පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, January 9, 2016

2016 කාලගුණයෙන් බැට කන වසරක් වේද? - Will 2016 be a weather hazard year?


බොහෝ දෙනෙක් ඇතැම් විට නොදන්නවා විය හැකි වුවත් ගෙවුණු 2015 වසර යනු කාලගුණ විද්‍යාවට අනුව අප පසුකළ උණුසුමින් වැඩිම වර්ෂය විය. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට ඒ පිළිබඳ ඇතැම් විට නොදැනෙන්නට හේතුව වන්නට ඇත්තේ පසුගිය මාස කිහිපය පුරා අප වර්ෂාව සහිත සමයක් පසුකළ නිසා වන්නට පුළුවන. කෙසේ වුවත් ලෝකයේ කාලගුණය පිළිබඳ අනාවැකි පළ කරන බොහෝ ආයතන 2016 වසර පිළිබඳ යම්කිසි බියකින් පසුවන බැව් පෙනේ. 2015 වසරේ අගභාගයේ ලොව පුරා ඇති වූ මේ අධික උණුසුම් තත්වය 2016 වසර දක්වා බලපවත්වා ලෝකයට දැඩි විනාශයක් සිදු කරනු ඇතැයි ඔවුහු අනුමාන කරති. අප නොදැන සිටිය ද මේ ඇතිවන්නට හැකි දරුණු කාලගුණ වෙනසට හේතුව කුමක්ද?

මේ කාලගුණ වෙනසට හේතුවද මාධ්‍ය මගින් විවිධ අවස්ථාවලදී සඳහන් කෙරුන ද එවැනි පුවත්වලට වැඩි දෙනෙකුගේ අවධානය ලක් නොවන බැවින් ඒ පිළිබඳ බොහෝ දෙනෙකුට අවබෝධයක් නොමැති වන්නට ඇත. මේ සියල්ල පසුපස පවතින්නේ එල් නිනෝ’ (El Niño) නම් කාලගුණික සංසිද්ධියයි. ප්‍රවෘත්ති වාර්තා ඔස්සේ මේ වදන පසුගිය කාලයේ විටින්විට විට අසන්නට ලැබුණද ඒ පිළිබඳ වැඩි දෙනෙකුගේ අවධානයක් යොමුව නැති බව නම් පෙනෙන්නට තිබේ. සැබවින්ම එල් නිනෝයනු කුමක්ද?

එල් නිනෝයනුවෙන් හඳුන්වනු ලබන්නේ පැසිපික් සාගරය ආශ්‍රිතව සාගර ජලය මතුපිට අධික උෂණත්ව කලාපයක් නිර්මාණය වීමයි. මේ සඳහා දියවැල් සහ සුළං රටාවේ සිදුවන වෙනස්කම් බලපායි. මෙය පැසිපික් සාගරය ආශ්‍රිතව සිදු වුවත් එය සමස්ත ලෝකයටම බලපෑම් කරන බැවින් සියලු දෙනා ඒ පිළිබඳ අවධානයෙන් සිටීම වැදගත්ය. එල් නිනෝ තත්වයන් නිතර සිදුවුව ද පසුගිය වසරේ එය මතුවූයේ දැඩි දරුණු ස්භාවයකිනි. මෙයට පෙර මෙතරම් දරුණු එල් නිනෝ තත්වයක් 1997 - 1998 වසරවලදී සිදුවූ අතර එහිදී අප්‍රිකානු කලාපයේ අධික නියං තත්වයක් ද, තවත් රටවල් ලැව්ගැනි ආදී තත්වයන් ද ඇති විය. අප්‍රිකානු මහාද්වීපයේ මේ නිසා බොහෝ මරණ සංඛ්‍යාවක් වාර්තා විය. එයින් පසුව දරුණු එල් නිනෝවක් මතු වූයේ පසුගිය වසර අවසානයේය. කෙසේ නමුත් එහි දැඩි බලපෑම මතුවන්නට පටන් ගන්නේ මේ වසරේ මුල් සමයේදී යැයි පැවසේ.



එල් නිනෝ තත්වයේදී සාගරය මතුපිට උණුසුම්වීම නිසා එම කලාපය ආශ්ර්‍‍රිතව ඇති බොහෝ රටවලට ආර්ථිකමය වශයෙන් විවිධ ගැටලු එල්ල විය හැකිය. විශේෂයෙන් මත්ස්‍ය සම්පත කෙරෙහි මෙහිදී බලපෑමක් එල්ල විය හැකිය. එමෙන්ම මේ නිසා අධික උණුසුම් කාලගුණයක් ඇතිවීම නිසා එම රටවල වගාකටයුතු කෙරෙහි එය අහිතකර ලෙස බලපානු ඇත. එමෙන්ම ජල සම්පත සිඳී යාමට ද හේතු විය හැකිය. එල් නිනෝ තත්වයකදී මුහුද මතුපිට උෂ්ණත්ව කලාපයක් ඇති වුව ද ඇතැම් රටවලට එය බලපාන්නේ උණුසුම් දේශගුණ තත්වයක් ඇති කරමින් නොවේ. සුළං රටාවේ ආදියේ සිදුවන වෙනස්කම් නිසා ඇතැම් රටවල අධික වර්ෂා රටාවන් ඇතිවිය හැක. එහි ප්‍රතිඵලය වන්නේ දරුණු ගංවතුර තත්වයන් ඇතිවී මිනිස් හා දේපළ හානි වැඩි වශයෙන්  සිදුවීමය.

මෙම තත්වයේ අහිතකර බලපෑම් මෙම වසර මුළුල්ලේම ලැබිය හැකි බැව් කාලගුණය පිළිබඳ ජාත්‍යන්තර ආයතන අවධාරණය කරයි. එය ඇතැම් විට කලින් සඳහන් කළා සේ ඇතැම් රටවලට අධික උණුසුම් තත්වයක් මෙන්ම ඇතැම් රටවලට අධික වර්ෂාපතනය ලෙසින් විය හැකිය. මේ කාලගුණික අන්ත දෙකෙහිම අවසන් ප්‍රතිඵලය වන්නේ මිනිස් හා දේපළ හානි බොහොමයක් සිදුවීමය. එබැවින් අප මේ වසරේ කාලගුණයෙන් බැටකෑමට සූදානම්ව සිටිය යුතු බව මතකයේ තබාගැනීම නුවණට හුරුය.

