය කරගන්නට ද ඔහු සමත් වෙයි. හොල්මන සෑම රාත්‍රියකම පැමිණ දර්ශනය වන ස්ථානයේ පොලොව හාරා බැලීමෙන් පසු ඔහුට හමුවන්නේ දම්වැල්වලින් බැඳ දැමූ ඇටසැකිල්ලකි.

දුක්බර හොල්මන්

කැතරින් හොවාර්ඩ් බිසව

ඇතැම් හොල්මන් ආත්ම තමා ජීවත්ව සිටි කාලයේ මුහුණ දුන් දුක්බර සිදුවීම් පිළිබද කතා බහ කරනු අසන්නට ලැබෙන්නකි. මෙවැනි සිදුවීම් බොහෝ සිනමා නිර්මාණවල ද දක්නට ලැබේ. දහසය වැනි සියවසේ එංගලන්තයෙන් අසන්නට ලැබෙන  කැතරින් හොවාර්ඩ්ගේ කතාව ද එවැන්නකි.

කැතරින් යනු රූමත් එහෙත් නූගත් තරුණියකි. ඇය කිහිප වතාවක්ම සිය ගරුවරුන්ගේ හා එක් මහල්ලකුගේ අපචාරයට ලක් වූ තැනැත්තියක ද වූවාය. මෙසේ සිටියදී ඇය එංගලන්තයේ හෙන්රි රජුගේ ඇසට හසු වෙයි. රජුගේ අඩුම ආදරයක් දිනා ගත් බිසවක වූ ක්ලීව්ස් හි ඈන්ගේ පාද පරිචාරිකාව ලෙස කැතරින්ට මුළින්ම තනතුරක් හිමි වෙයි. ඈන්,  රජු පිළිබඳ ආදරයකින් පසුවන්නියක නොවූවාය. කෙසේ නමුත් මෙයට පෙර සිටි බිසවකට අනාචාරයේ හැසිරීමේ වරදකට චෝදනා කරමින් හිස ගසා දැමූ බැවින් එයට බිය වී රජුගේ කෝපය ඇවිස්සීමෙන් වැළකී සිටීමට ඇය උත්සාහ කළාය. කෙසේ හෝ කැතරින් සහ රජු අතර විවාහයක් සිදුවන අතර මෙම විවාහයේ ප්‍රතිඵලයක් ලෙස රජු ඇයගෙන් දරුවකු අපේක්ෂා කළේය. මේ අතරේ කැතරින් සහ රජුගේ ඉතා හිතවත් ඇමතිවරයකු වූ තෝමස් කල්පෙපර් අතර අනියම් සබඳතාවක් හට ගත්තේය. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ දෙදෙනාගේම හිස් ගසා දමා එම හිස් ප්‍රසිද්ධියේ ලන්ඩන් පාලම මත උල්වල ගසා තැබීමය.  මෙම සිදුවීම එතැනින් අවසන් වූයේ යැයි පෙනුණ ද එසේ වූයේ නැත.

ඇගේ මරණින් පසු ඇගේ අවතාරය රජුගේ අනුකම්පාව යදිමින් දුවගෙන පැමිණෙන ආකාරය දිගින් දිගටම දර්ශනය වන්නට පටන් ගෙන තිබේ.


විධානයක් නිසා හොල්මන් ඇතිවූ නිවස

ගිනි ගෙන දැවුණු ගොඩනැගිල්ලේ අවශේෂ කොටස්


1863 වර්ෂයේදී ඉදිකරන ලද ‛බෝර්ලි’ නම් එංගලන්ත ගම්මානය ද හොල්මන් අවතාරවලට අතිශය ප්‍රසිද්ධ ස්ථානයකි. මෙය ඉදිකොට තිබුණේ අඳුරු රහස් සඟවා ගත් පූජා ආශ්‍රමයක් පැවැති ස්ථානයකය. අතීතයෙන් ඇසෙන කතාවට අනුව මෙම ස්ථානයේ සිටි පූජකවරයකු සහ පූජකවරියක අතර ආදරයක් හටගෙන තිබේ. මෙතැනින් පළායාමට උත්සාහ කළ ද ඔවුන් හසු විය. පූජකවරයා එල්ළා මරාදමනු ලැබිණි. නමුත් පූජකවරියට ලැබුණේ එයට වඩා භයානක දඬුමවකි. ඇය නිරාහාරව දින ගණණක් තබා පණපිටින්ම බිත්තියකට හේත්තු කොට ගල් අල්ලා බිත්තියක බැඳ මිය යන්නට හරිනු ලැබිණි. එයින් පසුව ඇගේ හොල්මන දිගින් දිගටම දර්ශනය වන්නට විය.  ඇය බිත්ති අතරින් ඇවිදගෙන පැමිණෙන ආකාරය, ගෘහ භාණ්ඩ බිඳී යාම්, සෙලවීම් ආදිය වාර්තා විය. මෙම ස්ථානයේ පිහිටි නිවසේ සිටි පදිංචිකරුවන් ලයනල් ෆොවිස්ටර් නම් පියතුමකුගේ සහාය ඉල්ලා සිටියේ මේ රහස කුමක්දැයි තේරුම් බේරුම් කරගැනීමටය. කෙසේ නමුත් කිසිවක් සොයා ගැනීමට හැකි නොවූ අතර 1938 දී මෙම ගොඩනැගිල්ල ගින්නකින් විනාශ වී ගියේය.

