පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, May 29, 2014

මෙතෙක් ලෝකයාගෙන් සැඟවූ නරේන්ද්‍ර මෝදිගේ බිරිඳගේ කතාව - Story of Narendra Modi's 'Hidden' Wife


මේ දිනවල ලෝකයේ, විශේෂයෙන් දකුණු ආසියාවේ බොහෝ දෙනෙක් අතර වැඩිපුරම ජනප්‍රිය නම තමයි. නරේන්ද්‍ර මෝදි. මෑතකදි අවසන් වුණු ඉන්දීය මහ මතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබාගත් ඔහු මේ ලිපිය ලියන මෙහොතවන විට මැයි 26 වැනිදා ඉන්දීය අගැමති ධූරයේ දිව්රුම් දෙන්නට සූදානමින් සිටින බවත් වාර්තා වී තිබුණා. කවුරු හරි කෙනෙක් ප්‍රසිද්ධ වෙනකොට ඒ පුද්ගලයාගේ හැම විස්තරයක්ම හොයන්න උත්සාහ කරන එක මිනිසුන්ගේ ස්වභාවය. අපිත් මිනිස්සු නිසා අපටත් ඒ ඕන කම ඇතිවුණා. ඒත් මේ සොයන්න යන්නේ නරේන්ද්‍ර මෝදි ගැනම නෙවෙයි. ඔහුගේ බිරිඳ ගැන. මෝදි මෑතක් වෙනකල්ම තමන්ගේ බිරිඳ ගැන කිසිම දෙයක් හෙළි කරලා තිබුණේ නැහැ. ඔහු විවාහක අයෙක් කියලා කවුරුවත් දැනගෙන සිටියේත් නැහැ. ඒ ගැන කාටවත් හොයන්න ඕන වුණෙත් නැහැ. කෙහොම හරි මහමැතිවරණයට නාමයෝජනා පත්‍ර භාර දෙන වෙලාවේ එහි විවාහක අවිවාහක බව යටතේ ඔහු නමක් සඳහන් කොට තිබුණා. ඒ තමයි ‛ජසෝඩාබෙන් චිමන්ලාල්’. ඒ වෙලාවෙත් මාධ්‍යවලට මේ කවුද කියන එක ගැන හොයන්න වුණු පෙනුමක් තිබුණේ නැහැ. ඒත් මෝදි දිනන ලකුණු පෙනෙනන් පටන්ගත්තාට පස්සේ තමයි ඕප දූප හොයන අය ඇය ගැනත් හොයන්න පටන් ගත්තේ. 


නරේන්ද්‍ර මෝදි කියන්නේ ධනවත් පවුලකින් ඉහළට ආපු පුද්ගලයෙක් නෙවෙයි. ඔහු තාත්තත් එක්ක කෝච්චි ස්ටේෂන්වල තේ විකුණලත් තියෙනවා. මෝදි අයිතිවුණේ ‛ගන්චි’ කියන කුලයට. මේ කුලයේ සිරිත තමයි ළමා කාලයේදීම විවාහ සිදුකරන එක. ඉතිං පාසල් ජීවිතේට ආයුබෝවන් කියල මෝදිට ගෙදරට වෙලා ඉන්න ලැබුණේ නැහැ. අම්මයි තාත්තයි මෝදිට කටයුත්තක් ලෑස්ති කළා. ගෑනු ළමයා තමයි ජසෝඩාබෙන් චිමන්ලාල්. ඇයත් සමඟ විවාහ ගිවිසගන්නකොට මෝදිට අවුරුදු 13යි. මේ ගෑනු ළමයාට අවුරුදු 12යි. කසාද බඳිනකොට මෝදිට අවුරුදු 18යි. ගෑනු ළමයාට 17යි. කොහොම වුණත් මෝදි ගැන ලියැවුණු ජීවිත කතාවේ නම් කියවෙන්නේ මේ විවාහය සම්පූර්ණ වුණේ නැහැ කියලයි. ඒ නිසා මෝදි තමන්ගේ විවාහය ගැන අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියක්. මෝදි දේශපාලනයට එක්වුණු 2002 වසරේ සිටන්ම තමන්ගේ අපේක්ෂක ප්‍රකාශනයේ සඳහන් කොට තිබුණේ අවිවාහක තැනැත්තෙක් විදිහයටයි. පවුලක් නැති නිසා තමන්ට දූෂණ වංචාවලට සම්බන්ධවන්නට අවශ්‍යතාවයක් ද නැති බවයි ඔහු ඒ කාලෙයේ නිතරම කිව්වේ. නමුත් 2014 ලෝක් සභා මැතිවරණයේදී තමයි බළලා මල්ලෙන් එළියට පැන්නේ. දැන් අපි කතා කරන්න යන්නේ එහෙම එළියට පැනපු බළලා ගැනයි. ඇත්තම කිව්වොත් බැළලි ගැනයි. 

ජසෝඩාබෙන්  පාසල් ගුරුවරියක්. මේ ඔක්තෝබර් මාසයේ විශ්‍රාම යන්නට නියමිතයි. ඇය ජීවත්වෙන්නේ මොදිගේ ගම, ඒ කියන්නේ වාද්නගර්වල ඉඳන් කිලෝමීටර් 35ක් පමණ දුරින් තියෙන බ්‍රහ්මන්වාදා කියන පුංචි ගමේ. එහි ජනගහනය 2,500ක් විතර ඇති. 