කෙසේ වෙතත් පැසිපික් සාගරය ආශ්‍රිව සාගරය මතුපිට මේ ආකාරයෙන් ඇති වන අධික උෂ්ණත්වය සමස්ත ලෝකය කෙරෙහිම බලපෑම් කරන නිසා අප සඳහන් කළ කාලගුණික අන්ත දෙකට ද වඩා දරුණු තත්වයක් අපට නොදැනීම සිදු වෙයි. ඒ අපට නිතර අසන්නට ලැබෙන ලෝකය උණුසුම් වීමේතත්වයයි. ලෝකයේ උණුසුම් වීම කෙරෙහි මිනිස් ක්‍රියකාරකම් බොහෝ සේ බලපායි. අධික ලෙස පිහිටුවන ලබන කර්මාන්ත ශාලා නිසා වායුගෝලයට එක්වන විෂ වායු මගින් ලෝකය පුරා හරිතාගාරතත්වයක් (හරිතාගාර ආචරණය - Greenhouse effect) ඇති කරයි. එවිට ලෝකයේ උෂ්ණ්ත්වය කෙමෙන් ඉහළ යයි. එහි අහිතකර බලපෑම වන්නේ පාථිවියේ ධ්‍රුව ප්‍රදේශවල ඇති අයිස් කඳු දියවී යාමය. මෙම අයිස් කඳු තුළ දැඩි ජල ප්‍රමාණයක් මිදී තිබේ. මේවා දියවී සාගරවලට එකතුවීමේ ප්‍රතිඵලය වන්නේ මුහුදු මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමය. එවිට අවසානයේ සිදුවන්නේ මුහුදු මට්ටමේ හෝ මුහුදු මට්ට්මට පහළින් ඇති භූමි ප්‍රදේශ කෙමෙන් ජලයට යටවීමය. මාලදිවයින යම් දිනෙක සහමුළින්ම ජලයෙන් යටවී යනු ඇතැයි අනාවැකි පළකොට තිබෙන්නේ එබැවිනි. මාලදිවයිනට එසේ වුවත් අපට එසේ වන්නේ නැතැයි උදම් අනන්නට යමෙක් සිතන්නේ නම් එය මුළාවකි. උදාහරණයක් ලෙස පුත්තලම දිස්ත්‍රික්කයේ මුහුදු වෙරළින් වැඩි ප්‍රමාණයක් ඇත්තේ මුහුදු මට්ටමෙන් අඩි 300 ක් පමණ පහළිනි. එබැවින් යම්කිසි දිනෙක මුහුදු මට්ටම ඉහළයාමේ අවදානම අප වැනි දූපත්වලට දැඩිව බලපායි. අනෙක අප රටේ ආර්ථිකය රැඳී පවතින්නේ කොළඹ වැනි මුහුදට ආශ්‍රිත නගරවලය. මුහුදු මට්ටම ඉහළ යාම් අහිතකර ප්‍රතිඵල පිළිබඳ අප දැනුවත්ව සිටි යුත්තේ එබැවිනි.

රාත්‍රිය යනු ලෝකයේ එක් පැත්තක උණුසුම් අඩු කලාපයක් නිර්මාණය කරන්නක් වුව ද වර්තමාන මිනිස් ක්‍රියාකාරම් නිසා එය එසේ සිදු නොවේ. ලෝකයේ සෑම රටකම රාත්‍රී කාලයේ දල්වනු ලබන අධික උණුසමක් ඇති විදුලි පහන් නිසා රාත්‍රී කාලයේද ලෝකයේ අධික උණුසමක් නිපදවේ. ලෝක මිහිකත් දිනය සැමරීමේදි රාත්‍රීයේ මුළු ලෝකය පුරාම එකම මෙහොතේ එක් මිනිත්තුකවක් විදුලි බල්බ නිවා දමන්න යැයි දැනුවත්කිරීම් දියත් වුව ද එවැන්නක් සැළකිල්ලට ගෙන ක්‍රියාත්මක කරන්නේ ස්වල්ප දෙනෙකි. ඇතැමුන්ට එය විහිළුවක් සේ පෙනෙනු ඇත. නමුත් ඒ මිනිත්තුව තුළ ලෝකයෙන් පිටවන උෂ්ණත්වය සැළකිය යතු තරමින් අඩු කොට අයිස් කඳු දියවීම තරමක් හෝ පමාකරගත හැකි බව කිසිවකු සිතන්නේ නැත.


එල් නිනෝ වැනි ස්වභාවිකව ඇතිවන කාලගුණ තත්වයන් මෙන්ම අප විසින් ලෝකයට කරනු ලබන අහිතකර ක්‍රියාකාරීත්වයන්  නිසා ද අපගේ විනාශය වඩා ඉක්මණින් අපිම උදාකරගනිමින් පසුවෙමු. අපගේ මිහිකත් මාතාව පිළිබඳ අපට මෙයට වඩා සිතන්නට හැකි නම් ලෝකය වඩාත් සුන්දර, මිනිසාට හිතකර තැනක් බවට පත්කරගැනීමට හැකිවනු නිසැකය.

Tuesday, January 5, 2016

අලුත් ලෝකයට අලුත් ගැජට් 4 කොටස - New Gadgets for New World Part 4

ඔබේ නිවසට ස්මාර්ට්  ස්පීකරයක් 



ඉස්සර ගෙවල්වල ගීත අහන්න තිබුණේ ටිකක් ලොකු බැෆල්. බෆල් කියලත් කියනවා. තාක්ෂණයේ දියුණුවත් එක්ක මේවා ටික ටික කුඩා වුණා. මේ කියන්නෙත් ඒ වගෙ අලුත්ම විදියේ ස්පීකරයක් ගැන. ‛ස්මාර්ට් ස්පීකර්’ කියල තමයි මේකට කියන්නේ. මිලත් ස්මාර්ට් වගේ තමයි. මොකද අමරිකානු ඩොලර් 180ක්, රුපියල්වලින් නම් 25,300ක් විතර වෙනවා. බ්ලූටූත් තාක්ෂණයෙන් ගීත අහන්න පුළුවන්. මෙහි ඇති විශේෂත්වය නම්, නිවසේ ඇති බොහෝ දේවල් මේ හරහා පහසුවෙන් කරගත හැකිවිමයි. බ්ලූටූත්වලින් ක්‍රියාතමක වන නිවසේ සියලු උපාංග මෙයින් පාලනය කළ හැකියි. ඒ වගේම අන්තර්ජාල පහසුකම් නිවසට සම්බන්ධ කරන ‛හබ් එක’ පාලනය කළ හැකියි. ශ්‍රව්‍ය ආකාරයෙන් ඇති පොත් කියවාදීම, කාලගුණය පරීක්ෂාකොට එහි ප්‍රතිපල ඇසෙන්නට සැලැස්වීම, එයට ඔබේ හඬින් උපදෙස් දීම මගින් අන්තර්ජාල මිලදීගැනීම් සිදුකිරිම ආදිය හැකියි. අනෙක ස්පීකරයක් හැටියට මෙහි ශබ්දයත් ඉතා උසස් ගුණත්වයකින් පවතිනවා. 

