පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, March 28, 2020

කොරෝනා සහ සොබා දහම - Corona (Covid-19) and the Nature

Image credit : https://blogs.timesofisrael.com/thank-you-corona/

වෛරස ආසාදනයන් පිළිබඳ සිනමාපට කොතෙකුත් නරඹා තිබුණ ද මගේ සිත්ගත් එක් නිර්මාණයක් වූයේ Will Smith රංගනයෙන් දායක වන I Am Legend චිත්‍රපටයයි. මෙය මම එක් වරක් නොව කිහිප වරක්ම නැරඹූයෙමි. කවදා හෝ දිනෙක ලෝකය සැබවින්ම මේ  හා සමාන ව්‍යසනයකට ගොදුරු වනු ඇතිදැයි මෙය නැරඹූ සෑම වාරයකදීම මට සිතිණි. එම චිත්‍රපටයේ මෙන් වෛරස් ආසාදනය නිසා මිනිසුන් විකෘති ස්වභාවයකට පත් නොවූව ද දැන් පැතිර යමින් පවතින කොරෝනා හෙවත් කොවිඞ්-19 වෛරස් ආසාදනය ද මෙයට දෙවැනි වන්නේ නැත. Contagion නරඹද්දී සිතුනේ ලොව පුරා මිලියන ගණනකට වැළඳෙන්නට තරම් දරුණු තත්වයකට පත්වන වෛරසයක් පිළිබඳව නම් චිත්‍රපටයක මිස සැබවින් අසන්නට දකින්නට නොලැබෙන බවය. මේ වන විට මිිලියන ගණනකට වැළඳී නැතත් ඉතාලිය, ස්පාඤ්ඤය, ඉරානය වැනි රටවල් ලක්ව ඇති ව්‍යසනකාරී තත්වය දකිද්දී මෙය කෙතරම් බියකරු දැයි සිතුණු වාර ගණන අනන්තය. මිලියන ගණනකට වැළඳුනහොත් සිදුවන විනාශය පිළිබඳ කෙසේවත් සිතා ගත නොහැකිය.

සැබවින්ම මේ වෛරසය කුමක් විය හැකිද? මිනිසාගේ වැරදි පුරුදු නිසා ඉබේම ඇති වූවක් ද නැතහොත් මිනිසා විසින් නිපදවන ලද ජීව විද්‍යාත්මක අවියක්ද? එය ජීව විද්‍යත්මක අවියක් බවට මත සමාජ මාධ්‍ය හරහා වේගයෙන් පැතිර ගියත් ලෝක මට්ටමින් තවමත් කිසිදු රටක් එය නිල වශයෙන් පිළිගන්නා බවක් ප්‍රකාශ කොට නැත. එමෙන්ම Dean Koontz විසින් ලියන ලද The Eyes of Darkness නම් නවකතාව කොරෝනා වෛරසය පිළිබඳ ලියන ලද අනාවැකියක් බවට මතයක් ද සමාජ මාධ්‍ය හරහා පැතිර යනු දක්නට ලැබේ. නමුත් විචාරකයන් පවසන්නේ එහි සැබවින්ම ඇත්තේ එවැන්නක් නොවන බවයි. (එක් විචාරයක් මෙතැනින් කියවන්න)

මිනිසුන් විසින් ලෝකය විනාශ කරන්නට පටන් ගෙන දැන් බොහේ කල්ය. ඔවුහු මුළු ස්වභාවික පරිසරයම විනාශ කර දමමින් සිටිති. මිනිසා සිතන්නේ තමා තරම් බලවතකු ලොව නොසිටින බවය. ඔවුහු මහා වනාන්තර විනාශ කර දැමූහ. මහා වනස්පතීන් හිතක් පපුවක් නැතිව මරා දැමූහ. ගංගා, ඇළ දොල පමණක් නොව මහ සයුර ද දූෂණය කළහ. මහා ගොඩනැගිලි තනමින් මිහි මව්ගේ හිස මත මහා බරක් පැටවූහ. තවත් බොහෝ නරුම දේවල් කරමින් ලෝකය විනාශ කළහ. විකෘති කළහ. සොබා දහම කිසිවක් කර කියා ගත නොහැකිව බලා සිටන්නේ යැයි මිනිසා සිතුවේය. හිටිවනම භූමිකම්පා සිදුවිය. කඳු නාය ගියහ. සුනාමි සැඩ පහරවල් ගම්බිම පිස දැමුවේය.  දරුණු සුළි සුළංවලින් මහත් විපත් සිදු විය. සොබා දහම ලෝකයේ  විවිධ තැන තනි තනිව ගෙන යම් ක්‍රියාවන් සිදුකරමින් මිනිසාට යමක් අඟවන්නට උත්සාහ කළේය. ඒ අන් කිසිවක් නොව තවදුරටත් තමාව විනාශ නොකරන ලෙසය. නමුත් මිනිසා නම් සත්ත්වයා පුදුමාකර ලෙසම මේවා දුටුවේ නැත. දුටුව ද නොදුටුවා සේ සිටියේය. 

සොබා දහම ‘ලොකු වැඩක්’ ගැන සිතුවේය. ඒ සිතිවිල්ලේ අවසානය වූයේ චීනයේ වුහාන් ප්‍රදේශයෙන් කිරීටයක් වැනි අලංකාර, නමුත් භයංකාර වෛරසයක් මතුවීමය. මෙය බැලූ බැල්මට හුදෙක් සෙම්ප්‍රතිශ්‍යා වෛරසයකැයි ලෝකයේ ඇතැම් රටවල් සිතුවත් එය එසේ නොවන බව තේරුම් ගන්නා විට අශ්වයා පැන ගොස් හමාරය. 

එසේ හෙයින් මෙය ඉබේ පහළ වූවක් වුව ද, වවුලන්ගෙන් මිනිසුන්ට බෝ වූවක් වුව ද, මිනිසා විසින් මිනිසා නසන්නට නිර්මාණය කළ ජීව විද්‍යාත්මක අවියක් වුව ද, එහි මුල් මොලකරුවා සොබා දහමය. සුළු සුළු ඉඟිවලින් මිනිසාට පණිවිඩයක් දෙන්නට කළ උත්සාහයන් මිනිසා තේරුම් නොගන්නා කල සොබා දහම තමා විසින් හෝ මිනිසා ලවා හෝ ඇති කළත් මේ ව්‍යසනය තුළින් තේරුම් ගත යුතු දෙයක් තිබේ. 

