පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, March 19, 2019

සිටුවර යාචකයෝ - The Rich Beggars



කොළඹ ගම්පහ අතර දුම්රිය මාර්ග ගමන් සීමාව තුළ වසර 25 ක් තිස්සේ සිඟා කෑ අන්ධ පුද්ගලයෙක් දුම්රිය ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගත් පුවතක් පසුගිය දිනෙක පුවත්පත් කිහිපයක දක්නට ලැබුණා. ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ පොදු ප්‍රවාහන සේවාවන් තුළ සිඟමන් යැදීම තහනම් දෙයක් වූ නිසයි. නමුත් ඔහු අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂණයේ දී අපූරු තොරතුරක් හෙළි වුණා.  65 හැවිරිදි මේ පුද්ගලයා එකී කාලය තුළ සිඟා කෑමෙන් උපයා ගත් ආදායමින් නිවාස දෙකක් ඉදිකොට ඇති අතර, කුලියට දීමට සඳහා තවත් නිවසක් ගොඩනගමින් සිටින බවත්, දියණියන් දෙදෙනාම දෑවැද්ද සහිතව විවාහ කොට දී ඇති බවත්, ඔවුන් දෙදෙනාටම වාහන දෙකක් ද හිමි බවත්, සහ බැංකුවේ ලක්ෂ පහක මුදලක් තැන්පත් කොට තිබෙන බවත් මෙහිදී දැනගන්නට ලැබුණා. සිය පියා දුම්රිය ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගත් පුවත සැළවූ අවස්ථාවේ දී එක් දියණියක් පැමිණ තිබුණේ සිය මෝටර් රථයෙන් බවත් එම පුවතේ සඳහන්ව තිබුණා. මෙයට කලකට පෙර පිටකොටුවේ සිඟා කමින් සිටිය දී මියගිය සිඟන්නකුගේ බඩුබාහිරාදිය පරීක්ෂාවේ දී හෙළි ව තිබුණේ ඔහු සතුව රුපියල් විසි පන්දහසක මුදලක් තිබුණු බවයි. මේ සියලු පුවත්වලින් දැන ගන්නට ලැබෙන්නේ සෑම සිඟන්නෙක්ම පාහේ අප සිතා සිටින තරම්, තවත් ආකාරයකින් සඳහන් කළොත් අප තරම්වත් අගහිඟකම්වලින් පෙළෙන්නේ නැති බවයි. මෙවැනි සිටුව සිඟන්නන් පිළිබඳ වාර්තා වන්නේ අප රටින් පමණක් නොවෙයි. ලෝකයේ වෙනත් රටවල ද මෙවැනි සිටුවර හිඟන්නන්පිළිබඳ තොරතුරු දැනගන්නට ලැබෙනවා. මේ කතා කරන්නට යන්නේ එවැනි සිටුවර හිඟන්නන් කිහිප දෙනෙක් ගැනයි.

භාරත් ජායින් - ඉන්දියාව



භාරත් ජායින් කියන්නේ ඉන්දියාවෙන් හමුවන සිටුවර යාචකයෙක්. 49 හැවිරිදි ඔහු සිඟමන් ජීවිතය ආරම්භ කොට තිබුණේ මුම්බායි ප්‍රදේශයෙන්. සිය දරුවන් හදා වඩා ගැනීම පිණිස වෙනත් මගක් නොතිබුණු ඔහු සිඟමන සිය වෘත්තිය ලෙස තෝරා ගත්තා. දිනකට පැය 8 - 10 ක් පමණ සිඟා කෑමේ යෙදෙන ඔහුගේ දිනක ආදායම් ඉන්දියානු රුපියල් 6,000ක් පමණ වෙනවා. මෙය අපේ රටේ මුදලින් නම් රුපියල් 15,000 කට මදක් වැඩියි. ඉන්දියාවේ ඉතා වැදගත් පවුල් ජීවත්වන පාරෙල් නම් ප්‍රදේශයේ එකිනෙක යාබද  මහල් නිවාස දෙකක් ද ඔහු සතුයි. මේවායේ වටිනාකම ඩොලර් සිය දහස් ගණනක් වෙනවා. මේ නිවාසවලට අමතරව ඔහුට භන්දුප් නම් ප්‍රදේශයේ සාප්පු ගොඩනැගිල්ලක් ද අයිතියි. එය කුළියට දීමෙන් ඔහු මාසිකව ඉන්දියානු රුපියල් 20,000ක් පමණ උපයා ගන්නවා.  

ක්‍රිෂ්ණ කුමාර්



ක්‍රිෂ්ණ කුමාර් කියන සිටුවර යාචකයා ගැන වාර්තා වෙන්නෙත් ඉන්දියාවෙන්. මුම්බායි හි චාර්නි කියන පාරේ සිඟා කෑමේ යෙදෙන ඔහු තරුණ යාචකයෙක්. මුම්බායිහි හොඳම ප්‍රදේශයක් වන නල්ලාසොපාරා හි හොඳම තත්වයේ මහල් නිවාසයක් හිමි ඔහුගේ දිනක ආදායම ඉන්දියානු රුපියල් 1500ක් පමණ වන බවයි දැනගන්නට ලැබෙන්නේ. මෙය අපේ රටේ මුදලින් නම් රුපියල් 3,800 ක් පමණ වෙනවා. කෙසේ වෙතත් ඔහු කරන්නේ ආදායම ඉපැයීම පමණක් බවත්, මුදල් පාලන කටයුතු කරන්නේ ඔහුගේ සොයුරා බවත් දැනගන්නට ලැබෙනවා.

