පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, August 23, 2014

වෛද්‍යවරුන්ගේ මාධ්‍ය දඩයම් කලාවට බිලිවන අසරණ රෝගීන් - Doctors who becaome media hunters



පසුගිය දිනවල සමාජය කැළඹීමට පත්කළ සිදුවීමක් වූයේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්ලාස්ටික් සැත්කම් ඒකකයට සම්බන්ධව කටයුතු කළ ඊ.ඒ. ප්‍රියංගා නම් වෛද්‍යවරිය බම්බලපිටියේ පිහිටි රූපලාවන්‍යාගාරයකදී සැත්කමක් සිදුකර ගැනීමට සූදානම්වන අවස්ථාවේ හදිසියේ මරණයට පත්වීමය. මේ සැත්කම සිදුකොට ඇත්තේ ද නිමල් ගමගේ නම්, රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකි.  වෛද්‍යවරිය මිය යාමට හේතුව වශයෙන් දැනට අනාවරණයකොටගෙන ඇත්තේ එම සැත්කමට සූදානම්වීමේදී ලබාදෙන ලද එන්නතක් විෂවීමය. මේ මරණයත් සමග වෛද්‍ය, සෞඛ්‍ය, ඖෂධ වැනි විවිධ ක්ෂේත්‍රයන්ට අයත් පුද්ගලයන්ගෙන් විවිධ අදහස් පළවන්නට පටන් ගැනුණි. මේවා පිළිබඳ කතාකිරීමට පෙර මෙම අවස්ථාවේදී සිදුකරන්නට සූදානම් වූ සැත්කම පිළිබඳ අවබෝධයක් තිබීම වඩා වැදගත් යැයි සිතේ. 


මෙම සැත්කම හඳුන්වනු ලබන්නේ ‛ෆැට් ට්‍රාන්සර්’ (Fat Transfer ) නමිනි. මෙය අපට සිංහල බසින් ‛මේද සම්ප්‍රේෂණය’ වැනි නමකින් හැඳින්විය හැකිය. මෙයම ‛මයික්‍රෝ ලිපෝ ඉන්ජෙක්ෂන්’ (Micro Lipo Injection) නමින් ද හඳුන්වනු ලබයි. ‛ක්ෂුද්‍ර මේද නික්ෂේපණය’ වැනි නමකින් අපට මෙය සිංහලෙන් හැඳින්විය හැකිය. මෙම සැත්කම ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ තවත් බොහෝ රටවල කෙරෙන්නකි.  ‛මේද සම්ප්‍රේෂණය’ යනු සියවසකට වැඩි අතීතයක් සහිත ප්‍රතිකාර ක්‍රමයක් යැයි කියනු ලැබේ. මේ පිළිබඳ කරුණු සඳහන් වෙබ් අඩවිවල සඳහන් වන්නේ රූපලාවන්‍ය කටයුතු උදෙසා මෙම සැත්කම සිදුකෙරෙන බවය. එසේ හෙයින් මෙය ‛ශල්‍යකර්මීය මූර්ති ශිල්පය’ (surgical sculpting) නමින්   ද හැඳින්වේ. සමට යටින් ඇති මේදය ඉවත්කිරීම මෙහිදී සිදුකෙරේ. මේ සඳහා අවශ්‍යතාවයට අනුව එන්නත් ලබාදීම සිදුකරනු ලබයි. 


ජාත්‍යන්තරව පිළිගන්නා ආකාරය අනුව ද මෙය ශල්‍යකර්මයක් බව පැහැදිලිය. ඕනෑම කෙනෙක් දන්නා සාමාන්‍ය කරුණක් වන්නේ ශල්‍යකර්මයක් සිදුවිය යුත්තේ ශල්‍යාගාරයක් තුළය යන්නය. නමුත් මෙම සිදුවීමේදී සැත්කම සිදුකෙරී ඇත්තේ ශල්‍යකර්ම සඳහා කිසිදු පහසුකමක් දක්නට නොමැති රූපලාවන්‍යාගාරයක් තුළදීය. විදෙස් රටවල මෙම ශළ්‍යකර්මය බොහෝ විට රූපලාවන්‍යාගාරයක් තුළ සිදුකෙරෙන මුත් ඒවා සියල්ලක්ම නිසි පරිදි පවත්වාගෙන යන ශළ්‍යකර්ම පහසුකම්වලින් යුක්ත ඒවාය. නමුත් අප මෙම සිදුවීම ගෙන බැලුවහොත් පෙනෙන්නේ මෙම ස්ථානය සාමාන්‍ය නිවසක් පමණක්ය යන්නය. නමුත් නිවසක් වැනි ස්ථානයක ශල්‍යකර්මයක් සිදුකළ නොහැක. එමෙන්ම ශල්‍යකර්මයක් සිදුකෙරෙද්දී එයට පහසුකම් ද නිසි පරිදි පැවතිය යුතුය. එමෙන්ම එවැනි ස්ථානයක සුදුසුකම් ලත් නිර්වින්දන වෛද්‍යවරයකු සිටිය යුතුය. සැත්කමක් සිදුකිරීමේදී යම් හදිසි තත්වයක් ඇති වුවහොත් අවශ්‍ය ප්‍රතිකාර ගැනීමට ඒ පිළිබඳ විශේෂඥයකු අදාළ ස්ථානයේ සිටිය යුතුය. 


මෙම මියගිය වෛද්‍යවරියට එන්නත් කොට ඇත්තේ පෙන්සිලින් පවුලට අයත් Sefuroxime නම් ඖෂධයයි. එය එසේ වුව ද වෙබ් අඩවිවල සහ මුද්‍රිත මාධ්‍යවල මෙම ඖෂධය සඳහන් කොට තිබුණේ  Sefureime ලෙසය. අන්තර්ජාලය ඔස්සේ සෙවීමේදී පෙනී ගියේ එවැනි ඖෂධයක් දැනට නිපදවා නොමැති බවය. පාඨකයාට තොරතුරු ලබාදෙන ඇතැම් මාධ්‍යවේදීන් තමන්ට ලැබෙන තොරතුරු තහවුරු කරගැනීමකින් තොරව මේ ආකාරයෙන් පාඨකයා අතට පත්කරන අවස්ථා නිතරම සිදුවන බැව් පසුගිය කාලය පුරාම පෙනෙන්නට තිබිණි. 


