පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, May 15, 2014

අසරණ සතුන්ට වස දී මරණ ධර්මද්වීපය - Poisoning to Helpless Animals in Sri Lanka (So called Dharmadweepa)


මිනිසුන්ට වගේම සතුන්ටත් මේ මිහිතලයේ ජීවත්වීමේ උරුමයක් ඇති බව නවීන ලෝකයේ පිළිගැනීම වෙමින් පවතිනවා. එවන් යුගයක ධර්මද්වීපය වශයෙන් අපට හඳුන්වා ගන්නා අපේ රටෙන් ඊට ඉඳුරාම පටහැනි පුවත් අසන්නට ලැබෙනවා. අසරණ තිරිසන් සතුන්ට වස දී මරා දැමීම ඒ අතරින් ප්‍රධානයි. මෙබඳු පුවත් දිනකට අප රටේ කොතෙකුත් සිදුවන මුත් ඊට එරෙහිව ජනතා හඬනැගීම් සිදුවන්නේ නැහැ. එසේ සිදුකරන්නන්ට යටි සිතින් ශාප කරමින් මුනිවත රැකීම තමයි බොහෝවිට සිදුවන්නේ. මේ අතර ගනේමුල්ල හොරගොල්ල ප්‍රදේශයේ මිනිස් වෙස්ගත් අමනුෂ්‍යයකු බලු බළල් ආදී අසරණ සතුන්ට වස දී මරා දැමූ අතර ඒ සතුන් අතරේ ඇස් නොහැරි පැටවුන් කිහිප දෙනෙකුගේ බළල් අම්මා කෙනෙකුත් සිටියා. තම දරුවන්ට මව් කිරි දීමට වුවමනා පෝෂණය සොයා ගෙයින් ගෙට සිඟමනේ ගිය මේ අසරණ බළල් අම්මාට මේ තිරිසන් මිනිසා සතුන්ට තැබූ විෂ ආහාර බඳුනක් හමුවුණා. එය අනුභව කළ සැනින් මේ බළල් අම්මා දරුණු වද වේදනා විඳිමින් ප්‍රසිද්ධ ස්ථානයක දී මිය ගියා. ඉන් කම්පාවට පත් ප්‍රදේශයේ තරුණ කිහිප දෙනෙකු මෙවන් අමනුෂ්‍ය ක්‍රියාවන් නතර කිරීම සඳහා බැනර් ප්‍රදර්ශනය කිරීමෙන් දැරූ අවිහිංසක උත්සාහයකුයි මේ.

ශ්‍රී ලංකාව බෞද්ධ රටක්. ඒ විදියට තමයි ප්‍රසිද්ධ. බොහෝ ආගම්වලින් මූලිකත්වය දීලා තියෙන්නේ මිනිසුන්ටත්, මිනිසුන්ගේ සුභසාධනයටත් විතරයි.  නමුත් බෞද්ධ දර්ශනය කියන්නේ සියලු සත්වයන්ටම මෛත්‍රිය, කරුණාව දක්වන්න උගන්වන දහමක්. සබ්බේ සත්ථා භවන්තු සුඛි තත්ථාකියල තමයි බුදු දහමේ උගන්වන්නේ. ඒ කියන්නේ සියලු සත්වයෝ නිදුක් වෙත්වාකියන එක. ඒත් අවාසනාවට අපේ රටේ එහෙම දෙයක් දකින්න නැහැ. සමහර වෙලාවට හිතෙනවා අපේ රටේ තරම් සතුන්ට හිංසා පීඩා කරන රටක් ලෝකේ වෙන කොහේවත් තියෙනවද කියලත්. ඉහත සඳහන් ප්‍රවෘත්තිය ඒ සඳහා එක් පුංචි නිදසුනක් විතරයි. ගෙදරක බැළලියකට හරි බැල්ලකට හරි පැටව් ලැබුණොත් සමහරු කාටත් හොරෙන් මෙයාලාව මහපාරට ගෙනැත් දානවා. නැත්නම් පන්සලකට ගෙනැත් දානවා. මහ පාරේ ඉන්න මේ අසරණ සත්තු වාහනවලට යට වෙලා මිය යනවා. මස් සඳහා හොර හරක් ජාවාරම ජයටම සිද්ධ වෙනවා. මහ මග ඉන්න සුනඛයින්ව කිසිම හිතක් පපුවක් නැතිව මරා දමනවා. රටේ පාලකයෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බුදු දහම ආරක්ෂා කරන්නට බැඳිලා ඉන්නවා. ඒත් පංචශීලයේ මුල්ම ශික්ෂාව වන සතුන්ට හිංසා පීඩා කරන එක දවසින් දවස වර්ධනය වෙනවා. ඒ අනුව අපේ රට බෞද්ධ රටක් හැටියට හැඳින්වීමත් ලෝක විහිළුවක් හැටියට කෙනෙකුට තර්ක කරන්න පුලුවන්.

