පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, May 11, 2014

එරත්න පාරෙන් අඩවිකන්ද හරහා සිරිපා මලුවට - Pilgrimage to Mt. Samanala via Erathna Adawikanda



සමනල කන්ද එක් වරක්වත් නැගපු නැති කෙනෙත් මෝඩයිලු. එක වතාවක වඩා නැග්ගත් මෝඩයිලු. මේ කියන කතාවට අනුව මමත් මෝඩයෙක්. මොකද මම මේ ගමන සිරිපා කරුණාවත් එක්ක මේ වෙන කොට පස් වතාවක් මේ වන්දනා ගමන ගිහින් තියෙනවා. අතුරු ආන්තරාවක් නොවුනොත් තව පුලුවන් කාලයක් අවුරුද්දක් ගානේම කරුණා කරනවා. ඒක මෝඩ කමක් නම් මම මෝඩයෙක් වෙන්නේ කැමැත්තෙන්මයි. මොකද සිරිපා කරුණාව කියන්නේ මමත් අපි හැමෝමත් පුදුම සැදැහැවකින් යන ගමනක් නිසයි.

මේ අවුරුද්දේ අපි සිරිපා කරුණා කරමු කියලා කතා කරගත්තේ අවුරුද්ද පටන්ගන්න කොටමයි. මොකද ඒ වෙනකොට සෙනගත් අඩුයි. කාලගුණයත් හොඳයි. ඒත් නොයෙක් හේතු නිසා අපට ඒ ගමන අප්‍රේල් වෙනකල් කල් දමන්න වුණා. අන්තිමට අප්‍රේල් 19 වැනිදා අපි සිරිපා කරුණා කරන්න කතිකා කරගත්තා. එදාම තමයි අපේ චූටි පුතාගේ උපන් දිනය තිබුණෙත්. අපේ ගෙදර කට්ටියට හොරෙන් අපේ වන්දනා නඩේ ජනිතුයි දිනේෂුයි නදීෂානුයි උපන් දින කේක් එකක් අරන් බැලුම් එහෙම පුම්බලා පොඩි උත්සවයකුත් ලෑස්ති කරලා තිබුණා. ඒක පරකඩුව හරියේ පොඩි හෝටලයක් ළඟ නතරවෙලා සැමරුවා. ඒකත් අමතක නොවෙන සිද්ධියක්.

අපි මේ ගමන සිරිපා කරුණා කරන්න යොදාගත්තේ කුරුවිට එරත්න පාර. ගූගල් සිතියමේ හැටියට නම් අඩවිකන්දට කොළඹ ඉඳන් කිලෝමීටර් 87.6ක් තියෙනවා. කොළඹ ඉඳන් රත්නපුර පාරේ ඇවිත් කුරුවිටින් එරත්න පාරට හරවන්න ඕන. එරත්න පාරේ කිලෝමීටර් 14 ක් විතර පහුකරලා අඩවිකන්දට යන්න පුලුවන්. මේ යන ගමන් අපි බටතොට ලෙනබලන්නත් ගියා. බටතොට ලෙන කියන්නේ දිවා ගුහාවකියලා විශ්වාස කරපු එක තැනක්. හැටන් පාරේ තියෙන දිවා ගුහාව හොයාගන්න කල් මෙතැන තමයි ඒ ගෞරවය ලබාගත්තේ. මෙතැනත් සෑහෙන ඉතිහාසයක් තියෙන තැනක්. මොකද මහනුවර යුගයේ බිතුසිතුවම් මෙතැන පේන්න තියෙන නිසා. මේ පාරේ යන්න හිතාගෙන ඉන්න අයට දැනගන්නත් එක්ක කියන්නේ. අපේ රටෙන් හමුවුණු බලංගොඩ මානවයා ජීවත් වුණු බටදොඹ ලෙනතියෙන්නෙත් මේ යන පාරේම තමයි. හැබැයි අපි ඒකට ගියේ නැහැ. ගිය දවසක ඒ ගැන කතා කරමු.




