පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, April 21, 2016

ජංගම දුරකතනවලටත් හෙන වදිනවාද?


“මේ අකුණු ගහන වෙලාවේ කෝල් අරන් අපිවත් මරවන්නද හදන්නේ?” 

අකුණු පුපුරන අවස්ථාවක ඔබ ජංගම දුරකතනයෙන් ඇමතුමක් ගතහොත් සියලු දෙනාම පාහේ පවසන්නේ මෙවැනි කතාවකි. මේ නිසාම අප බොහෝ දෙනෙකු පුරුදුව ඇත්තේ එවැනි අවස්ථාවකදී ජංගම දුරකතනය භාවිත නොකර සිටින්නට පමණක් නොව එය ක්‍රියා විරහිත කොට ද තබාගන්නටය. සැබවින්ම ජංගම දුරකතනයක් භාවිත කරන්නකු අකුණු පුපුරන අවස්ථාවකදී අනතුරකට ලක්වීමේ ඉඩක් තිබේද? මෙය බොහෝ දෙනෙකුට ඇති ගැටලුවකි.  අප්‍රේ්ල්, එසේත් නැත්නම් බක් මාසයේ අධික ලෙස අකුණු පිපිරීම ද සිදුවන බැවින් මේ පිළිබඳ පැහැදිලි අවබෝධයකින් සිටීම අප සියලු දෙනටම ඉතා වැදගත්ය.


අප මුළින්ම ‛අකුණක්’ යනු කුමක්දැයි සරල ලෙස පැහැදිලි කරගනිමු. අහසේ ඇතිවන වළාකුළු, විශේෂයෙන් කැටි වැසි වළාකුළු විද්‍යුත් ආරෝපණයෙන් යුක්තය. ඔබ සාමාන්‍යයෙන් දකින බැටරි කැබැල්ලක මෙන් මෙම වළාකුළුවල ඉහළ කොටස ධන (+) ආරෝපණයෙන් (ඉලෙක්ට්‍රෝන) ද, පහළ කොටස ඍණ (-) ආරෝපණයෙන් (ප්‍රෝටා්න) ද යුක්තය. මෙසේ ආරෝපණය වූ වළාකුළක් පාවී යද්දී මෙවැනි තවත් වළාකුළකට උඩින් හෝ යටින්  ගමන් කළ හොත් මෙම වලාකුළු දෙකෙහි ධන සහ ඍණ අරෝපණ අතර ආකර්ෂණයක් ඇති වෙයි. මේවායේ අධික විදුලියක් ගබඩා වී ඇති බැවින් මේ ආකර්ෂණය සිදුවන්නේ මහ හඬකින් පුපුරා ගිනි විසිකරමිනි. අපට අකුණු පුපුරන අවස්ථාවක මහා හඬක් ඇසෙන්නේ සහ අධික ආලෝකයක් පෙනෙන්නේ මේ නිසාය. ඇතැම් අවස්ථාවලදී වළාකුල තුළම පවතින ධන හා ඍණ ආරෝපණ එකිනෙක ආකර්ෂණය වී අකුණු ඇතිවන අවස්ථාවන්ද තිබේ. ආකර්ෂණය වන්නට වළාකුලක් නොමැති අවස්ථාවක බොහෝ විට සිදුවනුයේ සිය පහළ කොටසේ ඇති ඍණ ආරෝපණය පොලොවේ ආසන්නතම ස්ථානයක ඇති ධන ආරෝපණයක් සමඟ ආකර්ෂණය වීමය. මෙහිදී පොලොවේ  යම් භූමියක ඒ අවස්ථාව්දී පවතින උසම ස්ථානයක් කරා අකුණ ඇදී යයි. උස් ගසක් තිබුණහොත් අකුණ එයට ඇදී යයි. ගස අසළ ලෝහ කුළුණක් තිබුණහොත් අකුණ ඇදෙන්නේ එයටය. එයට හේතුව ගසකට වඩා ලෝහ කොටස් ධන ආරෝපණයෙන් යුක්ත වීම නිසාය. අකුණු පුපුරන අවස්ථාවක පිට්ටනියක් වැනි තැනිතලා බිමක යම් කිසිවකු සිටගෙන සිටියහොත් එම අවස්ථාවේදී පොලොවේ ඇති උසම ස්ථානය එම පුද්ගලයාගේ හිස නිසා එතැනට අකුණ ඇදී එයි. 



