පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, May 11, 2014

එරත්න පාරෙන් අඩවිකන්ද හරහා සිරිපා මලුවට - Pilgrimage to Mt. Samanala via Erathna Adawikanda



සමනල කන්ද එක් වරක්වත් නැගපු නැති කෙනෙත් මෝඩයිලු. එක වතාවක වඩා නැග්ගත් මෝඩයිලු. මේ කියන කතාවට අනුව මමත් මෝඩයෙක්. මොකද මම මේ ගමන සිරිපා කරුණාවත් එක්ක මේ වෙන කොට පස් වතාවක් මේ වන්දනා ගමන ගිහින් තියෙනවා. අතුරු ආන්තරාවක් නොවුනොත් තව පුලුවන් කාලයක් අවුරුද්දක් ගානේම කරුණා කරනවා. ඒක මෝඩ කමක් නම් මම මෝඩයෙක් වෙන්නේ කැමැත්තෙන්මයි. මොකද සිරිපා කරුණාව කියන්නේ මමත් අපි හැමෝමත් පුදුම සැදැහැවකින් යන ගමනක් නිසයි.

මේ අවුරුද්දේ අපි සිරිපා කරුණා කරමු කියලා කතා කරගත්තේ අවුරුද්ද පටන්ගන්න කොටමයි. මොකද ඒ වෙනකොට සෙනගත් අඩුයි. කාලගුණයත් හොඳයි. ඒත් නොයෙක් හේතු නිසා අපට ඒ ගමන අප්‍රේල් වෙනකල් කල් දමන්න වුණා. අන්තිමට අප්‍රේල් 19 වැනිදා අපි සිරිපා කරුණා කරන්න කතිකා කරගත්තා. එදාම තමයි අපේ චූටි පුතාගේ උපන් දිනය තිබුණෙත්. අපේ ගෙදර කට්ටියට හොරෙන් අපේ වන්දනා නඩේ ජනිතුයි දිනේෂුයි නදීෂානුයි උපන් දින කේක් එකක් අරන් බැලුම් එහෙම පුම්බලා පොඩි උත්සවයකුත් ලෑස්ති කරලා තිබුණා. ඒක පරකඩුව හරියේ පොඩි හෝටලයක් ළඟ නතරවෙලා සැමරුවා. ඒකත් අමතක නොවෙන සිද්ධියක්.

අපි මේ ගමන සිරිපා කරුණා කරන්න යොදාගත්තේ කුරුවිට එරත්න පාර. ගූගල් සිතියමේ හැටියට නම් අඩවිකන්දට කොළඹ ඉඳන් කිලෝමීටර් 87.6ක් තියෙනවා. කොළඹ ඉඳන් රත්නපුර පාරේ ඇවිත් කුරුවිටින් එරත්න පාරට හරවන්න ඕන. එරත්න පාරේ කිලෝමීටර් 14 ක් විතර පහුකරලා අඩවිකන්දට යන්න පුලුවන්. මේ යන ගමන් අපි ‛බටතොට ලෙන’ බලන්නත් ගියා. බටතොට ලෙන කියන්නේ ‛දිවා ගුහාව’ කියලා විශ්වාස කරපු එක තැනක්. හැටන් පාරේ තියෙන දිවා ගුහාව හොයාගන්න කල් මෙතැන තමයි ඒ ගෞරවය ලබාගත්තේ. මෙතැනත් සෑහෙන ඉතිහාසයක් තියෙන තැනක්. මොකද මහනුවර යුගයේ බිතුසිතුවම් මෙතැන පේන්න තියෙන නිසා. මේ පාරේ යන්න හිතාගෙන ඉන්න අයට දැනගන්නත් එක්ක කියන්නේ. අපේ රටෙන් හමුවුණු බලංගොඩ මානවයා ජීවත් වුණු ‛බටදොඹ ලෙන’ තියෙන්නෙත් මේ යන පාරේම තමයි. හැබැයි අපි ඒකට ගියේ නැහැ. ගිය දවසක ඒ ගැන කතා කරමු.




අපි අඩවිකන්දට යනකොට දවල් 12 ට විතර ඇති. අඩවිකන්දේ වාහන නවත්වන්න පොඩි තැනක් තියෙනවා. අපි යනකොට සිරිපා කරුණා කරන්න තවත් වාහන දෙකක් ඇවිත් තිබුණා. මෙතැනින් ගඟක් ගළනවා. සමහරු මෙතැනින් නාගෙන එහෙම තමයි සිරිපා කරුණා කරන්න පටන් ගන්නේ. අපිට ඕන වුණේ සීත ගඟුළෙන්ම නාන්න. ඒකට අපිට කන්දේ නගින්න වෙනවා.


අඩවිකන්දේ වාහන නැවතුම්පළ


අපි දවල්ට කෑම අරගෙනම සිරිපා කරුණා කරන්න හිතුවා. ඊට කලින් ජනිතුයි මමයි අපි ආපු වෑන් එකේ මාතලී, ඒ කියන්නේ  ගිහාන් ට කෑම ගන්න තැනක් හොයන්න ගියා. මොකද අපි හදාගෙන ආපු කෑම රෑට තියාගන්න බැහැ. සිංහල අවුරුද්දෙන් පස්සේ සිරිපා කරුණා කරන කට්ටිය අඩු හින්දා මේ හරියේ කඩ හැම එකක්ම වහලා. අපි කෑම ගන්න තැනක් හොයා ගත්තා. හැබැයි අපි ගියාට පස්සේ ගිහාන් වෙන තැනක් හොයාගෙන තිබුණා. ඒක අපේ වාසියට හිටියා.

