පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, July 28, 2018

නළු නිළියන්ගේ අත පය සමග ජීවිතය ද අහිමි කළ චිත්‍රපට - Tragic Accident on the set of he movies

සිනමා පටයක් නරඹනවා කියන්නේ අපූරු අත්දැකීමක්. අපි මොහොතකට සැබෑ ලෝකයෙන් ඈත් වී සිනමාවෙන් මවන ලෝකයේ ජීවත් වෙනවා. සිතට දරා ගන්නට නොහැති තරම් උද්වේගකර අවස්ථාවන් දකින විට ඇතැමුන් සැබෑ ලෙසම ඒ ගැන කම්පාවට පත් වෙනවා. කෙසේ වෙතත් සිනමා පටයේ ධාවන කාලයෙන් පසු මේ හැමදෙයක්ම හැබෑවටම සිදුවුණු දේවල් නෙවෙයි නේකියා හිත හදා ගන්නවා. සාමාන්‍යයෙන් ඒක එහෙම වුනත් හැම විටම ඒක එහෙම වෙන්නේ නෑ. එහෙම කියන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි. සිනමා දර්ශන තලවලදී අප නොදන්නා, බොහෝ විට කිසි දිනෙක දැන නොගන්නා අතිශය දරුණු අනතුරු සිදු වෙනවා. මේ ඇතැම් අනතුරු ඒ අයුරින්ම සිනමා පටයේ ද තිබෙනවා. ඇතැම් අනතුරු රංගන ශිල්පියාගේ මරණයෙන් කෙළවර වුණු අවස්ථාවන් ද තිබෙනවා. සිනමා ලෝකයෙන් මෙවැනි සිදුවීම් බොහෝ අසන්නට ලැබෙනවා. ඒ සියල්ල ගැනම කතා කරන්නට නොහැකි වුනත් දැනගන්නත් එක්ක ටිකක් කතා කරමු.

ක්‍රියාදාම ශිල්පිනියකට අතක් අහිමි කළ රෙසිඩන්ට් ඊවිල් - ද ෆයිනල් චැප්ටර්’ (RESIDENT EVIL: THE FINAL CHAPTER)

ඔලිවියා ජැක්සන්ගේ අත අහිමි වීමෙන් පසු



රෙසිඩන්ට් ඊවිල් කියන්නේ අපූරු අත්දැකීම් සහිත කතා රැගත් චිත්‍රපට මාලාවක්. මේ අතරින් ද ෆයිනල් චැප්ටර්කියන්නේ හදිසි අනතුරු බොහොමයක් වාර්තා වුණු චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වුණේ මිල්ලා ජොවික්. ඇය වෙනුවෙන් ත්‍රාසජනක දර්ශන ඉදිරිපත් කළේ ඔලිවියා ජැක්සන්. ඇය ඇවෙන්ජර්ස් - ඒජ් එෆ් අල්ට්‍රන්’, ‛ස්ටාර් වෝර්ස් VII - ද ෆෝර්ස් අවේකන්ස්වැනි චිත්‍රපටවල ද ප්‍රධාන නිළිය වෙනුවෙන් ත්‍රාසජනක දර්ශන සඳහා පෙනී සිටියා. ඉහත සඳහන් කළ රෙසිඩන්ට් ඊවිල් චිත්‍රපටයේ යතුරු පැදියක් අධික වේගයෙන් පදවාගෙන යන දර්ශනයක් කරන්නට ඇයට පැවරී තිබුණා. ඇය වේගයෙන් ඇදී එන දර්ශනය හසු කරගැනීම සඳහා ඉදිරියෙන් ඇය එන මාර්ගයේ කැමරාවක් සවි කොට තිබුණා. සාමාන්‍යයෙන් යතුරු පැදිය ඉතා ආසන්නයට එද්දී මේ කැමරාව එතැනින් පැත්තකට ගැනීමට සැලසුම් කොට තිබුණත් ඒ අවස්ථාවේ දී එය බලාපොරොත්තු පරිදි සිදුවුණේ නැහැ. ඇය අධික වේගයෙන් පැමිණි මේ කැමරාවේ ඝට්ටනය වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇගේ වම් අත සුනුවිසුනු වී ගියා. මේ නිසා අත කපා වෙන් කිරීමට සිදු වුණා. එයට අමතරව තවත් තුවාල ගණනාවක්ම සිදුව තිබුණා. එයට අමතරව මේ චිත්‍රපටයේ තවත් මාරක අනතුරක් සිදු වුණා. එය මෝටර් රථයක් කරකැවී පෙරළෙන දර්ශනයක්. මෙසේ කරකැවී පැමිණි මෝටර් රථය  සේවක මණ්ඩලයේ සිටි රිකාඩෝ කොර්නේලියස්ගේ සිරුරේ ඝට්ටනය වුණා. මෝටර් රථය නැවතුණේ ඔහුව තාප්පයකට සිර කරමින්. ඔහු එයින් මිය ගියා.




