පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, June 28, 2014

මාතාහාරි, හමුදාවේ කනින් රිංගා හමුදාවෙන්ම වෙඩි කෑ ඔත්තුකාරිය - Matahari, the Universal Honey Trap and Spy

මාතා හාරි තනපටකින් හා හිස් ආභරණවලින් පමණක් සැරසී පෙනී සිට මෙම ඡායාරපය 1906 දී ගනු ලැබූවකි



මානව පරිණාමයේ ආරම්භයේ සිටම මිනිසුන් අතර යුද්ධ ඇතිවිය. විවිධ හේතු නිසා ඇතිවන මෙම ගැටුම් අද දක්වාම නොනැවතී සිදුවෙයි. යුද්ධයකදී සිය විරුද්ධ පාර්ශ්වය පිළිබඳ හැකිතාක් තොරතුරු ලබාගැන්ම තුළින් එය ජයග්‍රහණය කරන්නට හැකි බැව් අනාදිමත් කාලවක් සිටම මිනිසා දැන සිටියේය. වසර 12 ක කාලයක් පැවති පැවති රාම - රාවණා යුද්ධයේදී රාවණගේ සොයුරකු වූ විභීෂණ  රාම හට රහස් ඔත්තු ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙස රාම යුද්ධයෙන් ජයග්‍රහණය කළේය. මෙවැනි යුධ ඔත්තුකරුවන් ඉතිහාසය මුළුල්ලේම අසීමිත ලෙස අපට හමුවේ. අප දැන් කතා කරන්නට සූදානම් වන්නේද මෙසේ යුධ රහස් විවිධ පාර්ශ්වයන් අතට ලබාදුන් යුධ ඔත්තුකාරියක පිළිබඳවය. ඇය ඉතිහාසයේ හමුවන අනෙක් සියලු ඔත්තුකරුවන් හා කාරියන්ගේ වෙනස් බැව් පැහැදිලිවම පෙනේ. ඇය වෙනුවෙන් පොතපත ලියැවීම, සිනමා නිර්මාණ බිහිවීම ඊට හේතුවයි. ඇයට පමණක් සුවිශේෂී වූ මෙම තත්වය කුමක්ද? මේ ලිපිය ලියැවෙන්නේ ඒ කුමක්දැයි සොයා බලා ඔබට පැවසීම සඳහාය. 

මාතා හාරිගේ මෙම සේයාරුව 1909 දී ගනු ලැබූවකි 


ඇගේ කතාව 

මාගරීටා ගීර්ට්‍රියුඩා සෙල්ලේ වර්ෂ 1876 අගෝස්තු 15 වැනිදා නෙදර්ලන්තයේ, ෆ්‍රීස්ලන්ඩ් හි ලීයුවෝර්ඩන් හි දරුවන් සතර දෙනෙකුගෙන් යුක්ත පවුලක වැඩිමහළු දරුවා ලෙස උපත ලැබුවාය. ඇගේ පියා ඇඩම් සෙල්ලේ වූ අකර මව ඇන්ට්ජේ වෑන් ඩර් මෙවුලෙන් වූවාය. ඇයට සහෝදරයෝ තිදෙනෙකි. ඇගේ පියා සතුව හිස්වැසුම් වෙළෙඳසළක් තිබුණු අතර ඔහු තෙල් කර්මාන්තය තුළ මුදල් ආයෝජනය කිරීමෙන් ඉහළ ආදායමක් ලබාගත්තේය. මේ හේතුවෙන් මාගරීටාගේ ළමා කාලය අතිශය සුඛෝපභෝගී ලෙස ගෙවන්නට ඇයට වාසනාව ලැබිණි. ඇය 13 හැවිරිදි විය දක්වාම ඇයටම වෙන්වූ පාසලක ඉගෙනුම ලැබුවාය. 