අපි යුරෝපයේ හෝ ඇමරිකානු මහද්වීපයේ රටවල් ගැන හිතමු. ඒ රටවල බහුතරයක් අනුගමනය කරන්නේ බුදු දහම නෙවෙයි. ඒ ඇතැම් ආගම්වල කියැවෙන්නේ සතුන් මිනිසාගේ ප්‍රයෝජනය සඳහා දෙවියන් වහන්සේ මවා දුන් කොටසක් ලෙසයි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියා ඔවුන්ගේ ආගම්වල කොතැනකවත් සඳහන් වන්නේ නැහැ. ඒත් සතුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට, සතුන්ගේ සුභ සාධනය වෙනුවෙන් කටයුතු කරන්නට අබෞද්ධ රටවල් දැනට ගෙන ඇති පියවර ගැන සළකන විට අපි අපේ බෞද්ධකම ගැන ලජ්ජා විය යුතුයි.

බටහිර රටවල් සත්ව අයිතිවාසිකම් ගැන කතා කිරීමේදී අපට වගේම හැඟීම්, දැනීම් සහ වේදනා සතුන්ටත් දැනෙන බවයි අවධාරණය කරන්නේ. ඒ පිළිබඳව ඔවුන් කළ විග්‍රහයක් ඉංග්‍රීසි බසින් දක්වා ඇත්තේ පහත අයුරිනුයි.

Animal rights is the idea that some, or all, nonhuman animals are entitled to the possession of their own lives, and that their most basic interests – such as an interest in not suffering – should be afforded the same consideration as the similar interests of human beings.

ඔවුන් මේ පවසන්නේ අදින් වසර 2500 කටත් පෙර දවසක බුදුන් වහන්සේ පැවසූ වදනක්ම බව ඔබට පැහැදිලි වනවා ඇති. බුදුන් වහන්සේ එක් අවස්ථාවක මෙසේ දේශනා කළා. මෙය ධම්ම පදයේදණ්ඩ වර්ගයේ එන ප්‍රසිද්ධ ගාථා පාඨයක්.

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයේ

එහි අරුත මෙසේයි.
සියල්ලෝ දඬුවමට බියවෙත්. සියල්ලෝ මරණයට බියය. එබැවින් අනුන් තමන්ට සමාන සේ සිතා අනුන්ට හිංසා නොකළ යුතුය. අනුන්ට ලවා හිංසා නොකරවිය යුතුය.

දණ්ඩ වර්ගයේම ඒ ගාථාව මේ අයුරින්ද සඳහන් වෙනවා.

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේසං ජීවිතං පියං
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයේ

එහි අරුත මෙසේයි

සියල්ලෝ දඬුවමට බියවෙත්. සියල්ලන්ට ජීවිතය ප්‍රියය. එබැවින් අනුන් තමන්ට සමාන සේ සිතා අනුන්ට හිංසා නොකළ යුතුය. අනුන් ලවා හිංසා නොකරවිය යුතුය.

බටහිර රටවල් මෙම අවිහිංසාව බුදු දහම ඇසුරෙන් උපුටා ගත් දෙයක් යැයි සඳහන් කරන්නේ නැහැ. ඒ සමහර විට ඔවුන් මේ අවිහිංසාවාදී සංකල්පය ප්‍රඥාවේ දියුණුවත් සමඟම තමන් විසින්ම පහළකරගත් දෙයක් වන්නටත් බැරි නැහැ. ඒ කොහොම වුණත් අපි ධම්ම පදය අයිතිකරගෙන එහි ගාථා කටපාඩම් කරන අතරේ ඊට වඩා වැඩි දෙයක් බටහිර රටවල් කර ඇති බව නම් පැහැදිලිව පෙනෙනවා. අපට වඩා  නිදහසේ සත්ව හිංසාවට, මාංශ අනුභවයට ඉඩකඩ ඇති එම රටවල් බුදුන් වහන්සේගේ දේශනාවේ එන අවිහිංසාවාදී සංකල්පය අපට වඩා හොඳින් අවබෝධ කරගන්නටත් එය ක්‍රියාවට නංවන්නටත් සමත් වී ඇති බව තමයි පෙනෙන්නේ.