ප්‍රධාන නළුවාගේ මුහුණ තලා දැමූ මේස් රනර් - ද ඩෙත් ක්‍යර්’ (MAZE RUNNER: THE DEATH CURE)

මෑත කාලයේ ජනප්‍රිය වුණු සිනමා පට මාලාවක් තමයි මේස් රනර්කියන්නේ. වංකගිරියක අතහැර දමා ඇති පිරිසක් එයින් මිදී පළා එන ආකාරය මේ සිනමාපටවලින් අපට පවසනවා. මෙහි ප්‍රධාන චරිතයක් සඳහා පණ දුන් රංගන ශිල්පියෙක් තමයි ඩිලාන් ඕබ්‍රයන් කියන්නේ. මේ චිත්‍රපටය රූපගත කරද්දී ඔහුට තිබුණු එක් ත්‍රාසජනක ක්‍රියාවක් වුණේ ධාවනය වෙමින් තිබෙන මෝටර් රථයක් උඩ සිට තවත් මෝටර් රථයක් උඩට පැනීමයි. මෙහිදී ඔහුගේ පිම්ම වැරදී බිම ඇද වැටුණා. ඔහු වැටුණේ ගමන් කරමින් තිබුණු තවත් මෝටර් රථයක් ඉදිරියටයි. මේ අනතුරින් ඔහුගේ මුහුණට දැඩි හානි සිදු වුණා. ඔහුගේ තත්වය කෙතරම් බරපතළ වුවාද කීවොත් ඔහුගේ රංගන ජිවිතය එතැනින්ම කෙළවර වේ යැයි බොහෝ දෙනෙකු සිතුවා.  ඔහු සුව වන තුරු චිත්‍රපටයේ රූගත කිරීම් තාවකාලිකව නතර කෙරුණා. කෙසේ නමුත් කලින් සිතුවාට වඩා ඔහුගේ තත්වය බරපතළ වූ නිසා 2017 පෙබරවාරියේ තිරගත කරන්නට කලින් සැලසුම් කොට සිටි මේ චිත්‍රපටය 2018 ජනවාරි මාසය දක්වා කල් දැමුණා.




බොරු උණ්ඩයක් ඇත්තට පත්තු වුණු ද ක්‍රෝ’ (THE CROW)


