පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, January 27, 2015

ස්කොට්ලන්ත දුම්රියපලක දමා ගිය බල්ලාගේ කතාව - Dog abandoned with suitcase at train station



දුක්බර මුහුණකින් යුතුව සිටින මේ සුනඛයාගේ ඡායාරූප සහ තොරතුරු පසුගිය දිනවල විදෙස් මාධ්‍ය බොහොමයක් දක්නට හැකිවිය. මේ ඡායාරූප දුටු බොහෝ දෙනා, විශේෂයෙන් සුරතල් සතුන්ට ආදරය දක්වන්නෝ සහ සත්ව අවිහිංසාවාදීහු මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළහ. සමාජ ජාල වෙබ් අඩවිවල මේ සුනඛයාගේ දුක්බර මුහුණ සහිත ඡායාරූප පළවන්නට විය. මොහු පිළිබඳ අනුකම්පාවෙන් දහස් ගණන් දෙනා අදහස් දක්වන්නට වූහ. මොහුගේ වගකීම භාරගන්නට බොහෝ දෙනෙකු ඉදිරිපත් වූහ.

මේ සුනඛයා බලධාරීන්ට හමු වූයේ ස්කොට්ලන්තයේ දකුණු අයර්ෂයර් ප්‍රාන්තයට අයත් අයර් දුම්රිය ස්ථානයේ සිටියදීය. බැලූ බැල්මට මොහු යම්කිසිවකු විසින් හිතාමතාම අතරමං කොට ගිය වගක් පෙනෙන්නට තිබිණි. සුනඛයෙක් මහ මග අතරමං කොට යාම අපගේ වැනි රටක මාධ්‍යයක තබා සාමාන්‍ය වැසියන්ගේ ද අවධානයට ලක් නොවුණ ද ලෝකයේ බොහෝ රටවල එසේ නොවේ. සත්ව අවිහිංසාව පිළිබඳ අප රටේ බොහෝ දෙනෙක් කතා බහ කළ ද ප්‍රායෝගික තලයේදී එවැන්නක් දැකගත නොහැක්කේ අප රටේ ජනතාව හදවතින්ම සතුන් කෙරෙහි දයානුකම්පාවක් නොදක්වන නිසා ද යන්න සිතේ. අප මේ පුවත් පිළිබඳ තොරතුරු දැනගත යුත්තේ ඒ නිසාමය.



කායිනමින් හඳුන්වනු ලබන මේ සුනඛයා දුම්රිය ස්ථානයේ වැටක ගැට ගසා තිබියදී බලධාරීන්ට හමුවිය. ඌ අසළ ඇඳුම් ගෙන යන වර්ගයේ බෑගයක් තිබුණු අතර එහි සුනඛ ආහාර, සෙල්ලම් බඩු, භාජනයක් හා කොට්ටයක් ද තිබිණි. ස්කොට්ලන්ත සත්ව සුබසාධන ආයතනයේ නිලධරයකු වන ස්ටුවර්ට් ටේලර් පැවසූයේ සුනඛයා සම්බන්ධව මයික්‍රෝ චිපයක් හමු වූ බවය. මයික්‍රෝ චිපය ඔස්සේ මේ සුනඛයාගෙන නම කායිබව සොයාගැන්නට හැකිවිය. මයික්‍රෝ චිපය ලියාපදිංචි කොට ඇති පුද්ගලයාගේ තොරතුරු සොයාගන්නට බලධාරීන්ට හැකිවිය. ඔහු පැවසූයේ තමා 2013 වසරේදී මේ සුනඛයාව අන්තර්ජාලය ඔස්සේ අළෙවි කළ බවය. නමුත් ඔහුව මිලදීගත් පුද්ගලයාගේ ලිපිනය තමා නොදන්නා බව ඔහු පැවසූයේය. අන්තර්ජාලය ඔස්සේ සුරතල් සතුන් අළෙවිකිරීම පිළිබඳ විවිධ අදහස් ද මේ ඔස්සේ ඉස්මතු විය.

කායි මේ විදිහට අතරමං කොට දමා යාම සරල සිදුවීමක් නොවෙයි. මෙය ඉතා කෲර ක්‍රියාවක්. අපි මෙයට වගකිව යුතු පුද්ගලයාව කෙසේ හෝ සොයගෙන්නවා.එක් බලධාරියකු එසේ පැවසූයේය.