කෙසේමුත් 1889දී මාගරීටාගේ පියා බංකොලොත් වූ අතර වැඩිකලක් යන්නට මත්තෙන් ඇගි දෙමාපියෝ දික්කසාද වූහ. ඇගේ මව 1891 දී මිය ගියේය. ඇගේ පියා 1893 පෙබරවාරි 9 වැනිදා සුසානා කැතරිනා ටෙන් හූවේ සමඟ ඇම්ස්ටර්ඩෑම් හිදී යළි විවාහපත් වූයේය. ඔවුනට දරුවන් නොසිටියෙන් එව විවාහය වැඩිකල් නොපැවතියේය. එහි ප්‍රතිඵලයක් ලෙස මාගරීටා ස්නීක් හි සිටි සිය භාරකාර පියා වූ විසර්  සමග ජීවිත්වන්නට පටන්ගත්තාය. ඇය ළදරු පාසල් ගුරුවරියක වන්නට ඉගෙනුම ලැබුවද  විදුහල්පතිවරයා ඇය සමග ඇඟෑලුම්කම්පාන්නට පටන්ගැනීම නිසා ඇගේ භාරකාර පියා විසින් ඇය පාසලින් ඉවත්කර ගනු ලැබිණි. ඉන් මාස කිහිපයකට පසු ඇය හේග් හි සිටි සිය මාමා ගේ නිවසට පළා ගියාය. 

1906 දී මාතා හාරි පෙනී සිටි තැපැල් පතක් 

ලන්දේසි ජාතික යටත් විජිත හමුදා කපිතාන්වරයකු වූ රුඩොල්ෆ් මැක්ලියොඩ්  පුවත්පතක පළකාෙට තිබූ මංගල දැන්වීමක් මාගරීටා දුටුවාය. හමුදා කපිතාන්වරයා ඒ වන විට සිටියේ එවකට ලන්දේසි පෙරදිග ඉන්දියාව හෙවත් වරිතමාන ඉන්දුනීසියාවේය. ඇය මෙම දැන්වීමට පිළිතුරු යැව්වාය. එහි ප්‍රතිඵලයක් ලෙස 1895 ජූලි 11 වැනිදා මාගාරීටා හා රුඩොල්ෆ් අතර විවාහය සිදුවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇයට ලන්දේසි ඉහළ පැලැන්තිය සමග සබඳතා ගොඩනගාගන්නට හැකියාව ලැබිණි. ඔවුන් දෙනොට නොර්මන් - ජෝන් මැක්ලීඩ් හා ලුවී ජියාන් මැක්ලියොඩ් යනුවෙන් දරුවන් දෙනෙකු ලැබිණි. 

නෙදර්ලන්තයේ ලියුවෝර්ඩන් හි ඉදිකොට ඇති ඇගේ ප්‍රතිමාව 

මෙම විවාහයට එතරම් ආයුෂ තිබුණේ නැත. මැක්ලියොඩ් මත්පැන්වලට තදින්ම ඇබ්බැහි වූවෙක් විය. තමාට උසස්වීම් නොලැබීමේ වරද ඔහු නිතර පැටවූයේ තමාට වඩා වසර විසි ගණනකින් ලාබාල සිය බිරිඳ මතය. එවකට ඉන්දුනීසියාවේ එක් කාන්තාවන් කිහිප දෙනෙකු විවාහ කරගැනීම සමාජ චාරිත්‍රයක්ව තිබුණු  බැවින් ඔහු ප්‍රසිද්ධියේම තවත් කාන්තාවන් කිහිප දෙනෙකුම ඇසුරු කළේය. මෙහි ප්‍රතිඵලය වූයේ මාගරීටා වෙනත් හමුදා නිලධාරියකු වූ වෑන් රීඩ්ස් සමග ජීවත්වන්නට පටන්ගැනීමය. මාස කිහිපයක් ඇතුළත ඉන්දුනීසියානු සම්ප්‍රදායයන් හොඳින් හැදෑරූ ඇය එහි දේශීය නැටුම් සමාගමකට සම්බන්ධ වූවාය. වර්ධ 1897 දී ඇය කලා ලෝකයට අලුත් නමකින් අවතීර්ණ වූවාය. එය මාතා හාරිවිය. ඉන්දුනීසියානු බසින් එහි අර්ථය වූයේ දවසේ ඇසහෙවත් සූර්යයාවිය.