බ්‍රැන්ඩන් ලී ද ක්‍රෝ’ චිත්‍රපටයේ



හොලිවුඩ් සිනමාවේ ඛේදජනකම අවස්ථාවක් වන්නේ සුප්‍රකට නළුවකු සහ සටන් ශිල්පියකු වන බෘස් ලී ගේ පුත් බ්‍රැන්ඩන් ලී ගේ මරණයයි. මෙය සිදුවුණේ 1994 වසරේ ද ක්‍රෝචිත්‍රපටය රූපගත කෙරෙමින් පවතිද්දී. මෙය නිර්මාණය වූයේ මේ නමින්ම වූ ජනප්‍රිය නවකතාව පදනම් කොට ගෙනයි. බ්‍රැන්ඩන් ලී හට මයිකල් මෙසී නමැති නළුවා විසින් වෙඩි තබන දර්ශනයක් රූපගත කරන්නට නියමිතව තිබුණා. මේ සඳහා රැගෙන විත් තිබූ තුවක්කුවට බොරු උණ්ඩ දමා තිබුණත් තුවක්කුව නියමිත ආකාරයෙන් පිරිසුදු කොට තිබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වූයේ බොරු උණ්ඩය පත්තු වනවාත් සමගම එහි බටයේ සිර වී තිබූ ලෝහ කැබැල්ලක් වේගයෙන් පැමිණ බ්‍රැන්ඩන් ලීගේ පපුව පසා කරගෙන ගමන් කිරීමයි. හැකිතාක් ඉක්මණින් ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නත් රෝහලේ දී ඔහු මිය ගියා. මේ සිදුවීමෙන් අතිශය කම්පනයට පත් මයිකල් මෙසී වසරක පමණ කාලයක් රංගනයෙන් ඉවත් වී සිටියා. චිත්‍රපටය සම්පූර්ණ කරන ලද්දේ බ්‍රැන්ඩන් වෙනුවෙන් ත්‍රාසජනක දර්ශන සඳහා පෙනී සිටි වෙනත් නළුවකු යොදා ගෙනයි. ඔහුගේ පෙනුම බ්‍රැන්ඩන් ලීට වඩා වෙනස් වූ නිසා ඒ පෙනුම ගැනීම සඳහා දෘශ්‍ය ප්‍රයෝග භාවිත කරන්නට සිදුවුණා. හොලිවුඩ් චිත්‍රපට රූපගතකිරීමේ දී අනුගමනය කළ යුතු උපදෙස් හරිහැටි පිළිනොපැදීම නිසා මේ මරණය සිදු වූ පැවසෙනවා.




වැරදුණු පිපිරීමකින් ක්‍රියාදාම නළුවකුට ජිවිතය අහිමි කළ ද එක්ස්පෑන්ඩබල්ස් 2’ (THE EXPENDABLES 2)




ද එක්ස්පෑන්ඩබල්ස් 2’ කියන්නේ හොලිවුඩ්වල සිටින, ඉහළ ගෙවීම් ලබන ක්‍රියාදාම රංගන ශිල්පීන් රැසක් එක් කළ චිත්‍රපටයක් කීවොත් එහි වරදක් නැහැ. මේ චිත්‍රපටය මුළුල්ලේ ම පවතිනේ උග්‍ර ක්‍රියාදාම ජවනිකා. මෙහි දැවැන්ත පිපිරීමක් සහිත දර්ශනයක් බල්ගේරියාවේ දී රූපගත කෙරෙමින් පැවතුණා. මේ අවස්ථාවේ දී දර්ශන තලය ආසන්නයේ බෝට්ටුවක් ද වැරදීමකින් පුපුරා ගියා. එහි ඒ අවස්ථාවේ දී ත්‍රාසජනක ජවනිකා සඳහා පෙනී සිටින කුන් ලියු නම් රංගන ශිල්පියා සිටි අතර මේ අනතුරින් ඔහු මිය ගියා. ඒ අසල සිටි නුවෝ සන් තුවාල ලැබූ අතර පසුව ඔහු සම්පූර්ණයෙන් සුවපත් වුණා. කුන් ලියුගේ දෙමාපියන් මේ චිත්‍රපටය නිෂ්පාදනය කළ මිලේනියම් ෆිල්ම්ස් සමාගමට එරෙහිව නඩුමගට අවතීර්ණ වුණා. ඔවුන් සඳහන් කළේ ත්‍රාසජනක ජවනිකා සඳහා පෙනී සිටින ක්‍රියාදාම නළුවන්ගේ ආරක්ෂාව සඳහා ගත යුතු නියමිත ක්‍රමවේදයන් මෙහිදී අනුගමනය කර නොතිබුණු බවයි. කෙසේ නමුත් මිලේනියම් ෆිල්ම්ස් සමාගම නුවෝ සන් අනතුරට ලක් වූ සිදුවීම ප්‍රතික්ෂේප කළා. ඔවුන් පැවසූයේ බල්ගේරියා මාධ්‍ය තම සමාගමට විරුද්ධව බොරු ප්‍රවෘත්ති ප්‍රචාරය කරන බවයි.