ෆින් රේනර් 

කෙසේ මුත් වැඩි ආයාසයකින් තොරව කායිට මේ අපරාධය කළ පුද්ගලයා හමුවිය. ඒ 35 හැවිරිදි ෆින් රේනර් නම් කාන්තාවකි. ඇය පවසන්නේ අන්තර්ජාලය හරහා මෙම සුනඛයා විකිණීම සඳහා තිබූ බවත්, ඇය පවුම් 400කට (ආසන්න වශයෙන් රුපියල් 80,000ක් පමණ) කැමැත්ත පළ කළ බවත් ය. මෙම දැන්වීම පළකළ පුද්ගලයා කායි ව අයර් දුම්රිය ස්ථානය අසළට රැගෙන ඒමට කැමැත්ත පළ කොට ඇත. ඇය දුම්රිය ස්ථානයට පැමිණ බැලූ පසු දුටුවේ දැන්වීමේ පින්තූරයට වඩා එහි සිටි සුනඛයා වෙනස් බවය.

මම කිව්වා බල්ලාව ටිකක් ඇවිද්දවලා බලන්න ඕන කියලා. ඒ වතාවේ ඔහු කිව්වා මම යම් විදිහකින් ආපසු නාවොත් කියලා පවුම් 150 ක් (ආසන්න වශයෙන් රුපියල් 30,000ක් පමණ) ගෙවා අරන් යන්න කියලා. ඊට පස්සේ ඔහු එකපාරටම කාර් එකේ නැගලා යන්න ගියා. මම ඔහුට දුරකතනයෙන් කතා කළා. ඒත් ඔහු අවේ නැහැ. මම මේ බල්ලාව පරීක්ෂා කළා. උගේ සම තුනියි. නමුත් පින්තූරයේ හිටියේ ලෝම පිරුණු බල්ලෙක්. අනෙක මේ බල්ලා හැම තැනම මුත්‍රා කරනවා. මට කීකරු පෙනුමක් තිබුණෙත් නැහැ.



ඇය පවසන්නේ එවැනි කතාවකි. මෙම හේතූන් නිසා ඇයට කායි නිවෙසට රැගෙන යාමට තරම් කැමැත්තක් පහළ වී නෙමැත. ඇය කළේ කායි දුම්රිය ස්ථානයේ වැටක් වැනි ස්ථානයක ගට ගසා සෙමින්ම එතැනින් පිටව යාමය. කෙසේ වෙතත් ස්කොට්ලන්ත නීතියට අනුව සතකු මෙසේ අතරමංකොට යාම එහි සත්ව සෞඛ්‍ය හා සුබසාධන පණත යටතේ වරදකි. එවැනි වරදක් කළ අයෙකුට යම්කිසි නිශ්චිත කාල සීමාවක් දක්වා හෝ ජීවිතාන්තය දක්වා හෝ සුරතලයට සතකු ඇතිදැඩිකිරීම තහනම්ය.

කායි මෙසේ අතහැර දමා සිටියදී හමුවූයේ පසුගිය ජනවාරි 2 වැනිදාය. එදා සිට මේ වනතුරු ඌ ජීවත්වන්නේ ස්කොලන්ත සත්ව සුබසාධන මධ්‍යස්ථානයේය. කායි හදාවඩාගැනීමට කැමැත්ත පළකරමින් දහස් ගණනින් දුරකතන ඇමතුම් ගළා එයි. ඒවා අතර ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයෙන් පැමිණි දුරකතන ඇමතුම් ද විය.

මෙම මධ්‍යස්ථානයේ සහායකයකු වන ඇලන් ග්‍රාන්ට් පවසන්නේ සිය අයිතිකරුවන් තමාව අතහැර යනු දුටු බැවින් කායි තවමත් සිටින්නේ තරමක මානසික කඩාවැටීමක බවය. තම අයිතිකරුවන් තමා අතහැර යාම සුනඛයන්ය බොහෝ සෙයින් දැනෙන්නක් බව ඔහු පවසයි. කායිගේ සිරුරේ සුළු තුවාළ ද ඇති බැවින් ඒවා සුවවන තුරු ඌ නව අයිතිකරුවකුට භාරදීම කළ නොහැකි බව ඔහු පවසයි. අනෙක ඇසක ශල්‍යකර්මයක් ද කළ යුතුව තිබේ. මේ වෙනුවෙන් A JustGiving නම් වෙබ් අඩවිය අරමුදලක් ද ආරම්භ කොට ඇති අතර මේවන විට එයට පවුම් 3,800 (ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ හතහමාරකට අධික මුදලක්) එකතු වී තිබේ. මෙය අපේක්ෂිත මුදල් ප්‍රමාණය ඉක්මවා යන තරම් මුදලකි. එබැවින් ඉතිරිවන මුදල් තවත් බොහෝ අසරණ සතුන්ගේ සුබසාධනය සඳහා යොදවිය හැකි බැව් මෙහි නිලධාරීහු පවසති.

කායිගේ ශල්‍යකර්ම ආදිය නිමවී නැවතත් සාමාන්‍ය තත්වයට පත් වූ පසු වඩාත් ආදරබර අයිතිකරුවකු සොයා බාරදිමට අපි බලාපොරොත්තු වෙනවා. එතෙක් ඌ අප භාරයේ සිටීවි.