මෙම මියගිය වෛද්‍යවරියට එන්නත් කළ Sefuroxime ඖෂධය ද කල් ඉකුත් වූවක් බැව් දැනගන්නට ලැබී තිබේ. මෙම එන්නත අදාළ වෛද්‍යවරියගේ ගෙලෙහි ශිරාවලට ලබා දී තිබේ. එය මිලිලීටර් දෙකක් පමණ ශරීර ගත වී ඇති බව පැවසෙන අතර ඒ අවස්ථාවෙදී ඇයගේ තත්වය ක්ෂණිකවම වෙනස් වී හදිසි මරණයකට පත්වී ඇත. සියලු ගැටලු ඇරඹෙන්නේ මෙතැනි සිටය. මෙවැනි අවස්ථාවක මරණයකට හේතුවන්නේ Anaphylaxis Shock නම් තත්වය පැන නැගීම නිසාය. මෙය සිංහලෙන් ‛අසංරක්ෂත්ව කම්පනය’ නමින් හැඳින්විය හැකිය. මෙහිදී සිදුවන්නේ අසාත්මික තත්වයක් වන අතර එය එන්නතක් මගින් පමණක් නොව වෙනත් ඕනෑම දෙයක් නිසා සිදුවන්නට හැකියාව තිබේ. ඇතැම් විට යම් ආලේපනයක් නිසා වුව ද එවැන්නක් ඇතිවිය හැකිය. මෙවැනි සිදුවීමක් දැනට කලකට පෙර මීගමුව ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයකදී සිදු විය. මෙහිදී මිය ගියේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියකි. ඇය රූපලාවන්‍ය කටයුත්තක් සඳහා අදාළ රූපලාවන්‍යාගාරයට ගිය අවස්ථාවේදී ඇගේ මුහුණෙහි යම් ආලේපනයක් ගල්වා ඇති අතර, එහිදී ඇතිවූ අසංරක්ෂත්ව කම්පනයෙන් ඇය මරණයට පත්විය.  මෙහිදී කලබලයට පත් රූපලාවන්‍යාගාරයේ අයිතිකරුවෝ ඇගේ මළසිරුර වත්තල ප්‍රදේශයට ගෙනගොස් දැමූහ. මෙය එකල ඉතා ආන්දෝනාත්මක සිදුවීමක් වූ බව බොහෝ දෙනෙකුගේ මතකයේ තිබෙන්නට පුලුවන. 


රෝගියකුට ලබදෙන යම් එන්නතක් නිසා ශල්‍යාගාරයකදී වුව ද මෙවැනි අසංරක්ෂත්ව කම්පනයක් ඇතිවිය හැකි නමුත්, එහි අදාළ විශේෂඥයින් හා අවශ්‍ය සියලු පහසුකම් පවතින බැවින් එවැනි අවස්ථාවකදී අවශ්‍ය පියවර නිසි පරිදි ගැනීමෙන් රෝගියොගේ ජීවිතය ගළවාගත හැකිය. මෙවැනි අවස්ථාවකචදී රෝගියාට කෘත්‍රිම ස්වසනය ලබාදීම, ශිරාවන්ට යම් එන්නත් ලබාදීම සිදු කළ යුතු අතර රෝගියා පිහිටුවිය යුතු ඉරියව්වක් ද තිබේ. එවිට රෝගියා ප්‍රකෘති තත්වයට පැමිණේ. මෙවැනි පහසුකම් නොමැති අවස්ථාවක අසංරක්ෂතා කම්පනයක් ඇතිවුවහොත් රෝගියා ක්ෂණික මරණයකට පත්වෙයි. මෙම රූපලාවන්‍යාගාරයේදී අදාළ වෛද්‍යවරයා මෙම සැත්කම සිදුකොට ඇත්තේ මෙවැනි අවස්ථාවකට මුහුණ දීම සඳහා කිසිදු සූදානමකින් නොවේ. එහි එවැනි දෙයකට කිසිදු පහසුකම් ද තිබී නැත. 


සැබැවින්ම මෙවැනි සැත්කම් අප රටේ සිදුවන්නේ නැති ද යන කාරණය ද මෙහිදී සළකා බැලිය යුතු තවත් දෙයකි. සැබැවින්ම මේවා අප රටේ මෙන්ම ලෝකයේ වෙනත් රටවලද බහුල ලෙස සිදුවේ. මේවා හඳුන්වනු ලබන්නේ ‛අංගරාග සැත්කම්’ (Cosmetic Surgery) නමිනි. මේවා අයත්වන්නේ ද ප්ලාස්ටික් සැත්කම් ගණයටමය. අප රටේ පෞද්ගලික රෝහල්වල මෙම සැත්කම සිදු කෙරේ. මේවා සිදුකරනු ලබන්නේ සුදුසුකම් ලත් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් විසිනි. මේ සඳහා සාමාන්‍යයෙන් වැයවන මුදල් ඇමෙරිකානු ඩොලර් 2500ක් පමණ වේ. රුපියල්වලින් නම් එය 325,000කටත් තරමක් අධික මුදලකි. අප රටේ බොහෝ දෙනෙකුට ලක්ෂ 3ක් යනු සෑහෙන මුදලක් වුව ද ලෝකයේ සෙසු බොහෝ රටවල පුද්ලලයන්ට එය විශාල මුදලක් නොවේ. එම රටවල මෙවැනි ශල්‍යකර්මයක්  සිදුකරගැනීමට මෙයට වඩා බොහෝ ගුණයකින් මුදල් වැය වෙන බැවින් විදේශිකයන් මෙවැනි ශල්‍යකර්ම සඳහා අප රට තෝරාගෙන තිබෙන බව ද පෙනෙන්නට තිබේ. මෙය ‛වෛද්‍ය සංචරණය’ (Medical Tourism) නමින් හැඳින්වේ. මෙම සිදුවීමේදී වෙවද්‍යවරයා අය කළේ යැයි පැවසනේනේ මෙම ලක්ෂ තුනෙන් ද, තුනෙන් පංගුවක් පමණක් බව දැනගන්නට ලැබී තිබේ. එනම් රුපියල් ලක්ෂයක් පමණි. ශල්‍යකර්මය කිරීම සඳහා රුපියල් 10,000ක අත්තිකරමක් ගෙන ඇති අතර ඉතිරි 90,000 සියල්ල නිමවීමෙන් අනතුරුව ගෙවීමට එකඟ වී තිබේ. ඔහු මෙතරම් අඩු මුදලකට මෙය සිදුකරන්නේ එම ස්ථානයේ කිසිදු ශල්‍යගාර පහසුකමක් නොමැති නිසා එම පහසුකම සඳහා වූ මුදල මෙතැනට අදාළ නොවන බැවිනි. මොහු සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු නම් ශල්‍යාගාරයකින් තොරව සැත්කමක් කිරීමේ ඇති බැරෑරුම්බව පිළිබඳ අවබෝධයක් තිබිය යුතුය. නමුත් ඔහු එවැන්නක් සැළකිල්ලකට ගෙන ඇති බව නොපෙනේ. 