ඡායාරූපවලට හසුවුණු හොල්මන

ගිනිගත් ගොඩනැගිල්ලේ කුඩා දැරියකු සිටිනු පෙනේ.

ඇසට හසු නොවන හොල්මන් බොහොමයක් ඡායාරූපවලට හසුවන අවස්ථා අපි කොතෙකුත් අසා ඇත්තෙමු. මෙය ද එවැන්නකි. එංගලන්තයේ නගරයක් වන ස්ට්‍රොප්ෂයර් හි නගර ශාලාව ගින්නකින් අලු වී ගියේය. එම ප්‍රදේශයේ එවැනි ඛේදවාචකයක් සිදූවූ ප්‍රථම අවස්ථාව එය නොවේ. වසර ගණනකට පෙර 1677 දී ද මෙම ප්‍රදේශයේ පැවැති දැවයෙන් කරන ලද නිවාස කිහිපයක් ද මෙසේ ගින්නෙන් දැවුණු අතර එය සිදුවී ඇත්තේ ජේන් ච්ර්ම් නම් තරුණියක අතින් අත් වැරදීමකින්  වහලයට ගිනි ඇවිලීම නිසාය. මෙම සිදුවීමෙන් පසු ඇගේ අවතාරය බොහෝ අවස්ථාවලදී මෙම ප්‍රදේශයේදී දර්ශනය වී තිබේ.


ගින්නෙන් දැවුණේ යැයි මුළින්ම සඳහන් කළ නගර ශාලාව ඉදිකරන ලද්දේ 1905 දීය. 1995 දී මෙම පැරණි ඓතිහාසික ගොඩනැගිල්ල ගින්නෙන් දැවී ගියේ බොහෝ දෙනෙකු බලා සිටියදීය. මෙම අවස්ථාවේදී අවට සිටි ටෝනි ඕ’රේලි නමැත්තා මෙහි ඡායාරූපයක් ගත්තේය. එය මුද්‍රණය කළ පසු ඔහු දුටුවේ ඇඟ කිලිපොළන දසුනකි. එහි තිබුණේ ගිනි ගන්නා ගොඩනැගිල්ලේ දොර අසල තරුණියක සිට ගෙන සිටින දසුනකි. 

Saturday, March 4, 2017

දුරකතන ඇමතුම් පහසුවෙන් පටිගත කරමු - How to record mobile phone calls


දැනට කාලෙකට කලින් තිබුණු බොහෝ ජංගම දුරකතනවල අපට ලැබෙන සහ අප ගන්නා ඇමතුම් පටිගතකිරීමේ හැකියාව තිබුණත් වර්තමානයේ වෙළෙඳ පලේ ඇති බොහෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනවල එම පහසුකම ලබා දී නැහැ. විශේෂයෙන් සැම්සුන් ජංගම දුරකතන ගැන සළකා බැලුවොත් මෙම පහසුකම ඇත්තේ කොරියානු මාදිලිවල පමණයි. එයට හේතුව විදිහට දැනගන්නට ලැබී තිබෙන්නේ ලෝකයේ ඇතැම් රටවල දුරකතන ඇමතුම් පටිගතකිරීම නීති විරෝධී නිසා ජාත්‍යන්තර දුරකතන මාදිලිවල එම පහසුකම අක්‍රියාකාරී කොට තිබීමයි. ඇන්ඩ්‍රොයිඩ් නොවන චීන දුරකතන මාදිලිවල නම් මෙම පහසුකම් තිබෙනවා. මේ පහසුකම නොමැති නිසා බොහෝ දෙනෙක් ගූගල් ප්ලේස්ටෝර් වෙතින් දුරකතන ඇමතුම් පටිගතතිකිරීමේ යෙදුම් ලබාගෙන ඒවා දුරකතනයට ස්ථාපනය කරගෙන සිටිනවා. නමුත් ඇතැම් දුරකතනවල ඒවා නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබේ දුරකතනයේ Dial Pad එකෙන්ම මෙම පහසුකම ලබාගන්නට පුළුවන් නම් ඒක සෑහෙන්න පහසුවක් වේවි.

