පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, May 23, 2014

නපුරු සිහින නිතර පෙනෙන්නේ ඇයි? - All About Nightmares


බය හිතෙන සිහින හෝ නපුරු සිහින ඔබ ද බොහෝ විට දැක තිබෙන්නට පුලුවන. මනෝ විද්‍යාවේ දී මෙය හඳුන්වනු ලබන්නේ දුස්ස්වප්න’ (nightmare) නමිනි. සිතේ ඇති බිය, ත්‍රාසය, කාංසාව, දැඩි වේදනාව වැනි කරුණු නිසා නපුරු සිහින දැකිය හැකි බව මනෝ විද්‍යාඥයෝ පවසති. එමෙන්ම ඇතැම් ලෙඩරෝග සඳහා ලබාගන්නා ඖෂධ ද නපුරු සිහින දැකීමට හේතුවන වන බව පැවසේ. නිතර නපුරු සිහින දකින්නේ නම් එය ප්‍රතිකාර ගත යුත්තකි. අධ්‍යයනවලින් හෙළිවී ඇත්තේ අප දකින සාමාන්‍ය සිහින (dreams) බොහොමයක් නින්දෙන් අවදිවන විට අමතකව ගිය ද නපුරු සිහින සියල්ලම පාහේ මතකයේ රැඳෙන බවය.

හෙළිවී ඇති කරුණුවලට අනුව අවුරුදු පහට අඩු දරුවන් නපුරු සිහින දකින්නේ බොහෝ අඩුවෙනි. නමුත් ගැටවර වියට එළැඹෙද්දී නපුරු සිහින දැකීම සාමාන්‍ය දෙයක් බවට පත්වේ. ගැටවරවියෙහි පසුවන්නන්ගෙන් 25%ක් මෙම තත්වයට පත්වෙන බැව් පැවසේ. පසුව අවුරුදු 25 සිට 55 දක්වා කාලය දක්වා ඇත්තේ නපුරු සිහින දැකීම කෙමෙන් පහළ යාමේ තත්වයකි.

සෑම පුද්ගලයකු නිනිදට වැටුණු පසු සීඝ්‍ර අක්ෂි චලනය’ (rapid eye movement  - REM) යන අවස්ථාව පසුකරන කරන බව මනෝවිද්‍යාවේ සඳහන් වේ. අප නපුරු සිහින දකින්නේ මේ අවස්ථාවේදීය. මෙහිදී නිදා සිටින තැනැත්තාගේ ඇසි වේගයෙන් චලනය වනු දැකියි හැකි දෙයකි. මෙහි සඳහන් කළ විවිධ මානසික තත්වයන් නිසා මෙන්ම සෑබෑ හේතුවක් නිසා ද නපුරු සිහින දැකිය හැකි බව මනෝවිද්‍යාඥයෝ පවසති. උදාහරණයක් ලෙස යමෙකුගේ දෑස් ඉදිරිපට මනුෂ්‍ය ඝාතනයක් දුටුවේ නම් එය නපුරු සිහිනයක් ලෙස අදාළ පුද්ගලයාට නිකර පෙනෙන්නට පුලුවන.

අප දකින විවිධ නපුරු සිහින මනොවිද්‍යාඥයින් විසින් ප්‍රධාන කොටස් 10කට බෙදා දක්වා ඇත. අප බහුලව දකින නපුරු සිහින මෙම වර්ග 10 ට ඇතුළත් වේ.

1. ස්වභාවික විපත්

දරුණු ගංවතුරකට, සුනාමි තත්වයකට, කුණාටුවක හසුව සිටින අයුරු ඇතැම් විට ඔබ සිහිනෙන් දැක ඇති. නිවාස මතට ගස් කඩා වැටී තිබෙනු දැක ඇති. යම්කිසි පුද්ගලයකුගේ සිතේ ඇති කාංසා තත්වයක් නිසා මෙවැනි සිහින දැකිය හැකි බැව් කියැවේ. යමෙකුගේ දෛනික ජීවිතයේ ඇතිවන විවිධ හැළහැප්පීම්, ආතතිමය තත්වයන් මෙයට හේතුවන්නට හැකිය. එමෙන්ම ඉදිරියේ පවත්වන්නට නියමිත විභාගයක්, වෛද්‍ය හමුවක්, පවත්වන්නට ඇති කතාවක්, පුද්ගල සම්බන්ධතා ගැටලු ආදිය මෙවැනි මානසික තත්වයක් පසුපස තිබෙන්නට පුලුවන.