මිනිසා කෙතරම් උදම් ඇනුවද ඔහු මහා මොලකරුවකු නොවේ. තවමත් මහා මොලකරුවා වන්නේ සොබා දහමය. දෙවියන් පවා සොබා දහමට යටත් ය. සොබා දහම සුරකිමින්, එය සමග සහයෝගයෙන් ජීවත් වනවා හැර මිනිසාට අන් සරණක් නැත. 

Tuesday, March 17, 2020

කොරෝනා හෙවත් කොවිඩි-19 ගැන ඔබ දත යුතු දෑ - What you should know about Covid-19



මේ දිනවල අප රටේ ඇති බරපතලම සෞඛ්‍ය ගැටලුව බවට පත්ව ඇත්තේ කොරෝනා වෛරසය හෙවත් කොවිඞ්-19 රෝගී තත්වයයි. මා ජීවත්වන වෙන්නප්පුව අවට ප්‍රදේශයෙන් ද කොවිඩි-19 න් ආසාදනය වූයේ යැයි සැකසහිත පුද්ගලයන් හමු වීම මේ පිළිබඳව වැඩිදුර නිවැරදි තොරතුරු සොයා බලන්නට මට හේතුවක් සපයා දී තිබේ.  මේ පිළිබඳ නිවැරදි තොරතුරු සොයන්නන්ට උපකාරයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධාන වෙබ් අඩවියේ සඳහන් වූ තොරතුරු සමුදායක සරල සිංහල පරිවර්තනයක් ඉදිරිපත් කරන්නට මට සිතුණි. මෙහි බොහෝ තොරතුරු ඇති බැවින් ඉදිරි දිනවල ද මෙය යාවත්කාලීන කරන්නට අපේක්ෂා කරමි.

කොරෝනා ව්‍යාප්ති සිතියම

කොරෝනා වෛරස යනු කුමක්ද?
කොරෝනා වෛරස යනු මිනිස්නු සහ සතුන් තුළ රෝග බෝ කරන්නා වූ විශාල වෛරස් කාණ්ඩයකි. මිනිසුන් තුළ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා තත්වයක  සිට දරුණු මාරාන්තික ස්වසනාබාධ ඇති කරන්නා වූ කොරෝනා වෛසරස වර්ග කිහිපයක්ම මේ වන විට සොයා ගෙන තිබේ. ඒවා නම් මැදපෙරදිග ස්වසන සහලක්ෂණය (Middle East Respiratory Syndrome - MERS), ‘තීව්‍ර උග්‍ර ස්වසන සහලක්ෂණය (Severe Acute Respiratory Syndrome - SARS) සහ මෑතකදී සොයා ගත්  COVID-19 කොරෝනා රෝගය ඇති කරන්නා වූ කොරෝනා වෛරසයයි.

COVID-19 යනු කුමක්ද?
COVID-19 යනු  කොරෝනා වෛරසය නිසා ආසාදිත තත්වයට පත්වන්නා වූ මෑතකදීම සොයා ගන්නා ලද රෝගයයි. 2019 දෙසැම්බර් මාසයේ දී චීනයේ වුහාන් පළාතෙන් මෙය මතුවන තුරු එවැන්නක් පිළිබඳ කිසිවකු හෝ දැන සිටියේ නැත.

COVID-19 රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?
කොවිඞ් 19 රෝගයේ සාමාන්‍ය රෝග ලක්ෂණයන් වන්නේ උණ, වෙහෙස වූ ස්වභාවය, සහ වියළි කැස්සයි. ඇතැම් රෝගීන් තුළ වේදනා සහ කැක්කුම්, නාසයේ අවහිරතාවන්, සොටු දියර ගැලීම්, උගුර වනවීම් සහ අතීසාර තත්වයන් ද දක්නට ලැබිණි. මේ රෝග ලක්ෂණ සාමාන්‍ය තත්වයේ සිට කෙමෙන් කෙමෙන් වර්ධනය වන තත්වයක් පෙන්නුම් කෙරේ. ඇතැම් පුද්ගලයන් මේ වෛරසය නිසා ආසාදිත තත්වයට පත්වූව ද කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකෙරුණු අතර අපහසුතාවක් ද නොදැනුණු බැව් පැවසේ. මෙයින් ආසාදිත වූවන්ගෙන් 80%ක් පමණ කිසිදු විශේෂ ප්‍රතිකාරයකින් තොරව සුවපත් වූහ. මෙයින් ආසාදනය වූ සෑම 6 දෙනෙකුගෙන් 1 අයෙකුම දරුණු තත්වයන්ට මුහුණ පෑ අතර තියුණු ස්වසනාබාධවලට ලක් වූහ. වයස්ගත පුද්ගලයන්, අධික රුධිර පීඩනය, හෘද රෝග සහ දියවැඩියා වැනි රෝග තත්වයන්ගෙන් පෙළෙන්නන් තුළ මෙය දරුණු තත්වයක් දක්වා වර්ධණය විය. උණ, කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතාවන් ඇති වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු වේ.

