පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, September 25, 2013

ඕස්ට්‍රේලියාවේදී සම්මානයට පාත්‍ර වූ ලාංකික කතුවරිය, මිචෙල් ඩි ක්‍රෙස්ටර් - Mitchelle De Krester, the Novelist awarded in Australia



සැප්තැම්බරය යනු අප රටේ සාහිත්‍යකරුවන්ගේ මහා මංගල්‍යය යැයි පැවසුව ද එහි වරදක් නැත. මන්ද  සාහිත්‍යය වෙනුවෙන් සම්මානලාභීන් බිහිවන්නේ මේ මාසයේදී වීම නිසා ය. සතියකට අධික කාලයක් තිස්සේ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන වාර්ෂික පොත් මංගල්‍යය නැරඹීමට පැමිණෙන පොත පතට ආදරය කරනා ලක්ෂ සංඛ්‍යාත පිරිස දකිනා විට සිතෙහි සතුටක් ඇතිවන්නේ නිතැනිනි. නමුත් මේ පවසන්නට යන්නේ මේ සාහිත්‍යය මංගල්‍යය පිළිබඳ කතාවක් නොවේ. නමුත් මෙය සාහිත්‍යයට සම්බන්ධය. නමුත් අප රටේ නොවේ. මේ සාහිත්‍යය මංගල්‍යය ඕස්ට්‍රේලියාවේ පවත්වනු ලැබූවකි. වර්ෂ 1957 දී ආරම්භ කෙරුණු  ‛මයිල්ස් ෆ්‍රැන්ක්ලින් සාහිත්‍ය සම්මානය’ (The Miles Franklin Literary Award) නම් වූ මෙය සාහිත්‍යය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ දී පිදෙන ඉහළතම සම්මානය ලෙස සැළකේ. මෙම සම්මානය වෙනුවෙන් පිරිනැමෙන් මුදල් තිළිණය  ඕස්ට්‍රේලියානු ඩොලර් 60,000 (රුපියල් ලක්ෂ 74කට අධික මුදලකි) කි. මෙවර එම සම්මානය හිමි වූයේ ‛ක්වෙස්චන්ස් ඔෆ් ට්‍රැවල්’ (Questions of Travel) නමැති නවකතාවට ය. මෙය අපට වැදගත්වන්නේ ඇයි? එය අපට වැදගත්වන්නේ අන්කිසිවක් නිසා නොව  2013 වසරේ මේ සම්මානය දිනාගනු ලැබූවේ අප රට ඉපදී, 1972 වසරේදී ඕස්ට්‍රේලියාට සංක්‍රමණය වූ කාන්තාවක වීම නිසාය. මිචෙල් ඩි ක්‍රෙස්ටර් නම් වූ මේ අසහාය ලේඛිකාව පිළිබඳ කතාකිරීමට මේ සාහිත්‍යය මාසය තරම් සුදුසු වෙනත් සමයක් නැත. 



1957 නොවැම්බර් 11 වැනිදා ශ්‍රී ලංකාවේදී උපත ලද මිචෙල් ඩි ක්‍රෙස්ටර් 1972 දී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන විට වන විට ඇය 14 හැවිරිදි වියෙහි පසු වූවා ය. කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබාගත් ඇය ද්වීතික අධ්‍යාපනය ලබාගත්තේ මෙල්බෝන් නුවරදී හා පැරීසියේ දී ය. ඩච්-බර්ගර් කාන්තාවක වන ඇගේ පියා වූ ඕ. එල්. ක්‍රෙස්ටර් මහාධිකරණ විනිසුරුවරයකු විය. මිචෙල් අට හැවිරිදි වියෙහි පසුවත්දී, ඇගේ මව වූ පෙගී ක්‍රෙස්ටර් හැව්ලොක් පාරෙහි තිබූ ඔවුන්ගේ විශාල, පැරණි මන්දිරයේදී අවතාරයක් දුටු බැව් පැවසේ. මිචෙල් එම සමයේදී මෙම අවතාර සිදුවීම නිර්මාණාත්මක ලෙස සිය යෙහෙළියන් සමඟ පවසන්නට හුරුපුරුදුව සිටියා ය. ඇගේ නිර්මාණකරයේ ආරම්භය මෙම හොල්මන් කතා කීම වියහැකි බැව් ඇතැමෙක් පවසති. 1970 දී සිංහල හා දෙමළ භාෂාවන්ට ප්‍රමුඛත්වය දීමේ අරමුණින් රජය ඉංග්‍රීසි පාසල් වසාදමන්නට තීරණය කළේය. ඉංග්‍රීසි බසින් කටයුතු කරන්නට පුරුදුව සිටි මිචෙල්ගේ පවුලට මෙය බලාපොරොත්තු කඩවීමක් වූ බැව් ඇය සඳහන් කරන්නී ය. මේ හේතුවෙන් ඇගේ වැඩිමහලු සොයුරු සොයුරියෝ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන්නට තීරණය කළහ.