අපි අඩවිකන්දට යනකොට දවල් 12 ට විතර ඇති. අඩවිකන්දේ වාහන නවත්වන්න පොඩි තැනක් තියෙනවා. අපි යනකොට සිරිපා කරුණා කරන්න තවත් වාහන දෙකක් ඇවිත් තිබුණා. මෙතැනින් ගඟක් ගළනවා. සමහරු මෙතැනින් නාගෙන එහෙම තමයි සිරිපා කරුණා කරන්න පටන් ගන්නේ. අපිට ඕන වුණේ සීත ගඟුළෙන්ම නාන්න. ඒකට අපිට කන්දේ නගින්න වෙනවා.


අඩවිකන්දේ වාහන නැවතුම්පළ


අපි දවල්ට කෑම අරගෙනම සිරිපා කරුණා කරන්න හිතුවා. ඊට කලින් ජනිතුයි මමයි අපි ආපු වෑන් එකේ මාතලී, ඒ කියන්නේ  ගිහාන් ට කෑම ගන්න තැනක් හොයන්න ගියා. මොකද අපි හදාගෙන ආපු කෑම රෑට තියාගන්න බැහැ. සිංහල අවුරුද්දෙන් පස්සේ සිරිපා කරුණා කරන කට්ටිය අඩු හින්දා මේ හරියේ කඩ හැම එකක්ම වහලා. අපි කෑම ගන්න තැනක් හොයා ගත්තා. හැබැයි අපි ගියාට පස්සේ ගිහාන් වෙන තැනක් හොයාගෙන තිබුණා. ඒක අපේ වාසියට හිටියා.

දවල්ට කාලා එහෙම එතැන තිබුණු බුදු මැඳුරට මල් පූජා කරලා බුදු සරණින් සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් අපට සිරිපා කරුණා කරලා බුදු සිරිපතුල් නැමදළා ආපහු එන්න ආරක්ෂාව ලබාදෙන්න කියලා ඉල්ලුවා.


අඩවිකන්දේ තියෙන බුදුමැදුර

සිරිපා කරුණා කරන්න ප්‍රධාන පාරවල් තුනක් තියෙනවා. ඒ හැටන්, පලාබද්දල සහ එරත්න. වැඩි දෙනෙක් යන්නේ හැටන් පාරෙන්. ඒක තමයි කෙටිම වගේම පහසුම පාර. කිලෝමීටර් 5යි. අපි ගිය වතාවේ ගියේ රත්නපුර පලාබද්දල පාරෙන්. ඒ පාර කිලෝමීටර් 8.5ක් විතර තියෙනවා. නිශ්ශංක මල්ල රජතුමා සිරිපා කරුණා කළේ මේ මාර්ගයේ නිසා මේකට රජ මාවතකියලත් කියනවා.  මීට අමතරව දැරණියගලින් එන්න පාරකුත් තියෙනවා. ඒක ගොඩක් දුෂ්කර මාර්ගයක්. ඒ මාර්ගය ඇවිත් වැටෙන්නේ අපි මේ වතාවේ සිරිපා කරුණා කරන්න ගිය මාර්ගයටයි. ඒ කියන්නේ එරත්න මාර්ගයට. එරත්න මාර්ගය කිලෝමීටර් 12ක් දුරයි. පාර දුෂ්කරයි. කැලෑව මැදින් තමයි වැඩිහරියක් යන්න තියෙන්නේ. පඩිපෙළවල් අඩුයි. ගල්වලින් පිරුණු පාරවල් තමයි තියෙන්නේ.


මෙන්න මේ වගේ පාරවල් තමයි තියෙන්නේ

මෙන්න මේ වගේ පාරවල් තමයි තියෙන්නේ

කවුරු හරි එරත්න පාරෙන් යනවා නම් සිරිපා වාරය ආරම්භ කරපු කාලේම යනවා නම් හොඳයි. අපි ගිය කාලේ පහසුකම් හොඳටම අඩුයි. අතරමග කඩ හොඳටම අඩුයි. අනෙක පාරේ දාපු විදුලි බල්බ සමහර ඒවා පිච්චිලා. විදුලි පන්දම් නම් දෙක තුනක්වත් අරන් යන්නම වෙනවා. මොකද සමහර තැන්වල විදුලි ආලෝකයක් ඇත්තෙම නැහැ. පොඩි අඩි පාරවල් දිගේ ගල් උඩින් නැගගෙන පරිස්සමට යන්න නම් විදුලි පන්දම් තියෙන්නම ඕන. ඒත් අපට තිබුණේ විදුලි පන්දම් දෙකක් විතරයි.

