පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, June 11, 2014

පුවත්පත් මංගල දැන්වීමක් නිසා කනකර සමග ආත්මය ද අහිමි කරගන්නා තරුණියෝ -Abusing of Marriage Proposals



මිනිසුන් වන අපි සාමාන්‍යයෙන් හුදෙකලාව ජීවත්වීමට ප්‍රිය කරන්නන් නොවෙමු. ඥාති , මිතුරු සම්බන්ධතා අප පවත්වාගෙන යන්නේ එබැවිනි. එමෙන්ම සියලු දෙනාම පාහේ සිය ජීවිතයට සහකරුවකු හෝ සහකාරියක බලාපොරොත්තු වෙති. නමුත් එවැන්නන් සොයැගනීමේදී බොහෝ දෙනා වංචාවන්ට හසුවීම, අනුවණකම් කිරීම වර්තමානයේ දැකිය හැකි සුලභ දෙයකි. එයට වයස් භේදයක් නැත. මෙවැනි අනුවණකම් පුවත්පත්වලින් නිතර දෙවේලේ අසන්නට ලැබේ. එවැනි කතාවක් මෑතකදීම ඇසෙන්නේ දික්ඔය ප්‍රදේශයෙනි.

ඇය 37 හැවිරිදි දෙමළ කාන්තාවකි. හැටන් ප්‍රදේශයේ දෙමළ පාසලක ලිපිකාරිනියක වශයෙන් සේවය කළාය. විවාහ විය යුතු වයස ද ඉක්මවමින් සිටිය ද ඇයගේ ජීවිතයට සහකරුවකු සිටියේ නැත. සහකරුවකු නොසිටීම නිසා ඇතිවුණු ලතැවිල්ල ඇයව නිතර පීඩාවට පත්කළේය. සාමාන්‍යයෙන් වෙනත් තරුණියන් තරුණයන් සමඟ හිතවත්කම් ගොඩ නගාගෙන ප්‍රේම සම්බන්ධතා ඇති කරගත්ත ද ඇයට එවැනි අවස්ථාවක් හෝ නොලැබුණි. එවැනි අවස්ථාවලදී බොහෝ දෙනෙකු සිදුකරන්නා සේ ඇය ද පුවත්පතක මංගල යෝජනා දැන්වීමක් පළකරන්නට තීරණය කළාය.  සිය දුරකතන අංකය ද එහි සඳහන් කළාය. ඔහු ඇයට ඇමතුමක් ලබාදෙන්නේ මේ අතරතුරේදීය. ඇය ඔහු සමඟ බොහෝ තොරතුරු දුරකතනයෙන් කතාබහ කළාය. තමා බලාපොරොත්තුවන්නේද මේ ආකාරයේ පුද්ගලයකු යැයි ඇයට සිතෙන්නට විය. මෙසේ ආරම්භ වූ මිතුදම අවසානයේ ප්‍රේම සම්බන්ධයක් දක්වා ලියලා වැඩුණි. අවසානයේ ඔහු පැවසූයේ ඇයව විවාහකරගන්නට අවශ්‍ය බවය. ජීවිතයට සහකරුවකු නොමැතිව ගෙවුණු කාලය අවසන් යැයි ඇයට හැඟුණි. ඇය ඒ පිළිබඳව සිටියේ සතුටිනි. ඒ සතුටට එහා කිසිවක් ඇය දුටුවේ නැත. එවැන්නක් සිතන්නට හෝ ඇයට ඕනෑ කළේ නැත.



දිනක් ඔහු ඇයට මෙවැනි යෝජනාවක් කළේය.

අපි හැමදාම මෙහෙම ෆෝන් එකෙන් කතා කරනවා  විතරයි. දවසක් අපි මුණගැහිලා නිදහස් තැනකට ගිහින් දවසක එතැන ඉඳළා එමු. යනුවෙන් ඔහු පැවසූයේය. ඔවුනගේ සම්බන්ධයට මේ වන විට ගතව තිබුණේ දින දහයක් වැනි කාලයක් වුව ද ඔහුගේ මේ යෝජනාව ඉවත හෙළන්නට ඇගේ සිත ඉඩදුන්නේ නැත. කෙසේ හෝ සොයාගත් සහකරු තමා වෙතම රඳවාගැනීමට උත්සාහ කරනු විනා අන්කිසිවක් කරන්නට ඇයට අවශ්‍ය වූයේ නැත.

