පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, May 31, 2014

සොහොනේ සැතපුණු හාම්පුතාට තනි රකින ‛කැප්ටන්’ - Dog who slept on his owner's grave



සුනඛයා තරම් මිනිසුන්ට හිතවත්, තමන්ට කළ උදව්වක් අමතක නොකරන සතෙක් මේ ලෝකේ නැහැ. එක වේලක් කන්න යමක් දුන්න කෙනෙකු වුණත් අඳුනාගෙන වළිගය වනන්න තරම් සුනඛයන්ට හොඳ මතකයක් තියෙනවා. කළගුණ හොඳින් මතකයේ තබාගෙන ඉන්නවා. ඉතින් ජීවිත කාලේම තමන්ව හදාවඩා ගත්තු ස්වාමියෙකුට සුනඛයෙක් කොයි තරම් ලෙන්ගතුබවක් ඇතිද? අපට ඒකට මේ ලෝකේ ඕනෑ තරම් උදාහහරණ තියෙනවා.  මෑතකදි එහෙම එකක් දැනගන්නට ලැබුණා. මේ ප්‍රවෘත්තිය නම් ටිකක් පරණයි. ඒත් මේ කතාව හැමෝටම වැදගත් වෙයි කියලා හිතෙන නිසා ඔබත් එක්ක මේ ගැන කියන්න හිතුවා. 

මේ කතාවෙන් කියැවෙන සුනඛයාගේ නම කැප්ටන්. කැප්ටන්ට  ස්වාමියෙක් හිටියා මිගුවෙල් ගුස්මාන් කියලා. ඔහු 2006 වසරේදී මිය ගියා. අවමඟුල් කටයුතු ඉවරවෙලා ටිකකින්  කැප්ටන් ගෙදර නැහැ කියලා පවුලේ කට්ටිය දැනගත්තා. ඔවුන් කැප්ටන්ව හැමතැනම හෙව්වා. ඒත් හම්බවුණේ නැහැ.

මෙහෙම සතියක් විතර ගත වුණා. මිගුවෙල්ගේ අමමඟුලට සහභාගී වුණු කිහිප දෙනෙක් එක දවසක් හවස් යාමයක හරි අපූරු දෙයක් දැක්කා. කැප්ටන් තමන්ගේ ස්වාමියාගේ සොහොන උඩ නිදාගෙන ඉන්න හැටි ඔවුන් දැක්කා. ඔවුන් සෙහොන්පල්ලාට මේ බව කිව්වා. ඔහු මේ බව මිගුවෙල්ගේ නිවසට දැනුම් දුන්නා. ඔවුන් ඇවිත් කැප්ටන්ව නිවසට අරගෙන ගියා. කැප්ටන්ව නිවසට අරන් ගියත් හැම රැයකම කැප්ටන් උඩු බුරලන්නයි, දොර තදින් පහුරුගාන්නයි පටන් ගත්තා. එතකොට නිවසේ අය කළේ දොර අරින එක. කැප්ටන් ඒ වෙලාවට එළියට දුවගෙන යනවා. ආපහු එන්නේ උදේට. ටික දවසක් යනකොටයි කැප්ටන් යන්නේ කොහේද කියලා ගෙදර අය හොයා ගත්තේ. කැප්ටන් ගිහින් තිබුණේ නිවසේ ඉඳන් සැතපුම් 3ක් ඈතින් තිබුණු සොහොන් පිටියට. එහි තමයි කැප්ටන්ගේ ස්වාමියා, ඒ කියන්නේ මිගුවෙල්ගේ සෙහොන තිබුණේ.

මේ සිදුවීමෙන් අනතුරුව වසර 7ක් ගෙවී ගියා. මේ වසර 7 පුරාම කැප්ටන් රාත්‍රියට නිදාගත්තේ තමන්ගේ ස්වාමියාගේ සොහොන උඩ. හැම දවසකම හවස 6ට කැප්ටන් සොහොන් පිටියට එන නිසා, සොහොන්පල්ලා ඒ වෙනකල් එහි ගේටුටව විවෘත කර තබන්නත් පුරුදු වුණා. උදේ පාන්දර සොහොන්පල්ලා ආයෙත් ගේට්ටුව විවෘත කරන තුරු කැප්ටන් තමන්ගේ ස්වාමියාගේ සොහොන මුර කරන්නට මේ විදියට පුරුදු වුණා.


විස්තරේ හැටියට මේ පින්තූරය අරගෙන ඇත්තේ 2013 විතර. සමහර විට කැප්ටන් තවමත් ජීවතුන් අතර ඇති. එහෙම ඉන්නවා නම් තවමත් තමන්ගේ ස්වාමියාගේ සොහොන මුරකරනවත් ඇති. සුනඛයෙක් තමන්ගේ ස්වාමියාට කොයි තරම් භක්තියක් තියෙනවාද කියන එකට මේක හොඳම උදාහරණයක්.

අපි අතර ඉන්න බොහෝ දෙනෙක් තමන්ගේ ඥාතියකුගේ, හිතවතෙකුගේ මරණයෙන් ටික දවසකට පස්සේ ඔහුව අමතක කර දමනවා. ඒ මනසින් උසස් අයගේ හැටි. ඒත් මනසින් උසස් නැහැ කියලා මිනිසුන් කියන සුනඛයන් හැසිරෙන්නේ මෙන්න මේ විදිහයි. 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න