අපි දවල් 2ට විතර වගේ තමයි යන්න පිටත් වුණේ. අඩවිකන්දේ තියෙන පුංචි විදුලි බලාගාරේ ටර්බයින්වලට ජලය අරගෙන යන යෝධ නල දෙකට යටින් තමයි ගමන පටන් ගන්නේ. එතැන පහු කරලා ටික වෙලාවෙකින් අඩවිකන්ද පොලිස් මුරපොළ හමුවෙනවා. අරක්කු එහෙම අරන් යන ‘බැතිමතුන්ට‘ එහෙම අරන් යන බෝතල් මෙතන තියලා යන්න තමයි වෙන්නේ. අපි යනකොට සෙනග නැති වුණත් අප හැමෝගෙම බෑග් හොදට පරීක්ෂා කරලා තමයි යන්න දුන්නේ. 

පොලිස් මුරපොළෙන් පස්සේ පොඩි තේවත්තක් හමුවෙනවා. මේ තේවත්ත මැදින් වැටුණු පාර හරි ප්‍රසිද්ධයි. මොකද පොඩි කාලෙත් අපේ වැඩිහිටි අය මේ තේවත්ත ගැන නිතර කියනවා. මෙතැන පහු කළාට පස්සේ වන්දනා නඩයක් හමුවුණොත් මිසක් මිනිස් පුලුටක්වත් නැහැ.

මේ පාරේ යන්කොට හමුවුන මුල්ම අම්බලම තමයි ජම්බෝල ගහ යට අම්බලම’.  අපි 3.15 විතර එතැනට ගියා. කිසිම කෙනෙක් එතැන නැහැ. හැබැයි සරුවට කඩපිලක් තිබුණු බවට සළකුණු නම් තිබුණා. ඒ සිංහල අවුරුද්දට කලින් වෙන්න ඕන.


විදුලි බලාගාරයට ජලය අරගෙන යන නල පද්ධතිය


ජම්බෝල ගහ යට අම්බලමට පස්සේ හමුවන ප්‍රධානම තැන තමයි ඩයිමන්ගලනැවතුම් පොළ. එතකොට වෙලාව 3.50ට විතර ඇති. එතැනත් කවුරුවත් නැහැ.


ජම්බෝල ගහ යට අම්බලම


ඩයිමන්ගල නැවතුම් පොළ


අපට ඊළඟට හමුවුණු තැන තමයි වරණගල’. අපි 3.35ට විතර එතැනට ගියා. අඩවිකන්දේ තියෙන ජලවිදුලි බලාගාරෙට ජලය අරගෙන යන ජලාශය තියෙන්නේ මෙතැනට ටිකක් උඩින්. වරණගල ගල් තලාවේ ජලය බැහැලා යන තැනට උඩින් පොඩි පාලමක් තියෙනවා. ජලාශයේ මොනවා හෝ දෝෂයක් හට ගත්තොත් මෙතැනින් ජලය පිටාර ගලාගෙන යන්නයි හදලා තියෙන්නේ. එහෙම වුණොත් ඒ ජලය පාලමටත් උඩින් ගලන බව තමයි මෙතැන දැන්වීම් පුවරුවෙන් කියැවෙන්නේ. ඒ නිසා මෙතැන නතරවෙලා අවට සිරි නරඹන්න තරම් පරෙස්සම් තැනක් නොවෙයි.


වරණගල

වරණගල ගල් තලාව

අනතුරු හගවන දැන්වීම් පුවරු

අනතුරු හගවන දැන්වීම් පුවරු


වරණගල ජලාශය ළඟම තමයි වරණගල ආපනශාලාව තියෙන්නේ. ඒක තමයි අපිට හමුවුණු මුල්ම කඩේ. අපි එතැනට යනකොට 4.20ට විතර ඇති. බෙලිමල් ටිකක් බොන්න කියල හිතුවත් බොන්න වුණේ ප්ලේන් ටී. මේ කඩේ ඉඳන් මීටර් 50ක් පහළට බැස්සහම වරණගල ඇල්ලබලන්න පුලුවන්. මේ ඇල්ලෙන් වැටිලා දැනට අවුරුදු කීපයකට කලින් දෙන්නෙක් මැරිලා තියෙනවා. අපි ඇල්ල බලන්න ගියේ නැහැ. අපේ ඉලක්කය වුණේ අඩුම තරමේ 6 වෙනකොටවත් සීත ගඟුළට යන්නයි.
වරණගල පහුකරලා ටිකකින් අපට වැඳළා බහින නඩයක් හමුවුණා. ඒ තමයි අපට එරත්න පාරයි පලාබද්දල පාරයි එකට එකතුවෙනකල් මුණ ගැහුණු එකම නඩය.