ඔයා එදාට එනකොට ලස්සනට එන්න ඕන හොඳද? ලස්සන ඇඳුමක් ඇඳළා මාල වළලු එහෙම දාගෙන එන්න. බලන්නත් ආසයිනේ එතකොට.ඇගේ අනාගත සහකරු එසේ පැවසූයේය.

පසුගිය මැයි 31 වැනිදා ඇය ඔහු හමුවන්නට ගියාය. ඇය මෙවැනි ගමනක් යන බැව් ඇගේ දෙමාපියන් හෝ දැන සිටියේ නැත. පළමු හමුවෙන්ම ඔහු පිළිබඳ ඇගේ සිතේ හැඟීම් තවත් මෝදුවන්නට විය. ඔවුහු හැටන් නගරයේ අවන්හළකට ගොස් සිසිල් බීම බොමින් පෙම්බස් දොඩන්නට පටන් ගත්හ.

මෙතන ඉන්න බෑ. අපි නිදහස් තැනකට යමුද?”

ඔහු ඇයගෙන් එසේ ඇසූ අතර ඇය එයට කැමති වූවාය. ඇයව ත්‍රී රෝද රථයකට නංවාගත් ඔහු කෙළින්ම ගියේ මෙම ප්‍රදේශයේ පිහිටි ගෝර්ති නම් වතු යායටය. එහි තිබූ එක් පාළු ස්ථානයක් ඔවුනගේ ආදර ලෝකයට කදිම තැනක් පිළියෙළ කොට දුන්නේය.

මෙතන හොඳයි. අපට සැනසිල්ලේ ඉන්න පුලුවන්. ඔහු පැවසූයේය. තමාව විවිාහ කරගන්නා බවට පොරොන්දු වී ඇති ඔහු පිළිබඳව ඇයට තුන්හිතකින් හෝ සැකයක් පහළ කරගන්නට අවශ්‍යතාවයක් තිබුණේ නැත.

මම බීම එකක් ගෙනාවා. යැයි පැවසූ ඔහු එය ඇයට පානය කරන්නට දුන්නේය. ඇය එය පානය කළාය. ඇයට මතක එපමණකි.

සෑහෙන වේලාවකට පසු ඇයට පියිවි සිහිය එළැඹිණි. තමාගේ අතපය ගැටගසා ඇති බව ඇඅයට අවබෝධ විය. ශරීරයේ යම් අපහසු තතවයක් ඇති බව ඇයට දැනුණි. ඔහු තමාට අතවරයක් කොට ඇති බව ඇයට අවබෝධ වූයේ එවිටය. ඇගේ කණ, කර, අත රන් අභරණ කිසිවක් නොමැති බැව් ඇය දුටුවාය. ඇයට දෙලොව රත්විය. ඇයට සියල්ල අහිමිව තිබිණි.

කෙසේ හෝ බැමි ළෙහා ගත් ඇය වතු යායෙන් පිටතට පැමිණෙන විට දුටු නිවෙසකට ගොස් සියල්ල පැවසූවාය. ඒ වන විට රාත්‍රී 11ට පමණ වන්නට ඇත. නිවැසියන් මේ බව නෝර්වුඩ් පොලිසියට දැනුම් දුන් අතර එතැනට පැමිණි පොලිස් නිලධාරීහු ඇයව දික්ඔය රෝහලට ඇතුළත් කළහ. මේ අපූරු සහකාරු හඳුනාගත් ආකාරය පොලීසිය ඇය පොලීසිය හමුවේ හෙළි කළේ ඒ අවස්ථාවේදීය.

පොලීසිය එම මොහොතේම අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කිරීමට පියවර ගත්තේය. මේ අනුව අදාළ අපරාධකරුට වැඩි දවසක් පොලීසියෙන් සැඟව සිටීමට හැකියාවක් ලැබුණේ නැත. ඒ අනුව පසුගිය ජුනි 4 වැනිදා ඔහු පොලිස් අත්අඩංගුවට පත් විය.

