පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, May 26, 2014

ඩිමාෂාගේ ෆේස්බුක් ගිනුමේ කවි - Poems from Dimasha's FB Account


මරණය කොයි වෙලාවක කොයි විදියට අපව හොයාගෙන එනවද කියන එක් ගැන අපි දන්නේ නැහැ. මරණය කොයි මොහොතක හරි එන බව දැනගත්තත් අපට ඒ ගැනම හිත හිතා ඉන්න වෙලාවකුත් නැහැ. ඒත් සමහර වෙලාවට සමහර අයට මරණය ගැන ඉව වැටුණු අවස්ථා අපි අසා තියෙනවා. ඒ කියන්නේ ඇතැම් අය තමන්ගේ මරණයට පෙර යම් යම් සළකුණු මගින් තමා මරණය කරා ගමන් කරමින් සිටින බව අනෙක් අයට හඟවන්නට උත්සාහ කළ අවස්ථා තියෙනවා. ඒත් එහෙම කරන කෙනාවත් දන්නේ නැහැ තමන් මේ කියන්නේ තමන්ගේම මරණය ගැනයි කියලා. නමුත් ඒ තැනැත්තා මිය ගිය හැටියෙම අනෙක් අයට දැනෙනවා මෙයා තමන්ගේ මරණය ගැන යම යම් දේවල් කිව්වා නේද කියලා. මේ වගේම සිද්ධියක් අපට මේ මැයි මාසේ 24 වැනිදා අසන්න ලැබුණා.

අපට මේ සිදුවීම අසන්න ලැබුණේ ඇල්පිටියෙන්. මේ කතාවේ නායිකාව 22 හැවිරිදි තරුණියක්. ඇය නමින් ඩිමාෂා ගයනකී. සෞන්දර්ය සරසවියේ දෙවන වසරේ අධ්‍යාපනය හදාරමින් සිටියා. ඩිමිෂාගේ අම්මට බැංකුවෙන් යමක් සිදු කරගන්නට තනිව යන්න නොහැකි නිසා ඩිමාෂට ද ඒ ගමනට කතා කොට තිබුණා. ඇය නිවසට පැමිණ සිටියේ ඒ නිසයි. ඊට අමතරව ඇය තමන්ගේ අධ්‍යාපන වැඩකටයුතුවලට නිවසටම බරක් පටවන්නට අකැමැති වූ නිසා සති අන්තයේ පෞද්ගලික ටියුෂන් පංතියක ඉගැන්වීමත් සිදු කළා. ඒ වෙනුවෙන් ඇය සති අන්තවලදීද නිවසට පැමිණෙනවා.

ඩිමාෂාට පෙම්වතෙක් හිටියා. ඔහු හමුදාවේ කොමාන්ඩෝ සෙබළෙක්. ඩිමාෂා සරසවි අධ්‍යාපනයට යනවාට ඔහුගේ කැමැත්තක් තිබුණේ නැහැ. ඒ හුඟ දෙනෙක් සරසවියේදී තමන්ගේ පරණ ප්‍රේම සබඳතාවලට ආයුබෝවන් කීමේ පුරුද්දක් අනාදිමත් කාලයක ඉඳන්ම පැවතුණු බව ඔහු දැන සිටි නිසා වෙන්න පුලුවන්. තමන් ආදරය කරන ගෑනු ළමයා වෙන කෙනෙක් එක්ක යාලුවෙයි කියලා ඔහුට බයක්, සැකක් තියෙන්නට ඇති. මේ නිසාම ඔවුන් අතර යම් යම් ආරවුලුත් ඇති වුණා. මේ වගේ ඇතිවුණු මතබේදයක් ගැන කතා කරලා විසඳගන්න ඔහුව මුණගැහෙන්න කියලා දුරකතනයෙන් අමතා ඇයට පවසා තිබුණා.