මෙම මධ්‍යස්ථානයේ එක් නිලධාරියකු පැවසූයේය. කායිට ආදරණිය හිමිකරුවකු හමුවේ ජීවිතය සුපවත් වේවා කියා අපි ද ප්‍රාර්ථනා කරමු.





Monday, January 26, 2015

සඳ ජයගත් අසිරිමත් මිනිසකුගේ හෙවත් නීල් ආම්ස්ට්‍රෝන්ග්ගේ කතාව - A tribute to Neil Armstrong, the man who won the Moon



මා මෙය  සමුදුර පුවත්පතට 2012 වසරේදී ලියන ලද්දේ මේ අපූරු මිනිසාගේ නික්ම යාම වෙනුවෙනි. දෙවසරක් ගත වුව ද මෙය නව සටහනක් ලෙස මෙහි තබන්නේ ඔහු ගැන බොහෝ තොරතුරු මෙහි ඇතුළත් නිසාත්, එය බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වේ යැයි සිතෙන නිසාත් ය.




මෙය මිනිසාට කුඩා පියවරක් වුවත්, මිනිස් සංහතියට මෙය යෝධ පිම්මක් වනු ඇත



පොලොවෙන් කිලෝමීටර් 384,400ක් දුරින් පිහිටි සඳ මත සිට මේ අභිමානවත් ප්‍රකාශය කළ ඒ අසිරිමත් මිනිසා 2012 අගෝස්තු 25 වැනිදා මෙලොවින් සමුගත්තේය. ඔහු අන් කිසිවකු නොව සඳ මත මුළින්ම සිය පා සළකුණ සටහන් කළ ඇමෙරිකාන් ජාතික නීල් ආම්ස්ට්‍රෝන්ය.



ඔහුගේ නමට ඉදිරියෙන් ඇති තනතුරු හා නම්බු නාම බොහෝය. ඒවා අතුරින් ගගනගාමී, අත්හදාබැලීමේ ගුවන් නියමු, ගගන ඉංජිනේරු, සරසවි මහාචාර්ය සහ එක්සත් ජනපද නාවික ගුවන් නියමු ආදී ඒවා ප්‍රමුඛ වේ. ඔහු ඇමෙරිකා එකසත් ජනපදයේ පර්ඩියු හා දකුණු කැලිෆෝර්නියානු සරසවිවල උපාධිධරයකු ද වන්නේය. ඒ සියල්ලටම වඩා අප ඔහු හඳුන්නනේ සඳ මත පා තැබූ මුල්ම මිනිසා ලෙසිනි.  මේ සටහන තබන්නේ ඒ අපුරු මිනිසා වෙනුවෙනි.



වර්ෂ 1930 අගෝස්තු 5 වැනිදා නීල් ආම්ස්ට්‍රෝන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ වැප්කොනෙටා හිදී උපත ලැබුවේය. ඔහුට ඇත්තේ ස්කොට් - ජර්මානු සම්භවයකි. ඔහුට ජූන් නමින් සොයුරියක් ද ඩීන් නමින් සොයුරෙක් ද සිටියේය. නීල් ආම්ස්ට්‍රෝන්ගේ උපතින් පසුව ගෙවුණු වසර 15 මුළුල්ලේම ආම්ස්ට්‍රෝන් පවුල ඔහියෝ ජනපදයේ විවිධ ස්ථානවලට සංක්‍රමණය වෙමින් එකිනෙකට වෙනස් නගර 20කටත්  වඩා  ජීවත් වූහ.



අහසේ පියඹා යන්නට ආම්ස්ට්‍රෝන් හට කැමැත්තක් ඇති වූයේ මේ කාලයේදීය. ආම්ස්ට්‍රෝන්ගේ පියා ඔහුව ක්ලීව්ලන්තයේ ගුවන් තොටුපළලකට කැටිව ගියේය. ඒ වන විට ආම්ස්ට්‍රෝන් දෙහැවිරිදි වියෙහි පසු විය. 1936 ජූලි 30 වැනිදා ඔහු සිය මුල්ම අහස් ගමන් අත්දුටුවේය. ඒ වන විට ඔහු සවැනි වියෙහි පසුවූයේය.


26 හැවිරිදි වියේදී


1944 දී බ්ලූම් උසස් විද්‍යාලයට ඇතුළු වූ ආම්ස්ට්‍රෝන් එම පළාතේ පිහිටි ගුවන් තොටුපළකින් ගුවන් ගමන් පිළිබඳ හදාරන්නට පටන් ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස  15 හැවිරිදි වියට පා තබනවාත් සමගම ඔහුට ගුවන් යානා පැදවීම පිළිබඳ සහතිකයක් දිනා ගැනීමට හැකිවිය. ඒ වන විට බාලදක්ෂ කණ්ඩායමකට අනුයුක්තව සිටි ඔහු එහි දක්ෂතා පෙන්වීමෙන් අනතුරුව ඊගල් ස්කවුට්යන නිලය හිමි කරගත්තේය.