 ඒ වනවිටත් මිචෙල්ගේ අනෙක් සොයුරු සොයුරියන් පස්දනොම විවාහපත් ව සිටියහ. ඕස්ට්‍රේලියානු ජාතික කවියකු වන ක්‍රිස් ඇන්ඩෲස් සමඟ විවාහ වී සිටිනා මිචෙල් සිඩ්නි, සංක්‍රමණිකයන් බෙහොමයක් දෙනෙක් ජීවත්වන සිඩ්නි නුවර ඩල්විච් හිල් හි දැනට පදිංචිව සිටින්නී ය. 
‛ලෝන්ලි ප්ලැනට්’ නම් සංචාරක මගපෙන්වන සමාගමක ප්‍රකාශන සංස්කාරවරියක ලෙස සේවය කළ ඇය 1999 දී සිය ප්‍රථම නවකතාව වූ ‛ද රෝස් ග්‍රෝවර්’ (The Rose Grower) නිර්මාණය කළා ය.


 2003 වසරේදී ඇය සිය දෙවැනි නවකතාව වූ ‛ද හැමිල්ටන් කේස්’ (The Hamilton Case) සම්පාදනය කළ අතර එයට තස්මේනියානු පැසිෆික් සම්මානය, එක්සත් රාජධානියෙන් පිදෙන ‛එන්කෝර් සම්මානය’ සහ අග්නිදිග ආසියානු හා පැසිෆික් රටවල් සඳහා පිදෙන පොදු රාජ්‍ය මණ්ඩලීය සාහිත්‍ය සම්මානය හිමි විය. 


සිය තෙවැනි නවකතාව වූ ‛ද ලොස්ට් ඩෝග්’ ( The Lost Dog)  නිර්මාණය කළේ 2007 වසරේදී ය. එය 2008 වසරේ බුක්ර් සම්මානය සඳහා නිර්දේශ වූ ග්‍රන්ථ 13 අතරින් එකක් වීම සුවිශේෂ ය.


 වර්ෂ 1989 සිට 1992 දක්වා ඇය ඕස්ට්‍රේලියානු කාන්තා ග්‍රන්ථ විචාරක සංගමයේ ආරම්භක සංස්කාරවරියක ලෙස කටයුතු කළා ය. ඇගේ සිව්වැනි නවකතාව වූ ‛ක්වෙස්චන්ස් ඔෆ් ට්‍රැවල්’ කෘතිය 2013 වසරේ මයිල්ස් ෆ්‍රූන්ක්ලින් සම්මානය පමණක් නොව ඕස්ට්‍රේලියානු සාහිත්‍ය සංගමයේ රන් පදක්කම සහ ප්‍රබන්ධ වෙනුවෙන් පිදෙන 2013 වසරේ අග්‍රාමාත්‍ය සාහිත්‍ය සම්මානය ද දිනා ගත්තාය. 

