පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, July 26, 2016

දුරකතනයේ අංක නාමාවලිය නැති වුණොත්? - If you lost your contacts?




විවිධ අවස්ථාවලදී අපට ලැබෙන දුරකතන අංක අපගේ ජංගම දුරකතනයේ ගබඩා කොට තැබීම අප සියලු දෙනාගේම වාගේ  පුරුද්දක්. නමුත් කලකට පෙර, විශේෂයෙන් අප රටේ ජංගම දුරකතන ප්‍රචලිත වන්නට පෙර සෑම කෙනෙක්ම සිදු කළේ අත්‍යවශ්‍ය දුරකතන අංක දුරකතන අංක නාමාවලියක’ (Telephone Index) ලියා තැබීමයි. එවැනි නාමාවලි වෙළෙඳ පොලෙන් ඉතා පහසුවෙන් ලබාගන්නටත් පුළුවන්. ජංගම දුරකතන කෙතරම් ප්‍රචලිත වුව ද අද ද ඒවා ඕනෑ තරම් දකින්නට ලැබෙනවා. නූතන ජංගම දුරකතනවල සීමාවක් රහිතව දුරකතන අංක ගබඩා කොට තැබීමේ පහසුව තිබීමත්, අවශ්‍ය දුරකතන අංකයක් සෙවීමේදී අදාල පුද්ගල නාමයේ මුල් අකුරු කිහිපය අකුරු කිරීමෙන් පමණක් ක්ෂණිකව එම අංකය අපට ලබාදීමටත් ඇති  හැකියාව නිසාත් බොහෝ දෙනෙක් මේ වන විට දුරකතන අංක නාමාවලි සහමුළින්ම අමතක කොට දමා ජංගම දුරකතනවලම ඒවා ගබඩා කොට තබන්නට පුරුදුව සිටිනවා.  කෙසේ නමුත් මෙහි ඇත්තේ අප නොසිතන ආකාරයේ අවදානමක්. මෙම අවදානම ගැන කිව හැක්කේ එවැනි තත්වයකට මුහුණ දුන් අයකු පමණයි. එක් උදාහරණයක් මෙසේ සඳහන් කළ හැකියි. 

