පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, May 7, 2014

ඉන්දිරා ගාන්ධිගේ යොවුන් පෙනුම රැගෙන ඉන්දීය ඡන්ද සටනට පිවිසි - ප්‍රියංකා ගාන්ධි - Priyanka Gandhi and Indian Election




මේ දිනවල ගෙවී යන්නේ ඉන්දීය මහ මැතිවරණයේ උණුසුම්ම අවසන් සති කිහිපයයි. ලෝකයේ ඡන්දය හිමි වැඩිම ජනගහනයක් හෙවත් මිලියන 814.5 ඇති ඉන්දියාවේ මෙතෙක් ඉහළතම වියදමක් එනම් ඇමරිකන් ඩොලර් මිලියන 577 ක මුදලක් දරන්නේ ද මෙම මහ මැතිවරණය උදෙසාය. මේ සඳහා පාලක ජාතික කොන්ග්‍රස් පක්ෂය, භාරතීය ජනතා පක්ෂය හා ආම් ආද්මි යන පක්ෂ තුන ප්‍රධාන වශයෙන් ඉදිරිපත් වේ. නමුත් තරගයක් පවතින්නේ රාහුල් ගාන්ධිගේ නායකත්වය යටතේ ඇති පාලක කොන්ග්‍රස් පක්ෂය හා නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය අතරය. මෑතක පැවැත්වූ විවිධ මැතිවරණවලදී ද පාලක ජාතික කොන්ග්‍රස් පක්ෂය ජයග්‍රහණය කළ ද මෙවර එම තත්වයේ පැහැදිලි වෙනසක් දක්නට ලැබේ. එන්ම භාරතීය ජනතා පක්ෂයට යම් යම් ප්‍රාන්තවලින් පෙර නොවූ විරූ ආකාරයේ ජනතා පිළිගැනීමක් ලැබෙමින් තිබීමය.  රාහුල් ගාන්ධිට සිය මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ඉහළ ආකර්ෂණයක්  ලබාගැනීමට නොහැකි වීම ද මෙයට එක්හේතුවක් බව පැවසෙයි. එබැවින් ජාතික කොන්ග්‍රස් පක්ෂ මැතිවරණ වේදිකාවට තවත් සුවිශේෂ චරිතයක් අවතීර්ණ වී තිබේ. ඒ රාහුල්ගේ  සොයුරිය වන ප්‍රියංකා ගාන්ධිය. මෙතෙක් දේශපාලනය හමුවේ නිහඬ චරිතයක් වූ ඇය මෙවර  මැතිවරණ සටනේ ප්‍රචාරක ව්‍යාපාරයට එක්වන්නට තීරණය කොට ඇත. ඇයගේ අරමුණ සැබැවින්ම  සිය සොහොයුරු රාහුල් ගාන්ධි දිනවීමද නැතහොත් අන් කිසිවක් ද යන්න දේශපාලන විචාරකයන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවටද ගැටලුවක් වී ඇත. 

ප්‍රියංකා සිය සැමියා සමග

1972 ජනවාරි 12 වැනිදා උපන් ප්‍රියංකා ගාන්ධි යනු ඉන්දීය දේශපාලනයේ ප්‍රබලතම පරපුරට අයත් කාන්තාවකි. 1997 පෙබරවාරි 18 වැනිදා කෝටිපති ව්‍යාපාරිකයකු වූ රොබර්ට් වද්‍රා සමග විවාහ දිවියට පත් ඇයට දරුවන් දෙදෙනෙක් සිටිති. ඇගේ පරපුරේ ඥාතීන් සියලු දෙනාම හින්දු ආගමිකයන් වුව ද ඇය අනුගමනය කරනුයේ බෞද්ධ දර්ශනය බව ප්‍රකට කරුණකි. ඇය ඒ පිළිබඳව මාධ්‍ය හමුවේද නොයෙක්වර පවසා ඇත. 