2. මළවුන් දැකීම

මියගිය පුද්ගලයකු ඔබ අසළට පැමිණීම හෝ ඔබ සමඟ කතාකරනු මෙවැනි සිහිනවල බහුලය. ඇතැම් විට එසේ පැමිණෙන පුද්ගලයා මෑතකදී මිය ගිය ඥාතියකු හෝ හිතවතකු විය හැකිය. ඇතැම්විට ඥාතියකු හෝ හිතවතකු නොවන මිය ගිය පුද්ගලයන් ද සිහිනෙන් දැකිය හැකිය. ඔබ මෑතකදී මිය ගිය ඔබගේ අත්තම්මා දුටුවේ නම් එයින් කියැවෙන්නේ ඇය මිය යාමෙන් ජීවිතයට ඇති වූ අඩුව පිරිමසාගන්නට මානසිකව කරනා අරගලයයි. එමෙන්ම යම් පුද්ගලයකු තුළ ඇති රෝගී තත්වයන් ද මෙයට හේතුවන්නට පුලුවන. ජීවිතයට හානි විය හැකි රෝගයකින් පීඩා විඳින පුද්ගලයන්ද මෙවැනි සිහින දකින්නට පුලුවන.

3. වැදගත් අවස්ථා මගහැරීම

විවාහය වැනි ජීවිතයේ වෙනත් වැදගත් අවස්ථාවන් මගහැරෙනු සිහිනෙන් දැකීම ද සුලභ සිදුවීමකි. අධික ලෙස මානසික පීඩාවන්ගේ යුක්තව සිටින පුද්ගලයන් අතර මෙවැනි සිහින බහුලය. යමක් අසාර්ථක වීම පිළිබඳ බියක් හෝ යමක් බලාපොරොත්තුවන මට්ටමකට සිදුකරගත නොහැකි වනු ඇතැයි යන සිතිවිල්ල නිසා ද මෙවැනි සිහින දැකිය හැකිය.

4. නිරුවතින් සිටිනු දැකීම

ප්‍රසිද්ධ ස්ථානයක නිරුවතින් සිටිනු දැකීම ද තවත් එක් අවස්ථාවකි. මෙය හිතවතුන්ට පැවසූ විට එය කවටකමකට හේතුවක් විය හැකි මුත්, මෙවැනි සිහින පිටුපස අප නොසිතන තරමේ විශාල හේතු තිබෙන්නට පුලුවන. යම් පුද්ගලයකු සිය ප්‍රතිරූපයට හානි සිදුවේ යැයි යම් බියකින් පසුවන විට මෙවැනි සිහින දකින්නට පුලුවන. එමෙන්ම සෙසු පුද්ගලයන් තමන් කෙසේ විනිශ්චය කරන්නේදැයි යම් පුද්ගලයකුගේ නිතර බියක් පවතී නම්, එවිට ද මෙවැනි සිහින දැකිය හැකිය.

බ්‍රිතාන්‍ය කිරුළ හිමි විලියම් කුමරුගේ බිරිඳවන කේට් ද ප්‍රසිද්ධියේ නිරුවතින් සිටින සිහින දකින බව පවසා ඇත. ඇය මේ තත්වයට පත්ව ඇත්තේ 2006 වසරේ සිටය. ඇය පවස්නේ මෙවැනි එක් සිහිනයක බ්‍රිතාන්‍ය මහ රැජින සහ පිලිප් කුමරු ද තමා දෙස බලා සිටින අයුරු දුටු බවය. මේ පිළිබඳ විශ්ලේෂකයන් පවසන්නේ ඇය රජ පවුල සමඟ එක්වීමෙන් පසු අත්විඳින්නට වන නව වගකීම් සම්භාරය පිළිබඳ නිතර සිතීම මෙයට හේතුව වන්නට ඇති බවය. සිය හැකියාවන් පිළිබඳ ඇති අඩු විශ්වාසය මෙවැනි සිහින දකින්නට හේතුව බව විශ්ලේෂකයෝ පවසති.


