පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, November 8, 2018

ලොව වටා හොල්මන් - Haunted Places from around the World

මේ ලෝකයේ ඇත්තටම පවතිනවාද නැත්ද කියලා වාද කරන දේවල් අතර හොල්මන්වලට ලැබෙන්නේ මුල් තැනක්. ඇතැමුන් මේවා විශ්වාස කරනවා. ඇතැමුන් විශ්වාස කරන්නේ නැහැ. කොහොම වුනත් බහුතරයක් දෙනා මේ ගැන අත්දැකීමක් ලබා ගන්න සෑහෙන උනන්දුවක් තියෙනවා. හොල්මන් නවකතා, චිත්‍රපට ආදිය බිහි වෙන්නේ මේ නිසයි. මේ ඇරුනාම හොල්මන්වලින් පිරිලා ඉතිරිලා ගිය තැන් ගැනත් දැනගන්නට ලැබෙනවා. අපේ රටෙත් මේ වගේ තැන් තියෙනවා. සොහොන් පිට්ටනි මේ අතර ප්‍රධානයි.  ඊට අමතරව ඇතැම් නිවාස, නගර, කැලෑ සහ ගොඩනැගිලි ද හොල්මන්වලට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ලෝකයේ අතිශයින් ප්‍රසිද්ධියට පත් එවැනි ස්ථානත් බොහොමයක් තියෙන අතර මේවා සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථාන වශයෙන් ද ජනප්‍රියත්වයක් උසුලනවා. කොහොම වුනත් මේවා නරඹන්නට යන්නේ නම් හොල්මන්වලට බයක් නැති ඇය විතරයි කියලත් පැවසෙනවා. ඇත්තටම අපට යන්න අවස්ථාවක නැතත් මේ විදියට විස්තරයක් හරි කියවාගන්න ලැබෙන එක ලොකු දෙයක් නිසා මේ සති අන්තයේ මේ විදියට හොල්මන් ගැන කියවමු.


ඇමරිකාවේ මයර්ටල් වතුයායේ මන්දිරය 





රතු ඉන්දියානුවන්ට අයත්ව තිබුණු සොහොන් බිමක් මත ගොඩනැගුවේ යැයි කටකතා පැතිර පවතින ඇමරිකාවේ මයර්ටල් වතුයාය කියන්නේ හොල්මන්වලට බොහොම ප්‍රසිද්ධ තැනක්. මයර්ටල් වතුයායට අයත් මේ පින්තූරයෙන් දැක්වෙන මන්දිරයේ මේ වන විට මිනීමැරුම් 10ක් සිදු වී තිබෙනවා. මේ මන්දිරයේ කලකට පෙර සේවය කළ වහලකු මෙහි හොල්මන් කරන බවට ප්‍රබල විශ්වාසයක් පවතිනවා. කොල පැහැ තලප්පාවක් බැඳ ගත් මේ හොල්මන කීප දෙනෙක්ම දැක තිබෙනවා. මේ මන්දිරයේ මෙයට පෙර ජීවත් වුණු සාරා වුඩ්රෆ් සහ ඇගේ දරුවන්ගේ අවතාර මෙහි ඇති මුහුණ බලන කන්නාඩියක හිරවෙලා තියෙන බවත් දැනගන්නට ලැබෙනවා. මේ මන්දිරයේ ඉදිරිපස වාහන නැවතුම් ස්ථානයේ දී වෙඩි තබා මරා දැමුණු විලියම් පීටර් නමැත්තාගේ අවතාරය ද මේ මන්දිරයේ නිතරම සැරිසරනවා. පීටර්ගේ අවතාරය දුවගෙන ගොස් මේ මන්දිරයේ ඇති 17 වැනි සියවසට අයත් පඩි පෙළක් ළගදී එක්වර අතුරුදහන් වෙන බවත් දැනගන්නට ලැබෙනවා.