වරණගල ආපන ශාලාව



අපට 5 ට විතර බෙලිමල් විකුණන කඩයක් හම්බ වුණා. ඊට ටිකකට පස්සේ තද මීදුමක් ආවා. පාර පේන එකක් නැතිවෙයි කියලා බයක් හිතුණත් සමන් දෙවි හැමුදුරුවන්ගේ පිහිටෙන් ටික වෙලාවක් යනකොට මීදුම නැති වුණා.


මුළින්ම බෙලිමල් බිව්වේ මෙතැනදි.  ආපහු එනකාට වැස්ස පායන කල් මෙතැනට වෙලා ටිකක් නිදා ගත්තා


සෑහෙන මීදුමක් එන්න පටන් ගත්තා

මීදුම

හිතුව විදියටම අපට හවස 6 වෙනකොට සීත ගඟුළට එන්න පුලුවන් වුණා. සිරිපා කරුණා කරන්න තියෙන ප්‍රධාන මාර්ග තුනෙන්ම හමුවෙන හොඳම සීත ගඟුල තමයි මේ. ඒ කියන්නේ වතුරේ බැහැලා නාන්න පුලුවන් එකම තැන මෙතැන. හැටන් පාරේ පටන් ගන්න කොටම තියෙන ගඟ ඇරුණාම මගදි හමුවෙන්නේ වතුර පීල්ලක් විතරයි. පලාබද්දල පාරෙත් තියෙන්නේ පීල්ලක්. ඒ ඉඳිකටුපානේ.


සීත ගඟුල

සීත ගඟුල


සීත ගඟුල


දුවයි පුතයි හැරුණාම අපි හැමෝම සීත ගඟුළෙන් නාගත්තා. අයිස් වගේ වතුර වුණත් පුදුම සැනසිල්ලක් දැනුණා. ඊට පස්සේ සීත ගඟුළ අම්බලම ළඟ ආපන ශාලාවෙන් රොටී කාලා ප්ලේන්ටී බිව්වා. නාන්න ඇඳපු රෙදි සීත ගඟුළ ආපන ශාලාවෙන් තිබ්බා. ආපහු එන ගමන් ගන්න පුලුවන්නේ.



සීත ගඟුල ආපන ශාලාවට පසුපසින් අම්බලම තියෙනවා
සීත ගඟුල ආපන ශාලාවෙන් රොටී කාලා ප්ලේන් ටී බිව්වා


සීත ගඟුලෙන් ඉදිරියට


සීත ගඟුළෙන් එගොඩ වෙලා සමන්දෙවි හාමුදුරුවන්ට භාර වෙලා අපි අයෙත් කරුණා කරන්න පටන්ගන්න කොට රෑ 7.15 විතර ඇති. දැන් කරුවල වැටිලා. පාරේ ලයිට් දාලා. ඒත් සමහර කණුවල බල්බ් පිච්චිලා. විදුලි පන්දම් නොතිබුණා නම් අපේ ගමන තවත් දුෂ්කර වෙන්න තිබුණා.
වැඩි දුරක් යන්න කලින් අපට හැඳල ශ්‍රී පාද වන්දනෝපාකාර සමිතියේ දාන ශාලාවමුණ ගැහුණා. හැබැයි එතන කවුරුවත් නැහැ. සෙනග ඉන්න කාලෙට මෙතන දාන මාන දෙනවා ඇති කියලා හිතුණා.