5. දත්

යම් පුද්ගලයකුගේ සිතේ අනාරක්ෂිත හැඟීමක් පවතින විට දත් සම්බන්ධ සිහින දකින බැව් මනෝවිද්‍යාවේ කියැවෙයි. බොහෝ විට දකින්නේ දත් සියල්ල ගැලවී වැටී ඇති අවස්ථාවකි. ප්‍රසිද්ධියේ නිරුවත් වන සිහිනය සේම මෙහිද ප්‍රධාන හේතුවන්නේ අන් පුද්ගලයන් විසින් තමාව කෙසේ විනිශ්චය කෙරේ ද යන බියයි.

හොලිවුඩ් නිළියක වන හේල් බෙරී දත් සම්බන්ධ නිතර නපුරු සිහින දැක ඇති බැව් වාර්තා වේ. තමා කතා කරන සෑම වාරයක් පාසාම දත් ගැළවෙනු තමා නිත දැක ඇති බව ඇය පවසයි. මේ පිළිබඳ සිහින විශ්ලේෂකයෝ පවසන්නේ ඇයට ආකර්ෂණීය කාන්තාවක් වීමට අවශ්‍ය වුවත් ඇයට ඒ පිළිබඳව විශ්වාසය නොමැතිවීම මෙවැනි සිහින දකින්නට හේතුවන බවය.


6. තුවාල හා හදිසි අනතුරු

සිය පෞද්ලික ජීවිතයේ  ඇති දුබලතාවයන් මෙවැනි සිහින දකින්නට හේතු වේ. අස්ථි බිඳීයාම හෝ තුවාල සිදුවනු සිහිනෙන් නිතර දකින්නේ නම් එයින් පැවසෙන්නේ ඔබගේ ඇති යම්කිසි දුබලතාවයක් පිළිබඳ මොලය ඔබට අනතුරු හඟවන බවය. ඔබගේ දුබලතාවයක් හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමෙන් මෙවැනි සිහින දැකීම වළක්වා ගත හැකිය.

7. සහකරු අතහැර යාම

සිය සහකරු/සහකාරිය හෝ ජීවිතයේ වෙනත් අතිශය වැදගත් පුද්ගලයකු තමාගෙන් ඈත්වනු සිහිනෙන් දැකිය හැකිය. මෙයට හේතුව වන්නේ සිය සහකරු තමාව කුමන මොහොතක හෝ හැර යාවී දැයි සිතෙහි නිතර ඇතිවන කාංසා හැඟීමයි. එමෙන්ම සිය සබඳතාවය පිළිබඳ අනාරක්ෂිත බවක් ඇත්නම් එවිට මෙවැනි සිහින පෙනේ.

8. සිරවී සිටිනු සිහිනෙන් දැකීම

මෙය ද බහුලව දක්නට ලැබෙන නපුරු සිහිනයකි. ප්‍රමාණයෙන් කුඩා ස්ථානවලට, වසා ඇති ස්ථානවලට බියක් දක්වන, එවැනි ස්ථානයක් සිටීමෙන් තමා සිරවේ යැයි නිතර බියකින් පසුවන පුද්ගලයන්ට මෙවැනි සිහින දැකිය හැකිය. යම් කිසි පුද්ලගයකු දැනට සිරවී සිටින ගැටලුකාරී තත්වය විසඳාගත නොහැකිව පීඩා විඳින විට මෙවැනි සිහින දැකිය හැකිය. මූල්‍ය ගැටලු, රැකියාව අහිමිවීම පිළිබඳ ගැටලු, අසාර්ථක සම්බන්ධතා ආදිය මෙයට හේතුවන්නට පුලුවන. යම්කිසි බියක් හේතුවෙන් තමාගේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නොහැකි වේ යැයි ඇති කාංසාව ද මෙයට බලපායි.