අම්මගේ බැංකුවේ වැඩේ ඉවර වුණාට පස්සේ පහුවදා, ඒ කියන්නේ 24 වැනිදා උදේම සරසවියට යන්නයි ඩිමාෂා කල්පනා කළේ. ඒ යන ගමන් ඇල්පිටියෙදි තමන්ගේ පෙම්වතා හමුවෙලා ප්‍රශ්නය බේරුමක් කරගන්න ඇයට ඕන වුණා. ඇය මාපලගම සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයකට ගොඩ වුණා. මේ බස් රථය ඇයට නුපුරුදු එකක් නෙවෙයි. එහි රියැදුරු සහ කොන්දොස්තර ඇය හොඳින් දන්නවා. වෙනදා ඇය කෙළින්ම මේ බස් රථයේ කොළඹ ගියත් එදා ඇල්පිටියෙන් බහින්න ඇය සූදානම් වුණා. මේ ගැන බසයේ කොන්දොස්තර ඇයගෙන් විමසා සිටියා.

යාලුවෝ කට්ටියක් අද ඇල්පිටියෙන් එකතු වෙනවා. එයාලාත් එක්කම වෙන බස් එකක නැගලා කොළඹ එන්නයි බහින්නේ.

ඇය දුන්නේ එවැනි පිළිතුරක්. නමුත් ඇය ඇල්පිටියෙන් බැස්සේ තම සෙබල පෙම්වතා හමුවූ ප්‍රශ්නය බේරුමක් කරගැනීමේ අරමුණින්. ඒ වනවිට ඔහුත් ඇල්පිටියට ඇවිත් තිබුණා. ඔවුන් ප්‍රශ්නය බේරුම් කරගැනීමට ගියේ ඉදිකරමින් පවතින පාලු ගොඩනැගිල්ලකට. එතැනදි ඔහු සැක කළ දේවල් ගැන ඇයගෙන් විමසන්නට ඇති. ඇයද මේවාට පිළිත-රු දෙන්නට ඇති. ඇගේ පිළිතුරුවලින් ඔහුට සෑහීමට පත්වෙන්න බැරිවෙන්න ඇති. ඒ නිසාම ඇති වුණු කෝපය නිසා සඟවා ගෙන ආ පිහිය ඇගේ සිරුර තුළට කිහිප වතාවක් කිඳා බසින්නට ඇති.

ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස් කෙස් ගසයි කියල කියන්නේ නිකමට නෙවෙයි. නැත්නම් තමන් ආදරය කළ කෙනාට පිහියෙන් ඇනලා මරාදමන්න තරම් තද හිතක් ඇතිවෙන්නේ කොහොමද? මොනව වුණත් අනතිමේදී තරුණියක් අකාලයේ ජීවිතයෙන් සමුගත්තා. එදාම මේ මිනමරු ආදරවන්ත සෙබළාව පොලිස් අත් අඩංගවට පත් වුණා.

මාධ්‍යවලින් මේ පුවත මිනිසුන් අතර ගිහින් වැඩිවෙලාවක් ගියේ නෑ. ඊළඟට කාගේත් අවධානය යොමු වුණේ ඇගේ ෆේස්බුක් ගිනුමටයි. ඇය එයට අවසන් වරට ඇතුළු වී තිබුණේ පසුගිය 8 වැනිදා. ඇය එහි මෙවැනි අදහස් කිහිපයක් සඳහන් කොට තිබුණා. සැබවින්ම මෙය ඇය එහි යතුරු ලියනය කොට සඳහන් කිරීමක් නොව සාමාන්‍යයෙන් ෆේස්බුක් ඔස්සේ විවිධ පුද්ගලයින් සිය මිතුරු මිතුරියන් සමඟ හුවමාරු කරගන්නා, පින්තූර ලෙස තනන ලද අදහස්. මේ අදහස්ම වෙනත් ආකාරවලින් විවිධ වෙබ් අඩවිවලත් දකින්නට තිබෙනවා. උදාහරණයක් ලෙස මෙහි අන්තිම කැමැත්තයනුවෙන් සඳහන් අදහස http://mutuwassa.blogspot.com/ යන බ්ලොග් අඩවියේ වෙනත් ආකාරයකින් දකින්නට තිබෙනවා.

