පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, December 16, 2016

අලුත් ලෝකයට අලුත් ගැජට් 14 කොටස - New Gadgets for New World Part 14

එළවළු පලතුරු ආරක්ෂාවට අලුත් ක්‍රමයක්



එළවළු සහ පලතුරුවල නැවුම් බව පවත්වාගෙන යන්න අපි කරන්නේ ඒවා ශීතරකණයකට දාලා තියන එක. නමුත් එය එතරම් සාර්ථක නැති බව පෙනෙන්නට තියෙන්නේ ඇතැම් විට මේවායේ ඇති තෙතමනය ඉවත් වන නිසයි. මේ ගැටලුවට විසඳුමක් විදිහට අලුත් උපකරණයක් දැන් හඳුන්වා දී තිබෙනවා. මෙය හඳුන්වන්නේ Water Shade නමින්. මෙය ආහාර වසා තබන වට්ටියක පෙනුමට සමානයි. නමුත් විනිවිද පෙනෙනවා. අප යමක් මෙයින් වසා තබන විට එය තුළ ඔක්සිජන් හා ජල වාෂ්ප යහමින් පවතින ආකාරයටයි සකස් කොට තිබෙන්නේ. මේ නිසා මෙය වඩා සුදුසු එළවලූ සහ පලතුරු සඳහායි. විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෙය තුළ ඇති ඔක්සිජන් ප්‍රමාණය එයින් පිටත වායුගේාලයේ පවතින ප්‍රමාණයට වඩා වැඩි බවයි පැවසනේනේ. කාබන් ඩයොක්සයිඩ් පිටවන ලෙසත්, විෂබීජවලට ඇතුළු විය නොහැකි ලෙසත් මෙය සකස් කොට තිබෙනවා. නමුත් ජලයට සහ ඔක්සිජන්වලට මෙයට ඇතුළු විය හැකියි. මේ සියල්ල පාලනය වන්නේ මෙහි ඇති අධෝරක්ත කිරණ සංවේදකය ඔස්සේයි. මේ නිසා ඔබට ශීතකරණයට වඩා හොඳින් එළවළු සහ පලතුරුවල ඇති නැවුම් ස්වභාවය ආරක්ෂා කරගන්න මෙය උපකාරී වෙනවා.

ජලයෙන් දැල්වෙන පහනක්


සාමාන්‍යයෙන් අපි දන්නා දේ තමයි ජලයෙන් පහන් පත්තු කරන එක කොහොම වුනත් ජලය නිසා පහන් නිවී යන බව. නමුත් මේ WAT පහන වෙළෙඳ පලට පැමිණි අවස්ථාවේ ඉඳන් ඒ කතාව දොරමුල්ලට විසි කරන්න සිද්ධ වෙනවා. මෙහි ඇත්තේ හයිඩ්‍රෝ ඉලෙක්ට්‍රික් (hydroelectric) බැටරියක්. ඒ කියන්නේ ජලයෙන් විදුලිය නිෂ්පාදනය වන බැටරියක්. මේ නිසා පහන පත්තු කරන්න නම් එයට ජලය දැමිය යුතුයි. ජලය දැමූ විට එය තුළ විද්‍යුත් රාසායනික ප්‍රතික්‍රියාවක් ඇතිවී ආලෝකට ඇති වෙනවා. පරිසර හිතකාමී ආකාරයෙන් ආලෝකය ජනනය කරගන්න මිනිසා දරන නිරන්තර උත්සාහයට මෙය හොඳ විසඳුමක් වේවි.

ක්ෂණික කුඩ වියලනය




මොර සූරන වැහි කාලේට ගමනක් බිමනක් ගිහින් ආවට පස්සේ කුඩේ වේලෙන්න කොහේ හරි තැනකින් හුළං වදින්න තියන්න ඕන. එහෙම නැත්නම් ඒක ආයේ බෑග එකට දාගන්න වෙන්නේ නෑ. මේ ගැටලුව අපට විතරක් නෙවෙයි ලෝකයේ හැමෝටම බලපාන දෙයක්. අන්න ඒ නිසයි පහසුවෙන් කුඩ වියළාගන්න පුළුවන් උපකරණයක් නිෂ්පාදනය වෙලා තියෙන්නේ. මේ උපකරණය Swan Umbrella Dryer නම් වෙනවා. කාර්යාලවල, වෙනත් පොදු ස්ථානවල මෙය සවිකොට තැබිය හැකියි. කුඩය එය තුළට බස්සවා තැබිය හැකි ආකාරයෙන් සකසා තිබෙනවා. මේ උපකරණ තුළ ඇති යාන්ත්‍රික ක්‍රියාකාරිත්වය මගින් කුඩයේ ඇති සියලු ජලය එයට උරා ගන්නවා. මෙසේ උරා ගන්නා ජලය වෙනත් තැනක ගබඩා කොට වෙනත් වැඩකටයුතු සඳහා වුවත් යොදා ගන්න පුළුවන් බවයි එහි නිෂ්පාදකයෝ පවසන්නේ. තමා ඉදිරියේම තත්පර කිහිපයක් ඇතුළත කුඩය වියැළෙන නිසා වැඩි වේලාවක් බලා සිටින්නට අවශ්‍ය වෙන්නේත් නැහැ.

පෙර ලිපිය‍
අලුත් ලෝකයට අලුත් ගැජට් 13 කොටස - New Gadgets for New World Part 13

පසු ලිපිය
අලුත් ලෝකයට අලුත් ගැජට් 15 කොටස - New Gadgets for New World Part 15

2 comments:

  1. ස්තූතියි නිරන්ජන් ලිපියට.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න