දවල්ට කාලා එහෙම එතැන තිබුණු බුදු මැඳුරට මල් පූජා කරලා බුදු සරණින් සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් අපට සිරිපා කරුණා කරලා බුදු සිරිපතුල් නැමදළා ආපහු එන්න ආරක්ෂාව ලබාදෙන්න කියලා ඉල්ලුවා.


අඩවිකන්දේ තියෙන බුදුමැදුර

සිරිපා කරුණා කරන්න ප්‍රධාන පාරවල් තුනක් තියෙනවා. ඒ හැටන්, පලාබද්දල සහ එරත්න. වැඩි දෙනෙක් යන්නේ හැටන් පාරෙන්. ඒක තමයි කෙටිම වගේම පහසුම පාර. කිලෝමීටර් 5යි. අපි ගිය වතාවේ ගියේ රත්නපුර පලාබද්දල පාරෙන්. ඒ පාර කිලෝමීටර් 8.5ක් විතර තියෙනවා. නිශ්ශංක මල්ල රජතුමා සිරිපා කරුණා කළේ මේ මාර්ගයේ නිසා මේකට ‛රජ මාවත’ කියලත් කියනවා.  මීට අමතරව දැරණියගලින් එන්න පාරකුත් තියෙනවා. ඒක ගොඩක් දුෂ්කර මාර්ගයක්. ඒ මාර්ගය ඇවිත් වැටෙන්නේ අපි මේ වතාවේ සිරිපා කරුණා කරන්න ගිය මාර්ගයටයි. ඒ කියන්නේ එරත්න මාර්ගයට. එරත්න මාර්ගය කිලෝමීටර් 12ක් දුරයි. පාර දුෂ්කරයි. කැලෑව මැදින් තමයි වැඩිහරියක් යන්න තියෙන්නේ. පඩිපෙළවල් අඩුයි. ගල්වලින් පිරුණු පාරවල් තමයි තියෙන්නේ.


මෙන්න මේ වගේ පාරවල් තමයි තියෙන්නේ

මෙන්න මේ වගේ පාරවල් තමයි තියෙන්නේ

කවුරු හරි එරත්න පාරෙන් යනවා නම් සිරිපා වාරය ආරම්භ කරපු කාලේම යනවා නම් හොඳයි. අපි ගිය කාලේ පහසුකම් හොඳටම අඩුයි. අතරමග කඩ හොඳටම අඩුයි. අනෙක පාරේ දාපු විදුලි බල්බ සමහර ඒවා පිච්චිලා. විදුලි පන්දම් නම් දෙක තුනක්වත් අරන් යන්නම වෙනවා. මොකද සමහර තැන්වල විදුලි ආලෝකයක් ඇත්තෙම නැහැ. පොඩි අඩි පාරවල් දිගේ ගල් උඩින් නැගගෙන පරිස්සමට යන්න නම් විදුලි පන්දම් තියෙන්නම ඕන. ඒත් අපට තිබුණේ විදුලි පන්දම් දෙකක් විතරයි.

අපි දවල් 2ට විතර වගේ තමයි යන්න පිටත් වුණේ. අඩවිකන්දේ තියෙන පුංචි විදුලි බලාගාරේ ටර්බයින්වලට ජලය අරගෙන යන යෝධ නල දෙකට යටින් තමයි ගමන පටන් ගන්නේ. එතැන පහු කරලා ටික වෙලාවෙකින් අඩවිකන්ද පොලිස් මුරපොළ හමුවෙනවා. අරක්කු එහෙම අරන් යන ‘බැතිමතුන්ට‘ එහෙම අරන් යන බෝතල් මෙතන තියලා යන්න තමයි වෙන්නේ. අපි යනකොට සෙනග නැති වුණත් අප හැමෝගෙම බෑග් හොදට පරීක්ෂා කරලා තමයි යන්න දුන්නේ. 

පොලිස් මුරපොළෙන් පස්සේ පොඩි තේවත්තක් හමුවෙනවා. මේ තේවත්ත මැදින් වැටුණු පාර හරි ප්‍රසිද්ධයි. මොකද පොඩි කාලෙත් අපේ වැඩිහිටි අය මේ තේවත්ත ගැන නිතර කියනවා. මෙතැන පහු කළාට පස්සේ වන්දනා නඩයක් හමුවුණොත් මිසක් මිනිස් පුලුටක්වත් නැහැ.

මේ පාරේ යන්කොට හමුවුන මුල්ම අම්බලම තමයි ‛ජම්බෝල ගහ යට අම්බලම’.  අපි 3.15 විතර එතැනට ගියා. කිසිම කෙනෙක් එතැන නැහැ. හැබැයි සරුවට කඩපිලක් තිබුණු බවට සළකුණු නම් තිබුණා. ඒ සිංහල අවුරුද්දට කලින් වෙන්න ඕන.


විදුලි බලාගාරයට ජලය අරගෙන යන නල පද්ධතිය


ජම්බෝල ගහ යට අම්බලමට පස්සේ හමුවන ප්‍රධානම තැන තමයි ‛ඩයිමන්ගල’ නැවතුම් පොළ. එතකොට වෙලාව 3.50ට විතර ඇති. එතැනත් කවුරුවත් නැහැ.


ජම්බෝල ගහ යට අම්බලම


ඩයිමන්ගල නැවතුම් පොළ


අපට ඊළඟට හමුවුණු තැන තමයි ‛වරණගල’. අපි 3.35ට විතර එතැනට ගියා. අඩවිකන්දේ තියෙන ජලවිදුලි බලාගාරෙට ජලය අරගෙන යන ජලාශය තියෙන්නේ මෙතැනට ටිකක් උඩින්. වරණගල ගල් තලාවේ ජලය බැහැලා යන තැනට උඩින් පොඩි පාලමක් තියෙනවා. ජලාශයේ මොනවා හෝ දෝෂයක් හට ගත්තොත් මෙතැනින් ජලය පිටාර ගලාගෙන යන්නයි හදලා තියෙන්නේ. එහෙම වුණොත් ඒ ජලය පාලමටත් උඩින් ගලන බව තමයි මෙතැන දැන්වීම් පුවරුවෙන් කියැවෙන්නේ. ඒ නිසා මෙතැන නතරවෙලා අවට සිරි නරඹන්න තරම් පරෙස්සම් තැනක් නොවෙයි.