මුතුවැස්සේ ‘අන්තිම කැමැත්ත‘


අන්තිම කැමැත්ත

මා මියයන දිනක එන්න - මා බලන්න ඇවිත් යන්න,
කිසි දිනයක නොහෙළු කඳුළු එක බිඳුවක් හෙළලා යන්න
දෑස තදින් පියවුනාට - දෙකොපුල්  සීතල වුණාට,
පෙර පැවතුන දේ සිහිකර - නළලේ හාදුවක් තබන්න

නෙත් දහසක්  බලා හිදියි - මගේ යහගුණ ගැනම දොඩයි
මුවගට කර කිසිත් නොකියා පස් අහුරක් දාලා යන්න
සොහොනින් නුඹ පිටවන විට මහා තනිකමක් මෙමට දැනෙයි
මිනී මලක් ළගින් තබා - ආපසු නොබලාම යන්න


මේ තියෙන්නේ ඇය එහි සඳහන් කළ තවත් අදහසක්


කවදා හරි දවසක මේ හැම දෙයම දාල යන්නම වෙනවා. ඒ ගමන කිසිවෙක් සතුටින් යන්නේ නෑ. ඒත් ඒ  ගමන දුකක් නැතුව යන්න පුළුවන් වුනොත් කොයි තරම් දෙයක්ද ? එදාට ගොඩාක් අය මතකයට එන එකක් නෑ. මතක් වෙන කීප දෙනා අතර ඔබත් ඉදියි කියලා විශ්වාසයි මට.

මීට අමතරව ආදරයක දුක්බර හැඟීම් ගැන අනෙක් අයට දැනෙන තවත් අදහස් කීපයක්ම ඇය තම ෆේස්බුක් පිටුවේ සඳහන් කොට තිබුණා.


ඇය තබා තිබුණු මේ සටහන් නොබෝ දිනකින් තමා වැළඳගන්නට එන මාරයා ගැන දැනගෙනම ලියූවක් ද කියා හිතෙන තරමට මේ සිදුවීම් දෙක අතර සමීප සම්බන්ධයක් තියෙන බව පේනවා. නමුත් මේවා ඇගේම අදහස් නොවන බව පැහැදිලියි. මෙහි මුල් අයිතිකරුවා කවුදැයි දන්නේ නැහැ. නමුත් ඇගේ හිතේ ඇති වේදනාව මේ අදහස්වලින් අනෙක් අයට දන්වන්නට පුලුවන් නිසා ඇය මේවා ප්‍රදර්ශනය කළා වන්නට පුලුවන්. ඒ නිසා ඇය තමන්ගේ මරණය ගැන අවබෝධයෙන්ම මෙය සටහන් තැබුවාද කියා අපට එක එල්ලේ පවසන්නට බැහැ. පෙම්වතුන් ප්‍රේමය නිසා සිත් රිදවාගත් විට සියල්ලටම වඩා මරණය සැප බව අනෙකාට හඟවමින් අදහස් ප්‍රකාශ කරන එක ඉස්සර ඉඳන්ම සිද්ධවෙන දෙයක්. මා මළ පසු සොහොන් කොතේ දුක්ගීයක් ලියනු මැනව කියා මහගමසේකරයන් ලිව්වේ ද විරහ වේදනාව නිසයි. එවැන්නක් ලියූ පමණින්ම යමෙක් තමාගේ මරණය ගැන ඉව වැටී මෙවැන්නක් ලියූ බව කිව නොහැකියි. කෙසේ වුවත් ඩිමාෂා මෙවැනි මරණයක් සිහිනෙකින් හෝ අපේක්ෂා නොකරන්නට ඇති. ඇයට අහස උසට බලාපොරොත්තු තිබෙන්නට ඇති. ඇයට සැබවින්ම වෙනත් පෙම්වතෙක් සරසවියේ හෝ වෙනයම් තැනක් සිටියා නම් සෙබළ පෙම්වතාට සිත් රිදවීමක් ඇතිවීම පුමයට කාරණයක් නොවෙයි. ඔහු ඇයට දුරකතනයෙන් පවා තර්ජනය කළ බව දැනගන්නට ලැබෙන්නේ මෙවැනි සිත් රිදවීම් නිසයි. නමුත් ආදරය කළ කෙනාව පිහියකින් ඇන මරාදමන්නට තරම් තරුණු සිතක් ආදරය පරයා පැමිණීමයි මේ කතාවේ ඇති ඛේදනීයම තත්වය. 


මෙයට සබැඳි ලිපි
සරසවි සිසුවිය මරාදැමූ සෙබළ පෙම්වතාගේ සම්පුර්ණ පාපොච්චාරණය මෙන්න 

1 comment:

  1. Adaraya kiyanne mona wage deyakda kiyala therum ganna uthsaha nokarana aya nisai me wage aparada wenne.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න