නිදාගන්නව නම් මෙන්න ඇඳක් 



අගුපිලකට වැටුනත් නින්ද යන අපට මොකට මේ වගේ ඇඳන් ද කියලා හිතෙන්නත් පුළුවන්. ඒත් මේක එසේ මෙසේ ඇඳක් නෙවෙයි. නිදාගත් විට ඔබගේ නින්දේ ස්වභාවය මෙන්ම ස්වසන රටාව, හෘද ස්පන්ධන වේගය හා රටාව ආදිය ද මෙයින් නිරීක්ෂණය කෙරෙනවා. මේ තොරතුරු ලබාදෙනවා පමක් නොවෙයි ඔබ වඩා සෞඛ්‍ය සම්පන්න නින්දක් ලබාගත යුත්තේ  කෙසේද කියා මෙයින් උපදෙස් ද ලබාදෙනවා. ඇඳේ මෙට්ටය ඔබට කැමති ආකාරයටකට සකස් කරගන්නටත් පුළුවන්. මිල ගැන සඳහන් කළොත් නම් ඇමරිකානු ඩොලර් 1099ක්, ඒ කියන්නේ රුපියල්, 155,000ක් පමණ වෙනවා.

කාර්යාලයේ ඉඳන් ගෙදර වැඩ කරමු 




සාමාන්‍යයෙන් වැඩ වැඩි වුණාම කාර්යාලයේ වැඩ ගෙදර අරන් යන එක තමයි කරන්නේ. දැන් කියන්න යන්නේ කාර්යාලයේ ඉඳන් ගෙදර වැඩ කරගන්න පුළුවන් විදිහක් ගැනයි. අයිහෝම් සමාගම මගින් හඳුන්වා දී ඇති ‛ස්මාර්ට්ප්ලග්’ නමින් හඳුන්වන උපකරණය තමයි තමයි සහාය වෙන්නේ. මෙය ද ඇපල් හෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය මගින් පාලනය කළ හැකියි. ඔබේ නිවසේ ඇති වයිෆයි උපරණය හා සම්බන්ධකිරීම මගින් ඔබට ඔබේ කාර්යාලයේ හෝ ඕනෑම තැනක සිට නිවසේ විවිධ උපකරණ මෙය ඔස්සේ පාලනය කරන්නට පුළුවන්. නමින්ම සඳහන් කරන අන්දමටම මෙය ප්ල්ග් එකක්. ඔබේ නිවසේ අත්‍යවශ්‍ය උපකරණ සඳහා මෙම ප්ලග් හරහා විදුලිය ලබාදෙන්නට පුළුවන්. එක් උපකරණයට එක් ප්ල්ග් එක බැගින් අවශ්‍ය වෙනවා. මේ ප්ලග් සියල්ල වයිෆයි හරහා ඔබේ දුරකතනයෙන් පාලනය කළ හැකියි. මෙයට සම්බන්ධ උපකරණවල තත්වය ඔබේ දුරකතනයෙන් ඕනෑම තැනක සිට පරීක්ෂා කරන්නට පුළුවන්. යම් දෙයක් නිවා දමා එන්නට අමතක වූයේ නම් දුරකතනය ඔස්සේ එය ක්‍රියා විරහිත කරන්නට පුළුවන්. ඒ වගේම ක්‍රියාත්මක කරන්නටත් පුළුවන්. මෙම එක් ප්ලග් එකක් ඇමරිකානු ඩොලර් 38ක්, ඒ කියන්නේ රුපියල්වලින් නම් 5400ක් පමණ වෙනවා.

ඇඟිළි සළකුණු දොර අගුල 



සාමාන්‍ය මට්ටමේ දොර අගුලක් රුපියල් 4,000 - 20,000 වැනි මුදලකට ගන්න පුළුවන්. මේ හැම අගුලක්ම සාම්ප්‍රදායික විදිහට යතුරකින් තමයි විවෘත කරන් වෙන්නේ. නමුත් මේ පවසන්නට යන්නේ ඇමරිකානු ඩොලර් 270ක්, ඒ කියන්නේ රුපියල් 38,700 වැනි මුදලකට ගත හැකි ඇඟිලි සලකුණ යතුරක් විදිහට භාවිත කරන්නට පුළුවන් දොර අගුළක් ගැනයි. චිත්‍රපටවල නම් මෙවැනි දොර අගුල් ඔබ ඇතැම් විට දැක තිබෙනවා වන්නටත් පුළුවන්. ඔබේ නිවසේ සාමාජිකයන් සඳහා ස්ථිර අවසරයත් ඔබේ නිවසේ සේවකකු සිටී නම් ඔහුට හෝ ඇයට තාවකාලික අවසරයත් මේ අගුළ ඔස්සේ ලබාදෙන්නට පුළුවන්.

ඔක්කොම කාඩ් එක තැනකට 


අද කාලේ බොහෝ දෙනෙක් ක්‍රෙඩිට්, ඩෙබිට් කාඩ්, ලෝයල්ටි කාඩ් ආදිය වැඩි වශයෙන් භාවිත කරනවා. ඇතැම් අයට කාඩ් කිහිපයක්ම තියෙනවා. මේවා පසුම්බියේ දාගෙන යන එකත් අමාරුයි. ඒ වගේම අනාරක්ෂිත බවකුත් තිබෙනවා. ‛ජියෝකෝඩ්’ නම් මේ ස්මාර්ට් දුරකතන ගැජට්ටුව එයට විසඳුමක් ලබාදෙනවා. ඔබේ සියලුම කාඩ්වල ඇති දත්ත මෙම ගැජට්ටුව හරහා ඩිජිටල්කරණයට ලක් කරන්න පුළුවන්. ඉන්පසු ඔබේ දුරකතනයේ ඇති ඇප්ලිකේෂන් එක සහ මෙම ගැජට්ටුව හරහා අවශ්‍ය වෙලාවට අවශ්‍ය කාඩ් පතෙහි දත්ත මේ සමඟ ඇති තාවකාලික කාඩ් පතට සම්ප්‍රේෂණය කළ හැකියි. ඔබේ ගනුදෙනුව අවසන් වූ පසුව එය නිකම්ම කාඩ් එකක් බවට පත් වෙනවා.  මේවා වෙන අයෙක් ඔබෙන් සොරාගත්තත් එහි ඇති දත්ත සොරාගන්නට හැකියාවක් නැහැ. මිල ඇමරිකානු ඩොලර් 159ක් (රු. 22,720ක් පමණ) වෙනවා. 