හැඳල ශ්‍රී පාද වන්දනෝපාකාර සමිතියේ දාන ශාලාව


අපට මෙහෙම යනකොට මුහුණ පාන්න වුණු ලොකුම කරදරේ වුණේ විදුලි බලය ඇණ හිටපු එක. පැයකටත් වැඩිය අපට යන්න වුණේ විදුලි පන්දම්වල පිහිටෙන්. ඊට පස්සේ අපේ වතුර ඉවර වුණා. මොකද එක බෝතලයයි අරන් ගියේ. ඒත් 9.30ට විතර අපට ගලාගෙන යන වතුර පාරක් හම්බ වුණා. හැමෝම ඒකෙන් වතුර බීලා බෝතලයට වතුර පුරව ගත්තා.


රෑ 9.50 විතර අපට ඉඳිකටු පානට එන්න පුලුවන් වුණා. ඉඳිකටු පාන අම්බලම තියෙන්නෙත් එතැනමයි. හැබැයි ඒකේ තියෙන්නේ ගරාවැටුණු පෙනුමක්.


ඉඳිකටු පාන 

එරත්න පාරයි පලාබද්දල පාරයි ඒකාබද්ධ වෙන්නේ ගල්වංගෙඩිය ළඟදි. එතැන ආපන ශාලාවක් තියෙනවා. රෑ 11.20 විතර වෙනකොට අපි එතැනට ළඟා වුණා. අපි රෑට කෑවා එතැනදි. චූටි පුතාට එතැනදි ටිකක් නින්ද ගියා. ඒ අතරේ මගේ බිරිඳ පියුමි කිව්වා කන්ද නගින්න බැහැ. මෙතැනට වෙලා ඉන්නම් කියලා. ඒක හරියන වැඩක් නෙවෙයි නේ. පස්සේ අපි සමන් දෙවියන්ට ආයේ භාරයක් වෙලා පඬුරක් අතේ ගැට ගැහුවා. ජනිත් තමයි එහෙම කරමු කිව්වේ. කොහොම හරි සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් අපි ආයේ ගමන පටන් ගත්තා. මකර තොරණත් පහු කළා. වෙලාව මතක නැහැ. හොයාගන්න විදියකුත් නැහැ. මොකද මේ හරියෙදි කිසිම ෆොටෝ එකක් අරන් නැහැ.


ගල්වංගෙඩිය - මේක ගත්තේ ආපහු එන අතරේ

අපි 20 වැනිදා උදේ 1.10 විතර වෙනකොට ආඬියාමළතැන්නට ආවා. මේ තමයි අපට හමුවන අන්තිම අම්බලම. ගිය වතාවේ අපි  එනකොට නම් මෙතැන ආපනශාලාවක් තිබුණා. ඒත් මේ ගමන තිබුණේ ගොඩනැගිල්ලක් විතරයි.


ආඬියාමළතැන්නට මලුව පෙනෙන විදිය


අපට දැන් මලුව හොඳට පේනවා. ඝන්ටාර සද්දේ ඇහෙනවා. මලුව පැත්තට විහිදුණු ලයිට් වැලක් වගේ පේනවා. හරියට අහසට විහිදුණු තරු පේලියක් වගේ.

උදේ 2.05 වෙනකොට අපි ඇහැළකණුව ළඟට ආවා. එතැනින් පස්සේ මහගිරිදඹ. පඩිපෙළේ බෑවුම හොඳටම වැඩියි. අපි 2.20 විතර වෙනකොට මලුවට ළඟා වුණා. බුදු සිරිපතුළ ළඟට ආවා වගේ හැඟීමක් දැනුණා. මේ මගේ පස්වැනි සිරිපා කරුණාව වුණත් හැමදාම එක වගේම මේ හැඟීම දැනිලා තියෙනවා. බෞද්ධ හැමෝටම එහෙම වෙන්න ඇති.

ඇහැළ කණුව

උදේ ඉර සේවය බලන්න තැනකුත් හොයාගෙන අපි කට්ටිය දෙකට බෙදිලා සිරිපතුළ නමදින්න ගියා. සිරිපතුළ දකිනකොටම ඇස්වලට කඳුළු පිරෙන්න පටන් ගත්තා. ඒකට තමයි මට හිතෙන්නේ ශ්‍රද්ධාව කියන්නේ. බුදුහාමුදුරුවෝ දැක්කා වගේ කියලයි හිතුනේ.