ටෙඩ් විලියම්ස් -ඇමරිකා එක්දත් ජනපදය



ටෙඩ් විලියම්ස් කියන්නේ ඇමරිකාවේ හිටපු නිවේදකයෙක්. බීමත් කම නිසා ඔහු මහමගට වැටුණා. ඔහුගේ නෑ හිත මිතුරන්ගෙන් ද ඔහුට කිසිදු හව්හරණයක් ලැබුණේ නෑ. හරියකට අඳින්නට ඇඳුමක් හෝ ජීවත් වන්නට නිවසක් හෝ නොමැති නිසා ඔහු සිඟමන් යදින්නට පටන් ගත්තා. සිඟා කන අතරේ ඔහු දැන්වීම් පුවරුවක් ද අතේ තබාගෙන සිටිනු දක්නට ලැබුණා. තමා කලින් ගුවන් විදුලි සේවයක නිවේදකයකුව සිටි බවත්, තමාට දෙවියන් විසින් ලබා දුන් හඬක් තිබෙන බවත් ඔහු මේ පුවරුවේ සඳහන් කොට තිබුණා. මෙසේ සිටින අතරේ ඔහුට සිය හඬ යූටියුබ් නාලිකාවක් ඔස්සේ ප්‍රචාරය කරන්නට අවස්ථාව ලැබුණා. ඒ එක්කම ඔහුගේ වාසනාව පෑදුණා. ගුවන් විදුලි නාලිකාවලින් ඔහුට ඇරයුම් ලැබෙන්නට පටන් ගත් අතර ඔහුගෙ අතමිට සරුවෙන්නට පටන් ගත්තා. කෙසේ වෙතත් ඔහු තවමත් ජීවත්වන්නේ මහමග යාචකයන් අතරේ යාචකයෙක් විදියටයි. ඔහු යාචක සුබසාධනය වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් කරන්නට බලාපොරොත්තු වන බව පවසනවා.

සයිමන් රයිට් - එක්සත් රාජධානිය  



සයිමන් රයිට් කියන ධනවත් යාචකයා ගැන අසන්නට ලැබෙන්නේ එක්සත් රාජධානියෙන්. සිය සුනඛයා ද කැටිව දිනපතා මහමගට පැමිණෙන ඔහු උදේ 9 ට පමණ පැමිණ පැය 8ක් පමණ සිඟමන් යැද යලි නිවසට ගමන් කරනවා. ඔහු මේ ආකාරයට වාර්ෂිකව පවුම් 50,000 ක් පමණ උපයා ගන්නා බවයි දැනගන්නට ලැබෙන්නේ. මේ මුදල් අපේ රටේ වටිනාකමින් රුපියල් එක්කෝටි දහසය ලක්ෂයක් පමණ වෙනවා. මෙසේ සිඟා කමින් සිටිය දී කලකට පෙර එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඔහුව නීතිය හමුවට ඉදිරිපත් කළා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝගයක් ලබා දෙමින් පවසා සිටියේ  ලන්ඩන් අවට වසර දෙකක් යන තුරු සිඟා කෑම තහනම් කරන බවයි. කෙසේ නමුත් එම නියෝගය ලැබී පැය කිහිපයක් ඇතුළත ඔහු යළි සිඟා කනු දක්නට ලැබුණා. ඔහුට ලන්ඩනයේ සුඛෝපභෝගී මහල් නිවාසයක් හිමියි. ඔහුගේ මව අද ද ජීවත්ව සිටින අතර ඇය පවසා සිටින්නේ තමා කෙතරම් හොඳින් ඔහුව හදා වඩා ගත්තත් අවසානයේ ඔහු හිඟමනට වැටුණු බවයි. කෙසේ නමුත් ඔහු ධනවත් හිඟන්නෙක්.

ඊෂා - සෞදි අරාබිය  



තෙල්වලින් නැහැවුණු ආර්ථිකයක් තිබුණත් සවුදි අරාබියේ ද සිඟන්නන් සිටිනවා. ඒ අතරින් අති විශේෂ සිඟන්නියක් තමයි ඊෂාකියන්නේ. කාලයක් තිස්සේ සවුදි අරාබියේ ජෙඩා නගරයේ සිඟා කමින් සිටි ඇයව බලධාරීන්ට හමුවෙද්දී ඇය මිය ගොස් සිටියා. ඒ වන විට ඇය අවුරුදු සියයක් ජීවත්ව සිට තිබෙනවා. ඇගේ බඩුබාහිරාදිය තුළින් හමුවුණේ පුදුමාකාර දේවල් ටිකක්. ඒවා අතර රන් කාසි, ආභරණ සහ ඇමරිකානු ඩොලර් 1,066,580 ක වටිනාකමකින් යුක්ත ඉඩකඩම් ලියවිලි ද තිබුණා. මේ සියල්ලේ වටිනාකම සවුදි රියාල් මිලියනයක් පමණ වන බවයි බලධාරීන් පවසන්නේ. ඊෂා සමග කලක් සිඟා කෑ තවත් සිඟන්නකු වූ අහ්මඩ් අල් සයීඩි පවසන්නේ තමා දන්නා දා කාලයෙ පටන් ඊෂා ට කිසිදු හිතමිතුරකු හෝ ඥාතියෙකු නොසිටි බවයි.


2 comments:

  1. ෂර්ලොක් හොල්ම්ස් හොයාගත් විරූපී මුහුණ සහිත හිඟන්න කතාව මතක් උනා :)

    ReplyDelete
    Replies
    1. ආහ්, ඔව්. The Man with the Twisted Lip කියන කතාව නේද? ඒ කතාව කියවලාද දන්නෙත් නැහැ කට්ටිය මේ විදියට වෙස් වලාගෙන හිඟා කන්නේ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න