මෙම සිදුවීමේ ඇති තවත් පුදුම සහගත දෙයක් වන්නේ මෙම වෛද්‍යවරිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්ලාස්ටික් සැත්කම් අංශය සමඟ සම්බන්ධව සිටියේ යැයි සඳහන්ව කිබීමය. එය එසේ නම් මෙවැනි සැත්කමක් මෙවැනි තැනක සිදු නොකළ යුතුබව ඇයට මනා අවබෝධයක් තිබිය යුතුය. සමස්ත ලංකා ශල්‍ය වෛද්‍යයවරුන්ගේ සංගමය මෙම සිදුවීමෙන් පසුව විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූ අවස්ථාවේදී සඳහන් කොට තිබුණේ මේ පිළිබඳව මනා අවබෝධයක් ඇති වෛද්‍යවරියක් මෙවැනි දෙයක් සඳහා ඉදිරිපත් වූයේ ඇයි ද යන්න පිළිබඳවය. ඇය මේ පිළිබඳ දැන සිටිය ද මෙවැන්නක් සඳහා ලක්ෂ තුනක් වියදම් කරනවා වෙනුවට එය රුපියල් ලක්ෂයකින් සිදුකරගත හැකිවීමේ ලාභය පිළිබඳ පමණක් ඇය සිතන්නට ඇතිබව මෙහිදී අනුමාන කළ හැකි එකම කාරණයයි. නමුත් අසංරක්ෂතා කම්පනයක් වැනි තත්වයක් ඇති වේ යැයි ඇය නිකමට හෝ නොසිතන්නට ඇත. සියලු දේ පිළිබඳ අවබෝධයක් ඇති එවැන්නියක් මෙවැනි ඉරණමකට ලක් වූයේ නම් අන් කාන්තාවන් පිළිබඳ කවර කතාද? 


මෙහිදී සඳහන් කළයුතු තවත් කාරණයක් වන්නේ මෙම එන්නත ශිරාවන්ට සෘජුවම ලබාදිය යුත්තක් වුව ද වෛද්‍යවරයා වැරදීමකින් එය මාංශ පේශීන්වලට එන්නත් කිරීමෙන් හෝ එවැන්නක් වැරදීමකින් සිදුවීමෙන්ම මෙවැනි අසංරක්ෂතාවයක් ඇති වූයේද යන්නය. 


මෙම වෛද්‍යවරයාගේ සුදුසුකම් පිළිබඳව යමක් විමසා බැලීම ද වටී. ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසා සිටියේ මොහුට සැත්කම් කිරීමට කිසිදු සුදුසුකමක් නොමැති බවය. නමුත් අප රටේ ඇති නීතියට අනුව, කිසියම් පුද්ගයෙක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට අවශ්‍ය මූලික සුදුසුකම වන එම්.බී.බී.එස් (Bachelor of Medicine, Bachelor of Surgery - MBBS) උපාධිය ඇත්නම් ඔහුට සැත්කම් කිරීමට සුදුසුකම මෙන්ම මූලික අයිතිය ද තිබේ. මන්ද වෛද්‍ය උපාධිය යනු සැබවින්ම උපාධි දෙකකින් සමන්විත වූවක් වන අතර එහි Bachelor of Surgery යන්නෙන් අදහස්වන්නේ ශල්‍යකර්ම කිරීම පිළිබඳ සුදුසුකම් තිබේය යන්නය. මේ නිසා ඔහුට  කිසියම් සැත්කම් කාර්යයකට සම්බන්ධ වීමේ හැකියාව නීත්‍යානුකූලවම පවතී. නමුත් එවැනි අය සිදුකළ යුත්තේ කුමන සැත්කම්දැයි නීතියේ කොතැනක හෝ සඳහන් වන්නේ නැත. එබැවින් බැරෑරුම් නොවන්නේ යැයි සිතෙන සැත්කම් සිදුකීරීමට ඔවුන් ඉදිරිපත්වීම සාමාන්‍ය දෙයකි. සාමාන්‍ය වෛද්‍යවරයකු හමුවට යන රෝගියකුට යම් සැත්කම්ක් කිරීමට අවශ්‍ය නම් වෛද්‍යවරයා විසින් අදාළ රෝගියාව විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කරවනවා මිස ඒ සඳහා ඔහු ඉදිරිපත් වන්නේ නැත. සාමාන්‍යයෙන් සිදුවන්නේ එයයි. නමුත් එසේ කිරීමෙන් ඔහුට සැත්කමක් කිරීමට සුදුසුකම් නැති බව සඳහන් කිරීම වරදක් යැයි පෙනේ. මෙහිදී වෛද්‍ය උපාධියට අනුව ඇත්තේ සැත්කම කිරීමට අවශ්‍ය දැනුම මද වීම පමණි. අප රටේ නීතියට අනුව එවැනි අභියෝගයක් එල්ල කළ නොහැක. 


මෙම වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ අවධානය යොමුකිරීමේදී පෙනී යන්නේ ඔහු වෛද්‍ය ආචාර ධර්ම පසෙකට දමමින් ව්‍යාපාරික තත්වයට වැටී සිටි අයකු බවය. මාධ්‍ය ඔස්සේ අධික ජනප්‍රියතාවයක් ලබාගනිමින්, මාධ්‍ය ආයතනවල මෙවැනි වැඩසටහන් හසුරුවන්නන් හට විවිධ වරදාන ලබාදෙමින් ඔහු පසුගිය කාලය පුරාම සිදුකොට ඇත්තේ සිය ව්‍යාපාරය පිළිබඳ පණිවිඩය මිනිසුන් අතරට ගෙනයාමය. ඔහුගේ වරදානවලට යටත් වූ වැඩසටහන් නිෂ්පාදකයන් හා මෙහෙයවන්නන් ද මේවාට දෙස බලා සිටිය මිස එවැනි දෙයක ඇති සදාචාරය පිළිබඳ සිතා නැති බව පෙනේ. ඔහු අන්තර්ජාලය ඔස්සේ ද තමා පිළිබඳ අධික ප්‍රචාරණ ක්‍රියාවලියක යෙදී ඇති බව ද පෙනෙන්ට තිබේ. ඔහු ඇතැම් මාධ්‍යවේදිනියන්ට යම් යම් රූපලාවන්‍ය සැත්කම් නොමිලයේ සිදුකොට තිබෙන බවද දැනගන්නට ලැබී තිබේ. මෙවැනි පුද්ගලයන් හඳුන්වනු ලබන්නේ ‛මාධ්‍ය දඩයක්කරවන්’ (media hunters) නමිනි. ඔහු සැබවින්ම වෛද්‍යවරයකුට වඩා හොඳ අළෙවිකරුවකු බව පෙනේ. නමුත් මේවා වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනි ක්‍රියාවන්ය. ඕනෑ වෛද්‍යවරයකුට ප්‍රසිද්ධ මාධ්‍යකදී සිදුකළ  හැක්කේ කිසියම් රෝගයක් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම පමණි. ඒ සඳහා ප්‍රතිකාර ලබාගැනීම සඳහා වෛදවරයකු හමුවිය යුතුය යන්න පවසනු විනා  ඒ සඳහා තමා වෙත එන්නැයි ප්‍රසිද්ධ මාධ්‍යතකින් කිසිවිටෙක හෝ පැවසිය නොහැකිය. මන්ද වෛද්‍ය ශාස්ත්‍රය යනු කිසිවකුගේ තනි උරුමයක් නොවන බැවිනි. 