9 .ඇදවැටීම

ඇදවැටීමක් සිහිනෙන් දැකීම තුළින් පෙන්නුම් කරන්නේ තමාට තමාව පාලනය කරගැනීමට නොහැකියාව හේතුවෙන් සිය පෞද්ගලික ජීවිතයේ ඇතිවූ කාංසා ස්වභාවයයි. මෙවැනි තත්වයන් මුදල්, සබඳතා, රැකියාව හෝ යම් ආකාරයක අපයෝජන තත්වයක් නිසා ඇතිවිය හැකිය. ඇදවැටීමක් සිහිනෙන් දැකීම සඳහා  යම්කිසි පුද්ගලයකුට සිය ජීවිතයේ යම් කිසි තත්වයක් පාලනය කරගැනීමට නොහැකි යැයි ඇතිවන හැඟීම හේතු වේ. මෙවැනි සිහින බොහෝ විට දකින්නේ ධනයෙන් බලයෙන් ඉහළ තැන්වල සිටිනා පුද්ගලයන්ය. නමුත් ඔවුන්ට සිය ජීවිතයේ යම් යම් පාර්ශ්වයන් පාලනය කරගැනීමට නොහැකි තත්වයකින් පසුවෙයි.

10 .ලුහුබැඳීම හෝ පහරදීමකට ලක්වීම

බොහෝ දෙනෙක් අත්දකින පොදු නපුරු සිහිනයක් වන්නේ මෙම ස්වභාවයේ ඒවාය. බොහෝ විට මෙහිදී දකින්නේ මිනිසුන්, සතුන් හෝ අද්භූත සත්වයින් විසින් ලුහුබැඳීමක් හෝ පහරදීමකි. ඔබගේ ජීවිතයේ යම්කිසි ගැටලුවකට මුහුණදීමට සිතේ ඇති බිය හේතුවෙන් මෙවැනි සිහින දැකිය හැකිය. නපුරු සේවක ප්‍රධනියෙක්, නපුරු ගුරුවරයෙක්, නපුරු දෙමාපියන් හෝ අසාර්ථක ආදර සම්බන්ධතා වැනි හේතු මෙය පසුපස තිබිය හැකිය. තමා පසුපස ලුහුබැඳ එන්නේ ඔබ මුහුණදීමට බියෙන් පසුවන ගැටලුවයි. ඔබ එයින් ඉවතට දිවයන්නේ එයට මුහුණදෙන්නට අකමැති හෝ බිය නිසාය. මෙවැනි සිහින ඔබ දකින්නේ නම් ඔබේ සැබෑ ජීවිතයේ ඇති ගැටලු පිළිබඳ සොයාබලා ඒවාට නිසි විසඳුමක් ලබාදීම තුළින් මේ තත්වයෙන් අත් මිදිය හැකිය.

ජනප්‍රිය ඇමරිකානු ගායිකාවන වන මැඩෝනා මෙවැනි සිහින නිතර දකින බැව් කියැවෙයි. ඇය පවසන්නේ පිහියක් අතින් ගත් අඟුටුමට්ටකු තමා පසුපස පන්නාගෙන එන බැව් නිතර දකින බවය. මැඩෝනා තමාගේ අකමැති යම්කිසි ස්වභාවයක් හෝ ගතිගුණයක් මගහැරීමට මානසිකව ගන්නා උත්සාහය මෙවැනි සිහින දක්නිනට හේතුවන බව විශ්ලේෂකයෝ පවසති.



මීට අමතරව වෙනත් ස්වභාවයේ නපුරු සිහින ද දැකිය හැකි අතර මෙහි සඳහන් කරන ලද්දේ මනෝවිද්‍යාවට අනුව වර්ග කළ පොදු ස්වභාවයන් 10 කි. ඔබ නිතර නපුරු සිහින දකින්නේ නම් ඒවා තනිව විසඳාගැනීමට උත්සාහ කරනවාට වඩා ඔබේ හිතවතකු සමඟ කතා කොට මනෝවෛද්‍යවරයකු හමුවට යාම වඩාත් සුදුසුය. මන්ද නිතර නපුරු සිහිනවලට ලක්වන පුද්ගලයකු නිසි ප්‍රතිකාර නොගන්නේ නම් එය වෙනත් මානසික ගැටලුවලට හේතුවක් විය හැකි නිසාය.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න