එක්සත් රාජධානියේ ටොල්බූත් 





එක්සත් රාජධානියේ ඇති ටොල්බූත් කියන්නේ අඳුරු අතීතයකට හිමිකම් කිවූ තැනක් නොවුනත් එහි වර්තමානය තත්වය ඊට හාත්පසින්ම වෙනස්. වර්ෂ 1700 ගණන්වල ස්කොට් ජාතිකයන් බ්‍රිතාන්‍ය කිරුළ පැහැර ගැනීම සඳහා ජැකොබයිට්නමින් කැරැල්ලක් දියත් කළා. කෙසේ නමුත් එය සාර්ථක වූයේ නැහැ. එයට සහභාගී වූ කැරලිකරුවන්ට සිරගත කිරීම සඳහායි මේ ස්ථානය මුලින්ම යොදා ගෙන තිබුණේ. ඉන් පසුව ඇමරිකානු යටත් විජිතවල ජීවත්ව වූ දරුවන් පැහැර ගෙන විත් වහලුන් ලෙස විකිණීම සඳහා මේ ස්ථානයේ රඳවා තබා තිබෙනවා. වර්තමානයේ මේ ස්ථානයෙන් අද්භූත සිදුවීම වාර්තා වෙනවා. මෙතැන නරඹන්නට පැමිණි බොහෝ දෙනෙකුට දම්වැල් සෙලවෙන හඬ ඇසී තිබෙනවා. ඒ වගේම බොහෝ අවස්ථාවල දී මීදුමින් මෙතැන වැසී යන අවස්ථා තිබෙනවා. එපමණක් නොවෙයි මෙතැනට පැමිණෙන බොහෝ දෙනෙකු පවසන්නේ මෙහි ගත කරන කාලය අතරතුර තමන්ගේ ගෙල කවුරුන් විසින් හෝ මිරිකා ගෙන සිටිනවා සේ දැනුණු බවයි.


එක්සත් රාජධානියේ ප්ලක්ලි ගම්මානය 





එක්සත් රාජධානියේ කෙන්ට් ප්‍රාන්තයේ පිහිටා ඇති මේ ප්ලක්ලි ගම්මානය ලෝකයේ වැඩියෙන්ම හොල්මන් ගැවසෙන ප්‍රදේශය ලෙස එක වතාවක ගිනස් වාර්තා පොතට ද ඇතුළු වී තිබුණා. ගිනස් වාර්තා පොතේ සඳහන් වන්නේ මෙහි හොල්මන් 12 - 16 අතර සංඛ්‍යාවක් දක්නට ලැබුණු බවයි. මං පහරන සොරෙකු මේ ස්ථානයේ දී කඩුවකින් කොටා මරා දමා ඇති අතර ඔහු නිතරම මෙතැන හොල්මන් කරන බව දැනගන්නට ලැබී තිබෙනවා. ඒ වගේම දේවස්ථානය ඇති භූමියේ රතු ඇඳ ගත් කාන්තාවක් ද හොල්මන් කරනා ආකාරය බොහෝ දෙනෙක් දැක තිබෙනවා.


ඇමරිකා එක්සත් ජනපදයේ ඇල්කැට්රාස් 





මේ කියන ස්ථානයේ ඇමරිකාවේ ඉතා ප්‍රකට  අපරාධකාරයෙකු වූ අල් කොපේනෝ ඇතුළු බොහෝ සිරකරුවන් පිරිසක් රඳවා තිබූ ස්ථානය බැව් පැවසෙනවා. ඔහු සමග සිරගෙදර සෑහෙන කාලයක් ගත කළ පුද්ගලයකු වූ ලියොන් විටී නමැත්තා 1980 ගණන්වල දී පිරිසක් ද සමග මෙතැන නරඹන්නට පැමිණ තිබෙනවා. එම පිරිසත් සමග මෙතැන සිටින අතරේ එක්වරම මිහිදුමක් ආකාරයෙන් මිනිස් රුවක් මතු වී ගමන් කළ බවත්, වඩාත් හොඳින් බලද්දී ඒ රුව අන් කිසිවකුගේ නොව සිය සිරකාර මිතුරා වූ අල් කොපේනෝගේ බව ඔහු පවසනවා. මෙතැන පැමිණි තවත් නරඹන්නන් බොහෝ දෙනෙකුට විලාප තැබීම් සහ හැඬුම් ශබ්ද ද ඇසී තිබෙනවා. ඉතාමත් මෑතකදී මෙය නැරඹීමට ගිය එක් පුද්ගලයකු පවසා ඇත්තේ මෙහි ජනෙල් කවුළුවකින් කාන්තාවක් පැන එක්වර අතුරුදහන් වූ බව තමා දුටු බවයි.