වෛද්‍යවරයකු ලෙසට මොහුගේ සැබෑ සුදුසුකම් පිළිබඳ දැනට නිශ්චිත තොරතුරු ලැබී නොමැති මුත් දැනගන්නට ලැබී ඇත්තේ ඔහුට කිසිදු වෛද්‍ය සුදුසුකමක් නොමැති බවය. මෙහි ඇති අවාසනාවන්තම සිදුවීම වන්නේ මොහු පමණක් නොව බොහෝ විශේෂඥ වෛද්‍යවරුන්ද විද්‍යුත් මාධ්‍ය ඔස්සේ යම් යම් රෝග තත්වයන් පිළිබඳ ප්‍රකාශ කොට ඒවා පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා තම පෞද්ලික දුරකතන අංකය පවා ලබාදීමය. මෙහිදී අදහස් කෙරෙන්නේ ඒ සඳහා ප්‍රතිකාර ලබාගැනීම පිණිස රෝගීන් තමා වෙත ගෙන්වා ගැනීම බව පැහැදිලය. එය වෛද්‍ය ආචාර ධර්ම අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. කවුරුන්  කළ ද වරද වරදමය.

අතිරේක කියැවීම්

හොර දොස්තරද ? හොඳ දොස්තරද ?

Tuesday, August 19, 2014

පැරැන්නෝ විදුලි බලය ගැන දැන සිටියාද? - Ancient Electricity and Our Ancestors



මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් වන්නේ ජලය, ආහාර සහ ඇඳුම් වැනි දෑ වුව ද නූතන ලෝකයේ මේ අතරට එක්කරගත යුතු තවත් එක් දෙයක් වන්නේ විදුලියයි. විදුලියේ පිහිට නොමැතිව කිසිවක් කරගත නොහැකි තරමටම එය මිනිස් ජීවිතයට බද්ධ වී තිබේ. නමුත් අතීතයේ එසේ වූයේ නැත. මිනිසුන්ට විදුලියෙන් ක්‍රියාත්මක වන භාණ්ඩ කිසිවක් නොතිබුණු අතර ඔවුන් එවැනි බලයක් පිළිබඳව දැන සිටියේ ද නැත. නමුත් අප මේ සඳහන් කළ දෑ ‛සත්‍ය වශයෙන්ම සත්‍යය’ ද? අපේ පැරැන්නෝ විදුලි බලය පිළිබඳ දැන සිටියේ නැතිද? මෙවැනි කුතුහල දනවන කාරණා පිළිබඳ මිනිස්සු අතීතයේ සිටම ප්‍රශ්න කළා පමණක් නොව ඒවා පිළිබඳ සොයන්නට ද උත්සුක වූහ. මේ සෙවීම්වලට අනුව පෙනෙන්නේ පැරැන්නෝ විදුලි බලය පිළිබඳ නොදැන සිටි බවක් නම් නොවේ. ඒ පිළිබඳව අප කතා කළ යුතු වන්නේ එබැවිනි.

ඉතිහාසඥයින් සහ ස්වාධීන පර්යේෂකයන් විශ්වාස කරන අන්දමට ලෝකයේ පැරණි ශිෂ්ටාචාර අප දැන සිටිනවාට වඩා තාක්ෂණය අතින් ඉහළ තැනක පැවත තිබේ. ඔවුනට අනුව ඇතැම් ශිෂ්ටාචාර විදුලි බලය පිළිබඳව  දැන සිටියා පමණක් නොව එය සිය එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු සඳහා භාවිතයට ද ගෙන තිබේ. මේ පිළිබඳ සිදුකළ පර්යේෂණයන් අතරින් ප්‍රමුඛ පෙළේ ලා සැළකිය හැකි එවැනි සාධක කිහිපයක්ම තිබේ.

1. බළල් සමින් කළ විදුලි ජනකය

බළල් සමින් කළ විදුලි ජනකය - ප්‍රතිනිර්මාණ කරන ලද්දකි


අපේ පැරැන්නෝ ස්ථිතික විදුලිය පිළිබඳ යම් වැටහීමකින් පසුවූ බවට සාධක ලැබී තිබේ. නමුත් ඔවුනට එය පූර්ණ වශයෙන් අවබෝධ කරගන්නට හැකියාවක් ලැබී නැත. අඳුරු කුටියක් තුළ දී බළල් සමක් මත යම් යම් ද්‍රව්‍යයන් අතුල්ලන විට එයින් යම්කිසි පුළිඟුවක් විසිවන බව ඔවුහු දුටුවහ. මෙයට දෙවියන්ගේ සම්බන්ධයක් ඇතැයි ද ඔවුහු කලපනා කළහ. ස්ථිතික විද්‍යුතය පිළිබඳව මුළින්ම ලිඛිත සාධක හමුවන්නේ ක්‍රි.පූ. 624 - 546ත් අතර සමයේ ජීවත් වූ ග්‍රීක ජාතික දාර්ශනිකයකු වූ තේල්ස් මිලෙටස්ගේ ලේඛණවලිනි. ඔහු සඳහන් කොට ඇත්තේ තමා බළල් සමක් සමගින් විදුලිය පිළිබඳ පර්යේෂණ කළ බවකි. ඔහු එම පර්යේෂණය සඳහා රෝද දෙකක් සහිත සරල යන්ත්‍රයක් ගොඩ නගා තිබේ. එක් රෝදයක් දිවියකුගේ සමකින් ආවරණය කොට තිබූ අතර අනෙක් රෝදය වීදුරු වැනි පාෂාණයකින් ආවරණය කොට තිබිණි. එම රෝදය සවිකොට තිබුණේ රනින් තැනූ ඇක්සලයකටය. එම ඇක්සලයේ කෙළවර රනින් කළ තහඩුවක් තිබිණි. ඉන්පසු මෙම රෝද දෙක මුහුණට මුහුණ තබා එකිනෙකට විරුද්ධ දිසාවන්ට කරකැවීමේදී පෙර කී ලෝහ පතින් අඟල් කිහිපයක් දිගට ස්ථිතික විදුලි පුළිඟු විසි වී ඇත.