වරණගල

වරණගල ගල් තලාව

අනතුරු හගවන දැන්වීම් පුවරු

අනතුරු හගවන දැන්වීම් පුවරු


වරණගල ජලාශය ළඟම තමයි වරණගල ආපනශාලාව තියෙන්නේ. ඒක තමයි අපිට හමුවුණු මුල්ම කඩේ. අපි එතැනට යනකොට 4.20ට විතර ඇති. බෙලිමල් ටිකක් බොන්න කියල හිතුවත් බොන්න වුණේ ප්ලේන් ටී. මේ කඩේ ඉඳන් මීටර් 50ක් පහළට බැස්සහම ‛වරණගල ඇල්ල’ බලන්න පුලුවන්. මේ ඇල්ලෙන් වැටිලා දැනට අවුරුදු කීපයකට කලින් දෙන්නෙක් මැරිලා තියෙනවා. අපි ඇල්ල බලන්න ගියේ නැහැ. අපේ ඉලක්කය වුණේ අඩුම තරමේ 6 වෙනකොටවත් සීත ගඟුළට යන්නයි.
වරණගල පහුකරලා ටිකකින් අපට වැඳළා බහින නඩයක් හමුවුණා. ඒ තමයි අපට එරත්න පාරයි පලාබද්දල පාරයි එකට එකතුවෙනකල් මුණ ගැහුණු එකම නඩය.


වරණගල ආපන ශාලාව



අපට 5 ට විතර බෙලිමල් විකුණන කඩයක් හම්බ වුණා. ඊට ටිකකට පස්සේ තද මීදුමක් ආවා. පාර පේන එකක් නැතිවෙයි කියලා බයක් හිතුණත් සමන් දෙවි හැමුදුරුවන්ගේ පිහිටෙන් ටික වෙලාවක් යනකොට මීදුම නැති වුණා.


මුළින්ම බෙලිමල් බිව්වේ මෙතැනදි.  ආපහු එනකාට වැස්ස පායන කල් මෙතැනට වෙලා ටිකක් නිදා ගත්තා


සෑහෙන මීදුමක් එන්න පටන් ගත්තා

මීදුම

හිතුව විදියටම අපට හවස 6 වෙනකොට සීත ගඟුළට එන්න පුලුවන් වුණා. සිරිපා කරුණා කරන්න තියෙන ප්‍රධාන මාර්ග තුනෙන්ම හමුවෙන හොඳම සීත ගඟුල තමයි මේ. ඒ කියන්නේ වතුරේ බැහැලා නාන්න පුලුවන් එකම තැන මෙතැන. හැටන් පාරේ පටන් ගන්න කොටම තියෙන ගඟ ඇරුණාම මගදි හමුවෙන්නේ වතුර පීල්ලක් විතරයි. පලාබද්දල පාරෙත් තියෙන්නේ පීල්ලක්. ඒ ඉඳිකටුපානේ.


සීත ගඟුල

සීත ගඟුල


සීත ගඟුල


දුවයි පුතයි හැරුණාම අපි හැමෝම සීත ගඟුළෙන් නාගත්තා. අයිස් වගේ වතුර වුණත් පුදුම සැනසිල්ලක් දැනුණා. ඊට පස්සේ සීත ගඟුළ අම්බලම ළඟ ආපන ශාලාවෙන් රොටී කාලා ප්ලේන්ටී බිව්වා. නාන්න ඇඳපු රෙදි සීත ගඟුළ ආපන ශාලාවෙන් තිබ්බා. ආපහු එන ගමන් ගන්න පුලුවන්නේ.



සීත ගඟුල ආපන ශාලාවට පසුපසින් අම්බලම තියෙනවා
සීත ගඟුල ආපන ශාලාවෙන් රොටී කාලා ප්ලේන් ටී බිව්වා


සීත ගඟුලෙන් ඉදිරියට


සීත ගඟුළෙන් එගොඩ වෙලා සමන්දෙවි හාමුදුරුවන්ට භාර වෙලා අපි අයෙත් කරුණා කරන්න පටන්ගන්න කොට රෑ 7.15 විතර ඇති. දැන් කරුවල වැටිලා. පාරේ ලයිට් දාලා. ඒත් සමහර කණුවල බල්බ් පිච්චිලා. විදුලි පන්දම් නොතිබුණා නම් අපේ ගමන තවත් දුෂ්කර වෙන්න තිබුණා.
වැඩි දුරක් යන්න කලින් අපට ‛හැඳල ශ්‍රී පාද වන්දනෝපාකාර සමිතියේ දාන ශාලාව’ මුණ ගැහුණා. හැබැයි එතන කවුරුවත් නැහැ. සෙනග ඉන්න කාලෙට මෙතන දාන මාන දෙනවා ඇති කියලා හිතුණා.


හැඳල ශ්‍රී පාද වන්දනෝපාකාර සමිතියේ දාන ශාලාව


අපට මෙහෙම යනකොට මුහුණ පාන්න වුණු ලොකුම කරදරේ වුණේ විදුලි බලය ඇණ හිටපු එක. පැයකටත් වැඩිය අපට යන්න වුණේ විදුලි පන්දම්වල පිහිටෙන්. ඊට පස්සේ අපේ වතුර ඉවර වුණා. මොකද එක බෝතලයයි අරන් ගියේ. ඒත් 9.30ට විතර අපට ගලාගෙන යන වතුර පාරක් හම්බ වුණා. හැමෝම ඒකෙන් වතුර බීලා බෝතලයට වතුර පුරව ගත්තා.


