පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, June 27, 2014

සාක්ෂි මෙතරම් තිබියදීත් තවමත් විසඳී නැති ගම්පොළ නදීෂාගේ ඝාතන අභිරහස - Unsolved Murder case of Gampola Nadeesha



දිනපතා පුවත්පතක් ගෙන බැලුවහොත් ඒවායේ ඇති ප්‍රවෘත්ති අතර අපරාධයන් සමබන්ධ ඒවා ද කිහිපයක්ම වෙයි. මේවා අතුරින් ස්ත්‍රී ඝාතන පිළිබඳ ප්‍රවෘත්ති අපට නිතර අසන්නට ලැබේ. ඇල්පිටියේ සරසවි සිසුවියගේ ඝාතනය, මාතලේ වරාපිටියේ උපාධිධාරිනියගේ ඝාතනය, අනියම් ඇසුරක් නිසා ගම්පොළදී සිදුවූ ස්ත්‍රී ඝාතනය අපට මෑතකදී අසන්නට ලැබුණු මෙවැනි අපරාධ කිහිපයක් ලෙස සඳහන් කළ හැකිය. මේ අතුරින් පසුගිය මැයි 25 වැනිදා සිදුවූ මාතලේ වරාපිටියේ උපාධිධාරිනියක වන ලලනි නදීෂා වරාපිටිය නම් තරුණියගේ ඝාතනය සෙසු ඒවාට වඩා ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව තිබේ.

ස්ත්‍රී ඝාතන අපරාධ සම්බන්ධව සැළකිලිමත්වීමේදී අපට පැහැදිලිව දකින්නට ලැබෙන කාරණා කිහිපයක් ම වේ.  මෙයින් එකක් වන්නේ ඝාතනය වන අවස්ථාවේ ඇය සිටි පසුබිමයි. මෙවැනි බොහෝ අවස්ථාවලදී ස්ත්‍රීන් පසු වී ඇත්තේ අනාරක්ෂිත වටපිටාවකය. නමුත් නදීෂාගේ ඝාතනය පිළිබඳ සළකා බැලීමේදී මෙම තත්වය ඊට හාත්පසින්ම වෙනස් බැව් පැහැදිලිවම දක්නට ලැබේ. කුමනාකාරයෙන් සළකා බැලුව ද ඇය ඝාතනය වන්නේ සියලු ආකාරයෙන්ම ආරක්ෂිත පසුබිමකය. ඒවා අපට මෙසේ පෙළගැස්විය හැකිය.

1. ඝාතනයට පෙරදා, එනම් මැයි 24 වැනිදා ඇය සිටින්නේ සිය නිවසේ, කාමරයේ සිය මව සමගිනි.
2. මව නිදා සිටින්නේ අයට යාබද යහනේය.
3. නිවසේ සිටින්නේ ඇයත් මවත් පමණක් නොවේ.
3. නිවසේ සාලයේ ඇගේ වැඩිමල් සොයුරකු සහ ඔහුගේ මිතුරකු නිදාගෙන සිටියි.
4. සාලයේ නිදා සිටි සොයුරාගේ බිරිඳ සහ දරුවා ස්තෝප්පු කාමරයේ නිදාගෙන සිටියි.
5. මැයි 24 වැනිදා නදීෂාගේ නිවස හෙවත් වරාපිටිය වලව්වේ විවාහ මංගල්‍යයක් පැවැත්වූ දිනයක් වූ අතර, විවාහ වූ නව යුවල ද තවත් කාමරයක නිදා සිටියි. එදින විවාහ වූයේ ඇගේ වැඩිමහල් සොයුරා ය.
6. නදීෂාගේ ලොකු අම්මා ද මෙදින නිවසේ සිටි බව කියවෙතත් ඇය නිදා සිටායේ කොහි දැයි පැහැදිලි නැත.

මේ අනුව ඇය අභිරහස් ලෙස ඝාතනයට ලක්වන්නේ තමාගේ සමීපතම පුද්ගලයන් අටදෙනෙකු සිටින නිවසක් තුළය. මේ ලිපිය ලියන මොහොතවන විට එක් ප්‍රවෘත්තියකින් පැවසුනේ මෙම ඝාතන සිදුවීම සම්බන්ධව එක් සොයුරකුගෙන් පොලීසිය ප්‍රශ්න කොට ඇති බවය. නමුත් ඝාතකයා තවමත් හඳුනාගෙන නැත. මෙම ඝාතනය සම්බන්ධව සොයා බැලීමේදී මෙය සැළසුම් කළ ආකාරය පිළබඳව ද කරුණු කිහිපයක්ම සළකාබැලිය හැකිය.