විවාහයෙන් පසුව ‛ප්‍රියංකා ගාන්ධි වද්‍රා’ යනුවෙන් හැඳින්වීමට ලක් වූ ඇය ක්‍රියාකාරී දේශපාලනයේ නොසිටිය ද තිරයෙන් පසුපස සිට බොහෝ දායකත්වයන් ලබාදුන් බව කවුරුත් දන්නා කරුණකි. නමුත් මෙවර ඇය ජනතාව අතරට යමින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිස තිබේ. රාහුල් වෙත තිබූ ජනතා ආකර්ෂණය තමා වෙත ළඟාකරගැනීමට  ඇය සමත්ව ඇති බැව් ද දේශපාලන විචාරක මතවලදී නිතර කියැවෙයි. ඇයට තිබූ බටහිර පෙනුම වෙනුවට දැන් ඇගෙන් දිස්වන්නේ ඇගේ මිත්තණිය වූ හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේ පෙනුමයි. සිය මව වන සෝනියා ගාන්ධි සතු බටහිර පෙනුම වෙනුවට ඉන්දිරා ගාන්ධිගේ තරුණ විය සිහිපත් කරවන පෙනුමක් අදවන විට ඇය සතුවීම විශේෂ කරුණකි. බැවින් ඇය යම් සැළසුමකට අනුව මෙවර මැතිවරණ කටයුතුවල යෙදෙන බැව් පෙනෙන්ට තිබේ. 


ප්‍රියංකා මෙයට පෙර සෑම අවස්ථාවකම සිය මව වූ සෝනියා ගාන්ධිට හා සොයුරු රාහුල් ගාන්ධිට සහයෝගය ලබාදුන්නේ ඔවුන්ගේ දේශපාලන ගමන ඉදිරියට ගෙනයාමේ චේතනාවෙන් වුව ද මෙවර ඇයගේ ක්‍රියාකලාපයේ අරමුණ එයට වඩා වෙනස් බැව් පෙනෙන්නට තිබේ. භාරතීය ජනතා පක්ෂය සිය මැතිවරණ ව්‍යාපාරයේ දී ප්‍රියාංකාගේ සැමියා වන රොබට් වද්‍රා නිතර විවේචනය කරන්නට පටන් ගෙන තිබේ. ඔහු හොර ජාවාරම්කරුවකු බවත්, ගාන්ධි පවුලේ සම්බන්ධතා ඉදිරියට දමමින් නොයෙක් ආකාරයේ වංචා දූෂණවල යෙදෙන සමාජ විරෝධියෙකු  බවත් ඔවුහු ප්‍රසිද්ධියේ චෝදනා කරති. තම පක්ෂය බලයට පත්වුවහොත් ඔහු අත්අඩංගුවට ගෙන නිසි දඬුවම් ලබාදෙන්නට කටයුතු සිදුකරන බව ද ඔවුන්ගේ දේශපාලන වේදිකාවේ නිතර ඇසේ. මෙම හේතූන් නිසා ප්‍රියංකා ගාන්ධි මෙවර ක්‍රියාකාරී දේශපාලනයට පිවිස ඇත්තේ පාලක කොන්ග්‍රස් පක්ෂය ජයග්‍රහණය තහවුරුකොට සිය සැමියා ආරක්ෂා කරගන්නට යැයි දේශපාලන විචාරකයෝ පවසති. 


ප්‍රියංකා ජනතාව අතරට යමින් ක්‍රියාකාරී දේශපාලනය ආරම්භ කිරීමත් සමඟ බොහෝ දෙනෙක් ඇය සහභාගී වන රැස්වීම් සඳහා පැමිණෙන්නේ ඇගේ දේශපාලන කතා ඇසීමට වඩා ඇය දැක බලාගැනීමටය. එබැවින් නිතර සියලු දෙනාටම හොඳින් දැකබලාගත හැකි අයුරින් සිටීමට ඇයට සිදුව තිබේ. රාහුල්ගේ කීර්තිය ඇය විසින් ඩැහැගෙන ඇති බැව් පැවසෙන්නේ එබැවිනි. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ඇය සිය සෑම කතාවකින්ම භාරතීය ජනතා පක්ෂයට, විශේෂයෙන් එහි නායක මෝඩි ට දරුණු වාග් ප්‍රහාර එල්ල කරන්නට පටන්ගෙන තිබේ. 

මෑතකදී ‛ඉන්ඩියා ටුඩේ’ වෙබ් අඩවියේ පළ වී තිබුණේ අපූරු වීඩියෝවකි. කෙළිලොල් ඇඳුමකින් සැරසුණු රොබර්ට් වද්‍රා මිල අධික යතුරු පැදියකින් ගමන් කරයි. පසුබිමින් කියැවෙන්නේ ඔහු දුප්පත් ගොවි ජනතාවට අයත් ඉඩම් වංචාවෙන් අත්පත් කොටගෙන ඇති බවය. භාරතීය ජනතා පක්ෂයෙන් එල්ලකරන මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන ප්‍රියංකා පවසන්නේ ඔවුන් මරණ බියන් තැතිගත් මීයන් සේ දඟළමින් සිටින බවය. 


