පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, May 23, 2014

ශ්‍රී ගෞතම සම්බුද්ධ ටෙලි නාට්‍යයේ ප්‍රජාපතිය - ගුන්ගුන් උප්‍රාරි - Gun Gun Uprari, Prajapathi of Buddha Tele Drama


සිදුහත් කුමාරායා ඉපදිලා දින සතකින් ඔහුගේ මව, ඒ කියන්නේ මහාමායාදේවිය මිය යනවා. ඒ ඇගේ ආයු කාලය එතැනින අවසන්වන නිසයි. බිළිඳු සිදුහත් කුමාරයාට මවක් නැති අඩුපාඩුව සපුරන්නට සුද්දෝදන රජතුමා දෙවැනි විවාහයක් කරගන්නවා. ඒ තමයි ප්‍රජාපතී ගෝතමී කුමරිය. සිදුහත් කුමාරයාට ජීවිතය ගැන හැම මගපෙන්වීමක්ම කරමින් දෙවැනි මවක් විදිහට ළඟින් ඉන්නේ ප්‍රජාපතී ගෝතමියයි. මේ වෙසක් සමය නිසා අපි හැමෝටම මේ සම්බන්ධව විවිධ  කතා නිතර ඇසෙනවා. ඒ වගේම අපට ප්‍රජාපතී ගෝතමිය මේ දවස්වල දකින්නත් ලැබෙනවා. ඒ ‛ශ්‍රී ගෞතම සම්බුද්ධ’ ටෙලි නාට්‍යයයෙන්. මේ නාට්‍යයයේ ප්‍රජාපතී ගෝතමියගේ චරිතය නිරූපණය කරන්නේ ‛ගුන්ගුන් උප්‍රාරි’ කියන නිළියයි. අපි හිතුවා අද ඇය ගැන කතා කළොත් හොඳයි කියලා. 

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්වලට අයත් ලක්නව් නගරයේ උපන් ඇය සාමාන්‍ය පවුලක තරුණියක්. ඇගේ පියා පාසල ගුරුවරයෙක්. අම්මා රැකියාවක් කරන්නේ නැහැ. සහෝදරියන් දෙදෙනෙක් ඉන්නවා. දෙන්නාම පාසලක දේශකවරියන් විදියට වැඩකටයුතු කරනවා. ගුන්ගුන් රංගනය තමනගේ වෘත්තීය ලෙස තෝරා ගත්තත් ඇය අධ්‍යාපනය ලබා උපාධයක් පවා හිමිකරගෙන සිටින්නේ ජන සන්නිවේදනය සඳහායි. 
2008 වසරේදී රංගන සඳහා එක් වූ ගුන්ගුන් ඉන්දියාවේ විකාශනය වූ මාලා ටෙලිනාටක කිහිපයකමකට දායක වෙලා තියෙනවා. ‛බන්ධාන් සාත් ජනෝමොන් කා’, ‛රාක්ත් සම්බන්ධ්’, ‛හාර් ජීත්’, ‛බුද්ධා’ (ශ්‍රී ගෞතම සම්බුද්ධ), සහ ‛ජෝ බිවි සේ කාරේ ප්‍යාර්’ මේ අතර වෙනවා. 
ගුන්ගුන් රංගනයට එක් වූ ආකාරය ගැන එක් අවස්ථාවකදී පුවත්පත් වාර්තාකරුවකු ඇගෙන් අසා තිබුණා. 


“මම මගේ ජනසන්නිවේදන උපාධය අවසන් කරලා මුම්බායි ආවා. ඒ හින්දි ප්‍රවෘත්ති නාලිකාවක සේවය කරන්නට. ඒ අතරේ මම මගේ ජීව දත්ත විස්තරයක් ටෙලි නාට්‍ය හා සිනමා නිෂ්පාදන සමාගමක වෙත යවා තිබුණා. ඒ අතරේ තමයි මට ‛බන්ධාන් සාත් ජනෝමොන් කා’ සඳහා සම්බන්ධවන්න අවස්ථාවක් ලැබුණේ. මම හිතන්නේ එක් මගේ වාසනාවක් කියලයි.” 

ඒ මොහොතවන විටත් රංගනය ගැන ඔබේ යම්කිසි අදහසක් තිබුණාද කියා පුවත්පත් වාර්තාකරු ඇසුවා. 