කොවිඩි - 19 ව්‍යාප්ත වන්නේ කෙසේද?
මේ වෛරසය සහිත වෙනත් පුද්ගලයයකුගෙන් තවත් පුද්ගලයකුට මෙය බෝ විය හැකිය. ආසාදිත පුද්ගලයකු පිටකරන කිවිසමකදී හෝ ප්‍රශ්වාසයකදී ඔහුගේ නාසයෙන් හෝ මුඛයෙන් ජල අංශු මගින් එක් පුද්ගයකුගෙන් තවත් පුද්ගයකුට මෙය පැතිරී යා හැකිය. මේ ජල අංශු එකී පුද්ගලයා අවට ඇති වස්තූන් මත හෝ යම් මතුපිටක් මත තැන්පත් විය හැකිය. මේ වස්තූන් හෝ මතුපිට වෙනත් පුද්ගලයකු විසින් ස්පර්ශ කොට තමාගේ ඇස්, නාසය හෝ මුඛය ස්පර්ශ කිරීමෙන් එකී පුද්ගලයාට මෙය වැළඳෙයි. කොවිඞ්-19 වැළඳුණු පුද්ගලයකුගේ කැස්සක්, කිවිසුමක් හෝ ප්‍රශ්වාස වාතය ආශ්වාස කිරීමෙන් ද මෙය බෝ විය හැකිය. ආසාදිත පුද්ගලයකුගෙන් අඩි 3ක් (මීටර් 1ක්) දුරින් සිටීම වඩාත් වැදගත් වන්නේ මේ නිසාය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පැතිරී යා හැකි තවත් ආකාර පිළිබඳ පර්යේෂණ පවත්වමින් සිටී.

වාතය මගින් මෙය පැතිරී යා හැකිද?
දැනට සිදුකොට ඇති අධ්‍යයනයන් මගින් හෙළිවී ඇත්තේ මෙය වාතය මගින් නොව ආසාදිත පුද්ගලයකුගේ ප්‍රශ්වාස වාතයේ ඇති ජල අංශූ මගින් පැතිර යන බවයි.

රෝග ලක්ෂණ නොමැති පුද්ගයකුගෙන් වුව මෙය බෝ විය හැකිද?
මෙය ව්‍යාප්ත් වන ප්‍රධානතම ක්‍රමය වන්නේ කිවිසුමක්, කැස්සක් මගින් ආසාදිත පුද්ගයකුගෙන් පිටවන ප්‍රශ්වාස වාතයේ ඇති ජල අංශූ මගිනි. රෝග ලක්ෂණ නොමැති පුද්ගයකුගෙන් මෙය බෝ වන්නට ඇති ඉඩකඩ ඉතා-19  අවමය. කෙසේ නමුත් කොවිඩ-19 වැළඳුණු බොහෝ පුද්ගලයන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ සුළු රෝග ලක්ෂණ පමණි. මෙහි ආරම්භක රෝග ලක්ෂණ එසේය. එබැවින් රෝගී ස්වභාවයක් පෙන්නුම් නොකරන එහෙත් කොවිඞ්-19 සහිත් පුද්ගයකුගේ සුළු කැස්සකින් පිටවන ආශ්වාස වාතයෙන් පවා මෙය බෝ වන්නට ඉඩක් තිබේ. මෙය බෝ වන්නේ කුමන අවස්ථාවක සිට ද යන්න පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය පර්යේෂණ පවත්වමින් සිටී.

ආසාදිත පුද්ගයකුගේ මළ මුත්‍ර මගින් මෙය බා් විය හැකිද?
කොවිඞ්-19 සහිත පුද්ගලයකුගේ මළ මුත්‍ර මගින් මෙය තවත් අයෙකුට බෝ වන්නට ඇති ඉඩ ඉතා අවමය. මෙතෙක් කරන ලද විමර්ශණවලදී හෙළිවී ඇත්තේ ඇතැම් අවස්ථාවලදී පමණක් මළ මුත්‍රවල මේ වෛරසය තිබුණු බවයි. කෙසේ නමුත් මෙය ව්‍යාපත් වීමේ ප්‍රධානම ආකාරය එය නොවේ. කෙසේ නමුත් එවැනි අවදානමක් යම් පමණකට ඇති බැවින් වැසිකිළි යැමෙන් පසුව සහ කෑමට පෙර හොඳින් දෑත් සෝදා ගැනීම ඉතාමත් වැදගත්ය.

පිළිපැදිය යුතු ආරක්ෂක ක්‍රියා මාර්ග
මෙය ව්‍යාප්ත වන ආකාර පිළිබඳ ප්‍රවෘත්ති පිළිබඳ නිරතුරු අවධානයෙන් සිටින්න. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියෙන් සහ ප්‍රදේශීය මහජන සෞඛ්‍ය නිලධාරීන්ගෙන් මේ පිළිබඳ තොරතුරු දැනගත හැකිය.  මේ වන විට ලෝකයේ රටවල් ගණනාවකම කොවිඩ-19 රෝගය ව්‍යාප්ත වන්නට පටන් ගෙන තිබේ. චීනයේ සහ ඇතැම් රටවල බලධාරීන් මෙය ව්‍යාප්ත වීමේ වේගය අඩාල කොට ඇත. කෙසේ නමුත් මෙහි ව්‍යාප්තිය පිළිබඳ පුරෝකථන කිරීම දුෂ්කර බැවින් නිරතුරු අවධානයෙන් සිටීම වැදගත්ය.

මේ සරල උපදෙස් පිළිපැදීමෙන් ඔබට කොවිඞ්-19 ආසාදානය විමෙන් හෝ ව්‍යාප්ත කිරිමෙන් වැළකී සිටිය හැකිය.