1947 දී ආම්ස්ට්‍රෝන් පර්ඩියු සරසවියෙන් ගගන තාක්ෂණය පිළිබඳ හැදෑරීම ආරම්භ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස 1955 දී ඔහු පර්ඩියු සරසවියෙන් ගගන තාක්ෂණ ඉංජිනේරු විද්‍යාව පිළිබද උපාධියක් ද හිමි කර ගත්තේය.



යුද සේවය



ආම්ස්ට්‍රෝන්ගේ ඉගෙනීමේ වැඩකටයුතු එක දිගට කරගෙන යන්නට ඔහුට ඉඩකඩ නෙැලැබුණු තරම්ය. එයට හේතුව වූයේ කොරියානු යුද්ධයයි. වර්ෂ 1949 දී ඔහුට කොරියානු යුද්ධය සඳහා කැඳවීමක් ලැබිණි. එහිදී නාවික ගුවන් භටයකු ලෙස ඔහු සටන් සහිත ගුවන් ගමන් 78 කට දායක වූයේය. යුද සේවයෙන් 1952 දී සමුගත් ඔහු යළි අධ්‍යාපන වැඩකටයුතු කෙරෙහි සිත යොමු කරන්නට පටන් ගත්තේය. ඉන් වසර කිහිපයකට පසු ඔහු ජාතික ගගන විද්‍යා උපදේශන කමිටුව සඳහා තෝරා ගැනුණි. පසු කාලයේදී ජාතික ගගන විද්‍යා හා අභ්‍යවකාශ පරිපාලන ආයතනය හෙවත් නාසා ආයතනය (NASA) බවට පත්වූයේ මෙයයි. ඔහු මෙම රාජ්‍ය ආයතනයේ විවිධ තනතුරු රැසක්ම දරුවේය. ඒ අතරින් අත්හදාබැලීමේ ගුවන් නියමු තනතුර සුවිශේෂීය. මෙහිදි සිදුවන්නේ අලුතින් නිෂ්පාදනය කරන්නාවූ ගුවන් යානා අත්හදා බැලීම් සඳහා සහභාගිවීමය. මේ අතුරින් අධිවේගී ගුවන් යානා සඳහා විශේෂ ස්ථානයක් හිමිවේ. ඔහුගේ අත්හදා බැලීමේ ගුවන් යානා අතර පැයට සැතපුම් 4,000ක වේගය ඉක්මවා යන ඞ - 15 වර්ගයේ ගුවන් යානා ද තිබිණි.



අභ්‍යවකාශගාමී ජීවිතය

 
1966 මාර්තු මාසයේ ජෙමින් යානයේ ගමනට සූදානම් වෙමින්

ඔහුගේ ගගනගාමී ජීවිතය ආරම්භවන්නේ ජීවිතය ස්ථාවර වන්නට පටන් ගැනීමත් සමගය. ඔහු 1956 ජනවාරි 28 වැනිදා ජැනට් ෂැරොන් හා විවාහ දිවියට එළැඹියේය. වැඩි කාලයක් නොගොසින් ඔවුනගේ පවුලේ සාමාජික සංඛ්‍යාව වැඩිවන්නට පටන් ගැනුණි. ඒ 1957 දී ඔවුනගේ පුතු වූ එරික් සහ 1959 දී කැරන් දියණිය ඔවුන්ගේ ජීවිත හා එක්වීමත් සමගිනි. නමුත් කැරන් වැඩි කාලයක් මේ පවුලේ සාමාජිකාවක ලෙසින් සිටින්නට වාසනාව නොලැබුවාය. ඇය 1962 දී මොළයේ පිළිකාවක් වැළඳීමෙන් සදහටම ආම්ස්ට්‍රෝන් පවුලෙන් නික්ම ගියාය. ඊට පසු වසරේදී මාර්ක් ඔවුනගේ පවුලට පැමිණියේය. ඒ ඔවුනගේ ඊළඟ පුතු ය.


නීල් සහ ජැනට්


නීල් ආම්ස්ට්‍රෝන් සිය අභ්‍යවකාශ ජීවිතය ආරම්භ කළේද මේ වසරේදීමය. ඔහු සිය පවුලේ පිරිසත් සමග ටෙක්සාස් ජනපදයේ හූස්ටන් කරා පදිංචියට ගියේය. සිය කුළුඳුල් අභ්‍යවකාශ චාරිකාව සඳහා යොදා ගැනුණු ජෙමිනි 7 යානයේ අණදෙන නියමුවා වූයේ ඔහුය. ඔහුත් ඔහුගේ සහකාර නියමු ඩේවිඩ් ස්කොට් 1966 මාර්තු 16 වැනිදා ජෙමිනි 7 යානයෙන් පෘථිවි කක්ෂයට ඇතුළු වූහ. මෙම චාරිකාවේදී යම් යම් ගැටළු මතුවූ බැවින් ගමන සිතුවාට වඩා ඉක්මණින් නිම කරන්නට සිදුවිය. ඔවුන් පෘථිවියට පැමිණි යානය උදේ 11 ට පමණ පැසිෆික් සාගරයට පතිත විය.