ඊට පස්සේ හැමෝම තමන්ගේ ආඩම්බරකම පෙන්වන දේ කරන්න ගියා. ඒ තමන් කී වතාවක් සිරිපා කරුණා කළාද කියලා අනෙක් අයට දැනෙන්න ඝන්ඨාරය නාද කරන එක. එක වතාවකට වඩා සිරිපා කරුණා කරන එක මෝඩයන්ගේ වැඩක් කියලා කියන්නේ සිරිපා කරුණා කරන්න අමාරුයි කියලා හිතන අයගේ නොදන්නා කමට, මෝඩකමට කියන කතාවක් කියලා මට ඒ වෙලාවේ හිතුණා.

මලුවේ කාටවත් නිදාගන්න නම් ලැබෙන්නේ නැහැ. එක දිගට සිරිපා කරුණා කරන්න එන සෙනගට ඉඩ මදිවෙයි කියලා එකන නිදාගෙන ඉන්න අයට නැගිටවලා පහාළට යවනවා. ගිය වතාවෙත් අපට එහෙම යන්න වුණා. ඒ නිසා ඉර සේවය බලන්න වුනෙත් නැහැ. මේ ගමන නම් කොහොම හරි ඉර සේවය බලන්න ඕන කියන එක අපි හැමෝගෙම හිතේ තිබුණා. ඉතිං අපි මලුවෙන් බහින්නේ නැතිව එහාට මෙහාට වෙවී කොහොම හරි උදේ වෙනකල්ම හිටියා.

උදේ 5.30 වෙනකොට කට්ටිය ඉර සේවය බලන්න ලෑස්ති වෙලා. කොහොම හරි උදේ 6 විතර වෙනකොට හිරු දෙවියෝ සිරි පතුළ නමදින්න හෙමින් මතුවෙන්න පටන් ගත්තා. ඒක හරිම චමත්කාරජනක දර්ශනයක්. හුඟක් දෙනෙක් සාදුකාර දුන්නා. ඒක අවිද්‍යාත්මක දෙයක් වෙන්න පුලුවන්. ඒත් හිනාවෙන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒක් තමයි බෞද්ධයාගේ ශ්‍රද්ධාව. ඒක තමයි සිංහල බෞද්ධ සංස්කෘතිය.


ඉර සේවය

ඉර සේවය

ඉර සේවය

ඉර සේවය

ඉර සේවයෙන් පස්සේ බටහිර අහස් කුස පුරා වැටෙන සමනල කන්දේ සෙවනැල්ලත් අපූරු සිදුවීමක්. මේ වගේ සිදුවීම් ලෝකයේ ඇත්තේ එක්කෝ අතලොස්සයි. එක්කෝ ඇත්තෙම නැහැ.


බටහිර අහසේ දිස්වන සමනල කන්දේ සෙවනැල්ල


මේ ගමන සිරිපා කරුණාව හැම අතින්ම පරිපූර්ණ වුණා. සමන් දෙවිහාමුදුරුවන්ට පින්දීලා අපි බහින්න පටන් ගත්තා.

ආපහු එන ගමනේ විස්තර කියන්න ඕන නැහැනේ. කොහොම වුණත් මේ පහළ පින්තූරවල තියෙන්නේ අපට නගින කොටයි ආපහු එනකොටයි මුණගැසුණු අයයි.










මේ සත්තුන්ට අමතරව ‘අං කටුස්සා‘ එරත්න පාරෙදි දකින්න ලැබෙන අපේ රටට ආවේණික සතෙක්. ඒත් අපේ අවාසනාවට මෙයාව දකින්න ලැබුණේ නැහැ. ඒත් මේ බ්ලොග් එක කියවන්න එන අය වෙනුවෙන් මම වෙන බ්ලොග් එකක තිබුණු අං කටුස්සකුගේ පින්තූරයක් පහළින් දානවා. 


අං කටුස්සා - මේ පින්තූරය උපුටා ගත්තේ http://www.elakiri.com/forum/showpost.php?p=11374192&postcount=1 කියන වෙබ් අඩවියෙන්. මෙය උපුටා ගන්නා ගමන් ඔවුනට මම ස්තූතිය පුද කරනවා. 


මගේ නම් සුපුරුදු විදියට මේ වතාවෙත් දනිස්සත්, වලලු කරත් අසනීප වුණා. ඉතිං ගමන් වේගය හුඟක් අඩාළ වුණා. සීත ගඟුළෙන් නාන්න හිතුවත් ගමන පමා වෙයි කියලා ඒ අදහස අතහැරියා.

