පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, January 12, 2021

ලෝකේ අලුත්ම සල්ලි කාරයා - එලන් මස්ක් - Elon Musk, the World Richest Person



ලෝකේ ලොකුම සල්ලිකාරයා කවුද කියල ඇහුවොත් ඔබට ඒ වෙනුවෙන් තියෙන උත්තරේ මොකක්ද? ඔබට සමහර විට මයික්‍රොසොෆ්ට් සමාගමේ සම-ආරම්භක බිල් ගේට්ස් මතක් වෙයි. ඇමසන් එකේ ප්‍රධාන විධායක ජෙෆ් බෙසොස් මතක් වෙයි. ඒ විතරක් නෙවෙයි ඇමරිකාවේ ජනපතිවරයකු වූ ඩොන්ල්ඞ් ට්‍රම්ප්වත් මතක් වෙයි. ඒත් ඇත්තටම ලෝකයේ ලොකුම සල්ලිකාරයා මේ කවුරුවත් නෙවෙයි. ලෝකයේ සල්ලිකාරයන් ගැන අපට කියන ඇමරිකානු ව්‍යාපාරික සඟරාවක් සහ වෙබ් අඩවියක් වන ෆෝර්බීස් පවසන විදියට දැන් මේ ගෞරවය හිමි වන්නේ එලන් මස්ක් ට. ඔහුගේ මුළු ශුද්ධ වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 195 ක් වෙනවා. ඔහුට පෙර ලෝකයේ සිටි ලොකුම සල්ලිකාරයා වූ ජෙෆ් බෙසොස්ගේ ශුද්ධ වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 185 ක් වෙනවා. 

එලන් රීව් මස්ක් කියන්නේ ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයෙක්. 1971 ජූනි 28 වැනිදා දකුණු අප්‍රිකාවේ ප්‍රෙටෝරියා හි උපන් ඔහු තමන්ගේ වෘත්තීය ජීවිතයට ඇතුළු වුණේ. කර්මාන්ත සැලසුම්කරුවෙක් සහ ඉංජිනේරුවකු හැටියටයි. ඔහුගේ මව කැනේඩියානු කාන්තාවක් වූ මායේ මස්ක්. පියා දකුණු අප්‍රිකානු ජාතිකයකු වූ එරල් මස්ක්. ඔහු විදුලි ඉංජිනේරුවෙක් වගේම ගුවන් නියමුවෙක් ද වුණා. ඔහුට කිම්බල් මස්ක් නමින් සහෝදරයකු ද, මායේ මස්ක් නමින් සහෝදරියක ද සිටිනවා. 

1980 වසරේ දී ඔහුගේ මව සහ පියා දික්කසාද වුණා. එයින් පසුව එලන් ජීවිතය ගත කළේ සිය පියා සමග. එලන් කුඩා කාලයේ පටන්ම කියවීමට ඇල්මක් දැක්වූ බව කියවෙනවා. ඒ වගේම පරිගණක තාක්ෂණය කෙරෙහි ද දැක්වූයේ දැඩි උනන්දුවක්. මේ උනන්දුව නිසාම පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කළ ඔහු එය ඩොලර් 500 කට අළෙවි කරන්නට සමත් වුණා. එලන් ගැන කතා කරද්දි ඔහු සිය මිතුරන්ගේ නොසෑහෙන වද හිංසාවන්ට ලක් වූ දරුවෙක් බව දැනගන්නට ලැබෙනවා. එක් අවස්ථාවක දී මිතුරන් පිරිසක් ඔහුව ගුවන් යානාවක තරප්පු පෙළින් බිමට විසි කළ අතර ඔහුට ඒ නිසා රෝහල් ගත්වන්නට පවා සිදු වුණා. 

ඔහු දකුණු අප්‍රිකාවේ සිටිය දී නිතරම සිහින මැව්වේ ඇමරිකා එක්සත් ජනපදය කරා සංක්‍රමණය වන්නටයි. ඇමරිකාවේ දී බොහෝ දේවල් සිදු කරන්නට අවස්ථාව තිබෙන බව ඔහු නිතරම පැවසූ දෙයක්. 