2. විදුලි ආඳාගෙන් කළ වෛද්‍ය ප්‍රතිකාර



විදුලි ආඳා යනු විභව අන්තරය (වෝල්ට්) 600 දක්වා විද්‍යුතයක් ජනනය කළ හැකි සත්වයෙකි. පැරණි ඊජිප්තු වැසියන් සිය සිය ලේඛණවල විදුලි බළල් මත්සයයකු පිළිබඳ සඳහන් කොට තිබේ. විවිධ මූලාශ්‍රවලට අනුව ග්‍රීක හා රෝම වැසියන් මෙම සත්වයන් පිළිබඳ මනා අවබෝධයකින් සිට ඇති අතර ඔවුන් ඇතිදැඩි කිරීම ද සිදුකොට තිබේ. ක්‍රි.ව. 47 දී පමණ සිටි ක්ලෝඩියස් අධිරාජයාගේ වෛද්‍යවරයකු සඳහන් කොට තිබුණේ මෙවැනි මත්ස්‍යයින්ගේ ජනනය වන විදුලිය මගින් විවිධ ලෙඩරෝග සුවකරගන්නට හැකියාව ඇති බවය. වාත රක්තයෙන් පීඩා විඳිනවුන්ගේ දෙපා හිරිවැට්ටවීම සඳහාත් , හිසේ නිදන්ගත කැක්කුම් සඳහාත් ප්‍රතිකාර ලෙස මෙම මත්ස්‍යයන්ගේ විදුලි සැර භාවිත කොට තිබේ. මෙය සත්‍යයක් නම් ‛කම්පන ප්‍රතිකාර මුළින්ම සිදුකොට ඇත්තේ ඔවුන්ය. 2009 තරම් මෑත කාලයෙදී බොස්ටන් හි සිටි වෛද්‍යවරු පිරිසක් විදුලි ධාරා මගින් මිග්රේන් නමින් හැඳින්වෙන හිස කැක්කුම සුවකිරීම සම්බන්ධව සාර්ථක අත්හදා බැලීම් සිදුකොට තිබේ.

3. බැග්ඩෑඩ් විදුලිකෝෂය



ඉරාක කෞතුකාගරයේ අධ්‍යක්ෂවරයකුව සිටි විල්හෙල්ම් කොනිග් විසින් වර්ෂ 1938 දී එහි සංරක්ෂණාගාරයේ තිබී පිඟන් මැටිවලින් තනන ලද කුතුහල දනවන ආකාරයේ  කුඩා මුට්ටි ගණනාවක්ම සොයාගනු ලැබිණි. ඒ සෑම එකක්ම සෙ.මී 13ක් පමණ දිග වූ අතර ඉහළින් සෙ.මී. 3ක පමණ විවරයක් තිබණි. මේ සෑම මුට්ටියකම විවෘත කෙළවරක් සහිත තඹ සිලින්ඩරයක් වූ අතර එය තුළ යකඩ කූරක් තිබිණි. මෙය ‛ගැල්වානි විදුලි කෝෂයකට’ (ලුයිගි ගැල්වානි විසින් නිපදවන ලද සරල විදුලි කෝෂය මේ නමින් හැඳින්වේ) සෑම අතින්ම සමාන විය. 1940 දී විද්‍යා නිබන්ධනයක් ඉදිරිපත් කරමින් කොනිග් පවසා සිටියේ මෙම වස්තූන් උපයෝගී කොටගෙන කිසියම් විදුලි ධාරාවක් නිපදවන්නට ඇති බවත්, එම විදුලි ධාරාව උපයෝගී කොට ගෙන රත්තරන් හෝ රිදී ආලේපන කටයුතු කරන්නට ඇති බවත්ය. මෙවැනි වස්තුවක් ප්‍රති නිර්මාණය කොට එයට දෙහි යුෂ යොදා විදුලිය නිපදවා පෙන්වුව ද  ප්‍රධාන පෙළේ පුරා විද්‍යාඥයන් මේ පිළිබඳ පහළ කළේ සැකයකි. යකඩ සහ තඹ සහිත වස්තුවක් ආශ්‍රිතව මෙයට වඩා වෙනත් අර්ථකථනයක් දිය නොහැකිය. මෙම මුට්ටි සසානිද් යුගයේ (ක්‍රි.ව. 224 - 640) යුගයේ නිර්මාණය කරන්නට ඇති බව විශ්වාස කෙරේ. මේ පිළිබඳ පරීක්ෂණ තවමත් අවසන් වී නොමැත.

4. පාරාවෝ ප්‍රදීපාගාරය




එම අලෝකයෙන් සතුරු නෞකාවලට ගිනි අවුල්වන්නට හැකියාව තිබූ බවත් පැවසේ

පැරණී ලෝකයේ පුදුම හතට ද අයත්වන, මීටර් 130 ක් පමණ  උසින් යුක්ත පාරාවෝ ප්‍රදීපාගාරයේ ඉදිකිරීම් ආරම්භ කරන්නට ඇත්තේ ක්‍රි.පූ. 280 දී පමණ යැයි සැළකේ. මෙම ප්‍රදීපාගාරය පිහිටා තිබී ඇත්තේ ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා වෙරළට මඳක් ඔබ්බෙන් පිහිටි කුඩා දූපතකය. මෙහි ඉදිකාට තිබූ  ප්‍රදීපාගාරයේ අරමුණ වූයේ රාත්‍රී කාලයේ දී නෞකාවන්ට මඟ පෙන්වීමය. මෙයින් විහිදුණු දීප්තිමත් ආලෝකය සැතපුම් 30ක් පමණ දුරට දිස්වූ බවට ඓතිහාසික වාර්තා සාක්ෂි සපයයි. මගපෙන්වීමට විහිදුවන අලෝක කදම්භය හැරුණු විට මෙයින් ඊට වඩා ප්‍රබල ආලෝක ධාරාවක් ද විහිදුවන ලද බැව් හෙළිවී තිබේ. එම ආලෝකය දෙස බලන යමෙකුගේ දෑස් අන්ධවීමට පවා ඉඩ තිබූ බවත්, එම අලෝකයෙන් සතුරු නෞකාවලට ගිනි අවුල්වන්නට හැකියාව තිබූ බවත් පැවසේ. මෙතරම් ප්‍රබල අලෝකයක් නිපදවන්නට හැකි වන්නේ විදුලි චාප පහනකින් (arc light lamp) සහ යෝධ අවතල දර්පණයකින් බව පර්යේෂකයන්ගේ අදහසය. මේ සඳහා බලය ලබා ගත් ප්‍රභවය අභිරහසක් වුවද එයට අනිවාර්යෙයන්ම විදුලි බලය අවශ්‍ය වූ බවට නම් සැකයක් නැත.