 

අකුණු පුපුරන අවස්ථාවකදී යම් පුද්ගලයකු ඇමතුමක් ගනිමින් එළිමහනේ සිටියහොත් ඔහු අකුණු අනතුරකට ලක්වීමේ වැඩි ඉඩක් පවතී. එයට හේතුව ඇතැම් විට එම අවස්ථාවේදී පොලොවේ පවතින උසම ස්ථානය ද ඔහුගේ හිස  වීමට ඇති ඉඩකඩය. අනෙක ජංගම දුරකතනයේ ලෝහ කොටස් ඇති නිසා ඒවාට අකුණු ආකර්ෂණය වීමේ වැඩි ඉඩකඩක් පැවතීමය. කලකට පෙර එක් ප්‍රවෘත්තියකින් අසන්නට ලැබුණේ අකුණු පුපුරන අවස්ථාවකදී වැව් බැම්ම මතින් ඇමතුමක් ගනිමින් ගමන් කළ පුද්ගලයකු අකුණක් වැදී මරුමුවට පත් වූ බවය. මේ පුවතත් සමඟ බොහෝ දෙනෙක් අකුණු ගසන අවස්ථාකදී ජංගම දුරකතන භාවිතය අතහැර දැමූ බව පෙනෙන්නට තිබිණි.  මේ පිළිබඳ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ආදී රජයේ ආයතන ජනතාව දැනුවත් කරමින් පැවසූයේ ජංගම දුරකතන සොයා අකුණු ඇදී එන බවට පවතින විශ්වාසය මිත්‍යාවක් බවය. නිවසක් තුළ සිට යමකු ජංගම දුරකතන ඇමතුමක් ගන්නේ නම් එවැනි අවස්ථාවක එයට අකුණක් ඇදී ඒමේ හැකියාව මේසය මත ඇති හැන්දකට අකුණක් ඇදී ඒමේ හැකියාවට හැම අතින්ම සමානය. 

ජංගම දුරකතන ක්‍රියාත්මක වන්නේ ක්ෂුද්‍ර තරංග ඔස්සේය. ක්ෂුද්‍ර තරංගවලට අකුණු ඇදී එන බවට භෞතික විද්‍යාත්මකම කිසිදු සාධකයක් නැත. හේතුව මේවායේ ධන හෝ ඍණ ආරෝපණ කිසිවක් නොමැති බැවිනි. නමුත් යම් පුද්ගලයකු නිවසේ ආවරණයක් නොමැතිව දොරකඩ සිට ඇමතුමක් ගතහොත් ඔහු කරා අකුණක් ඇදී එන්නේ ජංගම දුරකතනය නිසාම නොව ඔහු එළිමහනේ අකුණට ඇදී ඒමට පහසු ස්ථානයක සිටින බැවිනි. මිදුලේ සිටිය හොත් අකුණක් ඇදී එන්නේ අදාළ පුද්ගලයා එතැන උසම ස්ථානයක් නිර්මාණය කරන නිසාය. 

රෙදි වැලක් සඳහා කම්බියක් යොදා ඇති නිවසක, එම රෙදි වැළ නිවස තුළ යමකට ගැට ගසා ඇතැයි මඳකට සිතන්න. එවැනි අවස්ථාවකදී එය පිටත සමඟ සම්බන්ධ වී ඇති නිසා එයට අකුණක් ඇදී ඒමේ හැකියාවක් තිබේ. මෙය නිවස තුළ රෙදි වැල ගැට ගසා ඇති ස්ථානය අසළ සිට අකුණු පුපුරන අවස්ථාවෙකදී යමකු ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබානිමින් සිටියදී අකුණු අනතුරකට ලක් වුවහොත් ඒ ජංගම දුරකතකව නිසා නොව රෙදි වැල දිගේ අකුණක් ඇදී ඒමට ඇති හැකියාව අධික නිසාය. 

මේ කරුණු නිසා විදුලිය සහ සන්නිවේදන කටයුතු පිළිබඳ විශේෂඥයන් පවසන්නේ නිවසක්, ගොඩනැගිල්ලක්, වාහනයක් වැනි ආවරණයක් සහිත ස්ථානයක ඇතුළත සිට ජංගම දුරකතනය භාවිත කරන්නේ නම් කිසිදු අකුණු අනතුරක් සිදුවන්නේ නැති බවය. අකුණු පුපරන අවස්ථාවකදී ඇමතුමක් ගත හැකි ආරක්ෂිතම ක්‍රමය වන්නේ ජංගම දුරකතනය ඔස්සේ සිදු එය කිරීමය. නමුත් එළිමහනට යාමෙන් වැළකී සිටිය යුතුය. යම් පුද්ගලයකු අකුණු පුපුරන අවස්ථවකවදී ගසක් යට සිටිමින් ඇමතුමක් ගනිමින් සිටියදී අකුණු අනතුරකට ලක්වූයේ නම් ඒ ජංගම දුරකතනය නිසා නොව ගස්වලට ඇදී එන අකුණු නිසාය. එය භූගත වන්නට ගස ඔස්සේ පොලොවට ඇදී ඒමේදී යම් පුද්ගලයකු ගස යට සියහොත් එම පුද්ගලයා ද අකුණ නිසා අනතුරකට ලක් වෙයි. 

කෙසේ වුවත් අකුණු පුපුරන අවසථාවකදී ස්ථාවර දුරකතන ඔස්සේ යමෙකු ඇමතුමක් ලබාගන්නේ නම්, එය අකුණු අනතුරකට පත්වීමට ඇති ඉඩකඩ වැඩිය. එයට හේතුව එය කෙළින්ම නිවසින් බාහිර ස්ථානයකට රැහැනක් ඔස්සේ සම්බන්ධ වන බැවිනි. 

මේ නිසා අකුණු පුපුරන අවස්ථාවකදී හොඳින් ආවරණය වූ ස්ථානයක සිට ජංගම දුරකතනය ඔස්සේ ඇමතුමක් ලබාගත හොත් කිසිදු අකුණක් ඇදී එන්නේ නැත. අකුණු පුපුරන අවස්ථවක නිවසේ සියලු විද්‍යුත් උපකරණ විදුලියෙන් විසන්ධි කොට තැබීම, රූපවාහිනිය විදුලියෙන් පමණක් නොව ඇන්ටෙනාවෙන් ද විසන්ධි කොට තැබීම නිවස තුළට අකුණක් ඇදී එන්නට ඇති අවස්ථා හැකිතාක් අවම කරගත හැකි ආරක්ෂිත පියවරයන්ය. එවිට අකුණු පිපිරුව ද නිවස තුළ සිට කිසිදු බියක් සැකක් නොමැතිව ජංගම දුරකතනය ඔස්සේ ඇමතුම් ලබාගත හැකිය. 

අවසාන වශයෙන් යළිත් විශ්වාසයෙන් යුතුව කිව හැක්කේ අකුණු පුපුරද්දී නිවසක් තුළ සිට ජංගම දුරකතනයෙන් ඇමතුම් ගැනීම කිසිදු ආකාරයකින් අනතුරුදායක දෙයක් නොවන බවය. කරුණු මෙසේ වුවත් ඔබ තුළ තවමත් මේ පිළිබඳ විශ්වාසයක් නොමැති නම්, වඩාත් සුදුසු දෙය වන්නේ අකුණු පුපුරන අවස්ථාවලද ජංගම දුරකතනය භාවිතයෙන් වැළකී සිටීමය.


 

31 comments:

  1. good post මචං. ඒත් පොඩි අවුලක් තියනවා. mobile phone වල භාවිතා වෙන්නේ ක්ෂුද්‍ර තරංග(microwaves) නෙවෙයි රේඩියෝ තරංග.