 
මැක්ලොයිඩ්ගේ දැඩි ඉල්ලීම පිට ඇය යළිත් ඔහු වෙත ගියද ඔහුගේ දඩබ්බර හිසැරීම්වල වෙනසක් වූයේ නැත. 1899 දී ඔවුන්ගේ 0දරුවන් දෙදෙනාම දැඩිලෙස රෝගාතුර වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස නොර්මන් මිය ගියේය. එක් දූෂමාන ආරංචියකින් පැවසුණේ දරුවන් දෙදෙනා මර දමන්නට ඔවුනගේ සතුරකු වසදුන් බවයි. මෙයින් පසු ඔවුහු යළි නෙදර්ලන්තයේ පදිංචියට ගිය අතර 1902 රුඩොල්ෆ් ඇගෙන් වෙන්ව ජීවත් වන්නට පටන් ගත්තේය. ඔහු ජියාන් තමාගේ භාරකාරත්වයට ගත්තේය. ඔවුහු 1907 දී දික්කසාද වූහ. 


1903 දී මාගරීටා ප්‍රංශයට ගියාය. ඇය එහිදී සර්කස් කණ්ඩායමකට බැඳුණාය. මුදල්වල අවශ්‍යතාවය තිබූ බැවින් ඇය සිතුවම් ශිල්පීන්ගේ නිර්මාණ සඳහා පෙනී සිටින්නට ද පටන් ගත්තාය. 

වර්ෂ 1905 වනවිට ඇය ඇය නර්ථන ශිල්පිනියක් ලෙස ජනප්‍රියත්වයට පත්වන්නට විය. මුල්කාලීන න්ර්ථන ව්‍යාපාරයන්හි පුරෝගාමීන් වූ ඉසදෝරා ඩන්ක්න් හා සාන්ත ඩෙනිස් ඇගේ සමකාලීනයන් විය. සිය සිරුර විදහා දක්වමින් නර්ථනයෙහි නිරත වූ ඇය 1905 මාර්තු 13 වැනිදා ගිමෙට් කෞතුකාගාරයේ ඉදිරිපත් කළ නර්ථනයෙන් එක් රැයකින් ජනප්‍රියත්වයට පත් වූවාය.  මෙහි ප්‍රතිඵලය වූයේ මෙම කෞතුකාගාරයේ නිර්මාතෘ වූ කෝටිපති ව්‍යාපාරික එමිලි ටියෙන් ගිමෙට් ගේ දීර්ඝකාලීන ආර්යාව බවට පත්වීමය. මේ සමයේදී ඇය නිරුවත් හෝ අඩනිරුවත් හෝ ඡායාරූප අනන්ත ප්‍රමාණයකට පෙනී සිටියාය. දරුවා සිය භාරයට ඉල්ලමින් සිටි මාතා හාරි ට එම අවස්ථාව හිමි නොවුණේ මැක්ලොයිඩ් මෙම ඡායාරූප ලබාගෙන එය තම නඩු සඳහා ඉදිරිපත් කළ නිසාය. 

ඇය නර්ථනයේදී ද ඇඳුම් උනා දැමීම ජනප්‍රිය අංගයක් විය. අවසානයේදී ඇය මැණික් ඇමුණූ  තනපටකින් සහ හිසේ හා අත්වල ආභරණ පමණක් පළඳා නර්ථනයෙහි යෙදෙන්නට පටන් ගත්තාය එම නර්ථනය අතිශය ජනප්‍රියත්වයට පත්විය. ඇය තනපට ද ඉවත්කරන්නට කැමැත්තෙන් පසුවූවද එයට බාධාවක් වූයේ සිය පියයුරු ප්‍රමාණයෙන් කුඩා වූ නිසා බැව් පැවසේ. ඇය නර්ථන යේදී ඇඳුම් සඳහා යොදා ගත්තේ ද හැකිතාක් සිය සිරුරේ පැහැයට සමාන වූ වර්ණයෙන්ගෙන් යුක්ත ඒවාය.  පැරීසයෙන් ආරම්භ කළ ඇගේ මෙම නර්ථන ජීවිතය කෙමෙන් ලොව පුරාම ජනප්‍රියත්වයට පත්විය. අනෙක ඇය සිය නර්ථනය අතරතුරේදී පැවසූ කතාවලින් කියැවුණේ තමා ලන්දේසි ජාතික කාන්තාවක් නොවන බවය. සියලු දෙනා සිතුවේ ඇය ඉන්දුනීසියානු කාන්තාවක් ලෙසිනි. ඇගේ ජනප්‍රියත්වය නිසා ඇයට පැරීසියේ ප්‍රභූවරුන්ව ඇසුරු කරන්නට ද අවස්ථාව හිමි විය. 