5. දෙන්දෙරා ආලෝක



ඊජිප්තුවේ ‛දෙන්දෙරා’ (Dendera ) දේවාල සංකීර්ණයේ ඇති ‛හාතර්’ දේවාලය තුළ ඇති කැටයම්වලින් පෙන්නුම් කරන්නේ ආලෝකය ජනනය කිරීම සඳහා විදුලි බලය යොදාගත් ආකාරය යැයි බොහෝ දෙනෙක් විශ්වාස කරති. එම කැටයම්වල චාප පහනක් (තිරස් අතට), උඩු අතට හැරවූ පහන් කිහිපයක්, පහන් කෙවෙණිය, චාප පහනට සර්පයකු මෙන් ඇදී ගොස් ඇති සම්බන්ධ විදුලි රැහැන, ඒකලනයක් (isolator) ක් උඩු අතට හැරවූ විශාල විදු්‍යුත් කෝෂයක් ද වේ. මෙම යුගයේ සිටි ඊජිප්තු ජාතිකයන් විදුලි බලය භාවිත කළේ යැයි පුරා විද්‍යාඥයින් සහ ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ නම්, ඒ සඳහා වූ හොඳම උදාහරණය මෙය බැව් සඳහන් කළ හැකිය. මෙහි සඳහන් කළ උපකරණ සියල්ල මෙම සිතුවමෙහි පැහැදිලිව පෙනෙන්නට තිබුණද බොහෝ ඉතිහාසඥයන්, පුරා විද්‍යාඥයන් සහ ඊජිප්තුව පිළිබඳ විද්වතුන් මෙහි ඇත්තේ විදුලි බලයක් පිළිබඳ තොරතුරක් යන අදහස ප්‍රතික්ෂේප කරති. ඔවුන් පවසන්නේ මෙයින් පිළිබිඹුවන්නේ කාන්තාවන්ගේ නිසරුබවට ප්‍රතිකාර කිරීම සඳහා අනුගමනය කරනු ලබන කිසියම් චාරිත්‍ර විධියක් බවය.

6. අබිඩොස් යන්ත්‍ර


ඊජිප්තුවේ කයිරෝ නුවර සිට කිලෝමීටර් 450ක් පමණ දකුණු දෙසට වන්නට පැරණි අබිඩොස් නගර සංකීර්ණය හමුවේ. විවිධ හේතූන් කිහිපයක් නිසාම මෙය ඊජිප්තුවේ ඇති වඩාත් වැදගත්ම පුරා විද්‍යාත්මක් භූමිය ලෙස සැළකේ. ප්‍රධාන ධාරාවේ පුරා විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙය ඔසිරිස් සහ අයිසිස් නම් ආගමික නිකායට අයත් භූමියක් බවය. නමුත් තවත් පිරිසක් විශ්වාස කරන්නේ ඉතිහාසඥයන් පවසන කරුණුවලට වඩා වැඩි දියුණුවක් සහිත ශිෂ්ටාචාරයක් මෙහි පැවති බවය. මෙහි අංක 1 නමින් ඇති සෙටි දේවාලයේ බහුටැම් ප්‍රාසාද ශාලාවේ ඇති කැටයම්වලින් නූතන ගුවන් යානයක ලක්ෂණ, විශේෂයෙන් සඳහන් කළහොත්, හෙලිකොප්ටරයක සහ දිරිජිබල් යානයක (පැරණි ගුවන් යානා ආකෘතියකි) ලක්ෂණ පිළිබිඹු වන බවය. නමුත් ප්‍රධාන ධාරාවේ පුරා විද්‍යාඥයන් සඳහන් කරන්නේ් මෙහි ඇති හැඩතලවල ඇති යම් යම් සමානතා නිසා ඇතැම් අය මෙවැනි වැරදි මත ඉදිරිපත් කරන බවය.

7. කොසෝ මෙවලම



ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ඕලන්චා නගරය පාෂාණ එකතු කරන්නන් අතර ඉතා ප්‍රකට ය. එමෙන්ම මෙය කරා වෘත්තීය සහ ආධුනික භූ විද්‍යාඥයෝද ඇදී එති. පලුදු සහිත පාෂාණ එකතු කරන්නන් වූ වැලෙස් ලේන්, මයික් මික්සෙල් සහ වර්ජිනියා මැක්සි යන තිදෙනාට 1961 පෙබරවාරි 13 වැනිදා අමුතු ආකාරයේ පාෂාණ මෙවළමක් හමු විය. මයික් මික්සෙල් මෙය නිවසට රැගෙනවිත් දියමන්ති තලයක් සහිත කියතකින් එය මැදින් කැපුවේය. එහි මධ්‍යයේ තිබූ දෙයින් ඔහු විශ්මයට පත් වූයේය. එහි පැවතියේ පිඟන් මැටිවලින් තනන ලද, අඳුරු සුදු පැහැයට හුරු සිලින්ඩරයකි. මෙම සිලින්ඩරය මැදින් ලෝහ කොටස් දක්නට තිබිණි. මෙම ආකෘතිය වර්තමානය හා සැසඳීමේදී එහි තිබුණේ අප කවුරුත් දන්නා ‛පුළිඟු පේනුවකි’ හෙවත් ‛ස්පාර්ක් ප්ලග්’ (sparkplug ) එකකි. මෙය පරීක්ෂා කළ වෘත්තීය භූ විද්‍යාඥයකු සඳහන් කොට තිබුණේ  මෙය අඩුම තරමින් වසර පන්ලක්ෂයක්වත් පැරණි බවය. භූ විද්‍යාඥයා කවුදැයි අනාවරණය කෙරුනේ නැත. මෙම අදහසත් සමඟ ඇතැම් විද්‍යාඥයන් අතර මතබේදයක් හටගත් අතර මෙහි කිසිදු පුළිඟු පේනුවක් නොමැති බවත්, මල බැඳුණු මෑතකාලීන පාෂාණ කැබැල්ලක් පමණක් ඇති බවක් ඔවුහු පැවසූහ. මේ හේතුව නිසාම මෙය සොයාගත් පුද්ගලයෝ 1969 න් පසු මෙය ප්‍රදර්ශනය කිරීම ද නවතා දැමූහ.


