පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, November 19, 2018

ඉලෙක්ට්‍රික් දුම් කබලක් සාදා ගනිමු - Electric Incense Burner DIY



දුම් කබලක් කියන්නේ මොකක්ද කියලා කවුරුත් දන්නවා. ගෙවල් දොරවල් සුවඳවත් වෙන්න විවිධ සුවඳ වර්ග පුළුස්සන්න යොදා ගන්නා තැටිය තමයි මේක. මේකේ දුම් අල්ලන වැඩේ ටිකක් කරදරයි. ඒ මට පෞද්ගලිකව හිතෙන විදිය. ඒ කියන්නේ පොල් කටු කඩලා, ඒවා තැටියට දාලා, භූමිතෙල් වත්කරලා පොල් කටු ගිනි අඟුරු සාදා ගන්න ඕන. ඉන් පස්සේ අර සුවඳ කුඩු මේ ගිනි අඟුරු උඩට දාන්න ඕන. එතකොට තමයි ඒවා පිච්චිලා සුවඳ හමන්න පටන් ගන්නේ. මේක ටිකක් කම්මැළි වැඩක් නිසා ඉලෙක්ට්‍රික් දුම් කබලක් මිලට ගන්න හිතුවා. ඒක ටිකක් ගණන් වැඩියි. 


මිලදී ගැනීමට ඇති ඉලෙක්ට්‍රික් දුම් කබල්


පස්සේ මම හිතුවා එකක් හදලා බලන්න. අන්තර්ජාලයේ මේ ගැන විස්තර හොයලා බැලුවා. ඒවායේ විවිධ උපදෙස් දීලා තිබුණා. ඒ උපදෙස් අතරේ මම හොයා ගත්ත හොඳම දේ තමයි හොට් ප්ලේට් එකක ගිනියම් වෙන දඟරයක් වැනි දෙයක් මතට මේ සුවඳ කුඩු දාලා පුච්චන එක. ඒත් හොට් ප්ලේට් එකකට යන විදුලිය අධිකයි. බැටරි කරන්ට් එකක්, එහෙමත් නැත්නම් සුළු විදුලි බලයකින් මේ වැඩේ කර ගන්න පුළුවන් නම් වැඩේ ලාබයි. මෙහෙම ඉන්න කොට තමයි මට නයික්‍රොම් කියන ලෝහය ගැන අහන්න ලැබුණේ. මේකටම නික්‍රොම් කියලත් කියනවා. මේ ලෝහයෙන් කුඩා දඟරයක්, නැත්නම් සූත්‍රිකාවක් සාදා ගත්තොත් ඒක සුළු විදුලි ධාරාවකින් ගිනියම් කරන්න පුළුවන් බව අන්තර්ජාලයේ කිහිප තැනක තිබුණා. ඉතින් මම මේ ලෝහය වෙළෙඳසැල් කීපයක බැලුවත් හොය ගන්න බැරි වුණා. අන්තිමට ඊබේ එකෙන් ඩොලර් ශත 97 කට එයින් මීටර් කිහිපයක් ගෙන්නා ගත්තා.




එයින් මම පොඩි ආදර්ශ දඟරයක් සාදා බැලුවා. වැඩේ සාර්ථකයි. මම මේ දාලා තියෙන්නේ ඒ ආදර්ශය ගැන විස්තරයක්. මේ විදියට තවත් වැඩිදියුණු කරලා, පෙනුම අලංකාර කරලා ඕන කෙනෙකුට ඉලෙක්ට්‍රික් දුම් කබලක් සාදා ගන්න පුළුවන්.








සුවඳ දුම් දැවීම සඳහා තැටිය විදියට ගත්තේ මුට්ටියකින් කපා ගත් කොටසක්. මේ සඳහා ලෝහ තැටියක් භාවිත කරන්නට නොහැක්කේ මෙය විදුලිය සපයන නිසා පරිපථය ලුහුවත් වන නිසයි. මේ මැටි තැටියේ සිදුරු දෙකක් විද ඇණ මුරිච්චි යොදා නික්‍රොම් දඟරය සවි කර ගත යුතු වෙනවා. අධික ලෙස රත්වන නිසා ඊයම්වලින් පෑස්සිය නොහැකියි. නයික්‍රොම් දඟරයේ දිග සහ ලබා දෙන වෝල්ටීයතාව අනුව කොයි තරම් උෂ්ණත්වයක් ලබා ගත හැකිද කියා සොයා බැලිය හැකි ක්‍රමයක් තිබෙනවා. එවැනි වෙබ් අඩවියකට මෙතැන ක්ලික් කිරීමෙන් පිවිසෙන්නට පුළුවන්.

මා මෙයට බලය ලබාදීම සඳහා භාවිත කළේ පැරණි යූපීඑස් ට්‍රාන්ස්ෆෝමරයක්. එයින් වෝල්ට් 12 කට වඩා බලයක් ලබා ගන්න පුළුවන්. 

මෙවැනි දුම් කබලක එක් අවාසියක් තිබෙනවා. එය තමයි අපට මෙය රැගෙන යා හැක්කේ වයරයේ දිග ඇති සීමාවට පමණක් වීම. මේ සඳහා විසඳුමක් විදියට අපට බැටරි බලය යොදා ගන්න පුළුවන්. මේ සඳහා හොඳම බැටරි වර්ගය තමයි 18650. මේ එක් බැටරියකින් වෝල්ට් 3.6ක් ලබා ගන්න පුළුවන්. ධාරාව නම් වෙනස් විය හැකියි. මේ බැටරි  4 ක් ශ්‍රේණිගත ආකාරයට සම්බන්ධ කරගැනීමෙන් අවම වශයෙන් වෝල්ට් 14.4 ක් ලබා ගත හැකියි. මේවා අලුතින්ම මිලට ගන්නවා නම් ටිකක් වියදම් වැඩියි. නමුත් පිටකොටුවේ පළමුවැනි හරස් වීදියේ පරණ ලැප්ටොප් බැටරි විකුණන්නට දමා තිබෙන තැනකින් රුපියල් 500 කට වැනි මුදලකට මෙවැනි බැටරි 6ක් පමණ මිලට ගන්න පුළුවන්. මේ බොහෝ ඒවා හොඳ තත්වයෙන් තිබෙන බැටරි. කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මේවා දුම් කබලේ පීවීසී රාමුව වටේට පහසුවෙන් සවි කරගත හැකියි. යූපීඑස් ට්‍රාන්ස්ෆෝමරයකින් මෙය ආරෝපණය කරගත හැකි පරිපථයක් සාදා ගන්න පුළුවන්. 


මේ සියල්ල සාදා අවසන් වූ පසු දඟරය වැසෙන සේ සුවඳ දුම් කුඩු දමා විදුලියට හෝ බැටරියට සම්බන්ධ කළ යුතුයි. එවිට දඟරය ගිනියම් වී සුවඳ දුම් කුඩු ගිනි ගන්නවා. එවිට සුවඳ පැතිරෙන්න පටන්න ගන්නවා. පොල්කටු කඩලා ගිනි තියලා දුම් පත්තු කරනවාට වඩා මේ වැඩේ පහසුයි. 


8 comments:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න