සාමාන්‍යයෙන් සැම්සුන් ජාත්‍යන්තර දුරකතන මාදිලිවලින් ඇමතුමක් ලබාගන්නා විට දිස්වන්නේ පහත සඳහන් ආකාරයෙන්. එහි ඇමතුම් පටිගතකිරීමේ පහසුකමක් ලබා දී නැහැ.



කෙසේ නමුත් කොරියානු සැම්සුන් මාදිලිවල වෙනුවට ඇත්තේ යන තෝරාගැනීමයි. ජාත්‍යන්තර මාදිලියේ බොහෝ සැම්සුන් (දැනට මා මෙය අත්හදා බලා ඇත්තේ සැම්සුන් දුරකතන සඳහා පමණයි) දුරකතනවලට සුළු වෙනස්කමක් කිරීමෙන් මෙම පහසුකම ඩයල් පෑඩ් එකෙන්ම ලබාගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා.

මුළින්ම ඔබේ සැම්සුන් දුරකතනය රූට් (Root) කළ යුතුයි. රූට් කරන ආකාරය ගැන අන්තර්ජාලයේ ඕනෑ තරම් විස්තර තිබෙනවා. නමුත් ඔබේ පහසුව සඳහා මම ඒ වෙනුවෙන් සබැඳි කිහිපයක් සඳහන් කරන්නම්. (මෙය ක්ලික් කිරීමෙන් රූට් කරන ආකාරය ගැන ඔබට දැනගන්නට පුළුවන්) රූට් කිරීමෙන් පසු Native_Call_Record_1.0.apk කියන යෙදුම බාගන්න.


එය ගූගල් ප්ලේස්ටෝර් එකේ නැහැ. එය ස්ථාපනය කරගෙන ක්‍රියාත්මක කරන්න. එය ක්‍රියාත්මක කළ පසු මේ ආකාරයේ තිරයක් දිස් වෙනවා. 



මෙහි S5, N4, N3 යනුවෙන් සඳහන් වුවත් බොහෝ සැම්සුන් දුරකතනවලට මෙම ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන්. 

මෙහි ඇති Enable Manual Record යන්න තත්පර කිහිපයක් තද කරගෙන සිටින්න. එවිට Superuser ක්‍රියාත්මක වී Grant Permission කියා දිස්වෙනවා. එවිට ඔබ Permission ලබාදිය යුතුයි. මොහොතකට පසුව ජංගම දුරකතනය Restart වෙනවා. Restart වුණේ නැත්නම් App එකෙන් ඉවත් වෙලා Restart කරන්න. Restart වෙද්දී ඔබගේ Boot Menu එකද යම් වෙනස්කමකට ලක්ව අැති බව පෙනේවි. 


දුරකතනය Restart වූ පසු Dial Pad එකෙන් ඇමතුමක් ගන්න. එවිට Add Call වෙනුවට Record යන්න පවතින බව ඔබට දකින්නට පුළුවන්. දැන් ඔබට ලැබෙන ඕනෑම ඇමතුමක් හෝ ඔබ ගන්නා ඕනෑම ඇමතුමක් Dial Pad එකෙන්ම පටිගත කරන්නට පුළුවන්.  



මෙසේ පටිගත වූ ඇමතුම් පවතින්නේ Call කියන එක Folder එක තුළයි. 