නිමල් (අනවර්ත නමක්) සිය මිතුරන් පිරිසක් සමඟ එක්ව විනෝද චාරිකාවක් සංවිධානය කළා. දින තුනක විනෝද චාරිකාවක් වූ මෙහිදී අප රටේ බොහෝ ස්ථාන දැකබලා ගැනීම ඔවුන්ගේ අරමුණ වුණා.. මෙහිදී ගමන් කළ යුතු ස්ථාන, නවාතැන් ගන්නා ස්ථාන, ආහාර පාන ලබාගන්නා ස්ථාන, යම් යම් ප්‍රදේශවලදී උදව් ලබාගත යුතු පුද්ගලයන් ආදී සියලු දේ සම්බන්ධ කොට ගැනීම සඳහා අවශ්‍ය දුරකතන අංක සියල්ල ඔහු ගබඩා කොට ගත්තේ සිය ජංගමද දුරකතනයේයි. කලකට පෙර බොහෝ දෙනෙක් සිය සිම් කඩේ පතේ දුරකතන අංක ගබඩා කොට ගත්ත ද වර්තමානයේ සියලු දෙනා අතරම පාහේ ජනප්‍රිය ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනවල මේවා ගබඩා කොට තබන්නේ ජංගම දුරකතනයේමයි. එම දුරකතන නිෂ්පාදනය කොට ඇත්තේ සිම් කඩේ පතෙහි නොව දුරකතනය තුළ දුරකතන අංක ගබඩා කළ හැකි අන්දමටයි. එබැවින් නිමල්ට ද මෙම ක්‍රමය හැර අනුගමනය කළ හැකි වෙනත් ක්‍රමයක් තිබුණේ නැහැ. ඔවුන් විනෝද චාරිකිව පිටත් වූ අතර යන අතර මග බෝපත් ඇල්ලට නැරඹමට ද ගියා. බෝපත් ඇල්ල නරඹමින් සිටින අතරේ නිමල්ගේ ජංගම දුරකතනය හදිසියේම වාගේ අතින් ගිලිහී ජලයට වැටුණා. එතැන තරමක් ගැඹුරු තැනක් වූ අතර දුරකතනය සොයා ගන්නට විනාඩි කිහිපයක් ගත වුණා. දුරකතනය ජලයෙන් පිටතට ගන්නා විට එය තුළට ජලය ගොස් තිබුණු අතර නිමල් වහා එහි බැටරිය ගළවා දුරකතනය ක්‍රියා විරහිත කළා. ප්‍රශ්න ඇතිවන්නට පටන් ගත්තේ එයින් පසුවයි. තෙමුණු ජංගම දුරකතනයක් ක්ෂණිකය යථා තත්වයට පත් කරන්නට හැකියාවක් නැහැ. එවැනි අත්දැකීමකට මුහුණ දුන් ඕනෑම කෙනෙක් ඒ බව දන්නවා.  සියල්ලටම පෙර එහි ගැළවිය හැකි  සියලු කොටස් ගළවා වියැළෙන්නට හැරිය යුතුයි. එය ජලයට පතිත වන විට ක්‍රියාකරී තත්වයේ පැවති නිසා ජලය සමඟ විද්‍යුතය ක්‍රියා කොට එය තුළ ඇති ඇතැම් පරිපථ අක්‍රියාකාරී වන්නටත් ඉඩ තිබෙනවා.  ඒ සියල්ල සීරුවෙන් පරීක්ෂා කළ යුතුයි. මේ සඳහා සැළකිය යුතු කාලයත් ගත වෙනවා. බොහෝ විට අවම වශයෙන් දිනකට වඩා ගත වෙනවා. නමුත් විනෝද චාරිකාවක සිටින ඔවුනට ජංගම දුරකතනයක් වෙනුවෙන් ඒ තරම් කාලයක් ගත කරන්නට හැකියාවක් නැහැ. කෙසේ වුවත් අවසානයේ නිමල් සිදු කළේ තමාගේ මතකයේ ඇති ජංගම දුරකතන ඔස්සේ සිය හිතවතුන්ට ඇමතුම් ගනිමින් තමන්ට අවශ්‍ය පුද්ගලයන්ගේ දුරකතන අංක ලබාගැනීමයි. මේ සඳහා සැළකිය යුතු කාලයක් ගතවුණු අතර විනෝද චාරිකාව සිතූ පරිදි නිමකරගන්නට ද හැකියාවක් ලැබුණේ නැහැ.  හේතුව වූයේ ඇතැම් ස්ථාන  කරා යන්නට යම් යම් පුද්ගලයන්ගේ උදව් ලබාගත යුතු විය යුතු වීමත්, ඔවුන්ගේ දුරකකන අංක ලබාගත නොහැකි වීමත් නිසයි. 

මේ ගැටලුවට මුහුණ දුන්නේ සහ අනාතයේදී මුහුණ දෙන්නේ නිමල් පමණක් නොවෙයි. මේ සියල්ලට මුල අප සහමුළින්ම ජංගම දුරකතනය පමණක් විශ්වාස කිරීමයි. තාක්ෂණික මෙවලම් අපගේ ජීවිත වඩාත් පහසු කරවනවා මෙන්ම ඒවා හදිසියේ අඩපණ වී නිසා අපගේ ජීවිත ද අඩපණ වෙනවා. කෙසේ නමුත් අප කලකට පෙර පුරුදුව සිටියා සේ අපට අවශ්‍ය සියලු දුරකන අංක දුරකතක අංක නාමාවලියක සටහන් කොට ගන්නා පුරුද්දක් අද ද තිබුණේ නම් නිමල් මේ තරමට දුෂ්කර තත්වයකට පත් නොවන්නට බොහෝ විට ඉඩ තිබුණා. 

අපට මෙම සිදුවීමෙන් පාඩම් කිහිපයක් මෙන්ම වැදගත් කරුණු කිහිපයකුත් ද ඉස්මතු කරගන්නට පුළුවන්. එකක් නම් මෙවැනි විනෝද චාරිකාවක් වැනි අවස්ථාවකදී අපට අවශ්‍ය වන දුරකතන අංක ජංගම දුරකතනයේ පමණක් නොව දුරකතන අංක නාමාවලියක හෝ අඩුම තරමේ කඩදාසියක හෝ සටහන් කොට රැගෙන යාමයි. එවිට යම් විදියකින් ජංගම දුරකතනය ආපදාවකට ලක්වූවත් ගැටලුවකින් තොරව අවශ්‍ය පුද්ගලයන් සම්බන්ධ කොට ගත හැකි නිසයි. 