ඇය සිය නිර්මාණයන් සඳහා ශ්‍රී ලංකාව පදනම් කරගන්නා බැව් පෙනේ. ‛ද හැමිල්ටන් කේස්’ මෙන්ම මෙවර ඇය සම්මානය දිනාගත් ‛ක්වෙස්චන්ස් ඔෆ් ට්‍රැවල්’ නවකතාව ද ඊට නිදසුන් වේ. ‛ක්වෙස්චන්ස් ඔෆ් ට්‍රැවල්’ නවකතාවේ ප්‍රධාන චරිත දෙක වන ලෝරා සහ රවී අතුරින් ‛රවී’ යනු ශ්‍රී ලාංකික චරිතයකි. සරණාගතයකු වන රවී යනු රැකියාවක් සොයා නීති විරෝධී ක්‍රම ඔස්සේ ඕස්ට්‍රේලියාවට ඇතුළුවන්නට උත්සාහකරනා දහසක් මිනිසුන් අතුරින් එක් අයෙකි. මිනිස්සු විවිධ හේතූන් නිසා සංචාරයේ යෙදෙති. ඇතැමෙක් විනෝදය උදෙසා සංචාරය කරති. ඇතැමෙක් ව්‍යාපාරික කටයුතු සඳහා ද, ඇතැමෙක් ඥාතීන් බැහැදැකීම සඳහා ද සංචාරයේ යෙදෙති. නමුත් මේ නවකතාවේ රවී යනු එවැනි අරමුණක් වෙනුවෙන් සංචාරය යෙදෙන්නෙක් නොවේ. ඔහු එසේ කරන්නේ ජීවත්වන්නට වෙනත් මඟක් නොමැති බැවිනි. ඔහු සරණාගයකු ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළුවී එහි යම්කිසි රැකියාවක් සොයාගැනීමේ සිහිනය දකිනා තරුණයෙකි. 

අග්‍රාමාත්‍ය සම්මාන උළෙලේදී ඇයද ඇතුළුව නිර්මාණකරුවන් සය දෙනෙකු සම්මානයට පාත්‍ර විය. මෙහි මැදින් සිටින්නී මිචෙල් ය. 

මෙම නවකතාව 2013 වසරේ අග්‍රාමාත්‍ය සම්මානය ද හිමිකර ගත්ත ද එම අවස්ථාවට සහභාගීවන්නට ඕස්ට්‍රේලියානු අගමැතිවරයා  බ්‍රිස්බේන් නුවර සිටියේ නැත. එයට හේතුව වශයෙන් සැළකෙන්නේ ඇය මෙම නවකතාවෙන් අගමැතිවරයා සරණාගතයින් වෙනුවෙන් පනවා ඇති ප්‍රතිපත්තීන් දැඩිලෙස විවේචනය කොට ඇති නිසා බැව් සැළකේ. 
මිචෙල් මෙසේ පවසන්නී ය. 

“මගේ නවකතාව හොවාර්ඩ් අගමැතිවරයාගේ සමය පසුබිම්කොටගෙන ලියැවී තිබෙනවා. හොවාර්ඩ් අගමැතිවරයාගේ රජය සරණාගතයින්ට සැළකූ පහත් අන්දම පිළිබඳ කෝපයත්, දුකත් මේ නවකතාවෙන් පිළිබිඹුවෙනවා. වර්තමාන අගමැතිවරයා ද එයට වඩා වෙනසක් නැහැ. මම ඔහුගේ ප්‍රතිපත්තීන්වලට ද දැඩිව පහර ගසන්නට මෙයින් උත්සාහ ගත්තා. ඔහුගේ ප්‍රතිපත්තීන් වැරදි බව ඔහුගේ හෘදසාක්ෂිය දන්නා බව මට සැකයක් නැහැ” 

කෙසේ මුත් ඕස්ට්‍රේලියාවේ නවකතාවලට සම්මාන ලබාදීමේ දී විනිශ්චය මණ්ඩලය අපක්ෂපාතීව කටයුතුකරනා බැව් මෙම සිද්ධියෙන්ම පැහැදිලි වේ. අප රටේ නම් රජයේ ප්‍රතිපත්තිවලට පහර දෙමින් කරන ලද මොනයම් හෝ නිර්මාණයකට රජායේ අනුග්‍රහයෙන්ම සම්මානයක් ලබාදීම කිසිදු දිනෙක සිදු නොවන්නකි. නමුත් අගමැතිවරයාගේ නමින් පැවැත්වෙන සම්මානයක් සඳහා අගමැතිවරයාගේ ප්‍රතිපත්තීන් විවේචනය කළ නවකතාවක් තෝරාගැනීම සුවිශේෂී කරුණකි. 

- රැජින 2013-09-27



1 comment:

  1. අපි නොදන්නා අපේ අය ගැන මේ වගේ තවත් ලිපි ලියන්න

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න