ඕස්ට්‍රේලියාවේ ආර්ඩේල් උන්මත්තකාගාරය 





ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටා ඇත් මේ උන්මත්තකාගාරය විශාල ගමක් තුළ පිහිටුවා ඇති තවත් කුඩා ගමක් ලෙස සඳහන් කළ හැකියි. මෙය පිහිටුවා ඇත්තේ 1867 වර්ෂයේ දී පමණ බව පැවසෙනවා. මෙහි රඳවා තිබූ උන්මත්තක පුද්ගලයන් 13,000 කට වඩා මිය ගොස් ඇති බවත් ඒ බොහොමයක් මරණවලට හේතුව ස්වාභාවික කාරණා නොවන බවත් වාර්තා වී තිබෙනවා. වර්තමානයේ මෙය නරඹන්නට පැමිණෙන බොහෝ දෙනෙකු හොල්මන් දැක තිබෙනවා. මෙහි කාන්තාවන් රඳවා තිබූ කොටස තුළ මෙහි අතීතයේ සිට මිය ගිය නර්ස් කෙරී නමැත්තියගේ අවතාරය නිතර දකින්නට ලැබෙන බව වාර්තා වෙනවා. ඒ වගේම තමාව කවුරුන් විසින් හෝ ස්පර්ශ කළ බවත්, හිට හැටියේ අධික සීතලක් දැනුණු බවත් තවත් පිරිසක් පවසනවා.


ඕස්ට්‍රේලියාවේ ඩෙවිල්ස් පොකුණ 



 
අනතුරු ඇඟවීමේ පුවරුව

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පිහිටි මෙය නමින්ම කියවෙන පරිදි යකාගේ පොකුණක්. ගල් පරවලින් වටවුණු මේ පොකුණේ බොහෝ කාලයකට පෙර ඕස්ට්‍රේලියානු ආදී වාසි ඇබොරිජිනල් කාන්තාවක් මේ පොකුණට පැන සිය දිවි නසාගෙන තිබෙනවා. ඒ  ඇගේ පෙම්වතා ඇගෙන් වෙන් කළ ශෝකයටයි. මෙය සිදූ වී ඇත්තේ 1950 ගණන්වලයි. 1959 න් පසුව මෙය අසලට පැමිණි පුද්ගලයන් 17 දෙනෙකු කුමක් හෝ හේතුවක් නිසා මෙම පොකුණට වැටී මරණයට පත්ව තිබෙනවා. මේ නිසා බොහෝ දෙනා පවසන්නේ ආදී වාසී කාන්තාවගේ සාපයක් මේ පොකුණට වැදී ඇති බවයි. මේ තරම් මරණ සිදුවන නිසා බලධාරීන් මෙහි අනතුරු ඇඟවීමේ දැන්වීම් පුවරුවක් ද සවි කොට තිබෙනවා.





ඉන්දියාවේ භන්ගාර් බළකොටුව 






ඉන්දියාවේ රාජස්ථාන් හි පිහිටා ඇති මෙය භූත් බන්ගලානමින් ද ප්‍රකටයි. අද නටබුන්ව පැවතියත් මෙය කුඩා කෝවිල් දෙකක් ද සහිතව ඉදිකරන ලද කුඩා නගරයක් ලෙස පැවැතී තිබෙනවා. ඒ වගේම මාලිගාවල නටබුන් ද මෙහි දකින්නට පුළුවන්. 1783 වර්ෂයේ දී මේ බළකොටුව අතහැර දමා තිබෙනවා. මෙහි ඉරණම පිළිබඳ කතා දෙකක් මේ අවට ප්‍රදේශයේ ප්‍රචලිතව පවතිනවා. මෙහි වාසය කළ එක් පූජකයකු සතුව තිබූ ගොඩනැගිල්ලට වඩා උසින් වැඩි වෙනත් ගොඩනැගිල්ලක් ඔහුගේ අකැමැත්ත මධ්‍යයේ ඉදිකොට ඇති අතර උසින් වැඩි ගොඩනැගිල්ලේ සෙවණැල්ල තම ගොඩනැගිල්ල මතට වැටෙනු දුටු ඔහු මුළු නගරයටම සාප කළ බවයි පැවසෙන්නේ. එක්තරා මායාකරුවෙක් මායා බලයකින් මේ බළකොටුවේ තිබූ මාලිගාවේ සිටි කුමරියක් සිය ආදර වසඟයට ගත් බවත්, එහි බලය බිඳී ගිය විට ඔහු මුළු නගරයටම සාපයක් කළ බවත් තවත් කතාවකින් පැවසෙනවා.