1. මෙම ඝාතනය සඳහා ඉහත සඳහන් පිරිසට අමතරව පිටතින් යම්කිසි පුද්ගලයකු පැමිණියේද?

ලැබී ඇති සක්ෂාවලට අනුව එදින විවාහ වූ වැඩිමහල් සොයුරා පවසන්නේ රාත්‍රී 10.50 ට පමණ නිවසේ දොරගුලු දැමූ බවය. මෙම වළව්ව පැරණි බැවින් ඇතැම් ස්ථානවල ජනෙල් අබලන් තත්වයේ ඇති බැව් දැනගන්නට ලැබේ. එවැනි ස්ථානයකින් යම්කිසි පිටස්තර පුද්ගලයකුට පහසුවෙන්ම වළව්වට ඇතුළුවීමේ හැකියාව තිබේ.

2. මෙය පූර්ව සැළසුමකට අනුව කළ සැළසුම් සහගත කාරණයක්ද

මෙවැන්නක් පිළිබඳ සැක පහළ වන්නේ මෙය සිදුකොට ඇති සුක්ෂම ආකාරය නිසාය. ඝාතකයා, තමා හඳුනාගැනීමට ඇති සියලු සාධක හැකිතාක් අවම කෙට ඇති බැව් පෙනෙන්ට තිබේ. මෙවැන්නක් කළ හැකිකේ බොහෝ විට අපරාධ පිළිබඳව දැනුමක් ඇති, ඒ සම්බන්ධව අත්දැකීම ඇති අයකුට පමණි.

3. පවුලේ සමීපතයන් කිහිප දෙනෙකු නිවාස් සිටි බැවින් රාත්‍රියේ කුමක් හෝ කාරණයක් නිසා පිරිස අතර ඇතිවූ බහින්බස්වීමක ප්‍රතිඵලයක් ලෙස හදිසියේ සිදුවූ ඝාතනයක් ලෙස ද යමෙකුට මේ පිළිබඳව සැක පහළ කරන්නට පුලුවන. නමුත් මෙම ඝාතනය පිළිබඳ කරුණු වසාදැමීම සඳහා ඉතා සූක්ෂම පියවරයන් අනුගමනය කොට ඇති බව පෙනෙන්ට තිබේ. එහෙත් නිවසේ සාමාජිකයන් අතර එවැනි ඝාතකයෙක් සිටි බවට දැනට හෙළිවී නැත. නිවසේ සිටි යම් අයකු මෙම ඝාතනය සිදු කළේ නම් මෙය මෙතරම් සුක්ෂම ආකාරයෙන් වසන් කරන්නට ඔහුට ඇති හැකියාව කොතෙක්ද?

මෙම ඝාතනය පිළිබඳ කරුණු සෙවීමේදී හමු වූ සුවිශේෂීතම එකක් වන්නේ  නදීෂා පුරුද්දක් ලෙස සිය කොට්ටය යටින් කුඩා පිහියක් තබාගැනීමය. සාමාන්‍යයෙන් පිරිමියකු තම අත පොවන මායිමේ යම්කිසි අවියක් තබාගෙන නින්දට යාම පිළිබඳ අසා ඇති මුත් තරුණියක එසේ කිරීම පිළිබඳ යම් සැකයක් මතුවේ. ඇය එසේ කරන්නට ඇත්තේ තමාට යම්කිසි අනතුරක සේයාවක් පිළිබඳ ඉව වැටී තිබුණු නිසා ද යන සැකය  මෙහිදී පහළ වේ.

ඇයගේ මරණය සිදුවී ඇත්තේ හිසේ දකුණු පැත්තට මොට ආයුධයකින් සිදු කළ පහරදීමකින් බැව් හෙළිවී තිබේ. ඇගේ කොට්ටය මත වූ ලේ පැල්ලම නිසා එය කාමරය තුළදී සිදුවූවක් හෝ නිවස තුළ දී පහර කෑමකට ලක්ව ඇය යහන කාමරයට දිව යාමෙන් පසු මරණයට පත් වූ බවක් යන අනුමාන දෙකට එළැඹීමට හැකියාව තිබේ. නමුත් මෙහිදී ඇගෙන් කිසියම් හෝ හඬක් නොනැගුනේ යැයි සිතිය නොහැකිය. එවැනි හඬක් නැගුනේ නම් එය අඩුම තරමින් යාබද යහනේ සිටි සිය මවට නොඇසුනේ යැයි සිතීම අපහසුය.