කැනඩාවට පැමිණීම

ඇමරිකාවට යන්නට සිහින මැව්වත් ඔහුට මුලින්ම පැමිණෙන්නට අවස්ථාව ලැබුණේ කැනඩාවටයි. ඒ 1989 වර්ෂයේ දී. විවිධ රැකියාවන් කරමින් කාලය ගත කළ ඔහු 1990 වසරේ දී කැනඩාවේ ඔන්ටාරියෝ හි ක්වීන්ස් විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා. එයින් වසර දෙකකට පසු පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයට මාරුවීමක් ලැබුණු ඔහු 1997 වසරේ දී ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් හිමි කර ගත්තා. ඒ වගේම භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් හිමි කරගන්නට ද සමත් වුණා.  

ව්‍යාපාරික ජීවිතය

සිප් ටූ (Zip2)

1995 වසරේ දී ඔහු සිය සහෝදරයා වූ කිම්බල් සහ ග්‍රෙග් කවුරි සමග එක්ම Zip2 නමින් මෘදුකාංග සමාගමක් ආරම්භ කළා. කුඩා කාර්යාල ගොඩනැගිල්ලක කුලියට ගත් ඔහු මුල කාලයේ වෙනම නවාතැනක නවතින්නට තරම් වත්කම් නොමැති වූ නිසා නවාතැන බවට පත් කර ගත්තේ ද මේ ව්‍යාපාරික ස්ථානයමයි. කාර්යාලයේ දිග පුටුවේ නිදා ගන්නටත්, කාර්යාලය අසල ගොඩනැගිල්ලක තිබූ වතුර පයිප්පයකින් නාගන්නටත් පුරුදු වුණා. සතියේ දින හතම එක දිගට වැඩ කළා.  කෙමෙන් මෙය ලාබ ලබන සමාගමක් බවට පත් වූ අතර 1999 දී කොම්පැක් සමාගම මගින් මෙය ඇමරිකානු ඩොලර් මිලියන 307 කට මිලට ගත්තා. එලන්ට එහි දී ඇමරිකානු ඩොලර් මිලියන 22ක මුදලක් හිමි වුණා. 

එක්ස් ඩොට් කොම් සහ පේපැල් (X.com and PayPal)

Zip2 සමාගම අළෙවි කිරීමෙන් ලද ආදායමෙන් ඩොලර් මිලියන 10ක් යොදා 1999 වසරේ දී එලන් X.com අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු කළ හැකි පහසුකම සලසන සමාගමක් ආරම්භ කළා. පසුව එය ‘කොන්ෆිනිටි’ යන සමාගම සමග සම්බන්ධ වුණා. ඒ සමාගමට පේපැල් නමින් මුදල් ගනුදෙනු කළ හැකි සමාගමක් අයත්ව තිබුණා. පසුව එක්ස් ඩොට් කොම් සහ පේපැල් සමාගම් දෙක තනි සමාගමක් බවට පත් කෙරුණා. මේ සමාගම ද ආර්ථික වශයෙන් ශක්තිමත් වෙද්දී 2002 වසරේ ඔක්තෝබර් මාසයේ දී ඊබේ සමාගම මගින් ඇමරිකානු ඩොල්ර් බිලියන 1.5 කට මිලට ගත්තා. එයින් එලන් ට ලැබුණු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 165 ක් වුණා. 