මැලේසියාවේ පෙනෑන්ග් යුද කෞතුකාගාරය 






ලෝක ප්‍රකට නැෂනල් ජෝග්‍රැෆික් සඟරාව සඳහන් කරන අන්දමට ආසියාවේ වැඩිපුරම හොල්මන් අවතාරවලට ප්‍රසිද්ධියක් උසුලන්නේ හොල්මන් කන්ඳ නමින් ප්‍රකට මෙම යුද කෞතුකාගාරයයි. 1930 ගණන්වල දී ආරක්ෂක බළකොටුවක් ලෙස මෙය ගොඩනංවා ඇති අතර 1941 වර්ෂයේ දී ජපනුන් විසින් මැලේසියාව ආක්‍රමණය කරන තුරු මෙහි සිට ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයන්. එතැන් පටන් මෙය ජපනුන්ගේ සතුරන් සිර කොට වද හිංසා කොට මරා දමන ස්ථානයක් ලෙස යොදා ගැනුණා. මේ බොහෝ සිරකරුවන් මරා දමා තිබුණේ ගෙළ සිඳලීමෙන්. මේ ජපනුන් අතර සිටි කෲර නිලධාරියකුගේ අවතාරය නිතර මෙහි සැරිසරන බව මේ අවට වෙසෙන්නන් පවසනවා.




Monday, October 15, 2018

මෙන්න මෙව්ව තමයි ඔපරේෂන් කියන්නේ - Weird Surgeries from Around the World


වෛද්‍ය විද්‍යාව ගැන අබමල් රේණුවක්වත් දැනුමත් නැති වුනත් ශල්‍යකර්මයක් කියන්නේ මොකක්ද කියන එක ගැන අපි හැමෝටම වගේ යම් කිසි අවබෝධයක් තියෙනවා. මේ නිසා හදවත්, වකුගඩු, ආමාශය, මොලය වැනි ස්ථානවල සිදුවන ශල්‍යකර්ම ගැන අසද්දී එය සාමාන්‍ය පුවතක් ලෙස සලකනවා මිසක ඒවා පුදුම සහගත, විශ්වාස කළ නොහැකි දේවල් ලෙස අප සිතන්නේ නැහැ. නමුත් ඇතැම් විට අපට විශ්වාස කළ නොහැකි ආකාරයේ ශල්‍යකර්ම සිදුවන අවස්ථාවන් ද තියෙනවා. ඒවාට වෛද්‍ය විද්‍යාවේ හාස්කම්, ප්‍රාතිහාර්යයන් ලෙස කවුරුත් කියනු අපට ඇසෙනවා. අපේ රටේ ද සිදුවුණු එවැනි පුදුමාකාර ශල්‍යකර්ම තිබෙනවා. මේ තියෙන්නේ ලෝකයේ සිදුවුණු, සිදුකරන්නට නියමිත එවැනි, ටිකක් විශ්වාස කරන්නට  අපහසු ආකාරයේ ශල්‍යකර්ම කීපයක් ගැන පොඩි පොඩි තොරතුරු ටිකක්.