ඉන්න තැන ස්මාර්ට් විදිහට සොයා ගන්න 


මෙය හඳුන්වන්නේ ‛ටොඩ්’ නමින්. මෙහි සිම් කාඩ් පතක් තියෙනවා. ඔබේ දරුවා, සුරතලා හෝ, නොඑසේ නම් ඔබේ මෝටර් රථය වුවත්, සිටිය යුතු හෝ තිබිය යුතු සීමාවෙන් පිටතට ගිය විගස මෙයින් ඔබේ දුරකතනයට කෙටි පණිවිඩයක් ලැබෙනවා. ඒ වගේම ඔබට එසේ ඉවතට ගිය දරුවා, සුරතලා හෝ මෝටර් රථය සිටින හෝ තිබෙන ස්ථානයත් මෙයින් පෙන්වා දෙනවා. මෙය ඇමරිකානු ඩොලර් 32ක් (4573ක් පමණ) වෙනවා. 

පෙර ලිපිය

Sunday, December 27, 2015

අලුත් ලෝකයට අලුත් ගැජට් 3 කොටස - New Gadgets for New World Part 3

කැමති විදිහට ආලෝකය පාලනය කළ හැකි විදුලි පහනක් 






විදුලි පහන් කොයි තරම් තිබුණත් අපට කැමති විදිහට ඒවායේ ආලෝකය පාලනය කරන්නට හැකියාවක් නැහැ. වොට් 20 බල්බ් එකක් දැම්මොත් එහි ආලෝකය වෙනස් කරන්නට බැහැ. ඩිමර් උපාංගයකින් පාලනය කළ හැක්කේ ද සාමාන්‍ය විදුලි බල්බ හෙවත් තාපදීප්ත ඒවා පමණයි. සී.එෆ්.එල්. වර්ගයේ විදුලි බල්බ ඩිමර් සමඟ ක්‍රියාත්මක වන්නේ නැහැ. වර්තමානයේ ජනප්‍රිය වෙමින් පවතින එල්.ඊ.ඩී. බල්බ ද ඩිමර් සමග හොඳින් ක්‍රියා කරන්නේ නැහැ. මේ ගැන සිතූ මැතියස් පින්කර්ට් නමැති පර්යේෂකයා නව සොයා ගැනීමක් සිදු කොට තිබෙනවා. ඔහු  සිය පර්යේෂණයේ ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදනය කළ විදුලි පහනේ නම වන්නේ රීමාවිදුලි පහනයි. එහි කුඩා වළලු 4ක් තිබෙනවා. මේ වළලු 4 අතර ඇති දුර එහා මෙහා කිරීමෙන් විදුලි ආලෝකය වෙනස් කළ හැකියි. ඒ වගේම මෙය විශේෂ ප්‍රොසෙසරයක් හෙවත් ඉලෙක්ට්‍රොනික සකසනයක් ද සවි කොට ඇති බැවින් එහි තාපය, විදුලි ආලෝකයේ තීව්‍රතාවය, විදුලි ආලෝක කිරණයේ කෝණය සහ පැහැය ද වෙනස් කළ හැකියි.



මුද්‍රණ යන්ත්‍රයක් සහිත මොනිටරයක්




 

පරිගණකයක් තිබෙන පුද්ගලයකුට තමා සකස් කරන ලිපියක හෝ අන්තර්ජාලයේ යම් විස්තරයක් මුද්‍රිත පිටපතක් ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා පරිගණකවලට සම්බන්ධ කළ මුද්‍රණ යන්ත්‍රයක් අවශ්‍ය වෙනවා. ඒවා සඳහා විශාල ඉඩක් අවශ්‍ය නැති වුණත් පරිගණකය තබාගන්නට ඇති මේසයේ ප්‍රමාණයට ගැළපෙන අයුරින් ඇතැම් අවස්ථාවලදී එවැනි මුද්‍රණ යන්ත්‍රයක් තබාගන්නට ඉඩක් නැති වෙන්නත් පුළුවන්. මේ ගැටලුවට විසඳුමක් ලෙස අලුත් ආකාරයේ මොනිටරයක් නිර්මාණය කරන්නට බයොන්ග් මින්ග් චී නමැත්තා සමත් වී තිබෙනවා. එහි මොනිටරයේ යටින් මුද්‍රණ යන්ත්‍රයක් ද තිබෙනවා. මොනිටරයේ පසුපසින් කඩදාසි දැමිය හැකියි.



අලුත් විදිහේ එලාර්ම් එකක් 




උදේ පාන්දර අවදි වෙන එක තරම් එපා වෙන දෙයක් නැති වුණත් අවදි නොවීත් බැහැ. බොහෝ දෙනෙක් තමන්ගේ ජංගම දුරකතනයේ එලාර්ම් එකක් තබා ගන්නවා. ඇතැම් අය මේ සඳහා වෙනම එලාර්ම් යන්ත්‍ර භාවිත කරනවා. මේ කුමක් භාවිත කළත් බොහෝ දෙනෙක් කරන දෙයක් තමයි නින්දෙන්ම එලාර්ම් එක ක්‍රියා විරහිත කොට අනෙක් පැත්ත හැරී නිදා ගන්න එක. එයින් සිදුවන්නේ තමන් සැළසුම් කළ පරිදි අවදිවන්නට බාධා ඇතිවීමයි. මෙය විසඳුමක් ලෙස අපූරු ආකාරයේ එලාර්ම් එකක් නිර්මාණය කොට තිබෙනවා. මෙය හඳුන්වා ඇත්තේ අයි.කිව්. එලාර්ම් ක්ලොක්’ (iQ Alarm clock) නමින්. මෙය සාමාන්‍ය එලාර්ම් උපකරණයක් සේ පහසුවෙන් ක්‍රියා විරහිත කරන්නට බැහැ. මෙහි එලාර්ම් එක ක්‍රියා විරහිත කරන්නට නම් ඔබගේ බුද්ධිඵලය මැන බලන සරල ගැටලුවකට පිළිතුරු සැපයිය යුතුමයි. ඒ සඳහා සිත යොමු කළ පසු ඔබට නැවත නිදාගන්නට අවශ්‍ය වන්නේ නැහැ. මොකද ඉන් පසු ඔබේ නිදිබර ගතිය පහව යන නිසයි. මේ ගැටලුව සරල එකක් ද සංකීර්ණ එකක් ද යන්න ඔබටම තෝරා සකස් කර ගත හැකියි.