රෑ 9.50 විතර අපට ඉඳිකටු පානට එන්න පුලුවන් වුණා. ඉඳිකටු පාන අම්බලම තියෙන්නෙත් එතැනමයි. හැබැයි ඒකේ තියෙන්නේ ගරාවැටුණු පෙනුමක්.


ඉඳිකටු පාන 

එරත්න පාරයි පලාබද්දල පාරයි ඒකාබද්ධ වෙන්නේ ගල්වංගෙඩිය ළඟදි. එතැන ආපන ශාලාවක් තියෙනවා. රෑ 11.20 විතර වෙනකොට අපි එතැනට ළඟා වුණා. අපි රෑට කෑවා එතැනදි. චූටි පුතාට එතැනදි ටිකක් නින්ද ගියා. ඒ අතරේ මගේ බිරිඳ පියුමි කිව්වා කන්ද නගින්න බැහැ. මෙතැනට වෙලා ඉන්නම් කියලා. ඒක හරියන වැඩක් නෙවෙයි නේ. පස්සේ අපි සමන් දෙවියන්ට ආයේ භාරයක් වෙලා පඬුරක් අතේ ගැට ගැහුවා. ජනිත් තමයි එහෙම කරමු කිව්වේ. කොහොම හරි සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් අපි ආයේ ගමන පටන් ගත්තා. මකර තොරණත් පහු කළා. වෙලාව මතක නැහැ. හොයාගන්න විදියකුත් නැහැ. මොකද මේ හරියෙදි කිසිම ෆොටෝ එකක් අරන් නැහැ.


ගල්වංගෙඩිය - මේක ගත්තේ ආපහු එන අතරේ

අපි 20 වැනිදා උදේ 1.10 විතර වෙනකොට ආඬියාමළතැන්නට ආවා. මේ තමයි අපට හමුවන අන්තිම අම්බලම. ගිය වතාවේ අපි  එනකොට නම් මෙතැන ආපනශාලාවක් තිබුණා. ඒත් මේ ගමන තිබුණේ ගොඩනැගිල්ලක් විතරයි.


ආඬියාමළතැන්නට මලුව පෙනෙන විදිය


අපට දැන් මලුව හොඳට පේනවා. ඝන්ටාර සද්දේ ඇහෙනවා. මලුව පැත්තට විහිදුණු ලයිට් වැලක් වගේ පේනවා. හරියට අහසට විහිදුණු තරු පේලියක් වගේ.

උදේ 2.05 වෙනකොට අපි ඇහැළකණුව ළඟට ආවා. එතැනින් පස්සේ මහගිරිදඹ. පඩිපෙළේ බෑවුම හොඳටම වැඩියි. අපි 2.20 විතර වෙනකොට මලුවට ළඟා වුණා. බුදු සිරිපතුළ ළඟට ආවා වගේ හැඟීමක් දැනුණා. මේ මගේ පස්වැනි සිරිපා කරුණාව වුණත් හැමදාම එක වගේම මේ හැඟීම දැනිලා තියෙනවා. බෞද්ධ හැමෝටම එහෙම වෙන්න ඇති.

ඇහැළ කණුව

උදේ ඉර සේවය බලන්න තැනකුත් හොයාගෙන අපි කට්ටිය දෙකට බෙදිලා සිරිපතුළ නමදින්න ගියා. සිරිපතුළ දකිනකොටම ඇස්වලට කඳුළු පිරෙන්න පටන් ගත්තා. ඒකට තමයි මට හිතෙන්නේ ශ්‍රද්ධාව කියන්නේ. බුදුහාමුදුරුවෝ දැක්කා වගේ කියලයි හිතුනේ.


ඊට පස්සේ හැමෝම තමන්ගේ ආඩම්බරකම පෙන්වන දේ කරන්න ගියා. ඒ තමන් කී වතාවක් සිරිපා කරුණා කළාද කියලා අනෙක් අයට දැනෙන්න ඝන්ඨාරය නාද කරන එක. එක වතාවකට වඩා සිරිපා කරුණා කරන එක මෝඩයන්ගේ වැඩක් කියලා කියන්නේ සිරිපා කරුණා කරන්න අමාරුයි කියලා හිතන අයගේ නොදන්නා කමට, මෝඩකමට කියන කතාවක් කියලා මට ඒ වෙලාවේ හිතුණා.

මලුවේ කාටවත් නිදාගන්න නම් ලැබෙන්නේ නැහැ. එක දිගට සිරිපා කරුණා කරන්න එන සෙනගට ඉඩ මදිවෙයි කියලා එකන නිදාගෙන ඉන්න අයට නැගිටවලා පහාළට යවනවා. ගිය වතාවෙත් අපට එහෙම යන්න වුණා. ඒ නිසා ඉර සේවය බලන්න වුනෙත් නැහැ. මේ ගමන නම් කොහොම හරි ඉර සේවය බලන්න ඕන කියන එක අපි හැමෝගෙම හිතේ තිබුණා. ඉතිං අපි මලුවෙන් බහින්නේ නැතිව එහාට මෙහාට වෙවී කොහොම හරි උදේ වෙනකල්ම හිටියා.