අපේ රටේ දකින්නට නැති වුණත් ලෝකයේ දියුණු නොදියුණු බෞද්ධ ආභාෂයක් නැති රටවල සත්ව හිමිකම් සහ අයිතිවාසිකම් වෙනුවෙන් ඕනෑ තරම් කටයුතු සිදුවෙලා තියෙනවා.

ඉස්ලාම් රටක් වුණු ඊජිප්තුව ගැන සළකා බැලුවොත් එහි නිවසක ඇති දැඩි කරන සතෙකුට අමානුෂික ලෙස පහර දුන් බවට නීතිය ඉදිරියේ ඔප්පු වුණොත් එය සිදු කළ තැනැත්තාට සිර දඬුවමක් හෝ දඩයක් නියම වෙනවා. ආර්ජන්ටිනාවේ සතෙකුට අමානුෂික ලෙස සැළකුවහොත් ඒ තැනැත්තාට දින 15 සිට වසරක කාලයක් සඳහා සිර දඬුවම් පවා ලැබෙනවා. කැනඩාවේත් එසේමයි. සතුන්ට හිංසා පීඩා කිරීම අපරාධයක් බව චිලියේ පාසල්වල ඉගැන්වෙනවා. එය අපේ රටේත් ඉගැන්වෙන බව නම් ඇත්ත. නමුත් ඒවා මිනිසුන්ගේ හදවතේ තැන්පත් නොවන එකයි අවාසනාව.

ඇමරිකා එක්සත් ජනපදයේ වර්ෂ 1966 සත්ව සුභ සාධක පණතක් සම්මත වුණා. ඊට අමතරව එහි සතුන්ගේ අයිතිවාසිකම් සඳහා වෙනත් නීතිමය ප්‍රතිපාදන වාගේම ඒවා ක්‍රියාත්මක කරන ආයතනත් බොහෝ ගණනක් තිබෙනවා. තම නිවසේ ඇති කරන සුනඛයාට අකාරුණික ලෙස සැළකීම සහ ඒ සතා නොතකා හැරීම පවා දඩයකට යටත්වන වරදක් ලෙසයි එහි නීතිය අනුව පැවසෙන්නේ.


මෙවැනි දේ අසන්නට දකින්නට ලැබෙන කොට බෞද්ධ රටක ඉන්න අපට අප ගැනම අනුකම්පාවක් හිතෙනවා. ඇත්තටම සතුන්ට ආදරෙන් සළකන ආකාරය, සතුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට ගත යුතු ක්‍රියාමාර්ග මුළින්ම අපේ රටෙන් නේද පටන් ගන්න ඕන? ශ්‍රී ලංකාවේ ඉන්න අපි නේද සබ්බේ තසන්ති දණ්ඩස්සකියන ධම්ම පද පාඨයෙන් පටන් ගන්න ගාථාවේ අර්ථය ලෝකය පුරා පතුරුවන්න ඕන? අපි නේද අපට වගේම සතුන්ටත් තමන්ගේ ජීවිත රැකගෙන නිදහසේ කල්ගෙවන්නට සුදුසු වටපිටාවක් නිර්මාණය කරලා ලෝකයටම ආදර්ශයක් වෙන්න ඕන? ඒත් සිද්ධවෙලා තියෙන්නේ අනෙක් පැත්ත. අපි වටිනා අවිහිංසාවාදී දර්ශනයක් ළඟ තියාගෙන සතුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න හැටි පිටරටවල්වලින් ඉගෙන ගන්න තත්වයට වැටිලා. අපට ඒ ගැන දේශන පවත්වන්න, වැඩමුළු පවත්වන්න මේ සම්බන්ධ අබෞද්ධ විදේශ විශේෂඥයින් අපේ රටට ගෙන්වීමට කාලය ඇවිත්. ඒ කෙසේ හෝ මිනිසුන්ට වගේම සතුන්ටත් මේ මිහිතලයේ ජීවත්වීමේ සම උරුමයක් ඇති බවට පැවසෙන බුද්ධ භාෂිතය මුල්කොට හෝ සත්ව හිමිකම් සහ අයිතිවාසිකම් පිළිබඳ නීති අණ පණත් ගෙනවුත් ඒවා ක්‍රියාත්මක වනතුරු මේ රට බෞද්ධ වන්නේ ලේබලයකින් විතරයි.

1 comment:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න