 මද්‍යසාර සහිත දියරයකින් හෝ සබන් සමග ජලය දමා හෝ නිරතුරුව ඔබේ දෑත් හොඳින් සෝදන්න. එසේ කරන්න්ට හේතුව සබන් සමග ජලයෙන් හෝ මද්‍යසාර සහිත දියරයකින් සේදීමෙන් ඔබේ දෑත්වල රැඳී ඇති වෛරස විනාශ වී යන බැවිනි.
කැස්ස සහිත හෝ කිවිසුම් පිටකරන පුද්ගලයකුගෙන් අඩුම තරමේ මීටරයක් (අඩි 3) වත් ඈතින් සිටින්න.
දෑස්, නාසය සහ මුඛ්‍ය ස්පර්ශ කිරීමෙන් වැළකෙන්න. එසේ කළ යුත්තේ ඇයි? යම් මතුපිටක් ස්පර්ශ කිරීමෙන් එහි ඇති වෛරසය දෑත්වල තැවරිය හැකිය. එසේ තැවරුණු පසු ඔබ දෑස්, නාසය හෝ මුඛය ස්පර්ශ කිරීමෙන් එකී වෛරසය පහසුවෙන්ම සිරුරට ඇතුළු වේ. 
ඔබ අවට සිටින පුද්ගලයන් සෞඛ්‍ය සම්පන්න ස්වසන පුරුදු අනුගමනය කරන්නේ දැයි සැලකිලිමත් වන්න. එනම් කැස්සකදී හෝ කිවිසුමකදී වැලමිටෙහි යට පැත්තෙන් හෝ  ටිෂූ එකකින් මුව ආවරණය කර ගන්නට උනන්දු වනවා ද යන්නය. අනෙක මේ ටිෂූ වරක් භාවිත කිරීමෙන් පසු ඉවත දැමිය යුතුය. එයට හේතුව වන්නේ ජල අංශු මගින් මේ වෛරසය ව්‍යාප්ත වන නිසාය. යහපත් ස්වසන සෞඛ්‍ය පුරුදු ඇති කර ගැනීමෙන් ඔබ තමා අවට සිටින්නන් කොවිඞ්-19 රෝගයෙන් ආරක්ෂා කරන්නට සමාජ මෙහෙවරකට දායක වේ. 
අසනීප ගතියක් දැනෙන්නේ නම් නිවසට වී සිටින්න. ඔබට උණ, කැස්ස සහ හුස්ම ගැනීමෙන් අපහසුතාවක් ඇත්නම් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන්න. ප්‍රදේශීය සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන උපදෙස් අනුගමනය කරන්න. එසේ කළ යුත්තේ මේ නිසාය. මේ රෝග තත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු ඇත්තේ ජාතික සහ ප්‍රදේශීය බලධාරීන් සතුවය. ඔවුන් ඇමතීමෙන් ඔබට වඩාත් ඉක්මන් ප්‍රතිකාරය සඳහා යොමු විය හැකිය. මෙය ඔබේ ආරක්ෂාවට මෙන්ම අන් අයට එය බෝ වීම වළක්වා ගැනීමට ගත හැකි නිවැරදි පියවරක් වන්නේය.

මේ රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වන ප්‍රදේශ පිළිබඳ නිරතුරු අවධානයෙන් සිටින්න. විශේෂයෙන් ඔබ වයස්ගත පුද්ගලයෙක් නම්, දියවැඩියාව, හෘද හෝ පෙනහලු රෝගවලින් පෙළෙන්නක් නම් ගමන් බිමන් යාමෙන් වැළකී සිටින්න.

කොවිඩි-19 වෛසරය ව්‍යාප්ත වී ඇති ප්‍රදේශයක පසුගිය දින 14 තුළ ජීවත්වන පුද්ගලයකු හෝ එවැනි ප්‍රදේශයකට ගොස් පැමිණි හෝ පුද්ගලයකු විසින් අනුගමනය කළ යුතු ආරක්ෂක උපදෙස්.

ඔබට යම් කිසි සුළු අසනීප තත්වයක්, එනම්, හිසරදය, ලා උණ (සෙන්ටිග්‍රේඞ් අංශක 37.3 හෝ එයට වැඩි) සහ සොටු දියර ගලන තත්වයක් වැනි සුළු රෝග ලක්ෂණ හෝ පෙන්නුම් කරන්නේ නම්  නැවත සුව අතටහැරෙන තුරු නිවසටම වී ස්වයං නිරෝධායනයකට ලක් වීම වඩත් සුදුසු ය. නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන එන්නට නිවසින් බැහැරට යා යුතුම නම් අන් අයට මෙය ආසාදනය වීම වැළැක්වීම සඳහා මුඛ ආවරණයක් පළඳින්න. 
ඔබට උණ, කැස්ස සහ හිසුම ගැනීමේ අපහසුතාවක් පැන නැගුනේ නම් වහාම වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර සඳහා යොමුවන්න.

ඔබට කොවිඞ්-19 වැළඳීමට කෙතරම් ඉඩක් තිබේද?
එම අවදානම රැඳී ඇත්තේ ඔබ සිටිනා ස්ථානය අනුවය. විශේෂයෙන් ඔබ සිටින ප්‍රදේශය කොවිඩි-19 ව්‍යාප්ත වන ප්‍රදේශයක ද යන්න මතය.

බොහෝ ප්‍රදේශවල සිටින බොහෝ පුද්ගලයන්ට කොවිඩ්-19 වැළඳීමේ අවදානම තවමත් ඇත්තේ පහළ මට්ටමකය. කෙසේ වෙතත් ලොව වටා බොහෝ නගරවල මේ වන විට වෛරසය පැතිර යමින් පවතී. එවැනි ප්‍රදේශවල ජීවත් වීම හෝ සංචාරය කිරීම කොවිඞ්-19 ආසාදනය වීමට හේතුවක් විය හැකිය. මේ වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් ලබා දී ඇති උපදෙස් පිළිපදින්න. ගමන් බිමන් යාම හැකි තාක් අඩු කරන්න.  විශාල පිරිසක් ලෙස එක් ස්ථානයක රැස් වීමෙන් වැළකෙන්න. මෙය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට සහයෝගය ලබා දීමෙන් මෙය ආසාදනය වීමේ අවදානම ද අවම කර ගත හැකිය.


Friday, March 13, 2020

දිගින් දිගටම අභාග්‍ය සම්පන්න වන භාග්‍යමත් මාසය

Image credit: https://www.parenting.lk/wp-content/uploads/2019/04/Avurudu-696x405.jpg


අප්‍රේල් මාසයට සිංහලෙන් ‘බක් මාසය‘ කියලා කියනවා. ‘බක්‘ කියන එකේ තේරුම තමයි භාග්‍යමත් කියන එක. ඒ කියන්නේ වාසනාවන්ත මාසය කියන එක. අස්වනු නෙලාගෙන අටුකොටු පුරවගෙන සූර්ය මංගල්‍යය සමරන්න ආදි පැරැන්නෝ හුරුපුරුදු වෙලා හිටියේ මේ මාසයේ. ඉතින් ඒ මාසය ඇත්තටම භාග්‍යමත් මාසයක් තමයි. කොහොම වුනත් දැන් වසර කිහිපයක ඉඳන් මේ භාග්‍යමත් මාසය අභාග්‍යමත් සිදුවීම්වලින් දිගින් දිගටම පිරෙන්න පටන් අරන් තියෙනවා. ඒ ගැනයි මේ කියන්න යන්නේ.