උදේ 5.30 වෙනකොට කට්ටිය ඉර සේවය බලන්න ලෑස්ති වෙලා. කොහොම හරි උදේ 6 විතර වෙනකොට හිරු දෙවියෝ සිරි පතුළ නමදින්න හෙමින් මතුවෙන්න පටන් ගත්තා. ඒක හරිම චමත්කාරජනක දර්ශනයක්. හුඟක් දෙනෙක් සාදුකාර දුන්නා. ඒක අවිද්‍යාත්මක දෙයක් වෙන්න පුලුවන්. ඒත් හිනාවෙන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒක් තමයි බෞද්ධයාගේ ශ්‍රද්ධාව. ඒක තමයි සිංහල බෞද්ධ සංස්කෘතිය.


ඉර සේවය

ඉර සේවය

ඉර සේවය

ඉර සේවය

ඉර සේවයෙන් පස්සේ බටහිර අහස් කුස පුරා වැටෙන සමනල කන්දේ සෙවනැල්ලත් අපූරු සිදුවීමක්. මේ වගේ සිදුවීම් ලෝකයේ ඇත්තේ එක්කෝ අතලොස්සයි. එක්කෝ ඇත්තෙම නැහැ.


බටහිර අහසේ දිස්වන සමනල කන්දේ සෙවනැල්ල


මේ ගමන සිරිපා කරුණාව හැම අතින්ම පරිපූර්ණ වුණා. සමන් දෙවිහාමුදුරුවන්ට පින්දීලා අපි බහින්න පටන් ගත්තා.

ආපහු එන ගමනේ විස්තර කියන්න ඕන නැහැනේ. කොහොම වුණත් මේ පහළ පින්තූරවල තියෙන්නේ අපට නගින කොටයි ආපහු එනකොටයි මුණගැසුණු අයයි.










මේ සත්තුන්ට අමතරව ‘අං කටුස්සා‘ එරත්න පාරෙදි දකින්න ලැබෙන අපේ රටට ආවේණික සතෙක්. ඒත් අපේ අවාසනාවට මෙයාව දකින්න ලැබුණේ නැහැ. ඒත් මේ බ්ලොග් එක කියවන්න එන අය වෙනුවෙන් මම වෙන බ්ලොග් එකක තිබුණු අං කටුස්සකුගේ පින්තූරයක් පහළින් දානවා. 


අං කටුස්සා - මේ පින්තූරය උපුටා ගත්තේ http://www.elakiri.com/forum/showpost.php?p=11374192&postcount=1 කියන වෙබ් අඩවියෙන්. මෙය උපුටා ගන්නා ගමන් ඔවුනට මම ස්තූතිය පුද කරනවා. 


මගේ නම් සුපුරුදු විදියට මේ වතාවෙත් දනිස්සත්, වලලු කරත් අසනීප වුණා. ඉතිං ගමන් වේගය හුඟක් අඩාළ වුණා. සීත ගඟුළෙන් නාන්න හිතුවත් ගමන පමා වෙයි කියලා ඒ අදහස අතහැරියා.

අපට කෑම නැති වෙයි කියලා හිතුන නිසා ගිහාන්ට කතා කරලා අපටත් එක්ක කෑම අරන් තියන්න කියලා කිව්වා. එහෙම නොවුණා නම් අපට රෑට කෑම නැති වෙනවා.


කොහොමහරි අපි රෑ 7.30 වෙනකොට අපි ආපහු අඩවිකන්දට ආවා. බුදුසරණින් සමන් දෙවිහාමුදුරුවන්ගේ පිහිටෙන් අපේ කාටවත් කිසිම අතුරු ආන්තරාවක් වුණේ නැහැ. ඒක තමයි සමන් දෙවියන්ගේ අඩවියේ හැටි. 




Wednesday, May 7, 2014

කෝපි බීමෙන් දියවැඩියාව පාලනය වෙයිද? - Does drinking of coffee lead to control the diabetes?



පානයක් ලෙස කෝපිවලට ප්‍රිය කරන්නෝ ලොව බහුල වෙති. සීතල නැති කරගැනීමේ සිට උදරාබාධ තුරන්කරගැනීම සඳහා ද, උදෑසන පානයක් ලෙස ද කෝපි පානය කෙරේ. මෙසේ කෝපි පානයට ඇලුම් කරන්නන්නට මෙන්ම අන් අයට ද දැන් පවසන්නට සැරසෙන පුවත සතුටුදායක එකක් වනු නිසැකය. ඒ, කෝපි පානය කිරීම නිසා දියවැඩියාව වැළඳීමේ හැකියාව සෑහෙන මට්ටමකින් අඩුකරගතහැකි බවය. තවත් සවිස්තරාත්මකව පැවසුවහොත් ඉතාමත් මෑතකදී කරන ලද පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ දිනකට කෝපි කෝප්ප එකහමාරක් (1 1/2) පානය කිරීමෙන් දියවැඩියාව (type 2 diabetes) වැළඳීමේ හැකියාව 11%කින් අඩුකරගත හැකි බවයි.
 වෛද්‍ය ශිල්පා භූපතිරාජු

හාවර්ඩ් සරසවියට අනුබද්ධ මහජන සෞඛ්‍ය පාසලේ පෝෂණවේදය පිළිබඳ අංශයේ වෛද්‍ය ෆ්‍රූන්ක් හු සහ වෛද්‍ය ශිල්පා භූපතිරාජු යන දෙදෙනා විසින් ඉතා මෑතකදී මෙම පර්යේෂණය අවසන් කළහ. එහි සවිස්තර වාර්තාව පසුගිය අප්‍රේල් 24 වැනිදා එහි වාර්තාව දියවැඩියා අධ්‍යයනය පිළිබඳ යුරෝපියානු සංගමයේ සඟරාව වන Diabetologia හි පළව තිබිණි.

ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගනිමින් කරන ලද අධ්‍යයනයන් තුනක් ඔවුන් මේ සඳහා ඇසුරුකොට ගෙන ඇති අතර අවුරුදු 25 - 75 අතර පුද්ගලයන් මෙම අධ්‍යයනය සඳහා සහභාගී කරවාගෙන තිබිණි.
සෑම වසර දෙකකට වරක්ම අවුරුදු 20 කාලයක් දක්වා මෙම පුද්ගලයන්ගේ ආහාර ගැනීමේ රටා, වෛද්‍ය තත්වයන්, වෙනත් නිදන්ගත රෝග ද මෙහිදී සැළකිල්ලට ගනු ලැබිණි.

වෛද්‍ය ෆ්‍රූන්ක් හු

මෙයට සහභාගී කරවාගත අය අතුරෙන් දිනකට කෝපි පානය කිරීම කෝප්ප 1 - 2 දක්වා අඩු කළ පුද්ගලයන්ට දියවැඩියාව වැළඳීමේ අවදානම 17%ක් දක්වා වර්ධණය විය.

දිනකට වැඩිම කෝපි කොප්ප ගණනක් පානය කරන්නන් දිවැඩියාවට ගොදුරුවීමේ අවදානම ඉතා අවම මට්ටමක් පැවතුණි. එය දිනකට කෝපි කෝප්ප එකක් පානය කරන්නන්ට වඩා තුන් ගුණයක අඩුවීමකි.
මෙම අධ්‍යයනය කරනු ලැබූ වෛද්‍ය දෙපළගෙන් එක් අයකුවන වෛද්‍ය හු පවසන්නේ අලුතින් කෝපි පානය කිරීමේ පුරුද්ද ඇති කරගත් පුද්ගලයන්ගෙන් ද දියවැඩියාව ගොදුරුවීමට ඇති අවදානම පහතවැටීමේ හැකියාව ඉතා කෙටි කලකින්ම පෙන්නුම් කළ බවය.

කැෆේන් රහිත කෝපිවලින් ද මෙම ප්‍රතිපලයම ලැබී තිබේ. එබැවින් දියවැඩියා අවදානම පහත හෙලන්නට දායක වන්නේ කැෆේන් නොවන බව පෙනෙන්නට තිබේ.

යුරෝපයේ මේ පිළිබඳව කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ සෞඛ්‍යය සම්බන්ධ ආහාර හා ජීවන ශෛලීන් වෙනස් කරමින් මධ්‍යස්ථ තරමින් කෝපි පානය කළ පුද්ගලයන්ට දියවැඩියාව වැළඳීමේ අවදානම 30% කින් පමණ අඩු වී ඇති බවය.

එක්සත් රාජධානියේ පර්යේෂණ සන්නිවේදන නිලධරයකු වන වෛද්‍ය රිච්ඩ් ඉලියට් පවසන්නේ කෝපි පානය කිරීම නිසා දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු වුව ද, කෝපි පානය තව තවත් වැඩිකිරීම නිසා දියවැඩියාව වැළඳීමේ අවදානම කෙමෙන් පහළට ගතහැකි බව මෙයින් අදහස්වන්නේ නැති බවය.

දිනකට ඉතා වැඩි ප්‍රමාණයක් කෝපි පානය කරන්නන් හට ද දියවැඩියාව වැළඳීමේ අවදානම නැතිවාම නොවේ. එබැවින් දියවැඩියා රෝගීන් කිසි විටෙක කෝපි පානය කිරීම පිළිබඳ පමණක් රඳා නොපැවතිය යුතු බව ඔහු අවධාරණය කරයි.

මෙම අධ්‍යනයේදී හඳුනානොගත් වෙනත් සාධක ද මේ සඳහා බලපාන්නට ඇති අතර ඇතැම් අවස්ථාවලදී දියවැඩියාව වැළඳුණු පුද්ගලයන්ට කෝපි පානය නොකරන්නැයි ද වෛද්‍ය උපදෙස් ද ලබා දේ.

ඔහු තව දුරටත් පවසන්නේ එබැවින් කෝපි පිළිබඳ පමණක් විශ්වාසය නොතබා, සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර ගැනීම ව්‍යයාම කිරීම, සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වාගෙන යාම ආදිය මෙහිදී අමතක නොකළ යුතු බවය. 

ඉන්දිරා ගාන්ධිගේ යොවුන් පෙනුම රැගෙන ඉන්දීය ඡන්ද සටනට පිවිසි - ප්‍රියංකා ගාන්ධි - Priyanka Gandhi and Indian Election