මෙම ලිපිය පාදක කොටගත් අන්තර්ජාල මූලාශ්‍ර හැරුණු විට අප රටේ ඉතිහාසය දෙසට මඳක් විපරම් කොට බැලුවහොත්, රුවන්වැලි සෑය ඉදිකරනු ලැබීමෙන් පසු එහි කොත අකුණු වැදීමෙන් ආරක්ෂා කරගනු සඳහා වර්තමානයේ අප දකින ආකාරයේ අකුණු සන්නායකයක් සවිකොට තිබූ බවට සාධක හමු වේ. එකල සිටි අපේ පැරැන්නෝද විදුලිය පිළිබඳ යම් අවබෝධයකින් සිටි බව මෙයින් අවබෝධ වේ. ලෝකයේ සිටින සාම්ප්‍රදායික පුරා විද්‍යාඥයෝ ඉහත සඳහන් කළ ස්ථානයන්හි ඇත්තේ පැරැන්නන් විදුලි බලය පිළිබඳ අවබෝධයෙන් සිටි බවට හමුවන සාධක යැයි ප්‍රතික්ෂේප කරති. නමුත් විවෘත මනසකින් සිතන්නෝ එසේ නොවෙති. ඔවුහු සාම්ප්‍රදායෙන් ඔබ්බට සිතති. නමුත් මේවා පිළිබඳ පර්යේෂණය නොකෙරන බැවන් පැරැන්නන්ගේ විදුලි පිළිබඳ දැනුම ද අතීතය සමග ද වැළලී යමින් පවතී. 


Sunday, August 17, 2014

මිනිසා සහ අශ්ව හිස, අනුරාධපුරය - Man and the Horse Head at Isurumuniya


ඉසුරුමුණි විහාරයේ පර්වත මධ්‍යයෙහි පොකුණේ බිම සිට අඩි පහලොවක්‌ උසින් පර්වතයේම අර්ධ උන්නතව නෙළා ඇති අශ්ව ශීර්ෂයක්‌ සහ මනුෂ්‍ය රුවකි. මනුෂ්‍ය රුවේ ඉරියව් අනුව ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්‌ වියයුතුය. කඳ සෘජුව තබා ගනිමින් වම්පස පොළොව මත දිගා කොට, දකුණු පස ඔසවා, නවාගෙන හිඳගෙන සිටින ස්‌වරූපයෙන් නිරූපිත මනුෂ්‍ය කැටයමේ වමත භූමි ස්‌පර්ශ වෙද්දී දකුණත දකුණු පසේ දණහිස මත තබාගෙන සිටියි. පුද්ගලයාගේ දැස්‌ වම් පැත්තට යොමු වී ඇති අතර සෘජු බැල්මක්‌ ප්‍රකට කෙරෙයි. හිසට වැස්‌මක්‌ පළඳා ඇත. කුණ්‌ඩලාභරණ ද පළඳා ඇත. අත්වල සහ පාදවල ආභරණ පළඳා සිටින අතර, මහාරාජ ලීලාව මෙයින් ද ප්‍රකට කෙරෙයි. මනුෂ්‍ය රුවේ දකුණු උරහිස පැත්තට වන්නට අශ්ව හිසක්‌ ද වෙයි. සමස්‌ත නිර්මාණයේම උස අඩි දෙකක්‌ හා අඟල් අටක්‌ පමණය. මනුෂ්‍යයාගේ කෙස්‌ වැටිය උරහිස තෙක්‌ ම වැටී ඇත. උඩුකය නිරුවත් ය. නිර්මාණ ලක්‍ෂණ අනුව ක්‍රි.ව. 4 - 7 සියවස්‌වලට අයත් ය. සුරත මිට මොළවාගෙන සිටියි. පුෂ්ටිමත් ශරීරයක්‌ ඇති හෙතෙම කවරෙකු දැයි ස්‌ථිරවම නිගමනය කළ හැකි සාධක නැත.


මෙම නිර්මාණය පිළිබඳ පර්යේෂණයක්‌ කරන මහාචාර්ය පරණවිතානයන් "The structure of man and horse near Tisa Wewa" නමින් ශාස්‌ත්‍රීය ලේඛනයක්‌ ලියා ඇත. රන්මසු උයනේ ශිලා ලිපියක,


පොදනාවුළු පුලුඩාවෙන් කෙත්කම් සුලබ කොට.......


ලෙසින් සඳහන් පාඨය,


පාර්ජන්‍යයට හා අග්නිට පූජා කොට කෙත්වතු සුලබ කර...........


ලෙස අර්ථ ගන්වන මහාචාර්ය පරණවිතානයන් ඒ ඔස්‌සේ අශ්ව හිසෙන් අග්නි සහ මිනිස්‌ රුවෙන් පාර්ජන්‍යය නොහොත් ගින්න සහ වැස්‌ස සංකේතවත් කරන බව ප්‍රකාශ කරයි. කලා ලක්‍ෂණ අනුව පල්ලව නිර්මාණ සම්ප්‍රදායේ ලක්‍ෂණ ප්‍රකට කරන අතර, පරණවිතානයන් පවසන පරිදි මනුෂ්‍ය රූපයේ ඇස්‌ කෙළින්ම යොමුව තිබෙන්නේ විහාරයට පූර්ව දිශාවේ ඇති කෙත්වතු දෙසටය. පරණවිතාන මහතාට අනුව මනුෂ්‍ය රුවේ හිසේ ඇති ශීර්ෂාවරණය, ශීර්ෂාවරණයක්‌ නොව ජටාහර නමැති හිසකේ විලාසිතාවක්‌ වන බවය.


පාර්ජන්‍ය නොහොත් වර්ෂාව සහ අග්නි නොහොත් ගින්න සම්බන්ධ කරගනිමින් පරණවිතානයන් සිය අදහස ඉදිරිපත් කර තිබේ. මේ සම්බන්ධයෙන් මූලාශ්‍ර රැසක්‌ ම ඔහු දායක කරගෙන තිබෙන අතර, පාර්ජන්‍යය කැටයම් සඳහා මිනිස්‌ රුවක්‌ම උපයෝගී කර ගත්තේ මන්ද යන ගැටලුවත්, අග්නි සඳහා අශ්ව හිසක්‌ම උපයෝගී කර ගත්තේ මන්ද යන ගැටලුවත් ඉතිරිව පවතී. මීට අමතරව මධ්‍ය කාලීන සිංහල කලා කෘතියේ, ආනන්ද කුමාරස්‌වාමි විද්වතාණන් ප්‍රකාශ කර සිටින්නේ මෙමඟින් කපිල සෘෂිවරයා නිරූපණය වන බවය. ඔහුට අනුව සාගර නම් රජුගේ අශ්වමේධ නම් යාගයට කැප කළ අශ්වයා ඉන්ද්‍ර විසින් බේරා ගෙන ගොස්‌, කපිල සෘෂිවරයා පසුපස සඟවා තැබූ අයුරු මේ නිර්මාණයෙන් ප්‍රකට වන බවයි. නමුත් කපිල සෘෂිවරයාගේ රුවක්‌, ශ්‍රේෂ්ඨ බෞද්ධ පුදබිමකට වැද්දගත්තේ කුමන අභිලාෂයකින් ද? ලංකාවේ කිසිදු තැනක, විහාරයක කපිල සෘෂිවරයාගේ රුවක්‌ මෙතෙක්‌ සම්භ වී නැත.


ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතාගේ විශ්වාසය අනුව, පණ්‌ඩුකාභය රජතුමා සහ එතුමාට මාමාවරු හා සටනට උපකාර කළ චේතියා නම් වෙළඹ මිනිසා සහ අශ්ව හිස කැටයම මගින් නිරූපණය කරයි. නමුත් පණ්‌ඩුකාභය රජු ඉසුරුමුණියේ නිරූපණය කොට දැක්‌වීමට තිබූ අවශ්‍යතාව කුමක්‌ දැයි ගැටලුවකි. එසේම මේ හා සම්බන්ධව තවත් මත ඉදිරිපත්ව තිබේ. ඉන් එක්‌ මතයකට අනුව කාවන්තිස්‌ස රජතුමාගේ දසමහා යෝධයන්ගෙන් එක්‌ අයෙකු වූ වේළුසුමන, විහාරමහා දේවියට උපන් දොළ සංසිඳුවීම පිණිස එළාර රජුගේ නායක යෝධයාගේ ශීර්ෂය සිඳගෙන ඒම පිණිස අනුරාධපුරයට ගොස්‌ උපායෙන් හිස සිඳ, අස්‌හලේ සවිමත්ම අසු පිට නැගී විත් ගිමන් සංසිඳවූ අවස්‌ථාවකැයි දක්‌වන්නෝ ද වෙති. මේ සම්බන්ධව ඉදිරිපත් කරන වෙනත් මත අතර මෙම නිර්මාණයෙන් අශ්වාරෝහකයෙක්‌ නිරූපණය වන බවට වන මතයක්‌ ද පවතියි. මෙසේ බලන විට පෙනී යන එක්‌ කරුණක්‌ ඇත. එනම් ලංකා ඉතිහාසයේ යම් ප්‍රධාන චරිතයකට අසෙකු සම්බන්ධ වී ද ඒ ඔස්‌සේ තර්ක කොට ඒ රුව නිර්වචනය කිරීමට උගතුන් තැත් කර ඇති බවය. නමුත් අප ඉදිරිපත් කරන සංකල්පය ප්‍රායෝගිකව විහාරයකට යෝග්‍ය සංකල්පයක්‌ බව සඳහන් කරනු වටී. කපිල සෘෂීන්, පණ්‌ඩුකාභයලා, වේළුසුමනලා මේ විහාරයට කොතෙක්‌ දුරට සම්බන්ධ වී දැයි ද, එම චරිත නිරූපණය කිරීමෙන් බලාපොරොත්තු වන අපේක්‍ෂණය කුමක්‌ දැයි ද විමසිය යුතුය.
 ‍

මෙම නිර්මාණය හා සමාන නිර්මාණයක්‌ මහාබලිපුරම් හි පර්වතයේ ඇති අතර ඉන්දියාවේ මේ හා සමාන බොහෝ නිර්මාණ මගින් නේරංජනාව තරණය කරන සිද්ධාර්ථ කුමාරයා නිරූපණය කොට ඇත. නමුත් පරණවිතාන මහතා සිය ලිපියේදී එම අදහස සපුරාම බැහැර කරයි.


මේ නිර්මාණය සම්බන්ධයෙන් අපට එළැඹිය හැකි නිගමන දෙකකි. එකක්‌ නම් මෙමගින් නේරංජනා නදිය අසබඩ සිටින බෝධිසත්වයන් සහ කන්ථක අශ්වයා බව ය. දෙවැන්න දුටුගැමුණු රජතුමා සහ එතුමාගේ වෙළඹක වූ දීඝථුනී වෙළඹ බව ය. නමුත් අපගේ දර්ශනයට අනුව ඉසුරුමුණි නිර්මාණවලින් දුටුගැමුණු රජුගේ සම්බන්ධතාවක්‌ ප්‍රකට නොකරන නිසා, පිළිගත හැකි වන්නේ මිනිසා සහ අශ්ව හිස කැටයමෙන් ප්‍රකට වන්නේ අභිනිෂ්ක්‍රමණ අතරතුර නේරංජනා නදි තෙර හුන් බෝසතුන් වහන්සේ සහ කන්ථක අසු බව ය. නේරංජනා නදිය , ඉසුරුමුණි පොකුණ මගින් නිරූපණය කරයි. නිර්මාණයේ මනුෂ්‍ය පරිමාණයට සාපේක්‍ෂව අශ්ව හිසේ ප්‍රමාණය ද වැරදිය. අප කල්පනා කරන ආකාරයට මිනිස්‌ රුව නොහොත් සිද්ධාර්ථ කුමාරයා හුන් තැන ම කන්ථක අශ්වයා හිඳගෙන සිටියි. පුරුෂයාගේ දැසෙහි ඇති තිරසාර බැල්මෙන් ස්‌වකීය ඉදිරි මාවත පිළිබඳ වන අදිටන ප්‍රකට වෙයි. ආභරණ අවම වශයෙන් දක්‌වා තිබීම තුළින් ගිහිගෙය පිළිබඳව කලකිරී සිටි බව ගම්‍ය වෙයි. ඉසුරුමුණියේ සියලු කලාංගයන් සම්බන්ධව බෝධිසත්වයන් වහන්සේගේ ජීවිත කථාව ආශ්‍රිත මතවාද එළි දැක්‌වීම අනුව ඉසුරුමුණිය අවට ප්‍රදේශයේ සිදුහත් කුමරාගේ ජීවිතය හා බැඳි සුවිශේෂී සිද්ධීන් නිරූපණය කරන නිර්මාණ තිබුණු බවට විශ්වාස කළ හැකිය.

සම්බන්ධිත කියවීම්

දළදා වහන්සේ, දළදා පෙරහර සහ වර්ෂාව අතර සබැදියාවක් තිබේද?