පොලීසිය විසින් සොයාගනු ලැබූ කරුණුවලට අනුව මෙය මොහුගේ පළමු කොල්ලකෑම නොවේ. මංගල යෝජනා දැන්වීම්වලට ප්‍රතිචාර දක්වා අදාළ කාන්තාවන් දූෂණය කොට ඔවුන්ගේ රන් ආභරණ කොල්ලකෑම ඔහු කාලයක සිට සිදුකරනු ලබන්නකි. නුවරඑළියේ පදිංචි 31 හැවිරිදි මෙම පුද්ගලයා දෙමළ ජාතිකයකු වන අතර දෙදරු පියකු ද වන්නේය. ඔහු මෙයට පෙර කළ මෙවැනි ස්ත්‍රී දූෂණ හා කොල්ලකෑම් සම්බන්ධයෙන් නුවරඑළිය අධිකරණයේ නඩු ගණනාවක් විභාගවෙමින් පවතින බව ද පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ. ඔහුට මෙවැනි කාර්යය් සඳහා සහාය වීම සඳහා තවත් කිහිප දෙනෙකු සිටින බවද පොලීසියේ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවිය.

මෙය පුවත්පත්වල පළවන මංගල යෝජනා දැන්වීම් උපයෝගී කරගනිමින් සිදු කළ පළමු අපරාධය මෙය නොවේ. මෙවැනි සිදුවීම් අපට මාධ්‍ය ඔස්සේ නිතර අස්සනට ලැබේ. දැනට කලකට පෙර දැනගන්නට ලැබුණු එක් සිදුවීමකට අනුව මෙංගල යෝජනා පළකරන කාන්තාවන් මුළාකොට ඔවුන් සතු දෑ කොල්ල කා ඇත්තේ විවාහක යුවලකි. පුවත්පත්වල මෙවැනි දැන්වීම පළවූ විට ඔවුහු වටිනා දෑවැද්දක් සහිත ඒවා පමණක් තෝරා ගත්හ. ඒවාට පිළිතුරු ලියා සියලු කටයුතු සූදානම්කොට ඇත්තේ බිරිඳයි. මනාළයා ලෙස ඉදිරිපත් වී ඇත්තේ ඇගේම සැමියාය. වැඩිහිටියන් ලෙසට රඟපෑමේ යෙදෙන්නට ද ඔවුනට කිහිප දෙනෙකු සිට ඇත. ඔවුන් මෙම සිදුවීමේදී මෙන් අතරමගදී කොල්ල කෑවේ නැත. මෙහිදී විවාහ මංගල්‍ය උත්සවය ද පැවැත්වෙන අතර මධුසමය පවා ගතකරයි. මේ අතරේ කෙසේ හෝ මුළු දෑවැද්දම සැමියාගේ නමට හරවන්නට කටයුතු කෙරී ඇත. සියල්ල නිම වූ පසු මනාළයා ආගිය අතක් නැති අයකු බවට පත්වෙයි. මෙසේ අවස්ථා කිහිපයකදීම කාන්තාවන් මුළා කළ මොවුහු අවසානයේ නීතියේ ගහැනට කොටු විය.

මෙවැනි සිදුවීම්වලට බහුලව ලක්වන්නේ කාන්තාවන් වුව ද පිරිමි පක්ෂය ද මේවාට හසු වූ අවස්ථා නැතිවාම නොවේ. පිරිමින් පළකරන දැන්වීම්වලට එවැනි එක් අවස්ථාවකපිළිතුරු සපයා තිබුණේ කාන්තාවකි. මෙම මිත්‍රත්වය තරමක් කල්ගත වූ පසු අදාළ පුද්ගලයා හමුවන්නට ඇය දිනයක් නියම කරගනී. ඇය කලින් සැළසුම් කළ ස්ථානයක්ට ඔහුව ගෙන යන අතර එහිදී ඇගේ සහචර පිරිස මේ පිරිමි පුද්ගලයාව කොල්ල කයි. මෙවැනි සිදුවීම් ද නිතර අසන්නට ලැබේ.