මේ දිනවල ගෙවී යන්නේ ඉන්දීය මහ මැතිවරණයේ උණුසුම්ම අවසන් සති කිහිපයයි. ලෝකයේ ඡන්දය හිමි වැඩිම ජනගහනයක් හෙවත් මිලියන 814.5 ඇති ඉන්දියාවේ මෙතෙක් ඉහළතම වියදමක් එනම් ඇමරිකන් ඩොලර් මිලියන 577 ක මුදලක් දරන්නේ ද මෙම මහ මැතිවරණය උදෙසාය. මේ සඳහා පාලක ජාතික කොන්ග්‍රස් පක්ෂය, භාරතීය ජනතා පක්ෂය හා ආම් ආද්මි යන පක්ෂ තුන ප්‍රධාන වශයෙන් ඉදිරිපත් වේ. නමුත් තරගයක් පවතින්නේ රාහුල් ගාන්ධිගේ නායකත්වය යටතේ ඇති පාලක කොන්ග්‍රස් පක්ෂය හා නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය අතරය. මෑතක පැවැත්වූ විවිධ මැතිවරණවලදී ද පාලක ජාතික කොන්ග්‍රස් පක්ෂය ජයග්‍රහණය කළ ද මෙවර එම තත්වයේ පැහැදිලි වෙනසක් දක්නට ලැබේ. එන්ම භාරතීය ජනතා පක්ෂයට යම් යම් ප්‍රාන්තවලින් පෙර නොවූ විරූ ආකාරයේ ජනතා පිළිගැනීමක් ලැබෙමින් තිබීමය.  රාහුල් ගාන්ධිට සිය මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ඉහළ ආකර්ෂණයක්  ලබාගැනීමට නොහැකි වීම ද මෙයට එක්හේතුවක් බව පැවසෙයි. එබැවින් ජාතික කොන්ග්‍රස් පක්ෂ මැතිවරණ වේදිකාවට තවත් සුවිශේෂ චරිතයක් අවතීර්ණ වී තිබේ. ඒ රාහුල්ගේ  සොයුරිය වන ප්‍රියංකා ගාන්ධිය. මෙතෙක් දේශපාලනය හමුවේ නිහඬ චරිතයක් වූ ඇය මෙවර  මැතිවරණ සටනේ ප්‍රචාරක ව්‍යාපාරයට එක්වන්නට තීරණය කොට ඇත. ඇයගේ අරමුණ සැබැවින්ම  සිය සොහොයුරු රාහුල් ගාන්ධි දිනවීමද නැතහොත් අන් කිසිවක් ද යන්න දේශපාලන විචාරකයන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවටද ගැටලුවක් වී ඇත. 

ප්‍රියංකා සිය සැමියා සමග

1972 ජනවාරි 12 වැනිදා උපන් ප්‍රියංකා ගාන්ධි යනු ඉන්දීය දේශපාලනයේ ප්‍රබලතම පරපුරට අයත් කාන්තාවකි. 1997 පෙබරවාරි 18 වැනිදා කෝටිපති ව්‍යාපාරිකයකු වූ රොබර්ට් වද්‍රා සමග විවාහ දිවියට පත් ඇයට දරුවන් දෙදෙනෙක් සිටිති. ඇගේ පරපුරේ ඥාතීන් සියලු දෙනාම හින්දු ආගමිකයන් වුව ද ඇය අනුගමනය කරනුයේ බෞද්ධ දර්ශනය බව ප්‍රකට කරුණකි. ඇය ඒ පිළිබඳව මාධ්‍ය හමුවේද නොයෙක්වර පවසා ඇත. 

විවාහයෙන් පසුව ‛ප්‍රියංකා ගාන්ධි වද්‍රා’ යනුවෙන් හැඳින්වීමට ලක් වූ ඇය ක්‍රියාකාරී දේශපාලනයේ නොසිටිය ද තිරයෙන් පසුපස සිට බොහෝ දායකත්වයන් ලබාදුන් බව කවුරුත් දන්නා කරුණකි. නමුත් මෙවර ඇය ජනතාව අතරට යමින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිස තිබේ. රාහුල් වෙත තිබූ ජනතා ආකර්ෂණය තමා වෙත ළඟාකරගැනීමට  ඇය සමත්ව ඇති බැව් ද දේශපාලන විචාරක මතවලදී නිතර කියැවෙයි. ඇයට තිබූ බටහිර පෙනුම වෙනුවට දැන් ඇගෙන් දිස්වන්නේ ඇගේ මිත්තණිය වූ හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේ පෙනුමයි. සිය මව වන සෝනියා ගාන්ධි සතු බටහිර පෙනුම වෙනුවට ඉන්දිරා ගාන්ධිගේ තරුණ විය සිහිපත් කරවන පෙනුමක් අදවන විට ඇය සතුවීම විශේෂ කරුණකි. බැවින් ඇය යම් සැළසුමකට අනුව මෙවර මැතිවරණ කටයුතුවල යෙදෙන බැව් පෙනෙන්ට තිබේ. 


ප්‍රියංකා මෙයට පෙර සෑම අවස්ථාවකම සිය මව වූ සෝනියා ගාන්ධිට හා සොයුරු රාහුල් ගාන්ධිට සහයෝගය ලබාදුන්නේ ඔවුන්ගේ දේශපාලන ගමන ඉදිරියට ගෙනයාමේ චේතනාවෙන් වුව ද මෙවර ඇයගේ ක්‍රියාකලාපයේ අරමුණ එයට වඩා වෙනස් බැව් පෙනෙන්නට තිබේ. භාරතීය ජනතා පක්ෂය සිය මැතිවරණ ව්‍යාපාරයේ දී ප්‍රියාංකාගේ සැමියා වන රොබට් වද්‍රා නිතර විවේචනය කරන්නට පටන් ගෙන තිබේ. ඔහු හොර ජාවාරම්කරුවකු බවත්, ගාන්ධි පවුලේ සම්බන්ධතා ඉදිරියට දමමින් නොයෙක් ආකාරයේ වංචා දූෂණවල යෙදෙන සමාජ විරෝධියෙකු  බවත් ඔවුහු ප්‍රසිද්ධියේ චෝදනා කරති. තම පක්ෂය බලයට පත්වුවහොත් ඔහු අත්අඩංගුවට ගෙන නිසි දඬුවම් ලබාදෙන්නට කටයුතු සිදුකරන බව ද ඔවුන්ගේ දේශපාලන වේදිකාවේ නිතර ඇසේ. මෙම හේතූන් නිසා ප්‍රියංකා ගාන්ධි මෙවර ක්‍රියාකාරී දේශපාලනයට පිවිස ඇත්තේ පාලක කොන්ග්‍රස් පක්ෂය ජයග්‍රහණය තහවුරුකොට සිය සැමියා ආරක්ෂා කරගන්නට යැයි දේශපාලන විචාරකයෝ පවසති. 