Wednesday, February 15, 2017

ශෂිකලාගේ පැණි වරකයට හෙණ ගැසීම


‛කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ’ යනුවෙන් ලෝවැඩ සඟරාවේ කවියක් තිබේ. මෙය නිතර ඇසෙන්නක් වුව ද එයින් කියැවෙන දේ තේරුම් යන්නට නම් පව් කළවුන්ට පව් පල දෙන අවස්ථාවක්ම උදා වී එය සියලු දෙනාට සියැසින් දැක, දෙසවනින් අසාගන්නට අවස්ථාවක් ලැබිය යුතුය. අද තමිල්නාඩුවේ සිදුවී ඇත්තේ එයයි. එහි හිටපු මහ ඇමතිනිය වන ජයලලිතාගේ මරණයෙන් පසුව එම තනතුර සඳහා ඉමහත් අපේක්ෂා සහගතව සිටි, ඇගේ දේශපාලන දෙවැනියා හා සමීපතම මිතුරිය සේම  ඇගෙන් පසුව පක්ෂයේ නායකත්වයට ද පත් වූ ශෂිකලා නට්රාජන්ට එරෙහිව තමිල්නාඩු අධිකරණය දී ඇති නඩු තීන්දුව නිසාය. මියගියවුන්ට අපහාස කිරීම හොඳ මදි වුව ද ජයලලිතා ද ජීවත්ව සිටි කාලය පුරාම සිදු කළේ දේපළ සහ ධනය අයථා ලෙස පරිහරණය කිරීමය.  ගුරා එවැනි වරදක් කරන විට ගෝලයන් එය බිම පෙරළි පෙරළි කරනා බවට ඇති කියමන සනාථ කරමින් ශෂිකලා ද එම අඩි පාරේම ගමන් කළාය. තමාටත් වඩා දූෂිත අයුරින් තම ගෝලයා මහජන දේපළ අයථා ලෙස පරිහරණය කරන බව දුටු ජයලලිතා වරක් නොව කිහිප වරක්ම ශෂිකලාව සිය ඇසුරෙන් නෙරපා දමන්නට කටයුතු කළ ද එය එතරම් සාර්ථක නොවූ බව පෙනුණේ ඒ සෑම අවස්ථාවකදීම ඇයට සමාව දී යළි තම සෙවනට ගැනීම නිසාය. එයට දෙදෙනාටම හේතු තිබේ. එකක් නම් ජයලලිතා ශෂිකලාව ඇසුරු කළේ මිතුරියකට එහා ගිය සමීපත්වයක් නිසා යැයි පවසනු ලැබීමය. අනෙක් අතට ශෂිකලා නිරන්තරයෙන්ම ජයලලිතාගේ සෙවනේ සිටීමට උත්සාහ ගත්තේ ඒ වන විටත් තමාට එරෙහිව ඇති දේපළ අයථා පරිහරණය කිරීම් සම්බන්ධ චෝදනාවලින් ගැලවෙන්නට නම් දේශපාලන ප්‍රබලයකුගේ සහය ලැබිය යුතු නිසාමය. කෙසේ මුත් ජයලලිතාගේ මරණයෙන් පසුව දේශපාලන බලයට ඇති අධික ඕනෑකමත් චෝදනාවලින් මුවා වී සිටීමට ඇති ඕනෑකමත් නිසා ශෂිකලා තමිල්නාඩු මහඇමති ධුරයට තරග කරන්නට ද සියලු කටයුතු සූදානම් කොට සිටියාය. කෙසේ නමුත් අවසානයේ පැණි වරකයට හෙන ගැසුවේය.

ජයලලිතා, ශෂිකලා සහ ඇගේ ඥාතියකු වන වී. එන්. සුධාකරන් විසින්  මහජන දේපළ අයථා ලෙස පරිහරණය කළ බවට ඇදී ගිය නඩුවට වසර 21කි. ජයලලිතා ප්‍රථම වරට සිය තමිල්නාඩු මහ ඇමතිනී ධුරය දැරූ 1991 - 1996 යන කාලය අතර සිදු කළේ යැයි පැවසෙන ඉන්දියානු කෝටි 66.65 දේපළ අයථා පරිහරණයට එරෙහිව මෙම නඩුව ගොනු කොට තිබිණි. මෙහිදී හිටපු මහ ඇමතිනී ජයලලිතාට එරෙහිව ද නඩු විභාගය සිදු වුණු නමුත්, ඇය මිය ගොස් සිටි බැවින් ඇය සම්බන්ධව සිදුවීම මෙහිදී ඉස්මතු නොකළ බැව් පෙනේ. මෙම නඩු තීන්දුවට අනුව එක් අයකුට ඉන්දියානු කෝටි දහය බැගින් දඩ වශයෙන් ගෙවන්නට අධිකරණය නියම කොට තිබේ. පිනාකි චන්ද්‍ර ඝෝෂ් සහ අමතිවා රෝයි යන විනිසුරුවන් දෙපළ වෙන වෙනම දුන් මෙම නඩු තීන්දුව හේතුවෙන් ශෂිකලාට තව වසර 6 ක් ගත වන තුරු දේශපාලනය කරන්නට ද ඉඩක් නැත. තමිල්නාඩු වැසියන් ශෂිකලාට එරෙහිව මෙවැනි නඩු තීන්දුවක් අපේක්ෂාවෙන් සිටි බැව් පෙනෙන්ට තිබුණේ අධිකරණය විසින් දෙසැම්බර් 14 වැනිදා ලබා දුන් මෙම තීන්දුව ‛වැලන්ටයින් තිළිණයක්’ ලෙස අර්ථ ගන්වන්නට බහුතරයක් ඉදිරිපත්ව සිටීම නිසාය. කෙසේ නමුත් දේශපාලනඥයන්ගේ අපේක්ෂාවන්ගේ හැටියට මෙම වසර හය යනු එතරම් දිගු කාලයක් බලා සිටීමක් නොවේ. මෙම වසර හය අවසන් වෙද්දී ශෂිකලා තමිල්නාඩු වැසියන් අතර වීරවරියක් තත්වයට ඔසවා තබන්නට  බැරිකමක් ද නැත.