සඳ ගමන





ආම්ස්ට්‍රෝන් අතට ඊළඟ භාරදූර වගකීම පැටවුණේ 1969 දීය. ඒ මයිකල් කොලින්ස් සහ එඩ්වින් ඔල්ඩ්‍රින් සමග සඳ ගමනට සහභාගී වීමය. එය මිනිසුන් සහිත යානයක් සඳ මතට ගොඩබස්සන්නට ඇමෙරිකාව ගත් උත්සාහයන්ගේ එක් අවස්ථාවක් විය. මෙම ගගනගාමීන් තිදෙනා 1969 ජූලි 16 වැනිදා ඇපලෝ 11 යානායෙන් සඳ කරා ගමන් ආර්ම්භ කළේය. මෙහිදී සඳ හෙවත් ලූනා මොඩියුලයේ නියමුවා වූයේ නීල් ආම්ස්ට්‍රෝන් වූ අතර අණදෙන මොඩියුලයේ නියමුවා වූයේ මයිකල් කොලින්ස් ය. සඳ මොඩියුලය 1969 ජූලි 29 වැනිදා නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඔල්ඩ්‍රින් සමඟ සඳ මතට ගොඩ බැස්සේ ලොවක් මවිත කරවමිනි.



රාත්‍රි 10.56 ට සඳ මොඩියුලයෙන් පිටතට පැපැමිණි නීල් ආම්ස්ට්‍රෝන්, “මෙය මිනිසකුට කුඩා පියවරක් පමණක් වුවත්, මිනිස් සංහතියට මෙය යෝධ පිම්මක් වනු ඇතයනුවෙන් විශ්වය හමුවේ අභිමානවත් ප්‍රකාශයක් කළේය. අනතුරුව සඳමත ප්‍රථම පා සටහන තැබූ ඔහු සිය සඟයා වූ එඩ්වින් ඔල්ඩ්‍රින් සමඟ එක්ව සඳ මත පැය දෙකහමාරක පමණ කාලයක් ගත කළේය. සඳ මත වූ සිය පා සළකුණ ඇතුළු තවත් බොහෝ දෑ ඔවුහු ඡායාරූප ගත කළහ.



සඳෙන් නික්මුණු ඔවුන් රැගත් යානය  1969 ජූලි 24 වැනිදා හවායි සිට බටහිරින් පිහිටි පැසිෆික් සයුර මතට පතිත විය. ඉන් පසුව ඔවුන්ව සති තුනක් නිරෝධායන ක්‍රියාවලියකට බඳුන් කෙරිණි.



සඳ ජයගත් නීල් ආම්ස්ට්‍රෝන් ඇතුළු පිරිසට ලොව සතර අතින් සුබ පැතුම් ගළා එන්නට විය. ඇමෙරිකානු පුරවැසියකුට ලැබිය හැකි උසස්ම සම්මානයන් වූ ස්වෛරී පදක්කම හා ගෞරවනීය කොන්ග්‍රස් අභ්‍යවකාශ පදක්කම ඇතුළු තවත් සම්මාන රැසක්ම ආම්ස්ට්‍රෝන් හට හිමි විය.



පසුකාලීන වැඩකටයුතු



නීල් ආම්ස්ට්‍රෝන් නාසා ආයතනයත් සමඟ දිගටම රැඳී සිටියේය. 1971 වන තුරු ඔහු ගගන විද්‍යාව පිළිබඳ නියෝජ්‍ය සහකාර පරිපාලක ලෙස සේවය කළේය. පසුව නාසා ආයතනයෙන් ඉවත්වූ ඔහු සින්සිනාති සරසවියේ ගගන විද්‍යා ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ මහාචාර්යවරයක ලෙස සේවයට බැඳුනේය. ඔහු එහි වසර 8ක් සේවය කළේය. ඔහු 1982 - 1992 කාලයේ ගුවන් ගමන් පිළිබඳ පරිගණන තාක්ෂණ ආයතනයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.