සතුන් බොහෝ දෙනෙකුට මරණය හිමි කළ ද හොබිට්’ (THE HOBBIT)






කල්පිත චිත්‍රපට අතර අතිශය ජනප්‍රිය වුණු චිත්‍රපටයක් තමයි ද හොබිට්කියන්නේ. මේ චිත්‍රපට සම්පූර්ණයෙන්ම ත්‍රිමාන සජීවීකරණ දර්ශනවලින් නිර්මාණය වන නිසා මිනිසුන්ගේ මරණ වාර්තා නොවුනත් චිත්‍රපටයකදී සිදුනොවිය යුතු අන්දමින් සතුන්ගේ මරණ සිදු වී ඇති බවට වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් චිත්‍රපටයක් ආරම්භ කරද්දී රූපගත කිරීම් අතරේ දී කිසිදු සතකු මරණයට පත් නොවූ බවට ප්‍රකාශයක් තිරයේ පෙන්වනවා. හොබිට් චිත්‍රපටයේ ද එවැන්නක් සඳහන් කොට තිබුණ ද දර්ශන ගත කරන අතරවාරයේ සතුන් 27 දෙනෙකු මිය ගිය බවට වාර්තා වෙනවා. බොහෝ සතුන් මරණට පත් ව තිබුණේ ඔවුන් සඳහා ක්‍රමවත් සැලකිල්ලක් නොදක්වා තිබූ නිසයි. චිත්‍රපටයක් සඳහා සතුන් යොදා ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැන ඔවුන් කිසිසේත්ම උනන්දුවක් දක්වා තිබුණේ නැහැ. දර්ශන තලයේ තිබූ වලවල් ආදියට වැටී අශ්වයන් සෑහෙන සංඛ්‍යාවක් මිය ගොස් තිබුණා. මේ චිත්‍රපටයට සත්ව හිමිකම් සංවිධානවලින් දැඩි විරෝධයක් ද එල්ල වුණා.


ක්‍රියාදාම නළුවකු පාළමක සිර වී මරණයට පත් වුණු ට්‍රිපල් එක්ස්’ (XXX)


හැරී ඕ’ කෝනර්.ගේ අවසන් ජවනිකාව


ට්‍රිපල් එක්ස්කියන්නේ සිනමා රසිකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් විද්‍යා ප්‍රබන්ධ මත පදනම් වුණු චිත්‍රපට මාලාවක්.  මෙහි ප්‍රධාන චරිතය සඳහා දායක වුණේ වින් ඩීසල් කියන රංගන ශිල්පියා යි. මේ චිත්‍රපටයේ අතිශය අවදානම් සහිත ක්‍රියාදාම දර්ශන පිරී තිබෙන අතර මේ බොහෝ ඒවා සඳහා පෙනී සිටියේ වින් ඩීසල් වෙනුවට ඔහු වෙනුවෙන් රංගනයේ යෙදෙන හැරී ඕකෝනර්. මෙහි එක් දර්ශනයක් අතර තුර පැරෂුටයක් එල්ලී පාලමක් යටින් ගමන් කරමින් පනින ක්‍රියාදාමයක් රූපගත කරමින් පැවතුණා. කෙසේ නමුත් ඉලක්කය වැරදී ගොස් ඔහුගේ හිස මද වේලාවක් පාලමේ සිරවුණා. ඔහු මෙයින් ගැලවෙන්නට දැරූ උත්සාහයේ දී ගඟට ඇද වැටුණත් ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බව පැවසෙනවා. ඔහු සිය රංගනය වෙනුවෙන් කළ කැපවීමට උපහාරයක් වශයෙන් මේ චිත්‍රපටයට මෙම දර්ශනයේ කොටසක් ඇතුළත් කොට තිබෙනවා.



අභිරහස් ගුවන් අනතුරක් සිදුවුණු ටොප් ගන්’ (TOP GUN)