තවත් කරුණක් වන්නේ මෙවැනි ආපදා තත්වයකට පත්වූ පසු ජංගම දුරකතනයේ අංක ආපසු ලබාගත හැකි ද යන්නයි. ජංගම දුරකතනයකට ජලය ගිය අවස්ථාවක එය වහා ක්‍රියාවිරහිත කොට දුරකතන අලුත්වැඩියා කරන ස්ථානයකට භාර දුන්නේ නම් බොහෝ විට එය යථා තත්වයට පත් කරගැනීමේ හැකියාවක් තිබෙනවා. මිනිත්තු කිහිපයකට වැඩි කාලයක් පුරා වුව ජලය ගිය දුරකතන යථා තත්වයට පත්කරගත් අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. එබැවින් ඒ පිළිබඳව දැඩි බියක් ඇතිකර ගත යුතු නැහැ. නමුත් ජලයට වැටෙන සියලු දුරකන යථා තත්වයට පත්කර ගත හැකිය කියා මෙයින් කියැවෙන්නේ ද නැහැ. ඇතැමුන් තෙමුණු දුරකතනය නැවත ක්‍රියාත්මක කරන්නට උත්සාහ ගන්නා අවස්ථා දැකිය හැකියි. එවිට අනිවාර්යයෙන්ම දුරකතනය සාදාකාලකවම නිහඬ වන්නටත් ඉඩ තිබෙනවා.  වෙනත් ආකාරයේ ආපදාවක්, එනම් ඉහළක සිට බිම පතිත වීම වැනි දෙයක් නිසා ද ජංගම දුරකතනයක් ආපදාවකට ලක්විය හැකියි. එවැනි අවස්ථාවලදී ද ජංගම දුරකතනයේ ඇති සියලු දුරකතන අංක සදාකාලිකවම අහිමි වන්නට ඉඩ තිබෙනවා. මෙවැනි දේ සිදුවන්නට ඇති ඉඩ බහුල බැවින් ජංගම දුරකතන භාවිත කරන පුද්ගලයන් සිය දුරකතන අංක ආරක්ෂා කරගත හැකි ක්‍රමයක් අනුගමනය කළ යුතු අතර ජංගම  දුරකතනයක් ඕනෑම මොහොතක ආපදාවකට  ලක්විය හැකි බැවින් එම ආරක්ෂණ ක්‍රමය නිතර අනුගමනය කිරීම ද කළ යුතුයි. 


වර්තමානයේ වැඩි දෙනෙක් අත පවතින ඇන්ඩ්‍රොයිඩ්, මයික්‍රොසොෆ්ට් සහ ඇපල් ස්මාර්ට් දුරකතනවල දුරකතන නාමාවලිය වෙනත් තැනකට පිටපත් කොට ආරක්ෂා කරගත හැකි ක්‍රම බොහෝ තිබෙනවා. ගූගල් ප්ලේ (Google Play) වෙබ් අඩවියට ගොස් contact backup ලෙස සෙවීමක් කළ හොත් මෙහි පින්තූරයේ පෙන්නුම් කරන ආකාරයට මෙන් බොහෝ යෙදුම් දකින්නට පුළුවන්.  නමුත් ඇතැමුන් මේ බව දන්නේ නැහැ. ඒ වගේම, දැන සිටිය ද ඒ පිළිබඳ උනන්දුවක් දක්වන්නේ නැහැ. මේ සඳහා දුරකතනයට බාගත (Download) කරගත හැකි යෙදුම් ගණනාවක්ම ඇති අතර ඒවායින් ඔබගේ දුරකතන නාමාවලියේ පිටපතක් ගෙන වෙනත් ආරක්ෂිත ස්ථානයක තැන්පත් කොට තිබිය හැකියි. මෙම යෙදුම්වලට අමතරව ඇන්ඩ්‍රොයිඩ් දුරකතන හිමියන් සඳහා My Phone explorer නම් ඉතා ජනප්‍රිය යෙදුමක් පවතින අතර අතර එය මගින් පරිණකයට දුරකතනය සම්බන්ධ කොට දුරකතන නාමාවලිය පමණක් නොව පණිවිඩ, ලැබුණු ඇමතුම් තොරතුරු ආදියස පහසුවෙන් පිටපත් කොට තැබිය හැකියි. බොහෝ දෙනෙක් සිය ජංගම දුරකතන නාමාවලිය පිටපත් කරගැනීම සඳහා මෙය භාවිත කරනවා. 