ස්පේස් එක්ස් (SpaceX)

අඟහරු මත කුඩා ප්‍රමාණයේ හරිතාගාර ඉදිකොට ඒවායේ භෝග වගා කිරීමේ අදහසක් එලන්ගේ සිතට ආවා. මේ ඔස්සේ අභ්‍යවකාශ ගවේෂණ කටයුතු ගැන මහජනතාවගේ උනන්දුව ඇති කරන්නට ද ඔහුට අවශ්‍ය වුණා. මේ සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ රුසියාවෙන් ලබාගැනීමට කිහිප විටක්ම උත්සාහ කළත්, එය නොහැකි වූ විට ඔහු මේවා  නිපදවීම සඳහා සමාගමක් ආරම්භ කරන්නට තීරණය කළා. තමා කලින් උපයා ගත් ධනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් වැය කොට ඔහු අභ්‍යවකාශ ගවේෂණ තාක්ෂණික ආයතනයක් ආරම්භ කළා. ‘ස්පේස් එක්ස්’ ලෙස නම් තැබුණේ එයයි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා බඩුබාහිරාදිය සහ අභ්‍යවකාශගාමීන් ප්‍රවාහනය සඳහා නාසා ආයතනය තෝරා ගත් සමාගම් දෙකින් එකක් බවට පත්වන්නට මෙයට හැකියාව ලැබුණා. මිනිසකු සහිත යානාවක් අභ්‍යවකාශයට යවන ලද ප්‍රථම පුද්ගලික සමාගම බවට පත් වූයේ ද මෙයයි. ස්පේස් එක්ස් සමාගමේ දිගු කාලීන ආරමුණ වූයේ අභ්‍යවකාශ චාරිකාවක් සඳහා සාමාන්‍ය මිනිසකු වැය කළ යුතු මුදල දස ගුණයකින් අඩු කිරීමයි.

ටෙස්ලා -  Tesla

මාර්ටින් එබර්හර්ඞ් සහ මාර්ක් ටාර්පනින් එක්ව 2003 වසරේ දී ආරම්භ කරන මෝටර් රථ සමාගමක් තමයි ටෙස්ලා කියන්නේ. කෙසේ නමුත් එය අද පවතින තත්වයට එසවෙන්නට මුල් වුණේ එයට එලන් මස්ක් සම්බන්ධ වීමෙන් පසුවයි. ටෙස්ලා කියන්නේ ලෝකයේ හොඳම විද්‍යුත් වාහන නිපදවන සමාගම බවට මේ වන විට පත්ව තිබෙනවා. 2008 වන විට ඔවුන් ලෝකයේ රටවල් 31ක් පුරා මෝටර් විද්‍යුත් මෝටර් රථ 2500 ක අළෙවියක් ලබා ගන්නට සමත් වුණා. එපමණක් නොවෙයි සූර්ය බලශක්ති උපකරණ නිපදවීම සහ එම තාක්ෂණය ලබා දීම සම්බන්ධවත් ලොව පවතින ප්‍රමුඛ පෙළේ සමාගමක් බවට මෙය පත්ව තිබෙනවා. 

ටෙස්ලා විද්‍යුත් මෝටර් රථයක් සමග


න්‍යුරලින්ක් - Neuralink

මිනිස් මොලය සහ කෘත්‍රිම බුද්ධිය ඒකාබද්ධ කිරීමේ හැකියාව සොයා බලන්නට එලන් ආරම්භ කළ සමාගම තමයි න්‍යුරලින්ක්. ඔහුට අවශ්‍ය වූයේ මිනිස් මොල්‍ය සහ කෘත්‍රිම බුද්ධිය ඒකාබද්ධ කොට යන්ත්‍ර සමග මිනිසුන්ගේ කරන වැඩකටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස සිදුකිරීමයි.

බෝරින් සමාගම

උමං සෑරීම සඳහා නවීනතම උපාංග සහ තාක්ෂණය ලබා දෙන්නට ඔහු විසින් ආරම්භ කරන ලද සමාගමයි.