    ReplyDelete
    Replies
    1. මේක කියවලා බලන්න

      https://au.answers.yahoo.com/question/index?qid=20100215222156AAP3Gxp

      Delete
    2. ජංගම දුරකතන ක්‍රියාත්මක වන්නේ ගුවන් විදුලි සංඛ්‍යාත සමගයි. නමුත් මේ ගුවන් විදුලි සංඛ්‍යාතය ගුවන් විදුලි තරංගවලට වඩා වෙනසකින් යුක්තයි. ඒවා එෆ්.එම්. ගුවන් විදුලි තරංග සහ මයික්‍රෝවේව් උදුන්, රේඩාර් සහ චන්ද්‍රිකා මධ්‍යස්ථානවල භාවිත වන තරංග අතර වන විද්‍යුත් චුම්බක වර්ණාවලියේ පිහිටි විද්‍යුත් චුම්බක ශක්ති ස්වභාවයකින් යුක්තයි. බොහෝ විස්තර සොයා බැලූ විට දක්නට හැකි වූයේ ජංගම දුරකතන සඳහා රේඩියෝ තරංග නොව ක්ෂුද්‍ර තරංග යොදා ගන්නා බවයි. නමුත් එය නිවැරදිව පැහැදිලි කරගන්නට අවශ්‍යයි.

      Delete
    3. Jean Guwan Comney - තොරතුරට ස්තූතියි

      Delete
  2. අපේ ගෙදර එවුන්ට ඔලුවෙන් හිටගෙන කිව්වත් පිළිගන්නේ නැහැනේ බං

    ReplyDelete
    Replies
    1. අපේ ගොඩ දෙනෙක් එහෙමයි. අකුණක සද්දයක් ඇහුණු ගමන් ෆෝන් ඕෆ් කරගන්නවා.

      Delete
  3. මේ පෝස්ටුව දැම්මාට ගොඩක් ස්තුතී.. අර උඩ මෙන්ඩා කියුව වගේ අපේ ගෙදර අයත් අකුණු ගහනකොට කෝල් ගත්තට අවුලක් නෑ කියුවට අහන්නේ නෑ. ඒ වෙලාවට මට වඳින්නේ බැනුම් අකුනු සහ හෙන...
    මං දැන් මේකවත් පෙන්නලා බලනවා... මට නම් මේ කාරනේ කලින් ඉදලා ශුවර් ...

    ReplyDelete
    Replies
    1. හුගක් දෙනෙක් මේක දන්නේ නෑ. දැනගත්තත් කෝකටත් හොදටයි කියලා ෆෝන් ඕෆ් කරගන්න අයත් ඉන්නවා. මොකද මෝල් ගහත් පත්තු වෙන වෙලාවල් තියෙනවා කියලා අපේ කියමනක් තියෙනවානේ.

      Delete
    2. මෝල් ගහත් පත්තු වෙන වෙලාවල් තියෙනවා කියලා අපේ කියමනක් තියෙනවානේ.//
      මට නං වෙන්නෙම මොල් ගහත් පත්තුවෙන ජාතියෙ වැඩ..
      ඕයේස්

      Delete
    3. එහෙනම් පරිස්සම් වෙන එක තමයි වැඩිය හොද

      Delete
  4. බඩුම තමා මේක ගෙදර හැමෝට ම පෙන්නුවා.....

    ReplyDelete
    Replies
    1. හැම දෙනාම දැනුවත් කරන එක හොදයි. ඒ වගේම අකුණුවලින් පරෙස්සම් වෙන්න පිළියම් යොදා ගන්න එකත් හොදයි.

      Delete
  5. ඔී..... උඹ මේ වැස්සේ ඔකේ එල්ලිා ඉදල
    අපිටත් හෙන වද්දවන්නද හදන්නේ - අමිමා

    ReplyDelete
  6. එල ලිපියක් මොබයිල් එකේ බටරියත් ගලවනවා මන් නම් බයට.

    එතකොට CDMA වලට කොහොමද ? ඒවගේ ඇන්ටෙනා හයි කරන්න එන උන් කියන්නේ අකුණු ගහන වෙලාවට වයර් එක හයි කරගෙන ඉන්න කියලා අපිනම් බය නිසා ගලවලා දානවා.

    ReplyDelete
    Replies
    1. CDMA ගැන කියන්න තියෙන්නෙත් මේ කතාවම තමයි. අකුණු ගහන වෙලාවට ඒකේ ඇන්ටෙනා වයර් එක ගෙදරින් එළියට දාලා තියන එක තමයි හොදම දේ. ෆෝන් එක විතරක් ගේ ඇතුලේ තියාගෙන කෝල්ස් ගත්තට බයක් වෙන්න දෙයක් නෑ.