එරට අධිකරණය ලබා දී ඇති තීන්දුවට අනුව ශෂිකලාට වසර හතරක සිර දඬුවමක් නිසැක ලෙසම හිමි වනු ඇත. මෙතෙක් කල් තමිල්නාඩුවේ වැඩ බලන මහඇමති පදවිය දරන ලද ඕ. පනීර්සෙල්වම් එහි ස්ථිර මහ ඇමතිවරයා බවට පත්වීමට තිබූ බාධකය ශෂිකලා සිරගතවීමත් සමඟ ඉවත් වෙයි. කෙසේ නමුත් ලැබෙන ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ  බොහෝ විට ශෂිකලා මෙම තනතුර සඳහා තමාට පක්ෂපාතී අයෙක් නම් කිරීමට ඉඩ ඇති බවය. ශෂිකලා සිරගත වුව ද ඇයට තවමත් තමිල්නාඩු ප්‍රාන්තයේ බහුතර දේශපාලන බලයක් හිමි බව පෙනෙන්නට තිබේ. එබැවින් ඇය නම් කරන, ඇයට පක්ෂපාතී පුද්ගලයකුට ජයග්‍රහණය කිරීමේ අවස්ථාව පවතී. කෙසේ මුත් ඇය එවැනි නම් කිරීමක් නොකළ හොත් පනීර්සෙල්වම් නිසැක ලෙසම එහි මහ ඇමති වනු ඇත.

මෙම දේශපාලන අර්බුදයත් සමග ශෂිකලාට පක්ෂපාතී සියලු පක්ෂ කෙමෙන් අනෙක් පැත්ත, එනම් පනීර්සෙල්වම්ගේ පැත්තට හැරෙමින් පවතින බව ද පෙනෙන්නට තිබේ. මෙම නඩු තීන්දුව පනීර්සෙල්වම්ට පක්ෂපාතී පිරිස් අතර උත්සවශ්‍රීයෙන් සමරණුද දක්නට ලැබිණි.

නඩු තීන්දුවට හිස නවා තමා කැමැත්තෙන්ම පොලිසියට බාර වෙන්නැයි එරට අධිකරණය ශෂිකලාට දැනුම් දී තිබේ. ලෝක අපරාධකාරයන් සියලු දෙනාම පාහේ මෙවැනි අර්බුදයක දී පවසන දෙයම මෙම නඩු තීන්දුවත් සමග ශෂිකලා ද පැවසූවාය.


“අතීතයේ අම්මා (ජයලලිතා) ද මෙවැනි අර්බුදවලට මුහුණ දුන්නා. අද මම ඒවාට මුහුණ දෙනවා. අවසානයේ සත්‍යය ජය ගන්නවා නිසැකයි.” 

සම්බන්ධිත ලිපි

Saturday, February 11, 2017

අහිතකර බව ඔබ නොදන්නා නිවසේ ඇති රසායනික ද්‍රව්‍ය


නිවසේ එදනෙදා වැඩකටයතුවලදී භාවිත වන නොයෙක් රසායනික වර්ග තිබේ. මේ කිසිවක් අපට හිතකර ද එසේත් නැත්නම් අහිතකරදැයි අප කිසිවිටෙක සිතන්නේ නැත. එසේ නොසිතා භාවිත කිරීමෙන් අවසානයේ අපගේ සෞඛ්‍යයට හානි සිදුවෙයි. ඇතැම් විට යම් අසනීප තත්වයක් ඇතිවෙද්දී එයට හේතුව මෙම රසායනික ද්‍රව්‍ය යැයි අප නිකමට හෝ සිතන්නේ නැත. ඇතැම් ඒවා කිසිවිටෙක අහිතකර වේ යැයි අපට සිතනේනේ ද නැත. මේ නිසා නිවෙස්වල අප දැනුවත්ව හෝ නොදැනුවත්ව භාවිත වන විවිධ රසායනික ද්‍රව්‍ය සහ ඒවායෙන් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල පිළිබඳ ගැන දැන සිටීම ප්‍රයෝජනවත්ය.