නෙදර්ලන්තයේ ලියුවෝර්ඩන් හි පිහිටි ෆ්‍රිසියාන් කෞතුකාගාරයේ තැන්පත්කොට ඇති ඇගේ පින්තූර පොත. 

1901 වන විට විචාරකයන් පවසන්නට පටන් ගත්තේ ඇය සිය සිරුර ප්‍රදර්ශනය කරනවා විනා නර්ථනය පිළිබඳ දැනුමක් නැත්තියක් ලෙසය. 1912න් පසු ඇගේ නර්ථන වෘත්තිය කෙමෙන් පරිහාණියට පත්වන්නට පටන්ගත්තේය. ඇය කෙමෙන් අභිසිරුලියක්ගේ තත්වයට කෙමෙන් පත්වන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට බොහෝ රටවල උසස් හමුදා නිලධාරීන්, දේශපාලඥයින් හා වෙනත් බලවක් පුද්ගලයන්ගේ ඇසුර හිමිවිය. ඇතැම් පුද්ගලයන් ඇයව අන්තර්ජාතික දේශසීමාවන් හරහා නිරුපද්‍රිතව රැගෙන ගියේය. පළමු ලෝක යුද්ධයට පෙර ඇය හුදෙක් නාටිකාංගනාවක් ලෙස පමණක් ජනප්‍රියව සිටියද, යුද්ධය එළැඹීමත් සමග ඇගේ භූමිකාව වඩාත් භයානක පැත්තකට යොමුවන්නට විය. 

මාතා හාරි රංගනයක් ඉදිරිපත් කරමින - 1905 

පළමු ලෝක යුද්ධයේ දී නෙදර්ලන්තය කිසිදු පාර්ශවයක් නොගත් රටක් ලෙස සිටියේය. නෙද්ර්ලන්ත අනන්‍යතාවයක් සහිතව මාගරීටා සෙල්ලේ නමින් ඇය ඉතා පහසුවෙන් ජාතික දේශසීමාවන් තරණය කළාය. යුධ කලාප මඟ හැරීම සඳහා ඇය ප්‍රංශය හා නෙදර්ලන්තය අතර ගමන් කළේ ස්පාඤ්ඤය හා මහා බ්‍රිතාන්‍යය හරහාය. ඇගේ මෙම ගමන් බිමන් බ්‍රිතාන්‍යයේ අවධානයට ලක්විය. එහි ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍යය හමුදා ඇය අත්අඩංගවට ගෙන දැඩිලෙස ප්‍රශ්න කිරීම්වලට බඳුන් කළේය. ඇය ප්‍රංශය වෙනුවෙන් ඔත්තු බැලූ බවට චෝදනා එල්ළවිය. සිර අඩස්සියේ රඳවාගෙන් සිටි ඇය පසුව නිදහස් කෙරිණි. මෙම සිද්ධිය පිළිබඳ තවමත් නොවිසඳුණු ගැටළුවක් වන්නේ අය මේ අවස්ථාවේදී අසත්‍යයක් ප්‍රකාශ කළේද නැතහොත් ප්‍රංශ බලධාරීන් සැබැවින්ම ඇයව ඔත්තු සේවය සඳහා යොදාගත්තේ ද යන්නය. 

1917 දී මැඩ්රිඩ් හි පිහිටි ජර්මානු හමුදා කණ්ඩයක් මගින් සිය බර්ලිනයට සිය හමුදා ඔත්තුකරුවක පිළිබඳ කේත මගින් පණිවිඩ යැවිණි. එම කේත නාමය වූයේ එච් 21 විය. ප්‍රංශ බුද්ධි අංශ මගින් මෙය විකේතනය කළ අතර එහිදී ඔවුන් හඳුනාගත්තේ එච් 21 යනු අන් කිසිවකු නොව මාතා හාරි බවය. ජර්මානුවන් මෙම පණිවිඩය සම්ප්‍රේෂණය කළේ ප්‍රංශය විසින් මෙය විකතේනය කරනා බැව් හොඳාකාරවම දැනගෙන බැව් ද ඇතැම් තොරතුරුවලින් හෙළිවේ. සැබැවින්ම මෙය විකේතනය කොට තිබුණේද ප්‍රංශය මගින් නොව බ්‍රිතාන්‍ය බුද්ධි අංශය මගිනි. 