2017 අප්‍රේල් මාසය

Image credit : http://www.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/04/21/kunu-1_21042017_ESK_CMY.jpg?itok=gSwIoFQs


2017 අප්‍රේල් මාසයේ තමයි මීතොටමුල්ල කුණු කන්ද නාය ගියේ. ඒ අප්‍රේල් 14 වැනිදා. හරියටම සිංහල අවුරුද්ද දවසේ. සිංහල අවුරුද්ද සමරමින් සිටි පිරිසක් තමයි මේ අභාග්‍යමත් ඛේදවාචකයට ලක් වුණේ. එයින් 32ක් පමණ මිය ගියා.

2018 අප්‍රේල් මාසය

Image Credit : https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjf-S9T_OBDj81WpwDj5VpBh3M0781npYAC9Lcq9p1Lh6MwPtWHaiz4tj418sTQ8KjkaQeVgo0SG-HR7_i0bqbcLFZaIRYxD2mLkLcGlQsF0ezEsN5evHvNsJk5bGRtkwermvkvjta5s5e5/s400/Wesak+kooduwa.jpg


2018 අවුරුද්දේ මිනිස් ජීවිත විනාශ වෙන ආකාරයේ ඛේදවාචකයක් නොවුනත් ඒ මාසය බෞද්ධයන්ට නම් අභාග්‍යමත් වුණා. සාමාන්‍යයෙන් බුදුන් වහන්සේගේ තෙමඟුල සමරන්නේ මැයි, එසේත් නැත්නම් වෙසක් මාසයේ. කොහොම වුනත් ප්‍රායෝගික නොවන ජ්‍යොතීර්වේදීන් සහ මුග්ධ පාලකයන් නිසා ඒ වසරේ තෙමඟුල සැමරිය යුතු යැයි රජය නිවේදනය කළේ අප්‍රේල් මාසයේ. කෙසේ වෙතත් ජාත්‍යන්තර වෙසක් දිනය පවා යෙදී තිබුණේ මැයි මාසයේ. මැයි මාසයේ ද සඳක් පායන නිසා ඒ මාසයේ තෙමඟුල සමරන්නට ඕනෑ තරම් ඉඩක් තිබිය දී එය අප්‍රේල් මාසයටම දැමීමට පාලකයන් තීරණය කළ නිසා එය අභාග්‍යමත් මාසයක් බවට පත් වුණා.

2019 අප්‍රේල් මාසය

Image Credit : https://cdn.vox-cdn.com/thumbor/RRbXkPoUd_3bfZMvdyUIQyBJl4Q=/0x0:3000x2000/1320x0/filters:focal(0x0:3000x2000):format(webp):no_upscale()/cdn.vox-cdn.com/uploads/chorus_asset/file/16182203/sri_lanka_002.jpg


මිනිස් ජීවිත 25ක් අහිමි කරමින් ද තවත් 400 ගණනකට තුවාල සිදු කරමින් ද ඉස්ලාම් අන්තවාදීන් විසින් කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළේ 2019 අප්‍රේල් මාසයේ දි යි. නැවත වරක් භාග්‍යමත් මාසය අභාග්‍යමත් වුනේ ඒ ආකාරයටයි.

2020 අප්‍රේල් මාසය

Image Credit : https://af62359ed6764b37dd8d-a09ab6654f67c1c7801ec2e0698b9db1.ssl.cf2.rackcdn.com/images/Coronavirus_ChBAkDp.jpg


2020 අප්‍රේල් මාසය තවම එළැඹී නැතත්, මේ වන විටම එය අභාග්‍යමත් තත්වයට පත්වෙමින් පවතින බවට ලකුණු පහළ වී තිබෙනවා. ඒ කොරෝනා වෛරසය නිසයි. මේ වන අපේ රටේ මේ වෛරසය ටිකෙන් ටික හිස ඔසවන්නට පටන් අරන් තිබෙනවා. වැරදි මත ප්‍රචාරය වීම නිසා වෙළෙඳ සල්වල බඩු භාණ්ඩ හිඟ වෙමින් පවතිනවා. මෙය බොහෝ විට බක් මාසය අභාග්‍යමත් වීමට හේතුවක් විය හැකියි.
අපේ පැතුම එසේ නොවේවා කියායි.


Wednesday, March 11, 2020

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වන්නට නම් - To Protect from Corona (Covid 19) Virus

Image Credit: https://en.wikipedia.org/wiki/Coronavirus#/media/File:2019-nCoV-CDC-23312_without_background.png


කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වන්නට එය එය විනාශ කර දමන්නට යුනිසෙෆ් සංවිධානය මගින් ලබා දී ඇති මේ උපදෙස් පිළිපදින්න


  • කොරෝනා වයිරසය රෙදිපිළි මත තැන්පත් වුවහොත් එයට එම මතුපිටෙහි ජීවත් විය හැක්කේ පැය නවයක (9) කාලයක් පමණි. එබැවින් කළ යුත්තේ රෙදිපිළි සෝදා දැමීම හෝ පැය දෙකක් තද අව්වේ වියළා ගැනීමයි. වයිරසය විනාශ කිරීම සඳහා මේ පියවර ප්‍රමාණවත් ය.


  • කොරෝනා වයිරසය දෑත් මත මිනිත්තු දහයක් පමණ ජීවත් වේ. මද්‍යසාර සහිත ජීවාණුහරණ දියරයකින් දෑත් සේදීමෙන් මෙය පහසුවෙන්ම විනාශ කර දැමිය හැකිය.


  • සෙන්ටිග්‍රේඩ් අංශක 26 - 27 අතර උෂ්ණත්වයකට කොරෝනා වයිරසය නිරාවරණය වුවහොත් එය පහසුවෙන් විනාශයට පත් වේ. අධික උෂ්ණත්වය සහිත කලාපවල මේ වෛරසය නොපවතින්නේ ඒ නිසාය. උණු ජලය පානය කිරීම සහ සූර්යාලෝකයට නිරාවරණය වීම මගින් කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිදී සිටිය හැකිය. එමෙන්ම අයිස් ක්‍රීම් සහ අධික සීතල සහිත ආහාර පානවලින් වැලකී සිටීම ඉතා වැදගත්ය.