නන්ස්ටික් භාජන

සෙරමික්වලින් සාදන ලද නන්ස්ටික්




‛නන්සිටික්’ හෙවත් නොඇලෙන භාජන භාවිත කරන්නට ගෘහනියෝ වැඩි උනන්දුවක් දක්වන්නේ එයින් විවිධ දෑ පිසගැනීම වඩාත් පහසු බැවිනි. කෙසේ නමුත් මේවා නොඇලෙන සේ සාදා ඇත්තේ කෙසේදැයි කිසිවකු කිසිවිටෙක සිතන්නේ නැත. මේවා නොඇලෙනසේ සාදා ඇත්තේ ඒවායෙහි ආලේප කොට ඇති ‛පොලිටෙට්‍රාෆ්ලූරෝඑතිලින්’ (Polytetrafluoroethylene) නම් රසායනික ද්‍රව්‍යය නිසාය. නන්සිටික් භාජනය රත්වෙද්දී එයින් වායුවක් නිකුත් වෙයි. මෙම වායුවට කාලයක් තිස්සේ නිරාවරණය වීමෙන් පිළිකා සහ වෙනත් සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැකිය. කෙසේ නමුත් සෙරමික් මතුපිටක් සහිත නන්සිටික් භාජන අහිතකර නොවේ යැයි පැවසේ.

මැසි මදුරුවන් පළවා හරින ද්‍රව්‍ය



සෑම නිවසකම මැස්සන්, මදුරුවන්, මැක්කන් ආදී කෘමි සතුන් පළවා හැරීම සහ විනාශ කිරීම සඳහා භාවිත කරන විවිධ රසායනික ද්‍රව්‍ය දක්නට ලැබේ. ඒවා නැති නිවෙසක් නැති තරම්ය. කෙසේ නමුත් මේවාට කාලයක් තිස්සේ නිරාවරණය වීම නිසා අපගේ ස්නායු පද්ධතිය හානි වීමේ අවදානමක් තිබේ.

කපුරු බෝල



ඇඳුම් අල්මාරි, පොත් කබඩ් ආදියට අපි පුරුද්දක් ලෙස කපුරු බෝල දමන්නෙමු. එයින් සුවඳක් සේම කාවන් වැනි කෘමි සතුන්ගෙන් සිදුවිය හැකි හානි ද වළක්වාගත හැකිය. කෙසේ නමුත් මේවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය කුමක්දැයි අප කිසිවිටෙක හෝ සොයා බලා නැත. මේවායේ අඩංගු වන්නේ නැප්තලින් නම් රසායනික ද්‍රව්‍යයයි. මේවාට කාලයක් තිස්සේ නිරාවරණය වීමෙන් අපගේ රතු රුධිරානු හානියට පත්විය හැකි බවත්, සතුන් තුළ පිළිකා ඇති විය හැති බවත් සොයාගෙන තිබේ. කෙසේ නමුත් මිනිසා තුළ මේවා නිසා පිළිකා ඇතිවිය හැකි යැයි මෙතෙක් සොයා ගෙන නැත.

එයාර් ෆ්‍රෙෂ්නර්



එයාර් ෆ්‍රෙෂ්නර් හෙවත් වායු නැවුම්කරණ ද්‍රව්‍ය බොහෝ නිවෙස්වල තිබේ. විශේෂයෙන් නාන කාමරවල මේවා වැඩි වශයෙන් භාවිත කෙරේ. මේවා නිතර භාවිත කිරීමෙන් ඒවායේ ඇති රසායනික ද්‍රව්‍ය අප සිරුරේ ක්‍රමක්‍රමයෙන් තැන්පත් වේ. මෙම රසායනික ද්‍රව්‍ය අපගේ හෝමෝනවලට යම් බලපෑමක් එල්ළ කරන බවත් දරුවන් තුළ ප්‍රජනන හැකියාව පිළිබඳ ගැටලු ඇතිකිරීමට හේතුවන බවත් තහවුරු වී තිබේ.