ඔබේ නිවසට නවීන දෙර අගුළක් 





ඔබගේ ඇඟිළි සලකුණ හඳුනා දොර අගුල් දැමීමට හෝ විවෘත කිරීමට හැකි අයුරින් මෙය නිර්මාණය කොට තිබෙනවා. පෙනුම සාමාන්‍ය දොර අගුළක් හා සමානයි. අවශ්‍ය නම් සාමාන්‍ය පරිදි යතුරක් භාවිත කරන්නටත් පුළුවන්. මෙම දෙර විවෘත කිරීම සඳහා කිහිප දෙනෙකුගේම ඇඟිලි සළකුණු හදුන්වා දීමේ හැකියාව ද තිබෙනවා. මෙය නිෂපාදනය කොට ඇති කේවෝ සමාගමෙන් නිර්මාණය කොට ඇති ස්මාර්ට් දුරකතන සඳහා වූ මෘදුකාංගය මෙම අගුළ සම්බන්ධව කතා කළ හැකි තවත් විශේෂාංගයක්. මෙම අගුලට සම්බන්ධ කොට ඇති දුරකතන උපාංගය නිසා දෙැර විවෘත කිරීම් සහ වසා දැමීම් පිළිබඳව නිවෙස් හිමියාගේ ජංගම දුරකතනයට නිවේදනයන් ලබාගැනීමේ හැකියාව ද පවතිනවා. 





ස්වයංක්‍රීය එල්.ඊ.ඩී. බල්බයක්




එල්.ඊ.ඩී. විදුලි බල්බ කියන්නේ වර්තමානයේ ඉතා ජනප්‍රිය විදුලි උපාංගයක්. මෙය ද එවැනි බල්බයක් වුණත් මෙහි ක්‍රියාකාරීත්වය ඒවාට වඩාත් වෙනස්. මෙහි චලන සංවේදකයන් පවතින නිසා කාමරයට යමෙක් ඇතුළුවන විටම බල්බය ඉබේම දැල්වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මෙහි ආලෝක සංවේදකයක් ද පවතිනවා. කාමරයේ ඒ් වන විට පවතින ආලෝක ස්වභාවය හඳුනාගෙන එයට ගැළපෙන පරිදි ආලෝකය ලබා දෙන්නටත් මෙයට පුළුවන්. එවිට ඉතා දීප්තිමත් සුදු වර්ණයේ සිට මෘදු සුදු වර්ණය දක්වා ආලෝකය වෙනස් වෙනවා. එපමණක් ද නෙවෙයි සීත කාලගුණ තත්වයකදී යම් උණුස්ම් තත්වයක් ඇති කරන්නට ද මෙයට හැකියාව තිබෙනවා. 


පෙර ලිපිය


Saturday, December 26, 2015

ඔබාමා ඇමරිකාව විනාශ කරයි! - Obama will destroy USA!


එළැඹෙන්නට නියමිත 2016 වසර අප බොහෝ දෙනෙක් සිතනවාට වඩා වෙනස් වසරකි. ඔබට මිනිත්තු කිහිපයක් මිඩංගු කොට බැලුවහොත්  1 - 9 දක්වා ඇති මූලික සංඛ්‍යාවලින් 5 හැරුණු විට අනෙක් සියලුම සංඛ්‍යාවලින් 2016 බෙදෙන බව පෙනෙනු ඇත. 4 න් ද බෙදෛන නිසා එය අධික අවුරුද්දක් ද වන්නේය. මේ අනුව ගණිතමය වශයෙන් ද විශේෂත්වයක් ඇති 2016 දේශපාලනමය වශයෙන් ගතහොත් කෙසේවත් සුබදායී වන්නේ නැත. එසේ පවසන්නට බොහෝ දෙනෙකු නොදන්නා හේතු දෙකක් තිබේ. පහත දැක්වෙන්නේ ඒවාය. 

1. මුස්ලිම්වරු යුරෝපය ආක්‍රමණය කරති
සිරියාව තුළින් දැවැන්ත මුස්ලිම් යුද්ධයක් පැන නැගේ. මුස්ලිමුන් විසින් යුරෝපය ආක්‍රමණය කරන්නට ඇති ඉඩ කඩ වැඩි අතර යුරෝපයේ අවසානය එළැඹේ. යුරෝපය විනාශවීමේ ක්‍රියාවලිය වසර ගණනාවක් පවතිනු ඇත. සමස්ථ මහාද්වීපයම නටබුන් වී මිනිසුන්ගෙන් තොර කලාපයක් බවට පත්වනු ඇත. 


2. බැරක් ඔබාමා ඇමෙරිකාව විනාශ කරයි
44 වැනි එක්සත් ජනපද ජනපතිවරයා වන බැරක් ඔබාමා විසින් ඇමෙරිකාව විනාශ කරනු ඇත. ඔහු ධුරයෙන් නික්ම යන්නේ ඇමරිකාව මහත් ආර්ථික අර්බුදයක ගිලා තබමිනි. බොහෝ දෙනෙක් ඔහු පිළිබඳ බලාපොරොත්තු ඇතිකරගෙන සිටියත් ඔහුගෙන් සිදුවන්නේ එයට හාත්පසින්ම වෙනස් ක්‍රියාවකි. වර්ෂ 1861 සහ 1865 යන කාලය අතුරතුරේ ඇමරිකාව තුළ පැවති සිවිල් යුද සමයට සමාන කාලයක් ඇමරිකාවට උදාවනවා ඇත. 


එළැඹෙන 2016 වසර මෙම සිදුවීම දෙක නිසාම  එය අප සිතන තරම් සුබදායක වන්නේ නැත. නමුත් පැවසිය යුතු එක් කරුණක් තිබේ. එය සුබදායක නොවන්නේ මේ පැවසූ කරුණු එසේම සිදුවන්නේ නම් පමණි. හේතුව මේවා හුදෙක් අනාවැකි පමණක් නිසාය. මෙසේ අනාවැකි පළකොට ඇත්තේ එවැනි දේ ලෝකය හමුවේ තැබූ සුප්‍රකට නොස්ට්‍රඩෑමුස් නම් නොවේ. මැය කාන්තාවකි. බල්ගේරියානු ජාතික ඇය නමින් ‛බාබා වැන්ගා’ය. ඇය ‛බල්ගේරියාවේ නොස්ට්‍රඩෑමුස්’ නමින් ද ප්‍රසිද්ධය. 