ආමාශයේ සමින් ඇඟිල්ලක් වවා ගැනීම



වැන්ග් යොන්ග්ජුන් කියන්නේ  ගෘහ භාණ්ඩ නිපදවන චීන ජාතිකයෙක්. දවසක් වැඩ කරමින් සිටින අතරේ සිදුවුණු අනතුරකින් ඔහුගේ ඇඟිල්ලක්  කැපී ගියා. සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවකදි කරන්නේ කැපී ගිය ඇඟිලි කොටස සිරුරේ ඉතිරි ඇඟිළි කොටසට තබා මැසීමයි. අවාසනාවකට යොන්ග්ජුන්ගේ ඇඟිල්ල මේ අනතුරින් සහමුලින්ම විනාශ වී තිබුණා. තබා මසන්නට තරම්වත් කොටසක් ඉතිරි වී තිබුණේ නැහැ. මේ අවස්ථාවේ දී ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍ය ෂුසොන්ග්ට කදිම, ඒත් ටිකක් විකාර අදහසක් පහළ වුණා. ඔහු කළේ අතේ ඉතිරි වූ ඇඟිලි ආමාශයේ මතුපිට සමට තබා මැසීමයි. වෛද්‍යවරයා සිතු දේම සිදුවුණා. ටික දවසක් ගත වෙද්දී ආමාශයේ සමින් කොටසක් ඉතිරි ඇඟිලි කොටස මත ඇඟිල්ලක හැඩයෙන් වැඩෙන්නට පටන් ගත්තා.මේ සඳහා සැලකිය යුතු කාලයක් ගත වුනත් වැඩේ සාර්ථක වුණා.  අවශ්‍ය දිග ප්‍රමාණයට වැඩුණාට පසු එය එතැනින් කපා ඇඟිල්ලක ආකාරයෙන් සකස් කරන්නට වෛද්‍යවරයාට හැකියාව තැබුණා.

එක සිරුරයි හදවත් දෙකයි




විරහ ගීත, ආදර ගීතවල හැරුණු විට සාමාන්‍යයෙන් එක සිරුරක හදවත් දෙකක් තියෙනවා අපි අසා නැහැ. කොහොම වුනත් ලෝකයේ ඇත්තටම එවැනි සිදුවීමක් වාර්තා වෙනවා 2011 වර්ෂයෙන්. ඒ වසරේ දී ටයිසන් ස්මිත් කියන තැනැත්තාට හදවතක් බද්ධ කළා. එසේ කළේ ඒ වන විට ඔහුගේ හදවත් අකර්මණ්‍ය තත්වයට පත්ව තිබුණු නිසයි. සාමාන්‍යයෙන් හදවතක් සිරුරකට බද්ධ කළ විට එය සිරුරෙන් ප්‍රතික්ෂේප කරනවා. මේ ප්‍රතික්ෂේප කිරීම වළක්වා ගන්නට අධික ලෙස ඖෂධ ගන්නට සිදුවන අවස්ථාවන් තියෙනවා. කොහොම වුනත් ටයිසන්ට ඖෂධවලින්වත් මේ ප්‍රතික්ෂේප කිරීම වළක්වා ගන්නට හැකියාවක් තිබුණේ නැහැ. මේ නිසා වෛද්‍යවරු තීරණය කළේ පැරණි හදවත එසේම තිබිය දී අලුත් හදවත් සිරුරට බද්ධ කිරීමටයි. මේ අනුව ටයිසන්ට හදවත් දෙකක් ලැබුණා. මේ ශල්‍යකර්මයෙන් පසු සිදුවූයේ රුධිරය සුපුරුදු පරිදි පැරණි හදවතට පැමිණ එයින් පිට වී නව හදවතට ගමන් කිරීමයි. පිරිසිදු රුධිරය සිරුරට බෙදාහැරීම සිදුවන්නේ නව හදවතින්. ජීවිතය ඉක්මනින් කෙළවරවීමට තිබුණු ටයිසන් තව අවුරුදු 10 ක් මේ ශල්‍යකර්මය නිසා දිගු කරගත්තා.