අවන් පිරිසිදුකාරක ද්‍රව්‍ය


අවන් එක හෙවත් පෝරණු පිරිසිදුකිරීම සඳහා ද නිවෙස්වල විවිධ රසායනික ද්‍රව්‍ය භාවිත කෙරේ. මේවායේ ඇති ක්ෂාරමය (alkalis) රසායනික ද්‍රව්‍යවලට කාලයක් තිස්සේ නිරාවරණය වීමෙන් අපගේ බඩවැල්වල සහ ස්වසන පද්ධතියේ සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකිය.

ගෘහභාණ්ඩ පොලිෂ් සහ පැල්ලම් ඉවත්කිරීමේ ද්‍රව්‍ය



මේවා ඉතා ඉක්මණින් ගිනිගන්නා සුළු වාගේම මේවායේ අඩංගු ෆිනොල් සහ නයිට්‍රොබෙන්සීන් වැනි රසායනික වර්ග අපගේ සමට පහසුවෙන් අවශෝෂණය වන අතර එය පිළිකා තත්වයන් ඇතිකිරීමට හේතු වන බැව් සොයාගෙන තිබේ.

වැසිකිලි පෝච්චි පිරිසිදුකාරක ද්‍රව්‍ය



මේ සඳහා වෙළෙඳපලේ විවිධ වෙළෙඳ නම්වලින් ඇති ද්‍රව්‍ය අපි භාවිතයට ගන්නෙමු. කෙසේ නමුත් මේවා නිසා අපගේ සම සහ ඇස්වලට හානිවන බව අප කිසිදා නිකමට හෝ සිතන්නේ නැත. වෙනත් පිරිසිදුකාරක සමග මිශ්‍රවීමෙන් මේවායේ ඇති අහිතකරබව තවත් වැඩි වේ.

බැක්ටීරියා නාශක සබන් සහ බැක්ටීරියා නාශක සබන් දියර  



වර්තමානයේ විවිධ ලෙඩරෝගවලින් ආරක්ෂාව සඳහා නිෂ්පාදනය කරන ලද සබන් පිළිබඳ නිතර අසන්නට ලැබේ. මේවා පොදු වශයෙන් බැක්ටීරියා නාශක සබන් ලෙස හැඳින්විය හැකිය. කෙසේ නමුත් මේවායේ අඩංගු ට්‍රයික්ලොසාන් සහ ට්‍රයික්ලෝකාර්බන් සැබැවින්ම හානිදායකය. මේවා නිතර භාවිතකිරීමෙන් ප්‍රතිජීවකවලට එරෙහි බැක්ටීරියා වර්ග සිරුරේ ඇති විය හැකි අතර ඒවා ජෛවමය වශයෙන් ජීර්ණක ද්‍රව්‍ය නොවන බැවින් එයින් බරපතල සෞඛ්‍ය ගැටලු ඇති විය හැකිය.

පොතු ගැළවෙන තීන්ත



කලකට පෙර නිවෙස්වල ආලේප කරන ලද රබර් තීන්ත ආලේපන කාලයක් යද්දී පොතු ගැළවී යන බැව් අපි දැක ඇත්තෙමු. මේවා පොතු ගැළවෙද්දී එම කොටස්වලින් නිකතු වන රසායනික කොටස්වල ඊයම් අඩංගුවන අතර ඒවා ආශ්වාස කිරීමෙන් ඊයම් විෂ වී විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකිය.

ගිනිගැනීම වළක්වන ද්‍රව්‍ය



මේවා බොහෝ විට දක්නට ලැබෙන්නේ පැරණි කවිච්චි, පුටු කට්ටල්, පැරණි සෝපා සහ පැරණි මෙට්ට ආදියෙහිය. මේවා ගිනිගැනීම වැළැක්වීම සඳහා රසායනික ද්‍රව්‍ය මේවාට එක්කොට කොට තිබේ. කෙසේ නමුත් මෙම රසායනික ද්‍රව්‍ය මේවාට එක්කිරීම නිසා ගිනිගැනීම වැළැක්වීමක් ඵලදායී ලෙස සිදු නොවන බව ද සොයාගෙන තිබේ. මේවාට නිතර නිරාවරණයවීමෙන් වදභාවය සහ මේවාට නිරාවරණයවන පුද්ගලයන්ගෙන් ඉපදෙන දරුවන්ගේ යම් යම් දෝෂ සහගත තත්වයන් ඇති විය හැකිය.

මේ අප නිවෙස්වල භාවිත කෙරෙන විවිධ රසායනික වර්ග කිහිපයකික් සිදුවන අහිතකර ප්‍රතිඵල වේ. මෙතැන සඳහන් නොකළ ද්‍රව්‍ය බොහෝ ගණනක් තිබිය හැකිය. මේ නිසා ඔබගේ පහසුවට විවිධ රසායනික වර්ග භාවිතකළත් ඉදිරියේදී ඒවා භාවිත කිරීමේදී පෙරට වඩා සැළකිලිමත් විය යුතු බැව් දැන් ඔබට අවබෝධවන්නට ඇත.