මරණය හා උරුමය



නීල් ආම්ස්ට්‍රෝන් යනු මිනිස් ඉතිහාසයේ සිටි සුප්‍රකටතම අභ්‍යවකාශගාමියා වුවද ඔහු නිතර උත්සාහ කළේ මහජනතාවගෙන් හා මාධ්‍යයෙන් සැඟව සිටින්නටය. පුවත් හා රූපවාහිනි වැඩසටහසන්වලින් හැකිතාක් දුරස්ව සිටි ඔහු 2006 වසරේදී කවුරුත් නොසිතූ පරිදි සික්ස්ටි මිනිට්ස් (60 Minutes) නම් සුප්‍රකට රූපවාහිනි වැඩසටහන සඳහා සහභාගීවන්නට කැමැත්ත පළ කළේය. ඔහු එහිදී තමන් සඳ මත වූ චමත්කාරය ඉතා ආන්නදජනක ලෙස සිහිපත් කළේය. එයට පෙර වසරේ, එනම් 2005 දී ඔහු  First Man: The Life of Neil A. Armstrong නමින් සිය ජීවිත කතාව එළිදැක්වූයේය.



සිය ජීවිතයේ අවසාන සමය ද ඔහු කැපකළේ අභ්‍යවකාශ කටයුතු සඳහාමය. එක්සත් ජනපද අභ්‍යවකාශ වැඩසටහන වෙනස්කම්වලට බඳුන් කිරීම කෙරෙහි සිය කනස්සල්ල පළකරමින් කළ ප්‍රකාශය සමඟ මාධ්‍යයෙන් සැඟව සිටීමට නිරන්තරව උත්සාහ ගත් මේ අසිරිමත් අභ්‍යවතාශගාමියා යළිත් ඉස්මතුවන්නට පටන් ගත්තේය. ජනපති බැරක් ඔබාමා අභ්‍යවකාශ වැඩසටහන කෙරෙහි කළ වෙනස්කම් කෙරෙහි ආම්ස්ට්‍රෝන් සිය විරෝධය එළිපිටම පළ කළේය.



2012 අගෝස්තු මාසයේ මුල් භාගයේදී ආම්ස්ට්‍රෝන් හට හෘද බයිපාස් සැත්කමකට බඳුන්වන්නට සිදුවිය. සතියක් ගතවිය.



සඳ ජයගත් මේ අසිරිමත් මිනිසාට මරණය ජයගන්නට හැකිවූයේ නැත. 2012 අගෝස්තු 25 වැනිදා ඔහු සියල්ල හැරදමා මෙලොවින් නික්ම ගියේය. ඒ වනවිට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය. ඔහු ඒ වන විට සිටියේ සිය දෙවැනි බිරිඳ වූ කැරොල් හා මුල් විවාහයේ පුතුන් දෙදෙනා සමගින් ඉන්ඩියානා හිල් නගරයේය. ඔහු 1994 දී සිය ප්‍රථම බිරිඳගෙන් වෙන්වූයේය.



ආම්ස්ට්‍රෝන්ගේ මරණයෙන් මොහොතකට පසු ඔහුගේ පුවලේ පිරිස විශේෂ නිවේදනයක් නිකුත් කළේය.



අප නීල් ආම්ස්ට්‍රෝන් හට ගෞරව කරනු වස් කුමක් කළයුතුදැයි අසන හිතවතුන් වෙනුවෙන් අපි මෙසේ ප්‍රකාශ කරමු. අප ඔබගෙන් ඉල්ලන ගෞරවය වන්නේ ඉතා සරල දෙයකි. පැහැදිලි අහසක් ඇති රාත්‍රියක ඔබ එළිමහනේ සක්මන් කරන්නේ නම් ඔබ දෙස සිනාසෙමින් බලාසිටින සඳ දෙස බලන්න. මේ අසිරිමත් මිනිසා පිළිබඳ ලෙංගතු හැඟීමෙන් සඳ දෙස බලා සිනාසෙන්න.



ඒ ඉල්ලීම ඉටුකරන්නට ඔබට ද මට ද වෙහෙසවිය යුතු නැත. මිනිස් සංහතිය වෙනුවෙන් මහා මෙහෙයක් කළ මේ අපූරු මිනිසා වෙනුවෙන් අප ඒ ගෞරවය කළ යුතුමය. සඳ දකින විට අප ඔහු සිහිපත් කළ යුතුමය.




Thursday, January 22, 2015

වචන නැතිව කතා කිරීම හෙවත් වාචික නොවන සන්නිවේදනය - What is Non verbal communication