1911 ජනවාරි 31 වැනිදා ඉපිද 1996 අගෝස්තු 11 වැනිදා මිය ගිය බාබා වැන්ගාගේ උපන් නම වූයේ වැන්ගේලියා පැන්ඩේවා දිමිත්‍රෝවාය. විවාහයෙන් පසු ඇගේ නම වැන්ගේලියා ගුෂ්තෙරෝවා බවට පත් විය. ඇය බල්ගේරියාවේ පමණක් නොව ලොව පුරාම ප්‍රකටව ඇත්තේ අනාගතය දැකිය හැකි බලයකින් යුක්ත දිවැසිවරියක් ලෙසිනි. ඇය සතුව මිනිස් බුද්ධියට ගෝචර නොවූ හැකියාවක් ඇති බව ලෝකයේ බොහෝ දෙනෙකු තුළ පිළිගැනීමක්  තිබේ. උපතේදී සාමාන්‍ය දැරියකව සිටිය ද  මුහුණ පෑ දරුණු අනතුරක ප්‍රතිඵලයක් ලෙස ඇය අන්ධ විය. ඇය දරුණු කුණාටුවකට හසුව ගසාගෙන ගිය බව වාර්තාවන නමුත් එය සිදුවූයේ යැයි පැවසෙන වකවානුවේ එවැනි දරුණු කුණාටුවක් සිදුවූ බවට කාලගුණ විද්‍යා වාර්තාවන් තහවුරු කරන්නේ නැත. බාබා වැන්ගාගේ සාක්ෂරතාවය ඇත්තේ ඉතා පහළ මට්ටමකය. ඇය විසින් එකදු පොතක් හෝ රචනා කොට නැති අතර ඇය ලොව පිළිබඳ දක්වා ඇති අනාවැකි ලෝකයට ඉදිරිපත් කරන්නේ ඇයගේ වැඩකටයුතු වෙනුවෙන් සිටින සේවකයන් විසිනි. 


2004 වසරේදී ඇතිවු සුනාමිය පිළිබඳව ඇය අනාවැකියක් පළකොට තිබිණි. ‛මිනිසුන්ගෙන් සහ නගරවලින් වැසුණු විශාල නගර යෝධ රැල්ලකින්  සේදී යයි’ යනුවෙන් ඇය සිය අනාවැකියේ පළ කොට තිබිණි. එමෙන්ම 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය පැවති ගොඩනැගිලි යුගලයේ විනාශය ඇය අනාවැකි පළකොට තිබුණේ, ‛භීතිය! භිතිය! යකඩ කුරුල්ලන්ගේ ප්‍රහාරයෙන් ඇමෙරිකාව ඇදවැටෙනු ඇත. පඳුරුවල සිට වෘකයන් හඬ දෙනු ඇත. රුධිරය ගළා යනු ඇත.’ යනුවෙනි. එපමණක් නොව ලෝකයේ උණුසම වැඩි වී ධ්‍රුව ප්‍රදේශවල පවතින අයිස් තට්ටු දියවීගොස් පෘථිවි ජලමට්ටම ඉහළ නගින බව ද ඇය සිය එක් අනාවැකියක සඳහන් කොට තිබුණේ ‛සියල්ල අයිස් මෙන් දියව යනු ඇත. සීතල උණුසුම බවට පත්වන අතර යමහල් අවදිවනු ඇත’ යනුවෙනි. 1980 වසරේදී රුසියානු සබ්මැරීනයක් වූ ‛කර්ස්ක්’ මුහුදේ ගිළී ගොස් මහත් අනතුරක් සිදු විය. ඇය ඒ පිළිබඳව සිදුකොට තිබූ අනාවැකියේ සඳහන් ව තිබුණේ ‛කර්ස්ක් ජලයෙන් වටවනු ඇත. ලෝකය වැළපෙනු ඇත’ යනුවෙනි. ඇමරිකා එක්සත් ජනපදයේ 44 වැන්නා අප්‍රිකානු ජාතිකයකු බවත් ඔහු එහි අවසන් ජනපති බවත් අය එක් අනාවැකියකින් ඉදිරිපත් කොට තිබුණි. 


බාබා වැන්ගා සතුව අසාමාන්‍ය බලයක් ඇත්දැයි සොයා බැලීම සඳහා පර්යේෂණ කිහිපයක්ම සිදු කොට තිබේ. ඉන් එකක් සිදු කොට ඇත්තේ බල්ගේරියානු රජයේ අනුග්‍රහයෙනි. මේ සියලු පර්යේෂණවල නිගමනය වූයේ බාබා වැන්ගා විසින් ඉදිරිපත් කරන ලද අනාවැකිවලින් 80%ක් පමණ නිවැරදි මට්ටමක පවතින බවය. 




බාබා වැන්ගාගේ අනාවැකි නිවැරදි වීමේ සම්භාවිතාවය පිළිබඳ සළකා බැලවහොත්  2016 වසර වෙනුවෙන් ඉදිරිපත්කොට ඇති අනාවැකි දෙකම සුබදායක ඒවා වන්නේ නැත. මුස්ලිමුන්ගේ යුද්ධය පිළිබඳ පෙරනිමිති නම් මේ වන විටම පහළ වී තිබේ. සිරියාව ආශ්‍රිතව ඔවුන් යුද්ධයක් අරඹා ඇති අතර ම්ලෙච්ඡ අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානය යුරෝපයට තර්ජනයක් වෙමින් පවතී. ඔවුහු ප්‍රංශයට ප්‍රහාරයක් එල්ල කරමින් යුරෝපය තුළ ප්‍රහාර එල්ලකිරීමට තමන්ට හැකි බව පෙන්වූයේය. ඇයගේ අනාවැකියට අනුව මුස්ලිමුන්ගේ යුරෝප සංග්‍රාමය අවසන් වනු ඇත්තේ 2043 වසරේ ඔවුන් සිය අගනගරය බවට රෝමය බවට පත්කරගැනීමෙනි. බාබා වැන්ගාගේ මෙම අනාවැකි නිසා මුස්ලිම් අන්තවාදීහු අමුතු ජවයක් ලැබූ බව ඇතැමෙක් පවසති. 


2016 වසරෙන් ඔබ්බෙහි වූ කාලය සඳහා ද ඇය අනාවැකි ඉදිරිපත්කොට තිබේ. මේවා අනුව 2018 වසරේදී් ලෝක බලවතා බවට චීනය පත්වන අතර ඇමරිකා එක්සත් ජනපදය ආර්ථික වශයෙන් දනින් වැටෙනු ඇත. ඔබාමා විසින් ඇමරිකාව ආර්ථික වශයෙන් විනාශ කිරීමේ අනාවැකිය සහ මෙය එකිනෙක හොඳින් පෑහේ. 2018 වසරේදී මිනිසුන් සිකුරු ග්‍රහයා ගවේෂණය කිරීමෙන් නව බලශක්ති ප්‍රභවයක් සොයා ගනී. 2023 වසරේදී පෘථිවියේ කක්ෂය වෙනස් වේ. 


කෙසේ නමුත් බාබා වැන්ගාගේ අනාවැකි වැරදි වූ අවස්ථාවන්ද තිබේ. කෙසේ නමුත් නැවත මතක් තබා ගත යුත්තේ ඇගේ අනාවැකි නිවැරදි වීමේ හැකියාව 80%ක් බවය. අප දෑස් ඉදිරිපිටම සත්‍ය වූ හා සත්‍යවෙමින් පවතින අනාවැකි ද බොහොමයකි. මේ අනුව බලන කල එලැඹෙන වසර එතරම් සුබදායක නොවනු ඇත. නමුත් අපට කළ හැක්කේ සිදුවන්නේ කුමක්දැයි කාලයට ඉඩදී බලා සීටීම පමණි.