ගර්භාෂයක් බද්ධ කිරීම

වෙනත් අවයවයක් බද්ධ කරනවාට වඩා ගර්භාෂයක් බද්ධ කිරීමේ විශේෂත්වය වන්නේ මෙයින් දරු උපතක් ද අපේක්ෂා කිරීමයි. මේ ශල්‍යකර්මයට මුහුණ දුන් කාන්තාවට උපතින්ම ගර්භාෂයක් තිබුණේ නැහැ. ලෝකයේ එවැනි කාන්තාවන් බොහොමයක් සිටිනවා. ඒ වගේම පිළිකා නිසා සිය ගර්භාෂය අහිමි වන කාන්තාවන් සැලකිය යුතු සංඛ්‍යාවක් ද ලෝකයේ සිටිනවා. මේ කිසිවකුට දරු සම්පතක් ලැබීමේ වාසනාව ලැබෙන්නේ නැහැ. කෙසේ නමුත් ස්වීඩන් වෛද්‍ය මහාචාර්ය මැට්ස් බ්‍රැන්ස්ටෝර්ම්  වසර 10 ක පමණ කාලයක් තිස්සේ සිදු කළ බොහෝ පරීක්ෂණවල ප්‍රතිඵලයක් හැටියට මෙකී කාන්තාවට ගර්භාෂයක් බද්ධ කරන්නට තීරණය කළා. මේ අනුව 2014 වසරේ දී මෙසේ ගර්භාෂයක් බද්ධ කළ එකී කාන්තාවට දරු උපතක් හිමි වුණා. මෙය දරු සම්පත් අහිමි බොහෝ කාන්තාවන්ට සුබ ආරංචියක් වුවත් බොහෝ විට සිදුවන අවාසනාවන්ත දෙයක් තමයි ගර්භාෂය සිරුරෙන් ප්‍රතික්ෂේප කිරීම. මෙය බොහෝ විට ඖෂධවලින් ද සමනය කර ගත හැකි තත්වයක් නොවයි.

අතක් කකුලට බද්ධ කිරීම



නව හැවිරිදි මිනිග් ලියු පාසල් නිම වී නිවසට එද්දී ට්‍රැක්ටරයක හැපී සිදු වුණු අනතුරක් නිසා එක් අතක් සිරුරෙන් වෙන් වුණා. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක දී සිදු කරන්නේ වෙන් වුණු අතර යළි සිරුරට තබා මැසීම වුනත්, මෙය මසන්නට නොහැකි තරමට හානි වී තිබුණා. මේ නිසා සිරුරට තබා මැසීමට පෙර අත් කොටස සුවපත් කරන්නට වෛද්‍යවරුන්ට අවශ්‍ය වුණා. මේ නිසා වෛද්‍යවරු කළේ අත කකුලට තබා වෛද්‍ය විද්‍යානුකූලව බද්ධ කිරීමයි. මේ නිසා අත කොටස මිය යා නොදී එහි හානි වූ කොටස් නැවත වර්ධනය කරගන්නට වෛද්‍යවරුන්ට හැකියාව ලැබුණා. අවශ්‍ය පරිදි අත් කොටස් වර්ධනය වූ පසු වෛද්‍යවරු එය නැවත සිරුරේ නියමිත තැනින් සාර්ථකව සවි කළා.