මාතා හාරි පිළිබඳ නිර්මාණය වුණු සිනමා නිර්මාණ

මාතා හාරි පිළිබඳ නිර්මාණය වුණු සිනමා නිර්මාණ

1917 පෙබරවාරි 13 වැනිදා පැරීසියේ එලිසේ පැලස් හෝටලයේ සිය කුටියේ සිටියදී අත්අඩංගුවට ගනු ලැබිණි. ජූලි 24 වැනිදා නඩු විභාගයකට ඇයව බඳුන් කළ අතර ජර්මනියට පක්ෂපාතිය ඔත්තුබැලූ බවටත්, එහි ප්‍රතිඵලයක් ලෙස හමුදා සෙබලුන් 50,000 කගේ මරණය සිදුවූ බවටක් චෝදනා එල්ළවිය. ප්‍රංශයත් මහා බ්‍රිතාන්‍යයත් ඇයට එරෙහිව මෙම චෝදනා එල්ළ කළ ද, ඇයට එරෙහිව පැහැදිලි හා ප්‍රබල සාක්ෂි එකතු කරගන්නට ඔවුනට නොහැකි විය. සොයා ගත් එක් සාක්ෂියක් වූයේ ඇගේ කුටියේ තිබූ රහස් තීන්ත වර්ගයකි. එවැනි තීන්ත වර්ගයක් ළඟ තබාගැනීම එම සමයේදී චෝදනාවකට හසුකරගන්නට ප්‍රමාණවක් විය. ඇය පැවසූයේ එය සිය රූපලාවන්‍ය උපකරණවලය අයත්වූවක් බවය. ඇය පැරීසියේ තිබූ ලන්දේසි කොන්සල්වරයාට ලිපි කිහිපයක්ම යැව්වාය. ඇය එම සෑම ලිපියකම සඳහන් කළේ තමා අහිංසක බවය.


මගේ ජාත්‍යන්තර සබඳතා මගේ නර්ථන කටයුතු සඳහා මිස අන්කිසිවක් සඳහා නොවේ. මම සැබැවින්ම කිසිවකු සඳහා ඔත්තු නොබැලූ නිසා මා වෙනුවෙන් කතා කරන්නට කිසිවකු ද නැත. 

එක් ලිපියන එසේ සඳහන්ව තිබිණි. ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට ද ඇය වෙනුවෙන් කළහැකි යමක් ඉතිරිව තිබුණේ නැත. නඩුතීන්දුව ලැබුණේ ඇයට එරෙහිවය. ඇය 41 වැනි වියෙහි පසුවද්දී, 1917 ඔක්තෝබර් 15 වැනිදා ඇය වෙඩි තබා මරා දැමිණි. 

මාතා හාරි ට වෙඩි තබා මරා දමන්නට මොහොතකට පෙර අවස්ථාව සිනමාපටයක දැක්වෙන අයුරු 

කෙසේමුත් 1970 දශකයේදී ප්‍රසිද්ධියට පත්කරන ලද ජර්මානු ලියකියවිලි කිහිපයකින් හෙළිවූයේ මාතා හාරි යනු සැබවින්ම ජර්මානු ඔත්තුකාරියක බවය. ඇයට ලබාදී තිබූ කේතය එච් 21 බවද ඒවායේ සඳහන්ව තිබිණි. 

1916 දී ප්‍රංශයට හමුවූ බෙල්ජියානු ජාතික ඔත්තුකරුවන් හය දෙනෙකුගෙන් පස්දෙනෙකුව පවසා සිටියේ මාතා හාරි ජර්මනිය වෙනුවෙන් ඔත්තු බැලූ බවය. නමුත් එක් ඔත්තකරුවකු පැවසූයේ ඇය ජර්මනිය හා ප්‍රංශය යන රටවල් දෙක සඳහාම ඔත්තු බැලීමේ නිරත වූ බවය. 