 
දුරකතනයෙන් අමතන්නයැයි හඟවන සංඥාව
අද සන්නිවේදන තාක්ෂණය කෙතරම් දියුණු වී තිබුණත්, බොහෝ අවස්ථාවලදී අප අතර කතා බහට අපි විවිධ ඉරියව්, අංගචලන වැනි වාචික නොවන ක්‍රම යොදාගන්නවා. විශේෂයෙන් අපගේ සිතට සතුටක් දැනෙන දෙයක් ලැබුණොත්, ඇසුනොත්, “මම දැන් ඉන්නේ හරි සතුටින්වැනි දෙයක් පවසන්නේ නැති තරම්. ඒ වෙනුවට අපි එය පෙන්වන්නේ සිනහවකින්. එහෙනම් මම හෙට නොවරදවාම සල්ලි ගෙනැත් දෙන්නම්වැනි දෙයක් පැවසුවහොත් බොහෝ දෙනෙක් එයට වාචිකව වගේම අංග චලනයෙන් ද පිළිතුරු දෙනවා. අතේ ඇඟිළි හතරක් නවා, මහපටඟිල්ල පමණක් ඉහළට එසවීමෙන් එසේ කියපු දෙය තවත් තහවුරු කිරීම අප බොහෝ දෙනෙක් අතර පවතින පුරුද්දක්. තමන්ගේ හිතවතෙකුගෙන් වෙන්වන අවස්ථාවකදී ඇතැම් අය අතේ මැද ඇඟිලි තුන නවා සුළැඟිල්ල සහ මහපටඟිල්ල දිගු කර කණට තබා පෙන්වනවා. එය බැලූ බැල්මට දුරකතනයක රීසීවරයට සමාන පෙනුමක්. එයින් පවසන්නේ දුරකතන ඇමතුමක් හෝ ඇමතුම් දෙන ලෙසයි.  පිරිසක් අතර සතුටුදායක දෙයක් සිදුවූ විට අතේ ඇඟිළි සියල්ල විහිදා අත්ලට අත්ල තදින් හැප්පීම සිදු කරනවා. පහක් දානවායනුවෙන් බොහෝ දෙනෙක් මෙය හඳුන්වනවා. මෙවැනි වාචික නොවන සන්නිවේදන ක්‍රම තව රාශියක්ම අප අතර පවතිනවා. නමුත් මේවා කථන සහ ශ්‍රවණ ආබාධ ඇති අය වෙනුවෙන් යොදාගන්නා සංඥා භාෂාව නොවෙයි. මේවා අතර ඇතැම් ඒවා යම් යම් වෘත්තීන් සඳහා නිශ්චිත වශයෙන් යොදාගන්නා ඒවා තිබෙනවා. හෙලිකොප්ටරයක් හෝ කුඩා ගුවන් යානයක්  ඉහළට ඔසවන විට හා ගොඩබාන විට යොදාගන්නා වාචික නොවන සන්නිවේදන ක්‍රම මෙයට එක උදාහරණයක්. ඊට අමතරව අනෙක් බොහෝ ඒවා සාමාන්‍ය මිනිසුන් අතර සන්නිවේදන කටයුතු සඳහා යොදාගැනෙනවා. මේවා සියලුම වාචික නොවන සන්නිවේදන අංගචලනවල විශේෂත්වයක් වන්නේ බොහෝ විට ලෝකයේ සියලු තැන මේවා පොදුවේ එකම අර්ථයකින් යොදාගැනීමයි. එනම් මෙය විශ්ව භාෂාවක් හා සමාන වීමයි. 

පහක් දානවා’ (high five) යන්න හඟවන සංඥාව

මේ වාචික නොවන සන්නිවේදනය තව තාක්ෂණික උපාංග සඳහා ද එකතු කොට තිබෙනවා. එය මිනිසුන් අතර සන්නිවේදනයට කොයි තරම් වැදගත් ද කියන එකයි එයින් ඔප්පු වන්නේ. ඔබේ ජංගම දුරකතනයේ කෙටි පණිවිඩ සඳහා ඇති යෙදුමේ emoticons  smilies  වැනි නම්වලින්  ඇත්තේ මේවායි. smilies වල ඇත්තේ බොහෝ විට විවිධ හැඟීම් පෙන්වන මුහුණු. emoticons වල බොහෝ විට මුහණුවලට අමතරව වෙනත් අංග චලනයන් සහ පින්තූර ඇතුළත්. ඒවා ජංගම දුරකතනයෙන් යවන ලබන පණිවිඩයේ ඇති අර්ථය තීව්‍ර කරන්නට යොදාගත හැකියි. ලියන ලද වචනයකින් බොහෝ විට ඒ පවසන දෙයට ගැළපෙන හැඟීම ඇතිකිරීම දුෂ්කරයි. ඔය වැඩේ නතර කරන්නකියා ජංගම දුරකතනයකින් පණිවිඩයක් යැව්වොත් එය හොඳින් පැවසූ දෙයක් ද, තරහින් පැවසූ දෙයක් ද, එසේත් නැත්නම් විධානයක් ද කියා තේරුම්ගන්නට අපහසුයි. emoticons හෝ  smilies ඇත්තේ මෙවැනි අවස්ථාවකදී උදව්වට ගැනීමටයි. මේවා ජංගම දුරකතනවලට අමතරව සමාජ ජාල වෙබ් අඩවිවල, ඊමේල් යෙදුම් ආදියේත් දක්නට ලැබෙනවා. මේ නිසා වාචික නොවන සන්නිවේදනයට ලෝකයේ ඇති තැන ගැන අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ. 