ජසෝඩාබෙන් දිහා බලන කෙනෙකුට හිතන්න බැහැ ඇය ඉන්දියාවේ අගමැති වෙන්න ඉන්න පුද්ගලයාගේ බිරිඳ කියලා. ඇයගෙන් පෙනෙන්නේ දුෂ්කර පළාතක දුක්බර ජීවිතයක් ගත කළ ගැහැනියකගේ පෙනුමක්. ඒත් දැන් ගමේ හැමෝම ඇයට කිය්නනේ ‛නරේන්ද්‍ර මෝදිගේ බිරිඳ’ කියලයි. 

ජසෝඩාබෙන්ගේ ඡායාරූප සොයාගන්න හරිම අඩුයි. එයට හේතුව ඇය ඡායාරූපවලට පෙනී සිටින්නට ඇති අකමැත්තයි. තමන්ගේ පෙනුම ඒ තරම් දැකුම්කලු නැහැ කියලයි ඇය කියන්නේ. ඒ නිසාම ඇය ඡායාරූපවලට පෙනී සිටින්න කැමති නැහැ. 

නරේන්ද මෝදි සහ ජසෝඩාබෙන් විවාහ වුණත් ඒක සම්පූර්ණ විවහයක් වුණේ නැහැ කියලා කිව්වේ ඔවුන් එක වහලක් යට ජීවත් වෙන්න උත්සාහ නොකළ නිසයි. ඔවුන් එසේ නොසිටිය තරම්. නමුත් දික්කසාද වුණේ නැහැ. විවාහයෙන් පස්සේ ජසෝඩාබෙන් ආයෙත් තාත්ත ළඟට ගියා. ඒ  වැඩිදුර ඉගෙනගෙන අධ්‍යපන වැඩකටයුතු නිමා කරන්න. ඇය 1972 දී ජ්‍යෙෂ්ඨ විභාගය සමත් වුණා. පසුව ප්‍රාථමික පාසල් ගුරුවරියක් විදියට පුහුණුව ලබාගෙන් මාස තුනක් විතර අහමදාබාද්වල වැඩ කළා. ඇය ඉන්පසුව පාසල් කිහිපයකම සේවය කළා අවසානයේ දැන් ඉන්න ප්‍රදේශයට පැමිණියා. ඇගේ හිතවතුන් පවසන්නේ මේ කාලගය ඇතුළත ඇය කිසිම දවසක තමන්ගේ සැමියා සමඟ ජීවත්වන්නට යාමට උත්සාහ නොකළ බවයි. 

නරේන්ද්‍ර මෝදි හින්දු ජාතිවාදී ආකල්පවලින් පිරුණත් ජසෝඩාබෙන් එසේ නොවන බවයි පෙනෙන්ට තිබෙන්නේ. ඇය මුළින්ම උගන්වා තිබුණෙත් මුස්ලිම් දරුවන්ට. එම දරුවන්ගේ දෙමාපියන් පවසන්නේ තම දරුවන්ගේ ජීවිත යහමගට ගන්නට ඇය බොහෝ වෙහෙස වූ බවයි. 
ඇගේ ගමේ වැඩිහිටියෙක් මෙහෙම කියනවා. 

නරේන්ද්‍ර මෝදි දැන් ජාතික නායකයෙක්. බුද්ධිමතෙක්. හොඳ පෙනුමකුත් තියෙනවා. ජසෝඩාබෙන් ඔහුට ගැළපෙන්නේ නැහැ. ඒත් ඇය ඔහුගේ බිරිඳ. ඔහු ඇයව නැවත තමා ළඟට කැන්දාගෙන ඇය සමග ජීවත් වෙන්න ඕන.” 

මහ මැතිවරණයට සමයේ ඇය නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණය උදෙසා දෙවියන්ට යාච්ඥා කළ බවත් දැනගන්නට ලැබෙනවා. මාධ්‍යවේදියකු ඇය හමුවූ අවස්ථාවේ ඇය මෙසේ ප්‍රකාශකොට තිබුණා. 

මම මගේ සැමියාට විරුද්ධව කිසිම දෙයක් කියන්නේ නැහැ. ඔහු බලවතෙක්. මේ රැකියාව විතරයි මට ජීවත්වෙන්න ආදායමක් ලැබෙන එකම දෙය. අනවශ්‍ය ප්‍රකාශ කරලා අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්න මට ඕන නැහැ.” 

ජසෝඩාබෙන් තම ගුරු රැකියාවෙන් ඉන්දියානු රුපියල් 10,000ක් පමණ උපයනවා. මාසෙකට රුපියල් 150ක් වැයකරමින් ඇය තනි කාමරයක් සහිත නවාතැනකයි ජීවත් වෙන්නේ. 

නරේන්ද්‍ර මෝදිගේ බිරිඳ විදියට ඇයට මෙයට වඩා සැපවත් ජීවිතයක් ගත කරන්න පුලුවන් කියලයි ගමේ අය කියන්නේ. ඒත් ඇය එවැනි ජීවිතයකට කැමැති නැති පෙනුමක් තමයි පෙනෙන්නට තියෙන්නේ. අවුරුදු 63ක් වයස වෙන ඇයට ගෙදර වැඩට උදව්වටවත් කිසිවෙක් නැහැ. හැම දෙයම කරගන්නේ තනියම. 

ඇගේ ළඟම හිතවතුන් කියන්නේ ඇය තමන්ගේ සැමියා, ඒ කිය්නනේ නරේන්ද්‍ර මෝදිගෙන් දුරකතන ඇමතුමක් ලැබෙනකල් කැමැත්තෙන් බලා ඉන්නවා කියලයි. එහෙම කතා කරලා ඔහුත් එක්ක ජීවිතේ ඉතිරි කාලය ගතකරන්න ආරාධනාකරාවි කියලයි. 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න