මාතා හාරිගේ සිරුර කිසිදු පවුලේ සාමාජිකයකු භාරගන්නට ඉදිරිපත් වූයේ නැත. එය වෛද්‍ය විද්‍යාලයක අධ්‍යයන කටයුතු සඳහා භාරදුන් බව පැවසේ. ඇයගේ හිස බෙහෙත් ගල්වා පැරීසියේ කාය විච්ඡේද කෞතුකාගාරයේ තැන්පත්කොට තිබූ මුත්, වසර 2000 දී එහි රාජ්‍ය ලේඛනාරක්ෂකයින් සොයාගනු ලැබූ දෙයක් වූයේ ඇයගේ හිස එයින් අතුරුදහන්වී ඇති බවය. ඔවුන් සඳහන් කරන පරිදි එය සිදුවන්නට ඇත්තේ මෙම කෞතුකාගාරය වෙනත් ස්ථානයකට සිට මෙම ස්ථානයට ගෙන ආ 1954 තරම් ඈත කාලයේදීය.  1918 දාතමින් යුත් ලිපි ලේඛනවලින් හෙළිවන්නේ ඇගේ සිරුරේ ඉතිරිකොටස් ද මෙම කෞතුකාගාරයට ලැබී ඇති මුත් ඒ කිසිවක් අද සොයාගන්නට නැත. 



නිව්යෝර්කර් පුවත්පත 1934 දී පළ කළ ලිපියක දැක්වෙන්නේ ඇයට වෙඩිතබා මරාදමන අවස්ථාවේ, ඇය ඊටම ගැළපෙන නව ඇඳුම් කට්ටලයකින් සැරසී සිටි බවය. ඇය මේ වෙනුවෙන් අලුත්ම සුදු පැහැ අත්මේස් කුට්ටමක් ද පැළඳ සිට ඇත. නමුත් ඒ අවස්ථාවේ ගනු ලැබූ ඇගේ ඡායාරූපය සමග එම විස්තරය සැසඳෙන්නේ නැත. බ්‍රිතාන්‍ය ජාතික වාර්තාකරුවකු වූ හෙන්රි වේල්ස් මෙම අවස්ථාවේදී එම ස්ථානයේ සිටි අයෙකි. ඔහු ඒ පිළිබඳ මෙසේ විස්තර කරයි. 

ඇය ඇස් බඳිනවාට කැමති වුණේ නැහැ. ඇය දෙසට වෙඩි වරුසාව එල්ළවද්දී ඇය සෙමින් දණහිසෙන් බිම ඉඳගත්තා. ඇගේ හිස නිතරම කෙළින් තබාගන්නට ඇය උත්සාහ කළා. ඇගේ මුහුණේ හැඟීම්වල කිසිදු වෙනසක් සිදුවූයේ නැහැ. ඇය තමාට වෙඩි තැබූ අය දෙස බලාගෙන මඳවේලාවක් සිටියා. ඉන්පසුව ඇගේ ඉගටිනේ පිටුපසට දෙසට ඇය ඇදවැටුණා. ඇගේ දෙපා එකිනෙක පැටළී තිබුණා. මේ අවස්ථාවේදී අධිකාරිය නොළත් නිලධාරියකු එතැනට ඇවිද ගොස් තමන්ගේ රිවෝල්වරයෙන් ඇගේ හිසට වෙඩි තැබුවා. ඒ ඇය මියගිය බව තහවුරු කරගන්නටයි.” 

නෙදර්ලන්තයේ ලීයූවොර්ඩන් හි පිහිටි ෆ්‍රයිස් කෞතුකාගාරයේ මාතා හාරිනමින් කුටියක් තිබේ. එහි ඇත්තේ ඇගේ පෞද්ගලික පින්තූර පොතක් හා ඇගේ නර්ථන ඉරියව්වක් එම්බ්‍රොයිඩර් කරන ලද පළසකි. 
රටවල් දෙකක් වෙනුවෙන් එකවර ඔත්තුබැලූ මෙම ඔත්තුකාරියගේ ජීවිත කතාව බොහෝ සාහිත්‍ය නිර්මාණවලට පසුබිම සකසා තිබේ. සිනමා නිර්මාණ ඒ අතර සුවිශේෂය. අඩුම තරමේ ඇගේ කතාව සිනමාවට නැගූ අවස්ථා පහක් වාර්තා වේ. ඇයගේ කතාව අඩංගු නවකතා තුනකි. සංගීත නිර්මාණ හතරකි. 

යුධ ඔත්තුකාරියක වුවද මේ අපූරු නළඟන ලෝක ඉතිහාසය තුළ මේ සා සුවිශේෂී චරිතයක් බවට පත්වූයේ මේ අයුරිනි.




1 comment:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න