මංගළ යෝජනාවක් සඳහා දැන්වීමක් පුවත්පතක පළ කරන්නට යමෙකුට හේතු කිහිපයක්ම තිබිය හැකිය. සිය දෙමාපියන්ගේ කැමැත්තට ඇනුව විවාහ වන්නට කැමති පිරිස් තම සහකරු හෝ සහකාරිය සොයාදීමේ වගකීම ඔවුනටම පවරයි. මඟුල් කපුවන්ගෙන් පිළිසරණක් නොමැති ව විට වැඩිහිටියන්ගේ අවධානය යොමුවන්නේ පුවත්පතක දැන්වීමක් පළකිරීමය. ඇතැම් අවස්ථාවලදී විවාහවන වයස ඉක්මවා ගිය දරුවන් ඇති දෙමාපියන් ද ඔවුන්ගේ කලදවස පිළිබඳ සිතා යහපත් සහකරුවකු හෝ සහකාරියක සොයාගැනීමට මෙවැනි දැන්වීම් පළකරති. කලවයස ඉක්මවමින් යනවිට දිය යුතු දෑවැද්ද ද ඉහළ දමනු පෙනෙන්නට ඇති කරුණකි. ඇතැම් පුවත්පත් ඔවුන් පළකළ දැන්වීම් නිසා යුගදිවියට පත් අයගේ ඡායාරූප පවා පළ කරන බැවින් බොහෝ දෙනෙකු තුළ මේ පිළිබඳ විශ්වාසයක ඇත. සැබැවින්ම තම අනාගත සහකරු හෝ සහකතාරිය සොයාගන්නට බොහෝ කාලයක පටන් පුවත්පත් දැන්වීම් මගින් මහඟු මෙහෙවරක් සිදුවිය. සමාජය මුදල් මත පමණක් රඳාපවතින්නට පටන්ගැනීමත් සමඟ විවිධ අය මුදල් ඉපැයීම සඳහා විවිධ ක්‍රම පසුපස ගියහ. පුවත්පත් මංගල යෝජනා මේ සඳහා ධන නිධානයක් කරගතහැකි බැව් එවැනි පුද්ගලයන්ට වැටහිණි. විශේෂයෙන් කලවයස ඉක්මවූ, ඉහළ දෑවැද්දක් දෙන්නේ යැයි සඳහන් කොට ඇති දැන්වීම් මෙවැනි පුද්ගලයන්ට කදිම ධනනිධානයන්ය.

මුල්සමයේ බොහෝ විට මෙවැනි දැන්වීම් සඳහා වැඩිහිටියන් මැදිහත් වුවද වර්තමානයේ සහකරුවකු හෝ සහකාරියක සොයන පුද්ගලයන්ම මේ සඳහා දැන්වීම පළකරනු බොහෝ විට දක්නට ලැබේ. එවිට එවැනි පුද්ගලයන්ව මුළාකිරීම පහසුය. මෙවැනි යෝජනාවලින් ලැබෙන ප්‍රතිචාරවලට තනිවම පිළිතුරු සපයන මොවුන් ඒ පිළිබඳ බොහෝ විට කිසිවකු දැනුවත් කරන්නේ ද නැත. නමුත් පහත සඳහන් ආකාරයේ දැන්වීම්වලට ප්‍රතිචාර දක්වන්නට මෙවැනි වංචා සහගත පිරිස් තරමක් පසුබට වෙති.

පවුලේ එකම දියණියට සිදුසු සහකරුවකු දෙමාපියෝ සොයති.

මෙවැනි දැන්වීම් සඳහා වැඩිහිටින් මැදිහත්වන බැවින් අදාළ කාන්තාව සමඟ සෘජු සම්බන්ධයක් ගොඩනගාගැනීම දුෂ්කරය. සියලු දේ සිදුවන්නේ වැඩිහිටියන් ඔස්සේය. එවැනි මංගල දැන්වීම් ආරක්ෂාකාරී යැයි පැවසෙන්නේ එබැවිනි. අනෙක තමාට සහකරුවකු හෝ සහකාරියක සොයාගැනීම පිණිස යමෙක් පෞද්ගලිකව හෝ මෙවැනි දැන්වීම් පළකරන්නේ නම් මතක තබාගත යුතු විශේෂම කරුණක් නම් මෙවැනි දැන්වීම්වලින් අයුතු ප්‍රයෝජනගැනීමට බලා සිටිනා පිරිස් ඕනෑ තරම් ඉන්නා බවය. එබැවින් තමා කරන සියලු දේ දෙමාපියන්, වැඩිහිටියන්, මිතුරන් දැනුවත් කිරීම වඩා ආරක්ෂාකාරීය. හමුවීමට හොඳම ස්ථානය අතරමග නොව නිවසය. පවතින යථාර්ථය තේරුම්ගත හැකි නම් ඔබ කිසිවකුට වංචාවකට හසු නොවී මෙම මංගල යෝජනා දැන්වීම්වලින් නියම පල නෙළාගත හැකිය.



2 comments:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න