අනෙක රාත්‍රියේ 1.00 - 2.00ත් අතර නදීෂා සහ මව නින්දෙන් අවදිවූ බවට කරුණු හෙළිවී තිබේ. මේ අනුව ඇගේ මරණය සිදුව ඇත්තේ අලුයම 2න් පසුවය. ඇගේ මව අලුයම 5.00 ට අවදිව බලන විට නදීෂා යහනේ නැති බැව් දැක විලාප තබා ඇත. ඒ අනුව ඇගේ මරණය සිදුව ඇත්තේ අලුයම 2.00 - 5.00ත් අතර බැව් පැහැදිලිය.

නමුත් නදීෂාගේ මළ සිරුර හමුවන්නේ නිවසේ සිය මීටර් 100ක් පමණ දුරින් වූ වෙනත් ඉඩමකය. කාමරයේ ලේ පැල්ලමක් ඇති බැවින් ඇය මිය ගිය පසු සිරුර ඇඳ ඇතිරල්ලකින් ඔතා පෙර කී ඉඩමට ගෙන ගියා ද, නැතහොත් මරණයට පත්වන්නට පෙර ඇය වත්තන් කරගෙන් ගෙන ගියාද යන කරුණු දෙක ද මෙහිදී මතුව තිබේ. නමුත් මෙවැනි ක්‍රියාවක් කවුරුන් හෝ සිදු කළත් එවැනි අවස්ථාවකදී නිවසේ කිසිවකුගේ නින්දට බාධාවක් සිදුවීම බොහෝ විට සිදුවන්නට පුලුවන. නමුත් නිවසේ කිසිවකු මෙය සිදු නොකළේ යැයි සිතුව ද එවැනි නින්දෙන් අවදීවීමක් පිළිබඳ දැනට සොයාගන්නට නැත.

නදීෂාගේ මළ සිරුර හමුවන්නේ උදෑසන 6.00 ට පමණය. ඊට පෙර  සොයුරකුට ඇගේ ඇඳ ඇතිරිල්ල හමුවන අතර ඔහු එය රැගෙන එන්නේ කෝටුවක ආධාරයෙනි. නමුත් ඒ වන විටත් මළ සිරුර හමු වී නැත. තමා හෝ පවුලේ කිසිවකු පරිහරණය කරන යම් දෙයක් නිවසින් පිටත වැටී තිබුණහොත් එය කෝටුවකින් රැගෙන එන්නට හේතුව පිළිබඳ යම් සැකයක් මතු වේ. මේ ඇතිරිල්ල යම් අපරාධයකට සම්බන්ධද යන්න පිළිබඳ කිසිවක් නොදන්නේ නම් එහි තම ඇඟිළ සළකුණක් සටහන් වේ යැයි බියක් ඇති කරගැනීමට ද කිසිවකුට අවශ්‍ය නැත. අනෙක නදීෂා යහනේ නැති බැව් දැනගන්නා ඇගේ මවට විළාප නගන්නට තරමට එය හේතුවක් වූයේ ඇයි ද යන්න මෙහිදී සැළකිල්ලට යොමුව තිබේ. නදීෂාගේ සිරුර හමුවන විට එය නිරුවත්ව තිබෙන අතර ඇය දූෂණයක ලක්වී ඇති බැව් බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. නමුත් වෛද්‍ය පරීක්ෂණ මගින් හෙළිවන්නේ එවැන්නක් සිදුව නැති බවය. බැහැරින් යමෙකු මේ ඝාතනය සඳහා බැහැරින් ආවේ නම් මෙතැන ස්ත්‍රී දූෂණ අපරාධයක් ද සිදුවන්නට හැකියාවක් තිබේ. සැකයේ අවධානය නිවස තුළටම යොමුවන්නේ මේ නිසාය.