“රංගනයට සම්බන්ධ වෙන්න ඕන කියන අදහසක් මගේ සිතේ නිතරම තිබුණා. ඒත් රංගනය කියන්නේ අවදානමක් අරන් කරන්න ඔන වෘත්තියක්. ඒ නිසා මම ඒක මගේ අනාගත රැකියා ලැයිස්තුවේ මුල් තැනක ලබා තිබුණේ නැහැ. ඒත් මම දැන් ඒ අවදානම අතට අරගෙන ඉවරයි. දැන් තියෙන්නේ ඉදිරියට යාම පමණයි.” 

චරිතයක් සඳහා විශේෂයෙන් සූදානම් වනවාද කියා මේ පුවත්පත් වාර්තාකරු ගුන්ගුන්ගෙන් ඇසුවා. ඔහු මේ ප්‍රශ්නය යොමු කළේ ‛බුද්ධා’, ඒ කියන්නේ ‛ශ්‍රී ගෞතම සම්බුද්ධ’ ටෙලිනාට්‍යයේ ප්‍රජාපතීගෝතමියගේ චරිතය සම්බන්ධවයි. 

“මට මුළින්ම නම් මේ චරිතය භාරගන්න ලොකු චකිතයක් තිබුණා. මොකද ඓතිහාසික චරිතයක් කරන්න මට ලැබුණු මුල්ම අවස්ථාව තමයි මේ. මේක ලොකු වගකීමක් සහිත චරිතයක්. හැඟීම් දැඩිව උද්දීපනය කළ යුතුව තිබුණා. ඊටත් අමතරව සෑහෙන ඇඳුම් ටිකක් අඳින්නත් තිබුණා. රජකාලේ ඇඳුම් නේ.” 

“මම මේ චරිතය නිරූපණය කරන කාලේම මට හාත්පසින්ම වෙනස් චරිතයක් වෙනත් ටෙලිනාට්‍යයක් සඳහා කරන්න වුණා. ඒක විකට චරිතයක්. ප්‍රජාපතීගෝතමියගේ වගේ බැරෑරුම් චරිතයක් කරන අතරේ මම වගේ ආධුනික නිළියකට විකට චරිතයක් කරන්න ලැබුණු එක ලොකු අභියෝගයක්. මොකද මේ චරිත දෙකෙන් පෙන්වන්න තියෙන හැඟීම් එකකට එකක් විරුද්ධයි. චරිත දෙකෙන් එකකටවත් වැඩි කාලයක් සමවැදී ඉන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. දෙබස් කියන විට පෙන්වන්න ඕන හැඟීම් පවා මේ චරිත දෙකේ පරස්පරයි. ඒ නිසා මම ලොකු අවදානමක්, බයක් අරගෙන තමයි මෙයට මුහුණ දුන්නේ. ඒත් මම ආධුනික නිළියක් හැටියට මේ අභියෝගයට මුහුණ දුන්නා. මම හිතන්නේ ඒක මම ජයග්‍රහණය කරන්න ඇති. මගේ ප්‍රෙක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් මට ඒක පැහැදිලි වෙනවා.” 

ඉදිරියේදී තවත් අභියෝගාත්මක චරිතවලට සම්බන්ධවන්නට කැමති බවත් ඇය පවසනවා. ඇය තවම යොවුන් රංගන ශිලිපිනයක් වුවත් බොහෝ විට ඇයට ලැබෙන්නේ සුවිශේෂී චරිත. එක් ටෙලි නාට්‍යයක ඇයට නිරූපනය කරන්නට ලැබුණේ මවකගේ චරිතයක්. 

කෙළිලොල් චරිතවලින් මිදුණු එවැනි සුවිශේෂී චරිත සඳහා වැඩි වශයෙන් දායක වන නිසා බොහෝ දෙනෙක් ඇය දෙස බලන්නේ වැඩිහිටියකු දෙස බලන ආකාරයටයි. ඇය ඒ ගැන තරමක් කණගාටුවෙන් කතා කළත් එවැනි චරිත ලැබීම ගැන ඇය තුළ ඇත්තේ සතුටක්. කොහොම වුණත් ඇය මේ විදියට අදහස් ප්‍රකාශ කළා. 

“මම වෙනස් චරිත කරන බව ඇත්ත. ඒත් මම තවම තරුණියක්. ඒ හැඟීම තමයි මට තියෙන්නේ. මම නර්තනයට, නොයෙක් තැන්වල ඇවිදින්න යන්න, සාප්පු සවාරි යන්න හරි ආසයි. ඒවා තමයි මගේ විනෝදාංශ. විවේකයක් ලැබුණු වෙලාවට මගේ යාලුවොත් එක්ක තරුණියක් විදියට මම බොහෝ විනෝද වෙනවා. මගේ චරිතවලින් මගේ හැබෑ ජීවිතේ දිහා බලන්න එපා.” 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න