Saturday, February 4, 2017

මුල්ම නිදහස් දා - First Independence Day of Sri Lanka


‘දෙවියන් වහන්සේ යුෂ්මතුන් හට ආශීර්වාද කර යුෂ්මතුන්ගේ රටට මග පෙන්වන සේක්වා’ යනුවෙන් ලංකාව නිදහස් වීම සම්බන්ධයෙන් අදින් වසර 69 කට පෙර බ්‍රිතාන්‍ය මහ රජු විසින් ප්‍රකාශයක් එවා තිබිණි.

ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලය ඇතුළත නිදහස් රටක් බවට පත්කිරීමට බ්‍රිතාන්‍ය මහ රජුගේ ආණ්ඩුව තීරණය කළ බව ප්‍රකාශ කිරීමට මෙරට සිටි ආණ්ඩුකාරයා 1947 ජුනි මස 18 වැනිදා රාජ්‍ය සභාව රැස් කර ඇත. ලංකාවේ එවකට පැවැති රාජ්‍ය සභාවේ අවසාන රැස්වීම පවත්වන ලද්දේ 1947 ජූලි 1 වැනිදාය. ඒ වන විට රාජ්‍ය සභාවේ වයස අවුරුදු 13 ක් විය.

ප්‍රථම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් පත්වීම ඒ වසරේ අගෝස්තු මස 15 වැනිදා ආරම්භ වී සැප්තැම්බර් මස 20 වැනිදා නිම විය. ඡන්ද ප්‍රතිඵලය අනුව ඩී. එස්. සේනානායක මහතා ලංකාවේ ප්‍රථම අගමැතිවිය. පාර්ලිමේන්තුව නොවැම්බර් 25 වැනිදා රැස්විණි.

නිදහස් ලත් ලංකාවේ නව ආණුඩක්‍රමය වලංගු වූ දිනය 1948 පෙබරවාරි 4 වැනිදාය. එහෙත් ජාතික උත්සව මැද පාර්ලිමේන්තුව විවෘත කරන ලද්දේ ඊට දින 6 කට පු, එනම් පෙබරවාරි 10 වැනිදාය. මෙහි ආරම්භයේ සඳහන් කරන ලද බ්‍රිතාන්‍ය මහ රජුගේ පණිවිඩය කියවන ලද්දේ ද එදිනය. මෙම විවෘත කිරීම සිදු කරන ලද්දේ බ්‍රිතාන්‍ය මහ රජු වෙනුවෙන් මෙහි පැමිණි ඔහුගේ සොයුරු ග්ලොස්ටර් හි ආදිපාදවරයා විසිනි.

‘ලංකා නිදහස් පණත වලංගු වීම පෙරදැරි කොට ගෙන ලංකා පාර්ලිමේන්තුවේ පළමු පළමු වන සැසි වාරය මා වෙනුවෙන් විවෘත කරන ලෙස මම මාගේ සොහොයුරා වූ ග්ලොස්ටර් හි ආදිපාදවරයාට පැවරුවෙමි. මේ අනුස්මරණීය අවස්ථාවේදී මාගේ අවධානය යුෂ්මතුන් කෙරෙහි යොමුවී තිබේ. බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයට ජාතිකත්වයෙන් පිරිපුන් අලුත් සාමාජිකයකු මා විසින් පිළිගනු ලබන්නේ ඉතා සතුටිනි.’


‘මෙදින මාගේ සුභ ප්‍රාර්ථනා යුෂ්මතුන් වෙත පිරිනමමි. ලංකාව සදහටම පරිපූර්ණභාවය ද, අභිවෘද්ධිභාවය ද භුක්ති විඳිනු ලබතැයි මම ඉත සිතින් පතමි. දෙවියන් වහන්සේ යුෂ්මතුන් හට ආශීර්වාද කර යුෂ්මතුන්ගේ රටට මග පෙන්වන සේක්වා’ යන පාඨය බ්‍රිතාන්‍ය මහ රජු විසින් එවා තිබූ ප්‍රකාශයේ සඳහන්ව තිබිණි. එම ප්‍රකාශය කියවන ලද්දේ ග්ලොස්ටර් හි ආදිපාදවරයා විසිනි.

- පැරණි ලියවිල්ලකින් උපුටා ගැනුණකි -