Monday, December 21, 2015

සිංහල ජන සාහිත්‍යයේ අපූරු කවියක්


අපේ ජන කවි සාහිත්‍යය කියන්නේ හරිම අපූරු දෙයක්. ඇතැම් විට ලෝකයේ වෙනත් සාහිත්‍යවල නැති විශේෂ අංග මෙහි තිබෙනවා. එවැනි දෙයකට එක් උදාහරණයක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් අපූරු විදිහේ ජන කවියක් මට හොයාගන්න ලැබුණා. මෙහි රචකයා කවුදැයි දන්නේ නැහැ. නමුත් කවිය හරිම අපූරුයි. 

මේ කවියෙන් කියැවෙන සරල අර්ථය මෙන්න මෙහෙමයි. 

නන්දා කියන තරුණියක් ගැන එක් තරුණයෙක් ආදරයක් ඇති කරගන්නවා. ඒ තරුණයා ඇගේ ලස්සන දකිනවා. ඇයව විවාහ කරගන්නට ඔහු සිහින මවනවා. ඒ සිහිනයත් එක්ක ඔහු කවියක් ලියනවා. ඒ කවිය තමයි මේ. 

කුන්දා සරපතිසේ දිලි දළ                         දසනීය 
රන්දා හසපැටිසේ දිලි යුග                       දෙතනීය 
නන්දා සුරලියසේ දිලි මෙම                     තරුණීය 
කැන්දා ගෙනයනසේ යලි මට                   සිතුනීය 

මේ කවියේ විශේෂත්වය මොකක්ද කියලා දැන් සිතෙන්න පුළුවන්. 

මේ කවිය පටන් ගත්තේ ‛කුන්දා සරපතිසේ’ කියලයි. අපට මේ කවිය තව විදිහකට කියන්න පුළුවන්. ඒ මෙන්න මේ විදිහට 

සරපතිසේ දිලි දළ දසනීය                 කුන්දා 
හසපැටිසේ දිලි යුග   දෙතනීය           රන්දා 
සුරලියසේ දිලි මෙම  තරුණීය          නන්දා 
ගෙනයනසේ යලි මට    සිතුනීය       කැන්දා 

දෙවැනි ආකාරය පටන් ගන්නේ ‛සරපතිසේ දිලි දල දසනීය’ කියලයි. හැබැයි මේක ගායනා කරන්න පුළුවන් ආකාරය මෙතැනින් නවතින්නේ නැහැ. මෙන්න මේ විදිහටත් මෙය කියන්න පුළුවන්. 

දිලි  දළ   දසනීය    කුන්දා             සරපතිසේ 
දිලි  යුග   දෙතනීය  රන්දා           හසපැටිසේ 
දිලි  මෙම  තරුණීය  නන්දා          සුරලියසේ 
යලි  මට   සිතුනීය   කැන්දා      ගෙනයනසේ 

දැන් අපි එකම කවිය තුන් ආකාරයකට ගායනා කරන ආකාරය දැක්කා. තුන්වැනි ආකාරයේදී කවිය පටන් ගන්නේ ‛දිලි දසනීය කුන්දා’ යනුවෙන්. හැබැයි මෙය ගායනා කිරීම ආරම්භ කරන ආකාරය එතැනින් නතර වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහටත් මේ කවිය ආරම්භ කරන්න පුළුවන්. 

දළ   දසනීය    කුන්දා     සරපතිසේ           දිලී 
යුග   දෙතනීය  රන්දා    හසපැටිසේ          දිලී 
මෙම  තරුණීය  නන්දා    සුරලියසේ         දිලී 
මට   සිතුනීය   කැන්දා  ගෙනයනසේ       යලී 

දැන් බලන්න එකම කවිය හතර ආකාරයකින් ආරම්භ කරලා, එළිවැටට හානියක් නොවී අලංකාර ලෙස ගායනා කරන්න පුළුවන්. අපේ ජනකවියා කොයි තරම් නිර්මාණශීලී ද කියන එක ගැන ඉදිරිපත් කරන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි මේ කවිය. 

(මේ කවිය ගැන වැඩි විස්තර හෝ මෙවැනි කවි ගැන හෝ  දන්නා කෙනෙක් සිටී නම් දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිනවා)

Sunday, December 20, 2015

අලුත් ලෝකයට අලුත් ගැජට් 2 කොටස - New Gadgets for New World Part 2

හිරු එළියෙන් සිංදු අහමු




සංගීතය ලෝකය තුළ සෝනි ආයතනයට හිමි වන්නේ විශේෂ ස්ථානයක්. එයට හේතුව ඔවුන් සංගීතය සඳහා නව තාක්ෂණය එකතු කරන්න නිතරම අත්හදාබැලීම් කරන නිසයි. ඔවුන් මේ විදිහට අත්හදා බැලීම් සිදුකරන අතරතුරේ අලුත් නිෂ්පාදනයක් කළා. ඒ තමයි හිරු එළියෙන් ක්‍රියාත්මක කරන් සංගීත වාදකයක් නිර්මාණය කිරීම. මේ සඳහා සංකල්පය ඉදිරිපත් කොට තිබෙන්නේ හොවෑන්ග් එම් ගුයෙන්. ඒ නිසා එය නම් කොට තිබෙන්නේ ආන් ගුයෙන් සංගීත වාදකයකියන නමින්. මෙය එල්ලා තැබිය හැකි සේ සකස් කොට තිබෙන අතර එහි පිටුපස සූර්ය කෝෂ සවිකොට තිබෙනවා. එහි ඇති බැටරිය ආරෝපණය කරගන්නට මේ සූර්ය කෝෂවලින් ලැබෙන බලය ප්‍රමාණවත්. ඔවුන් පවසන්නේ ජංගම දුරකතනවල මෙන් බැටරි බලය අඩු බවට නිකුත් කරන පණිවිඩ මෙයින් දකින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින් බවයි.


