පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, June 4, 2014

මෝදි රජයේ අධ්‍යපන ඇමතිනිය වූ මහගෙදර තුල්සි - Smriti Irani, from TV actress to India's HRD minister


ඉන්දීය මහ මැතිවරණය නිමාවට පත් වූ අතර භාරතීය ජනතා පක්ෂය පැහැදිලි ජයක් වාර්තා කළේය. ඉන්දියාවේ අගමැතිවරයා ලෙස නරේන්ද්‍ර මෝදි පසුගිය 26 වැනිදා දිව්රුම් දුන්නේය. වසර 10කට පසු කොංග්‍රස් පක්ෂය දැඩි පසුබෑමක් පෙන්නුම් කරමින් පරාජයට පත්විය. මේ මහ මැතිවරණය තුළින් අපට අතුරු කතා බොහොමයක් ඇසෙන්නට පටන් ගෙන තිබේ. මේ එක් කතාවක කතා නායිකාව පිළිබඳ අපි මීට පෙර දිනයක කතා කළෙමු. ඒ කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිට එරෙහි උත්තර් ප්‍රදේශ්හි අමෙති ඡන්ද කොට්ඨාශය වෙනුවෙන් වූ සටන සඳහා ඉදිරිපත් වූ ‛ස්ම්‍රිති සුබින් ඉරානි’ පිළිබඳවය. ඉරානි යනු අප රටේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ ‛මහගෙදර’ ටෙලි නාට්‍යයේ ඔබ කවුරුත් දන්නා හඳුනන ‛තුල්සි’ ය.  මෙම සටනේදී රාහුල් ගාන්ධි වැඩි ඡන්ද 107,000කින් ජයග්‍රහණය කළ අතර ඉරානි ඡන්ද සටනින පරාජයට පත් වූවාය. නමුත් මෙයට පෙර මැතිවරණයේදී රාහුල් ගාන්ධි ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 370,000කිනි. භාරතීය ජනතා පක්ෂය ඉරානි මෙම ඡන්ද කොට්ඨාශය වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබුයේ සැබවින්ම ඇයගේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් නොවේ. ඇගේ ජනප්‍රියත්වය ඔස්සේ රාහුල් ගාන්ධිට ලැබෙන්නට නියමිත ඡන්දවලින් කොටසක් කඩාදැමීමය. එම උපායට අනුව භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කොට ඇත. පරාජය වුවද මෝදි රජයේ මානව සම්පත් ඇමතිනිය බවට ඇය පත්කරනු ලැබුයේ රාහුල් ගාන්ධිගේ ඡන්ද අඩුකිරීමට ඇය දැක්වූ දායකත්වයට ගෞරවයක් වශයෙන් විය හැකිය. 1976 මාර්තු 2 වැනිදා උපන් ඉරානි 44 දෙනෙකුගේ සමන්විත මෝදි ගේ කැබිනට් මණ්ඩලයේ සිටින ලාබාලතමයා ද වන්නීය. 

මොස්තර නිරූපන ශිල්පිනියක සහ නිළියක ලෙස ජනප්‍රියත්වයට පත් වූ ඉරානිගේ දේශපාලන ජීවිතය ඇය කෙමෙන් කෙමෙන් ගොඩනගාත්තක් විනා ඇය හිටිහැටියේ කඩාපහත්වීමක් නොවේ. ඉරානි භාරතීය ජනතා පක්ෂය සමඟ එකවන්නේ 2003 වසරේදීය. 2004 පැවති 14 වැනි ලෝක් සභා මැතිවරණයේදී ඇය කපිල් සිබාල්ට එරෙහිව අසාර්ථක ඡන්ද සටනක නිරත වූවාය. ඇය 2004 වසරේදී මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ යොවුන් පෙරමුණෙහි උප සභාපතිනිය බවට පත්වූවාය. ඉරානි භාරතීය ජනතා පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විධායක සාමාජිකාවක ලෙස පස් වතාවක් යෝජනා වූ අතර එහි ජාතික ලේකම්වරිය ලෙස ද පත්වූවාය. 2004 වසරේ දී ඇය එවකට ගුජරාත් ප්‍රාන්තයේ ප්‍රධාන ඇමති වූ, වර්තමාන අගමැති නරේන්ද්‍ර මෝදිට එරෙහිම මාරාන්තික උපවාසයක් කරන බවට තර්ජනය කළාය. ඒ භාරතීය ජනතා පක්ෂයේ පරජයට හේතුව මෝදි යැයි චෝදනා කරමිනි. පසුව තමා කළේ වරදක් යැයි පිළිගත් බැවින් පක්ෂය ඇයට එරෙහිව විනය කටයුතු කිරීමෙන් වැළකී සිටියේය. ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම ලබාදිය යුතු යැයි ඇය දේශපාලන වේදිකාවේ හඬක් නැගුවාය. 2011 වසරේදී ඇය ගුජ්රාත් ප්‍රාන්තය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයික ලෙස දිවුරුම් දුන්නාය. ඇය 2014 වසරේ උත්තර් ප්‍රදේශ්හි අමෙති ඡන්ද කොට්ඨාශයෙන් රාහුල් ගාන්ධිට එරෙහිව ඡන්ද සටනට ඉදිරිපත් කෙරෙන්නේ මෙසේ පැමිණි දේශපාලන ගමනෙහි ප්‍රතිපලයක් ලෙසිනි. 

මානව සම්පත් ඇමතිනිය ලෙස ඉන්දියාවේ අධ්‍යපන අමාත්‍යාංශය අයත්වන්නේ ද ඇයගේ විෂය පථයටය. විරුද්ධ පාක්ෂිකයකු වන අජේ මාකින් විවේචනයට ලක්කරන්නේ මෙයයි. ඔහු ඉරානිගේ අධ්‍යපන සුදුසුකම් පිළිබඳ ප්‍රශ්න කරයි. 

මෝදිගේ කැබිනට් මණ්ඩලය තමයි ලොකුම විහිළුව. දැන් බලන්න අධ්‍යපනය ගැන හොයා බලන්න ඉන්න මානව සම්පත් ඇමතිනී ඉරානි දිහා. එයාට අඩු ගණනේ උපාධියක්වත් තියෙනවද?” 

මෙයට භාරතීය ජනතා පක්ෂයෙන් මෙසේ ප්‍රතිචාර දක්වා ඇත. 

“මේ වගේ කතා විපක්ෂයෙන් ඇසෙන එක් හරිම අවාසනාවක්. එයා කියන විදියට එහෙමනම් සිවිල් ගුවන් අමත්‍යාංශයේ ඇමති ගුවන් නියමුවෙක්ම වෙන්න ඕන.” 

කෙසේ වුවත් ඉරානි කාන්තාවක ලෙස සාර්ථක්වයකට පත්ව තිබේ. ඇගේ ජීවිතය යනු රංගනය හා මෝස්තර නිරූපනය පමණක් නොවන බැව් ඇය අවබෝධකොට ගෙන ඇති අතර ඇය අනෙක් කාන්තාවන්ට ලබාදෙන පණිවිඩය ද එයයි. 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න