පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, June 8, 2014

ලොව සුප්‍රකට පුද්ගලයන් සැනසිල්ල ළඟාකරගත් බෞද්ධ භාවනා ක්‍රමය - Buddhist Meditation and World Famous People

භාවනාව යනු බොහෝ ආගම්වල ඉගැන්වෙන්නකි. එසේ වුවද ඒ කිසිදු ආගමකින් මේ පිළිබඳ නිශ්චිත පැහැදිලි කිරීමක් කොට නොමැති බැව් පෙනේ. ආගමික ශාස්තෘවරුන් යම් යම් අවස්ථාවලදී භාවනාවෝගීය සිටි බැව් විවිධ ආගමික ග්‍රන්ථවල සඳහන වුව ද, එය සිදු කළේ කුමන ආකාරයෙන් ද, ඒ සඳහා පිළිපැදිය යුතු උපදෙස් මොනවාද වැනි දේ ඒ කිසිවක පැහැදිලව අඩංගු නොවේ. නමුත් බෞද්ධ දර්ශනයේ සඳහන් වන භාවනාව එසේ නොවේ. එහි භාවනාව යන්න නිශ්චිත අයුරින්, යම් ක්‍රමවත් පිළිවෙලකට විස්තරකොට තිබේ. විවිධ ආගම් ස්වකීය භාවනා ක්‍රම පවත්වාගෙන යන්නේ මුත්, ලෝකයේ බොහෝ දෙනෙක් නිවැරදි භාවනාව අනුගමනය කිරීම සඳහා බෞද්ධ දර්ශනයේ පිහිට පතාගෙන එන බැව් මෑත ඉතිහාසයේ පැහැදිලිව දක්නට තිබූ දෙයකි. මේ නිසාම බෞද්ධ භාවනා ක්‍රමය ලෝකයේ විවිධ රටවල ශීඝ්‍ර ලෙස පැතිර යන්නට විය. මේ ආකාරයට බෞද්ධ භාවනා ක්‍රමය බොහෝ දෙනෙක් අතර පැතිර යන්නට තවත් හේතුවක් වූයේ ආගමික පදනමකින් තොරව මෙය අනුගමනය කරන්නට හැකියාවක් තිබීම නිසාය. 

ලෝකයේ බොහෝ රටවල ථේරවාදී මෙන්ම මහායාන සම්ප්‍රදායන්ට අයත් භාවනා මධ්‍යස්ථාන දක්නට ලැබේ. ජීවිතයේ විවිධ දුක් කරදර, මානසික පීඩා ඇති බොහෝ දෙනෙක් බෞද්ධ භාවනාව තුළින් සැබෑ සහනයක් අත්කොටගෙන ඇති බව පැහැදිලව පෙනෙන්නට ඇති දෙයකි. භාවනාව නිවැරදිව වැඩීමේදී සිත සන්සුන් කරන්නට හේතුවන හෝමෝනයක් නිකුත්වන බව ද සොයාගෙන ඇත. 

ලෝකයේ සුප්‍රකට පුද්ගලයන් බොහෝ දෙනෙක් බෞද්ධ භාවනා ක්‍රමය තුළින් සැබෑ සහනයක් ළඟාකරගෙන ඇති බැව් විවිධ පුවත්වලින් අසන්නට ලැබේ. මෙය ද  බෞද්ධ භාවනා ක්‍රමය ලෝකයේ වේගයෙන් පැතිර යන්නටත්, මානසික සුවය පතා එම භාවනා ක්‍රමය අනුගමනය කරන්නටත් බොහෝ දෙනෙකු තුළ නැඹුරුවක් ඇති වන්නට තවත් එක් හේතුවක් වී තිබේ. 

මෑතකදී මියගිය ඇපල් පරිගණක සමාගමේ සිටි ප්‍රධාන නිලධාරියා වූ ස්ටීව් ජොබ්ස් බුදු දහම සහ බෞද්ධ භාවනා ක්‍රමය ඔස්සේ ජීවිතය පිළිබඳ අලුතින් සිතන්නට පටන් ගත බව ප්‍රවෘත්තියක් ලෙස ලෝකයේ පැතිර ගියේය. ඔහු ඒ පිළිබදව මෙසේ පවසා තිබිණි. 