  • උණුසුම් සහ ලවණ සහිත ජලයෙන් උගුර සේදීම මගින් සෙම් ගෙඩි ආසාදන වළක්වා ගත හැකි වන අතර යම් විෂබීජ පෙනහළු කරා ඇතුළුවීම ද වළක්වා ගත හැකිය.


  • කොරෝනා වයිරස (කොවිඩ් 19) සෛලයේ විෂ්කම්භය මයික්‍රෝ 400 - 500 අතර වේ. එය අනෙක් වෛරස සෛලවල විෂ්ම්කම්භයට වඩා විශාලය. එබැවින් මුහුණු ආවරණයක් පැලඳීම මගින් මෙය සිරුරට ඇතුළු වීම පහසුවෙන් වළක්වා ගත හැකිය.


  • කොරෝනා වයිරසය බරින් වැඩි නිසා වාතයේ තැන්පත් වීමක් සිදු නොවේ. එය තැන්පත් යම් මතුපිටකය. එබැවින් මෙය වාතයෙන් පැතිර යන්නේ යැයි බියක් ඇති කර ගත යුතු නැත.


  • කොරෝනා වයිරසය ලෝහ මතුපිටක් මත තැන්පත් වුවහොත් එයට පැය 12ක පමණ කාලයක් ජීවත් විය හැකිය. දොර අගුලු, බස් රථවල හැන්ඩ්ල් වැනි දෑ ඇල්ලීමෙන් පසු සබන් ගා ජලයෙන්  දෑත් සේදීම මෙයින් සිදුවන ආසාදනය වළක්වාගන්නට ප්‍රමාණවත්ය.




Wednesday, February 19, 2020

පරිගණක වෛරස් හමුවේ ඇපල් පද්ධතිය වින්ඩෝස්වලට පරදින ලකුණු!

Image credit: https://www.techradar.com/news/macos-catalina-vs-windows-10-may-2019-update-which-is-best


ඇපල් පරිගණකවලට අනිෂ්ට මෘදුකාංග හෙවත් මැල්වෙයාර්වලින් (malware) හානියක් සිදුනොවන බව කාලයක් තිස්සේ අප දැන සිටි කාරණයක්. මැල්වෙයාර්වලින් වන තරමක් හානි සිදු වුණේ වින්ඩෝස් පරිගණකවලටයි. කෙසේ නමුත් ඉතාමත් මෑතකදී සිදු කරන ලද පර්යේෂණයකින් හෙළි වුණේ මැල්වෙයාර්වලට එරෙහිව ක්‍රියාත්මක වන්නට ඇපල් පරිගණකවලට තිබූ හැකියාව කෙමෙන් අඩු වී යන බවයි. තවත් ආකාරයකින් පැවසුවොත් වින්ඩෝස් පරිගණකවල මැල්වෙයාර් හඳුනාගැනීමේ හැකියාව සහ එයට එරෙහිව සටන් වැදීමට ඇති හැකියාව ඇපල් පරිගණකවලට වඩා කීප ගුණයකින් වර්ධනය වී ඇති බවයි. මේ නිසා ඇපල්වලට වඩා වින්ඩෝස් පරිගණක භාවිතය වඩාත් ආරක්ෂාකාරී බවට යම් මතයක් දැන් ගොඩ නැගෙමින් පවතිනවා.

පරිගණක වෙළඳපළෙන් සෑහෙන කොටසක් ඇපල් සමාගම විසින් අත්පත් කරගෙන සිටින නිසා මැල්වෙයාර් නිර්මාණය කරන්නන් ඇපල් පද්ධතියට ඇතුළු වන්නේ කෙසේදැයි උත්සාහ කරන්නට පටන් ගත්තා.
මේ මැල්වෙයාර් සාම්ප්‍රදායිකව දැක ඇති ඒවා තරම් භයානක නොවුනත් ඒවා ඇපල් පරිශීලකයන්ට වදයක් වන්නට පටන් අරන් තිබෙන බව Malwarebytes Labs ආයතනය සිය වාර්තාවක මෑතකදී සඳහන් කොට තිබුණා. 2019 වසරේ දී ඇපල් පද්ධතියට එරෙහිව මැල්වෙයාර් ක්‍රියාත්මක වූ ආකාරය 2:1 යැයි ඔවුන් පවසනවා. 2019 වසරේ දී ඇපල් පද්ධතියට එරෙහිව මැල්වෙයාර්වල තර්ජනය 400% කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය වින්ඩෝස් පරිගණක කෙරෙහි මැල්වෙයාර්වල ඇති තර්ජනය මෙන් දෙගුණයක් බවයි ඔවුන් පවසන්නේ. ඇපල් පරිගණක තුළ ස්ථාපිත කොට ඇති ආරක්ෂණ පද්ධතිය මගින් මැල්වෙයාර් සහ ඇඩ්වෙයාර් (කරදරකාරී ලෙස වෙළෙඳ දැන්වීම් දර්ශනය වීම) බිඳ දැමීමක් සිදුවන්නේ අඩු මට්ටමකින් නිසා මේවා නිර්මාණය කරන්නන් හට ඇපල් පද්ධතියට ඇතුළු වීම පහසු වී තිබෙනවා.

ඇපල් පර්ගණක තුළට මැල්වෙයාර් සහ ඇඩ්වෙයාර් ඇතුළු වන්නේ පද්ධතිය උපරිම තත්වයට පත්කරන්නට උදව්වන්නන් (system optimizers) සහ අනවශ්‍ය දෑ ඉවත් කොට පද්ධතිය පිරිසුදු කරන්නන් (junk-cleaners) ගේ ස්වරූපයෙන්. පසුගිය වසරේ දී පමණක් ඇපල් පරිගණක වෙත කඩා වැදුණු මැල්වෙයාර් ප්‍රමාණය මිලියන 25ක් පමණ බව පැවසෙනවා. මෙයින් ප්‍රමුඛතමය වූ තිබුණේ Adware.NewTab. 2019 වසරේ දී එයට ලක් වූ ඇපල් පරිගණක සංඛ්‍යාව මිලියන 30 ක්.