විවාහය

එලන් 2000 වසරේ දී ජස්ටින් විල්සන් සමග විවාහ වුනත් 2008 වසරේ දී ඔවුන් වෙන් වුණා. ඉන්පසුව 2010 වසරේ දී ඔහු ටලූලා රිලේ සමග විවාහ වුණා. නමුත් එය 2012 දී අවසන් වුණා. කෙසේ නමුත් එලන් 2013 වසරේ දී නැවත ටලූලා සමග විවාහ වුණත්, ඔවුන් නැවත 2016 වසරේ දී වෙන් වුණා. මේ වන විට එලන් ග්‍රයිම්ස් නමින් ප්‍රකට කැනේඩියානු ගායිකවක සමග ජීවිතය ගත කරනවා. නමුත් ඔවුන් විවාහ වී නැහැ


එලන් මස්ක්ට දරුවන් 7 දෙනෙකු සිටිනවා. 

පළමු බිරිඳ ජස්ටින් සමග



දෙවැනි බිරිඳ ටලූලා සමග



දැන් එක්ව ජීවිතය ගෙවන ග්‍රයිම්ස්

බිලියන පති එලන් මස්ක් ගැන ඉහත තොරතුරු වගේම මේ පහතින් ඇති තොරතුරු ගැනත් නොලියා සිටායොත් එය අඩුපාඩුවක්.

සල්ලිකාරයන්ට රසකැවිලි විකිණීම

දකුණු අප්‍රිකාවේ ගත කළ කුඩා කාලයේ දී එලන්, සිය සහෝදරයා වූ කිම්බාල් සමග එක්ව ධනවතුන් ජීවත් වූ පළාත්වලට ගොස් රසකැවිලි අළෙවි කළා. පසු කාලයේ දී ඔවුන් පවසා සිටියේ ඒවා පිළියෙල කරන්නට වැය වූ මුදල මෙන් දස ගුණයක මහන්සියක් ඒවා අළෙවි කරගන්නට දරන්නට වූ බවයි. 

මිතුරන්ගේ වදහිංසාවන්ට ලක් වීම

එලන් කුඩා කාලයේ මිතුරන්ගේ වදහිංසාවන්ට දැඩිව ලක් වූ බව කලිනුත් අප කතා කළා. එයට බොහෝ විට හේතු වූයේ ඔහු ප්‍රමාණයෙන් කුඩා නිසා විය හැකි බවයි පසුකාලයෙක ඔහු පවසා සිටියේ. අවසානයේ දී මේවායෙන් ගැලවෙන්නට ඔහු කරාටේ, ජූඩෝ සහ මල්ලව පොර ශිල්පය ද හදාරා තිබෙනවා.

බිහිරි දරුවෙක් යැයි වරදවා සිතීම

එලන් කුඩා කාලයේ දෙමාපියන් සිතුවේ ඔහුගේ කන් ඇසෙන්නේ නැත කියායි. එයට හේතු වුණේ ඔහු කිසිවක් නෑසුණා සේ සිටීමයි. ඔහුගේ සහා්දරයා ඔහු අසල සිට මහ හඬින් බෙරිහන් දුන්නත්, ඔහුට ඒවා ඇසෙන බවක් පෙනුණේ නැහැ. මේ නිසාම ඔහුගේ කන් පරීක්ෂාවක් කර ගන්නට යැයි වෛද්‍යවරුන් ද පවසා තිබුණා. පසු කාලයේ එලන් පවසා සිටියේ තමන්ට ඒවා නෑසුණේ, තමා අනාගතයේ කරන දේවල ගැන සිහින මවමින් සිටි නිසා බවයි.

පොත් ගුල්ලාගේ ජීවිතය

එලන් පොත් ගුල්ලෙක්ව සිටියා කීවොත් නිවැරදයි. වරෙක පවසා සිටියේ තමා හැදී වැඩුණේ පොත් නිසා බවයි. වයස නවය වෙද්දී ඔහු බි්‍රතාන්‍ය විශ්වකෝෂය සම්පූර්ණයෙන්ම කියවා අවසන් කොට තිබුණා. ඔහු ඊට අමතරව විවිධ වර්ගයේ පොත් දවසේ පැය දහයක් පුරාව කියවන්නට පුරුදුව සිටියා. 



2 comments:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න