ඔබ ටිකක් නතර වෙලා නිවිසැනසිල්ලේ බැලුවොත් පෙනේවි ඔබේ හිත කොයි තරම් නම් කලබලද කියලා. ඔබ ඒ සිත සන්සුන් කරගන්න උත්සාහ කළොත් ඒක කොයි තරම් නම් අමාරුද කියලා හිතෙයි. ඒත් ටික දවසක් උත්සාහ කරන කොට හිත සන්සුන් වෙන බව ඔබට දැනෙන්න පටන් ගනීවි. ලෝකයේ අපට නොඇසුණු,  නොදැනුණු බොහෝ සියුම් දේ ඇති බව ඔබට සිතේවි. දැන් ඔබට ඔබේ ජීවිතය වගේම ලෝකයත් වෙනදාටත් වඩා පැහැදිලිව දකින්න පුළුවන කියලා දැනේවි. මේක ඇත්තටම හිත හික්මවා ගැනීමක්. මෙය ඔබ විසින් අත්හදා බැලීමෙන් පමණයි අවබෝධ කරගත හැක්කේ.” 

මේ ප්‍රකාශය ඇත්තේ ස්ටීව් ජොබ්ස්ගේ ජීවිත කතාවේ ය. බෞද්ධ දර්ශනය හා භාවනා ක්‍රමය ඔස්සේ ජීවිතය අලුතින් ආරම්භ කළ ඔහු ඇපල් සමාගමේ නව නිර්මාණ රැසකටම දායක වූයේය. මේ සමඟ ලෝකයේ බොහෝ දෙනෙක් බෞද්ධ භාවනා ක්‍රමය පිළිබඳ පෙර නොවූ විරූ අයුරින් සිය අවධානය යොමු කරන්නට පටන් ගත්හ. 

ලෝකයේ අංක එකේ ගොල්ෆ් ක්‍රීඩකයා ලෙස තවමත් කිරුළු පැළැඳ සිටින්නේ ටයිගර් වුඩ්ස් ය. ඔහුද බෞද්ධ භාවනා ක්‍රමය ජීවිතයේ පුරුද්දක් බවට පත් කරගත් අයෙකි. බොහෝ දෙනෙකු නොදන්නා කරුණක් වුව ද ඔහු උපතේ සිටම බෞද්ධ ආභාෂයෙන් හැඳුණු වැඩුණු අයෙකි. නමුත් ඔහු ඒ පිළිබඳව දැඩිව සිතන්නට පටන්ගෙන ඇත්තේ ගොල්ෆ් ක්‍රීඩාවෙන් ලෝක පූජිත වීමෙන් ද අනතුරුවය. 



බෞද්ධ භාවනා ක්‍රමය තුළින් මට මගේ ආධ්‍යාත්මික ජීවිතය, පවුල් ජීවිතය වගේම, වෘත්තීයමය ජීවිතයත් නිවැරදිව හැඩ ගස්වාගන්නට පුලුවන් වුණා.” 

කුඩා වියේදීද සිය මව සමඟ බෞද්ධ විහාරස්ථානයට යාමේ පුරුද්දක් ඇතිව සිටි ටයිගර් වුඩ්ස් භාවනා ක්‍රමයට සිය සිත යොමු කරවීමේ ගෞරවය හිමිකරදෙන්නේ ද සිය මවටය. 

ලෝකයේ අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත්වූ ඇමරිකානු නායකයන් අතර බිල් කිල්ටන් ද අයෙකි. ඔහු බොහෝ කටකතාවන්ද  මෙන්ම චෝදනාවන්ට ද ලක් වූ අයෙකි. ජීවිතයේ බොහෝ හැළහැප්පීම් මධ්‍යසේ සිටි ඔහු ද සිය ජීවිතය නව මාවතකට යොමුකරවාගන්නට පිහිට ලබාගත්තේ බෞද්ධ භාවනා ක්‍රමයයි. 


මම මටම ආවේණික මන්ත්‍රයක් මුමුණමින් තමයි භාවනා කරන්නේ. එයින් මට ඕනෑම දෙයකට මුහුණ දිය හැකි ආකාරයේ ශක්තියක් ලබාදෙනවා. බෞද්ධ භාවනා ක්‍රමය අනුගමනය කරන්නට පටන්ගත් පසු මම එළවලු හා පලතුරු ආහාරවලට වැඩි වශයෙන් යොමුවුණා. මාංශ ආහාරයට ගන්නේ ඉතා කලාතුරකින්.” 

මෙහි සඳහන් කළ පුද්ගලයන්ට අමතරව ලෝක පොප් රැජිනක් වන ටීනා ටර්නර්, හොලිවුඩ් නළුවන් වන ස්ටීවන් සීගල්, රිචර්ඩ් ගියර්, ලියොනාර්ඩ් කොහෙන් වැනි පුද්ගලයන් ද බෞද්ධ දර්ශනය හා භාවනා ක්‍රම අනුගමනය කිරීමෙන් සිය ජීවිත වෙනස් මගකට ගත්තෝ වෙති. බෞද්ධ භාවනා ක්‍රමය නිහඬ, එනමුත් ප්‍රබල ලෙස මිනිසුන් වැළැඳගන්නා බව පැවසෙන්නේ එබැවිනි. 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න