හිසින් බද්ධ වුණු දරුවන් වෙන් කිරීම





රිටා සහ රිටාජ් ගැබෞරා කියන්නේ හිසින් බද්ධ වී උපන් දැරියන් දෙදෙනෙක්. ඔවුන්ව වෙන් කොට සාමාන්‍ය පරිදි දරුවන් දෙදෙනෙකු බවට පත්කිරීම වෛද්‍යවරුන්ට සෑහෙන ගැටළුවක් බවට පත්ව තිබුණා. එයට හේතුව ඔවුන්ගේ සිරුරවල ඇතැම් ක්‍රියාකාරීත්වයන් සිරුරු දෙකේම ඒකාබද්ධ වීමත් සිදුවීමයි. මේ නිසා ඔවුන් වෙන් කළ විගස දෙදෙනාගේම සිරුර අකර්මණ්‍ය තත්වයකට පත්වන්නට ඉඩ තිබුණි නිසයි. දැරියන් දෙදෙනාගේම මොල දෙක අතර රුධිරය හුවමාරු වීමක් ද සිදු වෙමින් පැවතුණා. ඒ වගේම විශේෂයෙන් මේ සිරුරු දෙකේම රුධිරය ගමනාගමනයෙන් වැඩි කොටසක් සිදු කළේ රිටාජ්ගේ හදවතින්. කෙසේ වෙතත් මේ සියලු දේ පිළිබඳ හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසු වෛද්‍යවරුන්ට පුළුවන් කම ලැබුණා 2011 ඔවුන් දෙදෙනාව සාර්ථකව හිස්වලින් වෙන් කරන්නට. අද වන විට ඔවුන් දෙදෙනා ඉතා සෞඛ්‍ය සම්පන්නව සිටිනවා. මුල් කාලයේ ඔවුන් දෙදෙනාටම පැය 23ක් එක දිගට හෙල්මට් එකක් පැළැඳ සිටින්නට සිදු වුණා. ඒ සිරුරේ හැඩය නිසි පරිදි සකස් වීම සඳහායි. අද වන විට ඔවුන් දෙදෙනා ඉතා සෞඛ්‍ය සම්පන්න ව සිටිනවා.

මුහුණෙන් රත්තල් 16ක ගෙඩියක් ඉවත් කිරීම



හයිටි රාජ්‍යයෙන් මාර්ලි කැසියස් කියන්නේ මුහුණේ ඇති වූ ගෙඩියක් පීඩා විඳි තැනැත්තියක්. ඇයගේ මුහුණේ ගෙඩියක් හටගත් අතර එය රාත්තල් 16ක් පමණ වන තෙක් වර්ධනය වී මුළු මුහුණම විකෘති තත්වයට පත් වුණා. මෙවැනි පුද්ගලයන් ලොව වටා සිටියත් ඒ සියලු දෙනාටම ශල්‍යකර්මයන් කරන්නට වෛද්‍යවරු ඉදිරිපත් වන්නේ නැහැ. එයට හේතුව මෙය අසීරු දෙයක් වන නිසාත්, ඇතැම් විට මරණයක් පවා සිදු විය හැකි වීමත් නිසයි. මාර්ලි ගේ මේ විශාල ගෙඩිය නිසා මුහුණේ අස්ථි පවා මෙය දරා ගන්නට හැකි ආකාරයට විශාලව වර්ධනය වී තිබුණා. කෙසේ වෙතත් හයිටි රාජ්‍යයෙන් තිබුණු එක් පුණ්‍යායතනයක් විසින් මාර්ලිව ඇමරිකා එක්සත් ජනපදයේ මියාමිවලට රැගෙන එනු ලැබුවා. එහිදී වෛද්‍යවරු මේ අවදානම් සහගත ශල්‍යකර්මය සිදු කොට මුහුණේ තිබුණු ගෙඩිය ඉවත් කළා පමණක් නොව මුහුණේ අස්ථි ද යථා තත්වයට පත් කොට ඇයට නිදහසේ, සාමාන්‍ය පරිදි ජීවත් වීමට හැකිවන පරිදි මුහුණක් තබා දුන්නා. මේ ශල්‍යකර්මය සඳහා පැය 17 ක පමණ කාලයක් ගත වී තිබුණා.  