විද්‍යුත් ගිනි උඳුනක් 




මේ උපකණය නම් ඇත්තටම අපේ වගේ රටවල භාවිතවීම අඩුයි. එසේ වෙනවා නම් නුවරඑළිය වැනි සීත දේශගුණයක් ඇති පළාත්වල පමණයි. නමුත් ලෝකයේ බොහෝ රටවල පැහැදිලි සීත කාලයක් පවතින නිසා ඒ රටවල මෙය ජනප්‍රිය වෙමින් පවතිනවා. නිවසේ සාලයේ උණුසුම ඇති කිරීම සඳහා ඉදිකොට ඇති දර උඳුන් ඔබ බටහිර සිනමා පටවල දැක ඇති. පසු කාලයේ මේවා වෙනුවට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන උණුසුම්කිරීමේ උපකරණ නිෂ්පාදනය වුණා. මේ උපරණය තමයි එම පරම්පරාවේ අලුත්ම සාමාජිකයා. මෙය නිෂ්පාදනය කොට තිබෙන්නේ මෑතකදී සොයා ගත් විශේෂ සෙරමික් මැට්ටකින්. උපකරණය ක්‍රියාත්මක කිරීමට පෙර මෙය දිස්වන්නේ සෙරමික් මැට්ටකින් අවාරණය වී ඇති ආකාරයෙන් වුණත් එය ක්‍රියාත්මක කළ සැනින් සෙරමික් මැට්ට නොපෙනී ගොස් ගිනි දළු පෙනෙන්නනට පටන් ගන්නවා. ඒ සමඟම අවට උණුසුම් වෙන්නත් පටන් ගන්නවා. මෙය අක්‍රිය කළ විට කෙමෙන් සිසිල් වෙද්දී එය යළිත් සෙරමික් මැටි පෙනුමට පත් වෙනවා. 


පරිසර හිතකාමී පිරිසිදුකරනය 





මුළුතැන්ගෙයි ඇති පිඟන්, දීසි, කෝප්ප ආදිය පිරිසිදු කරන්නට අප පුරුදු වෙලා ඉන්නේ ඩිටර්ජන්ට්නමින් හඳුන්වනු ලබන විවිධ සේදුම් ද්‍රව්‍ය මගින්. නමුත් මේ නව පිරිසිදුකරනය මගින් මේ ක්‍රියාව කරන්නේ වෙනත් ආකාරයකින්. මෙය මගින් ශබ්දයේ වේගය ඉක්මවා යන තරංග හෙවත් අතිශ්වනික තරංගනිකුත් කරනවා. එවිට භාජන මත ඉතිරිව ඇති සියලු අපද්‍රව්‍ය කොටස් නැවත භාවිත කළ හැකි කොම්පෝස්ට් ද්‍රව්‍ය බවට පත් වෙනවා. ඒවා ගස්වලට පොහොරක් ලෙස යොදන්න පුළුවන්. මේ නිසා ඉවත දමන ආහාර කොටස් සෑහෙන දුරට අඩුකරගන්නත් පුළුවන්. ගස්වලට නිරායාසයෙන්ම පොහොරකුත් ලැබෙනවා. අනාගත ලෝකයේ පස සාරවත් කරන්නට මෙය ඉමහත් උපකාරයක්  ද වේවි.  අනෙක ඔබේ කුඩා ගෙවත්තේ විවිධ පැළෑටිවලට පහසුවෙන් පොහොර සකස් කරගන්නටත් හැකියාව ලැබේවි. 


උණුසුම රකින කෝප්පයක් 




වැඩක් කරමින් සිටින විට තේ කෝප්පය ගෙනැත් මේසය උඩින් තිබ්බත් සමහර වෙලාවට බොන්න මතක් වෙන්නේ ටිකක් වෙලා ගිහින්. තේ වත්කරලා විනාඩි කිහිපයක් ගියාට පස්සේ උණුසුම ගතිය නැතිවෙනවා. ඊට පස්සේ බොන්න වෙන්නේ කූල් තේඑකක්. නමුත් තේ එකක් බොනවා නම් දුම් දාන තරම් උණුසුමට බොන කොට තමයි ප්‍රාණවත් බවක් දැනෙන්නේ. මේ නිසා තේ හෝ වෙනත් උණුසුම් පානයක් වත් කරලා බොහෝ වෙලාවක් ගියත් උණුසුම අඩු නොවෙන කෝප්පයක් හදන්න රුවන් චෙන්ග්සුකියන නිර්මාණ ශිල්පියා සමත් වෙලා තියෙනවා. මෙමගින් යම් කිසි උණුසුම් පානයක් ඒ තත්වයෙන්ම බොහෝ වේලාවක් තබාගන්නට පුළුවන්. මෙහිදී පානයේ ඇති උණුසුම් බව මෙම කෝප්පයට අවශෝෂණය කොට ගෙන එයින් නිපදවෙන විද්‍යුතයෙන් කෝප්පයේ උණුසුම වැඩි වේලාවක් රඳවා ගන්නට හැකියාවක් ලබාගන්න බව තමයි පැවසෙන්නේ. 


කැමති හැටියට බිත්තියේ වෙනස් කරමු 




ගෙදරක බිත්තියකට අපි කැමති පාටක් ගානවා. ටික දවසක් ගිහින් අලුත් පුටු කට්ටලයක් ගෙනාවාම හිතෙනවා, “අයියෝ මේ පුටු සෙට් එකේ පාටට බිත්තිය ගැළපෙන්නේ නැහැ නේකියලා. වෙන වෙන හේතු නිසාත් මේ බිත්තිවල පාට ගැන යම් යම් ගැටළු ඇතිවෙන්න පුළුවන්. නමුත් ඇඳුමක් අඳිනවා වගේ පහුසවෙන් බිත්තිවල පාට වෙනස් කරගන්න බැහැ. ඒ නිසා කැමති හැටියට බිත්තියක පාට වෙනස් කරන්න දැන් අලුත් තාක්ෂණයක් ඇවිත් තිබෙනවා. මෙහි පාට වෙනස් කරන්නට ඇත්තේ එල්.ඊ.ඩී. හෝ වෙනත් ඩිජිටල් තාක්ෂණයක් නම් නොවෙයි. මෙහි ඇත්තේ අපට නොපෙනන ආකාරයෙන් සකස් කළ විවිධ වර්ණ ගැන්වූ ත්‍රිකෝණයි. දැනට ඇත්තේ කලු, සුදු සහ දේදුනු වර්ණයෙන් පමණයි. අපට කලු බිත්තියක් අවශ්‍ය නම් මෙහිදී සිදුවන්නේ ත්‍රිකෝණයේ කලු පැහැති පැති සියල්ල මතුපිටට හැරවීමයි. එවිට බිත්තිය කලු පැහැයෙන් දිස්වෙනවා. අනෙක් වර්ණ ලබාගන්නේත් ඒ ආකාරයෙන්. ඉදිරියේදී මෙයට තවත් වැඩි වර්ණ සංඛ්‍යාවක් සහ හැඩතල, රූ සටහන් ද ඇතුළත් කරන්නට අපේක්ෂා කරන බව පැවසෙනවා.


පෙර ලිපිය