අපට කෑම නැති වෙයි කියලා හිතුන නිසා ගිහාන්ට කතා කරලා අපටත් එක්ක කෑම අරන් තියන්න කියලා කිව්වා. එහෙම නොවුණා නම් අපට රෑට කෑම නැති වෙනවා.


කොහොමහරි අපි රෑ 7.30 වෙනකොට අපි ආපහු අඩවිකන්දට ආවා. බුදුසරණින් සමන් දෙවිහාමුදුරුවන්ගේ පිහිටෙන් අපේ කාටවත් කිසිම අතුරු ආන්තරාවක් වුණේ නැහැ. ඒක තමයි සමන් දෙවියන්ගේ අඩවියේ හැටි. 



6 comments:

  1. ශ්‍රිපාදය ගැන වටිනා ලිපියක් ලියලා තියෙන්නේ. ශ්‍රිපාදය ගැන කියද්දි මට නම් හිතෙන්නේ මෙහි තමයි ලංකාවේ වටිනාම වස්තු ටික තැම්පත් කරලා තියෙන්නේ. සමහර ඉතිහාසඥයන්ට අනුව මන් අහලා තියෙනවා. සමන් දෙවියන් නොහොත් සමන් නම් පාලකයා බුදුන් වඩින කාලේ ඉදලා නෑ කියලා. ඉතිහාසඥයන් මන් අහලා තියෙන විදිහට සමන් දෙවියන් යනු දුටුගැමුණු රජ තුමාගේ මාමා ගෙනෙක් විදිහටයිලු සලකන්නේ. ඒ අනුව බුදු හාමුදුරුවෝ ලංකාවට වෑඩිම ගැන ලොකු මතවාදයකි තියෙනවා. තාමත් මේ ගැන හරියටම ප්‍රසිද්ධ කරලා නම් නෑ මන් හිතන්නේ. කොහොම උනත් ඉතිහාසය නම් වෙනස් වෙයි හරියටම කරුණු පැහැදි කර ගත් විට. බදු රඳුන් ඉපදුන වර්ෂය පවා මන් හිතන විදිහට අවුරුදු 300 කින් ආපස්සට යන්න ඕන. ඉන්දියාවෙ ලුම්බිණි උයනේ පන්සලක් කැණීම් කර ලබා ගත් සාක්ෂි (කාබන් නිර්ණ) වලට අනුව

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවියේ බුද්ධිමතුන් අතරට ඔබත් එකතු වෙන්න

    ReplyDelete
  2. ඔබගේ ලිපිය ඉතා ආශාවෙන් රස වින්දා...ඔබ මෙම විස්තරය හරි අපූරුවට මනා සංයමයකින් සරළව ලියලා තිබුනා...මට හිතුනා මාත් ඔය කට්ටියත් එක්ක තව පාරක් සිරී පාදේ ගියා වගේ කියලා....අනික ඔබ අපේ සංස්කෘතිය ඇදහිලි ආදියට ඉහළම වටිනාකමක් අවංකවම ඵක් කරලා තිබෙනවා...අනික් අය ලියන්නෙ මෙන්න බුදුන් මල් වගේ කිසිම වටිනා කමක් නැතුව නිකං පොරවල් වෙන්න...ඔබගේ ලේඛණ හැකියාව තව තව ඔප් නැංවේවා ...මේ සියල්ලම පොතක් ලෙසින් මුද්‍රිත මාධ්‍යයෙන් බිහි කොට අපේ ජාතියට,රටට ,ආගමට තවත් උතුම් නිර්මාණ කිරීමට හැකියාව ලැබේවා...ස්තූතියි
    සුමිත් ජයන්ත ඩයස්

    ReplyDelete
  3. Replies
    1. අදහස් දැක්වීම ගැන ඔබටත් ස්තූතියි.

      Delete
  4. අපූරුයි.. ආසා හිතෙන විස්තරයක්. අර සර්පයා මූකලං තෙලිස්සෙක් (Hypnale) ද?

    ReplyDelete
    Replies
    1. සර්පයා ගැන නම් විස්තරයක් දන්නේ නැහැ. ඉතිං අදහස් දැක්වීම ගැන ස්තූතියි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න