භාරතීය ජනතා පක්ෂය සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේ රොබර්ට් වද්‍රා පසුපස මෙතරම් තදින් පැන්නුවේ නැත. ප්‍රියංකා ද නිතර ඔවුනට පෙරළා පහරදීමේ ප්‍රතිපලයක් ලෙස මෙම සටන දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් තිබේ. මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධානතම මාතෘකාව වී ඇත්තේ රොබ්ට් වද්‍රා ය. ප්‍රියංකා සිය සැමියාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්නට හැකි සෑම උත්සාහයක්ම ගත්ත ද මෙම ක්‍රියාකලාපය ඇගේ කලකිරීමට හේතු වී තිබේ. 

කෙසේ නමුත් භාරතීය ජනතා පක්ෂය සිය ග්‍රහණය ලිහිල්කොට නැත. ඔවුන් වද්‍රාව හඳුන්වනු ලබන්නේ ‛වේගයෙන් ධනවත් වීම’ සඳහා ආදර්ශයට ගත යුතු පුද්ගලයකු ලෙසය. ඔවුන් පවසන්නේ වසර ගණනාවක් තිස්සේ පිරිසිදුව තිබූ දේශපාලන පරපුරක් වද්‍රා නිසා කිළිටි වී ඇති බවය. ඔවුන් රොබට් වද්‍රාව හඳුන්වන්නේ ‛ගාන්ධි පවුගේ වසලයා’ ලෙසිනි. සෝනියා ගාන්ධිට හා රාහුල් ගාන්ධිට ඔවුන් පවසන්නේ සිය පරම්පරාව පිරිසුදු කරගන්නා ලෙසය. භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන අරුන් ජෙට්ලි පවසන්නේ රොබට් වද්‍රාගේ ක්‍රියාවන් සේම ප්‍රියංකා ගාන්ධි වද්‍රාගේ වාග් ශෛලිය ද ඇත්තේ ඉතා පහත් මට්ටමක බවයි. ඇය අනෙකුත් දේශපාලන පක්ෂ විවේචනය කරන ‛තුට්ටු දෙකේ ශෛලිය’ගාන්ධි පවුලට  කිසිසේත්ම නොගැළපෙන බවත්, එය මහත්මා දේශපාලනය පහත හෙළන්නක් බවද ඔහු පවසයි. 

මැදහත් දේශපාලන විචාරකයන් පවසන්නේ ප්‍රබල දේශපාලන ගමනක් යා හැකි ප්‍රියංකා ගාන්ධි වද්‍රා යම් හෙයකින් සිය සටන පරාජය වුවහොත් එය ඇගේ අනාගතයට බෙහෙවින් බලපාන ඇති බවය. එවිට රොබට් වද්‍රා ගාන්ධි පවුලේ විනාශයට හේතුවන පුද්ගලයා ලෙස නිසැක ලෙසම තහවුරු වන බවත්ය. එමෙන්ම භාරතීය ජනතා පක්ෂයට සිය විරුද්ධ මත දරන්නන්ට එරෙහිව පවසන්නට කිසිත් නොමැති හෙයින් මෙම සිදුවීම පමණක් ඉස්මතු කරමින් කතා කරන බවද මැදහත් දේශපාලන විචාරකයෝ පවසති. 

කෙසේ නමුත් සිය සැමියාගේ නිර්දෝෂී බව තහවුරුකරමින් මෙම මැතිවරණ සටන ජයග්‍රහණය දක්වා ගෙන යන්නට ඉන්දිරා ගාන්ධිගේ බාහිර පෙනුම ඇතිව දේශපාලන කරළියට පිවිසි ප්‍රියංකා ගාන්ධි වද්‍රා හට හැකියාවක් තිබේද? මෙම මැයි 16 වැනිදා එය මුළු ලොවටම දැනගත හැකිවනු ඇත. 



සම්බන්ධිත ලිපි
ඉන්දීය මැතිවරණය ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? 


1 comment:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න