ආර්ට් ස්කොල්



ආර්ට් ස්කොල් කියන රංගන ශිල්පියා වැඩි වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටියේ ත්‍රාසජනක ගුවන් යානා දර්ශන සඳහායි. ඒ වගේම ගුවනේ සිට කෙරෙන කැමරාගත කිරීම්වලදී ඔහු නියමුවකු ලෙස දක්වන දක්ෂතාව පිළිබඳ සිනමා ලෝකයේ අද ද කතාබහට ලක් වෙනවා. ද රයිට් ස්ටෆ්’, ‛අයර්න් ඊගල්’, ‛ඉන්ඩියානා ජෝන්ස්සහ ටෙම්පල් ඩූම්ස්කියන්නේ ඔහුගේ දායකත්වය ලද ලෝක ප්‍රකට සිනමා නිර්මාණ. ඔහු ටොප් ගන්නම් චිත්‍රපටය සඳහා දර්ශනයකට දායක වෙමින් සිටියා. ගුවන් යානය පදවමින් සිටි අතරතුරේ තමාට ගුවන් යානය පාලනය කරගන්න අපහසු තත්වයක් ඇති වූ බැවින් ඔහු පාලක මැදිරියට මෙසේ ඇමතුවා. මට ප්‍රශ්නයක්. මට ඇත්තටම ප්‍රශ්නයක්.ඒ පණිවිඩයත් සමගම ඔහුගේ යානය මුහුදට කඩා වැටී තිබෙනවා. කෙසේ නමුත් මේ කඩා වැටුණේ කොතැනකටදැයි කිසිවකු දුටුවේ නැහැ. ඔහුගේ ගුවන් යානයේ සුන්බුන් කිසිවක් ද අද වන තෙක් සොයා ගන්නට හැකි වූයේ නැහැ. මේ නිසා ඔහුට සැබවින්ම සිදුවූයේ කුමක් ද යන්න අදටත් අභිරහසක්ව පවතිනවා.


සිල්වෙස්ටර් ස්ටැලොන්ගේ මරණීය අත්දැකීම්





සිල්වෙස්ටර් ස්ටැලොන් කියන්නේ දැනට සැත්තෑ හැවිරිදි වියෙහි පසුවන, හොලිවුඩයේ අදටත් ජනප්‍රිය සුපිරි ක්‍රියාදාම රංගන ශිල්පියෙක්. ඔහු වඩාත්ම ජනප්‍රියත්වයට පත් වූයේ රැම්බෝනමින්. බොහෝ දෙනෙකු පවසන්නේ ඔහු සිදු කළ ත්‍රාසජනක රංගනයන්ගෙන් සිදු වූ අනතුරු නිසා තවමත් ජීවත් සිටීම පුදුමයක් බවයි. ඔහු තරම් අනතුරුවලට සහ තුවාලවලට බඳුන් වූ වෙනත් හොලිවුඩ් රංගන ශිල්පියෙක් නොමැති තරම්. ෆර්ස්ට් බ්ලඩ්චිත්‍රපටයේ කන්දකින් පහළට වැටෙනවා. ඔහු වැටෙන්නේ ගස් උඩට. ඔහු මෙය සැබෑ ආකාරයෙන් කරන්නට යාම නිසා ඔහුගේ ඉළ ඇට කිහිපයක් බිඳී යනවා. මේ චිත්‍රපටයේ මේ දර්ශනයේ දී ඔහු කෑගසන්නේ එසේ ඉළ ඇට බිඳී යම නිසා ඇති වූ සැබෑ වේදනාවෙන් බවයි පැවසෙන්නේ. ඔහුගේ රොකී IV’ චිත්‍රපටයේ එක් සටන් ජවනිකාවක් අතරේ ඔහුට තවත් රංගන ශිල්පියකු වූ ඩොල්ෆ් ලන්ග්ඩ්‍රන් අතින් දැඩි පහරක් පපුවට එල්ල වෙනවා. මෙය ඔහුගේ හෘදය වස්තුවට බලපාන අතර එම ප්‍රදේශය ඉදිමීමකට ලක් වෙනවා. ඔහු සුවය ලබන්නේ රෝහලේ සති කිහිපයක් ගත කිරීමෙන් පසුවයි. ද එක්ස්පෑන්ඩබල්රූපගත කරද්දී ඔහුගේ කොඳු ඇට පේලිය බිඳී යනවා. ඔහුගේ කොන්ද යථා තත්වයට පත්කරන්නේ කොඳු ඇට පේළියේ ශක්තිය සඳහා ලෝහ පටියක් සවිකිරීමෙන් පසුවයි. 

4 comments:

  1. චිත්‍රපටි ගැන දැනගන්න වටින තොරතුරු ටිකක්.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

      Delete
  2. ඒව report කරලා තියෙන විනීවිබව.. if it was in SL, surely film would be marketed upon those tragic incidents without hesihesitat

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. මේක ලංකාවනේ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න