      Delete
  7. දැන් කාලෙ ඉතිං හැමවෙලාවෙම හැම ඇටික්ච්චියෙක් ගාවම පෝන් එකක් තියෙනවා..ඕකෙන් මැසේජ් කොටනවා..ඉතිං වරුසාව වෙලාවක වෙන වැඩක් කරන්න නැත්තං පෝන් එකේමයි නෙ ඉන්නෙ..එතකොට අකුනක් වැදුනොත් අවසානෙ පොන් එක තමයි පලි ඉතිං..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. සමහරු ගෙදර කට්ටියට පෙනෙයි කියලා පිළිකන්නේ ඉදන් කෝල්ස් ගන්නත් යනවානේ. අකුණු ගහන වෙලාවට පිළිකන්නේ හිටියොත් නිව්ස් එකට යන්නේ ‘ජංගම දුරකතනයෙන් අැමතුමක් ගනිමින් සිටියදී තරුණයා/තරුණිය අකුණක් වැදී මිය යයි‘ කියලයි. අයියෝ ඉතිං ජංගම දුරකතනේ පව්!

      Delete
  8. Thanks For Inform Us.Good Work.Keep it Up

    ReplyDelete
  9. වැදගත් පෝස්ට් එකක්...
    හැබැයි කාටවත් ලේසියෙන් හඟිස්සන්ට බැරි කතාවක්...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔව් මේක ඇත්තක් කියලා තේරුම් ගත්තත්, ගනුදෙනු කරන්න වෙන්නේ ‘හෙන‘ එක්කනේ. ඉතිං හැමෝම කරන්නේ වැඩි හොදට කියලා වැඩි වැඩි වැඩියෙන් පරිස්සම් වෙන එකනේ.

      Delete
  10. අපේ අයට ඕක කොයිතරම්නම් කිව්වත් පිලිගන්නෑනොවෑ..

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතිකෙන්ම ඇත්ත.

      Delete
  11. මට කියන්න තියෙන්නෙත් ගොඩක් අය කියලා තියෙන කතාවමයි.මොකද අපේ අයත් හරි බයයි අකුණු ගහන කොට කෝල් එකක් ගන්න.කොච්චර හදිසි,වැදගත් පණිවිඩයක් වුනත් කරන්න දෙයක් නැහැ ඒ වේලාවට.අකුණු අනතුරුවලට අනෙක් අනතුරුවලට වඩා ගොඩක් අය බයවෙන්න තවත් හේතුවක් තමයි අනතුරෙන් පස්සේ අනෙක් අය කියන කතා නිසාත්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. අකුණු ගහන කොට සමහරු පෑනක්වත් අතේ තියාගෙන ඉන්නේ නැති වෙලාවල් තියෙනවා. කොහොම වුණත් විද්‍යාත්මකව නම් මොන ආකාරයකින්වත් නිවසක් ඇතුළේදී ජංගම දුරකතනයකට අකුණු වදින්නේ නැහැ. සාමාන්‍ය තත්වයකදී වැඩි දෙනෙක් එය පිළිගත්තත් අකුණු ගහන වෙලාවට නම් ටිකක් පිළිගන්න අකැමැති බව තමයි පෙනෙන්නේ.

      Delete
  12. මේ වගේම තියන තවත් මිත්‍යා මතයක් තමයි ජංගම දුරකථන ඇන්ටෙනා කුළුණු ආසන්නයේ තිබෙන ගෙවල් වලට නොවරදවාම අකුණු වදිනවා කියන එක.

    ReplyDelete
  13. මේ වගේම තියන තවත් මිත්‍යා මතයක් තමයි ජංගම දුරකථන ඇන්ටෙනා කුළුණු ආසන්නයේ තිබෙන ගෙවල් වලට නොවරදවාම අකුණු වදිනවා කියන එක.

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් මේ කතාව අසා තිබෙනවා. කවුරු හරි එක්කෙනෙක් බොරු අදහසක් ඉදිරිපත් කරලා සමාජගත වුණාට පස්සේ නිවැරදි අදහස ඒත්තුගන්වන්න මේ සම්මජ්ජාතියේවත් බැහැ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න