මහා බෝසතාණන්
වහන්සේ වානර භවයක ඉපිද සිය අඳ මෑණියන් වෙනුවෙන් පලවැල නෙළා ගෙන එමින් ඇය පෝෂණය කළ
කතාවක් පන්සිය පනස් ජාතක පොතෙහි දක්නට ලැබේ. එමෙන්ම උන් වහන්සේ ගිරා භවයක ඉපිද
සිය අඳ මාපියන් වෙනුවෙන් දිනපතා වී කරල් රැගෙන පැමිණි කතාවක් ද අපි අසා ඇත්තෙමු.
සතුන් විසින් මෙවැනි උතුම් ක්‍රියාවන් සිදු කෙරෙන්නේ පන්සිය පනස් ජාතක පොතෙහි
පමණක්දැයි ඇතැම් විට යමෙකුට සිතෙන්නට බැරි නැත. නමුත් මෑතකදී අසන්නට ලැබුණු එක්
අපූරු කතාවකින් අපට පසක් වන්නේ එවැනි දේ වර්තමානයේ ද සිදුවන බවකි. එමෙන්ම පන්සිය
පනස් ජාතක පොතෙහි ඇති එවැනි කතන්දර, සිදු නොවිය හැකි හුදෙක් සාහිත්‍ය රසයකින් පිරුණු ඒවා පමණක්ම නොවන බවය.
අපගේ
කතානායිකාව සුනඛ ධේනුවකි. ඇගේ නම ලිලීකා වන අතර ජීවත් වන්නේ බ්‍රසීලයේ සාඕ පෝලෝ
හි වාහන සුන්බුන් ගොඩගසා ඇති බිමකය. ඇය එහි ජීවත් වන්නේ තනිව නොවේ. ඇය සමග තවත්
සුනඛයකු, බළලකු, කිකිළියක් හා කුකුල් පැටවුන් මෙන්ම
කොටළුවෙක් ද සිටී. කුඩා කාලයේ මහමග දඩාවතේ යමින් සිටියදී ලිලීකා පිළිබඳ ආදරයෙන්
ඇයව හදාවඩා ගත් නේලේ වැනියා අන්තෝනියෝ ද ඔවුන් සමග ජීවත් වෙයි. ලිලීකා සිය පවුලට
බෙහෙවින්ම ආදරය කරන්නීය. කෙතරම් ආදරේදැයි කිවහොත් ඇය සෑම රාත්‍රියකදීම ඔවුන්
වෙනුවෙන් කෑම රැගෙන එන්නට ද අමතක නොකරයි. ඇගේ කතාවේ අපූරුතම සිදුවීම එයයි.
තමා සහ සිය
පවුලේ සාමාජිකයන් වෙනුවෙන්ම විශේෂයෙන් පිළියෙළ කරන ලද මෙම ආහාර පාර්සලය රැගෙන
එන්නට ඇය සෑම දිනකම රාත්‍රියේ සැතපුම් දෙකක දුරක් ගමන් කරයි. ඇය මේ වන විට වසර
තුනක් පමණ කාලයක් තිස්සේ මේ පුරුද්ද සිදුකරගෙන එන්නීය.
ලිලීකා සෑම
රාත්‍රියකම සැතපුම් දෙකක් දුරක් ගෙවමින් පැමිණෙන්නේ ලුසියා හෙලේනා ඩී සවුසා නම්
මහාචාර්යවරියගේ නිවසටය. ඇය සතුන් කෙරෙහි අපමණ වූ ස්නේහයකින් යුක්ත කාන්තාවකි. ඇය
දඩාවතේ හැසිරෙන බල්ලන් දහදෙනකු හා බළලුන් තිස්දෙනෙකු සිය නිවසේ හදාවඩා ගන්නීය. ඇය
මේ සතුන් වෙනුවෙන් සෑම දිනකම රාත්‍රියේ ආහාර පිළියෙළ කරයි. ඇගෙන් ලැබෙන ආහාර
පාර්සලය රැගෙන එන්නට සෑම රාත්‍රියකම ලිලීකා සැතපුම් දෙකක දුරක් ගමන් කරයි. ලුසියා
මහාචාර්යවරිය ලිලීකා වෙනුවෙන් වෙන්කරන ලද ආහාර වෙනම පාර්සලයකට දමයි. ඉන් පසුව ඇය
මහමග එක් ස්ථානයකට පැමිණෙයි. ලිලීකා රාත්‍රී නවයයි තිහට පමණ වන විට එතැනට
පැමිණෙන්නට පුරුදුව සිටී. එතැනදී සිදුවන ඔවුන්ගේ හමුවේදී ලිලීකා එයින් කෑම සුළු ප්‍රමාණයක්
භුක්ති විඳ ඉතිරි කොටස කුසගින්නේ සිටිනා සිය පවුලේ සෙසු සාමාජිකයන් සඳහා රැගෙන
එයි.
ලිලීකා මෙම
ආහාර පාර්සලය රැගෙන එන්නේ ද ඉතා පරිස්සමිනි. ලිලීකා කුඩා කල සිට හදාවඩාගත් නේලේ
පවසන්නේ ඇය මේ වන විට වසර තුනක පමණ කාලයක් තිස්සේ මෙම පුරුද්දෙහි නිරත වන බවය.
''ලිලීකා
කියන්නේ අපූරු, පුදුමාකාර
සතෙක්. හුඟක් මිනිස්සු ළඟවත් සමහර වෙලාවට මේ වගේ පුරුදු නැහැ. තමන් ළඟ තියෙන දෙයක්
වෙන අයත් එක්ක බෙදාහදාගන්නා පුරුද්දක් අද කාලේ මිනිසුන් ළඟවත් නැහැ. ඒත් ලිලීකා
එහෙම කෙනෙක් නෙවෙයි''.
සැබැවින්ම
ලිලීකා යනු තිරිසනකු වුව ද ඇය අපට මිත්‍රත්වය. ආදරය, කරුණාව, කැපවීම ආදිය පිළිබඳ පාඩම් කියා දෙයි. ඒ සියල්ලටම වඩා මිනිසුන්ගෙන් තුරන්ව
යන මිනිසත් බව මිනිසුන්ට මතක් කරදීම පිළිබඳ අප අපගේ මනුෂ්‍යත්වයෙන් නාමයෙන් ඇයට ණය
ගැති විය යුතුය.
මෙහි වීඩියෝ
දර්ශනය මෙතැනින් බලන්න.
hmm welaawakata hithenwa minissunta wadaa saththu hodai kyala
ReplyDeleteඒක නම් ඇත්ත.
Delete