ප්‍රියංකා ජනතාව අතරට යමින් ක්‍රියාකාරී දේශපාලනය ආරම්භ කිරීමත් සමඟ බොහෝ දෙනෙක් ඇය සහභාගී වන රැස්වීම් සඳහා පැමිණෙන්නේ ඇගේ දේශපාලන කතා ඇසීමට වඩා ඇය දැක බලාගැනීමටය. එබැවින් නිතර සියලු දෙනාටම හොඳින් දැකබලාගත හැකි අයුරින් සිටීමට ඇයට සිදුව තිබේ. රාහුල්ගේ කීර්තිය ඇය විසින් ඩැහැගෙන ඇති බැව් පැවසෙන්නේ එබැවිනි. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ඇය සිය සෑම කතාවකින්ම භාරතීය ජනතා පක්ෂයට, විශේෂයෙන් එහි නායක මෝඩි ට දරුණු වාග් ප්‍රහාර එල්ල කරන්නට පටන්ගෙන තිබේ. 

මෑතකදී ‛ඉන්ඩියා ටුඩේ’ වෙබ් අඩවියේ පළ වී තිබුණේ අපූරු වීඩියෝවකි. කෙළිලොල් ඇඳුමකින් සැරසුණු රොබර්ට් වද්‍රා මිල අධික යතුරු පැදියකින් ගමන් කරයි. පසුබිමින් කියැවෙන්නේ ඔහු දුප්පත් ගොවි ජනතාවට අයත් ඉඩම් වංචාවෙන් අත්පත් කොටගෙන ඇති බවය. භාරතීය ජනතා පක්ෂයෙන් එල්ලකරන මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන ප්‍රියංකා පවසන්නේ ඔවුන් මරණ බියන් තැතිගත් මීයන් සේ දඟළමින් සිටින බවය. 


භාරතීය ජනතා පක්ෂය සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේ රොබර්ට් වද්‍රා පසුපස මෙතරම් තදින් පැන්නුවේ නැත. ප්‍රියංකා ද නිතර ඔවුනට පෙරළා පහරදීමේ ප්‍රතිපලයක් ලෙස මෙම සටන දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් තිබේ. මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධානතම මාතෘකාව වී ඇත්තේ රොබ්ට් වද්‍රා ය. ප්‍රියංකා සිය සැමියාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්නට හැකි සෑම උත්සාහයක්ම ගත්ත ද මෙම ක්‍රියාකලාපය ඇගේ කලකිරීමට හේතු වී තිබේ. 

කෙසේ නමුත් භාරතීය ජනතා පක්ෂය සිය ග්‍රහණය ලිහිල්කොට නැත. ඔවුන් වද්‍රාව හඳුන්වනු ලබන්නේ ‛වේගයෙන් ධනවත් වීම’ සඳහා ආදර්ශයට ගත යුතු පුද්ගලයකු ලෙසය. ඔවුන් පවසන්නේ වසර ගණනාවක් තිස්සේ පිරිසිදුව තිබූ දේශපාලන පරපුරක් වද්‍රා නිසා කිළිටි වී ඇති බවය. ඔවුන් රොබට් වද්‍රාව හඳුන්වන්නේ ‛ගාන්ධි පවුගේ වසලයා’ ලෙසිනි. සෝනියා ගාන්ධිට හා රාහුල් ගාන්ධිට ඔවුන් පවසන්නේ සිය පරම්පරාව පිරිසුදු කරගන්නා ලෙසය. භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන අරුන් ජෙට්ලි පවසන්නේ රොබට් වද්‍රාගේ ක්‍රියාවන් සේම ප්‍රියංකා ගාන්ධි වද්‍රාගේ වාග් ශෛලිය ද ඇත්තේ ඉතා පහත් මට්ටමක බවයි. ඇය අනෙකුත් දේශපාලන පක්ෂ විවේචනය කරන ‛තුට්ටු දෙකේ ශෛලිය’ගාන්ධි පවුලට  කිසිසේත්ම නොගැළපෙන බවත්, එය මහත්මා දේශපාලනය පහත හෙළන්නක් බවද ඔහු පවසයි. 

මැදහත් දේශපාලන විචාරකයන් පවසන්නේ ප්‍රබල දේශපාලන ගමනක් යා හැකි ප්‍රියංකා ගාන්ධි වද්‍රා යම් හෙයකින් සිය සටන පරාජය වුවහොත් එය ඇගේ අනාගතයට බෙහෙවින් බලපාන ඇති බවය. එවිට රොබට් වද්‍රා ගාන්ධි පවුලේ විනාශයට හේතුවන පුද්ගලයා ලෙස නිසැක ලෙසම තහවුරු වන බවත්ය. එමෙන්ම භාරතීය ජනතා පක්ෂයට සිය විරුද්ධ මත දරන්නන්ට එරෙහිව පවසන්නට කිසිත් නොමැති හෙයින් මෙම සිදුවීම පමණක් ඉස්මතු කරමින් කතා කරන බවද මැදහත් දේශපාලන විචාරකයෝ පවසති. 

කෙසේ නමුත් සිය සැමියාගේ නිර්දෝෂී බව තහවුරුකරමින් මෙම මැතිවරණ සටන ජයග්‍රහණය දක්වා ගෙන යන්නට ඉන්දිරා ගාන්ධිගේ බාහිර පෙනුම ඇතිව දේශපාලන කරළියට පිවිසි ප්‍රියංකා ගාන්ධි වද්‍රා හට හැකියාවක් තිබේද? මෙම මැයි 16 වැනිදා එය මුළු ලොවටම දැනගත හැකිවනු ඇත. 



සම්බන්ධිත ලිපි
ඉන්දීය මැතිවරණය ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද?