පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, October 26, 2016

හිලරි දිනයිද?


ඇමරිකා එක්සත් ජනපදයේ 58 වැනි ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ මැතිවරණයට තව වැඩි දවසක් නැත. එය නොවැම්බර් 8 වැනිදා පැවැත්වීමට මේ වන විට සියලු වැඩකටයුතු යොදා තිබේ.  බැරක් ඔබාමාගෙන් හිස්වන ජනපති අසුන සඳහා තරග කරන්නවුන් අතරින් ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින හිලරි ක්ලින්ටන් සහ රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින ඩොනල්ඩ්ට් ට්‍රම්ප් ඉදිරියෙන්ම සිටිති. මේ අතරින් හිලරි ක්ලින්ටන් ඉදිරියෙන්ම සිටින්නීය. මැතිවරණ ප්‍රතිඵල පුරෝකතනය කිරීමේ සෑම සමීක්ෂණයකින්ම පාහේ පෙරමුණ ගෙන සිටින්නී ඇය ය. බොහෝ විට ඇය ඇමරිකා එක්සත් ජනපදයේ 58 වැනි ජනපති මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ඇත. එසේ වුවහොත් ඇය එරට ප්‍රථම ජනපතිවරිය බවට පත්වනු ඇත. බෙහෝ දෙනෙකු දෑස් දල්වා බලා සිටිනුයේ එසේ වනු ඇතැයි කියාය. ඇමරිකානු වැසියන් බොහෝ දෙනෙකුගේ පැතුම බවට පත්ව ඇති හිලරි ක්ලින්ටන් ගැන මේ අවස්ථාවේදී යමක් අප කතා කළ යුතු වන්නේ ද මේ නිසාමය. 



1947 ඔක්තෝබර් 26 වැනි දින වෘශ්චික ලග්නයෙන් චිකාගෝ නුවර උපත ලැබ ඉලිනොයිස් හි පාර්ත් රිජ් උප නගරයේ හැදී වැඩුණු හිලරි ඩයන් රෝඩම් ක්ලින්ටන් අධ්‍යාපනය හදාරන ලද්දේ වෙලෙස්ලි විද්‍යාලයෙනි. ස්ක්‍රැබ්ල් (වචන සෙවීමේ ක්‍රීඩාවක්), ප්‍රහේළිකා විසඳීම සහ ගෙවතු අලංකරණය විනෝදාංශය ලෙස සිදුකරන ඇය පවසන්නේ වැඩකිරීම ද විනෝදාංශයක් බවය. එයින් ඇය අදහස් කරන්නේ ඇය සෑම වැඩක්ම ඉතා උනන්දුවෙන් කරන බවය. 

හිලරි ක්ලින්ටන් එකවර රාජ්‍ය තන්ත්‍රයට පැමිණි තැනැත්තියක නොවේ. ඇය 2009 සිට 2013 දක්ව එරට 67 වැනි රාජ්‍ය ලේකම්වරිය ලෙස ද කටයුතු කොට අත්දැකීම් ලබා ඇති කාන්තාවකි. එමෙන්ම 2001 සිට 2009 දක්වා කාලය තුළ ඇය නිව්යෝර්ක් නගරය නියෝජනය කරමින් කණිෂ්ඨ සෙනෙට්වරියක් ලෙස ද සේවය කළාය. ඇගේ සැමියා වන බිල් ක්ලින්ටන් හිටපු ඇමරිකානු ජනපතිවරයෙක් සහ ආණ්ඩුකාරවරයකු ද විය. ඇය ජනපති මැතිරණයට ඉදිරිපත්ව සිටින්නේ මෙසේ සියලු අත්දැකීම් දරාගෙනය. 



වර්ෂ 1973 දී යේල් නීති විද්‍යාලයෙන් නීතිය හදාරා උපාධියක් හිමි කරගත්තාය. කොංග්‍රස් නීති උපදේශිකාවක ලෙසින් කලක් සේවය කළ ඇය 1975 ඔක්තෝබර් 11 වැනිදා බිල් ක්ලින්ටන් හා යුගදිවියට එළැඹුණාය. බිල් ක්ලින්ටන් සමග වූ විවාහයෙන් ඇයට චෙල්සි වික්ටෝරියා ක්ලින්ටන් නමින් දියණියක් සිටියි. විවාහයෙන් පසු එම වසරේදීම ඇය අර්කැන්සාස් ජනපදයේ පදිංචියට ගියේ එම ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයාගේ බිරිඳ වශයෙනි. එහිදී ද ද ඇය කාන්තාවන් නියෝජනය කරමින් විවිධ ආයතනවල බොහෝ තනතුරු දරන්නට සමත් වූවාය. 



ජනපති ආර්යාව ලෙස ඇය ඇමරිකා එක්සත් ජනපදය තුළ ළමා හා කාන්තා වරප්‍රසාද සහ හිමිකම් ගණනාවක් දිනාගන්නට සෑහෙන සටනක නිරත වූවාය. 1998 වසරේදී සිය සැමියා වූ බිල් ක්ලින්ටන් හා මොනිකා ලෙවින්ස්කි සිදුවීම සම්බන්ධව ඇය දක්වන ලද ප්‍රතිචාරය තුළින් ඇය එරට බහුතර වැසියන්ගේ නොමද ගෞරවය දිනාගන්නට ද සමත් වූවාය. 
2000 වසරේදී ඇය සෙනෙට් සභික සමාජිකාවක ලෙස තේරී පත්වන්නේ එවැනි තනතුරකට පත් ප්‍රථම නිව්යෝර්ක් කාන්තාව වශයෙනි. සැප්තැම්බර් 11 ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ඇෆ්ගනිස්ථානයට ප්‍රහාර එල්ල කළ යුතු යැයි ඉදිරිපත් වූ යෝජනාව සම්මත කරගන්නට ද ඇය සිය ඡන්දය පාවිච්චි කළාය. 

ජනපති ඔබාමා යටතේ රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කරන සමයේදී ද ඇය ජාත්‍යන්තර අවධානයට ලක්වන කටයුතු බොහොමයක් සිදු කළාය. මේ සියලු කාර්යයන්ගේ  අවසන් ප්‍රතිඵලය වූයේ 58 වැනි ඇමරිකා එක්සත් ජනපතිවරයා තෝරා පත්කරගැනීමේ අපේක්ෂිකාව ලෙස ඇයට ඉදිරිපත්වන්නට හැකියාව ලැබෙන මග විවර කරගැනීමය. 
කලක් සමලිංගික විවාහයන්ට එරෙහිව දැඩි ස්ථාවරයක් පිහිටා සිටි ඇය 2013 වසරේදී සිය අදහස් වෙනස් කොට එයට පක්ෂව අදහස් දක්වන්නට පටන් ගත්තාය. 

ඇමරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ලවීමෙන් පසු ලෝකයේ සියලු රටවලින් ත්‍රස්තවාදය මුළිනුපුටා දැමීමට එවකට සිටි ජනපතිවරයා ගත් තීරණය සමග හිලරි ක්ලින්ටන් ද සිටියත්, ඇය රාජ්‍ය ලේකම්වරිය ලෙස සිටි සමයේ මේ ස්ථාවරයේ යම් වෙනසක් දක්නට හැකි විය. එවකට අප රටේ පැවැති ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ දී ඇය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය කෙරෙහි සානුකම්පිත ස්ථාවරයක සිටිනු දක්නට හැකි විය. එම සංවිධානය පරාජය වීම ඇගේ පැතුම වූයේ නැත. මේ නිසා අප රටේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය වළක්වාලන්නට ඇය තමාට ගත හැකි සෑම පියවරක්ම ගත්තාය. ඇය සිය සිය පෞද්ගලික ඊමේල් ලිපිනය භාවිත කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඊමේල් ගණනාවක් යවමින් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පනවා යුද්ධය නතර කරන තැනට වැඩ කටයුතු සලසා දෙන ලෙසය. නමුත් මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දරන ලද ස්ථාවරය වූයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය සහමුළින්ම පරාජය විය යුතුය යන්න වූ නිසා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය ලෙස හිලරි ක්ලින්ටන් කරන ලද බලපෑම් කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙලේ නායකත්වය කිසිසේත් කැමැත්තක් දැක්වූයේ නැත. හිලරි ක්ලින්ටන් එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳ තවමත් දරනුයේ එකී ස්ථාවරයමය. ඇය ඇමරිකා එක්සත්ජනපදයේ ජනපතිවරිය බවට පත්වුවහොත්, එසේ පත්වන්නේ එම ස්ථාවරය ද පෙරදැරිවය. එබැවින් ඇමරිකානු ජනපතිවරිය ලෙස ඇගෙන් ශ්‍රී ලංකාවට කුමනාකාර බලපෑම් එනු ඇතිදැයි සිතාගත නොහැකිය. 

කෙසේ වෙතත් සේ සියලු අනාවැකි තහවුරු වන දිනයට තව ඇත්තේ දින කිපයක් පමණි. මෙවර ඇමරිකානු ජනපති මැතිවරණයෙන් හිලරි ක්ලින්ටන් ජයග්‍රහණය කළහොත් ඇය දිව්රුම් දෙන අවස්ථාව වන විට ඇගේ වයස අවුරුදු 69කි. එය ඇමරිකා එක්සත් ජනපදයට සුවිශේෂී අවස්ථාවකි. වැඩිම වයස්ගත අවස්ථාවකදී දිව්රුම් දුන් ජනපතිවරුන් අතරින් ඉදිරියෙන්ම සිටින්නේ ජනපති රේගන්ය. ඔහු දිව්රුම් දුන්නේ වයස අවුරුදු 69 දීය. හිලරි ක්ලින්ටන් ජයග්‍රහණය කළහොත් ඇය එරට වැඩිම වයස්ගත අවස්ථාවකදී දිව්රුම් දුන් ජනපතිවරිය වනු ඇත. යම් හෙයකින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළහොත් ඔහු එරට දිව්රුම් දෙන වයස්ගතම ජනපතිවරයා බවට පත්වනු ඇත. එයට හේතුව ඔහුට ඒ වන විට වයස අවුරුදු 70ක් වන බැවිනි. මේ සියල්ල විසඳෙන්නට ඇත්තේ දින කිහිපයක් පමණි. එතෙක් අපි බලා සිටිමු. 

6 comments:

  1. මැතිවරණ ක්‍රමය අනුව නම් හිලරි දිනයි නේද? මේක අර ඉන්දියාවේ ලංකාවේ තියෙනවා වගේ කෙලින්ම මතය ප්‍රකාශ කරන එකක් නෙයමයි. නේ ටිකක් සංකීර්ණයි නේ..

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ හිලරි දිනයි කියලා. හැබැයි ට්‍රම්ප්කාරයා අන්තිම මොහොතේ දිනයිද කියන්නත් බෑ.

      Delete
  2. කොහොමත් ට්‍රම්ප් වගේ අන්තවාදියෙක්,නොසන්ඩාලයෙක් ජනපති වෙනවාට වඩා හිලරි ජනපති වෙන එක හොඳයි.මෙවර ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුල පුද්ගලික මඩ ගසා ගැනීම් කවරදාටත් වඩා වැඩි බවකුයි පැවසෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. ට්‍රම්ප් වගේ කෙනෙක් ආවොත් ලෝකයේ දේශපලාන තත්වය පවා අවුල් වෙන්න පුළුවන්.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න