හිස් කබලේ කොටස් පරිස්සමට ආමාශයේ තැන්පත් කිරීම







මේ කතාව ටිකක් විකාරයක් වගේ පෙනුනත් ඇත්තටම එවැනි දෙයක් සිදු වී තිබෙනවා. කතාව මෙන්න මෙහෙමයි. වරක් රූ රැජිනක් ද වූ කාන්තාවක්. නමින් ජේමි හිල්ටන්. දිනක් ඇය විනෝද චාරිකාවකට ගොස් සිටිය දී ප්‍රපාතයකින් ඇද වැටී හිස් කබල හානියට පත් වුණා. රෝහලට රැගෙන ආ පසු ඇගේ හිස් කබලෙන් හතරෙන් පංගුවක් පමණ ඉවත් කරන්නට සිදු වුණා. ඒ මොලය බේරා ගැනීම සඳහායි. හේතුව මේ අනතුර නිසා මොලය ඉදිමී තිබීම නිසයි. කෙසේ වෙතත් මොලය යථා තත්වයට පත් වූ පසු මේ හිස් කබලේ කොටස් යළි හිසට සවිකිරීමට වෛද්‍යවරුන් සැලසුම් කළත්, ඒ කාලය වන තෙක් මේ කොටස් සුරක්ෂිතව, සජීවි ලෙස තබා ගන්නේ කෙසේදැයි වෛද්‍යවරු කල්පනා කළා. අවසානයේ ඔවුන් තීරණය කළේ ඒවා ඇගේ ආමාශයේම තැන්පත් කොට තැබීම වඩාත් හොඳ බවයි. හිස් කබලේ කොටස් මේ ආකාරයට දින 42ක් ආමාශයේ තැන්පත් කොට තිබුණා. පසුව ඒවා යළි හිසට සවි කළා. දැන් හිසෙහි යම් විකෘති පෙනුමක් තිබුණත්, මොලය පරෙස්සම් කරගනිමින් ඇයට යළි සාමාන්‍ය පරිදි ජීවත් වන්නට ඉඩ කඩ ලැබුණේ හිස් කබලේ කොටස් ආමාශයේ සුරක්ෂිතව තැන්පත් කොට තිබුණු නිසයි.


මීමැස්මොරය සුව කරන්නට මොලයෙන් භාගයක් ඉවත් කිරීම
මොලය කියන්නේ අපේ ශරීරයේ තියෙන සංකීර්ණතම ඉන්ද්‍රිය කියන එක ගැන විවාදයක් නැහැ. යම් යම් ස්නායු ආබාධ, විශේෂයෙන්ම මීමැස්මොරය, සුවකිරීම සඳහා මොලයෙන් අඩක් ඉවත් කිරීමේ සැත්කමක් සිදුකරන බව ඇතැම් විට ඔබ අසා නැති වෙන්නට පුළුවන්. අතිශය අවදානම්, සහ පරිස්සමින් කළ යුතු මෙය හඳුන්වනු ලබන්නේ Hemispherectomy  නමින්. මොලයේ එක් අර්ධයක් ඉවත්කිරීම නිසා අංශභාගය, පාද සහ ඇඟිල්වල සංවේදනය අහිමි වීම වැනි ගැටලු ඇති විය හැකි වුවත්, දරුණු රෝග තත් වයන් සුවකිරීම සඳහා මෙම සැත්කම යොදා ගැනෙනවා. කාර්ලි මිලර් නම් ඕස්ට්‍රේලියානු ජාතික දැරියට 17 වැනි වියේ දී මෙම ශල්‍යකර්මය සිදු කෙරුණා. මේ සඳහා පැය  9 1/2ක් ගත වුණා. ඇය යම් යම් සුළු ආබාධවලට ලක් වුනත් දැන් ඇය සුවදායී ජීවිතයක් ගත කරනවා.

හිස බද්ධකිරීමේ ශල්‍යකර්මය



මෙය තවම සිදුවී නැති ශල්‍යකර්මයක් වුවත් නුදුරු අනාගතයේදීම කළ හැකි බව ඉතාලි ජාතික ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වන සර්ජියෝ කැනවේරෝ පවසනවා. ෂුෂුම්නාව, ස්නායු සහ රුධිර නාල එකිනෙක බද්ධ කොට සිරුර දෙකක් සාර්ථකව එකට ජීවත් විය හැකි අකාරයෙන් සකස් කරන්නට තමාට හැකි බව ඔහු පවසනවා. ඔහු යටතේ මේ ශල්‍යකර්මය කර ගැනීම සඳහා මේ වන විටත් රුසියානු ජාතික වැලේරි ස්ප්‍රිඩිනොව් ලියාපදිංචි වී සිටිනවා. ඔහුගේ හිසෙන් පහළ පණ නැහැ. මේ සඳහා සජීවි සිරුරක් ලබා ගත හැකි අවස්ථාවක් උදාවන තුරු ඔහු බලා සිටිනවා. නුදුරු අනාගතයේ දී මෙය සාර්ථකව සිදුවේද නැද්ද කියා ලෝකයාට බලා ගත හැකි වේවි.