වින්ඩෝස් පරිගණක සඳහා විශාල වශයෙන් තර්ජනයක් වූ මැල්වෙයාර් එක වූයේ Adware.MindSpark. කෙසේ නමුත් එයට ලක් වූ වින්ඩෝස් පරිගණක සංඛ්‍යාව වූයේ මිලියන 2ක් පමණයි. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණය වන්නේ මැල්වෙයාර් හසුකරගැනීමට වින්ඩෝස් පද්ධතියට ඇති හැකියාවන් දිනෙන් දින වර්ධනය වීමයි.

කෙසේ නමුත් වින්ඩෝස් පරිගණකවලට විශේෂිත පරිගණක නාශක වැඩසටහනක උදව්වක් නැතිව ස්වාධීනව ක්‍රියාත්මක වන්නට තවමත් 100% ක හැකියාවක් නැති බව ද සඳහන් කළ යුතුයි.



Tuesday, February 11, 2020

වැඩියෙන් මිරිස් කා වැඩියෙන් ජීවත් වෙන්න - Eating Chili Peppers Help You Live Longer

source - https://www.mancrates.com/blog/hot-sauce-contest-prep/


මිරිස් සහිත ආහාර පරිභෝජනයට ගැනීම මේ වන විට ලොව පුරා විලාසිතාවක් බවට පත්ව තිබේ.  මෑතකදී කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ පුරුද්දක් ලෙස මිරිස් කෑමට ගන්නා පුද්ගලයන්ගේ මර්ත්‍යතා අවදානම හෙවත් මරණයට පත් වීමේ අවදානම මිරිස් කෑමට නොගන්නා පුද්ගලයන්ට වඩා අඩු බවය.

මිරිස් ආහාරයට ගැනීම නිසා ලැබෙන සෞඛ්‍යමය වාසි සහගත තත්වයන් පිළිබඳ ඉතිහාසය මුළුල්ලේම සාධක ඕනෑ තරම් ලැබී තිබේ. මේ පිළිබඳ මෑතකදීම පර්යේෂණයක් සිදු කොට ඇත්තේ ඉතාලි ජාතික මහාචාර්යවරියක වන ලිසියා ලැකොවියෙලෝ ය. මිරිස් පිළිබඳ මෙතෙක් පර්යේෂණ පවත්වා ඇති සියලු දෙනාගේම අවධානය යොමුව තිබුණේ මිරිස්වලට මෙම සැර ගුණය ලබා දෙන්නා වූ රසායනය වන කැප්සයිසින්කෙරෙහි ය. මෙතෙක් සිදුකරන ලද පර්යේෂණවලින් හෙළිවී ඇත්තේ කැප්සයිසින් නිසා හෘද ක්‍රියාකාරීත්වය සහ පරිවෘත්තීය ක්‍රියාවන් මනා ලෙස සිදුවන්නට ඉමහත් පිටිවහලක් ලැබෙන බවය. එමෙන්ම ස්නායු රෝග, ආතරයිටිස්, බඩවැල්වල රෝග සහ ඇතැම් අවස්ථාවලදී පිළිකාවලට පවා එරෙහිව සටන් කරන්නට හැකියාව මිරිස් කෑමට ගැනීම නිසා ශරීරයට ලැබෙන බව හෙළි වී තිබේ. කෙසේ නමුත් මෑතක දී බොහෝ පර්යේෂකයන්ගේ අවධානය යොමු වූයේ මිරිස් කෑමට ගැනීම නිසා මර්ත්‍යතා අවදානම අඩු වීම පිළිබඳවය.

ඉතාලියේ මධ්‍යධරණීය ස්නායු ආයතනය’ (Mediterranean Neurological Institute) විසින් මේ පිළිබඳව පර්යේෂණයන් දෙකක් සිදුකොට තිබේ. ඉන් එකක් චීනයේ ද, අනෙක ඇමරිකා එක්සත් ජනපදයේ ද සිදුව තිබේ. මේ පර්යේෂණ දෙකින්ම හෙළි වී ඇත්තේ පුරුද්දක් ලෙස මිරිස් කෑමට ගන්නා පුද්ගලයන්ගේ මර්ත්‍යතා අවදානම ඉතා අඩු බවය.

ඔවුන් මේ සඳහා පිරිමි සහ කාන්තාවන් 22,811 දෙනෙක් මේ සඳහා සහභාගී කරවා ගැනුණි. ඔවුහු සිය පර්යේෂණයේ ප්‍රතිඵල ආමරිකානු හෘද රෝග වෛද්‍ය සඟරාව ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළහ.

මේ සඳහා සහභාගී කරවා ගත් සියලු දෙනා අවුරුදු 35 ට වැඩි අයවලුන් විය. ඔවුන් වසර 8 කට වැඩි කාලයක් තිස්සේ පර්යේෂකයන්ගේ නිරීක්ෂණයට ලක් වී තිබිණි. පර්යේෂණය අතරතුර දී එයට සහභාගී වූවන්ගේ 1,236 දෙනෙකු මරණයට පත් විය.

සෞඛ්‍යය කෙරෙහි බලපාන්නා වූ වෙනත් කාරණා, එනම්, ඒ ඒ පුද්ගලයන්ගේ වෛද්‍ය ඉතිහාසය, විවේක කාලයේ දී සිදු කෙරෙන ශාරීරික ක්‍රියාකාරකම්, දුම්බීම, මත්පැන් පානය සහ සමාජ ආර්ථික සාධක ආදිය ද සැලකිල්ලට ගනු ලැබිණි.

මේ පර්යේෂණයට සහභාගී කරවා ගන්නට පෙරාතුව සෑම පුද්ගලයකුටම මිරිස් කෑමට ගැනීම ඇතුළුව සිය ආහාර ගැනීමේ රටාව පිළිබඳ ප්‍රශ්නාවලියකට පිළිතුරු දෙන්නට සිදු විය.