දේපළ සම්බන්ධ ආරවුලක් දුරදිග යාමන් පවුගේ සියලු දෙනා දැනුවත් මෙම ඝාතනය සිදුවූයේ ද යන්න මෙහිදී මතුව ආ තවත් එක් සැකයකි. නමුත් කරුණු සොයා බැලීමේදී ඝාතනය කර ලබාගන්නට තරම් අයට දේපළ හිමිකාරිත්වයක් නැති බැව් ද දැනගන්නට ලැබී තිබේ. පොලිස් නිල සුනඛයෙකු ඔස්සේ ඝාතකයා සොයාගන්නට උත්සාහ දරුවද එය ද නිෂ්ඵල වී ඇත. එයට හේතුව ඝාතකයා යැයි සැක කෙරෙන පුද්ගලයාට ආවේණික ගන්ධය නිවස පුරාම පැතිර පවතින නිසා යැයි පැවසේ. මේ අනුව ඝාතකයා නිවසේම සිටි බවත්, ඝාතනය නදීෂාගේ කාමරයේම සිදු වූ බවටත් සිතිය හැකි ඉඩකඩ ඉතා වැඩිය.

මෙම ඝාතන සිදුවීම සම්බන්ධය පොලීසිය විසින් පහත කරුණු පැහැදිලවම අනාවරණ කොට ගෙන තිබේ.

1. ඝාතනය සිදුවූ කාලය. නම් අලුයම 2.00 සිට 5.00 දක්වා යන පැය 3ක පමණ කාලය.
2. අපරාධය සිදුවූ ස්ථානය. එය නිවස තුළම යන්න පැහැදිලිය.
3. අපරාධය සිදුවූ ආකාරය. මොට වූ ආයුධයකින් හිසෙහි දකුණු පැත්තට පහරක් එල්ල කිරීමෙන් ඝාතනය සිදුවී තිබේ.
4. අපරාධය නිසා ශරීරයට සිදුවී ඇති හානිය.
5. අපරාධය සිදුවන විට අවට සිටි පිරිස කවුරුන් ද යන්න.


අප රටේ අපරාධ විමර්ශන අංශය එක් අස්ථි කැබැල්ලකින් පවා අපරාධකරු සොයාගත් අවස්ථා බොහොමයක් තිබේ. නදීෂා ගේ ඝාතන සිදුවීම පිළිබඳ සළකා බැලීමේදී මනුෂ්‍ය ඝාතන අපරාධයක් විසඳාගන්නට  එක් රැස් කරගත හැකි කරුණු අවශ්‍ය තරම් තිබේ. නමුත් විශ්මයට කරුණක් වන්නේ තවමත් අපරාධකරු හඳුනාගත නොහැකි වීමය. වැඩිම සාක්ෂි තිබියදීත් ඝාතකයා සොයාගත නොහැකි වූ අපරාධය ලෙස ද මෙය ඉතිහාසයට එකතු වී තිබේ. ඝාතකයා හැකිතාක් තමා පිළිබඳ හෝඩුවාවන් ලබාගත හැකි සාධක සූක්ෂම ලෙස සඟවාගනිමින් මේ අපරාධය කොට තිබේ. සියලු සිදුවීම් සළකා බැලීමේදී අවම තරමින් අපරාධකරුගේ අරමුණ කුමක් ද යන්න පිළිබඳ හෝ සොයාගත නොහැකිය. හදිසි කෝපයක් හෝ පූර්ව සූදානමකින් තොරව කරන ලද අපරාධයකදී නම් අපරාධකරු ඉතා කෙටි කලකින් කොටුවන බැව් කිව හැකිය. ඊට මෑතකදීම සොයාගත හැකි සාක්ෂිය නම් ඇලිපිටියේ සිදුවූ සරසවි සිසුවියගේ ඝාතනයයි. එම අපරාධය කළ පෙම්වතා ඒ අවටම සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වූයේ අපරාධය සිදුවූ දාට පසුදාය. බොහෝ විට මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ පසු අපරාධකරු ඒ අවටම ගැවසෙන බැව් පැවසුන ද නදීෂාගේ ඝාතනය සම්බන්ධව එවැනි හෝඩුවාවක් හෝ සොයාගන්නට නැත. කෙසේ මුත් නුදුරු දිනෙක මේ අපරාධකරු කවුරුන්දැයි හෙළිකරගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඇතැම්විට පවුලේ පිරිස දැනුවත්ව වූ අපරාදයක් නම් එය සඟවාගෙන වැඩිකලක් සිටීමට ද නොහැකිය. කෙසේ මුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෑත කාලයේ මුහුණ දී ඇති අභිරහස්ම මරණ පරීක්ෂණය මෙය බව නම් සැකයක් නැත.

1 comment:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න