අනුමත කිරීම හඟවන සංඥාව

මිනිසා අතර සිය පරිණාමයේ මුල් සමයේ සිටම වාචික නොවන සන්නිවේදන ක්‍රම තිබුණත්, අද අපි අතර පවතින ක්‍රමවල අතීතය පවතින්නේ එතරම් දුරක නොවෙයි. විද්‍යාඥයන් පවසන්නේ වර්තමානයේ අප අතර පවතින මෙම ක්‍රම ආරම්භ වී ඇත්තේ 1872 වසරේදී චාල්ස් ඩාවින් ලියූ The Expression of the Emotions in Man and Animals පොත ඇසුරින් බවයි. වාචික නොවන සන්නිවේදනයට අංග චලනයෙන් පෙන්වන ක්‍රියාවන් පමණක් ඇතුළත් වන්නේ නැහැ. යම් පුද්ගලයකුගේ බැල්ම, ඇඳුම් පැලඳුම්, මුහුණේ ඉරියව්, ශාරීරික වශයෙන් ඇතිවන සමීපබව, ස්පර්ශය වගේ දේවල් ද එයට ඇතුළත් වෙනවා. මෙවැනි සන්නිවේදනයක් මගින් ඉටුවන ප්‍රධාන කරුණු කිහිපයක් ගැනත් සඳහන් කළ යුතුයි. 

1. ඔබ වචනයෙන් පැවසූ දෙයම නැවත වතාවක් වචනයෙන් නොකියා වෙනත් ආකාරයකින් පවසන්නට හැකිවීම.
2. වචනයෙන් පවසන්නට නොහැකි අවස්ථාවක දී තම අදහස පවසන්නට ආදේශකයක් විදිහට යොදාගන්නට හැකිවීම.
3. ඔබ පවසන දෙය තවත් අර්ථවත් කිරීමට හැකිවීම.
4. ඔබ පවසන දෙයක් තවදුරටත් තහවුරු කිරීමට හැකිවීම. 

ජයග්‍රහණය හඟවන සංඥාව

වාචික නොවන සන්නිවේදනය බොහෝ විට කිසිදු භේදයක් නොමැතිව අයුරින් ලෝකය පුරාම පැතිර පවතිනවා වුණත් මෙය ගැහැනු හා පිරිමි අතර යම් යම් වෙනසක් සහිතව සිදුවන බව සොයාගෙන තිබෙනවා. ගැහැනු තම හැඟීම් නොවලහා පෙන්නුවත් පිරිමින් එසේ කරන්නේ නැහැ. පිරිමින් බොහෝ විට සිනහ වෙන්නේ සතුටක් හෝ හාස්‍යජනක අවස්ථාවකදී පමණක් වුණත්, ගැහැනුන් දුක්බර අවස්ථාවකදී පවා සිනහ වෙනවා. 

. ‛කැමතියියන්න හඟවන සංඥාව

ඒ වගේම පිරිමින් සමග කතා බහේදී කාන්තාවන්ගේ වාචික සන්නිවේදය යොදාගැනීමේ ප්‍රබලත්වය අඩු යැයි සොයාගෙන තිබෙනවා.  ඒ වගේම පිරිමින්ට වඩා ගැහැනුන්ගේ ප්‍රතිචාර වැඩි නමුත්, එහි පාලනයක් නොමැති බව ද අධ්‍යයනවලින් හෙළිවී තිබෙනවා. ඒ විතරක් නොවෙයි වාචික නොවන සන්නිවේදනයේදී ගැහැනුන් පිරිමින්ට වඩා දක්ෂයි. ඔවුන් පිරිමින්ට වඩා ඉතා කුඩා වියේදීම මෙයට සමත්කම් දක්වන බවයි පැවසෙන්නේ. ගැහැනුන් වාචික සන්නිවේදනයේදී දක්ෂ වුණත් පිරිමි බොරු සඳහා භාවිත කරන මෙවැනි සන්නිවේදන ක්‍රම හඳුනාගන්නට බොහෝ ගැහැනුන් අසමත් වන බවයි පැවසෙන්නේ. සංවේදීබවින් වැඩි වාචික නොවන සන්නිවේදන ක්‍රම සඳහා ගැහැනුන්ගේ ඇති දක්ෂතාවය ඉතා ඉහළ තත්වයක පවතිනවා. මෙහිදී විශේෂයෙන් මුහුණෙන් පෙන්වන ඉරියව් ඉතා වැදගත්. 
 
අකැමතියියන්න හඟවන සංඥාව
වාචික නොවන සන්නිවේදනයේ වැඩි දක්ෂතාවය දක්වන්නේ ගැහැනුන් ද පිරිමින් ද යන බව සොයාගන්නට කරන ලද බොහෝ අධ්‍යයනවලදී හෙළිවී ඇත්තේ ගැහැනුන් ඉදිරියෙන් සිටින බවයි.