එයට සහභාගී වූවන්ගෙන් 24.3%ක් සතියකට තුන් හතර වතාවක් මිරිස් කෑමට ගැනීමේ පුරුද්දෙන් යුක්ත විය. 33.7%ක් ඉතා කලාතුරකින් මිරිස් කෑමට ගැනීමේ පුරුද්ද තිබිණි. ඔවුන් අතර කිසිදා මිරිස් ආහාරයට නොගන්නා අය ද සිටියහ.

පර්යේෂණයයෙන් හෙළි වූ කරුණුවලට අනුව පර්යේෂකයන් පැමිණි නිගමනය වූයේ සතියකට තුන් හතර වතාවක් මිරිස් ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ මර්ත්‍යතා අවදානම 23%කින් අඩු බවය.

මිරිස් සහ හෘද සෞඛ්‍යය
හෘද රෝග පිළිබඳ සලකා බැලීමේ දී පුරුද්දක් ලෙස මිරිස් කෑමට ගන්නා පුද්ගලයන්ගේ මර්ත්‍යතා අවදානම එසේ නොවන පුද්ගයන්ට වඩා 34%කින් අඩු බව මෙම පර්යේෂණයෙන් හෙළි විය. එමෙන්ම පිළිකා රෝගීන් අතර ද මිරිස් කෑමට ගන්නා පුද්ගලයන්ගේ මර්ත්‍යතා අවදානමේ යම් අඩුවක් පෙන්නුම් කළ ද එය සංඛ්‍යාත්මකව දක්වන්නට තරම් ප්‍රමාණවත් මට්ටමක නොතිබිණි. කෙසේ නමුත් පුරුද්දක් ලෙස මිරිස් කෑමට ගැනීම පොදුවේ මර්ත්‍යතා අවදානම අඩු කරන්නට හේතුවක් වන බව නම් පැහැදිලිවම සනාථ විය.

තවත් සොයා ගැනීම්
මෙම පර්යේෂණයෙන් හෙළි වූ තවත් දෙයක් වූයේ වැඩි වශයෙන්ම මිරිස් කෑමට ගන්නේ උසස් අධ්‍යාපනයක් ලද, වයසින් වැඩි පිරිමින් බවය. එමෙන්ම මිරිස් කෑමට ගන්නන් අතර  මිරිස් කෑමට නොගන්නන්ට වඩා දියවැඩියාව සහ අධ්‍යාතතිය, රුධිරයේ අධික ලිපිඩ මට්ටම සහ ඉහළ දේහ ස්කන්ධ පරිමාණයක් පවතින බව ද මෙම පර්යේෂණයෙන් හෙළි විය. මේවා සියල්ල හෘද රෝග ඇති කරන සාධක වුවත්, ඔවුන් පුරුද්දක් ලෙස මිරිස් කෑමට ගැනීම නිසා ඔවුන් සාමාන්‍යයෙන් මුහුණ දිය යුතු අවදානම් තත්වය අඩු වී ඇති බව පර්යේෂකයන්ගේ නිගමනය විය.

කෙසේ වෙතත් මිරිස් ආහාරයට ගැනීම නිසා ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ තවම ඇත්තේ සංවාදමය තත්වයකය. කැප්සයිසින් නිසා සිරුරේ බර අඩු වීමේ ප්‍රවණතාවක් ඇති බැවින් ඇතැම් විද්‍යාඥයෝ මේ නිගමනය සමග සිය එකඟත්වය පළ කරති. කෙසේ නමුත් ඉතාලි පර්යේෂණ ආයතනය මගින් පවත්වන ලද පර්යේෂණයට සහභාගී වූ මිරිස් කෑමට ගන්නන් බොහොමයකගේ දේහ ස්කන්ධ පරිමාණ පැවතියේ ඉහළ මට්ටමකය.

සීමාවන් සහ අනාගතය
ඇමරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ සිදු කරන ලද මෙම පර්යේෂණ දෙක කෙරෙහි අවධානය යොමු කරන නිරීක්ෂකයන් පවසන්නේ මේ දෙකෙහිම යම් යම් සීමාවන් පවතින බවය. මෙය හුදෙක් නිරීක්ෂණ මට්ටමකින් සිදු කරන ලද්දක් වන බැවින් මෙවැනි නිගමනයකට එලැඹෙන්නට අවශ්‍ය වන කාරණා සහ හේතු පැහැදිලිව අවබෝධ කරගත නොහැකි බව ඔවුහු පවසති. අනෙක මෙවැනි තත්වයක් කෙරෙහි බලපාන්නා වූ අනෙකුත් සාධක ද මෙහිදී එතරම් සැලකිල්ලකට ගෙන නොමැත. අනෙක මෙයට සහභාගී වූ පුද්ගලයන්ගේ ආහාර ගැනීමේ රටාව පිළිබඳ තොරතුරු ලබා ගෙන තිබුණේ පර්යේෂණය ආරම්භයේ දී පමණි. මිනිසුන්ගේ පරිභෝජන රටාව කාලයත් සමග වෙනස් විය හැකි වුවත්, එය මෙහි දී සැලකිල්ලකට ලක් කොට නැත. එමෙන් දිනපතා වරක් දෙවරක් මිරිස් කෑමට ගැනීමෙන් සිදුවන බලපෑම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කොට නොමැති බව පෙනේ.

කෙසේ වෙතත්, අවසාන නිගමනය වී ඇත්තේ පුරුද්දක් ලෙස මිරිස් කෑමට ගන්නන් අතර මර්ත්‍යතා අවදානම පහළ මට්ටමක පවතින බවයි. විශේෂයෙන් හෘද රෝග සම්බන්ධ මර්ත්‍යතා අවදානම ද පහළ මට්ටමක පවතින බව අනාවරණය වී තිබේ. මිරිස් කෑමට ගැනීම සෞඛ්‍යය තත්වය ඉහළ නංවන්නක් බවට විවාදයක් නැති බව ද ඔවුන්ගේ නිගමනය විය. ඔවුන්ගේ ඊළඟ අපේක්ෂාව වන්නේ එසේ වන්නේ මන්දැයි යන්න පිළිබඳ පර්යේෂණයක් පැවැත්වීමය.