Myphone Explorer


දුරකතන අංක නාමාවලිය සුරක්ෂිත කරගැනීම සඳහා අනුගමනය කළ හැකි තවත් සාර්ථක ක්‍රමයක් වන්නේ ගූගල් ගිණුමක් සාදා ගැනීමයි. ඇන්ඩ්‍රොයිඩ් දුරකතන හිමි සියලු දෙනාටම විවිධ යෙදුම් බාගත කරගැනීම සඳහා ගූගල් ගිණුමක් අවශ්‍යම වේ. මේ නිසා ඇන්ඩ්‍රොයිඩ් දුරකතන හිමි විවිධ යෙදුම් බාගත කරන්නන්ට ගූගල් ගිණුමක් තිබෙනව.ෙ මෙසේ ගූගල් ගිණුමක් ඇති සෑම දුරකතනයකම ඇති දුරකතන නාමාවලිය ස්වයංක්‍රීයව ගූගල් ගිණුමේ දුරකතන නාමාවලියට පිටපත් වන බව ඇතැම් විට ඔබ නොදන්නවා විය හැකියි. ඔබටත් ගූගල් ගිණුමක් සහ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනවක් ඇත්නම් එයට සම්බන්ධ වී ඔබගේ දුරකතනයේ දුරකතන නාමාවලිය එයට පිටපත් වී ඇත්දැයි පිරික්සා බැලිය හැකියි. 



ඇන්ඩ්‍රොයිඩ් දුරකතනවලට අමතරව ඇපල් දුරකතන සඳහා ඇප් ස්ටෝර්  (App Store) අඩවියෙන් ද, මයික්‍රොසාෆ්ට් වින්ඩෝස්  දුරකතන සඳහා මයික්‍රොසාෆ්ට්  ස්ටෝර් (Microsoft store) අඩවියෙන් ද බාගත හැකි යෙදුම් ගණනාවක්ම තිබෙනවා. 

කෙසේ නමුත් විශේෂයෙන් මතක තබා ගත යුතු දෙය වන්නේ දුරකතනයක් කොයි මොහෙතක හෝ මෙවැනි ආපදාවකට ලක්වේදැයි නොදන්නා බැවින් පුරුද්දක් වශයෙන් සතියකට වරක්වක් දුරකතන නාමාවලියේ පිටපතක් ගෙන වඩාත් සුරකෂිත ස්ථානයක තැන්පත් කොට තැබීමයි. එවිට දුරකතන නාමාවලිය නැති වේ යැයි බයක් ඇති කරගන්නට අවශ්‍ය නැහැ.

2 comments:

  1. නෙට්ක්වින් ල යි කන්ටැක්ට් බැකප් එකක් තියෙයි විස්වාසදායකම පහසුව කචල් නැතිම ඇප් එක
    එහෙම කියන්නෙඇයි දන්නවද අවාස්ට් වගේ ජනප්‍රිය යෙදවුම් වල වුණත් පොඩි අවුලකිං බැකප් ඔක්කම ලොස්ට් වෙන හංද
    මගෙ කලිං තිබ්බෙ නොකිය එකක් ඒකෙන් බැකප් කරපු එක ලස්සනට ඇන්ඩට රී ස්ටෝ කලා. දැං මාසෙකට සැරයක් රී බැකප් කරනව. යූසර් අයි ඩී එක තියෙනකං කන්ටැක්ට් ටික ලොස් වෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම ඒක ගැන අහලා තිබුණේ නෑ. ඒ වගේ බැකප් ගන්න පුළුවන් ඇප්ස් තව ගොඩක් තියෙන්න පුළුවන්. කොහොම වුණත් මම මේකට ගන්නෙම Myphone Explorer තමයි. ඒක තමයි මට පහසුම සහ ලේසිම ක්‍රමය.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න